ෂෙහාන් කරුණාතිලක විසින් රචිත, ශ්‍රී ලාංකීය සිවිල් යුද සමයේ සිදුවූ අධිස්වභාවික උපහාස රචනයක් වන 'The Seven Moons of Maali Almeida' බුකර්

ත්‍යාගය ජයග්‍රහණය කළේය.


මෙම ශ්‍රී ලාංකික කතුවරයාගේ නවකතාවෙන් දැක්වෙන්නේ මරණයෙන් නැගිට, සිය ඡායාරූප සොයාගන්නා ලෙසත්, යුද්ධයේ කුරිරුබව හෙළිකරන ලෙසත් සිය මිතුරන්ට පැවසීම සඳහා සතියක කාලයක් ලද ඡායාරූප ශිල්පියෙකු පිළිබඳ කතාන්තරයකි.

 


රජ මෙහෙසිය කැමිලා අතින් මෙම ත්‍යාගය ප්‍රදානය කෙරුණු අතර, අවසන් කෙටි ලේඛනයට ඇතුළත්වීමට ලැබීම "ගෞරවයක් සහ වරප්‍රසාදයක්යැ"යි කතුවරයා ප්‍රකාශ කළේ ය.


පොප් ගායිකා ඩුවා ලීපා මෙම උත්සවයේ තරු ආරාධිතයා විය.



221017194136 shehan karunatilaka booker prize super tease


එක්සත් රාජධානිය තුළ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත්කරන ලද එක් ප්‍රබන්ධ කෘතියක් සඳහා පවුම් 50,000ක (රුපියල් දෙකෝටි හයලක්ෂයක් පමණ) කීර්තිමත් ත්‍යාගය පිරිනැමෙන අතර, කෙටි ලේඛනයට තේරුණු අනෙකුත් ලේඛකයින් පස්දෙනාට ද පවුම් 2,500 බැගින් ප්‍රදානය කෙරෙයි.


ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන්වීමෙන් පසු, "සාමාන්‍ය වැසියන් කීදෙනෙක් මියගියා ද, කාගේ වැරැද්දෙන් ද මියගියේ" යන්න සම්බන්ධයෙන් දැඩි විවාදයක් පැවති මොහොතක, "මියගිය අයට සිය දෘෂ්ටිකෝණය ඉදිරිපත් කළ හැකි අන්දමේ හොල්මන් කතාවක්" ලිවීමට තමා 2009 දී තීරණය කළබව ලේඛකයා පැවසීය.

dua lipa

ලන්ඩනයේ රවුන්ඩ්හවුස්හි පැවති උත්සවයේ දී කැමිලා සහෘද 'පොත්ගුල්ලෙකු' වන ඩුවා ලීපා සමග කතාබහ කරයි. (ඡායාරූප මූලාශ්‍රය, PA MEDIA)

 

ප්‍රධාන විනිසුරු නීල් මැක්ග්‍රෙගර් නවකතාවේ "පථය සහ කුසලතාව හා නිර්භීත, ගරුසරු රහිත සහ හාස්‍යජනක" විලාසය ද ප්‍රශංසාවට ලක්කළේ, එය "පරලොව නුවා" ලෙස හඳුන්වමින්, එය "පාඨකයා ජීවිතය සහ මරණය හරහා රෝලර්කෝස්ටර් ගමනක ගෙනයන"බව ප්‍රකාශ කරමිනි.


විනිසුරුවන්ගේ තීරණය ඒකමතික වීයැ යි පැවසූ ඔහු, කෙටි ලේඛනගතකර ඇති සියලු කෘතීන් "ඇත්ත වශයෙන්ම එක් ප්‍රශ්නයක් ගැන පමණයි; ඒ තමයි 'තනි ජීවිතයක ඇති තේරුම කුමක් ද?' කියන එක."


සම්මානය පිළිගත් මොහොතේ දී කරුණාතිලක මෙසේ ප්‍රකාශ කළේ ය: "මගේ බලාපොරොත්තුව වෙන්නේ නුදුරු අනාගතයේ දී... දූෂණය, ජාතිවාදී ඇම දැමීම්, සහ ගජමිතුරන්ට සැලකීම වැනි අදහස් කිසිදා වැඩකළේ නැහැ, [ඉදිරියටත්] ඒවා වැඩකරනු නැහැ යන්න ශ්‍රී ලංකාව තේරුම්ගනීවි කියන එක යි.


'මම ස්වයංවාරණයකට ලක්වුණා'



"තව අවුරුදු 10කින් පස්සෙත් මේක මුද්‍රණයේ තියේවි කියලා හිතනවා... එහෙම වුණොත්, ඒක තමන්ගේ කතාන්දරවලින් [යමක්] ඉගෙනගත් ලංකාවක ලියවිලා තියේවි, ඒ වගේම Seven Moons පොත් සාප්පුවේ ෆැන්ටසි අංශයේ මකරුන්ට යි කඟවේනුන්ට යි එහා පැත්තේ තියේවි, ඒක යථාර්ථවාදය හෝ දේශපාලන උපහාසය ලෙස වරදවා වටහා ගන්න එකක් නැතිවේවි කියලා මම අපේක්ෂා කරනවා."


