“දිරාපු යකඩ,

 

දිරාපු තහඩු,
පරණ පෙට්ටි,
පරණ මුට්ටි,
පරණ හට්ටි,
පරණ කේතල්,
පරණ බෝතල්
කැඩුණු ප්ලාස්ටික් පුටුවලට දෙනවා අපි බේසම්........

 
ඩිමෝ බට්ටා ලොරිවලින් මෙසේ කියමින් එන්නන් ඒ අබිලි ගෙන යනවිට ඔබට සතුටකි. ඒ ජිවිතවලට එබී බැලුවිට ඒ ජීවිතකතාවල සුන්දරතා නැතැයි සිතේ. එවන් එක් ගම්මානයක අද එහි වසන්නන්ගෙන් කොටසකට ජීවත් වීමට අවැසි මූලික අයිතීන්වත් නැති සෙයකි. ගමේ සියයට 90ක් මුහුණ දෙන්නේ ජල ගැටලුවටය. නිවාස හා වැසිකිළි ප්‍රශ්නය එයින් කොටසකට උග්‍රය. කටුමැටි ගැසු සාරිවලින් වටකරගත් නිවෙස් හා කැලෑවැදි වැසිකිළි යන කතා එහි බොහෝය..  


ආර්ථික ප්‍රශ්නවලින් හෙම්බත්ව ඇති ගමක්


අපේ කතානායකයෝ මානාවේය. ඇත්තේ  කුලියාපිටියේය. මානාව උප සංස්කෘතික ගමකි. මානාවේ පැරැන්නන් දක්ෂ, සුපතල කට්ටඩියන් හා වෙදැදුරන්ය. වර්තමානිකයින්ගෙන් බහුතරයක් අබිලි දෑ එකතු කරති. ඒඅයගේ ජිවිතත් අබිලි වෙලාසේය. මේ ලංකාවේ වැඩිම ඩිමෝ බට්ටා ලොරි ඇති ගමය. එය සියයක් පමණ ලෙසින් වාර්ෂිකව දෝලනය වන්නකි. වසරකට එකක් දෙකක් අලුතින් එක්වුවද කිහිපයක් ෆිනෑන්ස් හෝ ලීසිං ප්‍රශ්න මත හෝ විකිණීම නිසා ඉවත්වේ.
 
 
 
ගමේ ඇති නැති සියල්ලන්ගේ උග්‍රම ප්‍රශ්නය ජලයයි. ගමටම ඇත්තේ ළිං දෙකතුනකි.  එවන් ළිදකින් පවුල් 10ත් 15ක්වත් ජල අවශ්‍යතාව සපුරා ගනිති. රාජ්‍ය නොවන සංවිධානයකින් වසර තුනහතරකට පෙර ලැබුණු ළිං දෙකක් එහි වන අතර එකක් වැඩ නැත. පවුල් දහයක් පමණ වැඩ කරන නළ ළිදෙන් ජලපහසුව ලබා ගත්තද සෙසු පවුල්වලට එම වාසනාව හිමි නැත. ළිං ඇති ඇතැම් පිරිස් ළිං ඉක්මනින් සිදේවිය යන කල්පිතය මත සළාක ක්‍රමයට වතුර ලබා දෙති. බොහෝ පවුල්වලට වැසි දිනකට ලැබෙන්නේ කළගෙඩි දෙකක වතුරකි. පායනා කාලෙට ජල ප්‍රශ්නය උග්‍රය.
 
 
ජලප්‍රශ්නය විසදීමට මෙයට පෙර කළ උත්සහයක් ගැන කීවේ ඒ සදහා මූලිකව උනන්දු වූ  පී රණවීරය ...
 

