ලක් විජය බලාගාරයට ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරය ඩුබායි 'බ්ලැක් සෑන්ඩ්ස්' සමාගමට ලබා දීමට එරෙහිව ජාතික හෙළ උරුමය පක්‍ෂයේ හිටපු

පාර්ලිමේන්තු මන්ත්‍රී ඕමල්පේ සෝභිත හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිසා රටට රුපියල් මිලියන 30,000 කට අධික මුදලක් ඉතුරු කර දීමට හැකිවූ බව වත්මන් ටෙන්ඩර්ය ගැනීමට ලංසු තබා ඇති සමාගම් විසින් ඉදිරිපත් කර ඇති මිලගණන් වලින් තහවුරු වේ.


ජනමාධ්‍යවලින් එල්ලවූ බරපතල විරෝධය හමුවේ අදාළ ගල් අඟුරු ටෙන්ඩරය අවලංගු කිරීමට රජය පියවර ගැනීම නිසා මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ නැති බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ඔක්තෝම්බර් 25 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසිය. ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීම අවසර ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටි අතර ඊට විනිසුරු මඬුල්ලේ අවසරය ලැබිණි.


ලංකා ගල් අඟුරු සමාගම, කැබිනට් මණ්ඩලය, විශේෂ ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයන් සහ තාක්‍ෂණ ඇගයුම් කමිටුවේ සාමාජිකයන් මෙන්ම ඩුබායි බ්ලැක් ෂෑන් කොමෝඩිට්ස් සමාගම ඇතුළු 49දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවෝ වූහ.


ලක් විජය බලාගාරයට ගල් අඟුරු මෙට්‍රික්‌ ටොන් මිලියන 4.5 ක් සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබු අතර එය ඩුබායි රාජ්‍යයේ බ්ලැක් ෂෑන් කොමෝඩිට්ස් සමාගම වෙත පිරිනැමීමට ලංකා ගල් අඟුරු සමාගම තීරණය කර තිබිණ. එම සමාගම ලියාපදිංචි ගල් අඟුරු සැපයුම්කරුවකු නොවන බව පෙන්වා දී තිබු පෙත්සම්කාර හිමියන්, සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව කටයුතු කරමින්, ටෙන්ඩර් පත් වගන්ති වෙනස් කරමින් මෙම සමාගමට එම ටෙන්ඩරය ලබාදී ඇතැයි පෙත්සමෙහි සඳහන් කර තිබිණ.


ලියාපදිංචි ගල් අඟුරු සැපයුම්කරුවකු නොවන එම සමාගම ට අදාළ ටෙන්ඩරය පිරිනැමීම නිසා ඩොලර් මිලියන 500 කට අධික පාඩුවක් රජයට සිදු වන බව ද අදාල පෙත්සම මඟින් පෙන්වා දී තිබිණ.

 

කෙසේවුවද ඕමල්පේ සෝභිත හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමත් සමග මෙම ටෙන්ඩරයට එරෙහිව විශාල ජනමතයක් ගොඩනැගුන අතර එම වටපිටාව තුල ටෙන්ඩරය අවලංගු කිරීමට රජයට සිදුවිය. එසේ, මෙරට සිවිල් ජනතාව මෙම බරපතල වංචාවට එරෙහිව ආරම්භ කරන ලද විරෝධයන් නිසා රටට අහිමි වන්නට ගිය ධනස්කන්ධයක් ඉතිරිකර ගැනීමට අවස්ථාව සැලසින.

 

අතපසුවීමක් ලෙස ලඟු නොකරන්න !


සෝභිත හිමියන් විසින් එසේ වලකාළුයේ කිසියම් දේශපාලනඥයකුගේ හෝ නිලධාරීන් පිරිසකගේ හෝ අත්වැරැද්දක් හෝ සරල අතපසුවීමක් නොවන බව පළමුකොට තේරුම් ගත යුතුව තිබේ.


ලංකා ගල් අඟුරු සමාගම ආරම්භයේ සිටම සම්මත ප්‍රසම්පාදන ක්‍රමවේදයන්ට වෙට්ටු දමමින් සිය පුද්ගලික වාසි මූලිකරගත් ක්‍රියා පටිපාටි අනුගමනය කරමින් ටෙන්ඩර් ක්‍රියාවලිය තමන්ට සිතු සේ නවමින්, මූල්‍ය විනයක් හෝ විනිවිදභාවක් නොමැති ක්‍රියා පිළිවෙත් ප්‍රවර්ධනය කරමින් තෝරාගත් පාර්ශ්වවලට පමණක් සිතු සේ  දිගුකාලීන කොන්ත්‍රාත්තු ලබා දෙමින් මේ දක්වා රටට කර ඇති පාඩුව රුපියල්  බිලියන ගණනක් යැයි විශ්වාස කිරීමට සාක්ෂි සාධක ඕනෑ තරම් මේ වන විට හමුව තිබේ.


