අද මාතෘකාව : චම්පිකගේ වරිග කතිකාව කුඩුසංසාර වී
රනිල්ගේ ගෝලීය ඇල්ගෝ-රිදමික කතිකාව හිස එසවීම ...

 

(21ව ශතවර්ෂයේ නව-නූතන දේශපාලනාර්ථික ප්‍රකාශනය) - (03වන කොටස  - පසුගිය සතියක් හා බැඳේ)



ලෝකයේ ඉතා කෙටි කාලයක් ඇතුළත නව ජාතික රාජ්‍යයන් (Nation States) විශාල ප්‍රමාණයක් බිහිවීම කියන සංසිද්ධිය සැලකිල්ලට ගත්තහම, ලෙහෙසියෙන් ඕනෑ ම නූතන මනුස්සයෙකුගේ සිතෙහි පවා පැහැදිලි වන්නේ, ජාතික රාජ්‍යය කියන්නේ මිනිසුන් විසින් ගොඩනංවන ලද ව්‍යූහ-සමස්තයක් මිසක, වනාන්තරයක ගහකින් මල් හටගන්නවා වගේ ස්වභාවිකව හටගත්තා වූ ප්‍රපංචයක් (Phenomenon) නොවන බව යි.

 

ඒ අනුව ජාතිය (Nationality) හෝ ජාතිකවාදය (Nationalism) කියන දේවල් ජානමය ප්‍රතිඵලයක් හෝ වෙනත් ස්වභාවික ප්‍රතික්‍රයාවක් නිසා හෝ හටගත්තක් නොව, මිනිසුන් විසින් තම යුගික අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා ස්වභාවිකත්වයට එරෙහිව හිතාමතා ගොඩනංවන ලද භාෂාමය විනයන් සමස්තයක් අනුව මිනිස් සිරුරු ප්‍රමාණයක් කලක් හික්මවීම නිසා බිහිවූ ක්‍රියාකාරීත්වයන් සමස්තයක් බව තේරුම්ගත යුතු ය.

 

state vs nation in international relations

 

සුළු කලකින් ලොවට ජාතික රාජ්‍යයන් විශාල සංඛ්‍යාවක් බිහිවීමට අදාළව දේශාපාලන විද්‍යාඥයින් සහ සමාජ විද්‍යාඥයින්  එම ජාතික රාජ්‍යයන් අධ්‍යයනය කිරීම සඳහා පුනර්ජීවනීය උනන්දුවක් දැක්වීමෙන් ම පෙනී යන්නේ, ජාතික රාජ්‍ය යන්න එතෙක් පෘථිවියේ බිහිවී නොතිබූ, ස්වභාවික නොවූ, පෘථිවියේ භෞතික ජීවිත කාලයෙන් විශාල ප්‍රමාණයකුත් ගිය පසුව මිනිසුන්ගේ මැදිහත්වීමෙන් ගොඩනංවන ලද ක්‍රම-පද්ධතීන් (Systems) බවයි.


“ජාතික රාජ්‍යය” කියන ක්‍රියාකාරී ව්‍යූහ-සමස්තය ස්වාභාවික එකක් නම්, ඒවා පෘථිවියේ ජීවිත කාලයෙන් බොහෝ කල් ගතවී බිහිවෙන්නට හේතුවක් නැත. අවම තරමින් එවායේ පූර්ව-ස්වභාවික තත්වයක් හෝ ඊට පෙර පැවතී තිබෙන්නට උවමනා ය. විසංකාරයා වන මම එහෙම කියන්නේ, ජාතික රාජ්‍යය යනු ස්වභාවික ආපදාවක්, වසංගතයක්, සුළි කුණාටුවක්, එසේත් නැතිනම් කාබනික හෝ අකාබනික වූ ස්වභාවික පද්ධතියක ස්වභාවධාර්මික පරිණාමයක් නිසා බිහි වූ නව-පද්ධතියක් හෝ ස්වභාවික රසායනික ක්‍රියාවලියක ඵලයක් වැනි යමක් නොවන නිසා ය.


ඒ හින්ද “ජාතිය” ස්වභාවිකව බිහිවූවක් නම්, ජාතිය බිහිවෙන්නට කලින් තිබූණ කුමන කාබනික හෝ අකාබනික “ස්වභාවික සමස්තය” (natural entity) පරිණාමනය වීමෙන් ද, කුමන රසායන ප්‍රතික්‍රියාවක් සිදුවීමේ ප්‍රතිඵලයක් විදිහට ද ජාතිය බිහිවූයේ කියා පෙන්වාදෙන්න පුළුවන් වෙන්න ඕනි. ජාතිය හෝ ඊට පෙර පැවති පූර්ව-ජාතිය වන “වරිගය” හෝ “රැලක” සිතුම් සමස්තය සංස්කෘතියේ ඵලයක් වන භාෂාවකින් නොතැනී ස්වභාවිකව සිද්ධ වූවා නම් හෝ, හිදිසියේ අදිසි ගුප්ත බලවේගයක් ලෙස පහල වූවා නම්, සිංහල ජාතික පිරිමියෙකුට දාව ප්‍රංශ ජාතික ගැහැනියකුගේ ගැබෙහි දරුවෙකු බිහිකළ හැකි වන්නේ නැහැ. ඒකට ස්වභාධර්මය ඉඩ දෙන්නේ නැහැ. ජාතිය ස්වභාවිකත්වයක් නම්, ප්‍රංශ ගැහැනියකුට දරුවෙකු හදාගන්නට ප්‍රංශ පිරිමියෙක් ම උවමනා වන්නේ ය.


සැබෑව නම් ගැහැනියකගේ ගර්භාශය ස්වභාවික වන අතර ජාතිය ස්වභාවික නොවීම යි.

ගැහැනියගේ ගර්භාෂය ජාතිය නැමති භාෂා-ක්‍රම-පද්ධතිය අතාර්කික කරවයි.
ගර්භාශය ස්වභාවික ජීව-විද්‍යාත්මක භෞතික අවයවයකි.
ඉදින් ගර්භාශය විසින් ජාතිය කියන මානසික අවයවය ක්ෂණිකව මෙලෝ වචනයක්වත් කතා නොකර ම ගැබ වැඩෙන මාස නවයක් ඇතුළත අතාර්කික කරවයි.
 

GettyImages 692684784 2000 9276f5abb11c4528964f9739233aad26


“ජාතිය ස්වභාවිකයි” කියන මනෝමූලික තර්කය ගැහැනියගේ ගර්භාෂය තුළ එක නිමේෂයක් දී මුළුමනින් ම බිඳවැටී අහෝසිවී යයි. ඒ අනුව ඕන ම මනුස්ස ගැහැනියකට සිංහල, සිංහල බෞද්ධ, දෙමල, දෙමල හින්දු, මුස්ලිම්, බර්ගර්, ඉන්දියානු, ප්‍රංශ, ඇමරිකන්, රොඩී, කරා, උඩරට, පාතරට, මලයාලම්, සුන්නි මුස්ලිම්, රුසියන්, චීන, බොදු ගොවි, අප්‍රිකානු යනාදී මෙකී නොකී ඕනෑම ජාතියක හෝ පූර්ව-ජාතියක හෝ වරිගයක පිරිමියෙකුගේ ශුක්‍ර ධාතුවලින් (සංසර්ගයේ යෙදී හෝ නොයෙදී) දරුවෙකු බිහි කළ හැකි ය.  

   
එතකොට දෙමාපියෙකු තම දැරියට බොදු ගොවි හෝ සලාගම හෝ කරා සැමියෙකු හොයන විට ඒ හොයන්නේ ස්වභාවිකත්වයට එරෙහිව බව මතක තබාගතන්න වෙනව.


ආර්ථිකය, දේශපාලනය, නීතිය, කලාව, සංස්කෘතිය යනු කොහොමත් ස්වභාවිකත්වය මරාගෙන මිනිසුන් විසින් නිර්මාණය කරගනු ලැබූවන්. ඒවා භාෂාමය උපකරණ ලෙස සැලකිය යුතු මිනිස් අවශ්‍යතා ප්‍රමාණයක් සපුරා දෙන බව හැබෑව. ඒත් ඒවා ස්වබාවික නොවේ. එකවර අහුවන උදාහරණයක් කීවොත්, මොටර්-රථය ශරීරයෙන් පිටත පවතින උපකරණයකි. එයින් සැලකිය යුතු මිනිස් අවශ්‍යතා ප්‍රමාණයක් සපුරා දෙනවා තමයි. ඒත් ඒවා ස්වභාවික නොවේ. මෝටර්-රථයේ කැටලොග් එක දැනුමත් විදිහට මොළය ප්‍රධාන ස්නායු පද්ධතියට ඇතුළත් කරගෙන ඒ අනුව හැසිරුනා ම තම ස්වබාවික ශරීරයෙන් රසායනික කොටසක් අකාබනික කාර් එක පදවන්න, භාවිතා කරන් වැය කරන්න වෙනවා තමයි. ඒත් ඒ ඉබේ සිද්ධ වෙන ස්වබාවිකත්වය නෙවෙයි. මනුස්සයා භාවිතය අතහැරියොත්, එහි ස්වයං-ස්වභාවික-ක්‍රියාකාරීත්වයක් නැහැ. ආර්ථිකය, දේශපාලනය, නීතිය, කලාව, සංස්කෘතිය කියන්නේත් භාහිර භාෂාවෙන් දැනුම්වත් කරන උපකරණ. ඉතිං ඒවා ද භාවිතය අතහැරියොත් ස්වයං-ස්වබාවික-ක්‍රියාරීත්වයක් සිද්ධ වෙන්නෙ නැහැ.
 


සාමාන්‍යයෙන් අපේ ලක් රටේ (සමහර අවස්ථාවල වෙනත් රටවල පවා) උප-සමාජ (sub-societal) සහ උප-ජාතික (sub-national) මට්ටමේ සමාජ ව්‍යුහවල තේරුම් ගැනීමට අනුව කෙරෙන දේශපාලන හෝ සමාජ-විද්‍යාත්මක ඥාන සංවර්ධනයන් තුළදී පවා ජාතිකවාදය පිළිබඳ ලොව බටහිර කලාපයේ බිහිවූ දැනුමහි නිර්භීත භෞත-විද්‍යාත්මක ප්‍රවේශයන්, සැලකිල්ලට ගැනෙන්නේ නැති තරම්.  


