දැනට ගොඩනැගෙමින් ඇති මර්දනකාරී දේශපාලන පෙළගැසීම් හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  (IMF) සමගින් ආණ්ඩුව ඇති කරගන්නා සම්මුතීන්

පිළිබඳ තොරතුරු ඉල්ලා ඒවායේ ගුණ දොස් ප්‍රශ්න නොතරන නාගරික මැදපංතිකයින් හා වෘත්තිකයින් ඉන්නා රටක, මාධ්‍යයද ඔවුන්ගේ සමාජ වගකීම නොදන්නා සහ ඒ ගැන උනන්දුවක් නොමැතිව සිරස්තල සඳහා ප්‍රවෘත්ති සෙවීම අපූරු අමුතු තත්ත්වයක්ද නොවේ.


එවැනි පසුබිමක වික්‍රමසිංහ ආණ්ඩුව සහ ජා.මූ. අරමුදලේ මාණ්ඩලිකයින් සැප්තැම්බර 01 වන දින මූලික පූර්ව එකඟතාවන්ට පැමිණි බව දෙපාර්ශවයම ප්‍රකාශකර ඇත.

“එකඟතා” ලෙස කතා වන්නේ ජා.මූ. අරමුදල පූර්වයෙන් ඉටු කළ යුතු යැයි පනවා ඇති කොන්දේසි බැව් තේරුම් ගත හැක්කේ ආණ්ඩුව එම “එකඟතා” ඉටු කරන තෙක් ඩොලර බිලියන 02.9 ක ආධාර මුදල ජා.මූ. අරමුදලේ විධායක අධ්‍යක්ෂ  මණ්ඩලය විසින් ලංකාණ්ඩුවට ලබා නොදෙන හෙයින් ය.


ජා.මූ අරමුදලේ කොන්දේසි ගැන අප දන්නා තරම



දැනට එම කොන්දේසි ලෙස දැක්වෙන්නේ,

 (01) නිල ණය දෙන්නවුන්ගෙන් මූල්‍ය ආධාර ලබා ගත හැකි බවට සහතිකවීම්

(02) පෞද්ගලික ණය දෙන්නවුන්ගේ පිළිගැනුමක් නැවත ලබාගත් බව සහ

(03) තිරසාර ලෙස ණය කලමනාකරණය කිරීමේ සැළසුමක් ඇති බව යැයි ශ්‍රී ලංකා ආණ්ඩුව සනාථ කිරීමය.



ශ්‍රී ලංකාවේ ණය බර රටට ඔරොත්තු නොදෙන්නක් යැයි ජා.මූ. අරමුදල විසින් තක්සේරුකර ඇති හෙයින් ණය ලබා දුන්නවුන් සමගින් කෙරෙන සාකච්ඡා අනුව ඉදිරි ණය සහන සහතිකව ඇතැයි සනාථ කිරීම අනිවාර්ය වන්නකි.



එම මූලික කොන්දේසි මගින් එක වැදගත් කරුණක් සනාථවන බැව් අවධාරණය කළ යුතුව ඇත. ජා.මූ අරමුදල සමග කෙරෙන සියලු ගනුදෙනු සහ කොන්දේසි මගින් සිදු කෙරෙන්නේ ලංකාණ්ඩුවට තව වටයක් ඩොලර ණය ගැනීමට හැකි පසුබිමක් හැදීම පමණ ය. ණය අහෝසි කිරීමක් හෝ ඒ ණය පියවීමක් ගැන හෝ කතා කිසිවක් එහි නැත. මේ ඇද වැටී තිබෙන දේශීය ආර්ථිකය අපගේ ශක්තියෙන් ගොඩ ගත හැකි සැළසුම් ගැනද කතා නැත.  



එය එසේ යැයි කියන්නාවූ වැදගත් කාරණාවක් වන්නේ බදු ක්‍රමයේ ප්‍රතිසංස්කරණයන් ය.

ඔවුන් පෞද්ගලික බදු අය කිරීම් මීට වඩා “ප්‍රගතිශීලි” විය යුතු යැයි කියන්නේ කවර අර්ථයෙන් දැයි නොදනිමු.

