ෆේස් බුක් යනු අතිදැවැන්ත ගෝලීය පාර-ජාතික සයිබර් සමාගමකි. සයිබර් සමාගමක් යන්න නූතන යථාවාදී විචාරකයින් විසින් අර්තකථනය කරගනුයේ

මහපොළවේ නැති සංකල්පීය අහසක පාවෙන සමාගමක් විලසට යි. මන්ද මින් පෙර පැවති නූතන ලෝකයේදී වෙළඳ ව්‍යාපාරයක් යැයි කී කල, එහි ප්‍රධාන සහ කේන්ද්‍රීය සාධකයන් වූයේ භූමිය, ධනය (නිෂ්පාදන උපකරණත් මීට අයත්), ශ්‍රමය සහ ව්‍යවසායකත්වය වැනි දේවල්.


නමුත් නූතන නිෂ්පාදන උපකරණුත් ඉක්මවා ගොස් ඇති නව සැටලයිට් තාක්ෂණය මත පදනම් වූ සමස්ත තාක්ෂණ උපරකරණ පද්ධතිය නිසා, මේ වන විට ලෝක ආර්ථික තත්වයෙහි වෙනසක් සිදුවී ඇති බව අමුතුවෙන් නොකිව මනාය.


මතුපිටින් ගත් කල ෆේස් බුක් වැනි සමාගමකට භූමිය එතරම් වැදගත් සාධකයක් වන්නේ නැත. නමුත් එහි ෆෙන්ඩ් ලිස්ට්වලට ඇතුළත්වී සිටින පාරිභොගිකයන් සියළු දෙනා තවමත් මහපොළවක් මත හුස්ම ගනිමින් එයින් ම ආහාර සහ අනෙකුත් භෞතික සම්පත් සපයාගනිමින් ජීවිතය ජීවත් කරවන හෙයින් පොළවක් නැතුව ෆේස්බුක් එකට ද පැවැත්මක් නැත.


ඒ නිසා බැලූ බැල්මටම එය අවකාශයක පා වෙතත්, ඒෆ් බී එක ද මහපොළවක දිවිගෙන මනුස්සයින්ගෙන් යැපෙන සමාගමක් බව පසු-නූතන විචාරකයින් සහ බුද්ධිමතුන් තෙරුම්ගත යුතුව ඇත.

 

fb


මේ වන විට ෆේස් බුක් එක යනු ජාතික රාජ්‍ය ව්‍යවස්ථාවකට යටත් කළ නොහැකි සයිබර් වෙළඳ ව්‍යාපාරයකි. සරලව කිවහොත්, ෆේස් බුක් එක අති-නූතන බිස්නස් එකක්. එනම් නූතනත්වය තුළ අපි අත්දුටු බිස්නස්වලට වඩා ජාතික රාජ්‍යයෙන් පිටතට පැන ජාතික රාජ්‍ය තුළ කොටුවූ ජනයා සූරාකන කොම්පැනියකි. එමනිසා ෆේස් බුක් එක නූතන ලොක්යේ දී බිස්නස්වල නියුතු වූ සමාගම්වලට වෙනස් වූ සමාගමක් බව සැබෑවකි.

 

මේ ගෝලීයකරණය යනු අමුතුම එකකි. එය පූර්ණ-ගෝලීයකරණයක් නොවන්නකි.

 

බහුජාතික හෝ පාර-ජාතික ආයෝජකයාට ඕනෑම දිසාවක පවතින ජාතික රාජ්‍යයක් තුළට ගොස් ආයෝජනයන් කර උපයාගෙන, තම සුරාකෑම අහවර වූ පසු හෝ තත්වයන් නොසන්සුන් වූ විට ඉන් ඉවත්ව යා හැකිය. මන්ද එකී සමාගම් රාජ්‍ය ව්‍යවස්ථාවේ නීතිරීති වලට මුළුමනින් යටත් නැති නිසාවෙනි. ඒත් ශ්‍රමිකයාට තමන් කැමති පරිදි තමන් කැමති රටකට ගොස් ශ්‍රමය දී ඉන් ඉවත්ව යා නොහැකිය. මන්ද ශ්‍රමිකයා ජාතික රාජ්‍ය ව්‍යවස්ථාවක පවතින සියළු දණ්ඩ නීති වලට යටත් වී ජීවත් වෙන්නට බලකර ඇති නිසාය. ඒ නිසා මේ ගෝලීයකරණය ආයෝජක ධනපතියාට අයිති වූ ගෝලීයකරණයක් විස ශ්‍රමිකයාට අයිතිනැති ඒක පාර්ශවීය වරප්‍රසාද ලබාදෙන අසාධාරණ ගෝලීයකරණයකි.


මුදල් ඉපැයීම හෙවත් අතිරික්ත ප්‍රාග්ධන සමුච්චකරණයේ දී රටරටවල්වල නිෂ්පාදනාගාර පිහිටුවා භාණ්ඩ හෝ ඒවායේ කොටස් පිෂ්පාදනය කරන බහු ජාතික සහ පාර-ජාතික සමාගම් සේ ම, මුළුමනින් ම සයිබර් අවකාශයේ සිට මෙහෙයෙවනු ලබන එෆ් බී එක, ඇමසන් ඩොට් කොම් එක නෙට්ෆිලික්ස් එක පන්නයේ සමාගම් ද මේ වන විට ලෝකයේ මහා ධනස්කන්ධ උපයන ව්‍යාපාර බවට පත්වී ඇති බව පිළිගතයුතුව ඇත. එහෙත් එම අදිසි තත්වය මත පිහිටා ලොව පුරා පවතින්නේ පාර ජාතික සමාගම් පමණැකැයි කියාපෑම කොතරම් නම් අමනෝඥ්ඥ ද? කෙතරම් යතාර්ථ විරෝධී ද?

 

unitednationalparty

 

අනෙක, ශ්‍රී ලංකාව වැනි ඌන-සංවර්ධිත රටක දී, පාර-ජාතික සමාගම් හා සම්බන්ධ ආයෝජනයන්හි යතාර්ථය අපට වාසි සහගත ලෙස යොදාගන්නේ හෝ නොගන්නේ කෙසේදැයි නොපවසා, එය පදනම් විරහිතව අනුගමනය කළ යුතු එක ම යතාර්ථය ලෙසත්, ඊට උරදිය හැකි එක ම විකල්ප දේශපාලන සංවිධානය එජාපය ලෙසත්  බාරගැනීම හැර අන් මගක් නොමැති බව සිතීම සහ පැවසිම මානව සංහතියේ නිර්මාණශීලීත්වයට කරන්නා වූ කෙතරම් නම් නිග්‍රහයක් ද?