ඒ නිසා මා මේ කියූ ගර්භාෂයේ ඇති ජාති-විරෝධී ස්වභාවිකත්වය බොහෝ දකුණු ආසියානු පිරිමින්ට මොලේ ඔල්මොරොන්දම් කරවන භයානක කතාවක් ය. විශේෂයෙන් අපේ රටේ නම්, එස්. ඩබ්ලිව් ආර්. ඩී. බණ්ඩාරණායක, බුද්ධ රක්ඛිත, නලින් ද සිල්වා, චම්පික රණවක, විමල් වීරවංශ, ගුනදාස අමරසේකර, ප්‍රභාකරන්, ඇන්ටන් බාලසිංහම්, ත්‍රෛයි නිකායික හාමුදුරුදුවරු, ගලබොඩඅත්තේ ඥාණසාර, රවුෆ් හකීම්, හින්දු පූජකවරු, එල්ලාවල මේධානන්ධ, ඕමල්පේ සෝභිත අතුරලියේ රතන, තිලක් කරුණාරත්න, තමිල් චෙල්වම්, උඩුවේ ධම්මාලෝක, චෙල්වනායගම්, අමිත්තලිංගම්, සිරිල් මැතිව් සහ මුළු මැදමුලන නඩයම යනාදී වූ එහේ හිතට ආවට ගියාට වගකීමකින් තොරව සෘජුව හෝ වක්‍රව ජාතිකත්වයන් ස්වභාවික යැයි සිතන සහ ප්‍රකාශ කරන මෙකී නොකී සියළු ජාති-කුළ-වරිගවාදීන්ට මේ ගර්භාශයේ ස්වභාවිකත්ව කතාන්දරය දිරවන්නේ ම නැත.


කාට දිරෙව්වත් නැතත් මිනිසාගේ ස්වභාවික යථාව වන්නේ ම එයයි.


එම යථාමය ප්‍රවාදය පරාජය කිරීමට නම්, ගැහැනියගේ ගර්භාශයේ ඇති ස්වභාවික ක්‍රියාකාරීත්වය අහෝසි කිරීමට සිදුවෙනවා ඇත.

 

ගැහැනියගේ ගර්භාශයේ ස්වභාවික පැවැත්ම අහෝසි කළ පසුව පෘථිවියේ මනුෂ්‍ය ජීවයද ඒ සමඟ ම වඳ වී අහෝසි වී යනවා ඇත. ගර්භාශයක් නැති ලෝකයක ප්‍රාග්ධනය, ආර්ථිකය, දේශපාලනය, සංස්කෘතිය, ජාතිය, ජාතික රාජ්‍ය හෝ වෙන මොන මලඉලව්වෙන් වුණත් සමරන්න දෙයක් ඉතිරි වන්නේ නැහැ. මිනිස් ශරීරයන් නැති පෘථිවියක කුමක් නම් සමරන්නද? මොන භෞතික හෝ පාරභෞතික ව්‍යුහ සමරන්නත් අවශ්‍ය වන මනුස්ස ශරීරය බිහිවීම නැවතී යද්දී සියළු කතිකා ඒ මත්තේ බිඳ වැටී කුඩුසංසාර වී යනවා ඇත. ඒ නිසා ගැහැනිය පවතින්නේ කෑම උයල දෙන්න, රෙදි හෝදගන්න, ගේ අස්කරන්න, පිටි කොටන්න යනාදී වැඩ කන්දරාවක් කරගන්න සහ පිරිමියාව උඩ දාන්න කියල හිතන පූර්ව-ධනේෂ්වර පිරිමින්ට අවිඥානිකව පවතින දරාගත නොහැකි සැබෑ යථාව මෙය යි. 

 

986111381 orig

 

මදකට අප්‍රිකාව නැමති ඉම් පෙදෙස සැලකිල්ලට ගත්තොත්, අප්‍රිකානු සමාජයන් පිළිබඳ මෑත කාලීන සමාජ-මානව-වංශ-විද්‍යාඥඥයින්(Anthropologists) ගණනාවක් විසින් කළ විමර්ශනාත්මක සොයාබැලීම් වලදී, ඉතා සියුම් සාවධාන බවක් දක්වල තියෙන්නේ, අප්‍රිකාවේ පූර්ව-ජාතික-සමාජ (Pre-Nation-Societies) තුළත් ජාතික රාජ්‍යයේ ව්‍යූහයන්ට සමාන්තර වන ව්‍යූහ තිබීම පිළිබඳව යි.


මෙන්න මේක තමයි උගුල.


සමාන්තර ව්‍යූහ තිබූ පමණින් පූර්ව-ජාතික-සමාජ (Pre-Nation-Societies) ජාතික සමාජයන් ලෙස හෝ ජාතික රාජ්‍යය පවතින සමාජයන් ලෙස හෝ නිර්වචනය කළ හැකිද?


ඒවා ජාතීන්(Nations) හෝ ජාතික රාජ්‍යයන් වන්නේ නම්, එවා පූර්ව-ජාතික-සමාජ (Pre-Nation-Societies) ලෙස නම්කරන්නට අවශ්‍ය වන්නේ ම නැහැනේ. මොකද, ඒවා තවම ජාතිය නැමති තත්වයට පවා නොමේරූ සමාජ-පද්ධතීන්(Soial Systems).


විශේෂයෙන් මේ උගුලට අහුවී තියෙන්නේ, ලක වැනි වසර සීයකට වැඩි කාලයක් බටහිර යටත්-විජිතවාදයට හසුව පැවති සමාජයන්.

 

මොකද බටහිර යටත්-විජිතයන් විසින් බලහත්කාරයෙන් ස්ථාපිත කරපු ඔවුන්ගේ නූතන ජාතික රාජ්‍යය තේරුම් ගැනීමට ඒ යටත් විජිත බවට පත් වූ පූර්ව-නූතන සමාජයන්වල සාමාජිකයින්ට මානසික උපකරන තිබුණේ නැහැ. යටත් විජිත බවට පත්වුන රටවල පූර්ව-නූතන වූ දේශීය වැසියන්(Pre-Modern Local residents) ආගන්තුක බටහිර ජාතික රාජ්‍යය තේරුම් ගන්නේ, අර අප්‍රිකාවේ පවතිනවා වැනි වූ තමන්ගේ පූර්ව-ජාතික-සමාජය තුළ ක්‍රියාන්විතව පැවති “ජාතික රාජ්‍යයේ සමහර ව්‍යුහයන්ට පමණක් සමාන්තර ව්‍යූහ” එක්ක බටහිරුන්ගේ “සමස්ත ජාතික රාජ්‍යය” සසඳල යි.

 

ඒ හින්ද මේ වැසියන්ට “ජාතික රාජ්‍යයේ” හෝ “ජාතියේ” ඇති නියම ඓන්ද්‍රීය ස්වභාවයන් සියයට සීයක් අනුසාර වෙන්නට හෝ තේරුම් යන්නට විදිහක් ඇත්තේ නැහැ. ඔවුන්ට අනුව, තම පූර්ව-ජාතික පද්ධතියේ ඇති ජාතික රාජ්‍යයට සමාන්තරව පවතින සම-ව්‍යූහ සිතින් සලකා බලා, සැබෑ ජාතික රාජ්‍යයක අවයව කිහිපයක් පමණක් යම්තාක්  දුරට තේරුම් ගහ හැකි ය. එය ජාතික රාජ්‍යය පිළිබඳ පූර්ණ සත්‍යාවබෝදයක් ලෙස සිතාගැනීමට ද හැකිය. එහෙත් ඔවුන් නොදත් ඉතිරිය, ඔවුන් ස්වීයව උපකල්නය කරගත් කල්පිත අරුත් මිස ඒවාට කිසිදු වාස්තවික සත්‍යයක් (Objective Truth) සම්බන්ධ නැත.


ඒ නිසා ජාතික රාජ්‍යය පිළිබඳ මෙවන් පූර්ව-ජාතික රටවල උදවියගේ හිත්වල ඇත්තේ, ජාතික රාජ්‍යයේ භෞතිකය පිළබඳ සත්‍යයෙන් කොටසකුත්, නොදත්කමෙන් කොටසකුත් සහිත ඇත්තකුත් නොවන බොරුවකුත් නොවන අර්ධ-සත්‍යයකි. එය අසත්‍යයටත් වඩා නොමග යවන සුළු ය.


ඒ නිසා ම අනතුරුදායක ය.

 

මොකද නැති ජාතික රාජ්‍යයක් තියෙනවාය කියා හිතින් මවාගෙන, ඒ අනුව රටක ආර්ථික සංවර්ධනය හෝ දේශපාලනය හෝ මූල්‍ය කළමණාකරණයට අදාළ කටයුතුවල නියැලෙන්නට ගියහොත්, සිද්ධවන්නට නියමිත වන්නේ සමාජීය ඇක්සිඩන්ට් එකකි. මේ වන වි ලකේ සිදුවී තිබෙන ආර්ථික ව්‍යසනය ද රටේ සමස්තය (Totality) කුමක්ද යන්න පිළිබඳව නිවැරදි විශ්ලේෂණයක් නොමැතිකමින් සිදුව ඇති එවැනි ම ඇක්සිඩන්ට් එකකි.


ලකේ වත්මන් ආර්ථික ඇක්සිඩන්ට් එක යනු කුමක්ද?


2022කේ ආර්ථික ඇක්සිඩන්ට් එක යනු, 1948න් පසු තරමක්ද, 1956න් පසුව මුළුමනින් ද මේ කොදෙව්වෙහි මෙතෙක් ජීවත් වූ බහුතර මිනිසුන් ආණුඩුක්‍රම ව්‍යවස්ථාව විදිහට හෝ ආර්ථික දැනුම විදිහට හෝ වෙන කුමන විෂයානුබද්ධ දැනුමක් විදිහට හෝ ජාතික-රාජ්‍ය-සමස්තයකින් මෙහෙයවන සමාජ-සැකැස්මකට (Social Formation) හිතින්(තම මොළය ප්‍රධාන ස්නායු පද්ධතියෙන්) සම්බන්ධ වී හිඳ නැති බව පිටතට පිළිබිඹු කර දුන් කැඩපතකි. ආර්ථිකය වරිගයට වඩා අප්‍රධානයි කියා හිතාගෙන 1956යේ සිට වසර 66ක් චන්දෙ පාවිච්චි කළ පූර්ව-ජාතික ජන කොට්ටාසයකට දුන් අනතුරු ඇඟවීම් කැඩපතකි. රතු කට්ට පනින්ට කලින් දුන් මාලිමාවකි!  


ඒ නිසා ලක් කොදෙව් වැසියන් පැහැදිලිව ම තම තමන්ගෙන් සිත්වලින් අවංකෙන් ම අසාගත යුතු ප්‍රශ්නයක් පවතී.