නමුත් ව්‍යාපාර බදු සහ වටිනාකම් එකතු කෙරෙන බද්ද (VAT) පුළුල් කිරීම දළ වශයෙන් බදු සඳහා වන පරාසය වැඩි කිරීමක් වනු ඇත. එමගින් වක්‍ර බදු වැඩි කිරීමක් සිදුවන නිසාම ආර්ථික අහේනියකට හසුව ඉන්නා සමාජයේ බහුතර ජනතාව තව දුරටත් වැඩි ආර්ථික පීඩනයකට හසු කිරීමක් ඉන් සිදුවනු ඇත.



ජා.මූ අරමුදල ගණන් තබා ඇත්තේ පසුගිය වසරේ දළ දේශීය නිෂ්පාදනයෙන් සෘණ සියයට 05.7 ක් වූ දේශීය ආදායම 2025 වනවිට සියයට 02.3 ක අතිරික්තයක් විය යුතු යැයි කියා ය.




වික්‍රමසිංහ බලය ලබා ගත් පසු නොබෝ දිනකින් සියයට 08 සිට 12 දක්වා වැඩි කළ VAT බද්ද, පසුගිය දින සම්මත කෙරුණු ඔහුගේ අන්තර්වාර සහන අයවැයෙන් සියයට 15 දක්වා නැවත වැඩි කරනු ලැබුවේත් වයස අවුරුදු 18 ට වැඩි සියල්ලන් ආදායම් බදු සඳහා ලියාපදිංචි විය යුතු යැයි තීන්දු කරනු ලැබුවේත් එවැනි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් බැව් නිසැකය.

ශ්‍රී ලංකා ආණ්ඩුව සමග කෙරුණු සාකච්ඡා සම්බන්ධව ඊට අමතරව සඳහන් කෙරෙන්නේ අනිවාර්ය රාජ්‍ය වියදම් විශාල වූවත් වියදම් අඩුකර ගැනීමේ යම් ඉඩක් ආණ්ඩුවට සොයා ගත හැකි යැයි ඔවුන් සිතන අතර, 2021 පොලී ගෙවීම් හා වැටුප් රජයේ සමස්ථ ආදායම මෙන් සියයට 130 ක් වූ බවය.

මේ සාකච්ඡා සම්බන්ධ එවැනි තොරතුරු අපගේ මාධ්‍යයන්හි, විශේෂයෙන් සිංහල මාධ්‍යයන්හි හමු නොවනමුත් (දෙමළ මාධ්‍ය ගැන කියන්නට නොදනිමි) ජාත්‍යන්තර ආයතන එවැනි තොරතුරු පළ කරති.

ඉහතින් සඳහන් කෙරුණේද ජා.මූ. අරමුදල සහ ශ්‍රී ලංකාණ්ඩුව අතර එකගත්වයක් ඇති වූ බවට කෙරුණු ප්‍රකාශයෙන් පසු දිනයේම “ෆිච්ට්” මූල්‍ය ඇගයුම් ආයතනය ඔවුන්ගේ “ෆිච්ට් වය” පුවත් වාර්තාවෙහි “ශ්‍රී ලංකාව හා ජා.මූ.අ අතර එකඟතාවෙහි වැඩි අවධානය ණය කේවල් කිරීමට” යන මැයෙන් පළ කෙරුණු විස්තර වෙතින් ලබා ගත් තොරතුරු බිඳකි.



ණයවීම ගැනවත් ණය පියවීම ගැනවත් ඇසිය නොහැකි ප්‍රශ්න

ඒවා ආර්ථික බලපෑම් ගැන කතා කිරීමේදී වැදගත් ය. ඒවායෙන් කෙරෙන ඉඟි කිරීම් එනමුත් එතරම් ගුණ නැත. ඊටත් අමතරව, කිසිදු තැනක කතා නොවන වෙනත් පූර්ව කොන්දේසි ගණනාවක්ද ඇත. එවැනි නිහඬ කොන්දේසි මල්ලක් බාර දීම ජා.මූ. අරමුදලේ සම්මත සිරිතකි.



“ප්‍රසිද්ධියේ නිශ්චිතව හඳුන්වා නොමැති ක්‍රියාකාරකම්” නැතිනම් ඉංග්‍රීසියෙන් “not publicly specified” යැයි කියන්නාවූ මේ කොන්දේසි වත්මන් ගනුදෙනුවෙහිද ඇත. ආධාර මුදල ලබා ගැනීමට ඒවාද ආණ්ඩුව විසින් ඉටු කළ යුතුය.

