ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු දොර වැසීම, බැසිල්ට පමණක් නොව වර්තමාන පාර්ලිමේන්තුවේ තවත්  පිරිසකට ඍජුව බලපාන්නකි. පාර්ලිමේන්තු

ආයු කාලය විධායක ජනාධිපතිට පැවරීමත් 225 දෙනාම වහලුන් බවට පත්වීමකි.


ඒ තත්වය තුළ පොහොට්ටුවේ බහුතරය, ජනාධිපති වික්‍රමසිංහ සමග පෙළ ගැසුණේ රනිල් චරිතයක් නොව රටක් ගොඩ නැගිය හැකි දේශපාලන හා ආර්ථික දර්ශනයක් බව අවබෝධවීම නිසාය. පාස්කු ප්‍රහාරයෙන් යටපත් කළ යහ පාලන අපේක්ෂා 22 සම්මතය හරහා යළි පෙළ ගැසෙමින් පවතී.


ජනාධිපති තේරීමේදී ජූලි 20 වෙනි දින ලැබුණ චන්ද 134ක ප්‍රමාණය, තුන් මසක් ඉක්ම ගිය තැන, ඡන්ද 178ක් හෙවත් 79.55%කින් (රනිල්ට විරුද්ධව පෙළ ගැසුණ  85දෙනාගෙන් 84ක්  පක්ෂ වීම හෝ නිහඬවීම හරහා) ඉහළ යාම සුවිශේෂි තත්වයකි. ජූලි 20 වෙනිදා රනිල්ට විරුද්ධව සජිත්ලා අනුරලා ඩලස්ලා සමග පෙළ ගැසුණ 85දෙනාගෙන් 84ක් එක්කෝ පක්ෂ විය. එක්කෝ නිහඬ විය.


මේ තොරතුරු සමග මා මිත්‍ර විශ්‍රාමික විදුහල්පතිවරයා, එල්ටීටිය දෙකඩ කළ රනිල්ට රාජපක්ෂලා කජ්ජ්ක්ද කියා සිනාසිණ. රටේ යහපත වෙනුවෙන් බැසිල් මල්ලීගේ ද්විත්ව පුරවැසිකම නොතකා හැරීමට හෝ කෘෂි රසායන පොහොර තහංචිය හකුළා ගැනීමට අකමැති වූ උද්දච්ඡ රාජපක්ෂලාගේ පැවැත්ම ප්‍රතික්ෂේප වෙමින් 22 සංශෝධනය නීතිගත වීම, රනිල්ගේ ජයග්‍රහණයක් ලෙස මගේ මිත්‍රයා දැකීම, මගේ පැත්තෙන් ගැඹුරු කියවීමක් නම් නොවේ. වසර දෙක හමාරකින් පාර්ලිමේන්තුව අවසන් කිරීම යනු කුඩා බලපෑමකි.

 

එහෙත් ගෝඨාභය 20 වෙනි සංශෝධනයෙන් ලබාගත් බොහෝ  බලතල ජනාධිපති වික්‍රමසිංහ, අත් හැරීම ජයග්‍රහණයක් නොව රාජපක්ෂලා ආරක්ෂා කිරීමක් නොවන බව තහවුරු කිරිමකි. ජනාධිපති වික්‍රමසිංහට අවශ්‍ය වි නම්  22  සංශෝධනය අවුල් කළ හැකිව තිබිණ. එහෙත් ඔහු තවමත් යහ පාලනය පිළිබඳ දැඩි විශ්වාසයකින් පසුවේ. තම වාසියට නොව රටත්, රටේ  ජනතාවත් වෙනුවෙන් දේශපාලන බලය හැසිරවූ මේ මිනිසා කවුදැයි අප තේරුම් ගත යුතුවේ.

 

2001 සාම ප්‍රයත්නය අලිකොටි ගිවිසුමට ලඝු කර 2004දී රනිල්ගේ ආණ්ඩුව ගෙදර යැවීය. 2005දී ප්‍රභාකරන්ගේ අවි බලයෙන් මහින්ද, රනිල් වික්‍රමසිංහ පැරදවීය.මේ සංසිද්ධින් දෙකටම දායක වී රාජපක්ෂලා රටට කළ විනාසයට අත දුන් අනුර කුමාරලා අදත් අරගලයේ නාමයෙන් රට අස්ථාවර කරති. එදා වේල සොයා කන දිළින්දාත් රටේ ප්‍රගතිය මිස, අරගල හා මැතිවරණ අපේක්ෂා නො කරන බව අනුරලා සජිත්ලා නො දනිති.


