එක්ව මත් පැන් බොමින් සිටි දෙදෙනෙකු අතර, ඇතිවූ ගුටි හුවමාරුවෙන් තුවාල ලත් තැනැත්තා වහා රෝහල් ගත කෙරිණ. තුවාලකරුගේ කටඋත්තරයට

අනුව, පහර දීම සිදුව ඇත්තේ පහර කෑ පුද්ගලයාගේ නිවසේදීය. ඒ අනුව, බී මතින් නිවෙසකට බලහත්කාරයෙන් ඇතුල්වීම සහ නිවෙස් හිමියාට බරපතල තුවාල සිදු කිරීම ආදි චෝදනා ගණනාවකට සැක පිට  දෙවැන්නා පොලිස් අත් අඩංගුවට පත්විය.  

රටේ කොහේ හෝ තැනක නිතර සිදුවීමක් කෙළවර එක්කෝ පාර්ශ්ව කරුවන් සමාදාන වේ. එසේ නො වුණොත් රටේ නීතිය අනුව, අධිකරණයේ නඩු පැවරීමට පොලිසියට සිදුවේ. පහර කෑ අය තුවාල හේතුවෙන් මිය ගියේ නම් සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනාවට දඬුවමක් ලැබෙනවාමය.

මර්දනය රාජ්‍ය භීෂණය නමින් දිග හැරෙන සමාජ ගත කතිකාවට ගලපා මේ කල්පිත නිදර්ශනය ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකුට යොමු කළ විට ඔහු ලාවට සිනාසී ඔබත් මමත් ඇතුළු ශ්‍රී ලංකාවම අත් විඳි අරගලයන් හැමදාම විහිළුවකින් අවසන් වූ බව කී මගේ මිත්‍රයා, තම පිළිතුර පූර්වාපර සන්ධි ගලපා තහවුරු කළේය.

hartal in 1953 nm perera addresses

රටේ අගමැතිකම ඩඩ්ලිට එපා කර වූ 1953  හර්තාලය නම් අරගලය අවලංගු කාසියක් කළ සමසමාජ කාරයන් බණ්ඩාරනායක වපුරමින් සිටි ජාතිවාදයට බියෙන් 1956 මහ මැතිවරණයේදී නිතරඟ ගිවිසුම් ගැසුවේ පාර්ලිමේන්තුවෙන් විසි වෙතැයි බියෙනි.

 

1966 ජනවාරි 8 වෙනිදා දෙමළ භාෂා විධිවිධාන පනතට එරෙහිව මාක්ස් ලෙනින් ට්‍රොස්කි වාදි චින්තනයට නිගා දෙමින් පාරේ හර්තාල් කළහ.

18 වෙනි සංශෝධනයටත් තිස් විතාරණලා සහාය වෙමින් බල ලෝභයෙන් හැසිරුණාහ.

කැරළි දෙකක් හරහා රට ලේ විලක් කළ ජවිපෙය, හොරකමට දූෂණයට එරෙහිව පෙනී සිටිමින්,  2005 ජනාධිපතිවරණයේදී සුනාමි ආධාර හොරා කෑ මහින්ද රාජපක්ෂට උදව් නො කළා නම් අද රටට මෙහෙම වෙන්නේ නැතැයි කීය.

රනිල් ඒ අතීතය විචාරාත්මකව අධ්‍යයනය කළ යුතු අතර, වමේ අරගලයේ එදා වේල ටුවර්ස් මොඩලය පරාජය කළ යුතු බවද මගේ මිත්‍රයා කියා සිටී.

විධායක ජනාධිපති පළවා හැරීමෙන් ඉක්බිති රාජපක්ෂලා සතු පාර්ලිමේන්තු බහුතරය කළමනාකරණය කළ යුතු වුව ද, රාජපක්ෂ ගොඩට රනිල් තල්ලු කොට 8 වෙනි ජනාධිපතිවත් හතුරු කර ගැනීමෙන් ආදරයේ අරගලය මර්ධනය නම් ආත්ම ආරක්ෂාවේ පටු සටන් පාඨය තුළ හැකිළී ගියේ ය.