එනම් ලංකාවේ සිංහලුන්, දෙමලුන්, මුස්ලිමුන් “ජාතීන්” ද?,


නැතිනම් තවමත් ජාතීන්(Nationalities) බවට නොමේරූ  පූර්ව-ජාතීන්ද(Pre-Nationalities)?
කොටින් ම ලාංකික ජන සමස්තය ජාතියක්(Nation) ද?
නැතිනම් ජාතියක් බවට නොමේරූ පූර්ව-ජාතියක් (Pre-Nation) ද?


සාමජ-විද්‍යාත්මක සහ දේශපාලනාර්ථික අරුතකින් ගත්කල ද ජාතියක් බිහිවන්නට නම් යම් කිසි ආර්ථික කොන්දේසි සැපිරී තිබිය යුතුය. සුද්දන් පාලනයට නොපැමිණ අප දකුණු ඉන්දියානු ආක්‍රමණවලට නැවත වරක් ගොදුරුවන්නට හැකි තරමේ දුර්වල උඩරට රජු සහිත පද්ධතිය නුතන “ජාතියක්” නියෝජනයක් කරන්නක්ද?

 

sscscs1 680x501


මන් දන්නා තරමින් අති සුළුතරයක් නියෝජනය කළ “රාජ-සභාව” සහ සුළු-ප්‍රභූ-සභාවල සිටි උදවිය හැරුනුකොට රටේ බහුතරය පාලනය වූයා් වරිග-සභා හෙවත් ග්‍රාමීය පූර්ව-ජාතික ව්‍යුහයන් වලින්.


රටට බැහැරින් ආපු එංගලන්ත ආර්ථිකයෙන් ජාතික රාජ්‍යයක කොන්දේසි සැපිරී ස්තාපිත වෙන්නට යත්දී ද 1956 වසරේ වරිගවාදය ඉස්මතුවී එය වහා නවතා දමා විකෘති කරවූයේ ය. මන්ද මුහුදුබඩ ඇතුළු සුළු පෙදෙසක ඉංග්‍රීසි නාගරික ජාතික රාජ්‍යයට වඩා බහුතරය වරිග-සභාවග අනුප්‍රාප්තිකයෝ ය. ඔවුන් ඉන්දියාවේ නිදහස් සටන නිසා අපිට ලැබුන ස්වාධීනත්වය දේශාපලනාර්ථික අවබෝදයකින් තොරව විෂය-විරෝධී වැරදි භාවිතයක යොදවන්නට වරිගවාදී ශ්‍රීලනිපය වෙනුවෙන් චන්දය පාවිච්චි කළහ. අදවන විට පොහොට්ටුව ලෙසින් කූටප්‍රාප්තියට පත්වී ව්‍යසනයකින් ආර්ථිකය කෙලවර කර ඇත්තේ ඒ 1956යේ කල්පිත සුභසාධනයේ බලවේගය යි.


“මිනිස්සුන්ට සුභසාධන ලෙස නොමිලේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් භුක්ති විඳින්නට දෙනවිට එය කොහෙන් හෝ උපයාගත යුතුය” කියන ප්‍රාථමික ආර්ථික න්‍යාම ධර්මයවත් විනයක් ලෙස නොපිළිපැදපු බලවේගය ය. “හොරාකනකොට හොරා කන මුදල කොහෙන් හෝ උපයා ඩොලර් සංචිත සමබර තත්වයේ තිබිය යුතුයි” මූලික ධනේෂ්වර නියාම ධර්මයවත් විනයක් ලෙස පිලිපදින්නට දන්නේ නැති “අලි බබා සහ හොරු හතලිහ” බලවේගය ය. කොටින් ම කියතොත්, 1956යේ සිට පත්වන හැම වාරයකම, රටේ ආර්ථිකය කාබාසිනියා කළ බලවේගය ය. 1970-1977 සමසමාජ එන්. එම්.ගේ මැදිහත්වීම නොවී නම් මීට කලින් ම ආර්ථිකය මකබාවන්නට ගොහින් ජනතාවගෙන් ගුටිකා මීට පෙරාතුව ම ඉතිහාසයේ කුණු කූඩයට යන්නට තිබූ බලගවේගය ය. ඒ නිසා පේනවද එන්. එම් සභාගයක මුදල් ඇමතිවෙලා අවිඥානිකව වරිගවාදීන් රැකගෙන තියෙන අන්දම. චන්ද්‍රිකාට විරුද්ධව ජවිපෙ විසින් රටපුරා තම පක්ෂ යන්ත්‍රය මෙහෙයවල මහින්දව, ෆෝම් කරල ජනාධිපති කරවපු එකෙන් ආපු ආර්ථික විපත්තිය ඒන්.එම් කළ දේටත් වඩා අඩුවෙන් අනතුරුදායකද අනුර කුමාර දිසානායක.

DR.N. M. Perera

එන්. එම්. පෙරේරා


මිනිසුන්ගේ සිත්සතන් තුළ ජාතික රාජ්‍ය තිබුණේ වී නම්, 1956දී යූඇන්පිය පාර්ලිමේන්තු ආසන 08ට පහත දමා බහුතර කැමැත්තෙන් “කල්පිත සිංහල ඔන්ලි රාජ්‍යයක්” හදාගන්නට ගිහින් සුද්දා දුන් නාගරික පාර්ලිමේන්තුව ගැමි-වරිග-සභාවක් කරගන්න තටමමින් මේ ජනයා අනාගන්නේ නැත.


බැලූ බැල්මට ම ලක් කොදෙව්වේ අපි කිසිවෙක් ලෝකයේ ප්‍රමිතිකරණය වූ සමාජවිද්‍යාත්මක අරුතින් ජාතීන් නොවේ.


අපි තවමත් නූතන අර්ථයේ ජාතියක කොලිටි එක අත්පත් කරගන්න පෙරුම් පුරන සිංහල දෙමල මුස්ලිම් පූර්ව-ජාතීන් කිහිපයක් ය.


එංගලන්තකයින් හඳුන්වාදුන් නූතන ඉංග්‍රීසි ජාතික රාජ්‍යවත් (Modern English Nation State) වසර 70ක් පුරා සාපේක්ෂ සංවර්ධනයක් සහිතව හෝ නඩත්තු කරගන්නට අපට නොහැකි වූයේ, අපි නූතන ජාතියක් නොවන වරිගයන්(පූර්ව-ජාතීන්) කිහිපයක් වන නිසා ය. රටේ මිනිස් ශරීර බහුතරයක් භාවිතයෙන් එංගලන්තයේ “නූතන ජාතිය” හා ඓ්න්ද්‍රීය නැති නිසා ය. කෙමෙන් යම් දුරකට හෝ එසේ ඓන්ද්‍රීය වෙන්නට තිබූ අවස්ථාවද 1956දී නැතිකරගත් නිසා ය.


ඉතින් අප ඉන්දියාවේ ආර්යන් යජ්නයාවරුන්ටත් වඩා නොදියුණු පූර්ව-ජාතීන් කිහිපයකි. මන්දයත් ඉන්දියාවේ හින්දු ආර්යන් යජ්නයාවරු නිදහස් සටනක් කළ පසුත් ඉංග්‍රීසි භාෂාව නම් මෙවලම අතහරින්නට තරම් මොට්ටයෝ වූවේ නැත. ඉන්දියාව පූර්ව ජාතික භාෂා 447ක් පවතින රටකි. එයින් ස්ථාවර භාෂා ඇත්තේ 22ක් පවතින රාජ්‍යයකි. මේ කිසිවක් “නූතන-ධනේෂ්වර-ජාතික-රාජ්‍යයක්” ලෙස ලෙස හිතන්න පතන්න දන්නා භාෂාවන් නොවේ. ඉන්දියාවේ සියළු භාෂා පූර්ව-ධනේෂවර ය. එහෙත් එංගලන්තයේ ජාතික රාජ්‍යය උපුටගත් ප්‍රභූන් අපට ලකේ ප්‍රභූන්ට වඩා නූතනවාදී වූහ.


නිදහසින් පසු ඉන්දියානු නායකයා වූ ජවහල්ලහල් නේරු යනු එංගලන්ත ආණ්ඩුකාරයාගේ බිරිඳ සමඟ ප්‍රේම සබඳකමක් පවත්වාගෙන යන්නට තරම් මහා සංස්කෘතියක් තිබූවෙකි. ඉන්දියාවෙ පූර්ව-ධනේෂ්වර ක්‍රම-පද්ධතියෙහි යෙහි ප්‍රභූවරු මහා-සංස්කෘතීන්ගෙන් බිහිවූ අය වීමත්, ලංකාවේ පූර්ව-ධනේෂ්වර ක්‍රම-පද්ධතියෙහි ප්‍රභූවරු චූල-සංස්කෘතිීන්න් බිහි වූ අයවීමත් මීට හේතුව වේ.

 

jr

ජේ.ආර්. ජයවර්ධන


ආසියාවේ මෙතෙක් බිහි වූ පරිණතම රාජ්‍යතාන්ත්‍රීකයා වූ ජේ.ආර්. ජයවර්ධන ලංකාවේ නිදහස් සටනක් කරන්නට මහන්සි වනවාට වඩා ඉන්දීය නිදහස් සටනට උර දෙන්නට නේරු සමඟ අත්වැල් බැඳගත්තේ මෙන්න මේ අවබෝධය නිසා ය. මන්ද දකුණු ආසියාව පාලනය කළ කලාපීය බටහිර ආර්ථික ආයතනය වන “නැගෙනහිර ඉන්දීය කොම්පැනිය (East Indian Comapny)” හා කරට කර සටන් කරන්නට ඉන්දියාව නැතුව වෙන කිසි ම දකුනු ආසියානු රටකට තනිවම නොහැකි බව ඔහු දැන සිටි නිසාය ඒ.  


අපි, 1956දී ව්‍යවස්ථාවට වඳ සැත්කමක් කරමින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරල, ඉංග්‍රීසීන් හඳුන්වා දුන් ජාතික රාජ්‍යයේ කොඳු නාරටිය මැදට ම ගසා එහි හරිමැදින් ම කඩා බිඳ දමා ගත්තෙමු. එසේ කර ඒක මාර වැඩක් හෙවත් සංස්කස්කෘතික විප්ලවයක් විදිහටත් හුවාදක්වමින් ඉංග්‍රීසි ආර්ථිකයට තියා කිසිදු ආර්ථිකයකට සම්බන්ධයක් නැති හුදෙකලා භාෂාමය දේශපාලන ව්‍යුහයක් විතරක් පවත්වාගෙන යන්නට උත්සහ දැරුවෙමු. ඒ වරිග දේශපාලන ව්‍යූහයට වසර 66ක් පිරෙන මේ  2022 අවුරුද්දේ මහා ආර්ථික ඇක්සිඩනස්ට් එකකින් කෙලවර කෙරෙන ව්‍යසනයකට මුහුණ දෙන්නට වන තත්වයට අවිඥානිකව කටුයුතු සූදානම් කරගත්තේමුව.


