පසුගිය අප්‍රේල් මාසයේ සිට රට තුළ මතු වූ අර්බුදජනක තත්ත්වය ජූලි මාසයේ 09 දින සිදුවූ කොළඹ වට කිරීමත් සමගින් අලුත් ඉසව්වකට ගමන් කළේය.



ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් ජනාධිපතිධුරයට පත් වී සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන්ගේ තනතුර අතහැර යන්නට වන තරම් බරපතළ ජනතා නැගිටීමක් ජූලි මාසයේ සිදු විය. ඒ සිදුවීම මගින් රටේ දේශපාලනයේ ඇති වූ වෙනස්කම් කවුරුවත් බලාපොරොත්තු වූ ඒවා නොවේ.

හිස් වූ ජනාධිපති තනතුරට පාර්ලිමේන්තුවෙන් අයෙක් තෝරා ගත යුතු වූ අතර, ඒ සඳහා බහුතර ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්විය. එතුමාගේ පක්ෂයට පාර්ලිමේන්තුවේ තිබුණේ එක් මන්ත්‍රී ආසනයක් වුවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතරින් බහුතරය වික්‍රමසිංහ මහතා ජනාධිපති වශයෙන් පත් කිරීමට කටයුතු කළ බව ඉතාමත් පැහැදිලි කරුණක් විය.

මෙවර කිවිදා දැක්මෙන් මා ලියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ පාලනයේ කඩාවැටීම හෝ වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳ කාරණයක් නොවේ. ඒ කරුණු දෙක පිළිබඳව මීට පෙර සාකච්ඡා කර ඇත.


මෙවර කිවිදා දැක්මෙන් අවධාරණය කරන්නේ රටේ තත්ත්වය මෙතැනින් එහාට යන්නේ කොහොමද කියාය. මෙතැනින් එහාට විය හැක්කේ මොනවාද කියාය. ඒ පිළිබඳව යම් ආකාරයක තේරුම් ගැනීමක් අවශ්‍යම තැනට රට පත්වී ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වූවාට පාර්ලිමේන්තුවේ එතුමන්ට ඇත්තේ එක ආසනයක් නිසා රටේ අනාගතය රැඳී තිබෙන්නේ කාටවත් නොපෙනෙන තැනකදැයි කවුරුවත් දන්නේ නැත. ඒ නිසා මෙතැනින් එහාට වෙන්නේ මොනවාද කියා එළිපිටම සාකච්ඡා කිරීම ඉතාමත් අවශ්‍යය.


ආණ්ඩු පක්ෂය කවුද?

rnil dinesh susil

පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා තෝරා ගැනීමත් සමගින් රටේ ව්‍යවස්ථාදායකයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වූවා යැයි පැවසීමේ වැරැද්දක් නැත. ජනාධිපති තනතුරට එජාප නායකයා පත්වූ අතර, අගමැති තනතුරට මහජන එක්සත් පෙරමුණේ නායකයා පත් විය. සභානායක වූයේ ස්වාධීන කණ්ඩායමේ නායකයෙක් වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාය.

මේ පත්කිරීම් දෙස බැලූ විට පෙනෙන්නේ ආණ්ඩු පක්ෂයම වෙනස් වී, මෙතෙක් තිබුණාට වඩා අලුත් තත්ත්වයකට පත්වූ ආකාරයක්ය. විශේෂයෙන්ම දිනේෂ් සහ සුසිල් යනු සමාජයේ පිළිගැනීමක් තිබෙන දේශපාලනඥයන් දෙදෙනකු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඒ නිසා ආණ්ඩුව ගෙනියන කණ්ඩායම දෙස බලන අයකුට මේ ආණ්ඩුව පරණ ආණ්ඩුවලට වඩා අලුත් යැයි සිතීමේ ඉඩක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මේ සියලු නායකයන් යටින් ආණ්ඩුව මෙහෙයවන්නේ බහුතර කණ්ඩායමේ බලය මගින් යැයි සිතීමේ වැරැද්දක් නැත. ඒ නිසා පෙනෙන්නේ අලුත් පෙනුමක් වුණාට කෙරෙන්නේ පරණ වැඩ ටිකම යැයි කියන්නට වෙන දිනය වැඩි ඈතක නොවන බව මගේ අදහසය.