ගොඩකින් එකක්වූ BLACK SANDS


බ්ලැක් සෑන්ඩ්ස් නමින් අලුතින් පිහිටුවන ලද ඩුබායි සමාගමට මෑතකදී ලබා දුන් දිගු කාලීන කොන්ත්‍රාත්තුව ගැන සොයා බලද්දී ඔවුන් විසින් කාලයක් පුරා කරමින් තිබූ මේ සෙල්ලමේ අලුත්ම මෙහෙයුම මෙයවීමට නියමිතව තිබුණි.


බ්ලැක් සෑන්ඩ්ස් සමාගම මේ ගල් අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලියේ ලංසුකරුවෙකු ලෙස කිසිදු සුදුසුකමක් සපුරා නොමැති නමුත් නුසුදුස්සෙක් ව සුදුස්සෙක් කිරීමේ වංචනික ක්‍රියාවට අදාල සියලු සැලසුම් අමාත්‍යංශයේ ඇතැම් ඉහළ බලධාරීන් විසින් සිදු කළ බව තහවුරුව තිබේ.


එම සියලුම කටයුතු සිදු කරන ලද්දේ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ටෙන්ඩර් මණ්ඩලයේ ද සහාය ඇතිව රටේ විශාලතම කොන්ත්‍රාත්තුව ඔවුන්ට ලබා දීම සඳහා ය. රටේ මුදල්, ජනතාවගේ ධනය මෙසේ පිල්ලි ගසන්නට සැලසුම් කිරීම කෙතරම් අසික්ෂිත දැයි ඔවුන්ට වගේ වගක් නොවීය.


මෙවැනි බරපතල වංචාවන්ට එරෙහිව සිවිල් පුරවැසි සංවිධාන වල විරෝධයන් නොවන්නටත්,  ලංකා ගල් අඟුරු වංචාව හඳුනා ගෙන රජයේ සමාගමකට එල්ල වූ කලු පැල්ලම පිරිසිදු කිරීමට ක්ෂණික පියවර ගත් වත්මන් නීතිපති, විගණකාධිපති සහ නව බලශක්ති ඇමැතිවරයා ගත් පියවර නොවන්නට මේ ටෙන්ඩර් මගඩිය හරහා මේ වන විටත් රටේ මුදල් කන්දරාවක් කාබාසිනියා වී හමාරය.


නමුත් සියල්ල අවසාන මොහොතේ විමර්ශනයට ගෙන ලබා දී තිබූ ටෙන්ඩර් අනුමැතිය අවලංගු කර පසුගිය සතියේ නව ටෙන්ඩරයක් කැඳවන්නට බලශක්ති අමාතවරයා විසින් කටයුතු කර තිබේ.


අලුත් ටෙන්ඩරයට ආ සමාගම් දෙක ?


ගල් අඟුරු මිලදී ගැනීමට නව සැපයුම්කරුවෙකු තෝරා ගැනීම නීතිපතිගේ හා විගනකාධිපතිගේ නිර්දේශමත සිදුකිරීමට 'ලංකා ගල් අඟුරු සමාගම' කටයුතු කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

 

ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාකාරී පටිපාටිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ පාර්ලිමේන්තු කෝප් කමිටුවෙන් හා මාධ්‍ය විසින් මතුකර තිබු විවේචන ද සැලකිල්ලට ගනිමින්, නීතිපතිගේ හා විගනකාධිපතිගේ නිර්දේශ මුළුමනින්ම අනුගමනය කරමින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් පාරදෘශ්‍ය භාවයකින් යුතුව නව ටෙන්ඩරය කැඳවීමට 'ලංකා ගල් අඟුරු සමාගම' නව සභාපතිවරයා කටයුතු කර ඇත.

 

ඒ අනුව, ගල් අඟුරු මිලදී ගැනීමට නව සැපයුම්කරුවෙකු තෝරා ගැනීම සඳහා ‍නව ටෙන්ඩරය කැඳවීමත් සමග ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පළපුරුදු සමාගම් දෙකක් ඉදිරිපත්ව තිබේ.

මෙම සමාගම් දෙකෙන් එක් සමාගමක් ලැයිස්තුගත දේශීය සමාගමක් වන අතර අනෙක් සමාගම ඩුබායි රාජ්‍යය මූලික කරගත් සැපයුම්කරුවෙකු වේ.

