‘‘ණය අරගෙන ඒකෙන් හොරා කෑවත් ඒ ණය වෙනුවෙන් පොලියවත් ගෙවන ක‍්‍රමයක් නොතිබුණොත් ඊළඟ වාරයේ ණයට ගන්න බැරි වග ගමේ ඒබරං

මාමත් දන්නවා. මෙතුවක් කල් අපි රටේ නායකයින් කියා ඡන්දෙන් තෝරා පත්කර ගත්තේ ඒබරං මාමා දන්න ටිකවත් නොදන්නා දේශපාලකයින්වයි.       ඒ අය තාමත් හිතන්නේ කුලයට, ආගමට, ජාතියට සහ වැලි පර්මිට් එකට, බාර් ලයිසන් එකට, ගොඩනැගිලි කොන්තරාත්තුවට, දුවට පුතාට රස්සාවක් ඉල්ලා ගන්න ඡන්දය දෙන ජනතාව එක්ක ඕනෙ හොරකමක් කරන්න පුළුවන් කියලයි....

ඒකේ ඇත්තක් නැත්තෙත් නැහැ.

 

හැම තැනම තවමත් කතා කරන්නේ යෝධ දූෂණ ගැනයි. පාර්ලිමේන්තුවේ ‘‘රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ’’ සාකච්ඡා වෙන්නෙත් දූෂණ හා වංචා ගැන. ‘‘පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා’’ කතාත් එහෙමයි. රාජපක්ෂලාගේ සොරකම් නිසා ආර්ථිකය කඩා වැටුණා යැයි කියමින් වික‍්‍රමසිංහ ජනාධිපති යටතේත් තවමත් ලොකු සොරකම් කෙරෙනවා.

 

විශේෂයෙන් ඛනිජ තෙල්, ගල් අ`ගුරු ආනයනය සමග සිදුවන දූෂණ ගැන ලොකු කතා වෙනවා. තවමත් ඒ සේරම රාජපක්ෂලාගේ ගිණුමට දාලා හැමෝම සුදනෝ වෙන්න බලනවා. කිසිදු අමාත්‍යාංශයක් නැති, ජනාධිපති අගමැති ධූරත් නැති, නිකම්ම මන්තී‍්‍රකම් සමගින් මෙහෙම සොරකම් කරන්න රාජපක්ෂලාට පුළුවන් වෙන්න, මේ ඉන්න ඇමතිවරුන් සහ ආණ්ඩුවේ ලොක්කන් මොනවා කරනවාද කියලා අහන්න, පාර්ලිමේන්තුවේ කවුරුවත්
ඇත්තේ නැහැ, මාධ්‍ය ඔස්තාර්ලා ඇත්තෙත් නැහැ, පසුගිය අවුරුදු වල දූෂණ වංචා වලට විරුද්ධව කෑ ගැසුව අය අහන්න දකින්නත් නැහැ.


පරීක්ෂණ කරලා ඔප්පු කරන්න හැකි ආකාරයේ විශේෂ විගණන කිසිවක් නැතිව නොයෙකුත් චෝදනා නැගුවට, අපි මුහුණ දෙන මේ අර්බුදයට අවසන් වශයෙන් වගකිව යුත්තේ කවුරුන්ද කියලා කියන්න කවුරුවත් ඇත්තෙත් නැහැ. මේ අර්බුදය මොකද්ද කියලා තේරෙන සිංහලෙන් කියන්න කවුරුවත් ඇත්තෙත් නැහැ. හැමෝම කියනවා අපි මුහුණ දෙන්නේ බරපතල ආර්ථික අර්බුදයකට කියලා. ඒකත් එක්ක දේශපාලන අර්බුදයක් ඇතැයිද කියනවා. ආර්ථික අර්බුදය උත්සන්න වූනේ කොරෝනා වසංගතය නිසා යැයි කලින් රාජපක්ෂ ආණ්ඩුවේ පාර්ශව කියනවා. උත්සන්න වන්නට තිබුණ අර්බුදය මොකද්ද?

 Sri Lankans

 

මෙහෙම සරළ කිරීමත් හරි නැහැ.

 

වත්මන් අර්බුදයේ මුල නැතුව පවතින තත්ත්වය ඉලක්කම් වලට හරවලා කාටත් තේරෙන ගෙදරක ආදායම් වියදම් අවුල උදාහරණයට අරගෙන ඇතැමුන් කරන පැහැදිලි කිරීම නරකමත් නැහැ. නමුත් ඔවුන්ගේ උදාහරණයට ගැනෙන ගෙදරක ආදායම් වියදම් හරියට පාලනය කර ගැනීමට නොහැකිවන කතාව මගින් මේ අර්බුදය සම්පූර්ණයෙන්ම පැහැදිලි කෙරෙන්නෙත් නැහැ.

 

ගෙදරක ආදායම ඕනෑ එකටයි එපා එකටයි වියදම් කරලා, ඊට පස්සේ මාසෙ වියදමට ණය අරගෙන, ඒ ණය ගෙවන්න තව ණය අරගෙන අන්තිමට ණය සඳහා පොලී ගෙවන්න වත්තේ කොස් ගහ කපලා විකුණන්න අවසර පත‍්‍රය ගන්න අත්‍යාවශ්‍යම අල්ලසක් දෙකක් දෙන්න තවත් ණයක් අරගෙන, කොස් ගහෙන් පොලී ගෙවලා, ඊළග මාසය වෙනකොට ආයේ පොලී ගෙවන්න ගෙදරත් උකස් කරන්න සිද්ද වන කතාවේ අඩුව තියෙන්නේ රටේ ආර්ථිකය කලමනාකරණය කිරීමේදී ඇති වැදගත් කාරණා ගණනාවක්ම ඒ කතාවෙන් අත් හැරෙන එකයි.

