''මහ බැංකු අධිපති විසින් ව්‍යවස්ථාව උල්ලංඝණය සහ පාර්ලිමේන්තුවට අසත්‍ය ප්‍රකාශ කිරීම - දඩුවම කුමක් ද? පරීක්ෂා කරමු.'' - පි සමරසිරි (හිටපු

නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව)


මා විසින් අගෝස්තු මස 28 දින නිකුත් කළ ලිපියෙන් මහ බැංකු අධිපති විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ 30 දින පාර්ලිමේන්තුවේ දී පැවැත් වීමට නියමිත වූ ආර්ථික සංවාදයේ දී ඔහු විසින් යොදා ගනු ඇති මූලික ආර්ථික මතවාදයන් පිළිබඳ ව කෙටි ඉදිරිපත් කිරීමක් කරන ලදි.

එලෙසම, ඔහු විසින් එම මතවාදයන් ඉදිරිපත් කළ අතර ඊට අමතරව අසත්‍ය තොරතුරු ද රැසක් ඉදිරිපත් කළ බවට වාර්තා වෙයි.

එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ එම මතවාදයන් සහ අසත්‍ය තොරතුරු පිළිබඳ ව කෙටියෙන් ඉදිරිපත් කිරීම යි.


මෙය මූලික වශයෙන් මහ බැංකු අධිපතිගේ ඉදිරිපත් කිරීම අවසානයේ විපක්ෂ නායකවරයා සහ ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා විසින් යොමු කරනු ලැබූ ප්‍රශ්නයන්ට ඔහු විසින් දෙනු ලැබූ පිළිතුරු සහ පැහැදිලි කිරීම් කිහිපයක් මත පමණක් පදනම් වෙයි.




මහ බැංකු අධිපති විසින් කරනු ලැබූ දේශනයේ දී ඉදිරිපත් කළ ආර්ථික මතවාදයන් පිළිබඳ ව විශේෂ ලිපියක් පසුව නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙහිදී, මහ බැංකු අධිපතිගේ මෙම සංවාදය පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ කාරක සභා ක්‍රමවේදයට පටහැනි ලෙස පැවැත් වූ බව පැහැදිලි ය. ඊට හේතු දෙකකි.


# පළමුව, රාජ්‍ය නිලධාරියකු කාරක සභා ශාලාවකට කැඳවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට පහළ අසුන්වල සිටුවා සංවාද පැවැත් වීම.

එහෙත්, රාජ්‍ය නිලධාරීන් කාරක සභා ශාලාවලට කැඳවන්නේ අදාළ ඇමතිවරයාගේ සාකච්ඡාවලට උදවු වීම හෝ අදාළ රාජ්‍ය ආයතන පරික්ෂා කිරීම සඳහා ය. ඒ බව මහ බැංකු අධිපති විසින් තම දේශනය ආරම්භයේ දී ම හාස්‍ය ජනක ලෙස ප්‍රකාශ කොට ඇත.

# දෙවනුව, මන්ත්‍රීවරුන්ට තාක්ෂණික වැඩමුළු පවත්වන්නේ නම් එය පාර්ලිමේන්තුවෙන් පිටත හෝටලයක හෝ ශාලාවක පුහුණු වැඩසටහනක් ලෙස පැවැත් විය යුතුය.

 

එබැවින්, මෙම සංවාදය පැවැත්වීම තුළින් මහ බැංකු අධිපති වෙත පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායක, ඇමතිවරු සහ මන්ත්‍රීවරුන්ට වඩා ඉහළ නිල තත්ත්වයක් සමාජයේ ලබා දීම හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීම පිළි ගත නොහැකිය. ඉන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමාජ පිළි ගැනීම තවත් පහළට දැමීමට සමහර සමාජ මාධ්‍ය නියෝජිතයන් විසින් උත්සාහ කොට ඇති බව පෙනේ.

 

පාර්ලිමේන්තුවට අසත්‍ය ප්‍රකාශ කිරීම:


01. ආර්ථික අර්බුදය පිළිබඳ ව විපක්ෂ නායක විසින් අසන ලද ප්‍රශ්න කිහිපයකට සාවද්‍ය පිළිතුරු සැපයීම


ප්‍රශ්නය :
අර්බුදයෙන් එළියට ඒමට අවස්ථාව ආර්ථික සංකෝචනය හරහා පමණක් බවට මහ බැංකු අධිපති විසින් කරන ලද ප්‍රකාශනය අනුව ආර්ථිකයේ එන්ජිම වන සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් දුෂ්ඨ චක්‍රයකට මුහුණ දෙන බව.


පිළිතුර:
 දැනට සුළු හා මාධ්‍ය පරිමාණ අංශය ආර්ථික වර්ධනයේ එන්ජිම වන බැවින් ආර්ථික සංකෝචනයෙන් දැනට පහර වැදී ඇත්තේ ඔවුන්ට බවත්, මීට මූලික හේතුව වන්නේ උද්ධමනය සහ විදේශ මුදල් අර්බුදය වන බැවින් දැනට ප්‍රමුඛතාවය දෙනු ලබන්නේ ඒවා සමනය කිරීමට වන අතර ඊට පසුව ඊළඟ පියවර වන්නේ එවැනි කණ්ඩායම්වලට පහසුකම් සැලසීම බව.


ප්‍රශ්නය :
එහෙත්, මේවා සියල්ල එකිනෙකට බැඳී ඇති බව.


පිළිතුර :
 එහෙත්, ඒවායේ අනුපිළිවෙලක් තිබෙන බැවින් ඒ අනුව පියවරයන් ගත යුතු බවත්, ඒ අනුව පළමු සංරෝධකයන් වන උද්ධමනය සහ විදේශ මුදල් හිඟය ඉවත් කිරීමෙන් පසු ඊළඟ ප්‍රශ්නයන් සඳහා පියවර ගත යුතු බවත්, එසේ නොවේ නම් පවතින චක්‍රය තවත් නරක තත්ත්වයට පත් වන බවත්.


ප්‍රශ්නය :
අර්බුදයෙන් එළියට ඒමට ජීවන තත්ත්වය වට්ටන්නම වෙනවා ද?

පිළිතුර :
 ඔව්. අර්බුදයක දී එහෙම යි.


ප්‍රශ්නය  :
තවත් න්‍යායක් තියෙනව නේ ද, අර්බුදයක දී ප්‍රාග්ධන වියදම් අඩු කරල පුනරාවර්තන වියදම් වැඩි කරල මහජනයා අතට මුදල් වැඩියෙන් දීම.


පිළිතුර :
ඔව්.


ප්‍රශ්නය  :
ඒකෙන් උද්ධමනයක් ඇති වෙන්න පුළුවන් ද?

පිළිතුර :
නැහැ. ඊට හේතුව, එමගින් දැනට පවතින වියදමම නැවත ව්‍යාප්ත කිරීමක් වන බැවින් නව ණය ගැනීමක් නොවන නිසා.


ප්‍රශ්නය :
IMF නැත්නම් වෙනත් විකල්පයක් නැත් ද?


පිළිතුර
නැහැ.