රනිල් හැමදාමත් සිතුවේ රටේ යහපත ප්‍රගතිය වෙනුවෙනි. 2001දි වසර දෙකකට නව රැකියා නො දීමට ගත් තීරණයෙන් තරුණයන් ද, 2022දී විශ්‍රාම වයස සංශෝධනය කිරීමට ගත් ගත් තීරණයෙන් වැඩිහිටියන්ද, බදු වැඩි කිරිමෙන් මුදලාලිලාද වෛර කර ගත්තේ හෙට දවසේ මැතිවරණ ගැන නො දැන  නොවේ.

 

වර්තමාන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය රාජපක්ෂලා ප්‍රතික්ෂේප කරමින් මෙසේ පෙළ ගැසුණේ රනිල් තුළ පවත්නා පළමුව රටත් රටේ ජනතාවත් යන යථාවාදි තථාකාරි දර්ශනය තේරුම් ගැනීම නිසාය. ඊට සාපෙක්සව, 22 සංශෝධනයට ඡන්දයද දෙමින් සජිත් ප්‍රේමදාසත් අනුර කුමාරත් කළ ප්‍රකාශ ඌරන් හමුවේ ගජමුතු හැළුවා වැනිය යන පිරුළ සිහි ගැන්වීමකි.

 

ව්‍යවස්ථා සංශෝධන විවාදයේදී විපක්ෂ නායක සජිත් කී ආකාරයට 22 දිනා දුන්නේ අරගලය විසින් නම් රනිල් ජනාධිපති ලෙස පත් කළ පාර්ලිමේන්තු බහුතරය අරගලයේ ප්‍රතිපලය නොවන්නේද? එක දිගට 18 - 20 සංශෝධනවලට සහාය දුන් අගමැති දිනේෂ්, 22ට අත ඉස්සුවේ ලජ්ජාව නැති නිසා යයි සජිත් කීය. යථාර්ථයට අනුගතවීම ලජ්ජාවට කරුණක් ද? සජිත් යනු  තවමත් ලෝකය පැතැලි යයි කල්පනා කළ යුතු යයි සිතන ගොබ්බයෙකි. ශිෂ්ඨාචාරය ගොඩ නැගුණේ යථාර්ථය සමග  මිනිස් සංහතිය පෙළ ගැසීම හේතුවෙනි. සනීපාරක්ෂක තුවා බෙදා ජනාධිපති වෙන්ට දඟලු සජිත් අදටත් රටේ ප්‍රශ්න දකින්නේ ඔසප් චක්‍රය හරහාය.


ජනාධිපති ගෝඨාට ඇඳී වස්ත්‍ර පිටින් රටෙන් පැන යාම තෙක් සියලු ජයග්‍රහණවල අයිතිය අරගලය සතු බව බොරුවක් නොවේ. එහෙත් රනිල් අගමැති වූ දවසේ  සජිත්, පොන්සේකා, අනුර කුමාර ආදින් ගෝල්පේස් අරගලය කුඩු පට්ටම් කර තම සාක්කුවල ඔබා ගත්හ. ජවිපෙය සහ පෙරටුගාමින් පොල්දූව මංසන්ධියේදී පාර්ලිමේන්තු ප්‍රජාව රනිල් ජනාධිපති කර ගෙදර යනවා බොරු යයි තර්ජනය කළහ.  



Ranil house fire

රනිල්ගේ ගෙදරට ගිනි තිබ්බේ කවුදැයි රටම දනිති. රත්තරන් සමග කළුතර දීත්, මහින්දානන්ද සමග නාවලපිටියේදීත් මහින්ද හැරමිටි වාරුවෙන් ඇවිදින හයිය ලැබුණේ, රාපක්ෂලා මුදා හැර අගමැති රනිල්ට එරෙහිව මෙහෙයවීම නිසාය. රාජපක්ෂලාට අහිමි වූ රටේ පාලනය භාරගත් රනිල් වික්‍රමසිංහ නිසා රටේ ජනතාව යාන්තමට හුස්ම ගනිමින් සිටිති. කිසිදාක බලය අල්ලන්න බැරි නිසා 2005දී මහින්දට හේත්තු වූ අනුරලා මෙවර පොන්සේකා ඉස්සර කර අලුත් නැටුමකට සැරසෙති.


