මේ දිනවල සනීපාරක්ෂක තුවා පිළිබඳව දැඩි කතාබහක් සමාජයේ මතුව තිබේ.



මෙම මාතෘකාව අළලා මීට පෙර ඉන්දියාවේ නිපදවන ලද පෑඩ් මෑන් චිත්‍රපටය ලංකා සමාජය තුළ බොහෝ ජනප්‍රියත්වයට පත් වූ අතර සනීපාරක්ෂක තුවා අසල්වැසි ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද උණුසුම් දේශපාලන මාතෘකාවකි.

පර්යේෂකයින් පෙන්වාදෙන්නේ මේ වන විට 40% කට වැඩි බද්දක් රජය ආනයනික සනීපාරක්ෂක තුවා නිෂ්පාදන මත අයකරන බවයි.

මේවන විට සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය සඳහා අවශ්‍ය ආනයනික අමුද්‍රව්‍ය මත පනවා ඇති සියලු බදු ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වත්මන් රජය තීරණය කර ඇත.

සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීම පිළිබඳ කතා බහ පළමුවෙන්ම කරළියට පැමිනුණේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී ය. ඒ එවකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේදී ය.

zxdfgdfඋපුටා ගැනීම - ADVOCATA



සජිත් ප්‍රේමදාසට එල්ල වූ විරෝධය


එවකට මේ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශව වලින් විවේචන එල්ල විය. එපමණක් ද නොව එවක මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් වුයේත් කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීම පිළිබඳවයි.

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආධාරකරුවන් මාධ්‍ය හමු පවත්වා පැවසුවේ එසේ නොකළ යුතු බවයි.


එවකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පවසා සිටියේ තමා ජනාධිපතිවරයා බවට පත් වූ පසු මෙරට කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමට කටයුතු කරන බවයි. එහිදී ඔහුට දැඩි විවේචන එල්ල වු අතර ඇතැම් දේශපාලන වේදිකාවලදී ඔහුව 'පෑඩ් මෑන්' ලෙසද හැඳින්විය.


එවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ මහජන මෙහෙයුම් මධ්‍යස්ථානයේදී ගායන සහ රංගන ශිල්පිනී සංජීවනී වීරසිංහ දැක්වූ අදහස් මෙසේය.

"ජනාධිපති අපේක්ෂකයෙකුට කිසිම ලැජ්ජාවක් නැතුව මේ දේවල් ( සනීපාරක්ෂකතුවා) අපේ ගෑණුන්ට නිකන් දෙන්න හදනවා. බිරිඳගේ සනීපාරක්ෂක තුවාය අරන් දෙන්න මේ සිංහල පිරිමින්ට හොඳ ජවයක් හොඳ හැකියාවක් තියෙනවා. මම බය නැතුව ඒක කියනවා. කාන්තාවන්ගේ ලැජ්ජ බය දෙක නැති කළා ඔබතුමා ඡන්ද ටික ගන්න. අපේ පිරිමි ඉන්නවා බොහොම ගෞරවණීය සැමියන්. ඒ ගොල්ලෝ ඒවා කරයි. ඔබතුමා කලබල වෙන්න එපා ඒවා ගැන."

 

 

 සනීපාරක්ෂක නිෂ්පාදන සුඛෝපභෝගී භාණ්ඩයක් ද?

xfgfgඋපුටා ගැනීම- ADVOCATA



ශ්‍රී ලංකාව තුළ මේ වන විට සනීපාරක්ෂක නිෂ්පාදන සුඛෝපභෝගී භාණ්ඩ වී ඇති බවත් බොහෝ ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා ආරක්ෂිත හා දැරිය හැකි සනීපාරක්ෂක නිෂ්පාදන අත්කරගැනීම සඳහා ඇති ප්‍රවේශය ඉතා අඩුවී ඇති බව මේ පිළිබඳ නිරීක්ෂකයෝ පවසති.

