‘දියවන්නා කුමාරියේ’ නම් ගීතය මා කිසිදාක උනන්දුවෙන් නෑසූ ගීතයකි.
මුලින්ම එය ඇසුණේ වසර දෙකකට පමණ ඉහත ‘වොයිස් ටීන්’ රියැලිටිය ජයගත හෂේන් දුලාංජන නම් ගැටවරයා එය විඳිමින් ගයන විට ය. මා ගීතය ඇසුවේ නැත. එය මා සවන් පැහැර නොගත්තෙන් සිත් පැහැර ගත්තේද නැත.
එය ‘නාද’ විසින් හදා ඩඩා ගත් ගීතයක් බව මා දැන ගත්තේ නාඩගංකාර මනමාලන් වූ කෝකිල පවන් නම් දක්ෂ තරුණ ගයුවා එය දෙරණ ටෙලිවිශනයේ ‘මා නොවන මම’ සඳහා ගයන විට ය. ඔහුගේ ගැයුම් අතිශය උනන්දුකාරක වුව දියවන්නා කුමාරිය එවරද මා සිත් පැහැර ගත්තේ නැත. ‘නාද’ නඟන අලුත් පන්නයේ නාදයන්ට මා කැමැත්තේ නමුත් මේ ගීතය නඟන නාද මා සිත් ගත්තේ නැත. තවමත් එහි වෙනසක් නැත.
නව සම සමාජ පක්ෂයේ නායකයකු වන ඥානසිරි කොත්තිගොඩ සහෝදරයා මෑතක මගෙන් මේ ගීතය ගැන ඇසුවේ ය. ඔහුට එක්වරම දීමට උත්තරයක් මා සතු නොවුණි. මා පළමු වරට ඒ ගීතය උනන්දුවෙන් ඇසුවේ එදා ය. කොත්ති නිවැරදි විය. ඒ වනාහී අන්තිම විසකුරු ගීතයකි. ඒ ගැන හිතන්නටත්, හොයන්නටත් සිතුණේ ඉනික්බිත්තේ ය.
ශෂී ප්‍රභාත් රණසිංහ මිත්‍රයා ‘ලංකාදීප’ වෙබ් අඩවියට’ ලියන ‘ගී විනිස’, ‘දියවන්නා කුමාරිය’ වෙනුවෙන් වෙන් කර තිබුණේ මේ අතරතුර ය; ඉකුත් ඔක්තෝබර අග ය.
ඔහුගේ කියැවීමට අනුව ‘දෙරණට හඳ පළුව එබෙනවා’ යන්නෙන් රචකයා අදහස් කරන්නේ ක්‍රමයෙන් රට වෙළා ගැනීමට බලන විදෙස් ආක්‍රමණයි. සංයුක්ත අදහසක් දනවන ‘සඳ පළුව’ බඳු සංකේතයක් මෙසේ ව්‍යුක්ත බවට පෙරළන්නට, එය විශ්ලේෂණයෙහි එළඹෙන්නන් වලිකන්නේ ඇයි ? සංයුක්ත සංසිද්ධියක්, ඉන් මුදවා පොදු සන්දර්භයක තබා විග්‍රහ කිරීමට තටමන්නේ ඇයි ?
ඉකුත් පෙබරවාරියේ පළමුදා ස්වර්ණවාහිනියේ "මාත්‍රා" වැඩසටහනට එක්වූ ‘දෙවැනි පරපුර’ නිර්මාතෘ උවිඳු විජේවීරගේ අවිඥානය ‘දියවන්නා කුමාරිය’ පිළිබඳ වංගු ගසයි. ඔහු එහිදී මෙසේ පවසයි. ‘’මේ කවියා මේක ලියන්නෙ සහරාන්ලා වුණත් අන්තවාදී වෙන්න බොහෝ කලකට කලින්. ‘දෙරණට සඳ පළුව එබෙනවා’ කියන්නෙ ගෝලීය වශයෙන් තියෙන ව්‍යාප්තවාදයක් මේ රටට එන්න පුළුවන් කියන එක ඔහු දකිනවා’’
‘දෙවෙන පරපුරේ’ නිර්මාතෘ, මහා දෙමළ සංහාරයෙන් පසු ‘බොදු බල සේනා’, ‘නව සිංහලේ’, ‘මහසොහොන් බලකාය’ බඳු අන්තවාදී සිංහල ක්‍රියාන්විතයන් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව වසර ගණනාවක් තිස්සේ ගෙන ගිය ප්‍රහාර රැල්ල සහ අඛණ්ඩ හිංසනය නොදන්නා තරම් දේශපාලන උක්කුං බබෙක්ද ?