මේ අවක්‍රියාව පිටුපස ඇති වරිගමය හේතුව නිසා, ආර්ථික වශයෙන් මහ අතාර්කික නිරපේක්ෂ “සිංහල-බෞද්ධ” සංකල්පය ව්‍යවස්ථානුකූලව ම ඇදහීම අරඹීමත්, ඒ ඇදහීම අනෙකා කරගෙන ඊලාම් සංකල්පය ඇදහීම ආරම්භ වීමත් සිදුකරන මිනිස් කොට්ඨාශ දෙකක් බිහිවිය. බිහිවුනා විතරක් නොව ඔවුන් එකිනෙකාට එරෙහි කා මරා ගන්නා දේශපාලනයක්ද කරන්නට ද පටන් ගති. අවසානයේ ගණුදෙනුව බේරගන්නට සිංහල සහ දෙමල වරිග 02ට වසර 30ක ජන ඝාතක යුද්ධයක් උවමනා විය. දේපල විනාශයන්, මලමීනී දහස් ගණන් උවමනා විණි. ඉතින් මේ සිංහල සහ දෙමල දෙගොල්ලෝ දියුණු ශිෂ්ට නූතන ජාතීන් ද?


නැත!

war victims

දියුණු ජාතික රාජ්‍යයක් ඇති දියුණු ජාතීන් දෙකක් නම් වසර 30ක යුද්ධයක් කරන්නේ මොකක් හෝ ආර්ථික වාසියක් අත්කර ගන්නට ය. එංගලන්තකයෝ අපට විරුද්ධව යුධ කර අපව යටත් කරගත්තේ ම ආර්ථික වාසි අත්කරගන්නට ම ය. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මැදපෙරදිග ඍටවල් එක්ක යුද්ද කළේ තෙල් සම්න්ධ ආර්ථික වාසි අත් කරගන්නට ය. සිංහලුන් දෙමළුන් සමඟත් දෙමළුන් සිහලුන් සමගත් අවුරුදු 30ක් යුද්ධ කර ආර්ථික වාසි අත්පත් කර ගත්තේ ද?


නැත!



ඩොලර් සංචිත පුරවගන්නටත් බැරිව නොන්ඩි වෙන තත්වයට කෙලවා ගත්තේ ය.

 

ඒ නිසා ඒ වසර 30හේ යුද්ධය යනු නූතන ජාතික රාජ්‍යයක් තුළ සිටින ජාතීන් කරන ලද ආර්ථික කේන්ද්‍රීය යුද්ධයක් නොවේ. ඒ වසර 30ක යුද්ධය වරිගවාදී ම්ලේච්චත්වය සැමරීමට කළ ප්‍රචන්ඩ වරිග සංදර්ශනයකි. ඒකට හුරේ දාපු සිංහල, දෙමල මුස්ලිම් කොදෙව් වැසියන් හැමෝම තමන්ගෙ හිත ඇතුළෙ ඉන්නේ ශිෂ්ට නූතන ජාතිකයෙකු නොවන ම්ලේච්ච වරිගවාදියෙක් බවට සිහිකැඳවා ගන්න! ආර්ථික ව්‍යසනයෙන් නැවත මියෑදෙන්ට වේ යැයි බියෙන් මේ වරිග තුන නැවත ගෝල්පේස් එකේදී සමගි වී හදිසියේ එකාවන්වී “සමස්ත ලාංකිකයින්” බවට තාවකාලිකව වේශ නිරුපනය වුණහ. ඒත් ඊළඟට එන චන්දවලදී නැවත වරිගවලට සහ කැපුවත් නිල්-කොළ-රතු කොලිටි වලට බෙදී චන්දය පාවිච්චි කරනු ඇත. කොදෙව් වැසි මිනිසුන් තුළ සිටින වරිගවාදී යකා තවමත් මුළුමනින් මියගොස් නැති මේ බිහිසුනු යථාව දන්නා නිසා තමයි, මෙච්චර සන්තෑසියක් වෙලත් මහින්ද ආයෙමත් වේදිකාවලට නැගල “දැන් චන්දයක් තිබ්බත් අපියි දිනුම්” කියල කියන්නේ.

 

මේ සිංහල-දෙමල-මුස්ලිම් වරිග මිනිස් කොට්ටාශ එකක්වත්,  අවම තරමින් භෞතික නිදහස් සටනක් කරපු ඉන්දියාව විසින් 1948 ඉඳන් 1965 වෙනකං ඉංග්‍රීසි භාෂාව පිළිබඳ තීන්දුවක් ගන්නට වසර 15ක් කල්ගත්තු එක පිටුපස ඇති දේශපාලනාර්ථිකය හදාරන්නටවත් වෙහෙස මහන්සි වන්නේ නැහැ. ඉන්දියාව ද නොතකා අපි බහුතරය බන්ඩාරනායක චොපර් එකට නැගී උඩ ඉඳන් පහළට අත හැරපු සිංහල ඔන්ලි සංකලපීය සල්ලි කොලේ මලපෙරේත කොමට බදාගෙන කෙලවාගත්තු නූගත් වරිග වැසි වාහෙලා රැලක්.


බලන්න, .....


අපි “වරිගයක් ද?” “ජාතියක් ද?” කියන එකේ දෙකොන පටලගත්තු මේ මහා දේශපාලනාර්ථික වියවුල පුරා-විද්‍යාවෙන්, ඉතිහාසවේදීන්ගෙන් සහ අපට ඇති අටුවා ටීකා ටිප්පනිවලින් විතරක් විසඳාගත හැකි උභතෝකෝටිකයක් නෙවෙයි. ඒ මාර්ගයේ ගියොත්, වරදවා වටහාගැනීමේ අවදානම් සහගත වංකගිරියකට අහුවී පූර්ව-ජාතිකයන් වූ අප්‍රිකානුවන්ගේ තත්වයටත් වඩා අවදානම් අඩියකට අපිව ඇදවැටෙනවා ම යි.


නැත්නම් සිංහල ජාතිය ස්වභාවිකයි හෝ දෙමල ජාතිය ස්වභාවිකයි කියල සෘජුව හෝ වක්‍රව සමාජයට අවිද්‍යාත්මක මුසාවාද එන්නත් කළ නලින්- බාලසිංහම්-චම්පික-ප්‍රභාකරන්ගේ දහංගැටේට අහුවෙනවා ය. ඒ නිසා ලක් කොදෙව්වෝ ලෝක ප්‍රමිතිගත ඇකඩමීක විෂයන් සහ අනෙකුත් ඥාන පද්ධති අනුව “අපි ජාතියක් ද කියන  වාද-විෂය අවබෝධ කරගැනීමේ නූතනවාදී භාවිතාවට හෝ ඇතුළු විය යුතු ය. අපට සමාජ-විද්‍යාඥ්ඥයින්ගේ ද, දේශපාලන විද්‍යාඥ්ඥයින්ගේ ද ඇතුළු අනෙකුත් බුද්ධිමත් විෂයවේදීන් ගේ ද දැනුම සීරුවෙන් භාවිතා කරන්නට සිදුවෙන බව දැන්වත්, ඉදිරි පරම්පරා නාමෙන්වත් පිලිගත යුතුයි.


ඉතින් ලක් කොදෙව් වැසියා ජාතියක හෝ “ජාතික රාජ්‍යයක”(Nation state) සාමාජිකයෙක් ද?


එහෙමත් නැතනම්, පූර්ව-ජාතික-සාමාජයක (Pre-Nation-Societies) සාමාජිකයෙක් ද?


බලන්න! ....


අපේ රටේ බහුතරයක් දෙනාට, ඒ කියන්නේ 1956න් පසු පාර්ලිමේන්තුවට පත් වූ අයට පවා ලංකාවේ ආණුඩු-ක්‍රම-ව්‍යවස්ථාව කියන එක දුරාවබෝධී ලියවිල්ලක් බවට පත් වුණේ අහම්බයකින් ද?


ජාතික රාජ්‍යය කියන සමස්තය කොලයක විතරක් තිබිල හරියන්නේ නැනැහැනේ. එය ඒක් එක් ප්‍රමාණවලින් හෝ සමස්ත කොදෙව් ජන බහුතරයකගේ ආකල්ප නියෝජනය කරන්නට උවමනාමනේ.


ප්‍රංශය වගේ රටක “ජාතික රාජ්‍යය” කියන එක විෂයක් විදිහට හැම පුරවැසියෙක් ම හදාරන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් ඒ පුරවැසියාගේ දිනපතා දිනචරියාවන් තුළින්, චර්යාවන් තුළින්, සිතුම් පැතුම් තුළින්, ජීවන තෝරා ගැනීම් තුළින් අර ජාතික රාජ්‍යය ගම්‍ය වෙනව.


ලංකාවේ සීයට 70ක් පමණ දෙනා තමන් ජීවත්වෙන්නෙ ආණ්ඩු-ක්‍රම-ව්‍යවස්ථාවක් ඇතුළෙ කියල දන්නේ නැහැ. ලකේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ බහුතරයකට අවිඥානික යි.

 

20220417 202237


මෑතකාලීන උදාහරණයක් ගතහොත්. “ගෝටා ගෝ” අරගලයට සහභාගිවුණු අය සහ එය මෙහෙයවූවායි කියාගත් නිර්පාක්ෂිකයෝ නායක උදවිය, චන්දෙන් පත්වූ ජනාධිපති කෙනෙක් ඉවත් කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අඳුනගන්නකොටත් අරගලය මාස 02ක් විතර ගිහිල්ලා පිළුණුවෙලා හමාර යි.


ඒසේ පසුවී දැනගත්තේ ද ඉතා සුළුතරයක් දෙනා විතරයි. ඒත් මුළුමනින් දැනගත්තේ නැති බව ටක්කෙට ම ෂුවර්. මේ වෙනකොට ඒ පිලිබඳ කල්පනාවක් එන්නෙත් කලාතුරකින් බව ෂුවර්.


නූතන ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහිත ජාතකි රාජ්‍යයක් තම මනසට සහ ශරීරයට ඓන්ද්‍රීය කරගත්තු පුරවැසියන් අරගලයකට සහභාගී වන විදිහ නෙවෙයි මේ.


එතකොට මොකක් ද හිතාගන්න වෙන්නේ?


අපේ ජාතික රාජ්‍යය කොලේ තියෙනව විතරයි හිතේවත් නැහැ, ඇඟේ ගෑවිලත් නෑ කියල ද?


