අද මම ලියන්නෙ අච්චාරු පන්නයෙ ලිපියක්. ඇත්තට ම මේක ලිපියක් කියන්නත් බැහැ. මේක මේ වෙද්දි මේ රටේ පවතින සමාජ, දේශපාලන සහ ආර්ථික

සිදුවීම් සම්බන්ධයෙන් මම දරන, මට හැඟෙන දැනෙන දේවල් පිලිබඳ මගේ පුද්ගලික අදහස් ගොන්නක්. ඒක අනාගතයෙදි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න යම් කටයුත්තකට පෙරහුරුවක් විදියටත් ගන්න පුළුවන්. ඒ නිසා මේ ලියවිල්ලෙ එක් නිශ්චිත කාරණයක් ඉලක්ක වෙන්නෙ නැහැ. සමහර විට කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වෙන්නත් පුළුවන්. ඒ වගේ ම මේ ලියවිල්ලෙදි ඇතැම් විට සමාජයේ භාවිත වෙන වචන ම යොදන්නත් පුළුවන්. ඒ ඇතැම් වචන නරකයි, කැතයි, නුසුදුසුයි කියල සම්මත වෙලා තියෙන්නත් පුළුවන්. නමුත් මේ වගේ ලියවිල්ලක් ලියද්දි එහෙම වචන පාවිච්චි කරන්න වෙනව.

 

ඇතැම් සිරකරුවෝ මනුෂ්‍යයෝ ය

 

 97720357 34f1a381 b51a 4ef8 8390 48f075f814e0
 

ඉස් ඉස්සෙල්ලම මං කැමති වසර 102කට පස්සෙ (මීට පෙර විවිධ අවස්ථාවලදි මේ පනත සංශෝධනය කරල තියෙනව) සංශෝධනයට ලක් කරන්න හදන බන්ධනාගාර පනත පිළිබඳව මට හැඟෙන දැනෙන දෙයක් ලියන්න. ඊට කලින් මට සිද්ධ වෙනව අපේ බන්ධනාගාර ඉතිහාසෙට පොඩ්ඩක් එබිල බලන්න.
 

පනතක් විදියට ලංකාවෙ බන්ධනාගාර ආඥා පනත සම්මත වෙන්නෙ1844 වසරෙ, අංක 18 දරන නීති සහ අධිකරණ ආඥාපනතට අනුව.  ඒ, 1832 වසරෙ ලංකාව පාලනය කරපු කැමරන් ආණ්ඩුකාරවරය හඳුන්වල දීපු අධිකරණ ප්‍රතිසංස්කරන ක්‍රියාවලියෙ ප්‍රතිඵලයක් විදියට. මේ පනතෙ 7.2 සිරකරුවන්ට නවාතැන් පහසුකම් සැපයීම නමැති වගන්තියෙ මේ විදියට සඳහන් වෙලා තියෙනව.
 
 
 
‘‘බන්ධනාගාර ජීවිතය තුළ සමානාත්මතාව මත පදනම්ව සියලුම සිරකරුවන්ට ඔවුන්ගේ ශාරීරික, මානසික හා අනෙකුත් ආබාධයන් සම්පූර්ණයෙන් හෝ යම් ඵලදායී මට්ටමකට නිවැරැදි කරගැනීම සඳහා සියලුම ආකාරයේ සාධාරණ නවතාන් පහසුකම් සැපයීමට බන්ධනාගාර කළමනාකාරිත්වය ක්‍රියා කළ යුතු බව සිරකරුවන්ට සැලකීමේ එක්සත් ජාතින්ගේ ප්‍රමිතිවල සඳහන් වේ.’’
 
 
හැබැයි පුදුම සහගත දේ වෙන්නෙ සිරකරුවන්ට මේ විදියට සැලකිය යුතුයි කියල එක්සත් ජාතින්ගේ ප්‍රමිතිවල සඳහන් වෙනව කියල සඳහන් කරල තිබුණට ‘‘අපි ඒ වෙනුවෙන් බැඳී සිටිනවා’’ හෝ ‘‘අපි ඒ ප්‍රතිපත්ති ඒ ආකාරයෙන් ම අනුගමනය කරනවා/රකිනවා’’ කියල කොතනකවත් සඳහන් කරල නැහැ. ඒ නිසා ම වෙන්න ඇති දැනටමත් අනීතිකව ඒ ඒ පුද්ගලයාගේ සමාජ තරාතිරම, දේශපාලන බලය, මුදල් බලය මත පදනම් වෙලා එක් එක් පුද්ගලයන්ට එක් එක් ආකාරයට සලකන්නෙ.
 