ප්‍රශ්නය :
 මහ බැංකුව විසින් මේ වන විට කාල සටහනක් අනුව සේවා වියුක්තිය, උද්ධමනය, ආර්ථික වර්ධන අනුපාතය, අයවැය හිඟය, වෙළෙඳ හිඟය, ගෙවුම් ශේෂ හිඟය වැනි සාර්ව ආර්ථික ඉලක්කම් ඇස්තමේන්තු හෝ පුරෝකතනය කොට ඇත් ද?


පිළිතුර :
 ඔව්. මහ බැංකුව විසින් සියළුම මැදි කාලින සාර්ව ආර්ථික පුරෝකතනයක් සිදු කොට ඇති බවත්, එය IMF සමඟ සාකච්ඡා කොට ඇති බවත්, එය මහ බැංකු වාර්ෂික වාර්තාවේ ප්‍රසිද්ධ කරන බව.


මාගේ ප්‍රතිචාරය:
මහ බැංකු අධිපතිගේ පිළිතුරුවල ආර්ථික පදනමක් නොමැත.

 

පළමුව, ආර්ථික අර්බුදයක දී ආර්ථික හැකිලීමකින් පමණක් නැවත ගොඩ ඒම කළ යුතු බව සාවද්‍ය ය. ඊට හේතුව, ආර්ථික අර්බුදයේ ස්වරුපය අනුව එය තීරණය වනු ඇත.

 

ආර්ථික හැකිලීමක් කෙරෙන්නේ නිෂ්පාදන හැකියාවට වඩා ඉහළ සමස්ත ඉල්ලුමක් අඛණ්ඩව පැවතීම හේතු කොට හට ගන්නා ආර්ථික උණුසුම් වීමක දී ආර්ථිකය මුහුණ දෙන උද්ධමනකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ය.

මෙහිදී, ආර්ථික අර්බුදය යනු ආර්ථික උණුසුම් වීම සහ උද්ධමනකාරී තත්ත්වය යි.

එබැවින්, පොලී අනුපාතයන් ඉහළ හෙළා මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම තුළින් ආර්ථිකයේ සමස්ත ඉල්ලුමේ වර්ධනය පාලනය කෙරෙන අතර එමගින් ආර්ථික වර්ධනය පහළ ගොස් සේවා වියුක්තිය ඉහළ යනු ඇත.


මේ දිනවල සංවර්ධිත රටවල මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම යම් මට්ටමකින් ආර්ථිකයන් හැකිලීම තුළින් උද්ධමන අර්බුදය පාලනය කිරීමට අපේක්ෂා කෙරේ. එම රටවල ආර්ථිකයන් කොරෝනා වසංගතයෙන් පසු උණුසුම් වී ඇති බවට පිළි ගැනෙන බැවින් එම ප්‍රතිපත්තිය යෝග්‍ය වෙයි. එහෙත්, උද්ධමනය පහළ දැමීම සඳහා එම රටවල රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමක් සිදු නොවන අතර ජීවන වියදම් සහන සැපයීම සඳහා රාජ්‍ය මූල්‍ය ඉහළ දැමීමක් සිදු වෙයි.


ආර්ථික අර්බුදය මූල්‍ය අර්බුදයක් නම් ඒ තුළින් හට ගන්නා සමස්ත ඉල්ලුම පහළ යාම සහ ආර්ථික අවපාතය වැලැක්වීම සඳහා රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රසාරණය හරහා ආර්ථිකය ප්‍රසාරණය කිරීම සිදු කෙරේ. උදාහරණ ලෙස 1997/98 ආසියානු මූල්‍ය අර්බුදය සහ 2007/09 ඇමෙරිකාවේ සහ යුරෝපයේ හට ගත් ගෝලීය මූල්‍ය අර්බුදය දැක්විය හැකිය.

 

දෙවනුව, පවතින රාජ්‍ය වියදම් පරිමාව වෙනස් නොකොට ඒ තුළ ප්‍රාග්ධන වියදම් අඩු කොට එමගින් පුනරාවර්තන වියදම් වැඩි කිරීම තුළින් උද්ධමනය සහ ගෙවුම් ශේෂ හිඟය ඉහළ යාමක් නොමැතිව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ න්‍යායක් නොමැත.

 

එහෙත්, ආර්ථික හැකිලීමකින් හෝ සංකෝචනයකින් ගොඩ ඒම සඳහා රාජ්‍ය වියදම් ප්‍රසාරණය කිරීමේ කෙන්සියානු ප්‍රතිපත්තිය න්‍යායක් ලෙස ලෝකය පුරා පිළි ගැනීම දැකිය හැකිය.

එහිදී, ප්‍රාග්ධන වියදම් සහ පුනරාවර්තන වියදම් ලෙස වර්ගීකරණයක් නොකොට හැකි ඉක්මනින් රාජ්‍ය වියදම ප්‍රසාරණය කිරීමට නිර්දේශ කෙරේ. ඊට හේතුව, ජාතික ආදායම් ගුණක සංකල්පය තුළ රාජ්‍ය වියදම් අතර එවැනි වර්ගීකරණයක් නොමැති බැවිනි. 2020-21 ගෝලීය කොරෝනා වසංගත අර්බුද සමයේ ලෝකය පුරා අනුගමනය කරනු ලැබුවේ මෙම න්‍යාය යි.

 

තෙවනුව, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා IMF නොමැතිව වෙනත් විකල්පයක් නොමැති බව දැක්වීම ප්‍රාථමික ආර්ථික විද්‍යාව පිළිබඳ ව දැනීමක් නොමැති පිළිතුරකි.

 

දැනට පවතින තොරතුරු අනුව ඩොලර් බිලියන 2.9 ක් වන IMF ණය මුදල කොටස් කිහිපයකින් වර්ෂ 4 ක් තුළ කොන්දේසි ඉටු කිරීමට යටත්ව සැපයෙන අතර එහි පළමු කොටස දෙසැම්බර් මස දී වත් ලැබෙන බවට තොරතුරක් නොමැත. රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්තිය තවත් දැඩි කරන බවට කොන්දේසි පවතී.

එබැවින්, ඉදිරි වසර 4 තුළ IMF ණය ඩොලර් බිලියන 2.9 කින් මෙතරම් ආර්ථික අර්බුදයකින් ගොඩ ඒම කළ හැකි බව දැක්වීම සුරංගනා කතාවක් බව කිව යුතු නැත.

එමගින් කළ හැක්කේ ආර්ථිකය තවත් සංකෝචනය කොට බහුතර ජනතාව දරිද්‍රතාවයට සහ මන්දපෝෂණයට ඇද දැමීම පමණි. ඒ සඳහා රජයක් සහ මහ බැංකුවක් අවශ්‍ය නොවේ. තවද,

මුදල් නීති පනත තුළ ඕනෑම ආර්ථික අර්බුදකාරී අවස්ථාවන් නිරාකරණයට භාවිතා කළ හැකි ප්‍රතිපත්ති මෙවලම් සහ බලතල පවතින බැවින් IMF වැඩසටහන හැර වෙනත් විකල්පයක් නොමැති බව ප්‍රකාශ කිරීම නීතියට ද පටහැනි වෙයි.

