කෙටි කලකට ඉහතින් සිංහල-බෞද්ධ දේශප්‍රේමීන්ගේ ජනප්‍රිය කතාබහ වූයේ “කංසා වගාව” ය.
ශ්‍රී ලංකාවේ කංසා වගාව සඳහා කොන්දේසිගත අවසර ලබා දෙන මෙන් ඉල්ලා සිටින විපක්ෂයේ ආන්දෝලනාත්මක මන්ත්‍රීවරයක වන ඩයනා ගමගේ උපහාසයට ලක් කිරීම, ඔවුන්ගේ විනෝදය විය.
කොන්දේසිගත කංසා වගාව වෙනුවෙන් ඇය ඉදිරිපත් කරන හේතු දැක්වීම් සතු වැදගත් තර්ක කිහිපයක් ඇතත් කංසා වගාවට සාම්ප්‍රදායිකව විරුද්ධ බහුතරයේ සුචරිතවාදී ගෝසාව විසින් ඇයගේ ඉල්ලීම් යටපත් කෙරිණ.
ඇය 20 වන සංශෝධනයටද ඡන්දය දුන්නා ය. ඇයගේ තර්කය වූයේ ජනතාව විසින් තෝරා පත්කරන ජනාධිපතිවරයෙකුට පාලනයේ අභිමත බලයක් තිබිය යුතුය යන්නය.
ඒ හේතුවෙන් විපක්ෂයේ හා ඇය පසුගිය මැතිවරණයට තරග කළ දේශපාලන සන්ධානය වන ස.ජ.බ නායක සමග ගැටුමකටද ගියා ය. එය ඇයගේ සැමියාට අයිති පක්ෂයක් හෙයින් ඇයට එරෙහිව කිසිවක් ස.ජ.බ නායකට කළ නොහැකි යැයි ඇය කීවාය.
අනතුරුව ඇය පුර්ප්පාඩු වූ ජනාධිපති ධූරයට පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේදී රනිල් වික්‍රමසිංහට ඡන්දය දුන්නාය. ජනාධිපති වික්‍රමසිංහ අලුතින් පත් කළ රාජ්‍ය ඇමතිවරුන් 37 දෙනා අතරින් සංචාරක රාජ්‍ය ඇමතිනිය වශයෙන් ඇය පත් කරනු ලැබිණ.
සංචාරක රාජ්‍ය ඇමතිනිය ලෙස වැඩ බාර ගැනීමේ උත්සවයේදී ඇය මන්නාරම දූපත ශ්‍රී ලංකාවේ “මෙකාව්” බවට දියුණු කළ යුතු යැයි කියා ඇත. ඇයගේ ළමා කාලයේදී ළමුන් දඩබ්බර වන විට ඔවුන්ව මන්නාරම කරවල වාඩියකට යවන බවට දෙමාපියන් තර්ජනය කළ බැව් ඇය පැමිණ සිටියවුන්ට කියා තිබිණ.
මන්නාරම කරවල වාඩිවල වහල් සේවය සඳහා ළමුන් පැහැරගෙන යන බවටත් අතීතයේ කතා තිබිණ. ඇයගේ වැඩ බාර ගැනීමේ උත්සවයට පැමිණියවුන්ට ඇය කියා තිබුණේ මන්නාරමේ කරවල වේලනවාට වඩා දේශීය “මෙකාව් දූපත” ලෙසට මන්නාරම් දූපත වර්ධනය කිරීමෙන් ඩොලර ඉපැයිය හැකි බව ය.
නැවතත් ප්‍රවෘත්ති සපයන්නෙකු බවට ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිනිය ඒ සමග පත්ව ඇත. ඇයගේ මන්නාරම් දූපත් කතාව තවත් ආන්දෝලනාත්මක කතාවකි.
ශ්‍රී ලාංකික බලධාරීන්ට අවශ්‍ය නම් කොළඹ වරාය නගරය ලාංකීය මෙකාව් දූපත බවට පත් කළ හැකිය. එහෙත් සංචාරක රාජ්‍ය ඇමතිනිය ලෙස ඩයනා ගමගේ මහත්මිය මන්නාරම් දූපත ගැන සිතන්නට ඇත්තේ එය ධනවත් ඉන්දීයානු සංචාරකයින්ට පහසු යැයි සිතා ය. ජනාධිපති වික්‍රමසිංහ නිතර යෝජනා කළ තලෛමන්නාරමේ සිට දනුශ්කොඩි දක්වා වන අධිවේගී මාර්ගයද ඇයගේ සිතට එන්නට ඇත. එවගේම පලාලි ගුවන් තොටුපලින් චෙන්නායි දක්වා ගුවන් සේවා ආරම්භ කිරීමේ යෝජනාවක්ද ඇත.
එහෙත් වැදගත් ප්‍රශ්නය වන්නේ “මෙකාව් සතු විශේෂත්වය කුමක්ද?” යන්න ය. මහජන චීනයේ නැතිනම් චීන ජනරජයෙහි ක්‍රීඩාවක් ලෙස සූදුවට අවසර ලබාදී ඇති එකම ප්‍රදේශය මෙකාව් දූපත ය. එබැවින් එහි ප්‍රධානම ආදායම් මාර්ගය “සූදු සංචාරක” ව්‍යාපාරය ය.