අගෝස්තු මාසයේ දී කතුවර සල්මාන් රුෂ්ඩි පිහි ඇනුමකට ලක්වීමෙන් පසු තමා සිය කෙටිකතා කිහිපයක් "ස්වයංවාරණය" කළබව පසුව ඔහු පැවසීය. කතුවර රුෂ්ඩිගේ The Satanic Verses නම් කෘතිය සිය දෙවියන්ට අපහාසයක් ලෙස ඇතැම් මුස්ලිම්වරුන් සැලකූ නිසාවෙන්, එය රචනා කිරීමෙන් පසු වසර ගණනාවක් පුරාවට මරණ තර්ජනවලට මුහුණදීමට ඔහුට සිදුවිය.


"මේ සිද්ධිය වුණු කාලේ වෙද්දී මම කෙටිකතා එකතුවක් ප්‍රකාශයට පත්කිරීමේ ක්‍රියාවලියක යෙදිලා හිටියේ; කිසිම ආගමකට අපහාසයක් නෙවෙයි කියලා මම සලකපු කෙටිකතා කීපයක් මට හම්බුණා," කරුණාතිලක පැවසීය.


"ඒත් මගේ නෝනා කිව්වා, 'ඔයාට ඒක නොකර ඉන්න බැරිද? ඔයාට පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා. මේ කතාව එච්චර හොඳ නැහැ. ඒක අතාරින්න' කියලා."

"දකුණු ආසියාවේ ඉඳන් ලියනවා නම්, විශේෂයෙන්ම දේශපාලනය හෝ ආගම ගැන ලියනවා නම්, අපි හැමෝටම බලපාන දෙයක් ඒක," ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

 

vertical 1 homepage

කෙටි ලේඛනගත කෙරුණු ග්‍රන්ථ සය විනිශ්චයකරුවන් සියල්ලන් විසින් තෙවරක් කියවනු ලැබිණි. (ඡායාරූප මූලාශ්‍රය, BOOKER)

 

තරු ආරාධිත ඩුවා ලීපා මෙහිදී කියවීම සඳහා ඇයට ඇති "ආශාව" ගැන සඳහන් කරමින් කථාවක් පැවැත්වූවා ය. ඇය එය හැඳින්වූයේ "ලෝකයේ ඇති වඩාත්ම හෘදයාංගම ප්‍රීතීන්ගෙන් එකක්" වශයෙනි.


2020 වසරේ එක්සත් රාජධානියේ වැඩිපුරම වාදනය වූ ගී ගැයූ ගායිකාව වූ ද, තමා රසවිඳි කෘතීන් සමාජ මාධ්‍ය හරහා නිර්දේශ කරන්නාවූ ද මෙම ගීත රචිකාව පැවසුවේ, කෙටි ලේඛනගතකර තිබූ කෘතීන් සයම තමා කියවා ඇතිබවත් සහ "උදක්ම ප්‍රියකළ"බවත් ය.


ඇය සිය ජීවිතය තුළ පොත්වලට ඇති වැදගත්කම ගැන කතා කරමින් BBCහි රෙබෙකා ජෝන්ස්ට පැවසුවේ, කියවීම "මට ජීවිතමඟ ඔස්සේ ගමනට නියමුවක් වෙනවා වගේම, මගේ හැඟීම්දැනීම් තේරුම් ගැනීමට මට උපකාරී වෙනවා, එය යි මගේ සැනසීම," යනුවෙනි.


ඩුවා ලීපා මෙම අවස්ථාවට සහභාගී කරවාගැනීම තරුණ ප්‍රේක්ෂකයින් ආකර්ෂණයකර ගැනීමට දරනා උත්සාහයක්දැ යි BBCය බුකර් ත්‍යාග පදනමේ අධ්‍යක්ෂ ගැබී වුඩ්ගෙන් විමසූ අතර, ඇය මෙසේ පැවසුවා ය: "අපගේ හැඟීම නම් බුකර් ත්‍යාගය ජීවමාන යමක්බව යි. එය තමා වෙනුවෙන් වන දෙයක්යැ යි මිනිසුන් සිතනබවට සහතික කිරීමට අප උත්සාහ කළ යුතු යි."



'විස්මිත' ජයග්‍රාහී නවකතාව පිළිබඳ විශ්ලේෂණයක්
කලා වාර්තාකාරිණී රෙබෙකා ජෝන්ස් විසිනි


අඩක් මිනීමැරුම් අභිරහසක් ද, අඩක් ප්‍රහසනයක් ද වන මෙවන් උද්යෝගිමත් පාරභෞතික අභිරහස් කතාවක් ගැන සාකච්ඡාව ආරම්භ කරන්නේ කොතැනින් ද?


