ත්‍රිපෝෂ යනු ශ්‍රී ලංකාවේ කුඩා දරුවන්, ගර්භනී මව්වරුන් පමණක් නොව ලොකු කුඩා කවුරුත් වයස් භේදයකින් තොරව ප්‍රිය කරන අතිරේඛ ආහාරයකි.



ශ්‍රී ලාංකේය පොදු ජනතාව මන්දපෝෂණයෙන් තොර සෞභාග්‍යමත් අභිමානවත් නිරෝගීමත් පෝෂිත ජාතියක් බවට පත් කිරිමේ දැක්මෙන් යුතුව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ආරම්භ විය. එය පූර්ණ රාජ්‍ය සමාගමකි.

කෙසේවෙතත් මේවන විට එය ආන්දෝලනයකට තුඩුදී ඇත.


මොකක්ද මේ ආන්දෝලනය

මීට හේතුවුණේ ඇෆ්ලටොක්සින් නැමති විෂ කාරකය එහි අඩංගු විය යුතු ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක ඇතැයි කියන ත්‍රිපෝෂ බෙදා හැර ඇතැයි චෝදනා එල්ල වීම හේතුවෙනි.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම විසින් පෝෂදායී බිස්කට් වර්ගයක් හා චොක්ලට් වැනි ආහාරයක් වෙළෙඳපොලවෙත ඉදිරිපත් කිරීමට සූදානම් වු අවස්ථාවේදී මෙම අසත්‍ය චෝදනාව එල්ල වූ බව සමාගමේ නම සඳහන්කිරීමට අකමැතිවූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බීබීසී සිංහල සේවයට සඳහන් කළේය.

xfbgft

ත්‍රිපෝෂ සම්බන්ධව එල්ල වී තිබෙන චෝදනාව පිළිබඳව ත්‍රිපෝෂ සමාගමේ ස්ථාවරය පැහැදිලි කරන වාර්තාවක් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලීද සිල්වා ප්‍රකාශ කළේ, එම වාර්තාවෙන් හෙළිවන කරුණු අනුව මෙතෙක් බෙදා හැර ඇති ත්‍රිපෝෂ යළි එකතු කිරීම හෝ එකතු නොකිරීම පිළිබඳව තීරණය කරන බවයි.

ත්‍රිපෝෂ සම්බන්ධයෙන් එල්ල වන චෝදනාව පිළිබඳව මව්වරුන් කරුණු විමසන බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබාදිය යුතු බව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.


සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු සඳහන් කළේ, මව්වරුන්ට සහ දරුවන්ට බෙදා දුන් ත්‍රිපෝෂ නැවත එකතු කරන්නැයි මෙතෙක් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දැනුවත් කර නොමැති බවයි.



"ත්‍රිපෝෂ ජනතාවට ලබාදීම සිද්ධ කරන්නේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් විසින්. මේවන විට ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් සීමාව ඉක්මවා අඩංගු වෙනවා කියන කාරණය ජනතාව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරනවා තමා."

"පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණින්ව මේ ත්‍රිපෝෂ ඉතිරිවෙලා තියෙනවා නම් ඒවා නැවැත භාර දෙන්න කියලා හරි එහෙම නැත්නම් මව්වරුන් හෝ දරුවන්ට දීපු ත්‍රිපෝෂ තියෙනවා නම් ඒවා නැවත එකතු කරගන්න හරි කියලා නිල දැන්වීමක් කිසිම ආකාරයකින් ලැබිලා නැහැ," යනුවෙන් ඇය මාධ්‍ය වෙත පැවසීය.