 

සිවුවනුව, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය යනු ආර්ථික අවපාතය, අධි උද්ධමනය, ණය අර්බුදය, විදේශ මුදල් අර්බුදය, ඉහළ සේවා වියුක්තිය වැනි සෑම අර්බුදයන් අඩංගු පිරිපුන් ආර්ථික අර්බුදයකි.

 

එබැවින්, එය වැලැක්වීම සඳහා රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය දැඩි කිරීමේ ප්‍රතිපත්ති අනුගමනය කළ හොත් ආර්ථික හැකිලීම හෝ අවපාතය තවත් ඉහළ ගොස් සමස්ත ආර්ථික අර්බුදය තවත් ඉහළ යාම තුළින් මෑත කාලයේ දී දුටු පරිදි සමාජීය අර්බුදයක් හට ගෙන ආර්ථිකය සහ ජන සමාජය තවත් පරිහානියට පත් වනු ඇත.

ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය දැඩි ආර්ථික සංකෝචනය සහ භාණ්ඩ හිඟය තුළින් හට ගෙන ඇත. එය ගෝලීය කොරෝනා වසංගතයෙන් හට ගෙන විදේශ විනිමය අර්බුදය හරහා පැතිරෙමින් පවතී.


එබැවින්, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය නිරාකරණය සඳහා රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රසාරණයක් සමඟ ආංශීය ආර්ථික ගැලපුම් ප්‍රතිපත්ති පැකේජයක් වසර ගණනාවක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙයි. ඒ සඳහා උද්ධමනය වැනි ආර්ථික ප්‍රශ්නයන් ඒවායේ අනුපිළිවෙල අනුව තෝරා ගෙන විසඳන ආර්ථික විද්‍යා මොඩලයක් නොමැත. ඊට හේතුව, ආර්ථිකයෙහි වෙළෙඳපොළවල් අන්තර් ප්‍රතික්‍රියාවන් සහිතව ක්‍රියාශීලී ලෙස හැසිරෙන බැවිනි. එබැවින්, මෙතරම් විද්‍යාත්මක දියුණුවක් ඇති ලෝකයක ආර්ථිකය හැකිලීම තුළින් පමණක් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම කළ යුතු බවට දැක්වෙන සංකල්පය ආර්ථික මූලධර්මවලට සහ මානුෂික මූලධර්මවලට පටහැනි මානසික රෝගයකි.

 

පස්වනුව, මහ බැංකු වාර්ෂික වාර්තාවේ ප්‍රසිද්ධ කරන මැදි කාලින සාර්ව ආර්ථික පුරෝකතනයන්ට සේවා වියුක්තිය අඩංගු නොවන අතර 2021 වාර්ෂික වාර්තාවේ එය ප්‍රසිද්ධ කොට නොමැති අතර 2022 වර්ෂය සඳහා පමණක් පුරෝකතනය ප්‍රසිද්ධ කොට ඇත.

 

මැදි කාලින සාර්ව ආර්ථික පුරෝකතනය ප්‍රසිද්ධ නොකිරීමට හේතු ලෙස මහ බැංකු වාර්ෂික වාර්තාවේ 22 පිටුවේ සඳහන් කොට ඇත්තේ IMF ණය වැඩසටහන, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම, රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීම සහ විවිධ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන් පිළිබඳ ව ප්‍රසිද්ධ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් 2020 අප්‍රේල් මස මුල නොතිබුන බව යි.

එහෙත්, මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කරනු ලැබුවේ මෙම පුරෝකතනයන් විවිධ උපකල්පනයන් මත කරනු ලබන බවත් එය මහ බැංකුව සතු බවත් ය. මහ බැංකු වාර්ෂික වාර්තාව ඉදිරිපත් කොට ඇත්තේ අප්‍රේල් 16 දින වන බැවින් සහ මහ බැංකු අධිපති රාජකාරි සඳහා වාර්තා කරනු ලැබුවේ අප්‍රේල් 8 දින වන බැවින්, ඒ වන විට ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් මැදි කාලින සාර්ව ආර්ථික පුරෝකතනයන් සකසා එය මුද්‍රණය සඳහා භාර දී තිබූ බවට සැකයක් නොමැත.

එබැවින්, එම පුරෝකතනයන් මෙවර වාර්ෂික වාර්තාවෙන් ඉවත් කරන ලද්දේ නව අධිපතිගේ උපදෙස් බවට සැකයක් නොමැත.

 

එබැවින්, මැදි කාලින සාර්ව ආර්ථික පුරෝකතනයන් මහ බැංකුව සතුව පවතින බව මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කිරීම සාවද්‍ය වෙයි. ඊට හේතුව, ඉහත දැක්වූ ප්‍රතිපත්ති ප්‍රකාශයන් තවමත් සිදු කොට නොමැති බැවිනි.

 

තවද, මෙම පුරෝකතනයන් සාමාන්‍යයෙන් ඉටු නොවන අතර 2022 වර්ෂය සඳහා 2021 මහ බැංකු වාර්ෂික වාර්තාවේ දී ඇති පුරෝකතයනයන් බොහොමයක් දැනටමත් වැරදී ඇත. උදාහරණ ලෙස 2022 වර්ධන අනුපාතය 1%, උද්ධමනය 22% සහ රාජ්‍ය ණය ප්‍රතිශතය 108.2% දැක්විය හැකිය.


02. රජයේ මුදල් පාලනය පාර්ලිමේන්තුව සතු බැවින් පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව විදේශ ණය නොගෙවීමට තීරණය කිරීම පිළිබඳව ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා  විසින් දීර්ඝ ලෙස මතු කළ ගැටළුව



මහ බැංකු අධිපතිගේ පිළිතුරු සහ පැහැදිලි කිරීම්:


1. 2020 දී ජනාධිපති ලේකම් විසින් අපිට ණය ගෙවන්න කල් දෙන්න කියල ඒ ආයතනවලින් ඉල්ලීමක් කළා. ඒක කළේ පාර්ලිමේන්තුවට හෝ කාටවත් කියල නොවෙයි. ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියල ඉල්ලීමක් කළා. අපි ණය ගන්නෙත් නැහැ, ණය ගෙවන්නත් බැහැ කියල, ණය ගෙවන්න කාලයක් දෙන්න කියල ඉල්ලීමක් කළා.

2. ණය නොගෙවීම පිළිබඳ නිවේදනය කරනු ලැබුවේ තමා නොව එවක මුදල් අමාත්‍යංශයේ සාකච්ඡා කොට මුදල් ඇමති වෙනුවට ලේකම් විසින් නිවේදනය අත්සන් කළ බවත්, එම නිවේදනය කරනු ලැබුවේ කැබිනට් අනුමැතියට යටත්ව බවත්, ඊට පෙර කැබිනට් අනුමැතිය 16 දින ගෙන 18 දින සිට ණය ගෙවීම අත් හිටවූ බව.

3. පාර්ලිමේන්තුවේ අවසරය ගත යුතු නම්, එය එවක ජනාධිපති, මුදල් ඇමති සහ අමාත්‍ය මණ්ඩලය විසින් කළ යුතු අතර එය මහ බැංකු අධිපතිගේ කාර්යයක් නොවන බව.