PHOTO 2022 11 08 12 13 35 2"දයාසිරි මැතිතුමා මහ ඇමති කාලේ ළිදකුයි ලොකු ටැංකියකුයි හදලා ගමටම වතුර දුන්නා. මාස දෙකක්වත් දෙන්න බැරිවුණා. ගමේ අවශ්‍යතාව තරමට වතුර නොතිබුණු නිසා ළිද හිදුනා. තවත් ළිදක් හදලා අර ටැංකියටම සම්බන්ධ කරොත් මේක විසදිය හැකි වෙයි. ගමේ සමහර කාන්තාවන් කිලෝමීටරයකට වඩා යනවා කළගෙඩි අරන්."
 

ජල ව්‍යාපෘතියේ ජල ටැංකිය ගම මැදය. ඒ අසලම වෙසෙන්නෝ ඒ දෙස බලා හූල්ලමින් කළගෙඩි රැගෙන වතුරඇති නිවෙස් කරා යති.    
                             

ගමෙහි නිවාස 30කට වැසිකිළි නැත. ඇතැමෙක් නිවසින් මීටර දෙතුන් සියයක් දුරින් වැසිකිළි ඇති නිවසයකට ‘අවසර පිට‘ යති. ඒ හැර වැසිකිළි නැති බොහෝ දෙනා අහළ පහළ ඇති කැලෑ රොදකට යයි. පවුල් පහ හයකම පොදු වැසිකිළි වු ඇතැම් ඒවා “පිරී ඇත. එසේ වූ ඒවා කීපයක්ම දැන් අතැර දමාය. රජයෙන් දුන් ඇතැම් නිවාසවල වැසිකිළි කාමර ඇතත් වළක් නැත.  
 
PHOTO 2022 11 08 12 13 35 1
 

වැසි දිනවල, රාත්‍රියේදි මෙන්ම දැරියන් මල්වර වු පසු තත්ත්වය පැහැදිලි කළයුතු නැත. වැව ආසන්නයේ සිටිනා අය වැව් පිටියටය. එයින්ම ස්නානය කරන්නන්ද ගමේ එමටය. මිලට නොගන්නා අබිලි දෑද දමන්නේ වැව අසලටය. එහි වතුර දැඩි කලු පැහැතිය.  
 

පාසල පිටුපස ඇති ඉඩම වසර තුන හතරකට පෙර ඒ අවට වසන්නන්ගේ ප්‍රධාන වැසිකිළි තිත්පොලව තිබුණකි. පාසලේ දෛනික කටයුතු කරගැනීමටවත් නොහැකි තරමට දුරදිග යන තත්ත්වයක තිබු බැවින් එවකට සිටි විදුහල්පතිවරයාගේ නොමද කැපකිරීම් නිසා එම තත්ත්වය කෙටිකලකින් නැවතී ඇත.
 
 
මානාවේ  ඉතා හොදින් සැදුනු නිවාස මෙන්ම කටුමැටි ගැසූ පැල්පත් ද ළග ළගය. පැල්පත් සමහරක කටුමැටි බෝල ගැලවිලාය. ලොකු කුහරැති තැන්වලට ඉටිරෙදි හෝ සාරි කෑලි ඇදලාය. එක්කෝ  පරණ තහඩු කෑලිය. වහල පොල්අතුය. නැත්නම් දිරාගිය තහඩු පතුරුය. මේවායේ බිම උල්දිය දමලාය. අඩි දහයක්වත් දිග පළල් නැති උල්දිය දැමූ මේවා බොහෝවිට තනි කාමර ගෙවල්ය. ඉවීම පිසීම හා නිදියෑම සියල්ල සිදුවෙයි. අව්වට වැස්සට යම්තම් නොතෙමි සිටිය හැකි එබදු නිවාස 40ක් 50ක් පමණ එහි වේ. ගමෙහි අන්ත අසරණම මිනිසුන් සිටිනුයේ ඒවායෙහිය. ඔවුහු රජයෙන් දුන් නිවාස  නොලැබීම ගැන නෝක්කඩු කියති.
 