 

ඉහත කල්පිත නිදර්ශනය අනුව, උපායශීලීව  සිස්ටම් චේන්ජ් එකකට රනිල් මෙහෙයවා ගැනීමේ සම්මුතික වපසරියට තවමත් ඉඩකඩ විවෘතය. අරගලය යනු රාජපක්ෂ පලනයෙන් හෙම්බත්වූ ජනතාව විඳි අනේක වේදනා, පීඩාවන් කැටි වූ  ආකාස්මික උත්තේජනයක් මිස මාක්ස් ලෙනින්ලාගේ අයිතියක් නොවේ. ගෝඨාගේ අනුප්‍රාප්තිකයා පොහොට්ටුවේ සිරකරුවෙකු කොට, ජනාධිපති රනිල් එළවීමට අරගල කිරීම, වර්ජන අවියෙන් අගමැති බණ්ඩාරනයකගේ ආණ්ඩුව තුවාල කොට, රටටම කළ විනාසය යළි අත්හදා බැලීමක් පමණකි.

 

බණ්ඩාරනායක මැතිනියට අනුව, ඒ සංසිද්ධිය, ඇගේ සැමියා නොමරා මරා ගැනීමකි.

ගෝඨාගේ අනුප්‍රාප්තිකයා කවුදැයි අදහසක් අරගලයට නො වීය. පාර්ලිමේන්තුවේ බහුතරය කොටු කර ජනාධිපති වික්‍රමසිංහට ශක්තිමත් කොට, රට ගොඩ නැගීමට අරගලයට අදටත් කැප විය යුතුවේ.

හැමදාමත් අරගලයෙන්ම යැපෙන ජවිපෙ හෝ පෙරටුගාමින් කිසි විටෙක එවැනි සම්මුතියකට ඉඩ නොදෙන බැවින් ආදරයේ අරගලය අවතැන් වී හමාරය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අරගලයේත් පොහොට්ටුවේත් සජබයේත් හතුරෙකු වීම හේතුවෙන් රටේ පාලකයා හැටියට තමාගේත් රටේත්  ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියි.

ඔහුට අවශ්‍ය ගමන් සගයන්  සහායකයන් සහ කණ්ඩායම් ශක්තිය ලබා දීමට, සාම්ප්‍රදායික විපක්ෂය හෝ අරගලය සහාය නො දෙයි නම් රට වැටුණ තැනින් ගොඩ ගැනීම පහසු නැතිවා මෙන්ම බිඳ වැටුණ රාජපක්ෂලා යළි ශක්තිමත් වීමද සිදු වේ.

 

ඉල්ලන මැතිවරණය හෝ සිස්ටම් චේන්ජ් එක තවදුරටත් සම්මුතියකින් මිස අරගලයකින් දිනා ගත නො හැකිය. රනිල් ශක්තිමත් කළොත් පොහොට්ටුව අක්‍රියව ගෝඨා පළවා හැරීමේ ජයග්‍රහණ අත්පත් වෙනවාමය.  ලිපිය ආරම්භයේ එකට ඩෝප් වී සණ්ඩු කර ගත් මිතුරන් දෙදෙනාගේ සිද්ධිමය නිදර්ශනය හමුවේ අරගලය නතර වී නැද්ද? එකඟතා සම්මුති හරහා අරගලය යථාවත් කිරීම යනු විකල්පයක් මිස පාවාදීමක් නොවේ.

 

එවැනි නැඹුරුවකට ඓතිහාසිකව පෙරෙට්ටුවන් ජෙප්පන් එකඟ වෙලාම නැත. ආරම්භයේ අරගලයට පහසුකම් සලසමින් සිටි කලා ශිල්පිනී දමිතා අබේරත්න යම් අවස්ථාවක අරගලයේ ප්‍රකාශිකාවක් වූවා ය. රනිල් අගමැතිවූ පසුව සජබය කෝ ඩොලර් කියා සමච්චල් කරද්දී දමිතා අරගල භූමියේ සිට, රනිල්ට යම් කාලයක් අවශ්‍ය බව කීවාය. ඒ සතියේ දමිතාගේ ප්‍රකාශය ගැන මා අනිද්දාට සැපයූ ලිපියේද සඳහන් විය.  