මාගේ ප්‍රතිචාරය:



මහ බැංකු අධිපති විසින් සුපුරුදු ලෙස තමන් සියළු දෙය දන්නා විද්වතෙකු බවට ප්‍රදර්ශනය කිරීම සඳහා මොනවා හෝ දෙයක් ප්‍රකාශ කිරීමත්, තම දෝෂයන් වෙනත් පුද්ගලයන් පිට පැවරීමේ ඔහුගේ පුරුද්දත් මින් මානව පැහැදිලි වෙයි. ඊට හේතු කිහිපයකි.

 

# පළමුව, හිටපු ජනාධිපති ලේකම් විසින් ණය ප්‍රතිව්‍යුහගත කරණය සඳහා ඉල්ලීමක් කළ බවට වන ප්‍රකාශය ඔහු විසින් මැයි මස 25 දින කෝප් සභාවේ දෙන ලද සාක්ෂිවලට පටහැනි වෙයි.

 



එහිදී, ඔහු විසින් කියා සිටියේ IMF වෙතින් 2020 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව විසින් සීග්‍ර මූල්‍යකරන මෙවලම යටතේ ණය මුදලක් විසින් ඉල්ලා සිටි අවස්ථාවේ IMF විසින් ඉදිරි පස් වසර තුළ ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඉල්ලා සිටි බවත්, එම අවස්ථාවේ හිටපු ජනාධිපති ලේකම් අදාළ IMF අධ්‍යක්ෂක සමඟ ඍජුව සාකච්ඡා කොට එම අවස්ථාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය නොකරන බවත්, අපිට මෙය කළමනාකරණය කර ගත හැකි බවටත් තීරණය කොට එම සාකච්ඡාවන් එතනින් නිම කළ බවත් ය.


එබැවින්, මෙවර පාර්ලිමේන්තු රැස්වීමේ දී හිටපු ජනාධිපති ලේකම් විසින් ණය ප්‍රතිව්‍යුහගත කරණය සඳහා ඉල්ලීමක් කළ බවට මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කිරීම සිතා මතා පාර්ලිමේන්තුවට බොරු කීමකි. එසේම, සාකච්ඡාව සඳහා එවැනි ඉල්ලීමක් හිටපු ජනාධිපති ලේකම් විසින් කළේ නම් එය නීතියට පටහැනි නොවන අතර මහ බැංකු අධිපති විසින් දැනට සිදු කොට ඇති වරද වන්නේ නීතිමය ප්‍රතිපාදනවලට පිටින් විදේශ ණය නොගෙවන බවට තීරණය කොට ඒ බව ප්‍රසිද්ධ කිරීම හරහා ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඉල්ලා සිටීම යි. එය ණය ප්‍රතිව්‍යුහගත කරණය සඳහා කරන ඉල්ලීමකට සම්පුර්ණයෙන් වෙනස් ක්‍රියාවකි.


එම අවස්ථාවේ ජනාධිපති විසින් ද ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස චීනය සහ ඉන්දියාව වැනි රටවලින් ප්‍රසිද්ධ ඉල්ලීමක් ද කරන ලදි. එවැනි ඉල්ලීම් ණය පැහැර හැරීමේ තීරණයන් නොවේ.

 

දෙවනුව, මහ බැංකු අධිපති සහ මුදල් ලේකම් විසින් අප්‍රේල් මස 12 දින පස්වරු 5.00 න් පසු ගෙවීමට නියමිත ණය සේවාකරණය අත් හිටුවන බව ප්‍රකාශ කරමින් මාධ්‍ය සාකච්ඡාව ජයග්‍රාහී විලාශයෙන් පැවැත් වූයේ අප්‍රේල් මස 11 දින සවස් යාමයේ දී ය.

 

එහිදී, වැඩිපුරම කථා පැවැත් වූයේ මහ බැංකු අධිපති වන අතර මෙය දැඩි ණය පැහැර හැරීමක් වලක්වන මෘදු ණය පැහැර හැරීමක් ලෙස ඔහු විසින් අර්ථකතනය කරන ලදි.


එබැවින්, ණය පැහැර හැරීමේ තීරණය දැන් මුදල් ලේකම්ගේ සහ මුදල් අමාත්‍යංශයේ ක්‍රියාවක් බවත්, ඊට මහ බැංකු අධිපතිගේ වගකීමක් නොමැති බවත් දක්වා සුපුරුදු ලෙස තමන්ගේ අත සෝදා ගැනීමට උත්සාහ කරන බව කිව යුතු නැත. ණය ගෙවීමට මුදල් නැත්නම් නිකන් සිටීම සහ ණය නොගෙවන බව වේලාසනින් ප්‍රසිද්ධ කිරීම වෙනස් කරුණු දෙකකි.


මහ බැංකු අධිපති විසින් ම මෙය මෘදු ණය පැහැර හැරීමක් ලෙස දක්වා ඇත. ණය පැහැර හැරීම තද හෝ මෘදු වුව ද ප්‍රතිඵලය ණය පැහැර හැරීම යි. මහ බැංකු අධිපති සහ මුදල් ලේකම් මහ බැංකුවේ සහ IMF හි වසර ගණනාවක් සේවය කොට අප්‍රේල් මස 7 දින ජනාධිපතිගෙන් නව පත්වීම් ලැබූවේ මෙම තොරතුරු සහ ශ්‍රී ලංකාවේ ණය සහ විදේශ මුදල් අර්බුදය ගැන නොදන්නා කිරි බොන බබාලා ලෙස නොවේ.

ඔවුන් පත් කරනු ලැබුවේ මෙම අර්බුදය විසඳීම සඳහා හැකියාව සහිත එකම පුද්ගලයන් දෙදෙනා බවට එවක ජනාධිපති වෙත ලද විද්වත් නිර්දේශයන් මත ය.

 

තෙවනුව, ගරු අලි සබ්රි ඇමති වරයා විසින් සැප්තැම්බර් මස 2 දින පාර්ලිමේන්තුවේ දී පැවසුයේ ණය නොගෙවීම පිළිබඳ තීරණය ගනු ලැබුවේ මහ බැංකු අධිපතිගේ යෝජනාව සහ උපදෙස් අනුව බවත්, ඒ පිළිබඳ සම්පූර්ණ වගකීම තමා භාර ගෙන නිලය අතහැර යාමට සුදානම් බවත්, එබැවින්, මහ බැංකු අධිපති එම තනතුරේ තබා ගන්නා ලෙසත් ඉල්ලා සිටින ලදි.

 

මෙම විෂය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම පිළිබඳ පරීක්ෂණයක් වන බැවින් ඊට වගකිව යුතු කෙනෙකු තනතුර හැර යාම සහ ඒ වෙනුවට ඊට වගකිව යුතු තවත් කෙනෙකු තනතුරේ තබා ගැනීම මගින් විසඳිය හැකි පුද්ගල ගනුදෙනුවක් නොවේ.