 

අමාත්‍යංශ ආරංචිමාර්ග පවසන පරිදි, මෙම සමාගම් දෙකම මේ වන විටත් එතෙක් මෙතෙක් ඉතිහාසයේ පහළම මට්ටමට මිල අඩු කර ලංසු තබා මිල ගණන් ඉදිරිපත් කර ඇතැයි පැවසේ. ලංකා ගල් අඟුරු මිලදී ගැනීම සඳහා පසුගිය ටෙන්ඩරයට සාපේක්ෂව රුපියල් මිලියන 30,000කට අධික මුදලක් ශ්‍රී ලංකාවට ඉතුරු කරගැනීමට මෙමගින් හැකිව තිබෙන බවද වාර්තවේ.

 

ආර්ථිකය කඩාවැටීම නිසා පණ අදින රටකට මෙම තීරණාත්මක අවස්ථාවේදී මෙවැනි මුදල් ඉතිරියකින් පවා ලැබෙන අස්වැසිල්ල ඉමහත්වන අතර පුජ්‍යපාද සෝහිත හිමියන් ඇතුළු පෙත්සමට දායක වූ සැමට එහි ගෞරවය නිතැතින්ම හිමි විය යුතුය.


 මෙවර මිල ගණන් ඉදිරිපත් කිරීමේදී ඩුබායි සමාගමේ මිල ලංසුව මෙට්‍රික් ටොන් එකකට USD 259 ක් වූ අතර දූෂිත පැරණි ටෙන්ඩර් ක්‍රියාවලිය තුළ බ්ලැක් සෑන්ඩ්ස් සමාගම ඉදිරිපත් කළ ලංසුව මෙට්‍රික් ටොන් එකකට USD 295ක් විය. නව ටෙන්ඩරය ක්‍රියාත්මක නොවී එකම පිරිවිතර සහිත එකම නිෂ්පාදනයක් මෙසේ කළුකඩේ මිලට ගන්නට සිදුවුයේ නම් රටට වන පාඩුව වත්මන් ලංසු මිල හා සසඳන විට රුපියල් මිලියන 30,000 ඉක්මවයි.  


දෙවන ලංසුකරු වන LOLC/CMEC සමාගම විසින් ඉදිරිපත් කල මිල ලංසුව ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකකට USD 290 කි. නමුත් ඒ මිල ද කුප්‍රකට බ්ලැක් සෑන්ඩ්ස් සමාගම හා සසඳන විට අඩු මට්ටමක පැවතීම තුළ, පෙර පැවති ටෙන්ඩර් සැලසුම කෙතරම් දූෂිත ද යන්න මනාව පෙන්වයි.

 

එමෙන්ම මේ පැරණි ටෙන්ඩරය අවලංගු වීම හා නව ක්‍රියාවලියක් ඇරඹීමට රජය පෙළඹීම තුළ රටේ එවැනි අකටයුතුකම් වැලැක්වීම සඳහා සක්‍රීය මහජන සහභාගීත්වයේ ප්‍රතිඵල කෙතරම් ඵලදායී විය හැකි ද යන්න පැහැදිලිව පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, මේ පිළිබඳව දිගින් දිගටම සෝදිසියෙන් සිටිය යුත්තේ දුෂිතයින් අවසන් මොහොතේ හෝ වෙනත් උප්පරවට්ටියකට අර ඇඳීමට ඇති ඉඩකඩ එලෙසම පවතින බැවිනි.

 

පසුගිය සතියේ ගෙන ඒමට තිබූ තවත් මෙට්‍රික් ටොන් 300,000ක ගල් අඟුරු තොගයක් (දෙසැම්බර් සඳහා පමණක් සැපයීම) සඳහා තවත් ටෙන්ඩරයක් ‍යන්තම් අවසාන මොහොතේ වසා දැමිය. ඊට හේතු වූයේ අදාළ ණය පහසුකම් නොමැතිකම නිසා බ්ලැක් සෑන්ඩ්ස් සමාගමට එම ටෙන්ඩරය ලබා ගැනීමට නොහැකි වූ නිසා, එය ප්‍රදානය කිරීම නතර කර මුළු ටෙන්ඩරයම අවලංගු කිරීමට කටයුතු කිරීමයි.  


නමුත් කවුරුන් මෙසේ තමන්ගෙ මඩි පුරවා ගන්නට දූෂිත ගනුදෙනු වලට සහාය දැක්වූවත් අවසානයේ ඉන් අතොරක් නැතිව බැට කන්නේ මේ රටේ පුරවැසියාය. ඒ අනුව මේ රටේ එළෙඹෙන දෙසැම්බර් මාසය අඳුරු දෙසැම්බරයක් කිරීමට මෙම වංචනික ගනුදෙනුව මග පාදා ඇත.


2022 අඳුරු දෙසැම්බරයක් වෙයිද?