 
අවම වශයෙන් සතියක් දෙකක් හෝ බන්ධනාගාර ගතවෙලා හිටපු ඕන ම පුද්ගලයෙක් දන්නව සල්ලි තියෙනව නම් බන්ධනාගාරෙ ඇතුළෙ කාන්තා පහස හැර අනෙක් ඕන ම දෙයක් තියෙන බව. හැබැයි පහුගිය කාලෙ සමහර හිරකාරයො (දඬුවමට ලක්වූ) බාහිර තිබුණ ප්‍රියසාදවලට පවා රැගෙන ගිය බවට ආරංචි වුණා. එතනදි අර කලින් කියපු ස්ත්‍රී පහසත් ලබන්න ඇති. ඒ අනුව බලද්දි නම් සමාජයේ බල සහිත අයට බන්ධනාගාරෙ ඇතුළෙ වුමනා හැම සැප සම්පතක් ම තියෙනව. හැබැයි මේ හැම දේම ලබාගන්නෙ අනීතිකව; මුදල් බලය, දේශපාලන බලය සහ වෙනත් විවිධ සම්බන්ධතා හරහා. දැන් මේ සංශෝධනයෙන් කරන්න හදන්නෙ මොනව ද...?
 

1844 වසරෙ සම්මත වුණ පනත 1920 වසර වෙන තුරු විවිධ සංශෝධනවලට යටත් වෙලා තියෙනව. ඊට පස්සෙ තමයි මේ සංශෝධනය ගේන්නෙ. මේ සංශෝධනය ඇති හැකි සැකකාර පුද්ගලයන්ට එක විදියකටත් නැති බැරි සැකකාර පුද්ගලයන්ට තවත් විදියකටත් සලකන සංශෝධනයක්. මේ පිළිබඳ විස්තර ඇතුළත් ලිපියක් 2022-10-25 වෙනිද මේ වෙබ් අඩවියේ පළ වුණා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර ලියන්නෙ නැහැ.
 
index
 
නමුත් මේ සංශෝධනය හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර තාප්පෙ සටහන් කරල තියෙන ‘‘සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය’’ යන සටහන අවලංගු වෙනව. ඒ වැකිය ස්වයංක්‍රියව ම ‘‘ඇතැම් සිරකරුවෝ මනුෂ්‍යයෝ ය’’ විදියට වෙනස් වෙනව.
 
 
ඒ වගේ ම ‘‘නීතිය සැමට එක හා සමානය’’ නමැති කියමනත් අවලංගු වෙනව. මොකද මේ සංශෝධනයට අනුව මුදල් තියෙන සැකකරුවන්ට පුළුවන් සිර ගෙදර වෙනම ම කාමරයක් වෙන් කරගන්න; ඒ කාමරයට වුවමනා සියලු දේ තබාගන්න. මේ දේවල්වලට ජංගම දුරකතන, ලැප්ටොප් පරිගණක යනාදිය විතරක් නෙවෙයි ඊටත් වඩා දියුණු තාක්ෂණික උපකරණ වුනත් තියාගන්න පුළුවන්. මොකද අදාළ කාමරයේ තබාගත හැකි උපකරණ මොනවද කියල වෙන් වෙන් වශයෙන් සඳහන් කරල නැති නිසා.
 
 
සල්ලි තියෙන අයට මේ විදියට පහසුකම් සලසද්දි පාලනාධිකාරියට කැමති පරිදි සැකකරුවො දවසේ පැය විසි හතරෙන් පැය විසිතුනක් ම සිර මැදිරියකට දාල වහල තියන්නත් පුළුවන්. එහෙම කරන්නෙ මොන වර්ගයෙ සිරකරුවන්ටද කියල සඳහන් කරල නැහැ. ඒ කියන්නෙ පවතින ආණ්ඩුවට පුළුවන් ඒ අයට කරදරයක් කියල හිතෙන ඕනම සැකකරුවෙක් පැය විසි තුනක් ම කාමරේ ඇතුළෙ හිර කරල තියන්න. එයාලට කරදරයක් නැහැ කියල හිතෙන සැකරුවෙක්ට උපරිම පහසුකම් සපයන්න.
 
