විජේ ඩයස් මගේ එක් ‘මුල්ගුරුවරයෙකු’ වූ බව ගිය සතියේ ලිවීමි. ඔහු එතැනින් නැවතුණේ නැත. ඔහු මගේ ‘ගැලවුම්කාරයා’ ද විය. මේ ඒ කතාවයි.



කීර්ති බාලසූරියගේ මරණයෙන් පසු දීර්ඝ කාලයක් විජේ ඩයස්ගේ නායකත්වය යටතේ ක්‍රියාකාරීව පැවති විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, කොළඹ කේන්ද්‍රීය බුද්ධිමය ස්ථරය අතර ආකර්ශණීය කළ ප්‍රධාන චරිත දෙකක් විය. ඉන් කෙනෙකු වන්නේ, මහාචාර්ය සුචරිත ගම්ලත් ය. අනෙක් කෙනා වන්නේ, මහාචාර්ය පියසීලී විජේගුණසිංහ ය. මේ දෙන්නාම අද ජීවතුන් අතර නැත.

 ඇත්ත වශයෙන්ම, කීර්ති බාලසූරිය සහ විජේ ඩයස් යන නම් දෙකට වඩා ලංකාවේ පාඨකයන්ට වඩාත් සහෘද චරිත දෙක වුණේ මහාචාර්ය සුචරිත ගම්ලත් සහ මහාචාර්ය පියසීලි විජේගුණසිංහ ය.

චවනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බහුශ්‍රැතයෙකු වූ සුචරිත ගම්ලත් මගේ ශාස්ත්‍රාලීය ගුරුවරයෙකු නොවුණි. ඒ වෙනුවට, සාහිත්‍ය කලා විචාර පිළිබඳ මගේ ප්‍රතිවාදියෙකු වුණි.

පියසීලී විජේගුණසිංහ, විශ්ව විද්‍යාලයේ මගේ පළමු වසරේ ගුරුවරියක් වූවාය. ඇය, විජේ ඩයස්ගේ බිරිඳ සහ යාවජීව සටන් සහායිකාව විය.

මෙසේ කී පමණින්, සැමියා-බිරිඳ පිළිබඳ ගතානුගතික අදහස පාඨකයන් තුළ ඇති වෙනවා නිසැකයි. අපේ කතාවට කෙළින්ම අදාළ නැතත්, ඒ ගැනත් වචනයක් කීම, මේ මාක්ස්වාදී ව්‍යාපාරයේ අපූරු ස්වභාවය හඳුනාගැනීමට ප්‍රයෝජනවත් විය හැකිය.

 

පියසීලි ගැන අවස්ථා කිහිපයකදී, “අපි ඒ සහෝදරීව පක්ෂෙන් පැන්නුවා!” යැයි විජේ ඩයස් අප සමග කියා තිබේ. එහි අදහස වුණේ, න්‍යායික ප්‍රශ්නයක් හේතු කොටගෙන, ඇය තවදුරටත් පක්ෂයේ ‘සහෝදරියක්’ වශයෙන් තමන් නොසලකන බව සහ අප විසින්ද එසේ නොසැලකිය යුතු බව ඇගේ සැමියා විසින්ම ප්‍රකාශයට පත්කිරීමකි! ඒ සියල්ල මධ්‍යයේ, පාසල් වියේ හටගත් මුල් ප්‍රේමයේ පටන් මරණය දක්වාම ඔවුන් දෙන්නා ආදරණීය අඹු-සැමියන් වශයෙන් සිටි බව මගේ වැටහීමයි.

Piyaseeli Wijegunasingheපියසීලී විජේගුණසිංහ

පියසීලී ඉතා රූමත් ය. වරක්, කලාව පිළිබඳ ඇගේ ප්‍රසිද්ධ දේශනයකට සවන්දෙමින් ඉදිරිපෙළ අසුනක වාඩි වී සිටි සයිමන් නවගත්තේගම සම්බන්ධ සිද්ධියක් තිබේ. පියසීලී මේ දේශනයේදී සයිමන් නවගත්තේගමගේ කලා භාවිතය ගැන රළු විවේචනයක් කළාය. ඇගේ දේශනය අවසානයේ, ඒ විවේචනය පිළිබඳ යමක් කීමට ඇත්දැයි නිවේදකයා සයිමන්ගෙන් ඇසීය.