සතියක් ගෙවීමට පෙර අර දමිතා අබේරත්නත් මහ හඬින් එක දිගට රනිල් ගෙදර පලයන් කියා කෑ මොර දුන්නාය. අත් අඩංගුවට පත්ව ඇප ලබා ගෙදර යන අතර, උසාවිය ළඟ කලබල කරන්න එපා කියන්න ගිය තමන්ද අත් අඩංගුවට පත්වූ දමිතා කියා සිටියාය. අරගලයටත් දමිතාටත් සිද්ධ වුණේ බල්ලන් සමග ලැග්ග එකාට සිද්ධ වෙච්ච දේය.

වසන්ත මුදලිගේට අත් අඩංගුවට පත්වීම ලකුණු වැටීමකි. දමිතලාගේ සමාජ වටිනාකම් ඊට වෙනස් බව මගේ මිතුරා විශ්වාස කරයි.

 

පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය සහ ද්විත්ව පුරවැසි කොන්දේසිය ඉවත් කිරීමට බැසිල් රාජපක්ෂ අකැමති හෙයින් 20 වෙනි සංශෝධනය අහෝසි නො කිරීම රනිල්ගේත් අරගලයේත් පරාජයකි.

 

ගෝඨාගේ  අනුප්‍රාප්තිකයා ලෙස කවුරු ජනාධිපති වුණත් පොහොටුවේ බහුතරය අනිවාර්ය වේ. රනිල් තනි කිරීමෙන් රාජපක්ෂලා කලඑළි බැසීමත්, බරසාර විරෝධයක් පෑමට අන්තරයට ජාතික මාතෘකාවක් ලබා දීමත් හැර ආසන්න මාස දෙක තුනක අරගලයෙන් ලැබුණ ප්‍රතිලාභයක් නැත.

රනිල් ශක්තිමත් කොට, ජනාධිපති මැතිවරණයක් හරහා අරගලයට හිතකර තුනෙන් දෙකක පාර්ලිමේන්තුවක් නිර්මානය කර ගැනීමේ අත්හදා බැලීමකට නො යන්නේ  ඇයි?

ඉරාක අරගලයට මැදි වූ අමෙරිකන් දූත මණ්ඩල වහා රටින් වුණාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් පැමිණ සාකච්ඡා කිරීමට රටේ ආරක්ෂාව තහවුරු කළ  ජනාධිපති වික්‍රමසිංහ ගෙදර යැවීමට කරන කෑ මොර දෙන අරගලය හර්තාලය පන්නයේ ලාදුරු මෙන් බෝවෙන රෝගයක් බව මගේ මිත්‍රයා පූර්වාපර සිද්ධි ගලපමින් විස්තර කරයි.

Screenshot 20220722 060050 Twitter

ළහිරු වීරසේකරලා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කොට, ජූලි 14 වෙනිදා  රාජ්‍ය පොදු දේපල වලින් ඉවත්ව ගියහ. එසේ නම්  ආරක්ෂක අංශ ජූලි 20 රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලැග සිටියවුන් පළවා හැරීම රාජ්‍ය මර්ධනයක් වන්නේ කෙසේදැයි මගේ මිත්‍රයා ප්‍රශ්න කරයි.

 

ජනාධිපතිගේ ලේකම් කාර්යාලය මුදා ගැනිම යනු රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමකි. ඒ තත්වය ප්‍රශ්න කරමින් නගරයේ කලබල කරන්නන් අත් අඩංගුවට ගැනීම ඉරාකය සහ ලංකාව අතර වෙනස තේරුම් ගැනීමට ජාත්‍යන්තරයට පහසු වුණා විය හැකිය.

ජූලි 20 වෙනිදා රාත්‍රි සිද්ධියට එරෙහිව පාරට බැස්ස වසන්ත මුදලිගේ පෙනී සිටියේ ළහිරු වීරසේකරලා වෙනුවෙන්ද, ජූලි 20 වෙනිදා ගුටි කෑ අනන්‍යතාවක් නැති කුඩු කාරයන් වෙනුවෙන්ද යන්න හෙළි කර ගැනීමට ආරක්ෂක අංශ වසන්ත මුදලිගේ අත් අඩංගුවට ගෙන රඳවා තබා ප්‍රශ්න කිරීම ඉහත කී  නිදර්ශනයේ කියැවෙන පරිදි නීත්‍යානුකූල පොලිස් රාජකාරියක් මිස මර්ධනයක් වන්නේ කෙසේද?