 

ලීඩර් වෙබ් අඩවියේ ගෝලීයකරණය සම්බන්ධයෙන් පලවන ලිපි (විශේෂයෙන් විසංකාරයාගේ කොලම යැයි කියන අමුතු විග්‍රහය) ඉලක්ක වන්නේ, ගෝලීයකරණයෙන් යෝජිත යතාර්ථයට එකඟ වනු හැර වෙනත් තෝරාගැනීමක් නොමැති බවත්, දේශපාලන බලවේගයක් වෙනුවෙන් ඊලඟ චන්දය ප්‍රකාශ කිරීමේදී එජාපය හැර වෙනත් විසඳුමක් රටට නොමැති බවත් උලුප්පා දක්වන්නට ය.

 

anura patali fonseka

අනුර - පාඨලී - ෆොන්සේකා

 

ඒ බව හැඟී ගිය නිසාවෙන්, විසංකාරයා විසින් පහරදීමට ලක්වන පාර්ශවන් වන විකල්ප බලවේගයන් (විශේෂයෙන් අනුර, පාඨලී සහ ෆොන්සේකා සම්බන්ධිත ව්‍යුහ) තුළ පවතින සාධනීය පැතිමාන ලීඩර් පාඨකයා වෙත හෙළිදරව් කරන ලිපි පෙළකින් පාඨකයින් දැනුම්වත් කරන්නට තීන්දු කළෙමි.


ලීඩර් වෙබ් අඩවියේ යන මේ ලිපි තුළ ගෝලීයකරණය පිලිබඳ කියාපාන විශ්ලේෂන සහ අර්ථකතන යම් වටිනාකකමක් දරන බව මේ ලියන ලියුම්කරු පිළිගත්ත ද, ගෝලීයකරණයේ කේන්ද්‍රීය රටවල් අපට යෝජනා කරන ප්‍රතිපත්ති වලට අවනත වන්නටත්, එජාපය රටේ ඊළඟ ආර්ථික විකල්පය ලෙස තෝරාගන්නටත් කියමින් මහජනයා වෙත කරන අනිසි බලපෑම පිටුදැකිය යුතු බව ප්‍රකාශ කළ යුතුව ඇත!


ඒ නිසා ලීඩර් කතෘ මණ්ඩලය විසින් විසංකාරයා සහ එකී දෘෂ්ටියට ම සමාන මත පලකලා වූ සියළු ලිපිවලට දුන් ඉඩට සමාන මාධ්‍ය ඉඩක් මා මේ ගෙනහැරපාන ඊට ප්‍රතිවිරුද්ධ මතය වෙනවෙන් ද ලබාදෙනු ඇතැයි අපෙක්ෂා කරමි. එසේ නොකළහොත්, ලීඩර් වෙබ් අඩවියේ කතෘ මණ්ඩලය ද ගෝලීයකරණය සහ එජාපය පදනම් විරහිතව විකල්පයන් ලෙසින් භාරගත යුතුය කියා චන්දදායකයාට බලකරන ආන්තික මතයේ ම එල්බ සිටින සහ ඊට අනුබල දෙන පාර්ශවයක් ලෙස රටට හෙළිදරව් කිරීමට සිදුවනු ඇත.


ෆේස් බුක් ආයතනය විසින් 2020 වසරේදී ඉපැයූ මුළු ආදායම පදනම්කොට ගෙන ඒ වසරේ ෆේස් බුක් ආයතනය විසින් දවසකට උපයන අදාය ම ගණන් බැලූ කළ ඇමරිකන් ඩෙලර් මිලියන 236ක් බව තහවුරු විය. එය අද දවසේ ශ්‍රී ලාංකීය මුදලින් රුපියල් 85,046,895,200,000,00ක් තරම් වූ අතිවිශාල ධනස්කන්ධයකි. එනම් ඒෆ් බී එකේ වසරක ආදායමෙන් සුළු ප්‍රතිශතයක් වැය කිරීමෙන් ලංකාව වැනි රටක සියළු ණය තුරුස් ගෙවා දමා ලංකාවම මිලට ගැනිමට ද හැකිය. ඊට පරහකට ඇත්තේ තවමත් ආරක්ෂා වී පවතින ජාතික ව්‍යවස්ථා සහ අන්තර්-ජාතික නීතය පමණි.


විසංකාරයා කියන පරිදි ඉදිරියේදී මේ සියළු ජාතික සහ අන්තර්ජාතික නීති ලිහිල්වී බිහිවන ගෝලීය ව්‍යවස්ථාවයක් තුළ රටවල් පිටින් මිදී ගැනිමට පවා ඉඩක් පවතින බව මා ද පිළිගනිමි. ඒ නිසා ඊට කලින් ගෙවෙන ඉදිරි දශක දෙක තුළදී තමන්ගේ ගේම ගහගෙන ප්‍රාග්ධන කුට්ටියක් කඩා ගන්නා ජාතික රාජ්‍යවල භූමි පෙදෙස් එවායේ සශ්‍රිකත්වය අහිමි නොකරගෙනගැලවනු ඇත. ශ්‍රී ලංකාවට අන් කවරදාටකටත් වඩා ජවිපෙ අවශ්‍යව පවතින්නේ මෙන්න මේ ඓතිහාසික කාර්යභාරය සිදුකරවා ගැනීමට ය. 

 

එෆ්බී එක උපයන මේසාර මහා ධනස්කන්ධයෙන් සුළු ප්‍රමාණයක් හෝ ලොව කොහේ හෝ සිටින සාමාන්‍ය දුක්විඳින ජනයාට හෝ ලැබෙන්නට සිස්ටම් එකක් තවම නැත. පූර්ණ නූතන ධනේෂ්වර සමාජයක් තුළ නම්, ප්‍රාග්ධන හිමියා උපයන අතරික්ත ධනයහි ප්‍රතිලාභ ලබන්නේ ඒ ධනපතියාට ම බව කීවොත් නිවැරදිය. නමුත් එකී ආයෝජන සිදුවන්නේ ධනේෂ්වර ජාතික රාජ්‍යයක් තුළ බැවින්, ජාතික රාජ්‍ය පද්ධතිය නඩත්තු කිරීම සඳහා ජාතික සමාගම්වලින් සහ බහුජාතික සමාගම්වලින් පවා රාජ්‍යය ව්‍යවස්ථාව ප්‍රකාරව අතිරික්ත පාග්ධනයේ අයිතිකරු වන ප්‍රාග්ධන ආයෝජකයා හෙවත් ධනපතියා විසින් රාජ්‍යයට යම් අකාර බදු ගෙවීම් සිදුකළ යුතු ය. එම බදු මුදල් ජාතික රාජ්‍යයේ නඩත්තුවට සේම ආර්ථික පීඩනයෙන් මිරිකී සිටින නිර්ධන බහුතරය නැගී සිටීම වලක්වන්නට සුභසාධන සැලසීම උදෙසා යොදා ගැනේ.

 

එයින් ද කොටසක් කොමිස්කාරයින් සහ විගණන දූෂකයන් විසින් මගඩි ගැසී ම ද සිදුවීම පොදු ලෝක යතාර්ථයකි.