PHOTO 2022 11 08 12 13 34
 

“කවුරුත් එනවා. ඇවිත් බලල යනවා. එච්චර තමා... පයින් පාරක් ගැහුවොත් බිත්ති වැටෙනවා. වැස්සට තෙමෙනවා. ළමිස්සියක් ඉන්නේ මට...මේ අවලෑදිය නැගුවේ ලසන්ති සදමාලි තරුණ මවය.
 

දෙදරු මවක වූ ස්වර්ණා මල්කාන්තිගේ පුංචි පැල්කොටය අවුරුදු 25කට වඩා පරණය. වැඩිමලාවූ දුව විවාහකය. බාලයාට විස්සකි. සැමියාත් පුතාත් දෙදෙනාම රැකියා නැති නිසා මුදලාලිලාගේ ලොරිවලින් දවස් පඩියට යකඩ බිස්නස්ය. ඔවුන්ගේ ජීවිත වටා බැදුනු අදුරු බලපෑම් ඇගේම වදනින් මෙසේය.
 “ එයාලත් වැඩට යනවා.. එනවා. ණය වෙනවා. කාලෙන් කාලෙට කවුරුහරි ඇවිල්ලා ෆෝම් කොළ පුරවනව, අරක මේක අහන් යනවා. අපි හැමදාම එකම තැන. අර ගෙවල් දෙද්දින්වත් අපි ගැන බැලුවේ නැහැ. ගෙදර බඩුවක් මුට්ටුවක්වත් තියා ගන්න නැහැ කුඩුකාරයෝ හැමතැනම.   
 
                                         
PHOTO 2022 11 08 12 13 37                                                                                                                                                                                                                                                                                                                                                                                                     
මේ ගමේහි පවුල් 196කි. නිවාස 190කි. එහි රජයෙන් සෑදු නිවාස 40 කි. ඉන් 35 ක මිනිසුන් පදිංචිය. නිවාස 05ක වැඩ අවසන්ව නැත. නිවාස 05ක වැසියන් ණය වී වහලය ගසා  ගෙනය. ව්‍යාපෘතිය මග ඇණහිටලාය.
 

අවසන්ව නැති නිවාසවල වැසියන් අසරණකම නිසාම අධික පීඩාවෙනි. ඉකුත් තුන් වසරක් තිස්සේම උළුවසු අව්වට වැස්සට නිරාවරණය. එතුළ මිනිස් උසට කැලෙත් වැවිලාය. මේ ඒ ජිවිත වටා දුක තැවරී ඇති අන්දමය.
 

‘‘දැන් සල්ලි නැහැ කියනවා. අපිට ගේ හදාගන්න විදියක් නෑ. හිටපු ගේත් කැඩුවා. දැන් අවුරුදු තුනක්. තව කීයක් හරි ඇති. ඒක ගන්න විදියක් දන්නේ නැහැ.   මහත්තයත් අසනීප කාරයෙක්. එයා ටවුමේ සපත්තු කුඩ මහනවා. ඒ සිවුදරු මවක් වු කේ. දයාවතීගේ හඩයි.
 

‘‘  දැන් හදාපු ගෙදර වහලේ හදාගන්න තියා මේ වෙලාවේ කන්නවත් නැතිව ඉන්නේ. ඒකයි ඇත්තම කතාව. ඒ අතදරුවකුගේ මවක වු මනෝරි ඒකනායකගේ හඩය.
 

නිමේෂිකා ජයලත්ටද නව නිවසක් ලැබිලාය. වහලයට මුදල් නොලැබුණද ක්ෂුද්‍රමූල්‍ය ණයක් ගෙන වහලය ගසා ඇත. පවුල් 05ක් පමණ එලෙසින් වහලය ගසාගෙන ඇත.  
 

මේ ගමද ක්ෂුද්‍ර මූල්‍ය ගැටලුවේ වින්දිතයන් බව පල්ලියේ  සේන සංජීව පියතුමා පවසයි.
 