ඇමතිවරු සියළු නීති සහ ක්‍රමවේදයන් නොදන්නා බැවින් නිසි පළපුරුද්ද සහිත අදාළ ඉහළ නිලධාරීන් සහ ආයතන විසින් ඇමතිවරු වෙත නිසි වාර්තා සහ උපදෙස් සැපයීම සිදු කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වෙයි. එම විෂය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව නීති උල්ලංඝනයක් වී ඇත්නම්, ඊට බලතල ඇති සියළු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. දැන හැඳුනුම්කම් සහ මිතුරුකම් ඊට අදාළ නැත.


මහ බැංකු අධිපතිගේ යෝජනාව සහ උපදෙස් ද මත මෙම ණය පැහැර හැරීමේ තීරණය ගෙන ඇත්නම්, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීමේ චෝදනාවන් යටතේ මහ බැංකු අධිපතිට එරෙහිව පරීක්ෂණය කළ යුතුය. එපමණක්, නොව ණය පැහැර හැරීම මෙන්ම ණය පැහැර හැරීමේ අවදානම පිළිබඳ ව රජය දැනුවත් නොකිරීම පිළිබඳ ව ද මහ බැංකු අධිපතිට එරෙහිව පරීක්ෂණය කළ යුතුය. ඊට ඔහු වගකිව යුතු බවට නෛතික කරුණු රැසකි.



පළමුව, මුදල් නීති පනත යටතේ රාජ්‍ය ණය කළමනාකරු, රාජ්‍ය මුදල් නියෝජිත, රජයේ නිල මූල්‍ය උපදේශක සහ රජයේ නිල බැංකුකරු මහ බැංකුව යි. අලි සබ්රි ඇමති වරයා විසින් දැක්වූ මහ බැංකු අධිපති විසින් දෙන ලද යෝජනාව සහ උපදෙස් සඳහා මහ බැංකු අධිපති විසින් මුදල් මණ්ඩලයේ සහ රාජ්‍ය ණය අධිකාරිගේ පූර්ව අනුමැතිය ලබා ගෙන නැත්නම්, ඊට මහ බැංකු අධිපති පෞද්ගලිකව වගකිව යුතුය. ඊට හේතුව, ඔහු විසින් තම මහජන බලය අභිමවා තමන්ට නොමැති අධිකාරී බලයක් ක්‍රියාත්මක කිරීම යි.


මෙම කාර්යයන් මහ බැංකුව විසින් වසර 72 ක කාලයක් පුරා ඉටු කරන ලද කාර්යයන් බැවින් සහ මහ බැංකු අධිපති වසර 30 ක පමණ කාලයක් ඒ පිළිබඳව ඉහළ නිලතලවල සේවය කොට ඇති බැවින්, ඔහු නව අධිපති ලෙස පත් වීම හේතු කොට ඒවා නොදන්නා නවකයකු බව කිව නොහැකිය.


දෙවනුව, රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කරණය සඳහා 2018 සක්‍රීය වගකීම් කළමනාකරණ පනතේ ප්‍රතිපාදනයන් ද අදාළ වෙයි. රාජ්‍ය ණය කළමනාකරණය සඳහා මහ බැංකුව විසින් එම ප්‍රතිපාදනයන් අනුගමනය කොට නොමැති නම් සහ එය ද මෙම ණය පැහැර හැරීමේ සිද්ධියට දායක වී ඇත්නම්, මුදල් ඇමති සහ මහ බැංකු අධිපති එයට ද වගකිව යුතුය. ඒ අනුව, මහ බැංකු අධිපතිට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා අලි සබ්රි ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට කරන ලද හැන්සාර්ඩ්ගත ප්‍රකාශය ප්‍රමාණවත් වෙයි.


සිවුවනුව, ණය නොගෙවීමේ නිවේදනය කරනු ලැබුවේ කැබිනට් අනුමැතියට යටත්ව බවත්, ඊට පෙර කැබිනට් අනුමැතිය අප්‍රේල් 16 දින ගෙන 18 දින සිට ණය ගෙවීම අත් හිටවූ බවත්, මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කළ ද, එය 2022 අප්‍රේල් මස 12 දින මුදල් ලේකම් විසින් අප්‍රේල් 11 දින මහ බැංකු අධිපතිගේ සහභාගිත්වයෙන් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවෙන් පසු නිකුත් කළ නිවේදනය අනුව සාවද්‍ය වෙයි. එම නිවේදනයට අනුව, 2022 අප්‍රේල් මස 12 දින සවස 5.00 න් පසුව ගෙවීමට නියමිත ණය සේවාකරණය අත් හිටුවා ඇත.

එහෙත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කාර්යාවලිය ඉදිරිපත් කොට ජාත්‍යන්තර මූල්‍ය උපදේශකයන්ගෙන් ඉල්ලුම් පත්‍ර කැඳවා ඇත්තේ අප්‍රේල් මස 9 වෙනි දින ය. 

 
එනම්, මුදල් ලේකම් සහ මහ බැංකු අධිපතිගේ පළමු රාජකාරි දිනයට පසු දිනය යි. ඒ අනුව, පෙනී යන්නේ ඔවුන් දෙදෙනා රාජකාරි භාර ගෙන ඇත්තේ ද, විදේශ ණය පැහැර හැරීම, ප්‍රතිව්‍යුහගත කිරීම සහ IMF යාම තීරණය කර ගෙන බව යි. අප්‍රේල් මස 8 දින කඩි මුඩියේ පොලී අනුපාතයන් එක් වර ඓතිහාසික ලෙස 7% කින් ඉහළ දැමීම ද එම පැකේජයේ එක් මෙවලමකි.

ඊට හේතුව, මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ පවතින අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් අනුව ඔවුන් රාජකාරි භාර ගෙන දින කිහිපයක් තුළ මෙවැනි ප්‍රතිපත්ති පැකේජයක් ඉදිරිපත් කිරීමට අදාළ නිලධාරීන්ට හැකියාවක් නොමැති අතර එවැනි ප්‍රතිපත්ති පැකේජයක් කඩිනමින් ඉදිරිපත් කිරීම සඳහා එම නිලධාරීන් සුදානම් වී සිටිය බව ද සිතිය නොහැක.


පස්වනුව, පාර්ලිමේන්තුවේ මුදල් පාලනය පිළිබඳව ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රී රයා විසින් දැක්වූ අදහස පිළිගත් විපක්ෂ නායකවරයා විසින් දැක්වූයේ විදේශ ණය නොගෙවීමට ගත් තීරණය මහ බැංකු අධිපති විසින් සත්භාවයෙන් යුතුව කළ ක්‍රියාවක් බව යි.
 
 
 එහෙත්, සත්භාවය යනු පනවා ඇති නීති අනුගමනය කිරීම වන අතර අදාළ නීතිවලින් පිටත පුද්ගල ආකල්පයන් අනුව කරනු ලබන ක්‍රියාවන් සත්භාවය ලෙස දැක්වීම නීති විරෝධී වෙයි.
 
 මෙහිදී, මහ බැංකු අධිපති හෝ මුදල් ලේකම් වෙත පාර්ලිමේන්තුවේ මුදල් පාලනයෙන් පිට තම නිල අභිමතය පාවිච්චි කිරීමේ බලයක් පැවතියා නම්, සත්භාවය වලංගු වෙයි.


