ජනතාව මේ සා විශාල ඛේදවාචකයකට ගොදුරු වී සිටින්නේ ඔවුනගේම මෝඩකම් නිසා නොවේද?

එසේනම්, කළ යුතුව ඇත්තේ ඔවුන්ව දැනුවත් කොට ඔවුනගේ මොළය පාදා ඔවුන් නිවැරදි දිශාවකට යොමු කිරීම නොවේද? එය කළ හැක්කේ ජනතාවට ඉදිරියෙන් හෝ ඉහළින් සිටින ප්‍රබුද්ධ දේශපාලන ක්‍රියාධරයින් හට නොවේද? එම ක්‍රියාධරයින් හටද තනි තනිව කළ හැකි අටමගලයක් නැති නිසා ඔවුන් සංවිධානයක් හෝ පක්ෂයක් ගොඩ නගා ගත යුතු නොවේද? බහුජන නැගිටීම් සිදුවිය යුත්තේ කිසියම් පක්ෂයක විධිමත් සංවිධානාත්මක නායකත්වයක් යටතේ යැයි යෝජනා කරන බොහොමයක් දෙනා කල්පනා කරන ආකාරය මෙයයි.


මා කියමින් සිටින්නේ ඉහත කිසිදු ප්‍රකාශයක් මුළුමනින්ම සාවද්‍ය බව නොවේ. අපද ඇතුළු ජනතාවගේ මෝඩකම්වල ඉතිහාසය ගැන අමුතුවෙන් කිව යුතු නැත. නමුත්, මා අවධාරණය කරන්නට කැමති කාරණයක් වන්නේ ඉහත ආකාරයෙන් පක්ෂය හෝ සංවිධානයත් ජනතාවත් අතර ධූරාවලීගත සම්බන්ධයක් පරිකල්පනය කරන විට අපට දේශපාලනයට අදාළ ඇතැම් මූලධාර්මික ගැටළු මග හැරී යා හැකි බවයි.

april

මා මිත්‍ර භූපති නලින් ඔහුගේ කෘතියේදී අවධාරණය කරන පරිදි අප දැන් මූලධාර්මික දේශපාලන ප්‍රශ්න මතු කළ යුතුය. නමුත්, ඔහුගේ කෘතිය එළි දැක්වීමේ රැස්වීමේදී නිර්මාල් දේවසිරිද නිවැරදිව පවසා තිබූ පරිදි, භූපති අසමත් වන්නේම එවන් මූලධාර්මික ප්‍රශ්න මතු කිරීමටය. නිදසුනක් ලෙස, අරගලය පිළිබඳ ඔහුගේ විවේචනය පදනම් වී ඇත්තේ ජනතාවට ඉදිරියෙන් සිට ඔවුන්ව දැනුවත් කරන, සංවිධානය කරන සහ මෙහෙයවන පක්ෂයක් හෝ සංවිධානයක් පිළිබඳ අදහස මතය. ඔහු එම අදහස ප්‍රශ්න කරන්නේ නැත. එබැවින්, අප එය දෙන ලද දෙයක් නොහොත් ප්‍රාග්-අනුභූතියක් ලෙස භාරගත යුතුය. නමුත්, සංවිධානය සහ ස්වච්ජකතාව පිළිබඳ මාක්ස්වාදී න්‍යායික විවාදය ගොඩ නැගී ඇත්තේම පක්ෂය නොහොත් දේශපාලන නායකත්වයත් ජනතාවත් අතර ධූරාවලීගත සම්බන්ධයක් පරිකල්පනය කිරීමේ ස්ථාවරය ප්‍රශ්න කිරීම මතය.
 

