අපි තිත් යාකරගනිමු. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ මූලයන් ප්‍රචණ්ඩත්වය සහ වාර්ගික ස්වෝත්තමවාදී හා ආගමික බලකාමයේ මර්දනය දක්වා දිගු වේ.
ඒ හා සම්බන්ධ හා මෙම විෂම චක්‍රය අවසන් කිරීම හා සම්බන්ධ මෙම අදහස්වලට අනුප්‍රාණය සැපයුවේ මංගල සමරවීර හා ගෝටාගෝගම ආශ්‍රිත අධ්‍යයනයන් විසිනි.
2019 අප්‍රේල් 21
2019 අප්‍රේල් 21 වෙනිදා, පාස්කු ඉරිදා, උදෑසනින් මා අවදි වුණේ මාතරදීයි. එදා මගේ අම්මාගේ උපන්දිනයයි. තාත්තා පල්ලියට යාමට නියමිතව තිබිණි. මංගලගේ දේශපාලන දිවියේ 30 වැනි සංවත්සරය සමරන විශේෂ දිනය වෙනදාට වඩා උත්කර්ෂවත් රැස්වීමකින් සනිටුහන් කිරීමේ අරමුණින් යුතුව අපි කලින් දින රාත්‍රියේ එහි පැමිණ සිටියෙමු.
මංගල මව්වරුන්ගේ පෙරමුණට නායකත්වය දුන් සහ සුදු නෙළුම් ව්‍යාපාරය සංවිධානය කළ ජන පදනම වූ මාතර ජනතාව සමඟ මෙම සිදුවීම් දෙක සැමරීම අපගේ අරමුණ විය. එවකට විපක්ෂ නායක ගරු රාජවරෝතියම් සම්බන්ධන් ප්‍රධාන ආරාධිතයා සහ කථිකයා ලෙස සහභාගී වීමට නියමිතව තිබිණි. මම ඉදිරි දිනය ගැන සිතුවෙමි. එය භාෂාව, භූගෝල විද්‍යාව, ආර්ථික තත්ත්වය සහ අත්දැකීම් අනුව විවිධ වූ අපගේ ප්‍රජාවන් විසින් පිළිබිඹු කරනු ලබන අදහස් සහ දැක්ම හුවමාරු කර ගැනීමක් සහ එහි නියැලීමක් විය.
‘රැඩිකල් මධ්‍යස්ථානයේ වටිනාකම් විස්සෙහි’ අවසන් වරට ප්‍රකාශ කළ පරිදි, මෙම වෙනස්කම්වල අභියෝග භාර ගනිමින් සහ වැළඳගනිමින්, ඒවා මගින් සියල්ලන් ඇතුළත් කරගන්නා සහ සහයෝගී වර්ධනය සඳහා අවස්ථා සොයාගන්නා රටක් පිළිබඳ මංගලගේ සිහිනය වැඩසටහනේ කේන්ද්‍රීය අදහස වනු ඇත. පළමු බෝම්බය පිපිරුණේ මා එකී පරමාදර්ශයන්ගේ ප්‍රමෝදයේ කිඳී සිටි මොහොතේ විය හැකිය.
‘සාමකාලය’
ශ්‍රී ලාංකීය ජනතාවගේ සිහින කඩාකප්පල් කරදමමින්, අපගේ ජීවිත ප්‍රචණ්ඩත්වය සහ අර්බුද විසින් නැවත නැවතත් සුනුවිසුනු කර තිබේ. කම්පනය සහ පාඩුව, ඒ ගැන කතා කළත් නැතත්, පරම්පරාගතව දිගට විහිදේ. එය මේ දිවයිනේ සිට විදෙස්ගත ප්‍රජාව දක්වාමත් විහිදේ. එහෙත්, 2009 සිට වසර 10ක් පුරාවට, අප බහුතරයක් දෙනා එවැනි පිපිරුම් අත්දැකීමක් හෝ එක් කලෙක සාමාන්‍ය දෙයක් වූ ත්‍රස්තවාදයක් අත්දැකීමට හෝ නොඇසීමට තරම් වාසනාවන්ත වී තිබිණි. යුද සමයේ ශ්‍රී ලංකාවක් ගැන කිසිවක් නොදන්නා 2009න් පසු ඉපදුණු පරම්පරාවක් අප අතර ජීවත් වන බව සැලකීම සිතාගැනීම ද අසීරුය.