"නමුත් මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලිපියක් ඇවිල්ලා තියෙනවා, ත්‍රිපෝෂ කම්පැනියෙන් ත්‍රිපෝෂ ඉතිරි වීමක් තියෙනවා නම් එවපු ලොට් එකේ ඒවා නැවත ත්‍රිපෝෂ කම්පැනියට යවන්න කියලා. මේ සේවාව සපයන නිලධාරීන් විදිහට අපි ඉල්ලීමක් කරනවා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් හැකිතාක් ඉක්මනට මේ ප්‍රශ්නය නිරාකරණය කිරීමට ඒ අදාල නිශ්චිත තොරතුර සමාජයට ප්‍රකාශ කරන්න කියන කාරණය."

මේ අතර, මවුවරුන්ට සහ දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් විෂ කාරක අඩංගු බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එම අසත්‍ය පැතිර වූ නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේදී (සැප්තැම්බර් 21) පැවසීය.

 

 ඔහු මෙසේ පැවසූවේ සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රෝහිණී කුමාරි විජේරත්න විමසා සිටියේ "ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් විෂ කාරකය අඩංගු බවට මාධ්‍ය වාර්තාවක් තියෙනවා. මේක අක්මාවට හානි කරන විෂ කාරකයක්. මේ වාර්තාවේ නම් තියෙන්නේ ඇෆ්ලටොක්සින් කියලයි. මේවා නිසි නියාමනයකින් තොරව බෙදා හැරීම සම්බන්ධයෙන් ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද?"

ඇය එසේ විමසුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ගර්භනී මව්වරුන්ට,දරුවන්ට හා මව්වරුන්ට ලබා දෙනු ලබන ත්‍රිපෝෂ සාම්පල කිහිපයක ඇෆ්ලටොක්සින් විෂකාරකය අඩංගු වී ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කළ හෙළිදරව්වක් පුවත්පත් කිහිපයක පළවීමත් සමඟය.

ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ, "මේ කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් මම ඊයේ හවසම කතා කළා. අමුලික බොරැවක් කියලා වගකීමක් ඇතිව මම මේ පාර්ලිමේන්තුවේදී කියනවා. මේ ප්‍රශ්නය ඇති කිරීමට සම්බන්ධවූ නිලධාරීන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා ඊයේ රෑත්, අද උදෙත් ලේකම්තුමාට කිව්වා. පිළිකාකාරක තියෙනවා කියලා සමාජයක් බය ගැන්වීම නින්දිත ක්‍රියාවක්. එවැනි ප්‍රකාශයක් කරනවා නම් අපේ ලේකම්තුමාගෙන් අවසර ගන්න ඕන."


එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පැවසුවේ කළුතර දිස්ත්‍රික්කයේ බෙදාහැරි ත්‍රිපෝෂ වල ඇෆ්ලටොක්සින් සීමාව ඉක්මවා අඩංගු බවට හෙළිවීමත් සමඟ එම කාණ්ඩයට අදාළ තොග නැවත කැඳවා ඇති බවයි.


මෙවන් පසුබිමක ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කිහිපයක් වෙත ලිපියක් යොමු කරමින් තම සමාගම සැප්තැම්බර් මාසය තුළ නිකුත් කළ මව්වරුන්ගේ ඇසුරුමෙන් යුත් ත්‍රිපෝෂ තොග නැවත කැඳවා තිබුණි.

මේ අතර අද උදෑසන පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ මෙයට මාස එකහමාරකට පෙර නිකුත්කළ වාර්තා වලින් ඇෆ්ලටොක්සින් ඇති බවට එවැනි සොයාගැනීමක් සිදුකළ බවයි.

"ඔය කියන ප්‍රශ්නය සිදුඋනේ මීට මාස එකහාමාරකට ඉස්සෙල්ලා. ඊයේ නෙමෙයි. ඒ මාස එකහමාරකට ඉස්සෙල්ල ඉදිරිපත් වෙච්ච එකට අවශ්‍ය ප්‍රමාණයට කටයුතු කරමින් සිටින අවස්තාවක" මෙසේ එය මාධ්‍යය වාර්තාකර ඇති බවයි.