එහෙත් මා ගෙනහැර පාන ප්‍රවාදය මගඩි ගැසීම පිලිබඳ නොවේ. මිනිස් සිත්සතන් තුළ මගඩි ගැසීම මහා විශාල ප්‍රශ්නයක් වන්නේ, නූතන ධනේෂ්වර ආර්ථික නියාම ධර්ම පවා නොතකා මැදමුලනේ ගොයියන් සේ පොදු ජනයාට ඇති සුභසාධන පවා මගඩි ගැසීමේ “සාමාන්‍ය” ක්‍රියාපටිපාටිය සැලකූ විට ය.

 

Basil Mahinda


එනම් ඉවක් බවක් නැතිව මහින්ද-බැසිල් යුවල සේ වැඩි සියයට ප්‍රමාණයක් “අසාමාන්‍ය” ලෙස මගඩි ගැසීමට ගිය විට ඔවුන් ජනයා ඉදිරියේ නිර්වස්ත්‍ර වේ. නොඑසේ නම්, මගඩි ගැසීම ඉක්මවා ගොස් ආයෝජනය කරන්නට තියෙන ස්ථාවර-ප්‍රාග්ධනයෙන් ද කොටසක් ගසා කෑමෙන් පසු අතේ පැලවෙන බොරු ද දෙසාබාන්නට සිදුවෙයි. ඉතිං එසේ නොවී “සාමාන්‍ය පරිදි” වන මගඩි ගැසීම සිද්ධවනවා නම්, එය සිද්ධ නොවන දෙයක් සේ සලකා ජනතාවෝ එය අමතක කර දමති.


මාගේ තර්කය වන්නේ, ගෝලීයකරණයේ ඇති ආර්ථික ක්‍රියාවලිය සම්බන්ධයෙන් වග වන ස්ථාවර ගෝලීය ව්‍යවස්ථාවක් බිහිවී ලොව ප්‍රධාන ව්‍යවස්ථාපිතය ලෙස තහවුරුවී නැති වත්මන් තත්වය පිලිබඳ යි. එහිදී පවතින ගෝලීය ආර්ථික ක්‍රියාවලියෙන් බිහි කරන අතිරික්ත ප්‍රාග්ධන කිසිදු ජාතික හෝ පාර-ජාතික ව්‍යවස්ථාවකට වග නොකියන අතර, එයින් එකී අතිරික්තයෙන් අතිසුළු ප්‍රතිශතයක්වත් ලෝක සමාජ-සැකැස්මක් තුළින් බහුතර දුගී ජනයා නඩත්තුව නෙුවෙන් වැය කෙරෙන්නේ නැත.

 

කොටින් ම කිවහොත් බදු මුදල් අයකරනා තරමේ ගෝලීය-රාජ්‍ය-පරිපාලන පද්ධතියක් තවම නැත. එනම් මේ ගෙවෙන්නේ පූර්ණ-ගෝලීයකරණ අවදියක් නොවේ. ලෝක ආර්ථිකයේ පවතින අර්ධ-ගෝලියකරණ පද්ධතීන් සහ ජාතික රාජ්‍යය පද්ධතීන් එකිනෙක ප්‍රතිපක්ෂව පොරබදන යුගයකි. එනම් ලෝකයා සංක්‍රාන්ති යුගයක් පසුකරමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස ෆේස්බුක්, ඇමසන් ඩොට් කොම්, හෝ නෙට්ෆ්ලික්ස් වැනි ආයතන උපයන අතිදැවැන්ත ගෝලීය අතිරික්ත ප්‍රාග්ධනය ම ඒවා අයිති ධනකුවේරයින්ගේ ඇතුළු සුළුපිරිසකගේ පුද්ගලික වත්කමක් පමණක් බවට පත්වී, බදු අයකරගැනීමට පවා නොහැකි අර්බුදකාරී තත්වයක් ඇතිවී තිබේ. ඒ තුළ ලෝකයෙහි පෙර තිබූ ජාතික ධනකුවේරයා සහ නිර්ධනයා අතර තිබූ පරතරය සහ ආතතියටත් වඩා අසාධාරණ පාර-ජාතික ධනකුවේරයා සහ නිර්ධනයා අතර ආතතිය අති-තීව්ර වෙමින් අනාගත පිපිරීමක් කරා යොමුගත වෙමින් පවතී. (මා දන්නා තරමින් විසංකාරයා මේ සබෑව නොදැන සිටින්නට විදිහක් නැත.)

 

එහිදීි අප්‍රික්‍රාව, ලතින් ඇමෙරිකාව, මැදපෙරදිග, නැගෙනහිර ආසියාව සහ දකුණු ආසියාවේ ඇති පරිවාර රටවල්වල ජාතික ආර්ථික පද්ධතීන්ට, ගෝලීයකරණයට මුළුමනින් නතුවන්නටැයි කීමත්, ඒ රටවල පවතින එජාපය වැනි කොම්ප්‍රදෝරු ධනපති පක්ෂ පූර්ණ විකල්ප බලවේගයන් ලෙස භාරගන්නටැයි කීමත් තාවකාලික නාඩගමකට කත් ඇදීමක් පමණකි. එය ගෝලීයකරණයේ නව-ධනේෂ්වර හාම්පුතුන් විසින් ගෝලීයකරනයේ නව-ඒජනතයින් වෙත දන්වා එවා ඇති තෝරාගැනීමකි. එය කෙන්ද්‍රයේ රටවල න්‍යාය පත්‍රයන්ට පමණක් සේවය කරනු ලබන තෝරාගැනීමකි. විසංකාරයා උඩදාන රනිල් ඒ තොරාගැනීම කරන්නටැයි කියා රටට බලකරන ගෝලීය එජන්තයා ය.


විසංකාරයාට මගහැරී යන සාධකය වන්නේ, ඔහුම ප්‍රකාශ කරන සැටලයිට් තාක්ෂණයේ ගොදුරක් වූ ලෝක නිර්ධනයා ය. යමක් යතාර්ථය වූ පමණින් එය මුළුනින් බාර ගන්නට යැයි පවසන්නට තරම් විසංකාරයා නිෂේධ බලයක් හිමිවූයේ කොහෙන් ද? ඔහු ගෝලීයකරණය පිළිබඳ හදාරා තිබීම සහ එහි දැනුමින් පොහොසත් වීම ඔහු කියන ඕනෑ ම දෙයක් එහෙයියන් ලෙස ජනයාට භාරගන්නට සිදුවන ඔහුගේ වරදානයක් වූයේ කෙසේද?