සමාජයේ බහුතර ප්‍රජාවේ සාමාජිකයන් සහ/හෝ වරප්‍රසාදිත පිරිසක් වන අප (හෝ ඒ හා සමාන ආරක්ෂාවක් ලබාගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළ හෝ වාසනාවන්ත වූ සෙසු අය) සාමයේ පොරොන්දු ප්‍රතිලාභ ග්‍රහණය කර ගැනීමට බලා සිටියදී, එම ප්‍රතිලාභ අත්පත් කරගැනීම අන් අයට පහසු වූයේ නැත. දුප්පතුන්, කොන්කරන ලද ජනයා, සුළු ජාතීන් සහ නිර්භීත විවේචකයන් හට එරෙහිව දියත් වූ පීඩනය සහ ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනයන් නිරන්තරයෙන් සිදුවන තත්වයක් දක්නට නොලැබුණ ද ඒවා කිසිසේත්ම අවසන් වී තිබුණේ ද නැත. උතුරු-නැගෙනහිර ඒ මොහොතේත් සිදුවෙමින් පැවති මිලිටරිකරණය හා මර්දනය, අලුත්ගම, දිගන, රතුපස්වල වැනි ස්ථානවල පැනනැගුණු ප්‍රචණ්ඩත්වය, වැලිකඩ බන්ධනාගාර වෙඩි තැබීම්, බොදුබල සේනාවේ වෛරී චර්යා, ග්‍රීස් යකුන් සහ සුදු වෑන් ආදී මේ සියල්ල ‘සාම කාලයේ’ ද පැවතිණි.
අප නව නගර, නව ජීවිත, නව ව්‍යාපාර සඳහා අඩිතාලම දැමීමට බලා සිටියදී, පෙර කාලවලදී මෙන්ම මෙම ප්‍රචණ්ඩත්වයේ රැලි හේතුවෙන්, අපට අවස්ථාව අහිමි වන බව පෙනිණි (උදා: 1983න් පසු, මෝටරෝලා සහ හැරිස් සමාගම ඇතුළු ආයෝජන ශ්‍රී ලංකාවෙන් බැහැරට පියාසර කිරීම, the flight of FDI from SL, including from Motorola & Harris Company, after the ’83- 107 පිටුව බලන්න). මිනිසුන් සහ ඔවුන්ගේ හැකියාවන් බලමුළුගැන්වෙමින් තිබුණේ සියල්ල විනාශ කිරීමේ උච්චතම අවස්ථාව දක්වාය. දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකිකයන් රැලි සැදෙමින් විදේශගත වූහ.
බිය ජයගත් හැමවිටම අපි පරාජය වන්නෙමු
පාස්කු ප්‍රහාරයෙන් දින හයක් ඇතුළත, එවැනි අනපේක්ෂිත මොහොතක් සඳහා මනා සූදානමකින් යුතුව ගෝඨා ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කළේය. ඔහු අපගේ භීතිය ඇමතුවේය. අප ශෝකභරිතව එකමුතු වී සිටියද, අප එකිනෙකා කෙරෙහි තිබූ බිය, විශේෂයෙන් එකිනෙකා ‘අනෙකා’ ලෙස සැලකීම ඔස්සේ, අගතිය සහ ජාතිවාදය ජාතික ආරක්ෂාව සහ දේශප්‍රේමය ලෙස කේතගත කළ ව්‍යාපාරයක දෝංකාරයක් තුළ අපි ගිලී ගියෙමු.
ඔව්, ඇත්ත වශයෙන්ම, එවකට පැවති විපක්ෂය විසින් විස්තාරණය කරන ලද විකෘති ආඛ්‍යානයේ උගුල තුළට එවකට සිටි නායකත්වය කැමැත්තෙන්ම ඇදීගියේය. අපගේ කලකිරුණු ජනතාව ආශා කරන නිරන්තර සැලකිල්ල සහ දයානුකම්පාව ප්‍රදර්ශනය කිරීම සඳහා ඕනෑවට වඩා එකිනෙකාට දොස් පැවරීම එයට හේතු විය. ඉස්ලාම් භීතිකාව පැතිරීමත් සමඟ, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ, GSP+ නැවත ලබාගැනීම, බදු මූලධර්ම හෝ අයවැයෙහි ප්‍රාථමික අතිරික්තයන් වර්ධනය කරගැනීම අගය කිරීමට කාලය තිබුණේ ස්වල්ප දෙනෙකුට පමණි. ආසියාවේ දීර්ඝතම ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි කුමන්ත්‍රණයක් පවා සමාව දිය හැකි එකක් බවට පත් විය.