සජිත් ඩලස් අනුර සහ පොන්සේකාලා ඉල්ලන මැතිවරණ රටේ මිනිසුන් නො ඉල්ලති.  2015 දී එජාප ජනාධිපති අපෙක්ෂකත්වය නො ලැබීම හේතුවෙන් තිස්ස අත්තනායක මහින්දගේ කූඩාරමට දක්කා කළ නාඩගම ජනතාව අමතක කර නැති බව සජිත් ප්‍රේමදාස තේරුම් ගත යුතුවේ. 22 ඉදිරිපත් කළ දවසේ පාර්ලිමේන්තුව ඇමතූ අනුර කුමාර දිසානායක කීවේ, මැතිසබේ ඉලක්කම් ඇතුළේ පෙන්නුම් කරන සංයුතිය මහ පොළොවේ සැබෑ සංයුතිය නොවන බවය. අනුරට අනුව, ජනතාව සහ පාර්ලිමේන්තුව අතර, ඇත්තේ විශාල ප්‍රතිවිරෝධයකි.


පසුගිය ජූලි 20 වෙනි දින රනිල් ජනාධිපති වූ අවස්ථාවේ “මේක ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණයේ දිගුවක්. මහ පොළොවේ මතය මැතිසබේ තියෙනවාද නැද්ද යන්න ප්‍රශ්නයක් බව විපක්ෂ නායක කියයි යනුවෙන් පළවූ ලංකාදිපය වාර්තාව අනුව, අනුර කියන්නේ සජිත් මෙන් කඩ ඇණය ඇදවුණ තවත් බර බාගයකි. රනිල්ගේ දේශපාලනය හමුවේ සජිත් අනුරලා වයින් කළ බෝනික්කන් වැනිය.

 

19 හරහා ඇති කළ ප්‍රජාතන්ත්‍රික අවකාශය නො වන්නට ගෝල්පේස් අරගලයක් නැත. 20 හරහා උත්සාහ කළේ ඒ අවකාශය, යහ පාලන චින්තනය හකුළා දැමීමටය. 22 හරහා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහතික වන බව අනුරලා පිළි නො ගනිති. වැස්සෙන් හරි පින්නෙන් හරි ගමේ වැව පිරෙයි නම් ඇති යන්න ගැමි කියමනකි. වැලේ වැල් නැතිව සිටින ජනතාවට කඩිනමින් අවශ්‍ය ආර්ථීක ශක්තියක් මිස,  ඡන්ද හෝ අරගල නෙවේ. ජාත්‍යන්තර ප්‍රජාව 22 සංශෝධනය හරහා රටේ දේශපාලන ස්ථාවරත්වය අපේක්ෂා කළහ. යථාර්ථය එයයි.

 

ඔක්තෝබර් 22දා අරුප්පොල හන්දියේ නිතර නොයන පාමසියකට ගොඩ වැදුණ විට, “මොකද කරන්නේ..... ඇසූ ගණුදෙනුකාරයාට ෆාමසි කාරයා දුන් උත්තරය “මෙනවා කරන්නද? යන්නය. ඖෂධ හිඟය සහ රටේ තත්වය ගැන පුරවැසියෙකුට දැනෙණ අසරණකම එවැන්නකි. “මොකද හිතෙන්නේ මමද ඇසීමි. “ටිකක් කල් ගියාම හරියයි. ඒ අසරණ පුරවැසියාගේ උත්තරය බෙහෙවින් ධනාත්මකය. අපේක්ෂා සහගතය. ෆාමසි කාරයාට අනුව රටේ විනාසයට ජනතාවත් වගකිව යුතු වේ. මැතිවරණ ගැන මම ඍජුව විමසා සිටියෙමි. “මොකටද අලුත් පාර්ලිමේන්තුවක්. 22 සම්මත කෙරුවෙත් 19 සංශෝධනය එපා කී මිනිස්සුමනේ. දැන් ඕනැ ඡන්ද නොවේ. ඊළඟ ඡන්දෙට ඉස්සර පාර්ලිමේන්තුව 100කට අඩු කළොත් පාර්ලිමේන්තුවට යන රටේ වියදම 55%කින් අඩුවෙයි. එහෙම අරගලයට නම්  රටේම මිනිස්සු එකතු වෙයි.”  මිනිස්සු හිතන්නේ එහෙමය.