ෆේස් බුක් ආයතනය ජාතික රාජ්‍යයක ව්‍යස්තාපිත නීතී රීතිවලට අයත් ජාතික හෝ කලාපීය සීමාවක පවතනින බිස්නස් එකක් වූවා නම්, දැනට දවසකට උපයනවාය කියන යටකී රුපියල් 85,046,895,200,000,00ක අදායමෙන් සීයට 05ක්වත් උපයගන්නට හැකි නොවන බව මා ද පිළිගනිමි. නමුත් මෙබඳු කරුණු උගෙනගත් විගස බොහෝ උදවියට තනි රටක් තුළ බිස්නස් කර ප්‍රයොජනයක් නැතැයි සිතීමට පෙළඹෙන ඇත. එයිනුදු එහා ගොස් තනි රටක් තුළ කරන්නට ඇති බිස්නස් එකක් නැතැයි සීතීමට පුළුවන. ඒත් ඒ සිතිවිලි අතර උගුලකි. මන්ද අප දිවි ගෙවන්නේ ෆේස් බුක් එකක් මත නොව ශ්‍රී ලංකා පොළව මත බව විසංකාරයා සිහි එළවා ගත යුතුය.


විසංකාරයණි, බටහිර කෙන්ද්‍රයේ පවතින සංවර්ධිත රටවල් දෙස බලන්න. යුරෝව පදනම් කරගත් කලාපීය මූල්‍ය සහයෝගීතාවන් වැනි පරිවර්තන හැරුණුකොට, ඒ රටවල්වල ජාතික ආර්ථික ක්‍රියාවලියට උරදෙන ආයතන පද්ධතීන් යනු ගෝලීය පාරජාතික ව්‍යවස්ථාවක් තුළ දියකරහැරීමට තීරණකොට පවතින ලාකඩ කැබලි ද?


නැත!

 

යුරෝ කලාපයේ සංවර්ධිත රටවල් තම ජාතික ව්‍යවස්ථාවන් ශක්තිමත් කරගන්නට හැකි හැම උප්පරවැට්ටියක් ම දරන්නේ, ගෝලීයකරණය ලොවපුරා  මුළුමනින් තහවුරු වෙන්නට පෙර, තමන් සිටින භූමි භාගයන් වෙතට වැඩි ඵලදාවක් ලඟාකර ගැනීම සඳහා ය. එහිදි ඔවුන් ගෝලීයකරණය තුළ ද ජාතික රාජ්‍යය තුළ ද දෙවිදිහකට වේශ නිරූපනය වෙමින් ආර්ථිකය මෙහෙයවීමේ දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරති. ඉන්පසු ඒ දේ ම කරන චීනයට පමණක් දෙබිඩ්ඩා යැයි දොස් නගති. අනික් පැත්තෙන් ශ්‍රී ලංකාව වැනි මූල්‍ය ප්‍රග්ධන ප්‍රමාණ දියවී අවමකරණය වූ රටවලට ඇමරිකා එක්සත් ජනපදය සහ යරෝ රටවල් පවා නොකරන පරිදි ගෝලීයකරණයට සෙට් වෙන්න යැයි අනිසි බලපෑම් කරති. කෙටියෙන් කීවොත් කෙන්ද්‍රයේ සිටින ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝ රටවල් නොකරන දේ පරිවාරයේ සිටින අපට කරන්නට කියා බලකරති.

 

ඔව්, සංවර්ධිත රටවල් හා සම්බන්ද තාක්ෂණ මෙහෙයුම් ගත්කළ, තාක්ෂන උපකරණ අවම අප වැනි රටකට සාපේක්ෂව ඒ රටවල් තුළ ගොලීයකරණය සැබැවක් සේ පෙනිය හැකියි.

 

sl p


ඒත් සංවර්ධනය වෙමින් පවතිනවා කියන මුත් දශක ගණන් පුරා කිසිදු වගකිවයුතු සංවර්ධනයක් නොලද, මූල්‍යාර්ථික ගණයෙන් දකුණු ආසියාව තුළ පවා පරිවාරයට වැටී ඇති ශ්‍රී ලංකාව බඳු රටවල් සම්න්ධයෙන් නම්, එය කොහෙත්ම සැබැවක් නොවන බවයි මේ ලියුම්කරුගේ මතය. ලීඩර් වෙබ් අඩවියේ මෙතෙක් ගෝලීයකරණය සහ ඊට සහසම්බන්ධ වීමේ වැදගත්කමත්, රට ඇතුළට ගෝලීය ධනවාදය රැගෙන එන්නට එජාපය ඊට උරදිය හැකි පක්ෂය බවත් විවිධ නම්වලින් ආකර්ශණීය ලිපි පළවෙනවා ලියුම්කරු වන මම ඉතා උනන්දුවෙන් කියෙව්වෙමි.   

 

ඒත් ඒ ලිපි වල කේන්ද්‍රීය මතය වන “පවතින ගෝලීයකරණයට මුළුමනින් අවනතවීමට සහ එජාපය රටේ ධනේෂ්වර සංවර්ධනය බිහිකළ හැකි පක්ෂය ලෙස පිළිගැනීමට” කරන ප්‍රකාශ ශ්‍රී ලංකාවෙ පොළවේ යථාර්තය හා කොහෙත් ම නොපෑහෙන බවත්, ජාතික ආර්ථිකයක් ගොඩනැගිය යුතුය කියන භෞතික තර්කය තවදුරටත් රට තුළ වලංග බවත් චන්දාදායකයා පිළිගත යුතුව පවතී. එහිදී වත්මන් මූල්‍ය අර්බුදය හමුවේ විසඳුම් සපයන ඊළඟ විකල්පය බලවේගය ලෙස ජාතික පොළව මත තම පක්ෂ ව්‍යූහය පවා අහිමිකරගත් එජාපය කිසිදු ගැලපීමක් නොපෙන්වන බවත්, අඩුලුහුඩුකම් මැද හෝ මෙතෙක් දශක 4කට වැඩි කාලයක් වසර පුරා රට පරා විහිද පැතිරි පක්ෂ ව්‍යූහයක් කෙසේ හෝ නඩත්තු කළ ජවිපෙට ඒ ඉඩ හිමිවන්නට නියමිත බවත් තේරුම්ගත යුතුව පවතීි.

 

එලඹෙන ජනපතිවරනයේ දී සිදධවන්නට නියමිත එකී ප්‍රතිඵලය සම්බන්ධයෙන් මේ ලියුම්කරුට විශාල පැහැදීමක් නැත. මන්ද ජවිපෙ විසින් ගෝලීයකරණ ය සම්බන්ධයෙන් දක්වන සම්ප්‍රදායික නූතනවාදී විග්‍රහයන් විසින් ඔවුන් ගෝලීයකරණයයේ ගොදුරක් බවට පත්කරගන්නට හැකි ඉඩක් පවතින නිසා ය. නමුත් එය සකසාගත හැකි වැරැද්දකි.