 



xdfgrtyrtසමාජ මධ්‍යයේ සංසරණය වන පොස්ටුවකි.


ඒ “රහස්‍ය සම්මුති” වලට අමතරව අපගේ ආර්ථික විශේෂඥයින් සහ දේශපාලකයින් කතා කරන කොන්දේසි ගැන හෝ විස්තර ප්‍රසිද්ධ කළ නොහැකි යැයි මහ බැංකු අධිපති සතියකට පෙර රූපවාහිනි නාලිකාවක් සමග කියා තිබුණි.

ශ්‍රී ලංකාව මීට පෙර 16 වතාවක් ජා.මූ. අරමුදලින් සහන අරමුදල් ලබා ගෙන ඇති නමුත් ඔහුට අනුව ඒ කිසිදු අවස්ථාවක කිසිදු විස්තරයක් පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට හෝ ලබා දී නොමැත.

ඔහු කියන අයුරු ණය ප්‍රතිව්‍යුහගත කිරීම් පිළිබඳ ඇති කර ගන්නා එකඟතාවන්ද හෙළි කළ නොහැක. ඒවායේ ඉතා වැදගත් “රහස්‍ය වෙළඳ තොරතුරු” ඇතැයි ඔහු හේතු දක්වා තිබිණ.



මේ කතා පිළිගන්නා පණ්ඩිතමානි නාගරික මැදපංතියක් ඇති විටෙක, මාධ්‍ය මේ කිසිත් ප්‍රශ්න නොකරන්නේ ඔවුන්ගේ සමාජ වගකීම ගැන මතක් කරන්නටද කිසිවකු නොමැති හෙයිනි. ලබා දිය නොහැකි යැයි කියන, අතිශය “රහස්‍ය වෙළඳ තොරතුරු” අඩංගු වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ගැන මහ බැංකු අධිපතිගෙන් මාධ්‍යවේදීන් ඇසිය යුත්තේ ආර්ථිකය කඩා වැටෙන්නට හේතුවූ ණය කන්දරාව ගොඩ ගැසුණේ ඒවාට අදාල සියලු තොරතුරු හා කොන්දේසි සමාජය හමුවේ තැබූ නිසාදැයි කියා ය.



විදුලිය කප්පාදු කෙරෙන, දින ගණන් දුර ඇදෙන ඉන්ධන පෝලිම්වල නිදි මරණ, කෘෂි වගාවට හා ධීවරයින්ට අත්‍යාවශ්‍ය ඉන්ධන නැතිව, ඖෂධ නොමැතිව, අත්‍යාවශ්‍ය ආහාරද හිඟව අද මේ රට අනාථව හාමතේ ඉන්නේ කිසිදු විස්තරයක් සමාජය හමුවේ නොතබා, පාර්ලිමේන්තුවටද නොදන්වා ණය ගත් නිසා යැයි මහ බැංකු අධිපතිට කිව යුතුව ඇත.

සියලු තොරතුරු රහසේ තබා ගනිමින් ලබාගත් ණය කන්දරාවෙන් නිදහස් වන්නට ඒවා ප්‍රතිව්‍යුහගත කළ යුත්තේද ජනතාවට හොරෙන්දැයි මහ බැංකු අධිපතිගෙන් තවමත් කිසිවකු අසා නැත.

මේ සමස්ථ ඛේදවාචකය හමුවේත් තවමත් යෝධ දූෂණ සිදුවන්නේ “රහස්‍ය වෙළඳ ගනුදෙනු” සමගින් යැයිද ඒවාට රාජ්‍ය ආයතනවල ඉහළ පෙළ නිලධාරීන්ද හවුල්වන බැව් මහ බැංකු බැඳුම්කර වංචාවෙන් පවා හෙළි වූ බැව් මතක් කළ යුතුව ඇත.



එබැවින් ජනතාවට විස්තර නොකියා ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට මහ බැංකුවේත් මුදල් අමාත්‍යාංශයේත් ඉහළ නිලධාරීන්ට ඉඩ දෙන්නට තරම් විශ්වාසයක් මේ සමාජයේ ඉතිරිව තිබිය හැකිදැයි මහ බැංකු අධිපතිම කිව යුතුය.  