 
මේ පනත කියවන හයේ පංතියෙ දරුවෙකුට වුනත් තේරෙනව ආණ්ඩුව මේ කරන්න හදන්නෙ මොකක්ද කියල. සරලව ම කියනව නම් අනාගතේදි චොකා මල්ලි වගේ අයට පුළුවන් උපරිම සැප සම්පත් සහිතව සැකරුවෙක් විදියට බන්ධනාගාරෙ ගත කරන්න. ආණ්ඩුවට එරෙහිව ක්‍රියාකරන අයට සිද්ධ වෙන්නෙ දවසෙ පැය විසිතුනක් ම අඳුරු කුටියක හිර වෙලා ඉන්න. සමහර විට අනාගතයෙත් තෙල් පෝලිම්, ගැස් පෝලිම්, කිරිපිටි පෝලිම්, හාල් පෝලිම් වගේ ම බෙහෙත් පෝලිම් හැදුනොත් ඒවයෙදි කලබලකාරි ලෙස හැසුරුණා කියල අත්අඩංගුවට ගන්න සැකකරුවො මේ විදියට හිර කරන්න පුළුවන්. අනාගතයෙ පැන නැගෙන අරගලයකට මැරයො දාල පහර දෙන දේශපාළුවෙක් සැක පිට අත්අඩංගුවට ගත්තත් එයාට පුළුන් සියලු සැප සම්පත් සහිතව ම රිමාන්ඩ් බන්ධනාගාර ගතවෙලා ඉන්න.
 

එහෙම නම් ‘‘එක රටක් එක නීතියක්’’ නමැති සංකල්පය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි ද...? ‘‘නීතිය සැමට එක හා සමානයි’’ කියල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙ ම සඳහන් දේ ඒ විදියට ම සිද්ධ වෙයි ද...? නැහැ... එහෙම වෙන්නෙ නැහැ. ඒ කියන්නෙ මේ සංශෝධනය හරහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරල තියෙනව; මූලික මිනිස් අයිතිවාසිකම් පවා උල්ලංඝනය කරල තියෙනව. එහෙම නම් රටේ ජනතාව විදියට අපි මේ සම්බන්ධයෙන් ගොළුවත රකිනව ද... ඊට එරෙහිව සටන් කරනව ද...?
 
 
image 308b694336

දැන් බොහෝ දුරට ඉන්ධන පෝලිම්, ගැස් පෝලිම්, කිරි පිටි පෝලිම් නැති නිසා හැම ප්‍රශ්නයක් ම විසඳිලා කියල කවුරුම හෝ හිතාගෙන ඉන්නව නම් ඒක ලොකු රැවටීමක්. ආණ්ඩුව මේ කරන්න හදන්නෙ ඉතා දරුණු ගණයේ මර්දනයක්. ඒක මතුපිටට ඒ තරමට දැනෙන්නෙ නැහැ. නමුත් එහි අනාගත ප්‍රතිඵලය ඉතාමත් භයානකයි. ඒ නිසා විදුලි බිලට එරෙහි වෙලා පූජ්‍ය පක්ෂය පෙළ ගැහුණ වගේ මේ සංශෝධන පනතට සමස්ත රට වැසියොම එරෙහි විය යුතුයි. මොකද අනාගතයෙදි රටේ ප්‍රහ්න තව තවත් උග්‍ර වෙද්දි මිනිස්සු පාරට බහිනව. අන්න ඒ වෙලාවට ප්‍රයෝජනයට ගන්න තමයි ආණ්ඩුව මේ වගේ අණ පනත් සම්මත කරගන්න උත්සාහ කරන්නෙ. ‘‘අනේ අපේ කවුරුවත් ඔය හොරකම්, වංචා, දූෂණ කරන්නෙ නැහැ නෙ. එහෙම එවුන්ටනෙ ඔය අණ පනත් බලපාන්නෙ’’ කියල අහක බලාගෙන ඉන්න එපා. මොකද හෙට දවසෙ බඩගිනියි කියල විලාප දෙන මිනිහටත් සිද්ධ වෙන්නෙ දවසෙන් පැය විසිතුනක් කළුවර කාමරයක හිර වෙන්න. අපි රටවැසියො විදියට එහෙම දේවල්වලට ඉඩ තැබිය යුතු ද නැද්ද කියල එක වතාවක්, දෙවතාවක්, තුන්වතාවක් නෙවෙයි ඊටත් වඩා කිහිප වතාවක් හිතන්න. හිතල සංවිධානය වෙන්න; සංවිධානය වෙලා මේ කුරිරු පනතට එරෙහි වෙන්න; ඊට විරුද්ධව පාරට බහින්න.
 

තිළිණි ප්‍රියමාලී ගිනස් පොතට...
 

ඊළඟට මම ලියන්න අදහස් කරේ යට ලියපු මාතෘකාවට වඩා හිට් වුණ මාතෘකාවක් ගැන. ඒ තමයි තිළිණි ප්‍රියමාලි. චින්තන ධර්මදාස නම් තිළිණිව හඳුන්වල තිබුණෙ ‘ලංකාවෙ ශෘංගාර මූල්‍ය රැජන’ කියල. එහෙම හැඳින්වුවත් වරදක් නැහැ. මොකද රජ්ජුරුවො හරි රැජන හරි කියන්නෙ අනෙක් අයට කරන්න බැරි දේවල් කරන්න පුළුවන් අමුතු බලයක් තියෙන පුද්ගලයෙකුට නෙ. ඒ පාර්ශ්වයෙන් බලද්දි තිළිණි කරෙත් මේ රටේ කාටවත් ම කරන්න බැරි දෙයක්.
 
 

මේ විදියට මූල්‍ය වංචා කරපු අය අතීතෙත් හිටිය. දැන් ඔයාලට එකපාරටම මතක් වෙන නම මම දන්නව. හැබැයි එයාටත් කලින් එහෙම අය ඉන්න ඇති. ඒත් ඒ අය ගැන හෙළිදරව් වුණේ නෑ. අපිට එක පාරටම මතක් වෙන පුද්ගලයගෙ මූල්‍ය වංචා හෙළිදරව් වුණාට පස්සෙත් එහෙම කරපු කිප දෙනෙක් ගැන කතා බහ වුණා. ඒ අතුරෙන් වඩාත් ප්‍රසිද්ධ වුණේ දකුණු ලකේ පුද්ගලයෙක්. ඊට පස්සෙත් මේ මූල්‍ය වංචාව සිද්ධ වෙන්න ඇති. ඒත් මොකක් හරි හේතුවක් නිසා ඒ අය නීතියේ රැහැනට අහුවුණේ නැහැ. හැබැයි ඒ හැමෝටම වැඩිය තිළිණි දක්ෂයි කින එක දැන් මුළු ලෝකෙම දන්නව.
 
 
කන්‍යා සිවි සැත්කම - (චින්තන ධර්මදාස)
 

ආරම්භයේ දි තිළිණි ගැන කතා වුණේ මූල්‍ය වංචාව ගැන විතරයි. ඊට පස්සෙ ඇය මුදල් ලබාගත් පුද්ගලයො අපහසුතාවට පත් කරන්න ලංකාවෙ ජනප්‍රිය නිළියො යොදාගෙන පවත්වපු දුරකතන ඇමතුම් ගැන කරළියට ආව. දැන් කරළියට ඇවිත් තියෙන්නෙ ඊටත් වඩා අලුත්ම සිද්ධියක්. ඒ තමයි මේ රටේ ඉන්න ප්‍රසිද්ධ යැයි සම්මත, ප්‍රභූ යැයි සම්මත පිරිමි ශරීර සන්තර්පණය කිරීම වෙනුවෙන් කෘත්‍රිම කන්‍යාපටල (Artificial hymen) සවි කරගත් නිළියන් හෝ වෙනත් කාන්තාවන් (බොහෝ විට නිළියන් පමණක් ම වෙන්නත් ඇති) යෙදවීම.
 

මට අනුව නම් මේක ගිනස් පොතට යන්න ඕන වැඩක්. මොකද තිළිණි එතනදි කරල තියෙන්නෙ ලෝකෙ කිසිම පුද්ගලයෙක් නොකරන වැඩක්. ඒ කියන්නෙ පිරිමි ෆැන්ටසිය උත්කර්ෂයට නැංවීමක්. සැබෑ අරුතෙන් ගන්නව නම් කන්‍යා පටලය හොයනව කියන එක ම ගෝත්‍රිකයි. ඒක මොන රටේ මොන විදියට සිද්ධ වුනත් එහෙමයි.
 
 
හැබැයි විශේෂයෙන් ම ආසියාතික රටවල පිරිමින්ගෙ ෆැන්ටසියේ කුටප්‍රාප්තිය රැඳෙන්නෙ මෙන්න මේ කියන කන්‍යා පටලයෙ නෙ. ඉතිං ඒක උත්කර්ෂයට නංවපු එක වැරැදිද ද...? මට අනුව නම් නැහැ. ඇය කරල තියෙන්නෙ පිරිමියගෙ ඔළුවෙ තියෙන ඉහළ ම ෆැන්ටසිය සැබෑවක් කරපු එක.
 

දැන් නිකමට හිතන්නකො ඔය නිළියො හරි වෙනත් කාන්තාවන් එක්ක හරි එයා කන්‍යාවක් කියල හිතල විශාල මුදලක් ගෙවල අරගෙන ගිහින් යහන්ගත වෙච්ච පිරිමින්ට මොකද වෙන්නෙ කියල... ඇත්තට ම ඒ පිරිමිය නියම පිරිමියෙක් නම් සිය දිවි නසාගන්න ඕන. එහෙම නැත්නං පුරුශාංකුරය කපල ඉවත් කරගන්න ඕන. හිතන්නකො... ‘‘අද මට හම්බ වෙන්නෙ අලුත් ම බඩුවක්’’ කියල හිතාගෙන ගිහින්, නිළියගෙ රඟපෑමටත් (Porn Film එකක වගේ) යට වෙලා, මීට කලින් ගණින්නත් බැරි තරම් පිරිමිත් එක්ක යහන් ගත වෙච්ච ගැනියෙක් එක්ක යහන් ගවුණා කියල දැනගත්තම එහෙම කරන්න හිතිනේනෙ නැද්ද...? අනෙක මේ එක පිරිමියෙකුට මේ වගේ නිළියො හෝ වෙනත් කාන්තාවො කී දෙනෙක් මේ විදියට අලෙවි කරන්න ඇති ද...?
 

ඔවු... දැන් කවුරු හරි කියන්න පුළුවන් ‘‘යකෝ මේ ප** වේ* තියන්න වටින් නැහැ නෙ...’’ කියල. මගේ අදහස නම් ඒක වැරැදියි. තිළිණි කරේ ඉල්ලුමට සැපයුම දුන්න එක. එතනදි ඒ තත්ත්වය ඉල්ලා හිටින්නෙ කවුද...? පිරිමි... කාන්තාවො සිය ගණනක් එක්ක බුදියගත්තු පිරිමි; එහෙම බුදියගෙනත් තව තවත් කන්‍යාවො ම හොයන පිරිමි; ආශාවේ අන්තයක් නොදකින පිරිමි. ඉතිං ඒ පිරිමින්ගෙ ආශාව සැපිරීම වැරැදි ද... මගේ අදහස නම් ඒක ඉතාම උත්තුංග වැඩක්. ඒකයි මං කිව්වෙ ඒ වැඩේට නම් තිළිණිගෙ නම ගිනස් පොතට යන්න ඕන කියල.
 

දැන් හිතන්නකො තිළිණි ‘‘පුරුෂාධිපත්‍ය’’ කියන සංකල්පය මොන තරම් සූක්ෂම විදියට කුඩුපට්ටම් කරල ද කියල; පිරිමි මොනතරම් ලස්සනට අන්දවල ද කියල; ඒ පිරිමිත් මොන තරම් ලස්සනට ඇඳගෙන ද කියල. ඉතිං මෙතනදි තිළිණි වැරැදි ද...? නැහැ... තිළිණි කරල තියෙන්නෙ (බුද්ධාගමට අනුව) මහානිසංස මහත්ඵල ලැබෙන පිනක් නෙවෙයි ද...? සමහර විට ඒ පින් බලෙන් ම තිළිණි සියලු චෝදනාවලින් නිදොස් වී නිදහස් වෙන්නත් පුළුවන් නේද...? මොකද ඔය කෘත්‍රිම කන්‍යා පටලය දාගත්තු නිළියො හරි වෙනත් කාන්තාවො එක්ක හරි යහන්ගත වෙන්න ඇත්තෙ වැඩි පුරම බෞද්ධ පිරිමි වෙන්න ඇති නෙ. ඒ නිසා මං ඒ පිරිමින්ගෙන් ඉල්ලා සිටින්නෙ තිළිණි වගේ තව තව කාන්තාවො බිහිවෙන්න කියල ප්‍රාර්ථනා කරන්න කියල. මොකද එයා එතනදි නම් කරල තියෙන්නෙ ගැහැනියෙක් පිරිමියෙක් කරනවටත් වැඩිය වටින දෙයක්.


කළ යුත්තේ කුමක් ද...? - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2022/10/30  

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්