 

එමනිසා තම දක්ෂයින් පක්ෂයේ ගහෙන් කපා ඉවත් කළ සහ ඉවත්ව යන්නට උපායන් යෙදූ රනිල්ගේ පුද්ගලවාදයට යටත්, ජාතිවාදී පොහොට්ටුවට කත් අදින එජාපයේ ඉහළ ප්‍රභූ ස්ථරය වැනි රටේ බිම් මට්ටමින් නෝන්ජල් වූ පක්ෂයක් අතට බලය හුවමාරු වනවාට වඩා, අතරමැදි විකල්පයක් විදිහට හෝ ජවිපෙ අතට බලය යෑම සාධනීය ප්‍රතිඵල බිහිකරනු ඇත. සරල දයලෙක්තික හෙවත් ද්වීඝටනාත්මක දැනුම ඇති ඕනෑ ම වාමාංශික ප්‍රගතිශීලියෙකුට මෙය වැටහෙනවා ඇතැයි සිතමි.

 

මෙය ලියන ලියුම්කරු ජවිපෙ සාමාජිකයෙකු, හිතවතෙකු තබා අවම වශයෙන් ජවිපෙ වෙනුවෙන් චන්දය පාවිච්චි කරන අයෙකුවත් නොවන අතර, මෙහිදී ලියුම්කරුගේ ප්‍රවේශය වන්නේ, ලීඩර් වෙබ් පිටුව ගෙනෙන නවලිබර්වාද පාක්ෂික සංවාද සමස්තය තුළ මහ අවිඥානික සංශයක්(නොපිර වූ හිස් තැනක්) ඇති බව තහවුරු කිරීමට සහ දැන හෝ නොදැන එජාපයට කත් අදින විසංකාරයා ඇති කරන මතවාදී ආධිපත්‍යය සමතුලනය කර අනෙක් පාර්ශවයන්ටත් ප්‍රජාතවන්ත්‍රවාදී ඉඩක් ලබාදීමට ය.


නව ගෝලීය ධනවාදය තුළ වැදගත් තැනක් හිමිවන්නේ පාර-ජාතිකත්වයට බව මාද පිළිගනිමි. පාර-ජාතික යැයි පවසද්දී ම ජාතිය පසුකළ, ජාතියට වග නොකියන සහ වග නොවන හෝ ජාතික අනන්‍යතාවකට කොටු කළ නොහැකි යන අරුත් හැඟවුම් වෙනව.


ෆේස්බුක් කියන්නේ එබඳු පාර-ජාතික සමාගමක් බැවින්, එය පවතින ජාතික රාජ්‍ය ව්‍යවස්ථාවකට වග නොකියන, ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යටත්ව බදු නොගවෙන, සමාජ බද්දෙන් පිට පැන සමාජයට වග නොකියා අයාලයේ යමින් තම ධනේෂ්වර සමාජ වගකීම ද නොතකන්නා වූ නිදහස් ව්‍යාපාරික සංවිධානයකි.


ඉදිරි කාලය තුළ දී එබඳු ආයොජන ලෝකයේ නව ප්‍රවනතාව වන්නට ද ඉඩ ඇති බව ඇත්තකි. ඒත් ඒ හේතුව මත ජාතික ව්‍යවස්ථාව මුළුමනින් නොතකා හැරීමට හෝ දශක ගණනන් පුරා ජාතික ව්‍යවස්ථාව කෙරෙන් බහුතර ජනයාට කිසිදු ධනේෂ්වර ප්‍රතිලාභයක්වත් අත්කර නොදුන් එජාපය වැනි ප්‍රභූවාදී සහ පුද්ගලවාදී පක්ෂයන්ට චන්දය දීමට හෝ කීම බහුතර ජනයාගේ සිතුම් පැතුම් කෙසේ වෙතත් ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සම්බන්ධයෙන්වත් සාධනීය ව්‍යාපෘතියක් වන්නේ නැත.


ෆේස් බුක් එකේ පාරිභෝගිකයන් වන ආදරණීය ශ්‍රී ලාංකීය ජනතාවෙනි.


ෆේස් බුක් එක ලොව දුක් විඳින බහුතර ජනයා නොවන සුළුතර ධානපතියන් අතරේ සිටින ඩොලර් මිලියනපතියෙකු වන සුකර්බර්ග් නැමති පුද්ගලයාට අයිති කොම්පැනයිකි. මේ කේන්ද්‍රය වෙතට දිනපතා ගොඩගැහෙ ඩොලර් මිලියන ගණන් අතිරික්ත ප්‍රාග්ධනය ගෝලීය සමාජවාදී ක්‍රමයක් අනුව සමසේ බෙදා දෙනු ලබන්නේ නැත. අවම තරමින්, එකී සමුච්චිත ප්‍රාග්ධනයෙන් සුළු ප්‍රතිශතයක්වත් බහුතර නිර්ධන ජනයා වෙනුවෙන් වැයකෙරෙන නිර්දේශිත සුභසාධනයක් ගොඩනගා නොදෙන තත්වයක් තුළ, ශ්‍රී ලංකාව වැනි මූල්‍යාර්ථික පීඩනයෙන් මිරිකුණු රටකට ගෝලීය ආර්ථික මූලධර්මයන්ට මුළුමනින් නතුවන්නටැයි කීම විකාරයකි. එසේ කිරීම කිසිසේත් අවශ්‍ය ද නොවේ.


විසංකාරයා කියන පරිදි ෆේස් බුක්, ඇමසන් ඩොට් කොම් හෝ නෙට්ෆ්ලික්ස් යනේවා මේ ගෙවෙන තත්පරේදීත් අද දවසේ ඩොලර් මිලියන ගාණක අතිරික්ත ප්‍රාග්ධනයක් සමුච්චකරණය කරගන්නා පාර-ජාතික සමාගම් බව සැබවකි. නමුත් මේවාගෙන් බදු අයකරගන්නටවත් ව්‍යවස්ථාවක් නැති බව ඔහු දන්නවාද? මොකද මේවා සීයට ඇබිති ප්‍රමාණයක්වත් භෞමික ජාතික රාජ්‍යයක සුභසාධනයට වගකියන බිස්නස් නොවේ.

 

image 36dca1c0d3


ෆේස්බුක් සමාගමේ ලෝක ජාලය විසින් එහි පාරිභෝගිකයින්ට තම තිනි ජාතික රාජ්‍යය සිතින් පසුකර ගොස් ලොවපුරා මිනිසුන් හමුවෙන්නට සැටලයිට් මාර්ග පාදා දී ඇත. ඒත් ඒ පාරිභෝගිකයා ම ගතින් බත් සමග කන්නට සහ පොල් සම්බොල්යක් හදා ගන්නට පොල් ගෙඩියක්වත් මිලදී ගන්නට ගිය සැනින් දකින මිල ගණන් ඉදිරියේ ගෙඩිපිටින් ඒ ජනයාට ජාතික රාජ්‍යය මුලිච්චි වෙයි. ඒ නිසා රටේ ගෝලීය ඒජන්තයා වන එජාපය ජනතාවට පටවනු ලබනව සිහිනයෙන් අවදිවී මහපොළවේ පයගසා ඇති ජවිපෙ සහ 43 කණ්ඩායම වැනි සංවිධාන දෙස බැලීම ශරීරය රැකගැනීම වෙනුවෙන් වඩා ප්‍රායෝගික වනු ඇත. මන්ද ශරීරය මිය ගිය පසු මනසට ලැගුම් ගන්නට තැනක් නොමැති වන බැවිනි.