 

රටකට දැරිය නොහැකි මේ ණය කන්දරාව ප්‍රතිව්‍යුහගත කෙරෙන තීරණාත්මක අවස්ථාවේ හෝ “රහස්‍ය ගනුදෙනු” නොමැතිව එය සිදුවන්නේදැයි දැන ගැනීමේ පරම අයිතියක් ජනතාවට ඇත. එනිසා අතීත පුරුදු සමගින් ඒ අයිතිය නැවත යටපත් කරන්නට ඉඩ නොතැබිය යුතුය. එය නොවලහා ජනාධිපතිටත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ටත් මහ බැංකු අධිපතිටත් කිව යුතුව ඇත.

මේ අවදානම් මොහොතේ එය මාධ්‍යවේදීන්ගේ වගකීමක් යැයි මම විශ්වාස කරමි.

එනමුත් මාධ්‍ය මගින් එවැනි වගකීමක් බාර ගැනෙන්නේ නැත. කොළඹ කේන්ද්‍රීය වූ මාධ්‍ය පුළුල්වීම හා බහුවිධකරණයවීමද විවෘත වෙළඳපල ආර්ථිකයේ මතවාද හා ලාභ වෙනුවෙන් සිදු වූවකි. ඒවායේ සේවයට තරුණන් බඳවා ගනු ලැබූයේ අධිවේගී පාරිභෝගික සමාජයක ලාභය වෙනුවෙන් සිල්ලර වැඩසටහන් ඉදිරිපත් කිරීමට ය.



එහි ඇති ඛේදවාචකය නම්, අනුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් උණුසුම් ප්‍රවෘත්ති ලෙස වාර්තා කිරීමට උනන්දු වන මාධ්‍යවේදීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 14.1 අනු ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති වෘත්තීය සමිති පිහිටුවීමේ හා වෘත්තීය සමිතියකට බැඳීමේ මූලික අයිතීන් ඔවුන්ට අහිමි කිරීම ගැන කතා නොකිරීම ය. එවැනි මූලික අයිතීන් මාධ්‍යවේදීන්ටද හිමි බව ඔවුන් දන්නේ දැයි සැක සහිතය. ඔවුන් බහුතරය තරග වදින්නේ තමන් ඉදිරිපත් කරන්නාවූ වැඩසටහන් මගින් තම ප්‍රතිරූපය ජනප්‍රිය “නළු චරිත” ලෙසින් ඔසවා තබා ගන්නටය.  



මෙරට පැරණිම ජනසන්නිවේදන උපාධි පාඨමාලාව 1973 දී ආරම්භ කළ කැළණිය විශ්ව විද්‍යාලයට හෝ ඉන්පසු එවැනි පාඨමාලා ආරම්භ කළ අනෙක් විශ්ව විද්‍යාල වලට හෝ ශ්‍රී ලංකාවේ “මාධ්‍ය කර්මාන්තය” විසින් පවත්වාගෙන යන ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය විසින් හෝ වෘත්තීය ආචාර ධර්ම රකින මාධ්‍යවේදීන් හදා නැත.

ජනසන්නිවේදන හෝ ජනමාධ්‍ය පිළිබඳ සහතික ලබා ගන්නා කිසිවකු ජනමාධ්‍යවේදය වෘත්තියක් ලෙස තහවුරු කර ගැනීමටද කිසිදු උත්සාහයක් ගෙන නැත. එබැවින් පෞද්ගලික මාධ්‍යයන්හි ඔවුන්ගේ රැකියාවේ සුරක්ෂිත භාවයක්ද නැත.


සියල්ලන් “මෑන්පවර්” ශ්‍රමිකයින් කිරීමේ ජා.මූ අරමුදලේ නොකියන සම්මුති

දැනට සනාථවන අන්දමට ජා.මූ අරමුදලේ පූර්ව කොන්දේසි ඉටු කරන්නට මේ වික්‍රමසිංහ පාලනය කල් තබා සැළසුම් කළ පියවර කිහිපයෙන් වැඩිම බරක් තබා ඇත්තේ සේවක අයිතීන් කප්පාදු කිරීමට ය.

බටහිර බලවතුන්ගේ අරමුදල් සමග ගෝලීය ආර්ථිකය විසින් ඩැහැගෙන ඇති එක්සත් ජාතීන්ගේ අනුබද්ධිත සංවිධාන පවා මැදිහත් වන්නේ මානව අයිතිවාසිකම් තහවුරු කිරීමට නොව, ජාවාරම්කාර ලාභ සඳහා වෙළඳපල රැකීමට ය.