 

නව ජනාධිපතිතුමන් යෝජනා කරන ලද සර්ව පාක්ෂික ආණ්ඩු සංකල්පයට වෙමින් පවතින්නේ කුමක් දැයි ජනාධිපතිතුමාටවත් නොතේරෙන ගානට එය අසාර්ථක වෙමින් තිබෙන්නේ මේ කාරණය නිසා බව මගේ අදහසය. විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ 22 ව්‍යවස්ථා සංශෝධනයටත් මේ ඉරණමම අත්විය හැකි බව මගේ අදහසය.

 

ආර්ථිකය කොයිබටද?


ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කඩාවැටුණේ මූලික වශයෙන්ම ආර්ථික කළමනාකරණයේ දුර්වලකම නිසාය. ආර්ථික ක්ෂේත්‍රයේ ගත යුතු තීරණ නොගැනීමත්, සමහර තීරණ වැරදියට ගැනීමත් යන හේතු දෙක නිසා මේ කඩාවැටීම සිදුවූ බව බැලූ බැල්මට පෙනී යන කාරණයයි.

මහ බැංකුව, මුදල් මණ්ඩලය, මහා භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය යන ආයතන මේ සම්බන්ධව වගකිවයුතු බව ඉතාමත් පැහැදිලිය.

වත්මන් ආණ්ඩුව පත්වී සති ගණනක් ගතවී ගොස් ඇති නමුත්, ආර්ථික ක්ෂේත්‍රයේ සැලකිය යුතු ප්‍රගතියක් අත්වී නොමැති බව පෙනෙන්නට තිබෙන කාරණයකි. විශේෂයෙන්ම IMF ණය සම්බන්ධව කියවෙන විවිධ කතාවලින් එහාට ශක්තිමත් පියවරක් ගෙන තිබේදැයි පැහැදිලි නැත.

 

මේ ආර්ථික අර්බුදය ජයගැනීමේ වැඩසටහන සමග රටේ වෙනත් ක්ෂේත්‍රවල තත්ත්වය ද එකට ගැටගැසී ඇති බව කිව යුතුය. රටේ දේශපාලන ක්ෂේත්‍රයේ ස්ථාවරභාවය, එවැනි වෙනත් ක්ෂේත්‍රයක තිබෙන ඉතාමත් වැදගත් කාරණයකි. එසේම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ද ආර්ථික තලයේ ජාත්‍යන්තර තීරණවලට ඍජුවම සම්බන්ධ වන බව පෙනීයයි.

 

PTA නීතිය යළිත් යොදා ගැනීම සම්බන්ධව යුරෝපීය සංගමය, මහා බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව දක්වා ඇති අදහස්වලට රජයේ අවධානය යොමු කිරීම ඉතාමත් අවශ්‍යය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර මණ්ඩලයට මේ රටවල්වල ඍජු සම්බන්ධයක් පවතිනවා පමණක් නොව, එම කළමනාකාර මණ්ඩලයේ සාමාජිකයන් අතරින් බහුතරයක් නියෝජනය වන්නේ ද යුරෝපීය සංගමයේ රටවල්ය.

 IMG 20220816 WA0008

හම්බන්තොටට ආ චීන නෞකාව...

 

ස්ථාවරභාවය සහ PTA යොදා ගැනීම යන මාතෘකා දෙකට අමතරව ආර්ථික ක්ෂේත්‍රයට සම්බන්ධ තවත් පැත්තක් වන්නේ රටේ විදේශ ප්‍රතිපත්තිය නිවැරදිව තබා ගැනීමය. පසුගිය සතියේ සිදුවූ චීන ඔත්තු බැලීමේ නෞකාව සම්බන්ධ කාරණයත් මේ සඳහා හොඳම උදාහරණයක්ය.

සමහරුන් සිතන්නේ විදේශ ප්‍රතිපත්තිය එතරම් වැදගත්කමක් නැති දෙයක් ගානටය. විශේෂයෙන් 2019 සිට පැවැති අපේ රජයේ විදේශ ලේකම්වරයා වශයෙන් විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු පත් කළේත් එසේම එම විෂය එතරම් වැදගත්කමක් නැතැයි සිතූ නිසා විය යුතුය.

ඒ කෙසේ වෙතත් ඉන්දියාවත්, චීනයත් යන ප්‍රධාන රාජ්‍ය දෙක එකිනෙකාට ගැටෙන තත්ත්වයක, අපි රටක් ලෙසින් උපක්‍රම තේරිය යුත්තේ ඉතාමත් පරිස්සමටය.