පාරජාතික සමාගම් තුළ ගොඩගැහෙන හෙවත් සමුච්චකරණය වෙන මහා ප්‍රාග්ධනයෙන් කොටසක් බදු ලෙසින් අයකරන පරිපූර්ණ ගෝලීය ව්‍යවස්ථාවක් නිමැවී නැති තත්වයක් පවතී. ඒ තුළ අපි ෆේස් බුක් එක වෙනුවෙන් මුදල් දන් දෙන සහ ඒ කොම්පැනියේ අතිරික්තයෙන් බිඳුවක්වත් නොලබන ජනපිරිසක් බවට පත්ව ඇත. ඉතිං ඒ නිසා මෙබඳු පාර-ජාතික කොම්පැනි උපයන අතිරික්-ප්‍රාග්ධනයෙන් සුළු ප්‍රතිශතයක් හෝ නොලබන දුක්විඳින පොදු බහුතරය වන අප වෙත කාන්දු වී හෝ එන සුභසාධනයක් නොමැත. එය සලසාගත යුතුව ඇත්ටෙත් අප විසින් ම පමණි. ඒ උදෙසා චන්ද දායකියන් වන අප ද, අපේ පොළව මට්ටමේ ව්‍යුගත සංවිධාන වෙත බලය පැවැරීමට ඉක්මන් විය යුතුය.


මන්ද මහා ධන සම්භාර උපයාගන්නා ෆේස්බුක් බඳු පාර-ජාතික කොම්පැනි යනු වෙලඳාම තුළ පමණක් එහි පාරිබෝගික ජනයා වන අපව මුණගැසෙති. එහෙත් අපෙන් අතිරික්ත ප්‍රාග්ධන උපයා ගත් පසු ඒවා භූක්ති විඳීමේ දී පරිවාර ජනයා වන අප, එකි කොම්පැනි වලට අදාළ සුළු සාධකයන්වත් නොවේ.


ලොව බිලියනපතීන්ගෙන් බදු මුදල් ගෙන ලොව සාමාන්‍ය විවිධ මැද-පන්තීන් හෝ ඊට පහළ සමාජ ස්ථරවල වෙත සුභසාධන බෙදාහැරීමක්වත් තවම සිදුනොවේ. එය සිදුවන දවසක් ගැන පවා හාන්කවිසියක අපේක්ෂාවක් ද නැත. පවතින්නේ නූතන ධනපතියාටත් වඩා ආත්මාර්තකාමී අතිධනවත් අතිසුළුතරයක් වූ ඩොලර් ප්‍රකෝටිපතියන් නිස්කාරණේ බිහිවීම පමණි.


මනුස්ස අරුතකින් බැලූ කල එයින් ඒ ප්‍රකොටිපති මිනිසුන්ට හෝ එසේ නොවන අපට හෝ කිසිදු ඵලක් නැත. මන්ද බහුතර මනුස්ස ප්‍රජාවෝ, තිරිසන් ප්‍රජාවෝ සහ ශාක ප්‍රජාවෝ මිලියන ගණනින් පෘථිවියට අහිමිවී යත්දී නිල්ග්‍රහයා වූ පෘථිවිය විනාශයට පත්වීම සාමාන්‍ය මිනිසාට සේම ප්‍රකෝටිපති මිනිසාට ද එකසේ බලපාන බැවිනි.  මේ තත්වය තුළ සයිබර් අවකාශයේ පාර-ජාතික සමාගම් උපයන ඩොලර් ප්‍රකෝටි ගණන් ජාතික සමාජයක් ලෙස තියා ලෝක සමාජයක් විදිහටවත් සුළු ප්‍රමාණ ලෙසින් හෝ පොදු බහුතර ජනතාවෝ අතරට ඒමක් පේන තෙක් මානයක නැත. තාවකාලිකව හෝ බහුතරයේ රීරිමාංශය උරා ගැනීමක් නම් සිදුවෙමින් පවතී.


අදවන විට මේ අවනඩුව කියන්නට කිසි කෙනෙකුත් නැත. මන්ද තවම ගෝලීය නඩු ශාලා හෝ ගෝලීය පොලිසි පවා කරලියට පැමින නැත. සමස්ත ගෝලීය දේශපාලනයක් සහ ගෝලීය ව්‍යවස්ථාවක් නොමැතිව අසාධාරණ ගෝලීය ආර්ථික ක්‍රියාවලි කිහිපයක් කරලියට ආ පමණින් ශ්‍රී ලාංකීය ජනතාවට ද පැල යන අතට මැස්ස ගහන්නැයි විසංකාරයා විසින් යෝජනා කිරීමෙන් අපෙක්ෂා කරන්නේ කුමක්ද? ජාතිවාදය හෝ වරිගවාදය පිටුදැකිය යුතු මුත්, මේවනවිට එකී භාවිතයන්ගෙන් ඉවත්වී ජාතික ආර්ථිකයක් වෙනුවෙන් පොරබදන ජවිපෙ වැනි සංවිධාන වලට පරණ පව්වලට වන්දි ගෙවන්නැයි කීම ආගමික ය. අප්‍රායෝගික ය.


ඇති-නැති පරතරය නැමති ප්‍රතිපක්ෂය අසීමාන්විතව වර්ධනය වී නැතිකමින් පීඩිත බහුතරයට ඇති-පාර්ශවයෙන් සොච්චමක්වත් නොලැබෙන විගඩමක් බවට ගෝලීයකරණය පත්ව ඇත. ධන-නිර්ධන ජන දෙකොට්ඨාශ අතර ඇති ආතතිය ආන්තිකත්වයක් කරා යෑම ද දකුණු ආසියාව පුරා කැසකවමින් පවතී. ඒ සමඟ ම නැවත වරක් අන්ත දුගී තත්වයට පත් පරිවාර රටවල බහුතර ජනයා අවිඥානිකව ම ජාතික මට්ටමේ විකල්ප නිර්ධන සංවිධාන වෙත හැරෙන යොමුවක් ඉපිල ඒමට නියමිතය. එසේ වන්නෙ එකී සංවිධාන සීයට සීයක් නිවැරදි නිසාම නොවේ. ගෝලීයකරණය විසින් බහුතර දුගී ජනයා යනු ජීවය සහිත සමාජ සාධකයක් ලෙසවත් නොසලකන බැවිනි.  