ඇතැමුන් පවසන්නේ සිදු වූ දෙයට වෙනත් විකල්පයක් නොතිබුණු බවයි. නව පක්ෂ පිහිටුවා ගනිමින් විකල්ප කිහිපයක් සටනට එළැඹුණහ.
එහෙත්, යක්ෂයා ගැන දැනුමකින් අප ආපසු ඇදගන්නා ලදී. ආරක්ෂාව, විනය, කාර්යක්ෂමතාව යන වචනවලින් ඔහු අපට වද දුන්නේය. එය අප යුද්ධය දෙස බලා යුද අපරාධ (සෑම පැත්තකින්ම සිදුවූ) නොසලකා හැරීම වැන්නකි. අපි කොළඹ නගරය අලංකාර කිරීම දෙස බලා දුප්පතුන්ගේ අවතැන් වීම සහ දූෂණය යනාදිය නොසලකා හැරීම වැන්නකි. මිශ්‍ර පවුලකින් පැවත ආ, සාඩම්බර බෞද්ධයෙකු ලෙස ජීවිතය තෝරාගත් මට ද වරදින්නට ඉඩ තිබිණි. කැලනි නදියෙන් මතුවූ නාග රාජයාගේ ප්‍රාතිහාර්යයකින් හා දැන් ප්‍රතිසංස්කරණය වී සිටින කාදිනල්වරයෙකුගෙන් ලැබුණු මතභේදාත්මක සහයෝගය ගැන සඳහන් කරන්නට උවමනා නැත.
ඇත්ත වශයෙන්ම, මේ සියලු වැරදි අප වෙත පැටවීම සාධාරණ නැත. 2019 මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා මුදල් යෙදවීමේදී සහ ඡන්ද පෙට්ටියේ දක්නට ලැබුණු සැඟවුණු අගතීන් අවබෝධ කර නොගතහොත් අපට කිසිදාක යථාර්ථය ග්‍රහණය කරගැනීමට නොහැකි වනු ඇත. නැවත නැවත සිදුවන කඩාවැටීම ඛේදවාචකයකින් අවසන් කිරීම සඳහා එක්සත් සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රයත්නයක් දැරීමට නොහැකි වනු ඇත. ඉතිහාසය උගන්වන්නේ ඉතා කුරිරු ලෙස චක්‍රීය වන ස්වභාවය පිළිබඳ පාඩම් වන බැවින්, ඊළඟ අවස්ථාව වෙනුවෙන් පරාජය පිළිගැනීම හැර අන් විසඳුමක් නැත. අප නැවත සිදුවන භීෂණයකින් බේරීමට ප්‍රමාණවත් තරම් සිංහලද නැතහොත් වරප්‍රසාදිත ද යන්න ගැන අපි සාකච්ඡා නොකරමු.
ඊළඟ වතාවේ, සහෝදර ශ්‍රී ලාංකිකයෙකුගේ ශරීරය, අයිතිවාසිකම් සහ ගෞරවය බලහත්කාරයෙන් ආදාහනය කිරීම සාධාරණීකරණය කිරීමට අප කැමති දැයි ඔවුන් අපෙන් අසන විට ඔවුන් අපගේ අනුකූලතාවය පරීක්ෂා කරන බව අප දැන සිටිය යුතුය. අපි ක්‍රමානුකූලව සිදුවන වර්ධනයේ තිත් සම්බන්ධ කරගත යුතුය. හරි වැරැද්ද පිළිබඳ අපගේ සහජ හැඟීම කා දැමීමට අපි ඔවුන්ට ඉඩ නොදිය යුතුය. එසේ නැතහොත්, මුදල් මුද්‍රණය හේතුවෙන් උද්ධමනය ඇතිවන බව කීම ව්‍යාජ ප්‍රවෘත්තියකැයි ඔවුන්ගේ ගණකාධිකාරීවරයා අපට පවසන විට අපට සිදුවන්නේ කුමක්ද?