03. ණය ප්‍රතිව්‍යුහගත කරණය පිළිබඳ ව විරුද්ධ පක්ෂනායක විසින් කරන ලද විමසුමේ දී දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකිරීම පිළිබඳ ව මහ බැංකු අධිපති විසින් දැක්වූ සාවද්‍ය සහ වගකීම් විරහිත ප්‍රකාශයන්



1. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කළොත් බැංකු අර්බුදයක් හට ගෙන ආර්ථිකය නැවත ගොඩ නැගිය නොහැකි බව.


2. දේශීය ණය දැනටම උද්ධමනය සහ විනිමය අනුපාතය හේතු කොට ඩොලර් වටිනාකමින් මූර්ත වටිනාකම හැකිලී ඇති බැවින් දැනටම උද්ධමනය සහ විනිමය අනුපාතය අනුව දේශීය ණය සඵල ලෙස ප්‍රතිව්‍යුහගතකරණය සිදු වී ඇති බව. ඒ බව මුළු ණය තොගයෙන් දේශීය ණය ප්‍රතිශතය පහළ යාමෙන් පෙනෙන බව.

එනම්, උදාහරණ වශයෙන් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර විදේශීය ණය ප්‍රතිශතය 40% ක් ද, දේශීය ණය ප්‍රතිශතය 60% ක් ද වුව ද, දැන් විදේශීය ණය ප්‍රතිශතය 50% ක් ද, දේශීය ණය ප්‍රතිශතය 50% ක් ද ලෙස සාපේක්ෂ වටිනාකම විදේශීය ණයවල 10% ක් ඉහළ ගොස් දේශීය ණයවල 10% ක් පහළ ගොස් තිබීම.


3. උද්ධමනය හේතු කොට දේශීය ණයවල මූල්‍ය වටිනාකම එසේ පැවතිය ද, මූර්ත වටිනාකම පහළ යාම තුළින් සඵල ප්‍රතිව්‍යුහගත කරනයක් සිදු වී තිබීම.


4. IMF ණය තිරසරභාවය පිළිබඳ ඉලක්කයන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් නොමැතිව ඉටු කළ හැකි බව.


5. ඉදිරි අවුරුදු පහ තුළ ප්‍රතිව්‍යුහගත කරන ලද විදේශ ණය නොගෙවන අතර ඊට පසු එම ණය දිගු කාලීන බැඳුම්කර මගින් ගෙවන බව.


6. එම අවුරුදු පහ තුළ ණය ශ්‍රේණිය අනිවාර්යයෙන් ඉහළ යාම තුළින් ඇති වන විශ්වාසය හේතු කොට, වෙන වෙන ආයෝජනයන් රට ඇතුළට එන බැවින් ආර්ථික ගොඩ ඒම කඩිනම් වී ජීවන තත්ත්වය ඉහළ යන බව සහ, එහෙත්, ඒ නිසාම නැවත විදේශ ණය ගෙන ණය චක්‍රයට වැටීමට යෝජනා නොකරන බව.


7. වාණිජ ණය වෙත නැවත යොමු වන්නේ අවුරුදු හතරකට පසු IMF ණය වැඩසටහන අවසානයේ  දී බවත්, ඒ අතර තුර ප්‍රතිලාභ මත ව්‍යාපෘති ණය ගැනීම කළ හැකි බව.


8. ඒ අතර තුර විදේශ ණය ගෙවීමේ බරක් නොමැති වීම සහ වෙන වෙන අරමුදල් ලැබෙන බැවින් පවතින අපනයන සහ ආනයන මොඩලයක් මත අපනයන අභිමුඛ ආර්ථිකයක් බවට පත් කොට ආර්ථිකයේ හැකිලීම ඉවත් කොට තුලනය කළ හැකි බව.


මාගේ ප්‍රතිචාරය:
 
 
අර්බුදයකින් ගොඩ ඒම සඳහා ආර්ථිකය කළමනාකරණය කිරීම පිළිබඳ ව ඉහත දැක්වූ අදහස් මහ බැංකුවේ අධිකාරී බලයෙන් එහා ගොස් රජය විසින් තීරණය කළ යුතු ඉදිරි දැක්මක් ආවරණය වන අතර සමහර අදහස් සාවද්‍ය වෙයි.
 
 
 
පළමුව, ඉදිරි වසර 5 තුළ වාණිජ හෝ වෙනත් ණය ගැනීම පිළිබඳ ව රජය විසින් තීරණය කල යුතුය. විශේෂයෙන්, රාජ්‍ය ණය කළමනාකරණය මහ බැංකුවෙන් පිටත රාජ්‍ය ණය කාර්යාලයකට පැවරීමට මෙවර අයවැයෙන් දැනටම තීරණය කොට ඇත. ඉදිරි වර්ෂ හතර පුරාම ලැබෙන IMF ණය මුදල ඩොලර් බිලියන 2.9 න් ආර්ථිකය නැවත ගොඩ ගැනීම කළ නොහැකි බැවින් විදේශ ණය ගැනීමට සිදු වනු ඇත. ඊට හේතුව, වත්මන් ආර්ථික අර්බුදයේ කොඳු නාරටිය උග්‍ර විදේශ මුදල් සහ සංචිත හිඟය වන බැවිනි.


උදාහරණ ලෙස මෙවැනි උග්‍ර ආර්ථික අර්බුදයක් සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් නොමැතිව IMF වෙතින් ලැබූ ණය ප්‍රමාණය 2009 දී ඩොලර් බිලියන 2.6 ක් ද, 2016 දී ඩොලර් බිලියන 1.5 ක් ද සමඟ සැසඳීමේ දී, මෙවර ඩොලර් බිලියන 10 ක වත්  IMF ණය ප්‍රමාණයක් ලැබුවා නම්, ඉදිරි වසර 5 තුළ වෙනත් විදේශ ණය නොමැතිව මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වනු ඇත.

මෙහිදී, IMF ණය මුදල ඩොලර් බිලියන 2.9 ක් ලෙස දැක්වුව ද, ශ්‍රී ලංකාවට එම ඩොලර් ප්‍රමාණය ලැබෙන බවට සහතිකයක් නොමැත. ඊට හේතුව, IMF විසින් එස්.ඩී.ආර්. මුදලින් බිලියන 2.2 ක පමණ ණය දෙන අතර එම මුදල වෙනත් IMF සාමාජික රටකට එවකට පවතින එස්.ඩී.ආර්.-ඩොලර් විනිමය අනුපාතය මත අළෙවි කොට ඩොලර් මිල දී ගත යුතුය.

එබැවින්, ඉදිරි වසර 4 තුළ වරින් වර ණය වාරිකයන් ලැබෙන විට ඩොලර් මුදල ප්‍රතිප්‍රමාණය වුව හොත් එම එස්.ඩී.ආර්. ණය ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ඩොලර් ප්‍රමාණය බිලියන 2.9 ට වඩා පහළ යනු ඇත. තවද, එම මුදල් භාවිතා කිරීමට අදාළ කොන්දේසි ද පනවා ඇත.එනම්, ඉන්ධන සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ආනයන සඳහා යොදා ගත නොහැකි බව වාර්තා වෙයි. එසේ නම්, එය අතේ තියා ගෙන සංචිත ඉලක්කම පෙන්වීමට ලැබෙන මුදලකි.