 

රටේ ආදායම් සොයන්න අවශ්‍ය වෙන්නේ ගෙදරක වගේ එදිනෙදා වියදමට අමතරව, අසල්වැසියන්ට පෙනෙන්නට හරි හිතේ ආසාවට හරි ගාණක් මිම්මක් නැතිව වියදම් කරන්නට නෙවෙයි. රටේ ආදායම් සොයන්නේ අවුරුද්දක් ඇතුළේ වියදම් කළ යුතු සියලූ කාරණා ඇස්තමේන්තුකර ගණන් බැලීම අනුවයි. ඒ වියදම් අතර දෛනික වියදම් හැටියට සැළකෙන රාජ්‍ය සේවයේ වැටුප්, අතිකාල ගෙවීම්, විශ‍්‍රාම වැටුප් ගෙවීම්, ප‍්‍රවාහන ගාස්තු, වගේ පුනරාවර්තන වියදම් තියෙනවා. ඊළගට යටිතල පහසුකම්, සංවර්ධන ව්‍යාපෘති සහ එවැනි විෂයන් වෙනුවෙන් ප‍්‍රාග්ධන වියදම් තියෙනවා. එහෙම වියදම් සඳහා ඇස්තමේන්තු අනිවාර්යයි. වාර්ෂික අයවැයට මාසයකට දෙකකට කලින් පාර්ලිමේන්තුවට ඇස්තමේන්තු ඉදිරිපත් කළ යුතුයි.

 

ඒ වගේම මහජන මුදල් පරිහරණය පිළිබඳ පූර්ණ වගකීම තියෙන්නේ ආණ්ඩුවට විතරක් නොවයි. ඒ කියන්නේ ඇමති මණ්ඩලයට විතරක් නෙවෙයි. පාර්ලිමේන්තුවටත් සම්මුති විරහිත වගකීමක් තියෙනවා. පාර්ලිමේන්තුවේ ‘‘රජයේ මුදල් පිළිබඳ කාරක සභාව’’ සහ ‘‘පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව’’ මහජන මුදල් හා වත්කම් සම්බන්ධ අධීක්ෂණ හා නියාමන කාර්යන් සඳහා පිහිටුවන විශේෂ කාරක සභා දෙකක්. ඒ නිසා මේ අර්බුදයට වගකිව යුත්තේ ගෙදර ඉන්න ගෘහ මූලිකයා වගේ ආණ්ඩුවක් විතරක්ම නෙවෙයි. මේ අර්බුදයට විපක්ෂයද වගකිව යුතුයි. ඊටත් අමතරව, ආණ්ඩු වලට සංවර්ධන ව්‍යාපෘති හදා දෙන මේ අර්බුදයට වගකිව යුතු රජයේ ලොකු නිලධාරීන් හා කුලියට ගන්න විශේෂඥයින් පිරිසකුත් ඉන්නවා.

 

මේක පොඩිපහේ අර්බුදයක් නෙවෙයි

jr

 

අද අප හසුවෙලා ඉන්න අර්බුදය තේරුම් ගන්න ඊට ගැට ගැසුණු දේශපාලන හා පුද්ගල සාධක පැත්තකින් තියලා ඉස්සෙල්ලා ආර්ථිකය පැත්තෙන් බැලූවම ඊට පසුබිම හැදෙන්නේ ජයවර්ධන ජනාධිපති රටේ ආර්ථිකය 1978 දී ලෝකයට විවෘත කෙරුවට පසුවයි. ආර්ථිකය විවෘත කෙරුවා කියන්නේ -


* පිටරටට විකුණන සහ පිටරටින් මිලට ගේන භාණ්ඩ සඳහා තිබුණු සීමා පාලන ඉවත් කෙරුණා.

* අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් තිබුණු සහන මිල ක‍්‍රමය අහෝසි කෙරුණා

* ආර්ථිකය නියාමනය කිරීමේ වගකීමෙන් ආණ්ඩුව හෙමීට ඉවත් උනා


* වෙපල නිදහස් කෙරුවා යැයි කිව්වට, වෙළඳපල හැසිරවීම ව්‍යාපාරිකයින් අතට ගත්තා


* විවෘත වෙළඳපලේ හැදුන දූෂිත ජාවාරම්කාරයින් පක්ෂ සමගින්ම ජාතික දේශපාලනය සල්ලි වලට ගත්තා


* අපනයන නිෂ්පාදනය වෙනුවෙන් සෘජු විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීමට ලබා දෙන සියලූ බදු වාසි හා වරප‍්‍රසාද බුක්ති විඳින්නට පැමිණි අති බහුතරය ගෝලීය වෙළඳපලේ හැදුනු ජාවාරම්කාරයින්. ඒ සියල්ල සමග හැදෙන වෙළපල කොඹ හා අවට නාගරික සමාජයට සීමා උනා


* නගරයේ සහ ග‍්‍රාමීය දුප්පතුන් බහුතරය වෙඳපල අද්දර ලාභ ශ‍්‍රමිකයින් වශයෙන් ඉතිරි කෙරුණා


* ගම සහ නගරය අතර ආදායම් හා වත්කම් පරතරය විශාල උනා වගේම දුප්පත් සහ පොහොසත් අය අතර පරතරයත් එන්න එන්නම විශාල උනා