ඉදිරි මග; ගෞරවනීය ආර්ථිකයක්…
අප්‍රේල් මාසයේ එක්තරා බ්‍රහස්පතින්දා රාත්‍රියක, විදුලි පන්දම් දැල්වූ අඳුරේ, මම නිදහස් ස්මාරකයේ බිම වාඩි වූයේ, අරගලයෙන් මතු වූ සිදුවීම් ඒකාබද්ධ කරන, මගේ ප්‍රියතම උද්‍යෝගී පුරවැසියකු වන, සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු හා විෂය ප්‍රවීණයකු වෙතින් අධ්‍යාපනයක් ලැබීම සඳහාය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුනනාදන් මහත්මියගේ එම සැසිය තුළ සාරගර්භ දැනුමක් හා විස්මයක් ගැබ් විය.
කෙසේ වෙතත්, පුද්ගලයෙකුගේ අභිමානය පහත හෙළීම සමග අමානුෂිකත්වය සහ ප්‍රචණ්ඩත්වය පවා මුදාහරිනු ලබන ආකාරය දෙසට සංවාදය යොමු වූ විට විශේෂිත හැඟීමක් ඇති විය. එහිදී බෙදාගත් උදාහරණය වූයේ බන්ධනාගාර නිලධාරීන් සහ වඩාත්ම කණිෂ්ඨ පොලිස් නිලධාරීන් පිළිබඳවයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ලැබෙන්නේ දුර්වල වැටුප් සහ අඩු සම්පත්ය. ඇතැම් පොලිස් ස්ථානවල පිරිසිදු හෝ ආරක්ෂිත කාර්ය මණ්ඩල පහසුකම් නොමැත. මහජන මතකයෙන් මතු වූ සමාන්තර උදාහරණයක් වූයේ කොවිඩ් වසංගතය හමුදා බැරැක්ක කරා පැතිරුණු විටදී, නිවාඩුගොස් සිටි සෙබළුන් හදිසියේම ආපසු කැඳවූ ආකාරයයි. රට වෙනුවෙන් බොහෝ දේ කළ තරුණ සොල්දාදුවන් ඔවුන් රැගෙන යාමට බස් රථයක් පැමිණෙන තෙක් රාත්‍රිය එළිමහනේ බිම නිදා සිටින ආකාරය දැක්වෙන ඡායාරූප සංසරණය විය. ඔබට රැකියාවේදී ලැබෙන්නේ අඩු සම්පත් හෝ අඩු සහයෝගයක් බව සහ ඔබට අවශ්‍ය සරල ගෞරවය හෝ ලබාදෙන්නේ නැතැයි සිතන්න.
ඒ සමගම, ඔබටත් වඩා අවදානමට ලක්විය හැකි සිරකරුවන් පාලනය කිරීමේ අධිකාරිය සහ බලය ඔබේ රාජකාරිය අනුව ඔබට ලබාදී ඇතැයි සිතන්න. ඔබේ රාජකාරියේ ස්වභාවය අනුව ඔබට වඩා හොඳ සම්පත් ඇති අයෙකුට එරෙහිව බලය පාවිච්චි කිරීමට ඔබට අවස්ථාව ලැබිය හැකිය. එනම්, සාමාන්‍ය මහජනතාව විනයගත කිරීමේ අධිකාරී බලය යෙදවීමට පවා ඔබට හැකි වීමට පුළුවන. එහිදී ඔබ කටයුතු කරන්නේ කෙසේද?
මගේ තර්කය නම්, අපගේ සමාජ ක්‍රමය එහි ජනතාවට ලබාදෙන්නේ අගෞරවයක් නම් සහ එහි ව්‍යුහය ඔස්සේම ප්‍රචණ්ඩත්වයේ විභවයක් ඉදිරියට ගෙන යන්නේ නම්, එයින් මිදීමට ඇති එකම මාර්ගය අපගේ ආර්ථික අර්බුදය විසඳාගැනීම බව අප පිළිගත යුතුය. එය දීර්ඝ කාලයක් ගතවන ක්‍රියාවලියකි.