‘‘ගමේ බහුතරයක් ඩේලිකලෙක්ෂන් ලෝන් අරන් ඉන්නේ. දවසේ පඩියට වැඩ කරන අය ගමේ වැඩි. ඒ හොයන සතේ පහුවදාට ලෝන්වලට ගෙව්වාම ගෙදර වියදමට මදි වෙනවා.  
             
 
නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් අධ්‍යක්ෂක එන්.කේ.බී එස්. නරසිංහ මෙහි ඉදිකිරීම් ප්‍රමාදය ගැන කීවේ මෙවැන්නකි.
     

PHOTO 2022 11 08 12 13 36 1"අපි නිවාස ගම්මාන වැඩසටහනක් කළ නිසා ළග ළග ගෙවල් තිබු 40ක් තෝරන් ආධාරයක් ලෙස රුපියල් ලක්ෂ 05 බැගින් ලබා දුන්නා. 2018 ඔක්තෝම්බර් මුල දි අපි පටන් ගත්තේ මාස 06 කින් අවසන් වෙන ලෙසින්. උනන්දුව තිබුණ අය ඉක්මනින් වැඩ ඉවර කරගත්තා. පහුවෙලා වැඩ පටන් ගත් අය 2019 අග දක්වාම ඒවාගේ වැඩ ඉවර කළේ නැහැ. දැන් ප්‍රශ්නය තියෙන්නේ එවන් අය දහ දෙනෙකුට පමණ. ඒ අය නිසි වේලාවට කටයුතු නොකළ නිසා ඉතිරි මුදල් ආපසු ගියා. නැවත ලැබුණේ නැහැ. ඒ වගේ ගම්මාන ඉදිකිරිම් තාවකාලිකව නතර වුණා."             
 
 
 නිවාස ව්‍යපෘතියට තල්ලියද්ද වසමේ රාජ්‍ය නිලධාරීන් ග්‍රාමීය කමිටුවක් සාදා වගකිවහැකි පිරිස්වෙත බලය ලබා දී ඇත. ඉදිකිරීම්වලට අදාළ මුදල් බැංකුවෙන් ලබා දුන් දිනම නිවෙස් හිමියාත්, ව්‍යවසායකයාත් රජයේ නිලධාරිනුත් ඉදිරියේ එම ගණුදෙනු පියවා ඇත. ඒ සියල්ලන් එකම ස්ථානයකදී රැස්වීමෙනි.  
 

නිවෙස් හිමියන්ගේ ගිණුම්වලට මුදල් ලැබුණද බැංකුපොත් තිබි ඇත්තේ රාජ්‍ය නිලධාරීන් අතය. මුදල් පාලනය තමන්ට නොලැබීම ගැන නිවෙස්ලාභින් නොපහන් සිතිනි. බැංකුවේ සිට මුදල් ගමට ගෙන එනතුරුවත් නිලධාරීන්ට තිබී ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි.
 

පාසල ඇත්තේ 11 වසර දක්වාය. සරසවි දක්වා මෙතෙක් ගොස් ඇත්තේ එක් සිසුවියක් පමණි. කලෙක සිට පාසලේ පිරිමි දරුවන් අඩුව ඇත්තේ පාසල් දිනවලත් යකඩ වෙළෙදාමේ යෑම නිසාය. අඩුවයසින් මුදල් ඉපයීමට පටන් ගැනීම හා එයට ලොල්වීම නිසා   පාසල හැරයෑම බරපතල ප්‍රශ්නයක් බව පාසල් බලධාරීන්ගේ මතයයි.
 
 
අප යන දිනයේ ගමේ පාසලේ විදුහල්පති නොසෑහෙන්න අවුලෙනි. ඒ මෙවර සාමාන්‍යපළ විභාගයෙන් වැඩිම සමත්කමක් දැක්වීමට සිටි සිසුවිය පෙම්වතකු හා රහසේ ගමෙන් පිටමන් වීමයි. ඇය සිටි පන්තියේ දරුවන් කීවේ හත වසරේ සිටම තම පන්තියේ දැරියන් පස් දෙනෙකුම මෙසේ ගිය බවය. නාරම්මල පොලිසියේ කාන්තා හා ළමා කාර්යංශයද ගමේ රාජ්‍ය නිලධාරීන්ද ළමා විවාහ වැඩිබව පිළිගනී.
 