රාජ්‍යය, එය නියෝජනය කරන ආයතන කිහිපයක යන්තං ගෑවිලා තියෙනවා මිසක මිනිස්සු ඒ ගැන හාංකවිසියක් සවිඥානික නැහැ කියන එකද?


1948දි ලංකාවට සුද්දන්ගෙන් නිදහස ලැබුණ කියල ප්‍රභූ උදවිය මහා දේශපාලන ප්‍රකාශ සහ දේශන පැවැත්වුවත්, පොදු කොදෙව් වැසියා “ඇත්තට ම අපිට මේ ලැබුණේ මොකක්ද?” කියලවත් හාන්කවිසියක් හරිහැටි දැනං හිටියෙ නැහැ. මේ බොහෝ උදවිය ඉපදුනේ යටත්විජිත රටකටනෙ. ඉතින් බහුතර උදවිය වසර 100කට කලින් සුද්දො “අපෙන් උදුරගත්තෙ මොනවද?” කියල ඓන්ද්‍රීයව ම (Organically) මෙලෝ සංසාරයක් දන්නේ නැහැ.


ඉතින් දෙයියනේ උදුරගත්තේ මොකක්ද කියල දන්නේ නැතුව, 1948ටේ මේ ආපහු දීල යන්නෙ මොකක්ද කියල හිතින් සමීකරණය කරගන්නේ කොහොමද? නිදහස කියන්නේ මොකක්ද දන්නේ කොහොමද? හිර ගෙදරක හිරකාරියකට ඉපදී හිරේ හැදී වැඩුන දරුවෙක් දන්නවද, එළියේ නිදහස කියල දෙයක් තියෙනව කියල.


අදටත් 1948දි අපට ලැබුණ නිදහස මොන වගේ එකක්ද කියල සිය දෙනෙක්ගෙන් ඇහුවොත් ඉස්කෝලෙ බලෙන් උගන්නපු නිසා ඒ ගැන මොනවහරි කියාගන්න දන්නෙත් 10-15දෙනෙක් විතරයි. කොළඹ ප්‍රජාතන්ත්‍රවාදෙන් සැතපුම් 20ක් දුරට යනකොට ම “ජාතික රාජ්‍යය” කියන මාතෘකාව පවා හඳුනන්නේත් සීයට 05කටත් අඩු ප්‍රමාණයක් විතරයි.


ඉතිං මෙන්න මේ වගේ නූගත් මතවාදී ග්‍රවුන්ඩ් එකක “සිංහල ජාතික රාජ්‍යය” හෝ “දෙමල ඊලාම් ජාතික රාජ්‍යය” වගේ සංකල්පයක් කොදෙව් පොළවට අතහැරියහම ගෝත්‍රිකයින්ට හෙලිකොප්ටරෙන් සල්ලි කොල පහළට දානකොට වගේ කොදෙව් වැස්සෝ ගිහින් ඒක අහුලගන්නව තමයි හිතේ හිස්කොම නිසා. හැබැයි ඒ අහුලගත්ත කොලය හෙවත් සංකල්පය මොන සංදර්භයකින් එන ඒව ද කියල තේරුමක් බහුතර කොදෙව් වැසි උදවියට නැහැ.


මේක චම්පිකට, ප්‍රභාකරන්ට සහ බෞද්ධ දර්මය කනපිට පෙරලන සිවුරුදාරීන්ට තක්කඩි දේශපාලනයක නියැලෙන්න හොඳ ගොදුරු-බිමක් වුණා. අදාළ දේශපාලන මහ-සංකල්පය පිලිබඳ සංයුක්ත අරුතක් ඉල්ලන්නේ නැති ජනතාවක් අන්දවන්න ලෙසියිනේ.


දැන් ජනයාට තේරෙන්න ඕනි, කල්පිතයක් විදිහට හරි “සිංහල බෞද්ධ” කියන සංකල්පය සංයුක්තව තිබුණේ නලින්-චම්පික වගේ තක්කඩින් සහ ඔවුන්ට සහයක ලඟ ක්‍රියාධරයින්ගේ ඔළුගෙඩිවල විතරයි කියල. ඒ වගේ ම කල්පිතයක් විදිහට හරි “දෙමල ඊලාම් රාජ්‍යය” කියන සංකල්පය සංයුක්තව පැවතුණේ ඇණ්ටන් බාලසිංහම් වැනි තක්කඩින්ගේ සහ ඔවුන්ට සහයක ලඟ ක්‍රියාධරයින්ගේ ඔළුගෙඩි ඇතුළෙ විතරයි කියල. මේගොල්ලන්ව අනුගමනය කරපු සහ ඒ සංකල්ප වෙනුවෙන් ජීවිත පවා පුද කරපු බහුතර සාමාන්‍ය නූගත් ජනයාට මේවා අදහන්නට ගන්නා ඇදහිලි පිළිම වැනි වියුක්ත සංකල්ප විතරයි.


අවම තරමින් පහුගිය දශක 02 තිස්සේ මේ සියළු තක්කඩි දේශපාලකයින් සහ මතවාදී හෙන්චයියන් “ජාතිය කියන්නේ ආර්ථිකය නිසා, ආර්ථිකයට පසුව බිහිවන, ආර්ථිකය මත රඳා පවතනි ප්‍රපංචයක් කියා හෝ, ආර්ථිකය නොමැතිව ජාතියට පැවත්මක් නැති බව කියා බව හෝ සාමාන්‍ය ජනයාට කිසිදු එළිදරව් කිරීම් සිදුනොකර ඉන්නට තරම් ප්‍රවේශම් වුණා.

 

අදටත් රටේ බහුතර ජනයාට දේශපාලනය කියන්නේ “කැපුවත් කොළ”. “කැපුවත් නිල්” සහ “කැපුවත් රතු”, “කැපුවත් සිංහල බෞද්ද” “කැපුවත් දෙමල හින්දු”, “කැපුවත් මුස්ලිම්” වැනි නිරපේක්ෂ පිළිම සංකල්ප හෙවත් අදහිලි වස්තූන් මිස, සාපේක්ෂව විමසා බලන ප්‍රායෝගිකව භාවිත ප්‍රපංච නෙවේ. අහක ඉන්න උස්වූ නිර්භවයක් වූ බුදුන්වත් මේකට දේශපාලනයට ඈඳගන්න උදවියට කියන්නේ, මේ නිරපේක්ෂ සංකල්ප භාවිතය ම බුදු දහමේ මූලික හරයට ප්‍රතිපක්ෂ යි. මේ ප්‍රතිපක්ෂ බව, සංදර්භයකින් තොරව “සිංහල බෞද්ධ” කියන සංකල්පය වියුක්තව අදහන බොහෝ උදවිය දන්නේ නැහැ.

 

“කැපුවත් සිංහල බෞද්ධ” කියන සංකල්ප වන්දනාව සහ පිළිම වන්දනාව සහ ගස් ගල් වන්දනාව යන මේ කිසිවක් අතර කිසිදු වෙනසක් නැහැ. මේ සියල්ලම නිරපේක් ෂ අරුතක් හිතේ ගල්කරගැනීම නැමති භවයේ මමත්වය තුළ එල්ලී ම යි.


නිර්භවය අවසන් ප්‍රතිපලය ලෙස තබා විග්‍රහ කළ බදු දහමේ උත්පාද-තිති-භංග කියන ද්වීඝට්ඨනාත්මක විවරණයට ප්‍රතිපක්ෂ නිරපේක්ෂ සංකල්පයක් තමයි “කැපුවත් සිංහල බෞද්ධ” කියන වන්දනික සංකල්පීය පිළිමය.


පිළිම වන්දනාව බුදු දහමේ, කිතුනු දහමේ, ඉස්ලාම් දහමේ, යුදෙව් දහමේ මූලික හරහට ප්‍රතිවිරුධයි සහ එදිරිවාදී යි. ඒ සියළු ධර්ම ග්‍රන්ථ පිලිම වන්දනාව ප්‍රතික්ෂේප කරනවා. අද වෙනකොට ඉස්ලාම් දහමට අදාළ වන්දනා ස්ථානවල විතරක් පිළිම නැහැ. ඒත් එයාලත් බෝර් මුස්ලිම්, සුන්නි මුස්ලිම් වැනි කුලවලට බෙදී ධර්ම ග්‍රන්ථවල නැති සංකල්පීය පිළිම අදහනවා.


ප්‍රශ්න කරන්නට නොදෙන ඕනෑම සංකල්පයක් පිළිමයක්!


විචාරයට බඳුන් කරන්නට සහ ප්‍රශ්න කරන්නට නොදී හිතේ ගල් කරගන්නා(තමන්ගේ මමමත්වය කරගන්නා) ඕනෑම සංකල්පයක් පිලිමයක් හා සමානයි. එයට ඇත්තේ විශ්ලේෂනාත්මක ස්වභාවක් නොව වන්දනීය ස්වභාවක් පමණි. ආගමික ධර්ම ග්‍රන්ථවලින් පවා ප්‍රතික්ෂේපිත පිලිම වන්දනාව, සංකල්ප වන්නදනාව සමාජ-විදයාවන් තුළ කෙසේ නම් පිළිගන්නද?
   


ඒ නිසා “සිංහල බෞද්ධ” කියන සංකල්පය ම බුදු දහමේ මුළික මානුෂික හරයට පටහැනි බව තමන් සිංහල බෞද්ධයන් යැයි කියා ගන්නා බොහෝ දෙනා දන්නේ නැහැ. බුදු දහම එක කොදෙව්වකට අයිතිය දී සින්නක්කරේට ලියා දුන්නු ජාතිකවාදී දහමක් නෙවෙයි.
බුදු දහම පෘථිවි දහමක්.


ගර්භාෂයකින් උපන් හැම මනුස්සයෙකුට ම අයිති දහමක්.
 


ඒ දහමහි මූලික හරය ම “අයිතිය” සහ “ජාතියට” කියන ගොඩනැංවීම් දෙකට ප්‍රතිපක්ෂයි.  


නමුත් “ජාතික රාජ්‍යය” තම ශරීරය සහ මනසට ඓන්ද්‍රීයව පවතින සංවර්ධිත රටක බහුතරයක් වැසියන් ව මේ විදිහට නිරපේක්ෂ අරුතකින් ඇන්දවිය හැකිද?


ඔවුන්ට මේ වගේ වියුක්ත සංකල්ප ගිල්ලන්න හැදුවොත්, ඔවුන් නිරායාසයෙන් ම ප්‍රශ්න කරනව. ඔවුන් ප්‍රශ්න කරන්නේ ජාතික රාජ්‍යයේ සමස්තයෙන් කියල දුන්නු දැනුමින්.