 

වෙස්ට් මිනිස්ටර් ක්‍රමය යටතේ ස්ත්‍රි පුරුෂ භේදයෙන් තොරව එක සමානව ඡන්ද බලය ලැබුණ මුල්ම රට ලංකාවය. ස්විස්ටර්ලන්තයේ කාන්තාවන්ට ඡන්ද බලය ලැබුණේ ලංකාවට වඩා වසර 20කට පසුවය. ලංකාවේ ගැහැනුන් පමණක් නොව පිරිමින්ද සර්ව ජන ඡන්ද බලය පාවිච්චි කරන තරමට මුහුකුරා ගොස් නැති බවට මහාමාන්‍ය ඩී.එස්.සේනානායක වසර 91කට පෙර කියා තිබේ.

 

2022-06-05 දින අනිද්දා පත්‍රයේ “අප පය ගසා සිටින ගැන ඉවකර බලන්න” යනුවෙන් මා නමින් පළවූ ලිපියේ  මෙසේ දැක්වේ.


“......මේ සියල්ල අතර 2020 මහ මැතිවරණයෙන් එක් මන්ත්‍රි අසුනකට හැකිලුණ එජාප නායකයා රටේ අගමැති වෙමින් කඩා බිද වැටුණ ආර්ථීකය කෙළින් කිරීමට භාර ගැනීම හරහා රනිල් වික්‍රමසිංහ පුරාවෘතයක් වී හමාරය. චේම්බ්ලේන් බියෙන් තැති ගැන්වූ බ්‍රිතාන්‍ය භාර ගෙන දෙවන ලෝක යුද්ධයට සාර්ථකව මුහුණ දී මව්බිම ආරක්ෂා කළ මිනිසා වින්ස්ටන් චර්චිල් විය. සාමය උදාවූ බ්‍රිතාන්‍යයට 1945දී  ක්ලෙමන්ට් ඇට්ලි අවශ්‍ය විය. 1951දී  මහා බ්‍රිතාන්‍ය නැවත 77 හැවිරිදි චර්චිල් කැදවනු ලැබීය. අපරාජිත චර්චිල් 1953දී නොබෙල් ත්‍යාගයටද හිමිකම් කීය. ඉතිහාසය යනු ප්‍රත්‍යක්ෂ ඍෂි භාෂිතයකිග හැට නව ලක්ෂයක ජනතාව නිර්මානය කළ පාලකයාට එක් මන්ත්‍රී ආසනයකට කොටුව සිටි පස් වරක් රටේ අගමැතිකම දැරෑ  රනිල් වික්‍රමසිංහ හයවෙනි වරටත් යළි කැදවීමට සිදුවීම කුමන්ත්‍රණයක් නොවේ. රනිල් දරන උත්සාහය ශක්තිමත් කරනු මිස කිසිවෙකු අඩපන නොකළ යුතුවේග මේ  පවත්නේ බොරදියේ මාලු බාන අවස්ථාවක් නොවේ.


ශානක්කයන් රාසමානික්කම් වරක් රනිල් නායකයෙකු ලෙස අගය කරමින් කළ ප්‍රකාශයක් සහිත හඩ පටියක් ගිය සතියේ ලිපිය කියැවූ මිතුරෙකු මා වෙත එවා තිබිණ.  ඔහුට අවශ්‍ය වුණේ වරක්  රනිල් විශිෂ්ඨයෙකු ලෙස දුටු රාසමානික්කම්ට මැයි 20 දා තිත්ත වුණේ ඇයිද විමසීමය. දේශපාලනය එහෙමය. රාසමානික්කම්ගේ පළමු නායකයා නාකි මයිනා වී සිටින මහින්ද රාජපක්ෂ ය. නායකයන් ප්‍රතික්ෂේප වෙති. යළි තෝරා ගැනෙතිග වින්ස්ටන් චර්චිල් චරිතය ප්‍රකට නිදසුනකි. අදත් පාර්ලිමේන්තු බහුතරය රට විනාස කළ බැසිල් නම් අවලස්සන අමෙරිකානුවා කපුටු තට්ටකට ලඝු කර ප්‍රසිද්ධ හතරමං හන්දියක එල්ලන දිනය අත ළගය. පොල්ලට ලොකු වළං නැත.  රටට අවශ්‍ය උත්තරයක් හෝ විසදුමක් චරිත නොවේ. ජනතාව පුද්ගල වාදය මත්තේ නැහී කරගත් හරිය හොදටම ඇතිය. රනිල් චරිතයක් නොවේ. දර්ශනයකි.''

(උපුටා ගැනිම අවසන්ය.)

 

b9c0033e487e86b94058e22140545ef3dc504701w 780x470

මෙවැනි තෙල් ගෑස් පෝලිම් අද නැත...