 

ඉන්දියාවේ හොඳ හිත නොමැතිව ඇමරිකාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල සහය ලබාගැනීම අසීරුය. එසේම චීනයේ සහාය නොමැතිව ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීමට හැකියාවක් නැත. මේ දෙපැත්තම රැක ගන්නේ නැතිව IMF එකඟතාව ආරක්ෂා කර ගැනීමට අසීරුය.

 

ඒ නිසා දේශපාලන ස්ථාවරභාවය, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සහ විදේශ ප්‍රතිපත්තිය යන ක්ෂේත්‍ර තුන ආර්ථිකයට ඍජු ලෙසින් බලපාන්නේ නැතැයි සිතා කටයුතු කිරීම ඉතාමත් බරපතළ වැරැද්දක් බව මගේ මතයයි.


දේශපාලන අර්බුදයක්?


මගේ අදහස වන්නේ අපේ රට ආර්ථික හේතුවක් නිසා අවුල් වෙන්නට පටන් ගත් අතර, දැන් එය දේශපාලන අර්බුදයක් බවට හැරෙමින් පවතින බවයි. මේ කාරණයට හැමෝගේම අවධානය යොමු කළ යුතු බව මගේ යෝජනාවය. මෙතැන හැමෝම කියන්නේ ජනාධිපතිතුමන් ඇතුළත් ආණ්ඩුවටත් එක්කය.

පසුගිය මාස 04 කාලය තුළ සිදුවූ සිදුවීම් මගින් පෙන්නුම් කරන්නේ මේ මාස කීපය ගත වුණේ අර්ධ වශයෙන් ව්‍යවස්ථාවට අනුව සහ අර්ධ වශයෙන්  ව්‍යවස්ථාවට එරෙහි ක්‍රියාකාරකම් මාලාවක් සහිතව බවයි.

ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් සමහරුන් පාරේ අරගල කරන්නට පටන් ගන්නේ ව්‍යවස්ථානුකූල විරෝධතා ලෙසින්ය. එහෙත් ඒ විරෝධතා මැයි 09 දින වන විට ගමන් කළේ බරපතළ නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී තත්ත්වයකය.

මැයි 09 සිට ජූලි 09 දක්වා සිදුවූ සමහර ක්‍රියා නීත්‍යානුකූල ඒවා වුවත්, තවත් සමහර ඒවා තනිකරම සිදු වූයේ නීතියට එරෙහිව බව ඉතාමත් පැහැදිලිය. සමහර දේවල් සිදුවුණේ ප්‍රජාතාන්ත්‍රික අවකාශයක නොව බලපෑම් සහ තර්ජන හමුවේ බවත් ඉතාමත් පැහැදිලිය.

 

කෙටියෙන්ම කිවහොත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනපති ධුරයෙන් ඉවත් වූයේම බලපෑම සහ විරෝධතාව කළමනාකර ගැනීමට නොහැකි වූ විට යැයි සිතීමේ වැරැද්දක් නැත.

 

මේ දිනවල සිදුවෙමින් පවතින දේවල් දෙස බැලූ විට හැඟීයන්නේ මේ කාලයේ (මැයි 9 ජූලි 09 අතර තුර) සිදුවූ බලපෑම් සහගත ක්‍රියා සියල්ලම ගැන ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නට පටන් ගෙන ඇති බවයි.

 ඒ කාලයේ බලපෑම් නිසා හා විරෝධය හේතුවෙන් සිදුවූ බරපතළම දෙය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන්නට සිදුවීමයි.

එයත් නිවැරැදි කරන්නට ආණ්ඩුව යන්නේ දැයි මා දන්නේ නැත.

 

බැලූ බැල්මට පෙනෙන්නේ ගෝඨාභය ඉල්ලා අස්වීම හැර අනෙකුත් සියලුම අනීතික ක්‍රියා නිවැරැදි කරන්නට ආණ්ඩුව මහන්සි වෙනවා වගේය.

 

ඒ තත්ත්වය කෙසේ වෙතත් විරෝධතාකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්නට දරන උත්සාහය අනෙකුත් ක්ෂේත්‍රවලට නොදැමීම හේතුවෙන් රටේ බරපතළ දේශපාලන අර්බුදයක් මතුවීමේ ඉඩක් තිබෙන බව මගේ අදහසය. මේ දේශපාලන අර්බුදය ලෙසින් මා දකින කාරණයේ ප්‍රධාන පැති තුනකින් මතුවෙමින් පවතින බව මගේ අදහසය.