එංගලන්තකයෙක් නම් කෙලින් ම අහන්නේ,


 “වට් ඉස් යුවර් පොයින්ට්?” කියල.


ඒ කියන්නේ “”ඔයා ගෙනහැර දක්වන්නට හදන තර්ක-කාරණාව මොකක්ද?” කියන එකයි අහන්නේ.


එතකොට උත්තර බැඳිය යුතු කෙනාට තමන්ගේ සංකල්පය “මොකක්ද?” “කවුද?”“කොහෙද?” “කොතැනදිද” “ඇයි?” “කෙසේද?” යන මානයන් තුළින් ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට සිද්ධ වෙයනව. ඒ කියන්නේ සංයුක්තව විග්‍රහ කරන්නට සිද්ධ වෙනව.


මොකද නූතන ජාතික රාජ්‍යයක් තුළ හැදී වැඩුනු පසුව තව කෙනෙකුට ඇහුම්කන් දෙන පුරවැසියාගේ හිතේ තාර්කික භාෂා සමස්තයක් තියෙනව. ඒක ජාතික රාජ්‍යය කියන සමස්තය නියෝජනය කරන ආයතන සමස්තය විසින් ක්‍රමානුකූලව ඔහු හෝ ඇය තුළ ගොඩනගන ලද සංයුක්ත භාවිතයකට අදාළ ප්‍රායෝගික දැනුම සමස්තයක්.


ඒ හින්දා ජාතික රාජ්‍යය තමන්ගේ සිත තුළට තාර්කික භාෂා ව්‍යුහයක් විදිහට ඇතුළ් කරගෙන ඉන්න නූතන සංවර්ධිත රටක රටවැසියකුව නලින්-බාලසිංහම්-චම්පික-ප්‍රභාකරන්ට කොදෙව්වන්ව අන්දනව වගේ අර විදිහට අන්දවල තක්කඩි ගේමක් ගහන්න බැහැ. මොකද ඒවා පූර්ව-ජාතික සමාජයන් නෙවෙයි. ඒ සමාජයන්වල සමාන්‍ය ජනයාගේ ශරීර සහ මනසවල් වල නියෝජනයක් විදිහට “ජාතික රාජ්‍යයේ සාරය(Essence of Nation State) පවතිනව.    


ඒ නිසා පළමුව අපි අපිට මේ තියෙන්නේ ජාතික රාජ්‍යයක්ද?, ඒ තියෙන එක සාමාන්‍ය බහුතර ජනයාගේ ශරීර සහ මනසවල් නියෝජනය කරනවද කියල හොයාගන්නකම්, ජාතික රාජ්‍යයත් පසුකර යන ගෝලීයකරණයේ කෝච්චිය අල්ලගන්න අපි සුදුස්සන් වෙන්නේ ම නැහැ. ජාතිය(Nation)) හරියට අහුවෙන්නේ නැතිව පාර-ජාතිය (Trans-Nation)  සොයාගන්න මගක් ඇත්තේ ම නැහැ.

 

ipanews 15e32207 ed1f 4422 b452 6f52a442ebb5 1


හිස් හැඟීමෙන් හිත් පුරෝගෙන “අපි ලංකාවෙ සිංහල”. “ අපි ලංකාවෙ දෙමල”. “ අපි ලංකාවෙ මුස්ලිම්” කිව්වට වැඩක් වෙන්නේ නැහැ.  
   


මීට සංයුක්ත, සාධාරණ යථා උත්තරයක් සෙවීමට සහ විනිෂ්චයක් දීමට නම්, අපට ලක් කොදෙව්වේ පූර්ව-ඓතිහාසික යුගයේ ජීවත් වූ මනුස්ස සතුන් කෙවැනිද කියා ගවේශණය කරගන්නට සිදුවෙනවා ම ය. ඒ ගවේශණාත්මක අවබෝධය ගෝලීය ධනේෂ්වර ව්‍යූහයන් හා ගණුදෙනුවේ දී අපට ඉතා වැදගත් වෙනවා ම ය.


ලෝකයට මුල් ම භාෂාමය වු කාබනික ඇල්ගෝ-රිදමයේ පූර්වතම අවස්ථාව මිනිස් මොළය ප්‍රධාන ස්නායු පද්ධතිය තුළින් බිහිවන්නේ වසර 5000කට ප්‍රථම ලොව තුළ “ජාතිය” යන්නට අදාළ ප්‍රථම භාෂා-සමස්තයන් ගොඩනැගීමත් සමඟ යි. එයින් ලොවෙහි “ජාතියට” අදාළ ප්‍රථම ජාතිකවාදී භාෂා-සමස්තය බිහිවුණා යන්න මිස, ලොව සෑම තැනකටම එම ජාතියට අදාළ භාෂා-සමස්තය බිහිවූ බවක් එයින් අදහස් වන්නේ නැහැ. උදාහරණයක් විදිහට එංගලන්තයේ කාර්මික විප්ලවයෙන් බොහෝ නිෂ්පාදන උපකරණ ලොවට බිහිවූ නමුත්, ලොව සෑම තැනක ම කාර්මික විප්ලව සිදුවී නිෂ්පාදන උපකරණ ඇතිවූ බවක් එයින් අදහස් වන්නේ නැහැ. කාර්මික විප්ලවය සිද්ධ වූණේ එංගලනත්යේ ය. ඒ වගේ ම ජාතිය බිහිවුණේ මහා ගංගා නිම්න ආශ්‍රිත ශීෂ්ටාචාර බිම්වල යි.


ඒ කියන්නේ අනෙක් තැන්වල ඒයා ඊට වඩා නොදියුණු(අසංවර්ධිත - Undeveloped) තත්වයක පැවති බවයි.


ඒ අනුව ම වසර 5000කට කලින් ලොවට ජාතිය කියා සමස්තයත් බිහිකරගත්තා වුව ද, ලංකාව කියන කොදෙව්වේද වසර 5000කට කලින් ඒ ජාතිය හෝ ජාතික රාජ්‍යය ඒ මුල් වර්ධනාත්මක තත්වයෙන් ම ඇතිවුණාය කියා ඉන් අදහස් වන්නේ නැත.


ලංකාවේ වරිගය ඉක්මවා මුළුමනින්  ම ජාතියක් ස්ථාපිත වූවා ද යන්න තවමත් විවාදයට බඳුන්ව ඇති භෞතිකව ගවේශනය කරගන්නට පවතින විෂයානුබද්ධ ඉමකි. වසර 500ක යටත් විජිත කාලය තුළ එංගලන්තකයින් “මුළු කොදෙව්ව” පාලනය කළ වසර 100ය තුළදී අපට එංගලනත්කයින්ගේ ජාතික රාජ්‍යය භෞතිකව අත්විඳින්නට ලැබුණා. නමුත් ඒ අත්විදින්නේ “බටහිර නූතන ධනේෂවර ජාතික රාජ්‍යයක්” බව අපි දැනං හිටියෙ නැහැ. මොකද ඒ බව දැන-තේරුම්ගන්නට අවශ්‍ය වස්තු-විෂයික ආම්පන්න අප සතුව තිබුණේ නැහැ.


නමුත් එංගලන්තකයින් ලක් පරිපාලනයෙන් ඉවත්ව නික්ම ගිය පසුවත්, ජාතිය නමින් පූර්ව-ජාතික වරිග ගැටුම් ඇතිකරගනීමෙන් ගැලවීමට නොහැකිවීම දෙස බලන කළ ද, විශේෂයෙන් වසර 30ක අමානුෂීය වරිග යුද්ධය දෙස බලන කළ ද, එලෙස ම එංගලන්තකයින් අපට ලබාදී ගිය ජාතික රාජ්‍ය පද්ධතියේ ඇති ආයතන ව්‍යූහ පද්ධතිය කුලල් කා ගැනීම් සහ සම්පත් ලබාගන්නට පොරකෑමේ ස්තාන බවට පත්කරගැනීමෙන් 1948ට කලින් තිබුණාටත් වඩා ආර්ථිකව කුජීතු කරගන්නා අකාරය ඇතුළු තවත් කරුණු සලකා බලන කල ද, 1956යේ සිංහල ඔන්ලි වරිග ප්‍රතිපත්තියක් වැඩි චන්දයෙන් තදියමේ  ව්‍යවස්ථාගත කිරීම හරහා එංගලනත්කයින් නික්ම යනවිට අපට අටවාදී ගිය ඩොමීනියන් ප්‍රමිතියේ යුරෝ ආර්ථිකවාදී පක්ෂය වන යූඇන්පිය අසරණ කිරීම දෙස බලන කල ද, අද වන විට ඒ යූඇන්පිය වරිගවාදීන්ගේ පාර්ලිමේන්තු චන්දය මත යැපෙන තත්වයට බලුවී ඇති අයුරු දෙස බලන කල ද, අපි එංගලන්තකයින්ගේ ජාතික-රාජ්‍ය-පද්ධතිය මුළුමනින් එහි භෞතික අරුතින් ම ඓන්ද්‍රීයව (Organically) උකහාගත්තා ද යන්න බරපතල ලෙස විවාදිත ය.  


ඒ නිසා ලක් කොදෙව් වැසියා්(අවම තරමින් මෙහි වෘත්තිකකයින්) ලොව ජාතිය ඇතිවූ ඉතිහාසය තුළ වන සැබෑ භෞතික අරුතින් ම එවන් සැබෑ ජාතියක හෝ “ජාතික රාජ්‍යයක”(Nation state) සාමාජිකයෙක් ද? යන්න සොයා හඳුනාගන්නා තුරු අපට ගෝලීය වෙළඳපළ තුළ ඉඩක් හිමිකරගැනීමට අවශ්‍ය ස්වීය-ව්‍යාපෘති ඇරඹීම අසීරු ය. ප්‍රාග්ධනය ගෝලීයකරණය වන ආර්ථික පද්ධතිය තුළ වරිග ගැටුම් සහ සම්පත් කොල්ලකෑම් අනීතික යැයි සලකා බැහැර වන භාවිතයන් ය. පාර-ජාතික ආයෝජනයන් එවන් පූර්ව-ජාතික රටවල් පාවිච්චියට ගන්නවා මිසක ඒවා සමඟ සහයෝගී සම-ආයෝජන (Join Venture Investments) කිරීමට එන්නේ නැත.  