 
කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් ඩී පී. එස් කුමාර  
 

"බාල වයස්කාර විවාහ නිසා මව්පියන්ට විවාහ සහතික නැහැ. ඇතැම් දරුවන්ට උප්පැන්නත් නැහැ. අඩු වයසින් පාසල් හැරයන පිරිස්, ළමා මව්වරුන් වැඩිවීම් වැනි ගැටලු තියෙනවා. ඔබ මේ විමසන අවස්ථාවෙත් අපේ කණ්ඩායමක් නොවිධිමත් අධ්‍යාපන කාර්යාලය හා එක්ව ගමට ගිහින් ලියාපදිංචිකිරීම් ඇතුළු වැඩසටහනක් කරනවා. අපට යොමුවන හෝ අපේ නිලධාරීන් දැනගන්න ගැටලු ගැන අපි මැදිහත්වීම් වෙනවා."
 

කුලියාපිටිය ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක එස්. පී එස්. සමරවීර පවසන පරිදි මෙම ගම්මානයට දිනකට ඉහළ ආදායමක් ලැබෙන අතර මූල්‍ය කළමණාකරණය දුර්වලය.
 

“මේ දවස්වල අබිලි ද්‍රව්‍යවල මිල ඉතා ඉහළයි.  දිනපතා ගේන ඒවා එකතු කරන ගමේ හෝ පිට සිටින ව්‍යාපාරිකයින්ට  අලෙවි කරෙනවා. දිනපතාම ලොකු ආදායමක් ලැබෙනවා. පරිසර දූෂණය,  පාසල් දරුවන් පාසලෙන් ඈත්වීම, දුරාචාරය වැනි සෘනාත්මක බලපෑම් වැඩියි.  උපයාගත් සියල්ල වියදම් කිරීම් බහුලව දක්නට ලැබෙනවා. මුදල් කළමණාකරණය, ඉතිරිකිරීම්, ආයෝජනය වැනි දෑ වැඩිදෙනකුට නුහුරුයි. ඒ සදහා රාජ්‍ය මැදිහත්වීම තව වැඩිවිය යුතුයි.
මේ ගමට පමණක් ප්‍රශ්න පිට ප්‍රශ්න ඇතිවන්නේ ඇයි?
 
 
PHOTO 2022 11 08 12 13 36
 

ගමේ නිවාස 190න් 50ක් පමණම පැල්පත්ය. එසේනම් සියයට 25කට ආසන්න ප්‍රමාණයක් ඉතා දිළිදු තත්ත්වයට ගොදුරුව ඇත. වැසිකිළි හා ජල ප්‍රශ්නද ඔවුන්ට පොදුය. ඔවුන් දිනපතාම ආදායම් ලබන්නන්ය. රජයේ ආධාරද අඩු නැත. එහෙත් වියදම් වැඩිය. මූල්‍ය කළමණාකරණය අඩුය. දෙනික ණය වලට දැඩිව ගොදුරුව ඇත.
 

දැඩි  සමාජ ප්‍රශ්න ඇතිව ඇත්තේද මෙම පවුල්වලය.
 
 
නොදැනුවත්කමද? නොඑසේනම් වෙනත් ගැටළුවක්ද?  
 