 

මේ පරතරය, නැතිනම් ආදායම් බෙදී යාමේ විෂමතාව තේරුම් ගන්න පොඩි පැහැදිලි කිරීමක්. රටේ ජනගහනය ආදායම් කාණ්ඩ අනුව සියයට 10 කොටස් වශයෙන් බෙදා වැඩිම ආදායම්ලාභී සියයට 10 සිට පහට අඩුම ආදායම්ලාභී සියයට 10 දක්වා වෙන් කෙරුව,

 

  • පොහොසත්ම සියයට 20 රටේ සමස්ථ ගෘහියික ආදායමෙන් සියයට 51 ක් බුක්ති විඳිනවා.
  • දුප්පත්ම සියයට 20 ට තිබෙන්නේ ඉන් සියයට 05 යි.
  • පහළම දුප්පත් සියයට 10 ගත්තම, ඔවුන්ට තිබෙන්නේ ඒ සමස්ථයෙන් සියයට 01.8 යි.


රටේ වත්කම් හා ආදායම පළාත් වශයෙන් බෙදී යාම ගත්තම,

  • බස්නාහිර පළාතෙහි සියයට 44 ක් ගොඩ ගැසිලා
  • අනෙක් පළාත් 08 ටම ඉතිරි වෙන්නේ සියයට 56 යි
  • දුප්පත්ම පළාත් දෙක සබරගමුව සහ නැගෙනහිර


ඒ සමග විශේෂයෙන් කොළඹ කේන්ද්‍රවන අවිධිමත් ආර්ථිකයක් හැදුනා, ගමෙන් හා විශේෂයෙන් තේ වැවිලිකරයෙන් සංක‍්‍රමණය වන තරුණ තරුණියන් දෛනික වැටුප්ලාභී සහ කොමිස් මත ආදායම් ලබන විශාල ශ‍්‍රමික පිරිසක් ලෙස එහි ගොනු වුනා.

 

sjir


කොවිඞ්-19 ගෝලීය වසංගතය පාලනය කර ගැනීමට වරින් වර සති ගණන් කඩ සාප්පු, කාර්යාල වැසුනු නිසා, සැවොම ගෙවල් වලට කොටු කළ නිසා, ප‍්‍රවාහනය ඇණ හිටිය නිසා 2020 මාර්තුවේ අග සිට අවිධිමත් ආර්ථිකය කඩා වැටුනා. අවිධිමත් ආර්ථිකයේ වැටුප් සහ ආදායම් ලැබූ කොළඹ සහ අවට වූ පිරිසෙන් අඩක් පමණ අතරමංවී නැවත ගම්බිම් බලා ගියා.


බහුතරයට ඉඩ නැති විවෘත වෙළඳපලේ බහුතරය කරගහන පව

 

අවුරුදු 40 ක පමණ කාලයක් මහ නගර වෙළඳපලක් වශයෙන් ප‍්‍රසාරණය වුන විවෘත අර්ථිකය 2020 අවසන් වනවිට පත්වුනු තත්ත්වය එයයි. ඒ ආර්ථිකයෙන් රටේ ජනතාවට ලැබුණු ප‍්‍රතිපල තේරුම් ගන්න නම්, විවෘත වෙළඳපල ආර්ථිකයෙන් රටට ලැබුණු ලාභ - පාඩු ගැනත් බලන්න අවශ්‍යයයි..


මේ සමස්ථ කාලය තුල පිටරට පටවන භාණ්ඩ වලින් උපයන ඩොලර ප‍්‍රමාණය දේශීය වෙළඳපල සඳහා ගෙන්වන භාණ්ඩවල මිල පියවන්න මදි වෙනවා. මොන තරම් සහන සහ වරප‍්‍රසාද දුන්නත් අපනයන නිෂ්පාදනය වෙනුවෙන් ගෙන්වා ගන්නා විදේශ ආයෝජකයින්ගෙන් රටට අවශ්‍ය විදේශ විනිමය ඉපැයීමක් ගෙවුනු අවුරුදු 40 ට වැඩි කාලයේ සිදුවුනේ නැහැ. ඒ විදේශ වෙළඳ හිඟය අවුරුදු පතා වැඩිවෙනවා. එය තේරුම් ගැනීමේ පහසුව සඳහා මේ ගණන් බලන්න.


2000 විදේශ වෙළඳ හිඟය ඩො: බිලියන 01.7
2005 විදේශ වෙළඳ හිඟය ඩො: බිලියන 02.2
2010 විදේශ වෙළඳ හිඟය ඩො: බිලියන 04.1
2015 විදේශ විදේශ වෙළඳ හිඟය ඩො: බිලියන 06.1
2021 විදේශ වෙළඳ හිඟය ඩො: බිලියන 06.4 (මේ කොරෝනා වසංගතය හේතුවෙන් අපනයනයට සාපේක්ෂව ආනයනය අඩුව තිබියදීය)


දසක ගණනාවක් නොකඩවා මෙහෙම හිඟ එකතු වන ආර්ථිකයකට.