බදු ආපසු හඳුන්වාදීම සහ රාජ්‍ය අංශයේ දිගුකාලීන ප්‍රතිසංස්කරණ සිදුකිරීම වැනි දුෂ්කර දේවල් කිරීමට අප කැමති විය යුතු අතර රටක් ලෙස අප පවතින්නේ කළමනාකරණය කරගත නොහැකි ණය කන්දරාවක් මත නොවන බව සහතික කරගත යුතුය. එහෙත්, ඒ අතරතුර අප මිනිසුන්ගේ අයිතිවාසිකම් සහ අභිමානය පිළිබඳ මහත් සැලකිල්ලෙන් යුතුව මූලික ආහාර, නිවාස, ඖෂධ වැනි මූලික අවදානම්වලින් ඔවුන් සුරක්ෂිත කළ යුතුය.
මංගල සහ කණ්ඩායම විසින් 2018දී පාර්ශ්වකාර උපදෙස් මත සම්පාදනය කරන ලද අයවැයේදී, විශේෂයෙන්ම මව්වරුන් සහ කාන්තා ගෘහමූලික පවුල්වල ක්ෂුද්‍ර මූල්‍ය ණයවලින් රුපියල් බිලියන 1.25 ක් (එවිට අපට කළ හැකි මට්ටමින්) අහෝසි කරන විට හෝ ආබාධිත ප්‍රවීණයන්ගේ දීමනා සහ විශ්‍රාම වැටුප් පිළිබඳ අවධානය යොමු කළ විට (රණවිරු රාජපක්ෂ අසමත් වූ දෙයකි) හෝ අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අවශ්‍ය උපකරණ මොනවාදැයි සොයාබලන විට හෝ දුප්පත් ග්‍රාමීය මට්ටමේ ආගමික ස්ථාන සඳහා ප්‍රතිපාදන සපයන විට හෝ හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් (සැබෑ මත්ද්‍රව්‍ය මාෆියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුදල් ලබාදෙති) අපරාධකරුවන් බවට පත්කිරීම වෙනුවට ඔවුන් පුනරුත්ථාපනය කිරීම සඳහා මුදල් සම්පාදනය කරන විට හෝ වින්දිතයින්ට මහජන උසාවියේදී ඔවුන්ගේ වේදනාව නැවත නැවත සිහිපත් වන පරිදි සාක්ෂි දීමට අවශ්‍ය නොවනු පිණිස අපගේ උසාවි වෙනුවෙන් වීඩියෝ උපකරණ සඳහා මුදල් වෙන්කරන විට හෝ ඒ පසුපස තිබුණු ආර්ථික සලකා බැලීම් ගෞරවය පිළිබඳ පොදු හුයකින් බැඳුණු බවක් පෙනෙන්නට තිබුණි.
… සහ ප්‍රජාතන්ත්‍රවාදයේ දුෂ්කර කාර්යය
ප්‍රජාතන්ත්‍රවාදය පහසු නම් අපි හිට්ලර් කෙනෙකු ඉල්ලාසිටින්නේ නැත. ඇතැමෙකු ලී ක්වාන් යූ කෙනෙකු ඉල්ලා සිටින්නට ඇත. එහෙත්, ලෝකයේ ඔබේ තේරීම තවමත් ගෝඨාභය රාජපක්ෂ වූයේ කෙසේද?
දැන් අලුත් මතය වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225ම එපාය යන්නයි. 'පිටස්තර', 'දේශපාලක නොවන' ලේබල ගෝඨාභය රාජපක්ෂටත් ඇමරිකානු ට්‍රම්ප්ටත් ලැබුණේ එකම කාලකන්නි පදනමකින් බවත්, මිලිටරිකරණය සාධාරණීකරණය කිරීමේ පහසුම මාර්ගය එය බවත් මා ඔබට පැවසුවහොත් ඔබ කියන්නේ කුමක්ද? දැන් අප සියල්ලෝම 'හදිසි තත්වයක්' යනු කුමක්දැයි දන්නා අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් වධහිංසාවට ලැබෙන අවකාශය ගැන ද අප දැනුවත්ය. අප මහජන ආරක්‍ෂක ආඥා පනතේ 12 වන වගන්තිය යටතේ හමුදාව යොදා ගැනීමට ඉඩ සැලසීම පිළිබඳවත් අනිවාර්යයෙන්ම දැනගත යුතුය. එසේ තිබියදීත්, අප තවමත් මිලිටරි පාලනය පිළිබඳ අදහසට එකඟද? වසංගතයට අපගේ හොඳම විසඳුම් ප්‍රවේශය වීමට එය සමත් වුණාද?