අගෝස්තු 28 අනිද්දා පත්‍රයේ කතු වැකියෙහි, ජනාධිපති ධුරයේ රනිල් වැඩ භාරගත් විට, මුලින් ම කළේ, ගෝඨාභය රාජපක්ෂගේ චින්තනය හා රාජකාරිමය අතවැසියෙකු වන වර්තමාන ආරක්ෂක ලේකම් වරයා තම ආරක්ෂක ලේකම් හැටියට පත් කිරීමය. එයින් පැහැදිලිව පෙනුණේ, වික්‍රමසිංහ ජනාධිපති වරයාගේ පාලන මාවත වැටී ඇත්තේ රාජපක්ෂ වරුන්ගේ දෙපා අතරින් මිස, ඊට එදිරිව නොවන බව ය. දැන් ආරක්ෂක ලේකම් වරයා, තමන්ට පුරුදු පුහුණු මර්ධනකාරි වැඩ පිළිවෙල සජීව ව පවත්වා ගෙන යයි.”යනුවෙන් සඳහන් වේ.

 

මේ කියන කමල් ගුණරත්නට, මාර්තු 31 සිට මාස තුනකට ආසන්න කාලයක් ගෝඨාට එරෙහි පැවති අරගලය මර්ධනය කිරීමට ඔහුට පුරුදු පුහුණු මර්ධනකාරි වැඩ පිළිවෙල ක්‍රියාත්මක නොහැකි වුණේ අරගලය දියත් වුණේ පාලකයා ලෙස ගත් තිරණ හරහා රට විපතට පත් කළ ගෝඨාභය නම් පුද්ගලයාට මිස, රටේ විධායක ජනාධිපතිට එරෙහිව නො වීමය. එහිදී කමල් ගුණරත්නට කළ හැකි දෙයක් නොවීය. 

 

ව්‍යවස්තානුකූලව පත් වූ ජනාධිපති රනිල් රට ස්ථාවර කිරීමට දේශිය සහ ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසීමට අවශ්‍ය ආරක්ෂාව තහවුරු නො කළා නම් එකී නොකර හැරීම,  පුද්ගලයෙකුට නොව  පෝලිමේ ගොස් වැඩි මිලට හෝ  තෙල් ගෑස් ලබා ගැනීමට නො හැකි වන බව බහුතර ජනතාවට එරෙහි ක්‍රියාවකි.  

ගෝඨාට එරෙහි අරගලය ජනතාවට හිරිහැරයක් වීමට ආණ්ඩුවට බලා සිටිය නොහැකිය.


ප්‍රති ව්‍යුහගත කිරීමේදී තමන් සවන් දෙන්නේ ජනතාවට මිස, වෘත්තීය සමිතිවලට නොවන බව ජනාධිපති වික්‍රමසිංහ කියයි. රටේ  තැපෑල ක්‍රියාත්මක වේ. පොලිසිය සාමාන්‍ය රාජකාරි කරමින් සිටියි. කිසිවෙකු මහ පාරේදී පොලිසියට හමුදාවට පන්ති නො පවත්වති. අරගලය අතරට රිංගූ මැරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේ. රටේ ආරක්ෂාවට අවශ්‍ය පියවර ගැනීම රාජ්‍ය පාලකයාගේ  තීරණයකි. කමල් ගුණරත්න අනුගත විය යුත්තේ ඒ විධානයටය. (ජනාධිපති සිරිසේනට අනුගතව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු  හය මසක් ආරක්ෂක කවුන්සිය රැස් නොකර සිටියේත් එහෙමය.)    


ජූලි 9 වෙනිදා දහ දාහකට වඩා කොළඹ නො එතී ලැබුණ වැරදි  වාර්තා හේතුවෙන් ගෝඨාට උන්හිටි තැන් නැති වන විටත්, රටේ ආරක්ෂක ලේකම්ව සිටියේ කමල් ගුණරත්න ය. එකම ලේකම් වරයෙකි. පාලකයන් දෙදෙනෙකි.  රටේ ආර්ථිකය, ආරක්ෂාව, ජන ජීවිතය කඩා වැටෙන තෙක් බලා සිටී නම් ආණ්ඩුවක් අවශ්‍ය නැත. ඒ අර්ථයෙන් ජූලි 9 වෙනිදාට වඩා ආරක්ෂාවක් රටේ පවතිනවා නොවේදැයි මගේ මිතුරා ප්‍රශ්න කරයි. තෙල් ටික බෙදෙන්නේත් මිල පාලනය කරන්නේත් ඒ ආරක්ෂාව නිසාය.