 

# ණය ගෙවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ


# යටිතල පහසුකම් දියුණු කිරීමට අවශ්‍ය ආයෝජන උපයා ගන්නත් බැහැ


# ගත් ණය ගෙවීමටත් යටිතල පහසුකම් දියුණු කිරීමටත් නැවත ණය ගැනීමට සිදුවෙනවා


# විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ඒ සියල්ල සමගින් යෝධ දූෂණ වර්ධනය වෙනවා

 

දූෂණය සමග ගම සහ නගරය අතර ආදායම් හා වත්කම් පරතරය වැඩිවීමත් දුප්පත් සහ පොහොසත් අය අතර පරතරය වැඩිවීමත් සමග විවෘත වෙළඳපල ආර්ථිකයක හැදෙන ඕනෑම සමාජයක මෙන් අපේ සමාජයෙත් ආදායම් ඉපැයීමේ තියුණු තරගයක් ඇති වෙනවා එතෙක් වාර්ගික හා ආගමික තරගයක් වශයෙන් ප‍්‍රාදේශීයව පැවති නාගරික වෙළඳපල බෙදා ගැනීමේ තරගය විවෘත වෙළඳපල ප‍්‍රසාරණයවීමත් සමග සිංහල-බෞද්ධ ව්‍යාපාරිකයින්ගේ ආධිපත්‍ය සමගින් මහ නගර පුරා පරිවර්තනය කෙරෙනවා. ඒ තරගය ආදායම් ඉපැයීමට පමණක් නෙවෙයි. හැම කාරණාවකටම අදාල වෙනවා.

A Sri Lankan student  wearing a protective mask heads towards the exam center as his mother (L) checks his bag after handing over the admission papers and food near an examination center for Grade-5 scholarship exam at Colombo, Sri Lanka on 11 October 2020. (Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)

 

විශේෂයෙන් අනාගතය සරු කර ගැනීමට ඉගෙනීම වැදගත් යැයි සිතන බහුතරය අතර, විභාග සමත්වීමේ විශාල තරගයකට දෙමාපියන් විසින් මුන්ව තල්ලූ කෙරෙනවා.


තරගය ඒ වගේම පුද්ගල පාරිභෝගික තරගයක් බවටත් පත් වෙනවා. පාරිභෝගික තරගය සඳහා විවෘත වෙළඳපල ආර්ථිකය නාගරික හා අර්ධ නාගරික සමාජයේ පහ මැද පංතිය කෙටි හා දිගු කාලීන උකස් බදු ක‍්‍රම හා ණය කාඞ් පත් (ක්‍රෙඩිට් කාඞ්, මගින් වෙළඳපලපලට ගැට ගසාගෙන තියෙනවා.

 

ණයකර නොතකා හතර අත පැතිරෙන තරගය නිසා ආත්මාර්ථය, පෞද්ගලිකත්වය, කුහකත්වය සමග වංචා දූෂණ සමාජයේ හැම තැනටම කා වදිනවා. සමාජයක් මෙහෙම ගමනක් යනකොට, ඒ සමාජයේ පොදු වටිනාකම්, සාර ධර්ම, විනය, යුක්තිය හා සාධාරණත්වය රකිමින් මුදල් හම්බකර ගන්න, පොහොසත් වෙන්න, පොහොසත්කම සහ බලය ප‍්‍රදර්ශනය කරන්න බැරි වෙනවා. එනිසා ඒ සියලූ වටිනාකම් හර පද්ධතීන් පුද්ගලිකත්වය වෙනුවෙන් අත හරිනවා

 

ප‍්‍රතිපලය විනාසකාරීයි. අමිහිරියි. එහි අභාග්‍ය වන්නේ මුදල් හම්බකිරීම වෙනුවෙන් ඒ සියලූ විපාක දෛනික ජීවිතයේ සාමාන්‍ය ගැටළු වශයෙන් සැකීමට හැමෝම පුරුදු වීමයි. ඒ නිසා, ලොකු පොඩි අපරාධ, මිනීමැරීම්, මත්ද්‍රව්‍ය අලෙවිය හා භාවිතය, අල්ලස්, මුදල් වංචා හා කප්පම් ගැනීම්, ලිංගික අපරාධ, ස්ත්‍රී දූෂණ, මා අපචාර හා හිංසන විශාල වශයෙන් වැඩිවෙලා. ඒවා ප‍්‍රවෘත්ති වශයෙන් වාර්තා වන්නෙත් ඒවායේ බාල රසය අනුවයි.

 

කතා නැති රජයේ ‘‘මහ වැඞ්ඩෝ’’

 

මෙතෙක් කතා ක රටේ පිරිහීම, සමාජ-ආර්ථික කුණු වීම කරුණු කිහිපයකට ලඝු කළොත්,


1. කිසි චාරයක් නැති ආනයන අපනයන නිදහස


2. ගම අත හැර දැමූ නගරයට සීමා වුනු අධි තරගකාරී තොරොම්බල් වෙළඳපල


3. අවුරුදු 40 ක විවෘත ආර්ථිකයේ දූෂිත ජාවාරම්කාර පැලැන්තියක් බිහිවීම සහ ඔවුන් රටේ ආණ්ඩු හැදීමේ තීරණාත්මක දේශපාලන බලයක් වීම


4. දේශපාලන පක්ෂ ජාවාරම්කාරයින්ගෙන් නඩත්තුවීම හේතුවෙන් දූෂිත නායක කල්ලි බිහිවීම


5. සදාචාරයක් විනයක් මනුස්සකමක් නැති ආත්මාර්ථකාමී පුද්ගල සමූහයක් බවට සමාජය පත්වීම


6. ඒ සියලූ පිරිහීම් සමග සමස්ථ රාජ්‍ය සේවාවම දූෂිත, අකාර්යක්ෂම සේවාවක් බවට පත්වීම


7. පිරිහුණු රාජ්‍ය සේවාවේ යුක්තිය හා සාධාරණත්වය සැමට සමානව නොලැබීම

 