තමන්ලා ගැනවත් හරි හැටි නොදන්නා සහ ඒ පිළිබඳව කල්පිත සිතිවිලි වලින් සිත මෙහෙයවගන්නා වැසියන් සහ වවෘත්තිකයින් ඉන්නා රටක් විෂය වරදවා ගැනීම හේතුවෙන් කෙලවාගන්නවා ම ය. එය පවතින පාලකයන්ගේ පමණක් වරද නොවේ. එය පවතින පාලකයින්, විරුද්ධ පක්ෂය, කැරලිකරුවන්, වෘත්තීකයින් සහ සාමාන්‍ය බහුතර චන්ද දායකියින් සියල්ලගේ ම වරද්ද ය. මොකද හැමෝම ඉන්නේ එකම කුණු කානුවේ ය.

 

පුරාවිද්‍යාත්මක මානව අස්ථි ගවේශණ සහ ඓතිහාසික සාක්ෂි සලකා බැලුවත්, හුදෙකලා ලක් කොදෙව්ව ඇතුළතට මුල්ම මානව-සතුන් හෙවත් Anthrosලා  (මොවුන් මනුෂ්‍යයින් හෙවත් Humansලා බවට ශිෂ්ටාචාරයක් හරහා ගොස් මුළුමනින් අතීත ශික්ෂණය වී නොමැත) සපැමිණීම සිද්ධවෙලා තියෙන්නේ දැනට වසර 125,000 පෙර සහ වසර 75,000ට පෙර අතර කාලයකදී යි. ඒ පැමිණ ඇත්තේ පහත රූපවලින් පෙන්නුම් කරන හෝමිනින්ස්(Hominins) කියන මානව-සතුන් ය.

 

Hominin 03

Horminin 01

Hominin 02


භෞමිකව අනෙක් දකුණු ආසියානු රටවල් පිහිටා ඇති ඉන්දීය අර්ධද්වීපය සහ සමස්ත පුරාතන ලෝකයට හිමි අනෙක් ප්‍රදේශවල එකල හිටපු නූතන මානවයින්ගේ පෙනුම අනුව සාපේක්ෂව සසඳල බැලුවහම, අනෙක් රටවලට වඩා ලක් කොදෙව්වට මානව-සතුන් ඇළුවීම සි දුව ඇත්තේ ප්‍රමාද වූ දින කාල වකවානුවක දී ය.


මේ කියන කාලවකවානුව සමාන්තර වෙන්නේ, පොක් සමුද්‍ර සන්ධියේ සිට ගොඩබිම් පාලමක් තිබීම සහ කාලගුණය ශුෂ්ක තත්වයන් දක්වා වර්ධනාත්මකව වෙනස් වීමත් වගේ පාරිසරික සාධකත් එක්ක යි.

 
මේ වසර එකලක්ස විසිපන්දහ සහ හැත්තෑපන්දහ අතර කාලය අරන් බැලුවහම, ඒ කාල පරාසය තුළ මුල් ම කාලයේ හෝමිනින් මානවයන්ගේ වාසයන් පුරා-විද්‍යානුකූලව හමුවන්නේ, සිලිකන් ඩයොක්සයිඩ් සහිත  (SiO2)  ස්පටික ලෙස පැවතුන ඉංග්‍රීසියෙන් චර්ට් (Chert)  නමින් හඳුන්වන ගල්  වර්ගයකින් ද, එකී සිලිකන් ඩයොක්සයිඩ් (SiO2)  වලින් ම වෙන ආකාරයකට සැදුණු පළිඟු වර්ගයක් වන ඉංග්‍රීසියෙන් ක්වාර්ට්ස් (quartz)  නමින් හඳුන් වන ගල්වර්ගයකින් ද සාදාගත් ගල් ආයුධ හෙවත් ගල් මෙවලම් (Ston) භාවිතයට ගත්තු මධ්‍යම පැලියෝලිතික පන්නයට අයත් පතුරු-කර්මාන්ත( flake industry) වල සාක්ෂීන් ලංකාවේ දකුණු වෙරළෙබඩ බූන්දල ප්‍රදේශයෙන් සොයාගැනීමත් එක්ක යි.

 

homo he

හෝමෝ-හෙයිඩල්බර්ජන්සිස්


මේ හා සම්බන්ධ මානව ඇස්ථි තවම සොයාගෙන නොමැති නමුත්, මේ මධ්‍යම පැලියෝලිතික ගල් ආයුධවලින් සනාථ කරන්නේ, අවම තරමින් දැනට වසර ලක්සයකට කලින්(100000) අති-පුරාතන(archaic) මානවයින් වන හෝමෝ-හෙයිඩල්බර්ජන්සිස්  (Homo heidelbergensis) මානවයින් පමණක් නොව නූතන මානවයින්(Modern Anthros) වන හෝමෝ-සාපියන් (Homo Sapiens) මානවයින්ද වාසය කර ඇති බවයි.


ඒත් ලංකාවේ අපට මෙහිදී වැදගත් වන්නේ නූතන මානවයින් ලෙස සැලකෙන හෝමෝ-සාපියන්වරුන්ගේ ආගමනය යි. මන්ද ලෝකයේ මුල් ම ජාතිය හැදීම සඳහා උරදෙමින් දැනට වසර 5000කට කලින් ද, ඒ කියන්නේ දැනට වසර 10,000කට කලින් ගංගා ආශ්‍රිතව කුඩා කන්ඩායම් විදිහට ද සිටියේ හෝමො-සාපියන් යන නූතන මානවයා වන නිසා ය.


මෙහිදී අපට අවශ්‍ය සාධකය වන හෝමෝ-සාපියන් මානවයින් ජීවත්වීම ය. හෝමෝ-සපයින් මානවයින් ජීවත්වීම සැලකිල්ලට ගත්තොත්, පුරා-විදයාත්මක මෙවලම් සහ සමහර ඇටසැකිලිමය සාක්ෂිවලින් නියත ලෙස ම තහවුරු වන්නේ, හරියට ම දැනට වසර 40,000ට කලින් “ප්ලයිටොසීන සමය”( Pleistocene) අවසාන වන කාලය අතරතුර දී මුල්ම කාලීන කාය-ව්‍යුහ විද්‍යාත්මකව නූතන වූ හෝමෝ-සාපියන් මානවයින් මේ ලක් කොදෙව් බිමේ වැසි වනාන්තර සහ තණබිම් කරා සංක්‍රමණය වී ඇති බව යි.

 

Homo Sapiens 02


මේ මුල් ප්‍රාග්-ඓතිහාසික ස්ථාන මේ කොදෙව්වේ, මධ්‍යම සහ දකුණට අයත් නිරිතදිග පදේශවල ගුහා සහ පර්වතවල පිහිටා තියෙන, ෆාහියන් ලෙන, බටදොඹ ලෙන සහ කිතුල්ගල බෙලි ලෙන යන වාසස්ථාන ඒ ගල්ගුහාවන්ගෙන් සමහරක්. මේ ලෙන් වාසයේ කාල නිර්ණය වන්නේ දැනට වසර 40,000 සහ වසර 8000 අතර පැවතුන අතීත කාලය යි.
 


ඒ නිසා දැනට වසර 10,000ටට පෙර මහා-ආර්ථිකයන් බිහිකරගෙන මහා-ශිෂ්ටාචාර ඇතිවන්නට බලපෑ මහා-ගංගා ඇතිකරන මහා ආපදා සහ ව්‍යසන වලට සාපේක්ෂව ඒවන් ආපදා හෝ ව්‍යසන නැති හෝ අවම සුරක්ෂිත ජීවිතයක් ලකට සංක්‍රමණය වූ හෝමෝ-සාපියන්වරුන්ට තිබුණ නිසා, ඔවුන්ට ඔහේ වැටුන තැන නිදහසේ ජීවත් වන්නට පුළුවන්කම ලැබුණි.

 

Homo Sapiens 03


ඒ නිසා අපගේ ශිෂ්ටත්වයට අයත් මහා ශිෂ්ටාචාරමය ගුණයන් සියයට70කටත් වඩා මුහුදින් වට නොවූ මහා බිම් පෙදෙස්වල ගංගා නිම්න ශීෂ්ටාචාරවලින් උපුටගත් ඒවා බව තේරුම්ගත යුතුය. එහිදී අප අද වන විට ඉන්දියාව ලෙසින් හඳුන්වන බිමෙන් ශිෂ්චාචාරය උපුටාගෙන ඇත. එහිදී දැනට වසර 60,000ට පෙර ඕස්ටේ්‍රලියාවේ ඇබෝජින් වර්ගයට අයත් මුල් හෝමෝ-සාපියන් මානවයින් දකුණු ඉන්දියාවට සංක්‍රමණය වී තිබුණ නිසා, අපගේ ආභාෂය සම්බන්ධයෙන් අපි පුරාතනයේ සිට දැනට ඉන්දියාව කියන භූමියේ දකුනුදිග ත්‍පදෙස් ශිෂ්ටාචාරයන්ට විශාල වශයෙන් ණය ගැති ය.


පසුකාලීනව ඉන්දියාව මහා-සංස්කෘති නියෝජනය කරන්නටත්, ලක් කොදෙව්ව චූල-සංස්කෘති හෙවත් කුඩා සංස්කෘති නියෝජනය කරන්නටත් සම්භවීය හේතුව මේක යි.

 

මේ දූපතේ බටහිර පවතින ෆාහියන් ලෙනට අයත් මුල් ම කාලීන ඇටසැකිලි ගත්කල, ඒවායේ අස්ථි වසර 37,000කට පෙර පැවති ඒවා වන අතර, ජ්‍යාමිතික හැඩ නැති ක්ෂුද්‍ර-ශිලා( microliths) මෙවලම් ද එහි දී සොයා ගැනීමට හැකිවී ඇත.
 


මෙයින් බටදොඹ-ලෙනෙහි සහ කිතුල්ගල බෙලි-ලෙනෙහි ද නූතන හෝමෝ-සාපියන් මානවයින් වාසය කර ඇති බව ඇටසැකිලි වලින් සනාථ වෙනවා. මේ ලෙන් දෙකේ වාසය කරපු මානව පදිංචිකරුවන් ද ජ්‍යාමිතික හැඩ ඇති ක්ෂුද්‍ර-ශිලා ආම්පන්න(microliths) නිපදවාගෙන ඇති අතර, ඒ ආම්පන්න එවකට උතුරු ඉන්දීයාවේ ගංගා තැන්නෙහි පැවති “මධ්‍ය-හෙලෝසීන මෙසොලිතික”( mid‐Holocene Mesolithic) පන්නයේ ජ්‍යාමිතික හැඩයක් සහිත ක්ෂුද්‍ර-ශිලා කර්මාන්තයට බෙහෙවින් සමාන බව තහවුරු වී ඇත.
   