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක නිෂ්පාදන අත්පත් කරගැනීමට නොහැකි වීමට ප්‍රධාන හේතුව නම් ආනයනික සනීපාරක්ෂක නිෂ්පාදන හා අමුද්‍රව්‍ය සඳහා අය කරනු ලබන අධික බදු බවට ඔවුන්ගේ අදහස වී තිබේ.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52% ක්ම කාන්තාවන් වන අතර දළ වශයෙන් ඉන් මිලියන 5.7 ක් ඔසප් වන කාන්තාවන් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි.


කාන්තාවන් සියලු දෙනාට දැරිය හැකි මිලකට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට පරිසරයක් නිර්මාණය කිරීම ශිෂ්ට සමාජයක වගකීමක් යැයි පෙන්වා දෙන මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න පවසන්නේ ශ්‍රී ලංකාවේ ගැහැණු දරුවන්ගෙන් 60% ක් ඔසප් දිනවල පාසලට පැමිණෙන්නේ නොමැති බව හිටපු පාසල් ගුරුවරියක ලෙස තමන් හොඳින් දන්නා බවයි.


මේ අතර දිවයින පුරා 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීම පිළිබඳව පසුගිය වසරේදීද කතාබහක් පැවතියද එය මේ දක්වා ක්‍රියාත්මක වී නොමැත.

මේ සම්බන්ධයෙන් යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ එවකට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ඒකාබද්ධව කටයුතු කරන බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් මේවන විට සනීපාරක්ෂක තුවා මිල සීග්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානයට යොමු කළ බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ පැවසුවාය.

ඇය කියා සිටියේ ලිඛිතව මෙන්ම පාර්ලිමේන්තුවේදී ද තමා ජනාධිපතිවරයාගෙන් එම ඉල්ලීම කළ බවයි.

ඒ අනුව සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මත පනවා ඇති ආනයනික බදු ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ශ්‍රී ලංකාවේ සමස්ත කාන්තාවන් වෙනුවෙන් ජනාධිපතිවරයා ගත් වැදගත් තීරණයක් බවයි.

රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ "මිල අධික නිසා කාන්තාවන්ට අපහසු තත්ත්වයක් ඇතිවුණා. ඒ දිනවලට පාසල් නොයා ඉන්න දැරියන් උත්සහ කළා. අපිට දැන ගන්න ලැබුණා ඒ ගැන. සනීපාරක්ෂක තුවාවල මිල අධික වෙලා. එහෙම වෙන්නේ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය වලට විශාල බදු ප්‍රමාණයක් අය කරනවා. කාන්තාවන්ට අවශ්‍යම දේටත් බදු වැඩි වෙලා. ජනාධිපතිතුමාගෙන් සියලු බදු ඉවත් කරන්න ඉල්ලීම කළා. හොඳින් ඇහුම් කන් දුන් ජනාධිපතිතුමා ඉතා ඉක්මනින්, දේශීය නිෂ්පාදකයින්ට අවශ්‍ය අමුද්‍රව්‍ය බද්ද සියල්ල ඉවත් කරන්න තීරණය කර තියෙනවා."

කෙසේවෙතත් බදු ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මේ දක්වා නිකුත් කර නොමැත.


බදු ඉවත් වන්නේ කෙසේද?

දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා අවශ්‍ය ආනයනික අමුද්‍රව්‍ය බදු සියල්ල ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය ඔක්තෝබර් 02 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කළේය.

ඒ අනුව ආනයනික නිමි සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන සැලසෙන බවත් බදු සහන කඩිනමින් පාරිභෝගිකයන්ට ලබා දෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ඒ අනුව කාන්තාවන් සහ පාසල් දැරියන් අතර සනීපාරක්ෂාව සහතික කිරීම සහ සනීපාරක්ෂක නිෂ්පාදන වඩාත් දැරිය හැකි මිලකට ලබාගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 05ක් මත පැනවූ බදු සියල්ල ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව, රේගු ආනයනය මත 15%ක රේගු ආනයන බද්ද, 10% - 15%ක් වූ සෙස් බද්ද සහ 10%ක් වූ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද (PAL) අමුද්‍රව්‍ය 05ක් ආනයනය කිරීමේදී හා අතරමැදි භාණ්ඩ ආනයනය කිරීමේදී ඉවත් කර ඇත.

දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා වැට් බද්ද ශුන්‍ය අනුපාතයක් ලබා දී ඇත.