මේ කෙටියෙන් සටහන් ක කරුණු කිහිපයෙන් කියන්නේ බරපතල ලෙස පිරිහුණු සමාජයේ තහවුරුව තියෙන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවාවන්හිද ගන්නට දෙයක් නැති බවයි. සියලූ රාජ්‍ය සේවාවන් හා ඒවායේ රාජ්‍ය පරිපාලන නිලධරය, ගණකාධිකාරී, ඉංජිනේරු,මිනින්දෝරු, වෛද්‍ය, ගුරු - විදුහල්පති වැනි සියලූ වෘත්තීන්ද අඩාලය කියන එකයි. ඊට අමතරව අධිකරණ ක්‍රියාවලිය සමග සෘජුව ගනුදෙනු කරණ නීතිඥ වෘත්තියද එළෙසින්ම පිරිහුණු වෘත්තියක්. වැඩි අවධානයට යොමු නොවන විශ්ව විද්‍යාල ඇදුරන්ද දේශපාලනයට ගැට ගැසුණු, දූෂණය වූ ඉහ පැලැන්තියේ කොටසකි.


රාජ්‍ය යාන්ත‍්‍රණය ගැන ඒ සඳහන් කිරීම් වඩා වැදගත් වෙන්නේ මේ කතා කරන සමාජ-ආර්ථික අර්බුදයට රාජ්‍ය පරිපාලන සේවාව බලපෑවේ කොහොමද කියන කාරණාව තේරුම් ගන්නයි. පොදු තේරුම් ගැනීමෙහි රාජ්‍ය සේවාව අකාර්යක්ෂමවෙලා, පිරිහිලා, දූෂණයවෙලා කියූ විගසම මතක් වෙන්නේ කොහේ හරි ඉඳලා මතුවෙන පොලිසියේ මහත්මයෙකු අත ඔවසා වාහනය නතර කෙරුවම ඔහුට සකන්නට සිදුවන හැටියි. ඕනෑම ප‍්‍රාදේශීය කාර්යාලයක මොනවා හරි වැඩක් කරවා ගැනීමට තියෙනවා කිව්වම අහවලාට කතා කරලා පොඞ්ඩක් සැකුවම හරියි කියලා අහන්න වෙන කතාවයි. බිරිඳට මැදපෙරදිග යන්න පවුල් සහතිකය කොහොමද ගන්නේ පොඩි එකා ඉන්දැද්දී කියලා ඇහුවම අර සංවර්ධන නිලධාරියාගේ ලාච්චුවට ගාණ දාන්නකෝ වැනි කතා අහන්න
සිදුවීමයි.


සාමාන්‍ය සමාජයේ රාජ්‍ය සේවාවේ දූෂණ ගැන එක වරට මතක් වෙන්නේ එහෙම කතා ටිකක්. ඒ කියන සාමාන්‍ය රජයේ සේවාව ඔවුන්ගේ මාසේ ආදායම පුරව ගන්න හදා ගෙන ඇති විධි ක‍්‍රම එහෙමයි.මහ පරිමාන දූෂණ ගැන කතා වෙනකොට දේශපාලකයින්ට අම්මා මෝ යන්න බණිමින් අමතක කර දමන තව පිරිස් ඉන්නවා. මේ රටේ දැවැන්තම දූෂණ ජාලය ලෙස නඩත්තුවන ජනපි‍්‍රය පාසල්වල පමු වසරට මුන් ඇතුත් කිරීමේදී පාසලේ සිට පදිංචි දුර කිලෝ මීටරයකටත් වඩා අඩු යැයි ලිපි ගොනුව හැදීමේ කාර්යට හවුල්වන, නිර්දේශ ලබා දෙන, සහතික කරන සහ ඒ අනුව මුන් පාසලට බාර ගන්නා ජාලගත පිරිස එවැනි කොටසක්.

 

මේ , අකාර්යක්ෂම නමුත් දූෂිත රජයේ සේවකයින් නිසා ආණ්ඩු වලට දේශීය රුපියල් ණය වැඩිපුර ගන්නට සිදුවන බව ඇත්තයි. නමුත් ආණ්ඩු වලට අවුරුදු පතා ඩොලර ණය වැඩිපුර ගැනීමට ඔවුන්ගේ මගඩි හේතු වුනේ නැහැ. ඩොලර් ණය වැඩිපුර ගැනීමට හවුල්වන නිහ`ඩ පින්වතුන් පිරිසක් ඉන්නවා. ඒ අය ගැන වැඩි කතා ඇත්තෙම නැහැ. ඒ දේශපාලකයින්ට කෙළින්ම හවුල්වන රජයේ ඉහම නිලධාරී පැලැන්තිය සහ විශේෂඥ වෘත්තිකයින් පිරිසයි.

 

ඒ ගැන පසුගිය දසකයේ දෙකේ අවස්ථා කිහිපයෙන් එකක් දෙකක් ගතහොත් කතාව තේරුම් ගැනීමට පහසු වෙයි. පමුවෙන් කිව යුත්තේ විදේශ ණය ලබා ගෙන කෙරෙන යෝධ ව්‍යාපෘති අතර සමාජ අවශ්‍යතා සඳහා කිසිම ප‍්‍රයෝජනයක් නැති ව්‍යාපෘතිත් අඩු වියදම් සහිත විකල්ප යොදා ගෙන අත හැරිය හැකි ව්‍යාපෘතිත් තියෙනවා. ඉන් පමු වර්ගයේ ව්‍යාපෘතියක් ලෙස නෙළුම් කුළුණ ගනිමු.