මාමි (මංගල) කිසි කලෙකත් පාර්ලිමේන්තුවේදී යහපත් දේ වෙනුවෙන් හුදෙකලා හඬක් වූයේ නැත. ඔහුට කළ හැකි වූ සෑම යහපතක්ම සම්බන්ධයෙන් සමාන අදහස් ඇති අනෙක් අයට ස්තූතිවන්ත විය යුතුය. වාසනාවකට ඔවුන්ගෙන් ඇතැමෙක් අදටත් පාර්ලිමේන්තුවේ සිටිති. අපි පක්ෂ භේදවලින් ඔබ්බට ගොස් සලකා බැලුවහොත්, සිංහල, බෞද්ධ, විෂම ලිංගික පිරිමින් අවධාරණය කරමින් සලකා බැලුවහොත්, ඔවුන් අතර ප්‍රශංසාවට, නැවත තේරී පත්වීමට සහ මූල්‍ය සහයෝගයට ( ප්‍රචාරක මූල්‍ය රෙගුලාසිවලට අනුකූලව යයි සිතා සලකා බැලූ විට ) සුදුසුකම් ලබන ජාතික නායකයින් කිහිප දෙනෙකු විවිධ පක්ෂවල සිටින බව අපට පෙනෙනු ඇත. දැන් බොහෝ දුරට මෙම විමර්ශනය සිදුවීමට පටන් ගෙන ඇතැයි මම සිතමි.
අපට සහ ඔවුන්ටද ලැබිය යුතු දෙය (අවංකව, එය උරාගත යුත්තේ ජාතිවාදී මැරයන්ගේ වැඩ පරිසරයක සිටිමිනි) වන්නේ මූල්‍යකරණයයි. එසේම, අනාගතයේදී ඔවුන් සමග එක්වීම සඳහා වඩා යහපත් පිරිසක් තෝරාගැනීමයි.
විධායකය අහෝසි කිරීම අද අත්‍යවශ්‍ය ඉල්ලීමකි. දේශපාලනීකරණයෙන් ඉවත්වීමට සහ ඇතැම් ආයතනවල ස්වාධීනත්වය, බලතල සීමා කිරීම්, සංවරණ හා තුලන සහ ප්‍රජාතන්ත්‍රවාදී සහන සඳහා ඇති මාර්ගය වන්නේ එයයි. ඒ පිළිබඳ කතා කිරීම සඳහා මම ඒ ගැන දන්නා අයට ඉඩ දෙමි. මට කිවහැකි එකම දෙය නම්, විවිධ දෘෂ්ටිකෝණවලින් යුත් පුද්ගලයන් සමඟ විවාද කිරීම, අදහස් සාකච්ඡා කිරීම සහ එකඟතාවන් සෙවීම අප කැමති ප්‍රමාණයට වඩා වෙහෙසකර කාර්යයක් වන බවයි.
අප එම කාර්යය නැවත වරක් අත්හැරියහොත්, ඒ වෙනුවට ප්‍රෝඩාකාරී 'හිතකාමී ඒකාධිපතියෙකු' ශක්තිමත් වීමට හෝ ගැලවීම සඳහා එක් පුද්ගලයකු මත රඳාසිටීමට සිදුවනු ඇත. නැවතත් කුරිරු පාලනයක් පත්විය හැකිය. එබැවින් ඒ වෙනුවට සිවිල් අධ්‍යාපනය සහ සම්බන්ධ වීම වැඩි කරන්නේ කෙසේද? සිහිනය සැබෑ කරන කණ්ඩායම් වෙත ප්‍රතිලාභ ලබාදෙන්නේ කෙසේද? වඩා හොඳ ශ්‍රී ලංකාවක් සඳහා තම අදහස් වෙනුවෙන් ජන වරමක් ලබා ගැනීමට කැමති අයට තරඟකාරී, සාධාරණ සහ සාමකාමී මැතිවරණයකදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම මගින් එය කළ හැකි වන සේ නව පක්ෂ පිහිටුවීමට ඇති අනවශ්‍ය බාධාවන් අවම කරන ලෙස මැතිවරණ කොමිසමට බලපෑම් කරන්නේ කෙසේද? අප සියලුදෙනා ක්‍රීඩා කළ යුත්තේ අපේ ලංකා මාතාවගේ කණ්ඩායම ලෙසයි.