"අපි බොහොම පැහැදිලිව කියන්න ඕන, හිඟයක් තියෙනවා, අමුද්‍රව්‍ය වල අඩුවක් තිබෙනවා, ඇෆ්ලටොක්සින් කියන ප්‍රශ්නය තියෙනවා." යනුවෙන් පවසමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම ප්‍රශ්නයට ගැට ගැහුණු තවත් කාරනා ඇති බවයි. "හැබැයි ඒකත් එක්කම මේක ගැට ගැහිච්ච එක මම දන්නේ නෑ ඒක දේශපාලනික ද නැත්නම් වෙළඳ ව්‍යාපාරික අවශ්‍යතාවයක් ද කියලා ඒ සම්බන්ධවත් විශාල කරුණු ගණනාවක් තියෙනවා."


අරුණ පුවත්පත වාර්තා කර ඇත්තේ එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයක බෙදාහැරි ත්‍රිපෝෂවලින් ලබාගත් සාම්පල හතරක ඇතුළත් පරීක්ෂණ වාර්තාවන්ට අනුව ඒවායේ අඩංගු ඇෆ්ලටොක්සින් ප්‍රමාණය නියමිත සීමාව ඉක්මවමින් සියයකට ආසන්නවත්, ඇතැම් ඒවායේ සියය ඉක්මවාත් තිබෙන අයුරු දක්නට ලැබුණු බවයි.


ඇෆ්ලටොක්සින් යනු ආහාර ද්‍රව්‍ය මත නිපදවෙන උග්‍ර විෂකාරකයක් වන අතර එය පිළිකා ඇති කිරීමට, අක්මාවට හානි සිදුකිරීමට සහ වර්ධනය හීන කිරීමට බලපාන බව වෛද්‍යවරුන් පවසන අතර ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිති නියෝගවල සඳහන් වන්නේ ආහාර සංඝටක කොටස් බිලියන එකක අඩංගු ඇෆ්ලටොක්සින් කොටස් ප්‍රමාණය 30 ඉක්මවන්නේ නම් එය මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාරයක් ලෙසින් සැළකෙන බවයි.

මේ අතර මිනිස් ආහාරයට නුසුදුසු අයුරින් නියමිත ප්‍රමාණය ඉක්මවා ඇෆ්ලටොක්සින් අඩංගු පෝෂණීය අතිරේඛ ආහාර නිෂ්පාදනය කිරීම හා බෙදාහැරීම සම්බන්ධයෙන් ලබන නොවැම්බර් මස 18 වන දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මන්ජුල රත්නායක මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගම් ත්‍රිත්වයකටත් එහි අධ්‍යක්ෂකවරුන් හය දෙනකුටත් පසුගියදා සිතාසි නිකුත් කර තිබේ.

ඒ විත්තිකාර සමාගම් විසින් නිෂ්පාදනය කර බෙදාහරිනු ලබන එම "පෝෂ' නිෂ්පාදනවල තිබිය යුතු අවම මට්ටමට වඩා ඇෆ්ලටොක්සීන් අඩංගුව ඇතැයි රස පරීක්ෂක වාර්තා මගින් අනාවරණය වී ඇතැයි සඳහන් කරමින් ගොතටුව වෛද්‍ය නිලධාරි කාර්යාලය කරනු ලැබූ පැමිණිල්ලකට අනුවය.

මේ අනුව වෛද්‍ය නිලධාරින් පවසන්නේ රජයේ මෙන්ම පෞද්ගලික අංශය මෙරට බෙදාහැර ඇති පෝෂ ආහාර නිෂ්පාදන වල ඇෆ්ලටොක්සින් අඩංගු බවට පරීක්ෂණ වලින් හෙළිවී ඇති බවයි.