නිමි සනීපාරක්ෂක තුවා ආනයනය කරන්නන්ට ද ශුන්‍ය අනුපාත වැට් බද්දේ ප්‍රතිලාභය හිමි වේ.

මෙම සියලු ප්‍රතිලාභ අර්බුද කාලසීමාවට බලපැවැත්වෙන පරිදි ලබා දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

සනීපාරක්ෂක තුවා සඳහා වන අමුද්‍රව්‍ය ආනයනයට අය කරන බදු හේතුවෙන් සනීපාරක්ෂක තුවා මිල ඉහළ යාම නිසා එම බදු අඩු කරන ලෙස දේශීය නිෂ්පාදකයින් ද පසුගියදා රජයෙන් ඉල්ලීමක් කර තිබිණි.


මිල රුපියල් 50- 60 කින් අඩු වෙයි

මෙම බදු සහන සමඟ දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්‍ෂක තුවා 10ක් සහිත පැකට්ටුවක මිල රුපියල් 50ක- 60ක මිලකින් අඩුවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

බදු අඩුකිරීමෙන් පසු එහි උපරිම සිල්ලර මිල රුපියල් 260ක් - රුපියල් 270ක් පමණ වනු ඇත.

තවද ආනයනික නිමි නිෂ්පාදනවල පාරිභෝගික සිල්ලර මිල 18%කින් හෝ 19%කින් අඩුවීමට ද නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි බදු සහන ලබාදීමට රජයේ බලධාරීන් අවශ්‍ය පියවර ගනිමින් සිටී.

නිෂ්පාදකයින් මෙම අමුද්‍රව්‍ය ආනයනය කරන අවස්ථාවේ දී අදාළ බදු සහන ලබා ගැනීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශ ලබාගත යුතු අතර, ඒ සඳහා වන වැඩපිළිවෙළ ද මේ වන විට සකස් කර ඇති බවට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය පැවසීය.

රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පැවසුවේ සනීපාරක්ෂ තුවා රටේ සමස්ත කාන්තාවන්ටත්, තරුණියන්ටත්, පාසල් දැරියන්ටත් ඉතා දැඩි අවශ්‍යතාවක් බවයි.


"රුපියල් 50 - 60කින් විතර අඩුවෙන් පැකට් එකක් මිලදී ගන්න පුලුවන් මේ තීරණයෙන් පසුව. සමස්ත ශ්‍රී ලාංකික කාන්තාවන් දරුවන් වෙනුවෙන් ගත් ඉතාම වැදගත් තීරණයක් මේක. මේක ගෞරවය ජනාධිපතිතුමාට ඉහළින්ම ලබා දෙන්න ඕනේ. එතුමා ගත්ත වැදගත් තීරණයක් මේක" ගීතා කුමාරසිංහ පැවසුවාය.


ඉන්දියාව සමඟ සාකච්ඡා

රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පැවසුවේ සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දෙන්නට තමා සියයට සියයක් එකඟ වුවත් සනීපාරක්ෂක තුවා සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දීමට හැකියාවක් නොමැති බවයි.

පාසල් දැරියන්ට ඉතාම අඩු මිලකට සනීපාරක්ෂක තුවා ලබා දීම සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ ද සාකච්ඡා පවත්වා ගෙන යන බව රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.
 
ඇය පෙන්වා දුන්නේ "ඉන්දියාවේ සිනිදු කියලා ව්‍යාපාරයක් තියෙනවා කාන්තා සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කරන. ඒ අයගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒගොල්ලෝ කැමැත්ත පළ කරලා තියෙනවා. දැනට අඩු කරලා තියෙනවටත් වඩා අඩුවෙන් පාසල් දැරියන්ට ඉතාම අඩු මිලකට මේක ලබා දෙන්න."


"නූතන යුගයේ පිරිසිදු ක්‍රම, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතුමයි. අපි කියනවා මේක නොමිලේ දෙන්න ක්‍රමයක් නැහැ. ඉන්දියාව සමඟ සාකච්ඡා කළේ පාසල් දරුවන්ටවත් ඒක ලබා දෙන්න කියලා."


(BBC සිංහල සේවය)

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්