 

පළමු කාරණය වන්නේ රටේ ජනතාවගේ අභිලාෂය හා මහජන මතය නොසලකා හරිමින් රට පාලනය වන්නේ යැයි ජනතාව තුළ ඇති පිළිගැනීමයි.

 

69 ලක්ෂයේ ජන වරම හෝ තුනෙන් දෙකේ පාර්ලිමේන්තු ජන වරම යන දෙකටම එහා ගිය බරපතළ ජනතා මැදිහත්වීමකින් හිටපු ජනාධිපතිවරයාටත් අස්වී යන්නට බල කෙරුණු තත්ත්වයක, එම මහජන මතය නොසලකා හරිමින් සිටින බවට රට තුළ මතුවන මතවාදය ඉතාමත් දරුණු තැනකට ගමන් කළ හැකි බව මගේ අදහසයි.

1982 ජනමත විචාරණයක් හරහා මහජන මතය නොසලකා හරින්නට උත්සාහ දැරීම නිමා වූයේ 1989 බරපතළ ව්‍යසනයකින් බව මෙහිදී සඳහන් කිරීම ඉතාමත් අවශ්‍යය.

 

දෙවනුව ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව ක්‍රියා කරන ආකාරය හා පාර්ලිමේන්තුව මේ මොහොතේ රටේ ජනතාව නියෝජනය කරන්නේද යන කාරණය මෙහිදී අවධාරණයට ගත යුතු බව මගේ අදහසයි.

 

පාර්ලිමේන්තුවේ බහුතරය හිමි පක්ෂය විසින් සියලු පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් තමන්ගේ කැමැත්තට සිදු විය යුතු යැයි සිතුවහොත් රට තුළ පාර්ලිමේන්තුවට ඇති පිළිගැනීම තවත් අර්බුදයට ගමන් කළ හැකි බව පැහැදිලිය.

 පාර්ලිමේන්තුව යනු රටේ ජනමතයේ නියෝජනයක් නොවේ යන තැනට ඒ ආයතනය සම්බන්ධ පිළිගැනීම කඩාවැටීමට ඉඩ නොදිය යුතු බව මගේ යෝජනාවය.

 

තුන්වෙනුව විධායක ජනාධිපතිධුරය සහ ජනතාවගේ සම්බන්ධතාව බරපතළ ආකාරයෙන් දුරස්වීමක් පෙන්නුම් කරන බව ද ඉතාමත් පැහැදිලිය. ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියේ දැක්වෙන්නේ ජනාධිපතිධුරය යනු ජනතාව සතු බලයක් විධායකයක් ලෙසින් පත් කිරීමක් බවයි.

 

එහෙත් එයට ව්‍යතිරේඛයක් වශයෙන් ව්‍යවස්ථාවේ 40 වගන්තියේ දක්වා ඇත්තේ ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයා ඉවත් වූ විටෙක අනුප්‍රාප්තක ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් පත්කර ගත යුතු බවයි. දැන් සිදුවී තිබෙන්නේ එයයි.

එවැනි අවස්ථාවක එම ජනාධිපතිවරයා සහ ජනතාව අතර ඇති විය යුතු සමාජ සම්මුතිය හෙවත් Social Contract එක කුමක්ද යන ගැටලුව රට තුළ මතුවීමේ විභවතාවක් ඇත.

පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා යන ආයතන දෙකම තමන්ව නියෝජනය නොකරන්නේ යැයි ජනතාව සිතන්නට පටන් ගතහොත් ඒ ආයතන දෙකටම එරෙහිව රටේ අයිතිකරුවන් හඬ නගන්නට ඉදිරිපත්වීම අනිවාර්යයි.

ආර්ථික අර්බුදයකින් ගොඩ එනවාටත් වඩා දේශපාලන අර්බුදයකින් ගොඩ ඒම අමාරුය. ඒ නිසාම මේ කාරණා පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත් අවශ්‍යය.

 

දේශපාලන අර්බුදයක් ඇති නොවන පරිදි රට මෙහෙයවන්නට නම් මහජන මතය සමග එකට යන පාලනයක් දක්වා හැමෝටම වෙනස් වන්නට සිදුවන බව මගේ අදහසය.




jul(මහාචාර්ය චරිත හේරත්) -පා.ම.

(ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසද කටයුතු කළේය.)

(කිවිදා දැක්ම : ලංකාදීප- 2022 අගෝස්තු මස 26)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58