දෙවනුව, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය පිළිබඳ ව මහ බැංකු අධිපති විසින් දැක්වූ අර්ථ නිරූපනයන් සාවද්‍ය වෙයි. ඊට හේතු කිහිපයකි. 
 

# පළමුව, දේශීය ණය මූර්ත වශයෙන් දැනටම ප්‍රතිව්‍යුහගත කරණය වී ඇති බව අංක ගණිත කරුනකි.

ණය ප්‍රතිව්‍යුහගත කරණය යනු ණය ආපසු ගෙවීම සඳහා ණය සහ පොලී ප්‍රමාණය පහළ දැමීම, ණය වාරිකය පහළ දැමීම සහ ණය ආපසු ගෙවීම සඳහා කාලය දීර්ඝ කිරීම යනාදිය තුළින් ආදායමට සරිලන ලෙස ණය ආපසු ගෙවීමේ බර අඩු කර ගැනීම යි.

එහෙත්, මූර්ත වශයෙන් ණය බර පහළ යාම යනු ගෙවිය යුතු ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කරණයක් තුළින් පහළ යාම නොව ආර්ථික සංකල්පීය ගණනය කිරීමකි.


# දෙවනුව, දේශීය ණය සඳහා ද ඩොලර් වටිනාකම ගණනය කොට (එනම්, දේශීය ණය ප්‍රමාණය ඩොලර් විනිමය අනුපාතයෙන් බෙදීම) මුළු ණයවලින් එහි ප්‍රතිශතය ගණනය කිරීම හරහා දේශීය ණය ප්‍රතිශතය 60% සිට 50% දක්වා පහළ යාම යනු සංකල්පීය ණය ප්‍රතිශතයන්ගේ වෙනස් වීමක් පමණි. එමගින්, රජය විසින් ගෙවිය යුතු රුපියල් ණය ප්‍රමාණය සහ ආපසු ගෙවීමේ කාලය වෙනස් වන්නේ නැත.


තෙවනුව, පාරිභෝගික මිල දර්ශකයේ ඉහළ යාමේ ප්‍රතිශතය හෙවත් උද්ධමනය ඉහළ යාම හේතු කොට පාරිභෝගික භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ හැකියාව පහළ යාම දේශීය ණය තොගයට ගැලපීම තුළින් මූර්ත දේශීය ණය ප්‍රමාණය පහළ යාම ද ණය ප්‍රතිව්‍යුහගත කරණයක් ලෙස දැක්වීම සාවද්‍ය ය. ඊට හේතු කිහිපයකි.


# පළමුව, දැනට පවතින ණය තොගය ඉදිරි වර්ෂ කිහිපයක්  තුළ සේවාකරණය කෙරෙන ණය වෙයි. එම කාලය තුළ උද්ධමන අනුපාතය වෙනස් වීමෙන් මූර්ත ණය ප්‍රමාණය ද නිරන්තරයෙන් වෙනස් වනු ඇත. උදාහරණ ලෙස මහ බැංකුව විසින් පවසන පරිදි උද්ධමනය ඉලක්ක උද්ධමනය (4%-6%) දක්වා පහළ ගිය හොත්, මූර්ත දේශීය ණය ප්‍රමාණය ඉහළ යන බැවින් රජයට අවාසි ලෙස ණය ප්‍රතිව්‍යුහගත කරණය වී ඇති බව කිව නොහැකිය.


# දෙවනුව, ආයෝජකයන් විසින් පරිණත වන ණය මුදල් ආපසු ගෙන එම මුළු මුදල් පාරිභෝගික භාණ්ඩ හා සේවා මිල දී ගැනීමට භාවිතා නොකෙරේ. එම සියළු ණය මුදල් ආපසු ලැබීම් සාමාන්‍යයෙන් ඉදිරි පරිණත කාලයන් සඳහා නැවත නැවත ආයෝජනය කරනු ඇත.


# තෙවනුව, රාජ්‍ය සුරැකුම්පත් වැනි ණයවල සලාක පොලී අනුපාතයට සාපේක්ෂව දැනට පවතින 30% ක් වැනි ඉහළ ඵලදායිතා අනුපාතයන් හේතු කොට එම ණය ඉහළ වට්ටමක් මත නිකුත් කොට ඇත. එබැවින්, රජයට සැබෑ ලෙස ලැබෙන ණය ප්‍රමාණය පහළ ගොස් ඇති අතර රජය විසින් මුහුණත වටිනාකම ගෙවිය යුතු බැවින් ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණය ද ඒ මත ඉහළ යනු ඇත. එබැවින්, ආයෝජකයන්ගෙන් ලැබී ඇති මූර්ත ණය ආයෝජන ප්‍රමාණය ඔවුන් විසින් සැබෑ ලෙස රජයට දී ඇති ණය ප්‍රමාණය, එනම් වට්ටමින් පසු මිල, මත තවත් පහළ යනු ඇත. එය ණය ප්‍රතිව්‍යුහගත කරණයක් ලෙස දැක්විය නොහැකිය.


# සිවුවනුව, දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය හේතු කොට රාජ්‍ය සුරැකුම්පත් ඵලදාව 30% ට ඉහළ ගොස් ඇති බැවින් ආයෝජකයන් සතු සුරකුම්පත්වල වෙළෙඳපොළ වටිනාකම ඊට ප්‍රතිවිරුද්ධව දැඩි ලෙස පහළ ගොස් ඇත.

එබැවින්, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වටිනාකම මත එහි මූර්ත ණය ප්‍රමාණය තවත් පහළ යන බැවින්, ඒ මගින් ද ආයෝජකයන් පැත්තෙන් බලන විට රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කරණය වී ඇති බව දැක්විය හැකිය. එහෙත්, එය ද මනස්ගාත තර්කයකි.

# පස්වනුව, දේශීය මුදල් ණය ප්‍රතිව්‍යුහගත කරණයක් අවශ්‍ය නොවන්නේ මුදල්/ණය මැවීම මගින් රජයට එම ණය ගෙවිය හැකි බැවිනි. විදේශ ණය සඳහා එය කළ නොහැක්කේ රජයට විදේශ මුදල් ණය මැවීමේ හැකියාවක් මෙම අවස්ථාවේ නොමැති බැවිනි.


එහෙත්, අතීතයේ දී විදේශ ණය ගෙවන ලද්දේ නව විදේශ ණය ලබා ගැනීමෙනි. දේශීය බැංකු සහ මූල්‍ය පද්ධතිය රාජ්‍ය ණය මත ගොඩ නැගී ඇති බැවින් දේශීය ණය ආයෝජකයන්ට තම මූල්‍ය වත්කම් කළඹ සඳහා රාජ්‍ය ණය ආයෝජනය හැර වෙනත් විකල්පයක් නොමැත. එබැවින්, රාජ්‍ය ණය පොලිය ඉහළ යන විට ආයෝජකයන් වෙනත් වත්කම්වලින් ඉවත් වී රාජ්‍ය ණය ආයෝජනයට තව තවත් පෙළඹෙනු ඇත.