“කියන්න කිසි දෙයක් නැහැ. මං හිටියෙ එතුමිය කියපු දේවල් අහගෙන නෙවෙයි. එතුමියගේ තොල් දෙක දිහා බලාගෙන! ඒක හරි ලස්සණයි!” යන්න සයිමන්ගේ උත්තරය විය. න්‍යායික ලෝකයක සහ සෞන්දර්යාත්මක ලෝකයක මහත!


දෙඤ්ඤං බැටේ විචාරය


මහාචාර්ය සුචරිත ගම්ලත් හැඳින්වුණේ, ‘දෙඤ්ඤං බැටේ’ විචාරකයා වශයෙනි. පියසීලි විජේගුණසිංහ සහ සුචරිත ගම්ලත් එකම දේශපාලන ව්‍යපාරයක දීර්ඝ කාලයක් තිස්සේ සටන් සගයන්ව සිටියත් අවසාන කාලයේ ඔවුන් අතරේ මහා විරසකයක් ගොඩනැඟී තිබුණි.

මට මතක විදිහට, පියසීලිගේ මරණයටවත් සුචරිත ගම්ලත් ආවේ නැත. එසේම, සුචරිතගේ මරණයට විජේ ඩයස් ආ බවක්ද මට මතක නැත. මෙවැනි නිකායික කඳවුරුවල විප්ලවීය විනය ඒ තරමට සාහසිකයි! පියසීලිගේ අවමංගල්‍යයට එදා ජනාධිපති (මහින්ද රාජපක්ෂ) මල්වඩමක් එවා තිබුණි. විජේ ඩයස් එය ආපසු හරවා යැව්වේය.

සමහරවිට, සුචරිතත් එදා අවමංගල්‍යයට ආවේ නම් අර මල්වඩමට සිදු වූ දේ තමාටත් සිදුවිය හැකි යැයි ඔහු සිතුවා වන්නටත් බැරිකමක් නැත.

රස විඳීම සහ විචාරය හෙවත් විමංසනය - ජයසිරි අලවත්ත

මහාචාර්ය සුචරිත ගම්ලත්

 

සුචරිත ගම්ලත්ගේ කලා විචාරය තුළ පැවති කර්කශ භාවය නිසාම, ඔහුගෙන් සිංහල සාහිත්‍යයට සහ කලා විචාරයට ගත හැකිව තිබූ අගනා සේවය එයාකාරයෙන්ම නොලැබුණේද යන කුකුස මට තිබේ.

මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස, පරාක්‍රම කොඩිතුවක්කු, ප්‍රේමතිලක පේරුකන්ද, නිහාල් පීරිස් වැනි ශාස්ත්‍රාලීය සහ නිදහස් කලා විචාරකයන් සමග විවිධ පුවත්පත් ඔස්සේ ඔහු ගෙන ගිය බොහෝ වාද-විවාද, ඉතා පක්ෂග්‍රාහී වූවත්, ඔහුගේ බහුශ්‍රැත බව මොනවට විදහා පෑවේය.

1995 දී ‘යුක්තිය’ පත්තරයට ඔහු, “දෝන කතිරිනා හා මාරුතය- හෙළ කලා විචාරයේ නිරුවත හෙළි කළ කලා කෘති දෙකක්” මැයෙන් දීර්ඝ ලිපියක් ලීවේය. මම ඊට “යථාර්ථය සරල රේඛීය නොවේ” යනුවෙන් (ප්‍රංශයේ සිට) පිළිතුරු ලිපි දෙකක් ලියමින් ඔහුගේ විචාර ස්ථාවරය විවේචනය කෙළෙමි.