ශ්‍රී ලංකාව තුළ ආර්ථික ව්‍යසනයකදී අර්ධ ධනනේෂ්වර ජාතිවාදී ශ්‍රිලනිපයේ රාජපක්ෂලා කෙරෙන් නව-ලිබරල්වාදී රනිල් වෙතට බලය හුවමාරු වන්නට ඉඩක් තිබුණා යැයි විසංකාරයා කී විග්‍රහයට මා ද එකඟ වෙමි. නමුත් දැන් පවතින්නේ ඒ කියූ ආර්ථික ව්‍යසනයක් පමණක් නොවේ. ආර්ථික ව්‍යසනයක් ඉදිරියේ බහුතර ජන කොටසක් වීදි බැස අරගලයක නියැලුනාට පසු-තත්වයකි. ඒ තත්වය තුළ රනිල් විසින් අරගලය කෙටිකාලීනව මර්ධනයෙන් යටපත්කර දමා ආර්ථිකයට ද තාවකාලික පැලැස්තරයක් අදලවා ඇති බව පිළිගනිමි. එහෙත් රනිල් සන්ධානගත වන්නේ අරගලකරුවන් “ගෝ හෝම්” කියපු රජපක්ෂ රැලේ උදවිය සමඟ බව ජනතාව මේවන විටත් හොඳින් ම දනිති.


දැන් ශ්‍රී ලංකාවේ සිටින්නේ පෙර සේ “මොන දේ උනත් යූඇනිපියට හෝ ශ්‍රීලනිපයට චන්දය දීල දමනවා” පකියන පරණ බහුතර ජනතා මතයේ නොවේ. දැන් ඔවුන් සිටිනුයේ තමන්ව හෙම්බත් කළ අරගලයක් ඉදිරියේ යූඇන්පියේ සහ ශ්‍රීළනිපයේ කල්කිරියාවන් හැකි අයුරින් සමීකරණය කරගෙන විකල්පයක් සොයමින් අනුර කුමාර, පාඨලී චම්පික සහ සරත් ෆොන්සේකා වැන්නවුන් දෙස බලන, පුබුදු ජාගොඩට ද එහෙන් මෙහෙන් හෝ ඇහුම්කන් දෙන, ඔවුන් පවත්වන කතාවලට උනන්දුවෙන් සවන් දෙන බහුතර ජන කොටසකි.


මේ අය අතරින් අනුර කුමාරට දිවයින පුරා විහිද පැතිරී ඇති ස්ථාවර පක්ෂ ව්‍යුහයක් හිමි නිසා මොවුන්ගෙන් අනුර කුමාරව නිරායාසීව තේරී පත්වීමට විශාල ප්‍රවනාතවයක් පවතී. ඒ නිසා පාඨලී සහ ෆොන්සේකා ද මේ අවස්ථාවේ අනුර කුමාරට ඉඩදී සහයෝගීව කල්බලන්නට තරම් බුද්ධිමත් විය යුතු බව මගේ පුද්ගලික මතය යි. මන්ද පාඨලී සහ ෆොන්සේකා පසුපස ස්ථාවර පක්ෂ-ව්‍යුහ නොමැති බැවින්, ඔවුන් අනුරට අදව් නොකරන්නේ නම්, සංවිධානයක අවස්ථාව දිනාගන්නට යූඇන්පිය හෝ ශ්‍රීලනිපය සමඟ සංධානගත වන්නට සිදුවනු ඇත. එයින් ප්‍රධාන ධාරාවේ අගතිගාමී දේශපාලන පක්ෂ දෙක නොවන නැවුම් යොමුවක් ඇතිප සංවිධානයකට බලය උරගාන්නට තිබෙන අවස්ථාව රටට මගහැරී යනු ඇත. එයින් පාඩුව සිදුවන්නේ ද පාඨලී සහ ෆොන්සේකා වැනි අවංක නායකයින්ගේ ඉදිරි ගමනට ම ය. මන්ද ඔවුන් එජාපය හෝ ශ්‍රීලනිපය සමඟ සන්ධානගත වී ගොස් ඔුව්න බලය ලබා දී ඇමතිකම් භාරගත්ත ද එයින් බිහිවෙන අතිපීඩාකාරී පාලනය නිසා, අන්ත අසරණ වන ජනතාව ඉදිරියේ ඔවුන් ද වත්මන් මහින්ද-බැසිල් තත්වයට පත්වී අවප්‍රමාණවී  බාල්දු වනු ඇත.

sf f

 

විකල්ප බලයක් ලෙස චන්දදායකයාට අනුර කුමාරව මගහැරුණොත්, ආයෙමත් බිහිවන්නට ඇත්තේ නාමල් රාජපක්ෂ සහ රුවන් විජේවර්ධන නැමති පෙඳපාසි කේන්ද්‍ර දෙකක් වෙතට දිසාගත බලකඳවුරු ගොඩනැගීමකි. එයින් ෆොන්සේකාට හෝ පාඨලීට වෙන්නේ පසුවී හෝ රටේ නායකත්වය ලබාගන්නට තියෙන අවස්ථාව ගිලිහී ගොස් නාමල්ගේ ග්‍රාම්‍ය ප්‍රභූත්වය හෝ රුවන් විජේවර්ධනයන්ගේ නාගරික ප්‍රභුත්වය හෝ යටතේ ඇමතිකම් දරන වක්‍ර බැලයන් වීමට ය. එනයින් ඒ කේන්ද්‍ර දෙක බලරහිත කරන ප්‍රවනතාවේ දිසාවකට හැරෙවන්නට නම්, ඔවුන් අනුර හා වගකීම් බෙදාගන්නා ගෞරවනීය සන්ධානයක් වෙත යා යුතුව පවතී. 

 

එනයින් දැනට ශ්‍රී ලංකාවහි කැසකවමින් පවතින්නේ ආර්ථික ව්‍යසනයට එරෙහිව අරගලයක් කළ, හිරබත් කන බහුතර ජනතා මානසිකත්වයකි. මෑතක දී ඇෆ්ගනිස්තානය, සුඩානය සහ වෙනිසියුලාව වැනි පරිවාර රටවල සිදුවූ අරගලයන් නිසා ඒ රටවල්වල බලය අල්ලා ගැනීමේ රැල්ලක් ඇතිවෙන්නට නියමිතව තිබුණ ද, ඒවා බොහොමයක් ව්‍යර්ථ වී ගියේ එකී රටවල භූමිය පුරා පැතිරුණු ශක්තිමත් විකල්ප සංවිධාන නොතිබූ බැවිනි.  