එවගේම සූදු ක්‍රීඩාවෙන් ලොව විශාලම ආදායම ලබන ප්‍රදේශය මෙකාව් වන්නේය. 2014 න් පසු ලස් වෙගාස් හි සූදු කර්මාන්තය මෙන් සත් ගුණයකින් මෙකාව් විශාල වී ඇතැයි වාර්තා වේ. මෙකාව්හි ජීවන සංස්කෘතිය සහමුලින්ම “සූදු සංස්කෘතියකි”. එනිසා එහි ළමුන්ට ඉඩක් අවස්ථාවක් නැත.
“රතු එළි” ප්‍රදේශයක් වෙන්කර නැතත් එහි ලිංගික අලෙවිය විශාල වශයෙන් කෙරෙන්නේය. මෙකාව්හි කාන්තා සංවිධාන කිහිපයෙන් එක් සංවිධානයක් 2014 දී සිදුකර ඇති අධ්‍යනයකට අනුව, එහි දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 60 ක දායකත්වයක් ඇත්තේ සූදු ක්‍රීඩාවට වූවත් ලිංගික වෙළඳාමේ දායකත්වයක් ගණනය වන්නේ නැත.
ඒ ගැන “US-China Today” නම් වෙබ් ප්‍රකාශනයකින් උපුටා දැක්වෙන්නේ “සූදු කෙළිය සමග ලිංගික අලෙවිය මෙකාව්හි විශාල ව්‍යාපාරයකි. මෙකාව්හි යටත් විජිත පාලකයින් වන පෘතුගීසින් විසින් බාරදී ගිය ලිංගික කර්මාන්තය පැහැදිලි නෛතික අවසරයක් නොමැතිව පැවතෙන්නේ කෙසේදැයි මෙමගින් ගවේශනය කෙරෙන්නේය” යනුවෙන් ය.
වීදි සරණ ගණිකාවන්ට අමතරව, අඩු කුලී ගොඩනැගිලිවල, සම්භාහන සායනවල සහ අනවසර ගණිකා හල්වල ගණිකාවන් හමුවිය හැකිය. එවගේම, කැසිනෝ ශාලාවල, රාත්‍රී සමාජ ශාලාවල, සෝනා (Saunas) සහ ලොකු හෝටල් වලද ඔවුහු සිටිති.
සූදු හල් ආර්ථිකය හැරුණු විට පලදායි වෙනත් කිසිවක් මෙකාව්හි නැත. 1557 සිට සියවස් 05 ට ආසන්න කාලයක් පෘතුගීසි ආධිපත්‍ය හා පාලනය යටතේ මෙකාව් පැමිණ ඇත්තේ එළෙසිනි. එහි ග්‍රාමීය සමාජයක් නැත. කිව හැකි කෘෂිකර්මාන්තයක් හෝ සත්ව පාලනයක්ද එහි නැත. එනිසා සූදු කෙළිය හා ලිංගික අලෙවියට අමතරව ඇති අනෙක් ආර්ථික කටයුතු යන්තමින් පවතින කටයුතු පමණි.
එවැනි ආර්ථික පැවැත්මක් මන්නාරම දූපතෙහි පැල කළ හැකිද?
මෙකාව් වලට හාත්පසින් වෙනස් මන්නාරම දූපතෙහි පුරාණ වරායක් ඇත. එවගේම මන්නාරම වෙරළ තීරයේ තොටුපළවල් 16 ට වඩා ඇත. මන්නාරම ජනප්‍රිය ධීවර ප්‍රදේශයකි. මන්නාරම දූපතෙහි ජනගහනයෙන් සියයට 36.7 ක් ධීවර කර්මාන්තයේ නියුතු වෙති. මන්නාරම දූපතෙහි 2016 ධීවර අස්වැන්න මෙ.ටො. 10,300 ක් විය. කරවළ නිෂ්පාදනය මෙ.ටො.1,800 ක් විය.
ඊළගට ප්‍රධාන වන්නේ කෘෂිකර්මාන්තය හෙයින් එහි ජනගහනයෙන් සියයට 39.3 ක් කෘෂිකාර්මිකයින් ය. මන්නාරම් දූපත අධි ජනගහන ඝණත්වයක් සමගින් වන අතර පරිපාලන වැඩ, වාණිජ කටයුතු හා සේවා අවශ්‍යතා සඳහා දෛනිකව එහි යන එන්නෝ 10,000 ට අධික වෙති. ඒවායේ සියයට 12 ක පමණ ජනගහනයක් නියැලෙති.
මන්නාරම් දූපත සඳහා වසර 2016 සිට 2030 දක්වා වන විශේෂ සංවර්ධන සැළසුමක් නගර සංවර්ධන අධිකාරිය විසින් සකසා ඇත. එහි දිගු කාලීන සංවර්ධනය වෙනුවෙන් ඉටු කළ යුතු ආසන්න අවශ්‍යතා හඳුනාගැනීමක්ද සිදුකර ඇත.
එබැවින් සංචාරක ව්‍යාපාරය ගැන වෙනත් වටිනාකම් සමග අලුතින් සිතන්නට පටන් ගන්න යැයි රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ට කිව යුතුව ඇත.

ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2022 සැප්තැම්බර 23
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.