රටේ ගල් අඟුරු අවශ්‍යතාවය අනුව නියමිත ප්‍රමාණය ආනයනය කිරීම කඩිනම් නොකලහොත් දෙසැම්බර් මාසය තුළ ඇතිවන ගල් අඟුරු හිඟය සහ නව සැලසුම් පරිදි ක්ෂණික නිවැරැදි තීරණයන් නොගතහොත් හෝ තීරණයකට එලැඹීම ප්‍රමාද වුවහොත් , ඒ අනුව දෙසැම්බර් මාසයේ අවශ්‍ය ඇණවුම් නොරොච්චෝලෙ වෙත් නොපැමිණියහොත් රටේ අවම පැය 10 ක විදුලි කප්පාදුවකට පොදු ජනතාව ට මුහුණ දෙන්න සිදුවනු ඇත.


 මේ ටෙන්ඩර් වංචාව මෙසේ හෙළි වී තිබියදීත් මෙම කුප්‍රකට සමාගම කෙසේ හෝ නිදහසට කරුණු කියමින් සිය වෙළෙඳාම කරන්නට නොයෙක් මාන බලමින් සිටින තර පෙර නොදැක්වූ තරම් නම්‍යශීලී යෝජනා ඉදිරිපත් කරමින් සිටියි. එසේම තවමත් සිය කුට්ටිය වෙනුවෙන් රට පාවාදෙන දූෂිත බල අධිකාරියේ හා නිලධාරින්ගේ අනුග්‍රහය හා උපකාර මත වැඩි මිලට එම ගල් අඟුරු තොගය නැවත ගෙන්වා ගැනීමට ඇතැම් බලධාරීන් උපක්‍රම යොදමින් සිටියි.


මේ විනාශ කරන්නේ අනාගත පරපුරේ හෙට දවසයි !

 

තමන් ට කොමිස් කුට්ටි ලැබෙන, වරදාන, වරප්‍රසාද ලැබෙන දූෂිත සමාගම් වලට වාසි නොවන විට එම සමාගම් ටෙන්ඩර් දිනා නොගත් විට, නිසි ක්‍රමවේදය තුළ ලංසු ඉදිරිපත් කළ සමාගම් ඉදිරිපත් වූ ටෙන්ඩර්  කැඳවා තෝරා ගෙන පසුව අවලංගු කිරීමේ මේ දූෂිත ක්‍රමවේදයෙන් හා පුරුද්දෙන් මේ රටට  වී ඇති පාඩුව බිලියන ගණනකි. 

 

මෙම ජරා මජර ක්‍රමය සිවිල් බලයෙන් හා මුදලට නතු නොවන නීති රාමුවක් හරහා වහා නතරකිරීමට කටයුතු කළ යුතුය.


එවන් අමනෝඥ දූෂිත ක්‍රියා නිසා රට පිළිබඳ මෙන්ම රටේ ටෙන්ඩර් ක්‍රියාවලිය කෙරෙහි ජාත්‍යන්තර සමාගමේ වලට ඇත්තේ අප්‍රසන්න අත්දැකීම් සමුහයකි.


මේ වන විටත් බොහෝ සුප්‍රකට ජාත්‍යන්තර සමාගම්  ශ්‍රී ලංකාවෙන් සිදු කරන මිල කැඳවීම් සඳහා ඉදිරිපත් වීම මග හැර ඇත්තේ ඔවුන් විසින් සියල්ල පිළිවෙළට ඉදිරිපත් කළත් (මක්නිසාද  සෑම ටෙන්ඩරයක් සඳහාම ඩොලර් මිලියන 2 ක වටිනාකමක් සඳහා බැඳුම්කර ලංසු සකස් කිරීමට ඔවුන්ට සිදු වී ඇත) කුප්‍රකට සමාගම් හා දූෂිත නිලධාරීන් විසින් ජාවාරම් කරමින් රටේ මුදල් හොරකම් කරමින් අදාළ ටෙන්ඩර් කුප්‍රකට සමාගම් වලට ලබා දෙන්නට කටයුතු කරන බැවිණි.  


මේ වන විටත් ඔවුන් ලංකා ගල් අඟුරු සමාගම ඇතුළු ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමේ ප්‍රමුඛත්වය අතහැර දමා ඇත.


මෙම හොර කුප්‍රකට සමාගම් වසර ගණනාවක් තිස්සේ වංචනික නිලධාරි හා බලධාරී පිරිස් සමග එක්ව මෙවැනි වංචා දුෂණ සිදුකරනු ලබන්නේ, රටේ අහිංසක පුරවැසියාට බෙහෙත් පෙත්තක් හෝ ගැනීමට රජයේ භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගැනීමට නොහැකි තරමේ බරපතල අර්බුදයක් රට තිබියදීය.



සබැඳි පුවත් :
ගල් අඟුරු නව සැපයුම්කරුවෙකු තෝරාගැනීම නීතිපතිගේ නිර්දේශමත

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්