මුස්ලිම් භීතිකාවේ මෑතකාලීන ලකුණු නිශ්චිතවම කලඑළි ගැන්වුණේ 2012 වසරේදීය; නැගෙනහිර පළාතිනි. 2014 වන විට එය ‘අබ සරණින්’ ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය විය. අලුත්ගම, බේරුවල, දර්ගා නගරය හරහා ප්‍රචණ්ඩත්වය ඝාතනයන් දක්වා දිග්ගැස්සෙමින් තිබිණ. රාජ්‍ය අනුග්‍රහයෙන් මුදාහළ ප්‍රචණ්ඩත්වය නිසා ආණ්ඩු පෙරළියකට පවා මඟ පෑදුණු බව දැන් යහපාලන ආප්ප බාස්ලාට පවා අමතක ය. රට තුළ වර නැඟෙමින් තිබි වාර්ගික අගතීන් අහෝසි කර සංහිඳියාව ගොඩනංවන බවට ප්‍රතිඥා දුන් යහපාලන සුදු අලියා යළි මහා දවාලේ දේශපාලන නරා වළට ඇද වැටිණ. කෙමෙන්, රට පුරා පලින් පල වඳ පෙති, වඳ කොත්තු, වඳ තිසර පට, වඳ ජංගි මතු වන්නට පටන් ගති.
දියවන්නා කුමාරිය මතු වී එන්නේද මෙම ‘සිංහලයා’ වඳ කිරීමේ මුස්ලිම් භීතිකාව තුළ යැයි එම නිර්මිතයේ කාල රාමු විශ්ලේෂණයෙන්ම පමණක් වුව සාධනය කළ හැකි ය. එබැවින් මේ ගීතයේ විසකුරු අර්ථය පිළිබඳ පාදානුගත විශ්ලේෂණයක් අත්‍යවශ්‍ය නැත. කොටින් ම එය, මුස්ලිම් විරෝධය පිණිස දකුණේ සමාජය තුළ හට ගත් සංසිද්ධි, ඉරේෂ් වන්නකුකෝරාල නම් ස්වීස්වාසී තරුණයාගේ පරිකල්පනය ලෝකය තුළ පුපුරා යාමක් පමණකි.
මගේ කියවීමට අනුව ‘නාද’ විසින් සිදු කෙරුණේ පොදුවේ රට තුළ තිබුණු මුස්ලිම් භීතිකාව කූටක ලෙස කොල්ලකමින් තමන්ගේ සිංහල-බෞද්ධ රසිකත්ව පදනම තහවුරු කර ගැනීම ය. එය මේ වන විට මිලියන 10ක ‘වීව්ස්’ ලැබූ විශ්මිත ගීයකි. එය නො ගැයෙන රියැලිටි වේදිකාවක් නැත; ප්‍රසංගයක්, සාජ්ජයක් නැත; ‘කවර්ස්’ පවා අප්‍රමාණ ය. එ මතු නොව එය මේ වන විට, බෝතල් ලෙළෙන, බේබදු අවන්හල්වල මේස පළමින් ගැයෙන ‘බිම්බරක් සෙනඟ’ පන්නයේ ජාතික කැක්කුම අවුළුවන සොමිබර ‘ගී මිණකි’. මෙම අතිශය විසකුරු සිංහල බෞද්ධ ගීතය අරගල භූමියේ ගැයෙයි. ජන නියමු කලාකරුවන් ගහන ජාතික ජන බල වේදිකාවේ ගැයෙයි. කලාව හරහා දෘෂ්ටිවාදය වැඩ කරන්නේ එහෙම ය.
ගීතය නඟන මූලික ධාරණාවෙන් පීලි පන්නවා එය පහදන්නන් කියන්නා සේ, දියවන්නා කුමාරිය නම් වූ පාර්ලිමේන්තුව නිදි නැත. ත්‍රස්ත පනත ඈ වූ මර්දන පනත් ලෙළවමින් ‘සහන ගෙනෙන’ සෙයියාවෙන් දෛනිකව ජනතාව පීඩාවට පත් කිරීමට පේ වුණු තැනක් බවට අධිනිශ්චය වෙමින් තිබේ.