ඔහු පෙරළා පිළිතුරු ලිපි කිහිපයක්ම ලීවේය. ඒවායේ ‘දෙඤ්ඤං බැටේ’ විචාරය නොඅඩුව තිබුණි. ඒ ලිපිවලින් මා උගත් එකම දෙය, මගේ භාෂාව ‘හඩු’ භාෂාවක් ය යන්න පමණි! භාෂාව පිළිබඳ මේ අවනඩුව වෙනත් අය සම්බන්ධයෙන්ද ඔහු පාවිච්චි කරන සුහුරු අවියක් බව පසුව මා දැක තිබේ.

එසේ වෙතත්, අවසානයේ අපි සහෘදයෝ වීමු. කලා විචාරය පිළිබඳව මා ඔහුගෙන් බොහෝ දේවල් ඇත්තෙන්ම උගත්තේ ඒ කාලයේ ය.

 

විජේ ඩයස් කෙරෙහි මට තිබුණේ දෙයාකාරයක බැඳීමකි. එකක්, විශ්ව විද්‍යාලය තුළ සිටි මගේ ප්‍රියතම ගුරුවරයා වශයෙනි. අනෙක, මගේ ඒ කාලයේ හිත ගිය දේශපාලනික ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයන් දෙන්නාගෙන් කෙනෙකු වශයෙනි. ඔහු මට ‘සහෝදරයා’ කියා ඇමතුවත් කිසි දවසක මා ඔහුට එසේ අමතා නැත. අවසානය දක්වාම, (පසුගිය වසර 20 ක පමණ කාලය තුළ මට ඔහු මුණගැසී නොතිබුණි) මා ඔහුට ඇමතුවේ ‘සර්’ කියා ය. මේ කාරණය මා අවධාරණය කරන්නේ, මේ ලිපිය අවසානයේ එන මුඛ්‍ය කාරණයේ බර අවබෝධ කරගැනීම සඳහා පමණි.

 

ඛේදවාචකය කෙරෙහි ආශක්ත වීම

jesus

සමාජවාදී දේශපාලන ක්‍රමය ගැනත්, සමාජවාදී ආර්ථික ක්‍රමය ගැනත් මගේ සැකසාංකා ඇති වෙන්නට පටන්ගෙන දැන් වසර හතළිහක් පමණ ඇති. ඊට කලින් මගේ වීරයන් දෙන්නා වුණේ, ලියොන් ට්‍රොට්ස්කි සහ යේසුස් වහන්සේ ය.

එදා මට සිතුණේ මෙසේ ය: මොවුන් දෙන්නාම සත්‍යය වෙනුවෙන් නිර්භයව පෙනී සිටියහ. ඒ වෙනුවෙන්, ජීවිතයෙන් වන්දි ගෙවූහ. උපතින් බෞද්ධයෙකු වන මට බුදුන් වහන්සේ පිළිබඳ එවැනි ‘වීරත්වයක්’ දැනී නැත්තේ, උන්වහන්සේද (පරම) සත්‍යය වෙනුවෙන් පෙනී සිටියත්, උන්වහන්සේගේ ජීවිතය තුළ අර ‘ඛේදවාචකය’ නොතිබුණු නිසා විය හැකිය.

 (ට්‍රොට්ස්කි දේශපාලන මතවාදයක් වෙනුවෙන් ජීවිතයම කැප කොට, එහි ප්‍රතිවිපාකයක් වශයෙන් අවසානයේ ඝාතකයෙකු අතින් මරුමුවට පත්විය. ක්‍රිස්තුස් වහන්සේව කුරුසියේ තබා ඇණගැසූ කතාව කවුරුත් දනිති).