 

22 631e100bba560

 

නෙළුම් කුළුණ සඳහා ඇමති මණ්ඩල අනුමැතියට කැබිනට් පති‍්‍රකාව හැදුවේ කවුද? එහි ව්‍යාපෘති පත‍්‍රය සහ වියදම් ඇස්තමේන්තු හැදුවේ කවුද? ජනාධිපතිද? අගමැතිද? ඇමතිවරයෙක්ද? ඒ අයට දැනුම් තේරුම් තියෙනවද එවැනි කුළුණක් හැදීමේදී ඊට අවශ්‍ය ඉදිකිරීමේ සැසුම නිර්මාණය කරන්න? අවශ්‍ය තාක්ෂණය, තාක්ෂණික මෙවලම්, සිමෙන්ති ගඩොල් යකඩ ප‍්‍රමාණයන්, විශේෂඥ දැනුම තීන්දු කරන්න සහ ඒවාට යන වියදම ගණන් හදන්න ඒ අයට දැනුම් තේරුම් තියෙනවද? අවසන් නෛතික ගිවිසුම ලියන්න දන්නවාද? ඒවා කෙරෙන්නේ අමාත්‍යාංශ ලේකම්ගෙන් පටන් ගෙන ඔහු හෝ ඇය හවුල්කර ගන්නා විශේෂඥ වෘත්තිකයින් මගින්. නමුත් කතා කරන්නෙත් චෝදනා කෙරෙන්නෙත් දේශපාලකයින්ට විතරයි.


ඊට වඩා වෙනස් කොඹ - මහනුවර අධිවේගී මාර්ගය. ඒක දෙවන වර්ගයේ ව්‍යාපෘතියක්. කාර්යක්ෂම සුව පහසු පොදු මගී ප‍්‍රවාහන සේවා තියෙනවා නම්, අධිවේගී මාර්ග සාධාරණය කරන්න බැහැ. එහෙම පොදු මගී ප‍්‍රවාහන සේවා අහන්නවත් නැති විට අධිවේගී මාර්ග වෙනුවෙන් විදේශ ණය ගැනීම ඊට එහා යන කතාවක්, ඒ සඳහා අවශ්‍ය සැසුම් හදන්නෙත් නෙළුම් කුළුණට සැසුම් හදපු කට්ටියේම අය තමයි. කිසිම දේශපාලකයෙකුට අධිවේගී මාර්ගයක පාලම් බෝක්කු, වංගු අවශ්‍ය ස්ථාන, කිඳා බහින තැන් සහ ඒවට පිළියම් වැනි තාක්ෂණික කාරණා ගැන අවබෝධයක් හා විසඳුම් ඇත්තේ නැහැ. ඒවා සමග කිලෝ මීටරයකට යන වියදම ඇස්තමේන්තු කරන්න දන්නෙත් නැහැ.

 

දේශපාලකයා බොහෝවිට ව්‍යාපෘති සහ මුදල් ලබා ගැනීමේ ආණ්ඩුවේ අනුග‍්‍රහය සංවිධානය කරන වැඬේ පමණයි කරන්නේ. ඔහුගේ අවශ්‍යතා වෙනුවෙන් සියලූ සැසුම් සමග ප‍්‍රසාරණය කෙරෙන වියදම් ඇස්තමේන්තු හැදෙන්නේ ලේකම් සමග ඔහු හවුල් කර ගන්න විශේෂඥ වෘත්තිකයින් විසින්. ඔවුන් කවුරුවත් අත ලෙව කන්න වැඩ කරන්නේ නැහැ. නමුත් අවසානයේ ඒ වැඞ්ඩෝ ගැන කතා නැතුව ඒවා සමාජයට අලෙවි කරන රාජ්‍ය නායකයාගේ නැතිනම් ඇමතිවරයාගේ නමින් සියලූ ගනු දෙනු දූෂිත ගනු දෙනු ලෙස නම් වෙනවා.

 

විවෘත වෙළඳපල ආර්ථිකයෙහි යෝධ දූෂණ ගැන කෙරෙන කතාවල ඇති දේශපාලන බංකොලොත්කම ඒ අනුව හිතා ගන්න අසීරු නැහැ. නමුත් ප‍්‍රශ්නය තියෙන්නේ මේ යෝධ දූෂණ එහෙම දේශපාලකයින්ට සීමා කර ගත්තම. දූෂණයෙන් තොර ආණ්ඩු පාලන ගැන කතා කෙරෙන්නේ අන්ත දූෂිත රාජ්‍ය සේවාවක් සහ එවැනිම දූෂිත වෘත්තිකයින් තියා ගෙනයි.