සියල්ල සාර්ථක වුවහොත් කුමක් සිදුවේද?
මිතුරෙකු යෝජනා කළ පරිදි ප්‍රජාව සම්බන්ධයෙන් අපට ඇතැම්විට සිංගප්පූරුව හෝ රුවන්ඩාව සේ ප්‍රජාතන්ත්‍රවාදී පරිකල්පනයක් අපේක්ෂා කළ හැකිය. සිංගප්පූරුවේ කොන්ක්‍රීට් ගොඩනැඟිලි අප විසින් ඕනෑවට වඩා ඇගයීමට ලක්කරන ලදී. එහි පරිසරය දේශගුණික අර්බුද සමඟ සංවර්ධනය පැත්තෙන් ගැටලු සහගත වී තිබේ. එහෙත්, එහි විවිධ දේශීය ප්‍රජාවන් සහ ජාත්‍යන්තර පදිංචිකරුවන් බොහෝ දුරට සහජීවනයෙන්, සහයෝගීතාවයෙන් සහ නව්‍යකරණයෙන් එකට තරඟ කර සමෘද්ධිමත්ව ජීවත් වන ආකාරය අපට ආදර්ශයට ගත හැකිය.
අපගේ වර්ණවත්, සජීවී ශ්‍රී ලංකාව ගැන අපි ආඩම්බර වන්නෙමු. එහෙත්, එහි සියලු ජනවාර්ගික, ආගමික, ස්ත්‍රී පුරුෂ සහ වෙනත් ලිංගික අනන්‍යතාවන්ට සමාන වටිනාකමක් සහ අන් අයට ගෞරවයක් ලබාදීමෙන් අපට අභිමානයෙන් යුතුව හිස එසවිය හැකිය. අප බුදුන් වහන්සේගේ අඩිපාරේ ගමන් කරන්නේ නම්, බුදුදහමට වඩාත්ම ප්‍රමුඛස්ථානය දිය යුතු තැන වන්නේ අපගේ සිතුවිලි සහ ක්‍රියාවන්හි අප කෙරෙහිත් අන් අය කෙරෙහිත් පවතින සාමකාමීත්වය තුළය.
අපේ සහෝදර ලාංකිකයන් අතර භීතියක් ඇති කරන්නට කිසිවකු උත්සාහ කළහොත්, අප ඔවුන් දැකිය යුත්තේ අපට වේදනාව ඇතිකරන්නන් ලෙස පමණි. ඔවුන් ප්‍රජාවක් නිර්වචනය නොකරනු ඇත, ඔවුන් එකිනෙකා පිළිබඳ අපගේ නරක සිතුවිලි ගැන සැලකිලිමත් නැත. ඔවුහු අපව අනාරක්ෂිත හෝ අප ගැනම බියපත් තත්වයක් ඇති නොකරති.
ඔවුන්ට අපව අස්ථාවර කිරීමට හෝ අපගේ සිහින ගොඩනඟාගෙන ජීවත්වීමට බාධා කිරීමට නොහැකි වේ. මෙම සිහිනය සැබෑවක් කරගැනීමේ හැකියාව මා දුටුවේ කොහේදීදැයි ඔබ දන්නවාද? සියල්ලන් විසින් අලුතින් නිර්මාණය කරන ලද විකාශනය වන ජාතික ගම්මානවල හොඳම අභිප්‍රායයන් සහ ඒකාබද්ධ උත්සාහයන් පැවති ගෝටාගෝගම්හිදීය.
චංචලා ගුණවර්ධන
Twitter: @Chanch_SL
(ලේඛකයා මංගලගේ ලේලියයි. ඇය කෘෂි ආහාර අපනයනය කරන බිස් කිඹුල කිතුල් නිර්මාතෘ වන අතර samaraweerafoundation.org භාරකරු සහ මංගලගේ ඩිජිටල් මාධ්‍ය මධ්‍යස්ථානය වන Freedom Hubහි සහයෝගිතාකරු වේ. මෙම ලිපිය මුලින් ඉංග්‍රීසි බසින් 2022 අප්‍රේල් ප්‍රකාශයට පත්කරන ලදී.)