Homo Sapiens 05ඒ කියනනේ ලෝකයේ හෝමෝ-සාපියන් මානවයින් මහා ගංගා නිම්න ආශ්‍රිතව ජීවත් වූ වසර 10,000ට කලින් යුගය හා සැසඳු කළ, ලක් කොදෙව්වට ඊට වසර 30,000ට කලින් හෝමෝ-සාපියන් මානවයින් සංක්‍රමණය වී ඇත. හොමෝ-සාපියන් මානවයාට නූතන මානවයා කියන්නේ ඒ මානවයාගේ ජීව-විද්‍යාත්මක සිරුර සහ එහි පද්ධති අන් මාවයින්ට වඩා ස්වභාවික පරිණාමයට ලක් වී ඇති නිසයි. නමුත් හොඳින් පරිණාමය වූ සිරුරු ඇති හෝමෝ-සාපියන් රැලවල්වල්ට(Herds) පවා මහා ආර්ථික පද්ධතියක් තනාගෙන පූර්ව-ජාතියක් ලෙස හෝ ජාතියක් ලෙස එකතුවන්නට ඔවුන්ට මහා නිම්නයන් තිබිය යුතුය. ඒ නිම්නයන්ට මහා සමෘද්ධිය සේ ම මහා ආපදා ද ගෙනෙන අතිවිශාල දුරක් පුළුල් වෙමින් ඇදෙන මහා ගංගා ද තිබිය යුතුය.  


වසර 40,000ට කලින් ලක් කොදෙව්වට හෝමෝ-සාපියන් නූතන මානවයින් පැමිණ හිටියත්, ඔවුන්ගේ ජීව-විද්‍යාත්මක ශරීරවල පරිණාමය නිසා පමණක් ජාතිය බිහිවුයේ නැත. ඊට මේ මනාව ශරීරයෙන් පිටත පරිසරය තුළ ජාතියක් බිහිවිය හැකි වාස්තවික තත්වයන් සැපිරී තිබිය යුතු ය. එනම් බමහා ගංගා සහ මහා නිම්න තිබිය යුතු ය.

ඉතින් දැනට තිබෙන සාධකවලින් පෙනී යන්නේ, එක්කෝ ලකේ ජාතියක් බිහිවී නැති බව ය. නැතිනම් නැතිනම් බිහි වූ මොනයම් ජාතීන් හෝ විනාශයට පත්වී ඇති බව ය. නමුත් කොදෙව්ව තුළ දී නම්, අපිට පැහැදිලව අනුමාන කළ හැක්කේ, ලෝක අරුතින් ජාතිය බිහිවී නැති බව යි. මන්ද ලොව ජාතිය බිහිවූ මහා ගංගා නිම්නයන් වෙනුවට මේ කොදෙව්ව තුළ පැවතී ඇත්තේ අර මහා ගංගාවනට වඩා සාපේක්ෂව ඉතා කුඩා ගංගා සහ ස්වභාවික වැව්, දිය ඇලි, ඇල-දොලවල් සහ කුඩා ම වූ දිය කඩිති ය.
මේවා කුඩා රැලවල්වලට ජාතියක් ලෙස එකතුවෙන්නට මහා ස්වභාවික සමෘද්ධීන් හෝ ආපදා- විපත්ති ඇති කරන්නට තරම් නොවේ. මන්ද මේ කොදෙව්ව තුළ ගංගාවක් මුහුදට බහින දුර සීමාව ඉතා දූපතේ බිම අවසන් ව සීමාව තරම් ම කෙටිදුරක් වී අහවරවී වන නිසාවෙනි. ඒ නිසා ලකේ ගංගාවකට මහා නිම්න ශිෂ්ටාචාර බිහිවෙන්නට තරම් වන අතිවිශාල ගංගාවක ස්වභාවික අනන්‍යතාව හැදී තිබී නැත. අදටත් නැත.


ජාතියක් හදන්නට තරම් අභියෝගයක් ගන්නට හිතෙන මහා ආපදා හෝ විනාශයන් ඇති කලේ විශාල දුරක් පුළුල් වෙමින් ඇවිත් මුහුදට කඩා පාත්වෙන අතිමහත් විශාල ලෝක ප්‍රකට ගංගාවෝ විසිනි.
 


ඒ නිසා ඕනෑ ම මානවයින් 100ක් හෝ ඊට අඩු කණ්ඩායමකට(මහා ගංගා නිම්නයකට සාපේක්ෂව) ආපදාවක් හෝ අනතුරක් රහිතව හෝ ඒවා අවමව හෝ ජීවත්වීමේ හැකියාව ලක් කොදෙව්ව තුළ තිබී ඇත.  ඒ නිසා ඒවා සම්භවයෙන් ම මහා ශිෂ්ටාචාර ලෙස ගොඩනැගුණේ නැත. ඒවායේ මානවයෝ කළේ එසේ ගොඩනැගුණු භාහිර ශිෂ්ටාචාරමය එකී ශිස්ටාචාරමය භාවිතයන් සහ දැනුමවල් අනුකරණය කිරීම හෝ ආභාශයට ගැනීම හරහා උපුටා ගැනීම ය.
   

Homo Sapiens 04 


කොදෙව්ව ඇතුළෙ මනුස්ස සතුන් වාසය කිරීම පිළිබඳ මෙතරම් ඉසියුම් වූ විද්‍යානුකූළ විශ්ලේෂන සංදර්භයක් මේ ගෙවන මොහොතේ ලොව ප්‍රාග්ධනය පාලනය කරන කේන්ද්‍රයේ සංවර්ධිත රටවල ඇල්ගෝ-රිදමයන්ට නැහැ කියල ද නලින් ද සිල්වා සහ චම්පික රණවක සහ දෙමල ඩයස්පෝරාව කියන්නේ? ප්‍රභාකරන්ගේ ආන්තික උරුමය කරගහගෙන යන දෙමල ඩයස්පෝරාව මොකද කියන්නේ? ජාතිය පිළිබඳ තමන්ගේ කල්පනාලෝකයෙන් එන දේවල් සමාජයේ අර්ධ-සත්‍යයන් එක්ක කලවම් කරලා මිනිස්සුංට “කල්පිත සිංහල-බොද්ධ” සහ “කල්පිත දෙමල ඊලාම්” ජාතික රාජ්‍ය බිජු වපුරලා, ඒ හරහා මේ සා වූ ආර්ථික ව්‍යසනයකට රට කැඳවලා අතීතයේ මොකුත් කළේ නෑ වගේ ඉන්නට තමුන්ලාට බැහැ. දැන් හදිසියේ ම නිදි පැදුරෙන් ජාතියට ඉහළින් ආර්ථික කරුණු උස්සගෙන මාධ්‍ය සාකච්චා කැඳෙව්ව පලියට කල පව් හෝදගන්න බැහැ. වරිගවාදීන් කළ පව් ආර්ථිකව විඳවන්නේ වියුක්ත සංකල්පවලට ගොදුරු වූ සමාන්‍ය ජනයා යි.


කරපු විෂය-විරෝධී මගඩිය ගැන නලින්-බාලසිංහම්-චම්පික-ප්‍රභාකරන්ලා ද, ඔවුන්ගේ වත්මන් සහචරයෝ ද, තමන්ට දේශපාලන අවකාශයක් නැතිවෙයි කියල හිතල චම්පිකගේ කොඩිය කරගහගෙන දෙමළු මරන්න කියල මහින්දත් එක්ක ගිවිසුම් ගහපු ජවිපෙ ද, ප්‍රේමදාස එක්ක ගිවිසුම් ගහපු එල්ටීටී එක ද නැමති එකි නොකී අවිද්‍යාත්මක වරිගවාදී වාහේලා නැවත ආර්ථිකවාදී දේශපාලනයකට එන්න කලින් කිසිදු කරුණක් මග නොහැර ස්වං-විවේචනය කළ යුතුයි.
 


ඊට කලින් සිංහල දෙමල තමුන්නැහෙලා දෙගොල්ලොගේ ම මහ අප්පච්චි න්‍ බන්ඩාරනායකට ගෑවිච්ච හැම ශ්‍රීලනිපකාරයාමත් රටෙන් සමාව ගත යුතුයි. 1956හේ ඉඳන් අවුරුදු 66ක් තිස්සේ ඓතිහාසික විරෝධී සහ කාර්මික විප්ලවානුකූල විරෝධී, ආර්ථික විරෝධී බොරු ජාතික රාජ්‍යයක් මවාපාලා, යූඇන්පිය ලවා මිනිස්සුංට ගෙන්වා ගන්නට තිබුණ ධනේෂ්වර ආර්ථික සංවර්ධනයත් රටට නැතචි කරලා කෙලවල යවපු එකට මේ සියළු හැතිකරය සමාව ගත යුතුයි.


ඒ නිසා ජාතිකවාදී පොහොට්ටුකාරයින් එක්ක ඔය ගහපු උපායශීලී සංධානෙ පාවිච්චි කරල පොහොට්ටුකාරයින් ඇතුළු සියළු බොරු ජාතිකවාදීන් ඇතුළතින් පුපුරවාගෙන විනාශකර නව-නූතන-ධනවාදය කරලියට නොගෙනාවොත්, රටේ ඊළඟ ධනේෂ්වර පරපුරු හරහා ඇල්ගෝ-රිදමයන් ක්‍රියාත්මක වී රනිල්ව ධනේෂ්වර දේශපාලනාර්ථික ඉතිහාසයේ කුණු කූඩයට යවනු ඇත.


ඊට කලින් හිතන්න රනිල්!
නැවත නැවතත් හිතන්න!!!
මොන සුළු තීන්දුව ගන්න කලිනුත් යලි යලිත් හිතන්න!                  
 
මීට
රටට පාර කපන
විසංකාරයා
 

(තව කොටසක් ලබන සතියේ)


විසංකාරයාගේ වෙනත් ලිපි :

විසංකාරයාගේ කොලම (05) : චම්පිකගේ වරිග කතිකාව කුඩුසංසාර වී රනිල්ගේ කතිකාව හිස එසවීම

විසංකාරයාගේ කොලම : රනිල්ගේ ගෝලීය කතිකාවේ ඇල්ගෝ-රිදමය හිස එසවීම

නව-විසංකාරයාගේ කොලම: රජමැදුරෙන් ගොවිපලට :

විසංකාරයාගේ කොලම (03) : ජෝන් ද ඩෙන්සිල් ද සරත් ද වීරයා

විසංකාරයාගේ කොලම : 'ජී.එල්ව කඩේ-යැවීම සහ හර්ෂව ගඟේ-යැවීම'

විසංකාරයාගේ කොලම - ප්‍රේමදාසගේ ඉවසීම සහ සජිත්ගේ ළදරු වලිප්පුව

විසංකාරයාගේ කොලම - 'ප්‍රේමදාසගේ ඉවසීම සහ සජිත්ගේ ළදරු වලිප්පුව.'

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්