එහෙත් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සභාපති දීප්ති කුලරත්න අවධාරණය කළේ, කිසිසේත්ම ඇෆ්ලටොක්සින් මට්ටම වැඩි නිෂ්පාදන බෙදාහැර නොමැති බවයි. ප්‍රමිතියෙන් තොර සැපයුම් පවා ප්‍රතික්ෂේප කරමින් උසස් තත්ත්ව පරීක්ෂා යටතේ ත්‍රිපෝෂ නිෂ්පාදනය කරන බවද ඔහු කියා සිටියේය. හැකි ඉහළම ප්‍රමිතියෙන් නිෂ්පාදන කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සෞඛ්‍ය අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක පූර්ණ රාජ්‍ය සමාගමකි. සමාගමේ අධ්‍යක්ෂවරුන්ගෙන් 80%ක් සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥවරුන්ය.


ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්

dgsdggs


අමෙරිකාවේ කෙයාර් සංවිධානයේ ආධාර යටතේ 1973 වර්ෂයේ ත්‍රිපෝෂ වැඩසටහන ශ්‍රී ලංකාව තුළ මුලින්ම ආරම්භ විය. ආරම්භයේදී අමෙරිකාවෙන් නිමි ආහාරයක් වශයෙන් ආනයනය කර ශ්‍රී ලංකාවේ දී එය ඇසුරුම් කොට බෙදා හැර තිබේ.

1976 දී කෙයාර් ආයතනයේ මුල්‍ය අනුග්‍රහය සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන භාර ගනු ලැබීය. ඉන් පසු මෙහි කළමනාකාරිත්වය සඳහා ලංකා දුම්කොළ සමාගම තෝරා ගනු ලැබීය. ත්‍රිපෝෂ වැඩසටහනෙහි අධීක්ෂණය, තත්ත්ව පරික්ෂාව ආදි කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ම කරන ලදි.

මෙසේ පෞද්ගලික සමාගමක් යටතේ පාලනය වු මෙම ආයතනය 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සහ අංක 3873 ලියා පදිංචි අංකය යටතේ ද, 2010.09.17 දින සිට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩි නමින් පුර්ණ රාජ්‍ය සමාගමක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගනු ලැබීය.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩි ආයතනය ජා-ඇල, කපුවත්තේ පිහිටා ඇත.

වර්ෂ 40ක තරම් ඉතිහාසයක් ඇති ත්‍රිපෝෂ නිෂ්පාදන ව්‍යාපෘතිය අද වන විට පුර්ණ රාජ්‍ය සමාගමක් ලෙසින් වඩාත් වගකිව යුතු හා කාර්යක්ෂම කාර්යභාරයක් ඉටු කරමින් සාර්ථකව ඉදිරියට ගමන් කරමින් ඇතැයි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ රජයට පවරා ගැනිමෙන් පසු ආයතනය බොහෝ සාධනිය වෙනස්කම්වලට භාජනය කොට සේවක පිරිස් දිරි ගන්වමින් නිෂ්පාදනය ඉහළ නැංවිම සඳහා විවිධ ක්‍රියා මාර්ග ගෙන ඇති බවත් එම සමාගම සඳහන් කළේය.

මෙරට ජීවත්වන සෑම ජන කොටසක්ම පාහේ ත්‍රිපෝෂ වල රසය හොඳින් දන්නා අතර ලක්වැසි ජනතාවට ඉතා සමිප පෝෂණ ආහාරයක් ලෙසින් ත්‍රිපෝෂ අතිරේක ආහාරයට විශේෂ ස්ථානයක් හිමි වෙන බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සඳහන් කළේය.

ත්‍රිපෝෂ පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ අගයක් ගනු ලබන අතිරේක ආහාරයක් බව ප්‍රසිද්ධය.

ත්‍රිපෝෂ නිෂ්පාදනය තුළින් මූලික කරුණු දෙකක් ඉටුකර ගැනිමට බලාපොරොත්තු වන අතර මාතෘ හා ළමා මන්දපෝෂණය අඩු කිරිම සහ වළක්වා ගැනිම එහි පළමු වැන්නයි.