අබිලි ව්‍යාපාරයට පියා වෙනුවට යෞවනයකුව දිනක් ගියහොත්  ඔවුන් පාසල් නොගොස් ඒවාට දිගටම යන්නේය. මෙය කලෙක පටන් පවතින ගැටලුවකි. 2017 දි සිසුන් 19ක් පාසල අතරමගදි හැරගොස් ඇත. දැන් එය අඩුවුවද තවමත් නතරවී නැත. මෙම ගමෙන් සරසවිය දක්වා සුදුසුකම් ලබා ඇත්තේ එක් අයෙකු පමණක් වීම අධ්‍යාපන අතරමග නැවතීමේ ගැටළුවට මනා උදාහරණයකි. ගමේ බොහෝ මව්පියවරුන්ගේ අධ්‍යාපන හැකියාව පහළය. එය රැකියා මට්ටම් අනුවද පෙනීයන්නකි. රජයේ නිලධාරීන් සිටියද ඒවා සුළු රැකියාවලට ලැබුණු දේශපාලන පත්වීම්ය. එම අයගෙනුත් ඇතැමුන්ට පෙරකී නිවාස,වැසිකිළි, ජලප්‍රශ්න පොදුය.


දැරියන්ගේ ළමා විවාහ, යොවුන් දරුවන් පාසල් යෑමට මැලි වීම, පවුල් සංස්ථා බිදවැටීම්, සිරගතවීම්, යනාදිය බොහෝමයකට මත්ද්‍රව්‍ය ගැටලුව බලපා ඇත. මේ ගැන රජයේ නිලධාරීන් පැවසුවද එය මාධ්‍යයක පළ කරනවාට කැමති නැත. නිවාස ඉදිකිරීමේදි නිවෙස්ලාභින්ට සල්ලි පාලනය නොදී ඇත්තේද එනිසාය. නමුත් ඒ බව එළිපිට කීමට කිසිවෙක් නැත.
 
 
මානාව නිරන්තරව සරසවි සමීක්ෂණයන්ට ලක්වන ගමකි. මේ එලෙස සමීක්ෂණ සිදුකළ (නම හෙළිකිරීමට අකමැති) කීපදෙනෙකුගේ අදහසකි.  ගමේ මත්ද්‍රව්‍ය විකිණීම, අලෙවිය ජයටම වෙනවා. හවසට බලන්න ඕනා පිටතින් එන මිලදී ගන්නන්. ගමේ ඇබ්බැහිවුණ පිරිමින්ගෙන් වැඩිහරියක් වාරියපොල බන්ධනාගාරයේ හිටියේ අපි හිටිය කාලේ. එක් වතාවක් අසල ගමක තරුණ පිරිස් එකතුවෙලා ගමට හවසට එන්නන් සියල්ලන් නවත්තලා සැක අය අල්ලලා පොලීසියට භාර දුන්නා. ඒ බොහෝ අය ආවේ මත්කුඩු ගෙනියන්න. ගමේ පිරිසක්  මේකට විරුද්ධව ඉන්නවා. කොටසක් මේ ප්‍රශ්නය මතු වෙනවාට කැමති නැහැ. විවිධ බලපෑම් නිසා කොයිකවුරුත් කතා කරන්න මැලි වෙනවා.
 
 
 
ගෙදර පිරිමියා දිගු කලක් හිරේ ගියාම කාන්තාවන් අසරණ වෙනවා. ඔවුන් එක්කෝ වෙන කවුරුහරි එක්ක දීග කන්න බලනවා. නැත්නම් දරුවන් පාසල් හැරදමා රැකියාවලට යනවා. දැරියන් පවුල් වෙනවා. ගමේ මිනිස්සු හැමෝම හොදට හම්බ කරන අය. නූගත්කම වැඩියි. සල්ලි පාලනය කරන්න දන්නේ නැහැ.
 

පොලීසිය මෙතනදි හරියටම වැඩ කළානම් මත්ද්‍රව්‍ය ප්‍රශ්නය මෙලාහකට නැවතිලා. ඒ අයටත් චෝදනා තියෙනවා හවසට ඇවිත් අල්ලස් ගැනීම් ගැන. තෝරු මෝරු ඉතිරි වෙනවා. හාල්මැස්සන් අහුවෙනවා. ගැටලුව තියෙන්නේ එතන. ඒකට පිළියම් කළොත් අනික්වා සේරම විසදන්න පුලුවන්.
 