අර්බුදයේ අවසාන විකාශනය

 

මෙතෙක් කියූ කතාවේ කොටස් එක තැනකට ගෙනාවම, මේ අර්බුදයේ පින්තුරය සම්පූර්ණ වේවි. ඒ ගැන ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ,
 

1. විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ආනයන වියදම පියවන්න හැකි ආදායමක් මේ අවුරුදු 40 ට වැඩි කාලයේ අපනයනයෙන් කවමදාවත් ලැබුණේ නැහැ

2. ඒ නිසා හි`ග පියවීමට ණය ගන්න සිද්ධ වුනත් ණය ගෙවීමට හැකියාවක් තිබුණේ නැහැ

3. දේශී්‍ය ආර්ථිකය දියුණු කිරීමේ කිසිම සැසුමක් නොතිබුණ නිසා දෛනික සමාජ ජීවිතයේ සිදුවන දූෂණ වංචා වලින් ජාවාරම්කාරයින්ට සහ දේශපාලකයින්ට ලොකුවට හම්බ කරගන්න ඉඩ ලැබුණෙත් නැහැ

4. එහෙම ණය වෙන ආර්ථිකයක යටිතල පහසුකම් දියුණු කිරීමට අවශ්‍ය ආයෝජන උපයා ගන්නත් බැහැ

5. ජාවාරම්කාරයින්ට සහ දේශපාලකයින්ට ලොකුවට හම්බ කර ගන්නට හැකි යටිතල පහසුකම් දියුණු කිරීමට සහ යෝධ ඉදිකිරීම් වෙනුවෙන් විදේශ ණය ගැනීමට නොදියුණු දේශීය ආර්ථිකය හේතුවක් කර ගත්තා

6. එවායේ වියදම් ඇස්තමේන්තු හවුල්කරුවන්ටත් එක්ක බෙදා ගැනීමට හැකි ආකාරයට සැසුම් කෙරුණා

7. යෝධ දූෂණ සඳහා කෙරුණු සැසුම් වල පලදායි සංවර්ධනයක් තිබුණේ නැහැ

8. එවැනි දූෂිත ආර්ථික පවත්වා ගැනීමේදී ණය ගෙවීමටත් යටිතල පහසුකම් දියුණු කිරීමටත් නැවත ණය ගැනීමට සිදුවෙනවා

9. ඒ සියල්ල සමගින් විවෘත වෙළඳපල ආර්ථිකයෙහි යෝධ දූෂණ සිඝ්‍රයෙන් වර්ධනය වෙනවා


මේ ආකාරයට දූෂණ මගින් හම්බකර ගන්න හැකි විවෘත වෙළඳපල ආර්ථිකයක් පවත්වා ගැනීම සඳහා ජනතාවට වග නොකියන පාර්ලිමේන්තුවක් පවත්වා ගැනීමට ආරම්භයේදීම සැසුම් කෙරුණා. මැතිවරණ ආසනය දිස්ති‍්‍රක්කය දක්වා විශාල කරලා, දිස්ති‍්‍රක්කයට මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙක් දේශපාලන පක්ෂයට ලැබෙන ඡන්ද අනුපාතය අනුව පත්කර ගැනීමේ ක‍්‍රමය ඒ වෙනුවෙන් හඳුන්වා දුන්නා. පසුව මනාප ක‍්‍රමය එකතු කෙරුවේ දිස්ති‍්‍රක්කයේ ඡන්ද එකතු කර ගන්න විශාල මුදලක් වැය කරන්න සිදුවන නිසා,වැඩි මනාපය අනුව මන්තී‍්‍රවරුන් තෝර ගැනීමටයි. අනෙක, මේ මැතිවරණ ක‍්‍රමයෙන් පක්ෂ වලින් පිට ස්වාධීන මන්තී‍්‍රවරුන් පත් කිරීම පුදුමාකාර අසීරු කාර්යක් බවට පත් කෙරුණා. ඒ නිසා වැදගත් මන්තී‍්‍රවරුන් තෝරා පත්කර ගැනීමේ නතා විහිළු බවට පත් කෙරෙනවා. මේ මැතිවරණ ක‍්‍රමයේ ජනතාවට ඡන්දය දෙන්න පුළුවන් පක්ෂ වලින් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයින්ට පමණයි. දිස්ති‍්‍රක්ක මට්ටමින් තෝරා පත් කෙරෙන මේ මන්තී‍්‍රවරුන් ජනතා ඡන්දයෙන් තෝරා පත් කෙරෙනවා යැයි කීම දැන් හිස් න්‍යායික තර්කයක් පමණයි. සමාජය පිරිහෙන තරමට පාර්ලිමේන්තුවත් පිරිහෙනවා. ඒ තරමට පාර්ලිමේන්තුව ජනතාවට වගකියනවා කීමත් විහිළුවක් වෙනවා.

 

පාර්ලිමේන්තුවේ බහුතරය විසින් ආණ්ඩු හදා ගන්නේ ඒ පිරිහීමත් සමගයි. එවැනි පිරිහුණු දූෂිත ආණ්ඩු විසින් ජාවාරම්කාරයින්ට අවශ්‍ය ආකාරයෙන් ආර්ථික ප‍්‍රතිපත්ති තීන්දු කෙරුණා. ඒ වෙනුවෙන් ආර්ථිකය වඩ වඩාත් විවෘත කෙරුණා. ජනතාවට වග වීම මග හැර යෑමේ පිළිවෙත් රාජ්‍ය කලමනාකරණයට එකතු කෙරුණා. එනිසා අනවශ්‍ය වියදම් වැඩි වුනා.රජයේ වියදම් පිළිබඳව විවෘත භාවයක් ඇතිව කලමනාකරණය කිරීම සම්පූර්ණයෙන්ම වාගේ අත හැර දැමුනා. ඇතැම් ව්‍යාපෘති විගණනය කෙරුණේද නැහැ.