එමෙන්ම දේශීය ගොවියාගේ ආර්ථික තත්ත්වය දියුණු කිරිම මෙම ව්‍යාපාරයේ දෙවැනි අරමුණයි.


ත්‍රිපෝෂ ලබා දිම

ප්‍රධාන ආහාර වේල මඟින් සපුරාලිමට නොහැකි වු පෝෂණ ඌණතාවයන් සපුරාලිමට ත්‍රිපෝෂ මහෝපකාරි වෙයි.

ගර්භණි මවක් හෝ කිරිදෙන මවක් හෝ පෝෂණ ඌණතා සහිත දරුවකුට ග්‍රෑම් 750 පැකට් 02ක් බැගින් මසකට ලැබෙනු නොමිලයේ ඇත. දරුවන් සහ මව්වරුන් සඳහා වර්ග දෙකකින් ත්‍රිපෝෂ නිෂ්පාදනය කෙරේ.

පෝෂණ ඌණතා ඇති දරුවාට පමණක් දිනකට නියමිත ග්‍රෑම් 50ක් වන ත්‍රිපෝෂ ප්‍රමාණයක් ලබාදිම සුදුසු ය.

ගර්භණී මවකට හෝ කිරි දෙන මවකට ප්‍රධාන ආහාර වේල් 03ට අමතරව ත්‍රිපෝෂ මේස හැඳි 3ක් දිනපතා ආහාරයට ගැනීම සුදුසු බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පවසයි.


ඉලක්කගත ත්‍රිපෝෂ ප්‍රතිලාභින්

# සියලුම ගර්භනි මව්වරුන්

# සියලු ම කිරිදෙන මව්වරුන් (ළදරුවාට මාස 06 ගතවන තුරු)

# මන්ද පෝෂණයෙන් පෙළෙන මාස 06 වැඩි ළදරුවන් හා අවුරුදු 05ට අඩු පෙර පාසල් දරුවන්

# බර අනුව ළමා කාඩ්පතේ -2a රේඛාවට පහළින් සිටින ළමුන්

# ළමා වර්ධක සටහනට අනුව මාස 03ක කාලයක් තුළ සීඝ්‍ර බර අඩු වීමක් පෙන්නුම් කරන ළමුන් (දරුවාගේ බර යථා තත්ත්වයට පත් වු පසුව ත්‍රිපෝෂ ලබා දිම නතර කළ හැකිය.)

# රෝහල් ගත රෝගීන් (ඉහත කී කණ්ඩායම්වලට අයත් වාට්ටු ගත රෝගීන්)


මෙම ප්‍රතිලාභීන් වෙනුවෙන් මසකට ග්‍රෑම් 750 ත්‍රිපෝෂ පැකැට් 02 බැගින් නොමිලයේ බෙදා දෙනු ලැබේ. දිවයින පුරා වෙසෙන මිලියනයකට ආසන්න ත්‍රිපෝෂ ප්‍රතිලාභීන්ට අවශ්‍ය ත්‍රිපෝෂ අතිරේක ආහාරය ජා-ඇල, කපුවත්තේ පිහිටි ත්‍රිපෝෂ නිෂ්පාදනාගාරයේ නිපදවා දිවයින පුරා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ වෙත බෙදා හරිනු ලබයි.

මීට අමතරව වතු ජනතාවට ද, පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තු මධ්‍යස්ථාන 09ක් වෙත ද ත්‍රිපෝෂ අතිරේක ආහාරය බෙදා හරිනු ලබයි.

මෙරට අවශ්‍යතාව සපුරා ලීම සඳහා මසකට ත්‍රිපෝෂ පැකට් 16 ලක්ෂයක් නිෂ්පාදනාගාරය කළ යුතු බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න පැවසීය. ඒ අනුව මසකට ත්‍රිපෝෂ පැකට් දහසය ලක්ෂයක ඉලක්කයක් තබා ගනිමින් නිෂ්පාදන කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

ත්‍රිපෝෂ නිෂ්පාදනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව රුපියල් මිලියන 1,500ක පමණ මුදලක් වැය කරනු ලබේ.