විසදියයුත්තේ කෙසේද?


නාරම්මල පොලිස් කොට්ඨාශ බොහෝමයක මත්ද්‍රව්‍ය ප්‍රශ්නය බහුලව තිබු අවධියක ස්ථානාධිපතිව සිටි වත්මන් සහකාර පොලිස් අධිකාරිවරයකු වන නාමල් පෙරේරා මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට දැඩිව ක්‍රියාකළඅයෙකි. ඔහු සේවයට එන අවධිය වන විට මානාවේ පැවත ඇත්තේ වැටලීමට එන නිලධාරීන්ට පහර දෙන තත්ත්වයකි. තිබී ඇත්තේ ගමට නිලධාරීන් නොයන තත්ත්වයකි. එම අත්දැකීමටද ඔහුද මුල් වැටලීමේදිම මුහුණ දුනි. කැතිපොලු මුගුරු රැගෙන පැමිණි ගම්වාසීන් මෙල්ල කරගත් ස්ථානාධිපතිවරයා කෙටි කලකින්ම ගමේ මත්ගැටුමට තිත තැබීමට බොහෝ පියවර ගති. 2016 සිට ඔහු සිටි වසර තුනේදි ගමේ පිරිමි රැසක්ම පුනරුත්ථාපනය කර ඇත. ඔවුන්ගෙන් බහුතරයක් නැතිබැරි පවුල්වල අයය. ගම හා බැදුන පාතාල ජාලයක් ඇතැයිද කියවේ. එය ගැන අපට ස්ථිර තොතරතුරු නැතත් ස්ථානාධිපතිව ඝාතනයට බන්ධනාගාරයේදීම සැලසුම් සකස් කළ බවක්ද කියවුණි.
 
 
නමුත් දැන් පෙර තත්ත්වයටම පැමිණ තිබීම ගැටලුවකි. දිගුකාලීන ක්‍රමවේදයක් නොතිබු නිසා පැවති ක්‍රමබිද වැටිලාය‍. පොලීසියට චෝදනා එමටය. පොලිසියේ පාර්ශවයෙන් අල්ලස් චෝදනා ප්‍රතික්ෂේප කළද තවමත් මත්ද්‍රව්‍ය ප්‍රශ්නයක්ව ඇති බව පිළිගනි.      
 
 
වාර්ෂිකව සරසවිවල සමීක්ෂණ වාර්තා සියල්ල ප්‍රදේශයේ සියලු රාජ්‍ය ප්‍රධානීන්ට යොමුකර දිගුකාලීන ක්‍රමවේදවලට යාහැකි බව සමීක්ෂණ උපදේශන නිලධාරීන්ගේ අදහසයි. ගමේ රාජ්‍ය නිලධාරීන්ට නොපවසන දෑ විවෘතව එකී සිසුන් හා බෙදා ගැනීමට ඔවුන් කැමතිය.
 

එසේනම් කළ යුත්තේ සැබෑ ප්‍රශ්නය ගැන සොයා ඊට නිසි පිළියම් යෙදීම මිස පය බර වායට පිටිකර බෙහෙත් බැන්දා සේ ප්‍රශ්නයට ගොදුරුවු අය ඇල්ලීම හෝ ලොල්වුවන් පුනරුත්ථාපනය හෝ කුල මතවාද පෙරට දමා හංවඩු ගැසීම හෝ මැතිවරණ සමයේදි ඇමදී අල්ලාගැනීම නොව ඔවුන්ට ඒ නාරාවලෙන් ගොඩට ඒමට අතහිත දීමය. ඒ සදහා ලබාදියයුත්තේ ඇමක් නොව බිලීපිති හා කොකුය.

 

සටහන සහ ඡායා : පුෂ්පා වීරසේකර

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image