 

අපේ කතාව ඉදිරියට ගෙන යාමට තවත් කෙටි පැහැදිලි කිරීමක් අවශ්‍ය කෙරේ: ට්‍රොට්ස්කිව ඝාතනය කෙළේ, ස්ටැලින්ගේ ඒජන්තයෙකු විසිනි. ස්ටැලින් 1922 සිට මරණය දක්වා (1953) සෝවියට් දේශයේ එකම නායකයා විය. මේ දෙන්නා ආශ්‍රයෙන් ‘වාද’ දෙකක් බිහි විය. එනම්, ස්ටැලින්වාදය සහ ට්‍රොට්ස්කිවාදයයි. සමාජවාදය එක රටක ඇති කරගත හැකි දෙයකැයි ස්ටැලින් විශ්වාස කෙළේය. ට්‍රොට්ස්කි කතා කෙළේ, ‘නොනවතින විප්ලවයක්’ ගැනයි. එනම්, ලෝකයේ වෙනත් රටවලත් සමාජවාදය ඇති කරගැනීමකින් තොරව, තනි රටක සමාජවාදයක් ඇති කරගත නොහැකි බවයි.

 

දැන් මගේ පවුලට මෙය ආදේශ කළොත් මෙසේ ය: මගේ පවුල පමණක් දියුණු කරගැනීම කළ නොහැක්කකි. මුළු රටම දියුණු කරගැනීම තුළින් පමණක්ය මගේ පවුලත් දියුණු කරගත හැක්කේ. ඊළඟට, මගේ රට පමණක් දියුණු කරගැනීමත් කළ නොහැක්කකි. මගේ රට දියුණු වනු ඇත්තේ මුළු ලෝකයම දියුණු කරගත්තොත් පමණි.

ඒ නිසා, ට්‍රොට්ස්කිට අනුව, අවසාන විසඳුම ලෝක විප්ලවයයි. එනම්, ධනපති ක්‍රමය මුළු ලෝකයෙන්ම තුරන් කර දැමීමයි.

මේ කියන කාලයේ (1977) ගුරුවරයෙකු වශයෙන් මගේ පඩිය රුපියල් 225 යි. දරුවන් තුන් දෙනෙකුගේ පියෙකි. හැම මාසයකම, දෙවැනි සතිය වන විට, මගේ අත්ඔරලෝසුව සියයට 20 පොළියට උකස් කොට රුපියල් 20-30 අතර මුදලක් ණයට ගැනීම හැම මාසයකම සිදුවන සිරිතකි. මාසයකට රුපියල් 10 ක් පක්ෂයට දිය යුතුව තිබුණි. එය බලහත්කාරයක් නොව, මගේ කැමැත්තෙන් සිදුකළ දෙයකි.

මන්ද යත්, ලෝක විප්ලවය පමා වන දවසක් පාසා මට සහ මගේ පවුලට ගොඩ ඒමක් නැතැයි විශ්වාස කළ බැවිනි.

පසු කලෙක (1980 ගණන්වල) මා ලංකාවට පැමිණි සෑම අවස්ථාවකම කීර්ති බාලසූරිය හෝ විජේ ඩයස් අපේ ගෙදර (කෑමකට සහ බීමකට) ආවේය. ඒ කාලය වන විට, සමාජවාදී විප්ලවය පිළිබඳ අදහස මා අතහැර සිටියත්, ඒ පක්ෂයේ අනුගාමිකයෙකු වශයෙන් මාව සැලකීම මා අතහැර තිබුණත්, ඉස්සරට වඩා නොමසුරුව මම ඔවුන්ගේ පක්ෂයට මුදලින් ආධාර කෙළෙමි.

 

මගේ මුල්ම පරිවර්තන කාර්යය, සාහිත්‍යයමය එකක් නොව දේශපාලනික එකකි. අයිසැක් ඩොයිෂ්චර් නමැති විශිෂ්ඨයා, ට්‍රොට්ස්කිගේ ජීවිත කතාව වෙළුම් තුනකින් (“ප්‍රොෆට් ආම්ඩ්”, “ප්‍රොෆට් අන්ආම්ඩ්” සහ “ප්‍රොෆට් අවුට්කාස්ට්” වශයෙන්) ප්‍රකාශයට පත්කොට තිබේ.

 

එහි මුල් වෙළුමේ පළමු පරිච්ඡේද තුන (පිටු 100), මගේ මුල්ම පරිවර්තන කාර්යයයි. ඒ දිනවල (1980 ගණන්වල) මා මෙන්ම පැරිසියේ වෙසෙමින් සිටි ආචාර්ය සරත් අමුණුගමට මම එය කියවීමට දුනිමි. එය ඉතා ඉහළින් අගය කළ ඔහු වෙළුම් තුනම සම්පූර්ණ කරන්නැයි නිතර ඇවිටිලි කෙළේය.