 

එහි දැක්වෙන පරිදි  මේ වන විට, බැසිල් නම් අවලස්සන අමෙරිකානුවා කපුටු තට්ටකට ලඝු කර ප්‍රසිද්ධ හතරමං හන්දියක එල්ලපු ගාන නොවේද? පොල්ලට ලොකු වළං නැති බවට 22 සංශෝධනය සාක්ෂි දරයි. මා ඒ  ලිපිය ලියූ ලිත් මාස හතරකට පෙර රටේ තෙල් අර්බුදයෙන් ගුවන් තොටුපළ වැසී තිබිණ. අද ප්‍රංශ රුසියා ගුවන් සේවා රටට සේන්දු වේ. තෙල් ගෑස් පෝලිම් නැත.  එදා මා ඉවකර බලන්න කීවේ රාජපක්ෂ මායාවෙන් ඇස් අන්ධවූ රටේ මිනිසුන්ටය. අද රාජපක්ෂලාට පාර්ලිමේන්තුවේ ආරක්ෂාවත් අහිමි ය. රටේ සිදුවන වෙනස්කම් නො තකා, බලය ඇල්ලීමට අමුඩ ගසන සජිත්ලාට අනුරලාට ඉව කර බලපල්ලා කීවොත් එයතිරිසන් සතුන්ට කරන නිගාවකි. ඒ ලිපියේම තව තැනක මෙසේ දැක්වේ.


“සබුද්ධික ජනතාවට අනුවල පෙරටුගාමින් මෙන්ම ජවිපෙයද රටේ ප්‍රශ්න මග හරිමින් සිය අඛණ්ඩ මනෝමූලික අරගලය නඩත්තු කරමින් සිටින්නෝ වෙති. ගමේ සති පොලේ බල්ටි විසිල්වලට වඩා යමක් අඩ සිය වසක් පුරා රට ඉදිරියේ තැබීමට ජවිපෙය සමත් වී නැත. ඔවුන් අරගල වෙනුවෙන් අතීතයෙහි කොපමණ තරුණ වැඩිහිටි ගිහි පැවිදි ජීවිත මෙන්ම පොදු දේපල විනාස කළෙහිද ? තුනෙන් දෙකක ජන කැමැත්තෙන් බලයට පත් පළමු අගමැතිනිය අත් අඩංගුවට ගැනීමට 1971 අප්‍රේල් 06 වෙනිදා ආයුධ සන්නද්ධව තැත් කිරීමට සාපෙක්ෂව, 2022 මැයි 09 වෙනිදා ගෝටාගෝගම බලවේගය එක් මසක් (අප්‍රේල් 09 මැයි 09)තුළ තුනෙන් දෙකක බලයෙන් සන්නද්ධව සිටි මහින්ද රාජපක්ෂ පළවා හරිමින් කළ නිරායුධ අරගලය ඓතිහාසික ජයග්‍රහණය තෙක් වසර පනස් එකකුත් එක් මාසයක් සහ දින හතරක් ඉතිහාසය පුරා ජනතා විමුක්ති පෙරමුණ ගමන් කර ඇත්තේ වනු ගා ගෙන මිස නොණ්ඩි ගසමින්වත් නොවේ. ජවිපෙය දේශපාලනිකව පෙර වැරදි සහිත ගම් වැදුණ අයිආර්සී කාරයෙකුට වඩා යමක් නොවේ.''


(උපුටා ගැනිම අවසන්ය.)


ජනතා විමුක්ති පෙරමුණ පසුගිය ජූනි මුල් සතියෙන් මෙපිටට අදටත් අඟලක් ඉදිරියට පැමිණ නැත. කලක් රනිල් දැඩි සේ විවේචනය කළ මේ ලේඛකයාට සජිත් දිනේෂ් දකින අර්ථයෙන් රනිල්ට කඩේ යන්නෙක් විය හැකිය. වාසියට කඩේ යාමත් යථාර්ථය පිළිගැනීමත් දෙකකි. ප්‍රසන්න රණතුංග, විපක්ෂයේ ඊළඟ බයිට් එක වුණොත් පුදුම විය යුතු නැත. රනිල් වික්‍රමසිංහ, එස්මන්ඩ් වික්‍රමසිංහගේ පුතා මිස රාජපක්ෂලාගේ බොඩිගාර්ඩ් කෙනෙකු නොවන බව 22 සංශෝධනයට දුන් නායකත්වයෙන් ද තහවුරු වී  හමාරය.



ගෙදර යන මිනිසාගේ නිමේෂය උදාවී ඇත -(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image