 

කිසිදු රජයේ මුදලක් තමන්ට රිසිසේ වියදම් කරන්න,චෙක් පත් අත්සන් කරන්න ඇමතිවරුන්ට බැහැ. ඒ බලය තියෙන්නේ අමාත්‍යාංශ ලේකම්ට සහ ලේකම් යටතේ ගණකාධිකාරිවරයාටයි. මේ ආර්ථික අර්බුදය එනිසා රාජ්‍ය පාලනයේ ඉහ නිලධරය හා හවුල් වූ විශේෂඥ වෘත්තිකයින් සම්මත නීති රීති නොතකා ඔවුන්ටත් දේශපාලකයින්ටත් වාසි ඇතිවන ලෙස පවත්වා ගෙන ගිය රාජ්‍ය මුදල් කලමනාකරණ පිළිවෙත සමග වර්ධනය වූ අර්බුදයක්.

 

202204020046021957 tamil news sri lanka president gotabaya rajapaksa declaring a public secvpf


මේ අර්බුදය සමාජය මත කඩා වැටෙන්නට කලින්, ජනාධිපති ගෝඨාභයගේ ආණ්ඩුවට මාස 06 ක් වන විට ගෝලීය කොරෝනා වසංගතය පැතිරෙන්නට වූ නිසා, ඊට කලින් 2019 වසරට සාපේක්ෂව විදේශ ආදායම සියයට 50 කින් පමණ පහත වැටෙන්නට ඉඩ ඇති බව 2020 මැයි මාසය වනවිට භාණ්ඩාගාර ප‍්‍රධානින් ඇමති මණ්ඩලයට දැනුම් දී තිබුණා. එහෙත් විටින් විට සමාජ-ආර්ථික කි‍්‍රයාකාරිත්වය අත් හිටවනූ ලැබූ වසා දැමීම් හා ඇඳිරි නීති සමගින් කොරෝනා වසංගතය පාලනය කිරීමට පියවර ගත් නමුත් ආර්ථිකය ගොඩ ගැනීමට පියවර ගැනීම් කිසිවක් ගනු ලැබුණේ නැහැ. දූෂණවල අඩුවක් තිබුණෙත් නැහැ.


එනිසා,


* වාර්ෂික විදේශ වෙළඳ හිගය පියවා ගැනීමටත්
* යෝධ දූෂිත ව්‍යාපෘති සඳහාත්
* කලින් වසර වල ණය සඳහා පොලී ගෙවීමටත්

 

තව දුරටත් ඩොලර් ණය ගැනීමට තරම් විශ්වාසයක් ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා බලවත් රටවල් අතර ලාංකීය ආණ්ඩුවට ඉතිරි වුනේ නැහැ.

 Fitch Rating ccc

පොලී ගෙවීමට තරම්වත් හැකියාවක් ලාංකීය ආණ්ඩුවට හැකියාවක් නැති බංකොලොත් තත්ත්වයට රට පත්ව ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප‍්‍රසිද්ධියේ කියන්නට පටන් ගත්තා.

 

ඒ සමග ‘‘ආර්ථික අර්බුදය’’ කියලා අපි කතා කරන්නේ අපේ ජාතික ආර්ථිකයේ බිඳ වැටීමට වඩා අවුරුදු පතා ගත් ණය ප‍්‍රමාණය සඳහා පොලී ගෙවීමට හා අත්‍යාවශ්‍ය ආනයනය සඳහා ඩොලර් සොයා ගැනීමට නොහැකිවන තරමට ආණ්ඩුව හෑල්ලූවීම හා බාල්දුවීම ගැනයි.

 

Govt. decides to hold debate on IMF report 696x464


ජනාධිපති වික‍්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තකහනියේ සාකච්ඡා කරන්නේ ඒ හෙයියම්මාරුවෙන් ගොඩ එන්නට ඩොලර් ණය සහන පොලියට ලබා ගැනීමටයි. නමුත් ඒ මගින් බිඳ වැටුණු ආර්ථිකය පිළිසකර කෙරෙන්නේ නැහැ. ඉන් ලබා ගත හැක්කේ නැවත ඩොලර් ණය ලබා ගැනීම සඳහා යම් ජාත්‍යන්තර පිළිගැනුමක් පමණයි. අනවශ්‍ය නාස්තිකාර වියදම් ගැන කතා නැති ජා.මූ. අරමුදලේ කොන්දේසි වන රාජ්‍ය වියදම් කප්පාදුවත් විදේශ
ආයෝජකයින් සඳහා සේවක අයිතිවාසිකම් කප්පාදුවත් විවෘත වෙළඳපල වෙනුවෙන් රාජ්‍ය නියාමනය තව දුරටත් ලිහිල් කිරීමත් මගින් ඉකුත් දසක 04 ට වැඩි කලක් ලබා ගත නොහැකි වූ ජාතික සංවර්ධනය මේ බිඳ වැටුණු දූෂිත රාජ්‍ය ව්‍යුහ සමගින් කොහෙත්ම ලබා ගන්න බැහැ.


මේ තොරම්බල් නාගරික ආර්ථිකයෙන් පොදු ජනතාවට වැදගත් සමාජ ආර්ථික වර්ධනයක් ඇති වන්නේ නැහැ. ඒ සඳහා මීට සහමුලින් වෙනස් ප‍්‍රජා මූලික ජාතික සංවර්ධන ආකෘතියක් අපට සැකසුම් කර ගන්න වෙනවා. ඒ වෙනුවෙන් සියල්ලට කලින් ‘‘සංවර්ධනය’’ කියලා අපි කතා කරන්නේ මොන වගේ සමාජ පැවැත්මක්ද කියලා අර්ථකතනය කරගත යුතුයි. එය අපි වෙනම කතා කළ යුතු මාතෘකාවක්.

 

Kusal.jpg
 
 
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022 ඔක්තෝම්බර 18 වන දින


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්