ජූලි නව වෙනිදා ජනාධිපති මන්දිරය ආරක්ෂා කිරීමට ආරක්ෂක අංශ අසමත් විය.  චීනයේ ආරක්ෂක අංශ කියැන් නාම් චතුරශ්‍ර මෝස්තරයෙන් අරගල කරුවන්  විසුරුවා හැරීයා නම් කිසිවෙකු ඒ ක්‍රියාව මර්ධනයක් ලෙස දකින්නේ නැත. ජනාධිපති රනිල් අමෙරිකාවට ඒ ටික ප්‍රසිද්ධියේම සිහිපත් කළේය.

62d8f583a310fd2bec979c91
ආදරයේ අරගලය ගෝඨා පළවා හැරීමෙන් සාර්ථක විය. රටේ නව පාලකයා ලෙස රනිල් වික්‍රමසිංහ තමන් ප්‍රතිඥා දුන් පරිදි රටේ ව්‍යවස්ථාව අනුව කිසිවෙකුට රටේ ආරක්ෂාව අත නො තැබිය හැකි ආකාරයට ක්‍රියා කරමින් සිටියි. රනිල් ගියොත් ජනතාවට අහිමි වන දේ බොහෝ විය හැකිය.



බැසිල් රනිල්ට මුවා වී පවුලේ සිය බලය තහවුරු කරමින් සිටියි. ගෝඨා බලයට පත් කළ අර හැට නව ලක්ෂයේ සහාය කාටද?  රටේ ජන මතය වෙනස් කළ යුතුව තිබේ.

රටේ ජනතාව වමේ අරගල කිසි විටෙක මැතිවරණය හරහා අනුමත කොට නැත. අනුරලා, කුමාර් ගුණරත්නම්ලා බලයට පත් නො වන්නේ ඒ නිසාය.  රටේ ජනතාව තමන්ට අකමැති බව ඔවුන් දනිති. නොදන්නේ තමන් රටට කරන විනාසය පමණකි.

 

රටේ බරපතල වෙනස්කම් කළ යුතුව තිබේ. ඒ සඳහා ගත යුතු ඍජු තීරණ ගත යුතුව තිබුණේ අද ඊයේ නොවේ. ඒ වෙනස්කම් කිරීමට අවශ්‍ය සන්සුන් රටකි. ශක්තිමත් පාලනයකි. 

 

රටේ හැම පාලකයාටම බොහෝ විවේචනය පවතී. මේ පාලකයන්ට ලේබල් ගසන මොහොතක් නොවේ. අන්තරය මහ පාර අවුරා අපි බය නෑ කියයි. ජනතාව තෙල් පෝලිම්වල තැවෙති. ඖෂධ නැතිව රෝගින් තැවෙති. රාජපක්ෂලා හොර ගල් අහුලති.  

රටේ තේරීම කුමක් විය යුතුද? වමේ පක්ෂ මේ  ගොඩ නගන්නේ රට නොවේ. තම මතවාදි ශක්තියයි. 71දීත් 88-89දීත් ඔවුන් කළේ ඒ ටිකමය. එදාත් පාසල් රෝහල් කාර්යාල වැසිණ. වැටුප් ගෙවීමටත් ඔවුන්ගේ අවසරය අවශ්‍ය විය.

රට ගෙවුණ වසර හැත්තෑ ගණනක්  ඉබාගාතේ ඇදී ගියේය. හෙටත් ඒ ටිකම සිද්ධ විය යුතු නැත. ඊට ප්‍රති ක්‍රියා දැක්වීමට පාලකයන් මෙන්ම ජනතාවද ඉතිහාසයට ඇහුන්කම් දිය යුතුවේ.

එකට ඩෝප් වී සණ්ඩු කර ගත් මිතුරන් දෙදෙනාගේ නිදර්ශනය පාලකයන්ටත් අරගල කාරයන්ටත් කරන ආමන්ත්‍රණයකි.  


අරගලයේ දින 100ක කතාව - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්