ත්‍රිපෝෂ සෑදිමට ගන්නා අමුද්‍රව්‍ය

# බඩඉරිඟු

# සෝයා බෝංචි

# පූර්ණ යොදය සහිත කිරි පිටි

# විටමින්

# ඛනිජ ලවණ යන ද්‍රව්‍ය ත්‍රිපෝෂ සෑදිමට ගන්නා අමුද්‍රව්‍ය වන්නේ ය.

මෙම අමුද්‍රව්‍ය පහත සඳහන් අනුපාතයන්ගෙන් යුතුව නිෂ්පාදනය සඳහා යොදා ගනු ලැබේ.


# බඩඉරිඟු 66

# සෝයා බෝංචි 30

# පූර්ණ යොදය සහිත කිරි පිටි 3

# විටමින් 9

# ඛනිජ ලවණ 1


ත්‍රීපෝෂ නිපදවීම සඳහා අවශ්‍ය වන ප්‍රධානතම අමුද්‍රව්‍යයන් වන්නේ බඩඉරිඟු හා සෝයා බෝංචි ය.

මෙම ධාන්‍ය වර්ග දේශීය ගොවින්ගෙන් සහතික මිල ගණන් යටතේ ගොවි සංගම් හරහා මිල දී ගනු ලබයි. මීට අමතරව මේ සඳහා අවශ්‍ය වන කිරි පිටි, මිනරල් හා විටමින් ආදි අනෙකුත් ද්‍රව්‍යයන් ද සපයා ගෙන යන්ත්‍රානුසාරයෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනාගාරයේදී ත්‍රිපෝෂ අතිරේක ආහාරය නිපදවයි.

මේ දිනවල ත්‍රිපෝෂ නිෂ්පාදනාගාරයේදී බලපා ඇති ප්‍රධානම අභියෝගය වන්නේ අමුද්‍රව්‍ය හිඟයයි. දේශීය වශයෙන් බඩ ඉරිඟු නිෂ්පාදනය පහළ යෑම ඊට හේතුවයි. ඒ අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට සිදුව තිබේ.

ශ්‍රී ලංකාවේ ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා වාර්ෂිකව බඩ ඉරිඟුමෙට්‍රික් ටොන් 18000ක් සහ සොයා බෝංචි මෙට්‍රික් ටොන් 7500- 8000ක ප්‍රමාණයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පවසයි.


පෝෂණ සංයුතිය


ත්‍රිපෝෂ අතිරේක ආහාරය ඉහළ ම පෝෂණ ගුණයකින් පරිපූර්ණ ය. මෙහි පෝෂණ සංයුතිය ග්‍රෑම් 100ක් ගෙන බැලූවිට මෙසේ ය.


# කාබොහයිඩ්‍රේට් 61.9g

# ප්‍රෝටීන 20.0g

# මේදය 7.8g

# විටමින් (අන්තර්ජාතික ඒකක) 1700

# යකඩ 18.0mg

# අයඩින් ඇතුළු (ක්‍ෂුද්‍ර පෝෂක සියල්ල පාහේ) මයික්‍රොග්‍රෑම් 44.0

# ශක්තිය කිලෝ කැලරි 401.8


ඒ අනුව මෙහි කාබොහයිඩ්‍රේට්ස් ග්‍රෑම් 61.9ක් ද ප්‍රෝටීන ග්‍රෑම් 20.0ක් ද, මේදය ග්‍රෑම් 7.8ක් ද අඩංගු වනු ඇත. මීට අමතරව ඛනිජ ලවණ, විටමින් තන්තු හා කෙඳි ආදිය ද ඇතුළත් ය.

(BBC සිංහල සේවය)

  


 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්