 ජනතාවාදී හේතුව  

එවිට අපට නැගිය හැකි ප්‍රශ්න මෙබඳුය. ප්‍රබුද්ධ ක්‍රියාධරයන් වන අප මෝඩකම් ලෙසින් සලකා බැහැර කරන ජනතාවගේ ඇතැම් ක්‍රියාකාරීත්වයන් සහ තෝරාගැනීම් පසුපස ඔවුනටම ආවේණික තර්කානුකූල පදනමක් තිබෙනවා වන්නට බැරිද? එම පොදු ජන අවබෝධය අවබෝධ කරගන්නට නොහැකි වීම අපගේ අසමත්භාවයක් විය නොහැකිද? එසේනම්, පොදු ජන අවබෝධය පරිවර්තනයට ලක් කිරීම දේශපාලන අරගලයේ මූලික සටන් බිමක් ලෙසින් හඳුනාගත යුතු නොවේද? එම සටන ජය ගත හැක්කේ ජනතාවට ඉහළින් සිට ඔවුනට කිසියම් දේශපාලන ධර්මයක් දේශනා කිරීමෙන්ද, නොඑසේනම් ඔවුනගේ දෛනික ජීවිතයේ අරගලයට සම්බන්ධ වෙමින් ඔවුන් අතුරින්ම ඓන්ද්‍රීය අවබෝධයක් කරා ළඟා වීමෙන්ද? ඉතිහාසයේ චලනයේ නියාමය දන්නවා යැයි සිතා සිටින මාක්ස්වාදීන්ට වඩා දක්ෂිණාංශික දේශපාලකයින් පොදු ජනතාවට ආමන්ත්‍රණය කරන්නට සමත් වන්නේ ඔවුන් පොදු ජන අවබෝධයේම (එහි අන්තර්ගත ජනවාර්ගික, පීතෘමූලික, කුළමය යනාදී සියළු අගතීන් සමග) නියෝජනයක් වන නිසා විය නොහැකිද? වාමාංශිකයින්ද එසේ පොදු ජන අවබෝධය සමග අනුගත වන්නට ගිය හොත් දවස අවසානයේ වම දකුණ බවට රූපාන්තරණය නොවනු ඇතිද? එසේනම්, පොදු ජන කොටස් අතර පවත්නා ලෝකාවබෝධය පරිවර්තනයට ලක් කරන අතරම ඔවුනතරින් ඓන්ද්‍රීය නායකත්වයක් ගොඩ නගා ගැනීමේ කිසියම් උපායමාර්ගයක් අපට සොයා ගත නොහැකිද?

Lenin Gramsci

ග්‍රාම්ස්චිගේ ඓන්ද්‍රීය නායකත්වය පිළිබඳ සංකල්පය පැන නගින්නේ මෙම මූලධාර්මික ප්‍රශ්න පදනම් කොටගෙනය. ග්‍රාම්ස්චි රුසියානු මාක්ස්වාදීන් අනුයමින් හෙජමොනිය නොහොත් කැමැත්ත මගින් කරන්නා වූ පාලනය, නායකත්වය යන අරුතින් භාවිත කළේය. නමුත්, නායකත්වය පිළිබඳ ග්‍රාම්ස්චිගේ සංකල්පය ලෙනින්ගේ සංකල්පයෙන් වෙනස්ය. පළමුව, ලෙනින් නායකත්වය යන්නෙන් අදහස් කළේ දේශපාලන නායකත්වයයි. එනම්, සාර්-විරෝධී අරගලයේ නායකත්වය බෝල්ෂෙවික්වරුන් විසින් අත්පත් කරගත යුතුය යන්නයි.

නමුත්, ග්‍රාම්ස්චි නායකත්වයේ තවත් වැදගත් පැතිමානයක් දිටීය. එනම්, සදාචාරමය සහ බුද්ධිමය නායකත්වයයි. එයින් අදහස් වූයේ පොදු ජන අවබෝධය පරිවර්තනයට ලක් කරන්නා වූ පුළුල් සදාචාරමය සහ බුද්ධිමය ප්‍රතිසංස්කරණයක් සඳහා කොමියුනිස්ට්වාදීන් ඉදිරිපත් විය යුතු බවයි. දෙවනුව, ලෙනින්ගේ නායකත්වය මූර්තිමත් වූයේ ජනතාවට සේම පන්තියටද ඉදිරියෙන් සිටින පෙරටුගාමී පක්ෂයක් මගින් නම්, ග්‍රාම්ස්චි ඔහුගේ සිරගෙයි සටහන් තුළදී වැඩි අවධානයක් යොමු කළේ මහජනයා සමග ඓන්ද්‍රීයව වැඩ කරමින් ගොඩ නැගෙන ඓන්ද්‍රීය පක්ෂයක් පිළිබඳවය.