ජා.මූ අරමුදලේ “ප්‍රසිද්ධියේ නිශ්චිතව හඳුන්වා නොමැති ක්‍රියාකාරකම්” අතර වන පූර්ව පියවර ලෙස වික්‍රමසිංහ ආණ්ඩුව වහා අත ගසා ඇත්තේ සේවක අයිතීන් බාල්දු කෙරෙන කම්කරු නීති සංශෝධනයකට බැව් පැහැදිලි වන්නේ ඒ වෙනුවෙන් ජාතික කම්කරු උපදේශන සභාවේ සාමාජික වෘත්තීය සමිතිවල හවුලක් නොමැතිව හාම්පුතුන්ගේ සහාය ඇතිව නීති සංශෝධනය කිරීම ආරම්භ කර ඇතැයි වාර්තාවන බැවින් ය.

එවැනි සංශෝධන සඳහා වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් නැතැයි කම්කරු ඇමතිගේ පෞද්ගලික ලේකම් වෘත්තීය සමිති නායකයින්ට කියා ඇත්තේ ආණ්ඩුවේ ස්ථාවරය කම්කරු ඇමතිගෙන් අසා දැනගෙන ඇති හෙයින්ය.

මෙවර ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කොළඹ කාර්යාලයෙන් ආරම්භ කර ඇති වඩා යහපත් සේවයක් වෙනුවෙන් සේවක අයිතිවාසිකම් අතහැර දමා “සේවක සෞඛ්‍ය” ප්‍රමුඛත්වයට ගැණෙන නව ව්‍යාපෘතිය ජා.මූ අරමුදලේ වුවමනා සපුරන ව්‍යාපෘතියක් වනු ඇත.

 මේවා ගොනුවන ආකාරයෙන් කියැවෙන කතාව පැහැදිලිය. වෘත්තීය අයිතිවාසිකම් යටපත් කර තැබුවත් තවමත් සේවක අයිතීන් වෙනුවෙන් නිදහස් වෙළඳ කලාපවල පවා ගොනුවන විරෝධතා මාධ්‍ය ආයතනවල මෙන් සහමුලින් පාලනය කිරීමට නොහැකිව ඇත.

එබැවින් සේවකයින්ගේ රැකියා සුරක්ෂිත භාවය දැනට බලහත්කාරයෙන් මාධ්‍ය ආයතනවල හාම්පුතුන් විසින් තීන්දු කෙරෙන ආකාරයට නීති මගින් කරන්නට ඒවා සංශෝධනය කිරීමේ වගකීම වික්‍රමසිංහ ආණ්ඩුව බාර ගෙන ඇත.

සේවක අයිතිවාසිකම් කප්පාදු කිරීම ජා.මූ අරමුදලේ නොකියවෙන පූර්ව පියවර ඔස්සේ ක්‍රියාවට නැගෙන්නේ එබැවින්ය.

එය අලෙවි කිරීම සඳහා ඉදිරිපත් කරනු ඇත්තේ කොළඹ ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් සකසන “සේවක සෞඛ්‍ය” සඳහා අවධාරණයක් ඇති වැඩපිළිවෙල විය යුතුය.



අවසන් වශයෙන් ඒ සියල්ල සම්පිණ්ඩනය කරමින් කිව හැක්කේ පෞද්ගලික අංශයට වැඩි අවස්ථා සහිතව නැවත පිළිසකර කරන්නට උත්සාහ කෙරෙන විවෘත වෙළඳපල ආර්ථිකය මෙදා ගොඩ දැමිය හැකි යැයි ගණන් බැලෙන්නේ සමස්ථ ශ්‍රම බලකායම ඒ වෙනුවෙන් “මෑන්පවර්” ශ්‍රමිකයින්ගේ තත්ත්වයට පත් කිරීමෙනි. මාධ්‍යවේදීන් යැයි තවමත් නම් කෙරෙන පිරිස මාධ්‍ය සේවකයින් ලෙස ඒ සමග නම් ලැබිය හැකි ය. එවැනි තත්ත්වයක් ඇති වීම ගැන මාධ්‍යවේදීන් කියන්නේ කරන්නේ කුමක්දැයි නොදනිමි.


Kusal.jpg(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2022 සැප්තැම්බර 14 වන දින

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා