හුදකලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ දරුවත් වඩා ගෙන දැල් පාලමෙන් එගොඩවී දෙමසක් යන විට අගමැති පදවියටත් අනතුරුව විධායක ජනාධිපති ධූරයටත් පත් විය.
ඔහු දැන් උත්සාහ කරන්නේ යෝධ ණය කන්දක ගැටුණු ටයිටනික් නෞකාව ගොඩ ගැනීමට ය. ඒ සඳහා ඔහුට පොහොට්ටු බජාර් එක නැතිව බැරි වග සැක නැතිව ඔප්පු කරන්නේ යාල විනාශ කළ පොහොට්ටුවේ මදාවි පිරිසකි.
යාල ජාතික වනෝද්‍යානයට අධිවේගී, අධි සුඛෝපභෝගී වාහන 30 කින් හෝ ඊටත් වැඩි සංඛ්‍යාවකින් ඉකුත් ඔක්තෝම්බර 22 වන සෙනසුරාදා දින කඩා වැදුණු ප්‍රභූ මදාවි පිරිසක් එහි සිදු කළ විනාශය ගැන වාර්තා වූයේ ඔවුන්ම ඔවුන්ගේ බල පුළුවන්කාරකම් පෙන්වීමට සමාජ මාධ්‍ය ජාලවල පළ කර තිබූ විඩියෝ පට වලින් ය. ඒ සමග වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ එම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් හා නිලධාරිනියන් ඊට එරෙහිව වහා පියවර ගන්නා බව කීමට ප්‍රවෘත්ති පළ කෙරින.
එම විනාශයට හවුල් වූ වාහන වසර 03 ට ජාතික වනෝද්‍යාන වලට ඇතුළුවීම තහනම් කිරීමට වනජීවි සංරක්ෂණ අමාත්‍යාංශය අදහස් කරන බවත් අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා සහාය ඉල්ලමින් අමාත්‍යාංශ ලේකම්වරිය පොලිස්පති වෙත ලිපියක් යොමු කළ බවත් ඒ අතර වනෝද්‍යාන සේවකයින් කිහිප දෙනෙකු සහ සෆාරි මාර්ගෝපදේශකයින් 07 දෙනෙකුගේ වැඩ අත්හිටුවා ඇති බවත් වාර්තා විය.
අනතුරුව විනාසකාරී ලෙස වාහන පැදවූ රියැදුරන් අතුරින් 09 කු පමණක් තිස්සමහරාම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත්කර පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ පෞද්ගලික ඇප මත මුදා හරිනු ලැබීය.
පොහොට්ටු දේශපාලනය හා මුදල් බලය හේතුවෙන් යාල වනෝද්‍යානයට හා එහි සතා සීපාවාට සිදුකර ඇති පීඩනය, හිංසනය සහ විනාශය බරපතල බැව් ජනාධිපති වික්‍රමසිංහත් පිළිගෙන ඇති බැව් ඔහුගේ ප්‍රකාශ හා විසඳුම් යෝජනා මගින් ඔප්පු වන්නේය. එහෙත් ඔහු වරදකරුවන් සොයා දඩුවම් කිරීමකට සූදානම් නැත. ඔහු යොජනා කරන්නේ වනෝද්‍යාන වලට සෆාරි වාහන හැර අන් සියලු වාහන ඇතුල්වීම තහනම් කිරීමට ය.
එහි අනෙක් ප්‍රෝඩාකාරී හැසිරීම නම් මදාවි රොත්ත උසාවි දමා විනාශයට ගැලපෙන අයුරු දඬුවම් කිරීම මග හැර සතියක් ඇතුළත පොඩි එවුන් ටික දෙනෙක් මිටි බැඳ පෙන්වූ විට, සමාජ මාධ්‍ය ජාල ගෝසාකරුවන්ට හා ස්වාධීන යැයි කියා ගන්නා මාධ්‍යවේදීන්ට පමණක් නොව කීර්තිමත් පරිසරවේදීන්ටද යාල මහ විනාශය අමතක වීමය.
යාල විනාශය ගැන දැනට තොරතුරු ප්‍රමාණයක් ප්‍රසිද්ධවී ඇත. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන ආකාරයට එදින යාල වනෝද්‍යානයට ඇතුළු වූ එම නඩයේ ජාතික හැඳුනුම් පත් අංක ඇතුළු සියලු තොරතුරු ඔවුන් සතුව ඇත.
මේ රටේ දේශපාලන සංස්කෘතිය සමග කිසිදු කාරණාවක් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ පැවැත්වෙන්නේ නැත. ඊට හේතුව අන්ත දූෂිත රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ එළෙසින්ම දූෂිත දේශපාලන අනුග්‍රහ ඇතිව වීම ය. ජනතාවගේ බදු මුදලින් වැටුප්, අතිකාල, ප්‍රවාහන වියදම් වැනි සියලු වියදම් ගෙවා නඩත්තු කරන පරීක්ෂණ ආයතනවල ලොකු ලොක්කන්ට ඕනෑම කාරණාවක් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ පැවැත්වීමේ සම්මුති විරහිත වගකීමක් ඇත. එහෙත් විශේෂ ජනාධිපති දැනුම් දීම් නොමැතිව ඔවුන්ට රාජකාරි කටයුතු කිරීමේ බලයක් නැතුවාක් මෙන් ඔහේ කාලය ගෙවෙති. බොහෝ විට එවැනි දැනුම් දීම් වලින් පසුවද පරීක්ෂණ කෙරුනත් ඒවායේ ස්වාධීනත්වයක් පිරිසිදු කමක් නැත.
යාල විනාශය සම්බන්ධයෙන්ද මහින්ද අමරවීර විෂය භාර ඇමතිවරයා වශයෙන් සිටින තාක් කල් ස්වාධීන පරීක්ෂණ පැවැත් වෙන්නේ නැත. ඒ ගැන වාද කිරීමට අවශ්‍යයද නැත. ජනාධිපතිගෙන්ද එවැනි අපක්ෂපාති ස්වාධීන පරීක්ෂණ සඳහා බලපෑමක් නැත. ඇමතිවරයාගේ ඇබිත්තයෙකු ලෙස හැසිරෙන්නේ යැයි ප්‍රසිද්ධ අධ්‍යක්ෂ ජනරාල් සිටියදී අපක්ෂපාතී පරීක්ෂණයක් කළ හැකි ස්වාධීන කමිටු පත් කෙරෙන්නේද නැත.
එනිසා මේ යාල විනාශය සම්බන්ධ අපක්ෂපාතී ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට නම්,
01. ඔහුව එම ඇමති ධූරයෙන් සහ ඇමති මණ්ඩලයෙන් වහා ඉවත් කළ යුතු ය.
02. අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර තනතුරෙන් ඉවත්කර අත්අඩංගුවට ගත යුතුය.
03. පොලීසිය විසින් තිස්සමහරාම මහේස්ත්‍රාත් උසාවියේදී හෙළි කළ අයුරු විනාසකාරී කණ්ඩායමට අයත් 50 ට වැඩි පිරිස වහා අත්අඩංගුවට ගත යුතුය.
04. ඔවුන් පැමිණි 30 ට වැඩි වාහන සංඛ්‍යාව රාජ සන්තක කළ යුතුය.
ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයකට පසුබිම හා විශ්වාසය හැදෙන්නේ එවිටය. එවගේම එය ජනතාවගේ බලය මත ඉටු කරගත යුත්තකි. අදාල බලධාරීන් නිවැරදි තීන්දු නොපමාව ගැනීමට තල්ලු වන්නේ ජනතාවගේ ඉල්ලීම හා බලපෑම මත පමණි.
මේ අතිශය විනාසකාරී සිදුවීම සමග හෝ පරිසර විනාස නවතා නොගතහොත් ඊළඟට පත්වන ආණ්ඩු සමගත් තුත්තිරි ගසක් හෝ ඉතුරු නොවනු ඇත. කලු කුහුඹුවකු බලා ගන්නට අනාගත දරුවන්ට නොහැකි වනු ඇත. නුවරඑළියෙත් පොල් වවන්ට හැකි තරමට කඳු සමතලා වී තිබිය හැකිය. අමතක නොකළ යුතු වැදගත්ම කාරණාව නම්, ගම් පිටින් විනාශවන නාය යෑම්, කොළඹ ජල ගැලීම් කිසිවක් ස්වාභාවික විපත් නොවන බවය. නාය යෑමේ බරපතල තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් සිතියම්ගත කරනවා හැර වෙනත් කිසිවක් සිදුවන්නේ නැත. ඒ සියල්ල දේශපාලන හයිය මත රාජ්‍ය අනුග්‍රහයද ලබන හඩු ජාවාරම්කාරයින් පරිසරය විනාශ කිරීමේ ප්‍රතිපල ය.
එනිසා ප්‍රථමයෙන්ම ඇසිය යුත්තේ 2009 අංක 22 දරණ සත්ව හා ශාක සංරක්ෂණ (සංශෝධිත) පනතේ “02(අ)1 වගන්තිය” අනුව සියලු ජාතික වනෝද්‍යාන හා සංරක්ෂිත වනාන්තර සඳහා වනජීවි දෙපාර්තමේන්තුවේ වනජීවි ප්‍රතිපත්තියට අනුව, අධ්‍යක්ෂ ජනරාල් විසින් පත් කරනු ලබන කමිටුවක් මගින් සැකසිය යුතු කලමනාකරණ සැළසුමක් යාල වනෝද්‍යානය සඳහා තිබේදැයි කියා ය. වනජීවි දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට අනුව එවැන්නක් කිසිදු වනෝද්‍යානයකට හා සංරක්ෂිත වනාන්තරයකට සැළසුම්කර නැත. ඒ වගකීම් අතහැරීමට පූර්ණ ලෙස වගකිව යුත්තේ වනජීවි අධ්‍යක්ෂ ජනරාල් ය.
එහෙත් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙහි සිංහලෙන් සඳහන් කෙරෙන්නේ “අපි ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු” යැයි කියා ය. එය විශාල අකුරෙන් සිරස්තලය ලෙස යොදා තිබුණත් කිසිදු සැළසුමක විස්තරයක් සිංහලෙන් හෝ දෙමළෙන් නැත. එනමුත් සත්ව හා ශාක සංරක්ෂණ ආඥාපනතේ “ජාතික රක්ෂිත හා අභයභූමි” නැමති පළමු කොටසේ අංක “03(1)අ වගන්තිය” යටතේ කියන්නේ සතුන් හා තුරු ලතා වලට බාධා නොවන සේ නැරඹීමට හැර වෙනත් කිසිදු කාරණාවකට ජාතික රක්ෂිත හා ස්වභාවික රක්ෂිත වලට කිසිවකුට ඇතුළු විය නොහැකි බවය. එළෙසින්ම “03(1)ආ වගන්තිය” යටතේ කියන්නේ ජාතික වනෝද්‍යානයකටද ඇතුළු විය හැක්කේ ඒ සඳහා පමණක් බවය.
ඒ සීමා පාලනයට අමතරව එහි “3අ වගන්තිය” යටතේ වනරක්ෂිතයක මායිමේ සිට සැතපුමක දුර ඇතුළත හෝටලයක් හෝ හෝටලයක ඇති සේවා සැපයුම් කෙරෙන ආයතන කිසිවක් ඉදි කිරීම තහනම් ය. එවැනි නීති ඇත්තේ වනෝද්‍යාන හා රක්ෂිත ප්‍රදේශ සංචාරක කර්මාන්තය මගින් අතොරක් නැතිව අලෙවි කිරීම පාලනය කිරීමට ය. එහෙත් සිදුව ඇත්තේ විදේශ විනිමය සඳහා යැයි වනෝද්‍යාන හා රක්ෂිත සියල්ල ඒවායේ අලි, කොටි, වලසුන් පෙන්වා ආකර්ශනීය පාරිසරික ස්ථාන ලෙස අලෙවි කිරීම ය. ඒ සඳහා සියලු නීති උල්ලංඝණය කෙරෙති. ඒ ගැන හෙවිල්ලක් බැලිල්ලක්ද නැත. එහෙත් සත්ව හා ශාක සංරක්ෂණ (සංශෝධිත) පනතේ “වරද හා දඩුවම්” යන සිරස්තලය ඇතිව, “අංක 58 වගන්තිය” යටතේ සඳහන් වන්නේ මෙම පනතෙහි ඇති කොන්දේසි සහ සීමා උල්ලංඝණය කිරීම් වෙනුවෙන් මහේස්ත්‍රාත් උසාවියක දඩුවම් කළ හැකි බවය.
අපේ රටේ නොවුනත් ඇතැම් සදාචාර සම්පන්න දියුණු රටවල වන සවාරි තීන්දුකර ඇත්තේ වනෝද්‍යානයේ හෝ රක්ෂිතයේ භූමි ප්‍රමාණයත් වෘක්ෂලතා හා සතා සීපාවාත් පිළිබඳව කෙරුනු තක්සේරුවකින් පසුව ඒ පරිසර පද්ධතියට දිනකට ඔරොත්තු දිය හැකි අමුත්තන් සංඛ්‍යාව ගණන් බැලීමෙන්ය. එනිසා විශේෂයෙන් පාසල් ළමුන්ගේ වැනි සවාරි වෙනුවෙන් බොහෝවිට මාසයකට දෙකකට කලින් දින වෙන්කර ගත යුතු වන්නේය. කෙටියෙන් කතාව කියනවා නම්, ඔවුන්ගේ ජෛව සම්පත් හා විවිධත්වය ඔවුන් අලෙවි කරන්නේ නැත.
එබැවින් ජනාධිපතිට කිව යුත්තේ වනෝද්‍යාන සංරක්ෂණයට වාහන තහනම් කරන්නට පෙර, සමාජයට වගවීමක් ඇති ඇමති මණ්ඩලයක් හදා ගන්නේ නම්, වනෝද්‍යාන සංරක්ෂණයට අලුත් නීති අවශ්‍ය වන්නේ නැති බව ය. එවගේම මදාවි දේශපාලනයක් මිස වෙනකක් නොදන්නා පාර්ලිමේන්තු බහුතරය රැක ගැනීමෙන් ටයිටනික් නෞකාව නොව, පරණ ඔරුවක් වත් ගොඩ ඇදිය නොහැකි බවය. එවැනි බහුතරයක් සමග තමන්ගේ ඒකාධිකාරී බලය යොදමින් රටේ සමාජ ආර්ථික අර්බූද විසඳන්නට නොහැකි බවද ජනාධිපතිට කිව යුතුය.
පරිසරවේදීන්ට සහ ස්වාධීන මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා අයට කිව යුත්තේ මේ අප ඉන්නේ වොයිස් කට් වලින් ප්‍රශ්න විසඳිය හැකි ශීලාචාර යුගයක නොවන බවය. මේ යුගයේ වොයිස් කට් මගින් ජනප්‍රිය වන්නටද නොහැක. විසඳුම ඇත්තේ අනෙක් සියලු විනාශ සඳහා මෙන්ම පරිසර විනාශ සඳහාද සමාජ ව්‍යාපාරයක හයිය මත ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන්ය. ඉන් මෙපිට, කිසිවක් විය යුතු පරිද්දෙන් සිදු නොවන බැව් සියල්ලන් තේරුම් ගත යුතුව ඇත.

ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2022 නොවැම්බර 02 වන දින