අමුණුගමගේ සාධනීය නිර්දේශයෙන් උද්දාමයට පත් මම, ඊළඟ වර ලංකාවට එන විට එය (පරිච්ඡේද තුන) ගෙනැවිත් විජේ ඩයස්ට කියැවීමට දුනිමි. ඔහුගේ නිර්දේශය වුණේ, මා පරිවර්තනය කළ යුත්තේ එය නොව, ට්‍රොට්ස්කි විසින්ම ලියන ලද “මයි ලයිෆ්” නමැති ඔහුගේ ස්වයං-චරිතාපදානය බවයි.

ඊළඟ අවුරුද්දේ මා ලංකාවට එන විට, විජේ ඩයස් අතින් ඒ පරිච්ඡේද තුන ‘අස්ථානගතව’ තිබුණි. එතැනින් මගේ දේශපාලනික පරිවර්තන කාර්යය අවසන් විය. (මේ සිද්ධිය පිළිබඳ දීර්ඝ කතාවක් ඇතත්, ඉඩකඩ මදිකම නිසා ඒ කොටස අතහරිමි).


විජේ ඩයස් මගේ ‘ගැලවුම්කරුවා’ වීම


2ed709be 8b9d 4295 90ce d0be53d58676

1977 මහ මැතිවරණයේදී කලාවැව ආසනයට විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ අපේක්ෂකයෙක් තරග කෙළේය. සති දෙකක් තිස්සේ පැවති අපේ ඡන්ද ව්‍යාපාරයට කොළඹින් ගියේ මමත්, අත්තනායකත්, විජේ ඩයසුත් ය. (විටින්විට තවත් දෙතුන් දෙනෙක් කොළඹින් ආහ).

එහෙත් ප්‍රධාන කථිකයන් වුණේ අප තිදෙනායි. ලව්ඩ්ස්පීකර් දමා, තරමක් විශාල වේදිකාවක පැවති අපේ රැස්වීම්වලට සවන්දීමට වැඩිම වුණොත්, 20-30 අතර ප්‍රමාණයක් ඉන්නට ඇති. (ඊට වඩා පොලීසිය සිටියේය).

එහෙත් අප කතා කෙළේ, මහා ජන ගඟකට කතා කරන විප්ලවීය ආවේශයකිනි. අප තිදෙනා නතර වී සිටියේ, හේනක අටවා තිබූ තනි කෑල්ලේ පොල්අතු පැලකයි. එහි වාසය කළ හේන් ගොවියා අපේ සාමාජිකයෙකි. එහි බූරු ඇඳක්, පුංචි බංකුවක් සහ පැදුරක් විය. තුන් වේලටම කෑවේ, බත් සහ පරිප්පු හෝ මඤ්fඤාක්කා ය.

දවස් කිහිපයක් හොඳටම වැස්සේය. අනෝරා වැස්සේම අපි රැස්වීම් කරගෙන ගියෙමු. වැස්සට තෙමී දවසක් මට තදින් උණ ගත්තේය. හවස පැලට එන විට, සර්වාංගයම වෙව්ලමින් සිටි මට බීමට පැනඩෝල් පෙත්තක් සොයාගැනීමට නොවුණි. අර ගොවියා කොත්තමල්ලි ටිකක් තම්බා දුන්නේය. රාත්‍රී 7 පමණ වන විට උණ තත්වය උත්සන්න විය. වෛද්‍යවරයෙකු සොයා යාමට පයින්ම සැතපුම් කිහිපයක් යාමට තිබේ. එය කළ නොහැකි වූ නිසා, රෑ කෑමත් එපා කියා මම බූරු ඇඳේ නින්දට වැටුණෙමි.