බ්‍රව්නීස්, ට්‍රිෆල් සහ ඩෝනට් යන රසකැවිලි සියල්ල යොදා තනි කේක් ගෙඩියක් සෑදුවේයැ යි සිතුවහොත්, එවිට ඔබට මේ පිළිබඳ අදහසක් ලැබෙනු ඇත.


නමුත් ෂෙහාන් කරුණාතිලක විවිධ ෂානරයන් කෙතරම් නිපුණව මිශ්‍ර කරයි ද යත්, අවසානයේ දී අනම් මනම් රැසක් පිරවූ නවකතාවකට වෙනුවට අනර්ඝ, තෘප්තිමත් නවකතාවක් ඔබට ලැබේ.


කෘතියේ ආරම්භය තරමක විකාර තානයක් පිහිටුවයි. එය ආරම්භවන්නේ පරලොව ජීවිතයේ දී වන අතර එය නිලධාරිවාදී සහ නිසරු යමක් ලෙස පෙන්වයි.


අනතුරුව එය පරලොව සහ මෙලොව අතර දෝලනය වන්නේ, 1990 වසරේ දී ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරේ මාලි අල්මේදා තමා මරාදැමුවේ කවුද සහ ඇයි යන්න සොයාගැනීමට උත්සාහ දරමින් සිටිනවිට ය.


ෂෙහාන් කරුණාතිලක පවසන්නේ මෙම කෘතිය දසවසරක් තිස්සේ ඔහුගේ මනසෙහි තිබූබව යි. ඔහුගේ මොළය බොහෝ කාර්යයබහුලව පවතින්නට ඇත!


නමුත් ඔහුට ජාත්‍යන්තර ප්‍රකාශකයෙකු සොයාගැනීමට අපහසුවී ඇත.
 

බුකර් ජයග්‍රහණය කිරීම නිසා මෙම විශ්මයජනක නවකතාව වඩාත් පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟාවනු ඇත්තේ ය.
 

The Seven Moons of Maali කරුණාතිලකගේ දෙවන නවකතාව වන අතර, ඔහු මින්පෙර ඔහුගේ පළමු කෘතිය වන Chinaman සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය ග්‍රන්ථ ත්‍යාගය ඇතුළු සම්මාන දිනා තිබේ. 'චයිනාමන්' ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නියමාවලිය වැනි විස්ඩන් විසින් හඳුන්වනු ලැබුණේ "සියලු කාලයන්හි දීම පළව ඇති දෙවැනුවට හොඳම ක්‍රිකට් පොත" ලෙස ය.
 

1975 දී උපත ලද ලේඛකයා වෙළඳ දැන්වීම් පිටපත් රචකයෙකු ලෙස ද කටයුතුකර ඇති අතර, ඔහුගේ ගීත, පිටපත්, සහ කථා Rolling Stone, GQ සහ National Geographic වැනි සඟරාවන්හි පළවී තිබේ.
 
 
shehan
 
ඔහු, 1992 දී The English Patient සඳහා බුකර් ත්‍යාගය දිනාගත් මයිකල් ඔන්ඩචීගෙන් පසු ත්‍යාගය දිනූ දෙවන ශ්‍රී ලාංකික කතුවරයා වේ. (ඡායාරූප මූලාශ්‍රය, DOMINC SANSONI)
 
 
ලන්ඩනයේ ජාතික ගැලරියේ සහ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මැක්ග්‍රෙගර් වැඩිදුරටත් පැවසුවේ, විනිසුරුවන් ත්‍යාගය සඳහා ඉදිරිපත්කර තිබූ කෘතීන් 170ම කියවා, පසුව ඒවා 30ක් දක්වා අඩු කළබව යි. අනතුරුව ඔවුන් ඒවා නැවත කියැවූ අතර, අවසන් කෘතීන් සය තීරණය කිරීමට පෙර තෙවැනි වරට ද කියවා ඇත.
 

ත්‍යාගය සඳහා යෝජනාවූ අනෙකුත් කෘතීන් වන්නේ:


# Glory - නෝවයලට් බුලවායෝ
# The Trees - පර්සිවල් එවරට්
# Treacle Walker - ඇලන් ගානර්
# Small Things Like These - ක්ලෙයා කීගන්
# Oh William! - එළිසබෙත් ස්ට්‍රෞට්




ත්‍යාගය සඳහා ඉදිරිපත්වූ නවකතා කියවීමට පැය කීයක් වැයකළේදැ යි BBCය විමසූ විට මැක්ග්‍රෙගර් පැවසුවේ: "දෙසැම්බර් මුල ඉඳලා හැම සතියකම පාහේ මම එය සිදුකළා... එය විශාල සතුටක් ඇතිකළ කියවීම් රැසක්."


(BBC සිංහල සේවය )


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්