ඊට හේතුව, රට තුළ අවදානම අඩුම ආයෝජනය රාජ්‍ය ණය බවට පවතින විශ්වාසය යි. එබැවින්, දේශීය ණය තිරසරභාවයක් නොමැති වුව ද, රට තුළ රාජ්‍ය ණය ඉල්ලුම පහළ නොයනු ඇත. එහෙත්, අත්තනෝමතික මූල්‍ය ප්‍රතිපත්ති හේතු කොට රාජ්‍ය ණය පිරිවැය ඉහළ යාම තුළින් දේශීය රාජ්‍ය ණය තොගය වේගයෙන් ඉහළ යාම සිදු විය හැකිය.

එබැවින්, දැනට පවතින අර්ථයෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයක අවශ්‍යතාවය පැන නොනගී. එහෙත්, ණය කළමනාකරණයේ දී භාවිතා වන සක්‍රීය වගකීම් කළමනාකරණයක් අවශ්‍ය වනු ඇත.
 
 
එබැවින්, බැංකු අර්බුදයක් හට ගැනීමේ අවදානම හේතු කොට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයක් නොකරන බව අර්ථ රහිත මෙන්ම මූල්‍ය පද්ධති අවදානම් ඇති කෙරෙන බැවින් මහ බැංකු නිලධාරියකු විසින් නොකළ යුතු වගකීම් විරහිත ප්‍රකාශයකි.
 
 
නිර්දේශය :


ඉහත දැක්වූ පාර්ලිමේන්තු සංවාදයේ දී හෙළි වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ අවසරයක් නොමැතිව විදේශ ණය පැහැර හැරීම සහ පාර්ලිමේන්තුවට අසත්‍ය සහ වගකීම් විරහිත ප්‍රකාශයන් කිරීම මත මහ බැංකු අධිපති විසින් තවදුරටත් එම නිලය දැරීමේ යෝග්‍යතාවය පිළිබඳ ව මුදල් නීති පනතේ 16 (ඇ) ප්‍රතිපාදනය යටතේ මතයක් ගෙන ක්‍රියා කිරීමට බලතල ජනාධිපති වෙත පවතී. එසේම, ඒ සඳහා උපකාරී වන ඔහුගේ තවත් නීති උල්ලංඝණයන් සහ පිළි ගත නොහැකි ක්‍රියාවන් රැසක් සමාජ මධ්‍යයෙහි වාර්තා වී ඇත.

තවද, වත්මන් ආර්ථික අර්බුදයෙන් ආර්ථිකය ගොඩ ගැනීම සඳහා මහ බැංකු අධිපතිගේ ආර්ථික මොඩලය වන්නේ දැනටත් හැකිළී ඇති ආර්ථිකය තවත් හැකිළීම තුළින් ආර්ථිකයේ ව්‍යාපාරයන් බංකොලොත් කිරීම සහ රැකියා අහිමි කිරීම හරහා පොදුජන ආදායම අඩු කිරීම තුළින් ආර්ථිකයේ භාණ්ඩ හා සේවා ඉල්ලුම අඩු කොට උද්ධමනය පාලනය කිරීමෙන් පසු ජාත්‍යන්තර මානුෂික ආධාර හරහා නැවත ආර්ථිකය ගොඩ නැගීමට ක්‍රියා කිරීම යි.

ඔහු විසින් රාජකාරි භාර ගත් විගස පොලී අනුපාතය ඉහළ දැමීම, රාජ්‍ය විදේශ ණය ගෙවීම පැහැර හැරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විදේශ ණය හිමියන්ගේ අනුග්‍රහය ඉල්ලා සිටීම, පොදුජනයාට අත්‍යාවශ්‍ය ආනයන සඳහා විදේශීය මුදල් ආධාර අයැදීම සහ IMF ගැලවුම්කාර ණය වැඩසටහනක්  ලබා ගැනීමට ඇමෙරිකාව බලා යාම එම මොඩලයේ පදනම යි.

සාමාන්‍ය ආර්ථික දැනුම අනුව මෙම ආර්ථික මොඩලය තුළින් 1930 ගණන්වල යුරෝපීය රටවල හට ගත් මහා අවපාතයේ දී මෙන් විදේශ මානුෂික ආධාර මත කැඳ සහ ආහාර බෙදන පෝලිම් හට ගෙන ජාතික ආර්ථිකය සහ පොදුජන ජීවිතය ජාත්‍යන්තර භූදේශපාලනික ආධාර මත යැපීමට සලස්වන ආර්ථික මානසික ව්‍යාධියක් වන අතර එය මුදල් නීති පනතේ 16(ආ) යටතේ නුසුදුසු කමකි.
 
 
එබැවින්, මෙම මොඩලය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම මුදල් නීති පනතේ අන්තර්ගත මූලධර්මයන්, අරමුණු සහ ප්‍රතිපත්ති මෙවලම් උල්ලංඝණය කිරීමක් වන අතර ඕනෑම රටක රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තියට ද එරෙහි වීමකි. එය ද, මුදල් නීති පනතේ 16(ඇ) වගන්තිය යටතේ මතයක් ගැනීම සඳහා කරුණකි.
 
 
අද දින වාර්තා වූ පුවතක් අනුව වී ගබඩාවක වී තොගයක් නරක් වීමේ චෝදනාව මත එම ගබඩා පාලකගේ සේවය අත් හිටුවා ඇත. එහෙත්, ව්‍යවස්ථාව උල්ලංඝණය කොට ආර්ථිකය තවත් බංකොලොත් භාවයට සහ හැකිළීමකට යොමු කොට පාර්ලිමේන්තුවේ මැසිවිලිවලට ද භාජනය වී ඇති මහ බැංකු අධිපතිගේ සේවය පිළිබඳ ව මුදල් නීති පනතේ ප්‍රතිපාදන යටතේ ක්‍රියා කිරීමට අදාළ බලධාරීන් අපොහොසත් වීම කණගාටු දායක කරුණක් වෙයි.

පාර්ලිමේන්තු සංවාදයේ දී මහ බැංකු අධිපති විසින් කරනු ලැබූ දේශනයේ අඩංගු කරුණු පිළිබඳ ව තාක්ෂණික විග්‍රහයක් ඊළඟ ලිපියෙහි ඉදිරිපත් කෙරේ.


(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)



2020 දී ශ්‍රී ලංකාවට IMF ණය නොලැබුණේ ඇයි? -(පි සමරසිරි)(පි සමරසිරි)
හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)


(economydiscovery - September 06, 2022)



සබැඳි ලිපි

මහ බැංකු අධිපති ඉදිරි වසර 6 කට යෝග්‍ය ද? පරික්ෂා කරමු - (පි සමරසිරි)

2020 දී ශ්‍රී ලංකාවට IMF ණය නොලැබුණේ ඇයි? -(පි සමරසිරි)



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.  

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්