රාත්‍රී දහයට පමණ විජේ ඩයස් මාව ඇහැරෙව්වේය. ‘සහෝදරයා දැන් බිමට බහිනවද? මට දැන් නිදිමතයි’ යි ඔහු කීවේය. “බූරු” ඇඳෙන් මා අවදි වුණේ එදා ය!

 

සමාජවාදී උත්තම පුරුෂයා පිළිබඳ මගේ භාවමය සිහිනය මහා කම්පනයකින් දැදුරු වූ තීරණාත්මක මොහොත එයයි. ලෝක විප්ලවය නොව, තනි රටේ (පවුලේ) සමාජවාදය වෙනුවෙන් වෙහෙසිය යුතුය යන ‘ප්‍රතිගාමී’ අදහස මගේ හිතට තදින්ම වැදුණේ ඒ මොහොතේ විය යුතුය.

 

තවත් විදිහකින් කිවහොත්, (පවුල සම්බන්ධයෙන් ගත් විට) ට්‍රොට්ස්කිවාදියෙකුගේ සිට ස්ටැලින්වාදියෙකු බවට මා රූපාන්තරණය වුණේ එදායින් පසුවයි. එදා සිට අද දක්වා, මට කිසිවෙකු ‘සහෝදරයා’ කියා අමතනවාට මා කැමති නැත. ඒ වෙනුවට, අයියා, මල්ලී හෝ අන්කල් යන වචන මට අතිශය සහෘද ය.


පාන් ගෙඩිය හරි බරයි


ඒ තනි සිද්ධිය නිසා පමණක් මා වෙනස් වුණා නොවේ. ඉන්පසු යම් කාලයක් තුළ ඇති වූ සිද්ධි දාමයක එය එක් ප්‍රබලතම සංකේතීය සිද්ධියක් පමණි.

1980 එක් දවසක (ජුලි වැඩ වර්ජනයෙන් රැකියාව අහිමිව සිටියදී), රෑට පාන් ගෙඩියක් ගැනීමට රුපියලක් ගෙදර නොතිබුණි. මේ කාලය වන විට, අර ගිනිපොලීකාර කාන්තාව පවා මට ණය දීම අත්හිටුවා තිබුණි. බිරිඳගේ සියලු දේවල් උකස් කොට හෝ විකුණා තිබුණු නිසා, තුන්මුල්ලේ ඇක්වයිනාස් සරසවි නේවාසිකාගාරයට ගියොත් කාගෙන් හෝ රුපියලක් ඉල්ලා ගත හැකි යැයි සිතූ මම හවස හතරට පමණ පයින්ම එහි ගියෙමි.

ඒ වන විට විශ්ව විද්‍යාලයෙන් පිට වී වසර තුනක් ගෙවී තිබුණත්, මට පහළ වසරවල සිටි දේශපාලනික මිතුරෝ (ගෝලයෝ) ගණනාවක් තවමත් එහි සිටියහ. පැය ගානක් දේශපාලනය ගැන කතාබහ කළත්, ඒ කිසිවෙකුගෙන් රුපියලක් ඉල්ලීමට තරම් හයියක් ඇති කරගැනීමට මට නොහැකි විය.
 
 (රුපියලක් යනු, ඒ කාලයේ කෙනෙකුගෙන් ගෞරවාන්විතව ඉල්ලිය හැකි ණයක් නොවේ. අඩු වශයෙන්, වැදගත් වීමට නම්, රුපියල් දහයක්වත් ඉල්ලිය යුතුය. රුපියල් දහයක් ඉල්ලුවොත්, ලැබෙනවාට වඩා නොලැබෙන්ට ඇති ඉඩකඩ වැඩියි).

රෑ හත අට වන විට දරුවන් තිදෙනා නින්දට වැටෙන බව මම දනිමි. අවසානයේ කිසිවෙකුගෙන් රුපියලක් නොඉල්ලා එළියට එන විට, මගේ සිව්-වසරේ සිටි යාළුවෙකු (බැචෙකු) ගේට්ටුව ළඟදී මුණගැසුණි. මම කෙලින්ම ඔහුගෙන් රුපියලක් ඉල්ලුවෙමි. ඔහු පුදුමයට පත්වී මගේ මුහුණ දෙස බැලුවේය. ‘රුපියලක්? ඒ මොකටද?’ ඔහු ඇසුවේය. ‘මචං මට පාන් ගෙඩියක් ගන්න සල්ලි නැහැ.’