 ලෙනින්ගේ පක්ෂය සමන්විත වන්නේ පෙරටුගාමී බුද්ධිමතුන්ගෙන් නම්, ග්‍රාම්ස්චිගේ පක්ෂය සමන්විත වන්නේ ඓන්ද්‍රීය බුද්ධිමතුන්ගෙනි. පක්ෂය සහ බුද්ධිමතුන් පිළිබඳ ග්‍රාම්ස්චිගේ අදහසේ වැදගත්කම වන්නේ මහජන ව්‍යාපාරත් සංවිධානාත්මක දේශපාලන නායකත්වයනුත් අතර දයලෙක්තික සම්බන්ධය මගින් ඒ දෙකම අන්‍යොන්‍යව පෝෂණය වන සහ අන්‍යොන්‍යව පරිවර්තනයට ලක් වන සිතීමක් සඳහා එයින් ඉඟි කෙරෙන බැවිනි.


අරගලයේ උරුමයන් දෙකක්  

මෙහිදී යළිත් අවධාරණය විය යුතු කාරණයක් නම්, මහජනයා අතර මුළුමනින්ම දිය වී යන දේශපාලන නායකත්වයක්ද මෙයින් අදහස් නොවන බවය. මුළුමනින්ම දියවී යාමක් යනු පවතින පොදු ජන අවබෝධය තුළට සහමුළින්ම අවශෝෂණය වී යාමකි. එවිට එම පොදු ජන අවබෝධය පරිවර්තනයට ලක් කිරීමක් සහ එනයින් ප්‍රති-හෙජමොනික දේශපාලනයක් ගැන සිතිය නොහැකි වනු ඇත.

ග්‍රාම්ස්චියානු ඓන්ද්‍රීය නායකත්වය යනුද නායකත්වයකි. එසේම ඔහු එය සාකච්ජා කළේ යුරෝපයේ ඉතාම සංවිධානාත්මක කොමියුනිස්ට් පක්ෂයකට නායකත්වය දෙන අතරමය. ඒ වනාහී පක්ෂ නායකත්වය සහ පොදු ජන කොටස් අතර ධූරාවලීගත සම්බන්ධයක් පරිකල්පනය කිරීමේ ගැටළුවට දේශපාලනිකව සහ න්‍යායිකව දක්වන ලද ප්‍රතිචාරයක් ලෙස වටහාගත හැකිය. සමකාලීන සමාජ ව්‍යාපාරවලට අදාළව ගත්තද, කිසිදු සිරස් නායකත්වයකින් තොරව ක්‍රියාත්මක වන අරගලවල අසමත්භාවය වටහා ගැනීම අසීරු නැත.

xzdgfයානීස් ස්ටව්රකාකිස්


යානීස් ස්ටව්රකාකිස් පෙන්වා දෙන පරිදි, වෝල් වීදිය අත්පත් කරගැනීමේ ව්‍යාපාරයේ ප්‍රධාන අසමත්භාවයක් වූයේ සිරස් නායකත්වය මුළුමනින්ම නොතකා හැරීම නිසා අරගලය විසිරී යාමයි.

නමුත්, වත්මන් ලාංකීය අරගලය ඒ අරුතින් වෝල් වීදිය අත්පත් කරගැනීමේ ව්‍යාපාරයට වඩා ඉදිරියෙන් සිටී. මන්ද යත්, අරගලය කිසිදු තනි පක්ෂයක හෝ පක්ෂ එකතුවක නායකත්වය යටතේ සංවිධානය නොවූවද අරගලය තුළින්ම නව සාමූහික දේශපාලන නායකත්වයක් නිර්මාණය වෙමින් පැවතීම නිසාය. ගාලු මුවදොර අරගලකරුවන්ගේ ක්‍රියාකාරී සැලැස්ම එහි ප්‍රතිපලයකි.

එසේම, ප්‍රති-හෙජමොනික දේශපාලනය සම්බන්ධයෙන් ඉතාම විශිෂ්ට අත්හදා බැලීමක් වන මහජන කවුන්සිල ගොඩ නැගීමේ අදහසද අරගලයේ ප්‍රතිපලයකි. භූපති අරගල බිමෙන් මතු වූ මෙම නව සංවිධාන රටාවේ දේශපාලන වැදගත්කම මුළුමනින්ම නොතකා හරී. නමුත්, දැන් වාමාංශික ජනතාවාදයේ න්‍යායික සහ ප්‍රායෝගික වැඩබිම ඉදිවෙමින් පවතින්නේ අරගලයේ සාමූහික නායකත්වය සහ මහජන කවුන්සිල පිළිබඳ ප්‍රයත්නය කේන්ද්‍ර කොටගෙනය.

ඒ ගැන පසුවට.

sUMITH cHAMINDAc(සුමිත් චාමින්ද)
ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්