ඒ රටවලව පවතින්නේ ජවිපෙ තරම්වූ සංවිධාන ශක්තියකින් හෝ ජාතික දේශපාලනාර්ථික දත්ත එකතු කිරීමේ හැකියා නිපුනතාවකින් හීන සරල ව්‍යුහයන් ය. නමුත් ජවිපෙ තුළ තවමත් විජේවීරයන් තනා දී ගිය සංකීර්ණ පක්ෂ ව්‍යූහයක් පවතී. එය විජේවීරගේ කාලයේ තරම් ගැඹුරු විප්ලවීය තලයකට දිසානත වී නොතිබෙනවා වුවත්, විජ්වීරගේ කාලයටත් වඩා වෙනස් ලෙස විවිධ බහුජන සංවිධාන තමන් වෙත ඈඳා ගැනිම සම්බන්ධයෙන් ප්‍රායෝගික වූ උපයාමාර්ගයක පිහිටා සිටියි. මෙය විප්ලවීය තත්වයක් ඇතිකිරීමේ දී අන්ත දුර්වල සහ අසමබර ප්‍රවනතාවක් වන වග මාද පිළිගනිමි. නමුත් චන්ද සටනක් ජයග්‍රහණය කිරීම හා සම්බන්ධ තත්වයකදී මෙය ඉතා වාසිදායක දේශපාලනික තත්වයක් බව නොකිව මනාය.


එනයින් ඉදිරි ජනපතිවරණයේ දකුණු ආසියාවේ සේද මාවතේ හිඟන්නා යන විරුදාවලිය ලද නිර්ධනීක රාජ්‍යයක් වූ ශ්‍රී ලංකා රාජ්‍ය තුළ විකල්ප ආර්ථිකවාදී ජාතික බලවේගයක් ලෙස ජවිපෙ ඉදිරියට ඒමට නියමිත ය. මහා හිදිසි තත්වයක් ඇති නොවුණහොත්, අනෙක් සුළු විකල්ප සංවිධාන රොත්තකගේ ද ආධාරය සහිතව ජවිපෙ වටා බහුතර චන්දදායක ප්‍රමාණයක් ගොඩනැගී රටේ පළවෙනි බලවේගය ලෙස බලය ජවිපෙ හිමිකර ගැනීමට නියමිතව ඇත. ජවිපෙ අනෙකුත් දකුණු ආසියානු සුළු-ප්‍රමාණ රාජ්‍යවල විකල්ප සංවිධාන හා සැසඳු කළ ඇදිහිය නොහැකි බහුතරයක් දිනාගන්නට ද නියමිත බවද සැලයි.
මෙය තතු දත් කලාපීය දේශපාලන විද්වතුන් ද, දකුණු ආසියාවේ කේන්ද්‍රීය රාජ්‍යය වූ ඉන්දීයාවේ බුද්ධිමතුන් අතර ද ප්‍රබෝදයට තුඩු දී ඇති අප්‍රසිද්ධ කතාවකි. එසේම අනුර කුමාර හදන ආණ්ඩුවකට ඉන්දියාව විසින් නොපැකිල සහය පලකරන්නට ද නියමිත බව තතුදත්තෝ පවසති. අනුර කුමාරට ඇත්තේ ඉන්දියානු පැසිෆික් සාගරයේ මෙහෙයුම් බලය චීනය වෙත යෑම පිටුදැකීමේ දේශපාලනයට උරදීම පමණකි.  

 

රනිල් වික්‍රමසිංහ සම්ප්‍රාප්තිය යථාර්ථයක් වේද? -නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න


ඉදිරියේ දී ජනයාගේ මූළික අවශ්‍යතාවත් සපුරා දෙන්නට නොහැකිව ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ගෝලීය-විවෘත්ත-ආර්ථික යොමුව අවප්‍රමාණ වී, පොළව මට්ටම ස්පර්ශ කරන ජාතික ව්‍යූහ හා අනුබද්ධ සංවිධාන කෙරෙහි පමණක් ජනතාවගේ වැඩි අවධානය යොමුවනු ඇත. ඊට හේතුව වන්නේ ජවිපෙ දේශපාලනාර්ථික මතවාදයෙන් මුළුමනින් ශක්තිමත් නිසා නොවේ. ලෝක ආහාර සංවිධානය පවසන පරිදි ම මේ වන විටත් මේ රටේ ලක්ස 47කට තුන්වේල කන්න නැති තත්වයක් පවතී. එහිදී පක්ෂ ව්‍යුහයක කෑලි එකතු කර අමුණා ගන්නටවත් අකමැති රනිල්, රුවන්, සාගල, අකිල, රංගෙ සහ වජිර නැමති ජුංටාව කිසිදා ස්ථාවර පක්ෂයක් බවට පත්වන්නේ නැත. එජාපයේ මැද ස්ථරවල සිටින අයට රනිල් යනු එජාප-විරෝධියෙක් බව හඳුනාගැනීමට පවා නොහැකි වී ඇත.


රනිල් එජාප විරෝධියෙක් නම්, ලීඩර් වෙබ් අඩවියට ලියන පාර්ශවීය ලියුම්කරුවන් පවසන පරිදි රනිල් අවම තරමින් රවී කරුණානායක වැන්නෙකු හෝ යොදා එජාපයේ පක්ෂ ව්‍යුහය ගොඩනගන්නට සටකපට වන්නේ නැත. මන්ද රනිල්ට රවීකරුණානායකට වඩා බැසිල්-මහින්ද-නාමල් තුන්කට්ටුව විශ්වාසය. එ නිසා නොකෙරෙන දීගෙට පේන බලන්නේ නැතිව එජාපය වෙනුවෙන් බලා නොසිට, අනුර කුමාර දිසානායකගේ අසීරු නායකත්වය දෙස බැලීම අවම තරමින් තම බඩවියත සම්බන්ධයෙන්වත් ප්‍රායෝගික වනු ඇතැයි එජාපයේ සහ පොහෙට්ටුවේ පහළ තට්ටුවේ බහුතර සාමාජිකයින් විසින් පිලිගත යුතුව පවතී.  


සංවාදයට විවෘත්තයි


චන්දකීර්ති විජයබාහු    

 

 

විසංකාරයාගේ ලිපි :

විසංකාරයා (06) : ඇල්ගෝ-රිදම් 03 (21 ශතවර්ෂයේ නව-නූතන දේශපාලනාර්ථික ප්‍රකාශනය)

විසංකාරයාගේ කොලම (05) : චම්පිකගේ වරිග කතිකාව කුඩුසංසාර වී රනිල්ගේ කතිකාව හිස එසවීම

විසංකාරයාගේ කොලම : රනිල්ගේ ගෝලීය කතිකාවේ ඇල්ගෝ-රිදමය හිස එසවීම

නව-විසංකාරයාගේ කොලම: රජමැදුරෙන් ගොවිපලට :

විසංකාරයාගේ කොලම (03) : ජෝන් ද ඩෙන්සිල් ද සරත් ද වීරයා

විසංකාරයාගේ කොලම : 'ජී.එල්ව කඩේ-යැවීම සහ හර්ෂව ගඟේ-යැවීම'

විසංකාරයාගේ කොලම - ප්‍රේමදාසගේ ඉවසීම සහ සජිත්ගේ ළදරු වලිප්පුව

විසංකාරයාගේ කොලම - 'ප්‍රේමදාසගේ ඉවසීම සහ සජිත්ගේ ළදරු වලිප්පුව.'

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image