මට ඒ චිත්‍රය තවම මැවී පෙනෙයි. ටික වේලාවක් මා දෙස බලා සිටි ඔහු උඩ සාක්කුවට අත දැම්මේය. රුපියල් 2.50 ක් එහි තිබුණි. ඔහු ඒ මුළු මුදලම මට දුන්නේය. ‘මට එච්චර එපා. රුපියලක් තිබුණහම ඇති’ මම කීවෙමි. ‘නැහැ මචං, උඹේ ඔය කතාව ඇහැව්වට පස්සෙ, මට අද කන්න බැහැ’ ඔහු කීවේය. 
 
(ඒ වන විට ඔහු සිටියේ බම්බලපිටියේ බෝඩිමක තනිකඩවයි. රුපියල් 2.50 සාක්කුවේ දාගෙන ඇවිත් සිටියේ තුම්මුල්ලේ හෝටලෙන් රෑ කෑම ගැනීමටයි. ඔහුගේ නම, නෝර්ටන් ඩයස් ය. දැන් දරුමල්ලන් සමග කැළණිය ප්‍රදේශයේ සතුටින් ජීවත් වෙයි.)

එදා බොරැල්ලෙන් පාන් ගෙඩියක් අරගෙන මා ගෙදර යන විට රෑ 9 ට ආසන්නයි. දරුවන් තිදෙනාම නිරාහාරව නින්දට වැටී තිබුණි.


මේ කතාව මා කියා ඇත්තේ තුන් හතර දෙනෙකුට පමණි. ඒ සෑම අවස්ථාවකම, කඳුළු කඩාහැලීම නතර කරගැනීමට මට නොහැකි විය. අවසාන වතාවට, මීට අවුරුද්දකට කලින් ස්වර්ණා මල්ලවආරච්චිට පැරිසියේදී මේ කතාව කීමේදී මට හැඬුනි. ඊට අවුරුදු හතරකට කලින්, ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධනට (මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිට) මේ කතාව කියද්දිත් මට හැඬුණි. මෙය ලියන මොහොතේත් එයම සිදු විය.


LYNXMPEI6L053 L
 
ඒ තරමට, මා දැන් හැඟීම්බර ‘ප්‍රතිගාමියෙකු’ වී තිබේ. මා දැන් සොයන්නේ, සමාජවාදී මනුෂ්‍යයා නොව, යාන්ත්‍රික සහෝදරත්වය වෙනුවට, ඇස්-ඉස්-මස්-ඇට-ලේ සහිත ආදරවන්ත මිනිසුන්වයි. සැබෑ දරිද්‍රතාවෙන් පෙළෙන මිනිසුන් දකින විට මට අර පාන්ගෙඩිය මතක් වෙයි.
 
 
 
මාක්ස්ගෙන් පටන්ගෙන ට්‍රොට්ස්කි දක්වාත්, කීර්ති බාලසූරිය, විජේ ඩයස්, විජේවීර සහ ප්‍රභාකරන් ආදීන් දක්වාත් වන මිනිසුන්ගෙන්, සමාජ සාධාරණත්වය වෙනුවෙන් නැඟී සිටිය යුතුය යන පාඩම මා හොඳින් උගෙන තිබේ. එහෙත්, නැඟී සිටිය යුත්තේ කෙසේද යන කාරණය ගැන ඉහත කී කිසිවෙකු සමග එකඟත්වයක් අද මට නැත.


අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා' - (ගාමිණී වියන්ගොඩ)(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)


සබැඳි ලිපිය :

විජේ ඩයස්: නිකායික මාක්ස්වාදයේ අපේ අවසාන යෝධයා හෙවත් මගේ පරිවර්තනයේ එක් මුල්ගුරුවරයෙක් (1) - (ගාමිණී වියන්ගොඩ)
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58