‘දියවන්නාවට’ අමතරව මෙහි දරුණු සංකේත කිහිපයක් ම මෙහි තිබේ. සඳ පළුව ය; වාමනයින් ය; තක්ෂිලාව ය; දළ දිළිසෙන හස්තීන් ය; පත්තිනිය ය.
සඳ පළුව මෙයාකාරව දෙරණට එළැඹීම බියකරු ය. එය මර්දනය පිණිස අණ පනත් වහ වහා සම්මත කර ගත යුතු ය. නමුත් අණ පනත් සැකසෙන කුමාරිය මාරාන්තික නිද්‍රාවක ය. කලක්, දේශයේ මුර දේවතා එළි ලෙසින් හැඳින්වුණු වාමනයෝ, මර්දනය දියත් කරනු වෙනුවට නිද්‍රාවට චාමර පවන් සල සලා පහසුකම් සපයන්නා හ. කොටින්ම ගීතානුසාරීව මේ දක්වන්නේ, ‘සඳ පළුවේ’ බියකරු බව මර්දනය නො කර ආරක්ෂක හමුදාවන් කටපුක වහ ගෙන බලා ගෙන ඉන්නවාට විරෝධයකි. මොන තරම් බිරකරු අදහසක්ද ? මොන තරම් විසකුරු ‘කලාත්මක’ ප්‍රවේශයක්ද ?
‘තක්ෂිලාව’ යන සංකේතය, ඉස්කෝලය යන අර්ථයෙන් හුරතලේට ගන්නට නො හැකි ය. තක්ෂිලාව යන්න බරපතළ සිංහල බෞද්ධ ධූරාවලියෙහි අධිනිශ්චය වුණු ප්‍රභූවර සංකේතයකි. තක්ෂිලාව යනු බ්‍රහ්මණ හෝ ක්ෂත්‍රිය කුල දරුවන්ට යුද්ධය හා දේශපාලනය කියා දුන් මර්මස්ථානය යි. හඳ පළුව ආක්‍රමණය කරමින් සිටින්නේ එවන් වූ වපසරියයි.
දළ දිලිසෙන හස්තීන් සිටින්නේ දන්ත ධාතු ලූ කරඬුව පිණිස ය. බරපතළ ම සිංහල-බෞද්ධ සංකේතය එය යි. දළ දිලිසෙන හස්තියා නිද්‍රාවට පත් කිරීම වූ කලි සිංහල බෞද්ධ සංස්කෘතියට, පදනමට කෙළවීම යි. හස්තීන් සෙත්තපෝච්චි කර, බෞද්ධයා නට්ටම් කර, ස්වර්ගීය දෙවියකු එතැනට ආදේශ කිරීම සඳ පළුවේ ආක්‍රමණ අරමුණ යි.
මේ සියලු සංකේත සන්දර්භගත කර ඇත්තේ සිංහල - බෞද්ධ අධිනිශ්චය වීමට අනුගතව ය. එය දේශපාලන විරෝධාකල්ප ගීයක් සේ පෙන්වන්නට වැරහැලි ගැන්වුවද ඉන් වහනය වන ජාතිවාදී දුගඳ ක්‍රමයෙන් සමාජය වටහා ගනිමින් සිටින බව අවධාරණය කරමි.
‘නාද’ වෙතින් ආ යෝජනාවට අවනතව එය ඔවුන් අතට භාර දුන් ඉතිහාසය මෙනෙහි කරමින් ඉරේෂ් වන්නකුකෝරාල ‘මව්බිම’ පත්තරයේ ‘හද ගැස්ම’ට මෙසේ කියයි. ‘’මේ යෝජනාව ගැන මටත් එකපාරටම හිතා ගන්න බැරි වුණා. නමුත් මම මේ ගීතය නාද සංගීත කණ්ඩායමට භාර දුන්නා. මොකද මට අවශ්‍ය වුණේ ඒ ගීතය සමාජගත කරන්න. ඒ දේ නාද සංගීත කණ්ඩායම හොඳටම කළා’’
ඔව්, ‘නාද’ තමයි හොඳටම කෙරුවෙ.
(මංජුල වෙඩිවර්ධන)
(බල්සාක් කැෆේ - 2022 නොවැම්බර් 13 අනිද්දා පුවත්පත )
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න