රජිව් ගාන්ධි ඝාතන නඩුවේ චූදිතයින් ලෙස වසර 30කට අධික කාලයක් සිරගතව සිටි හය දෙනෙකු මේ වන විට නිදහස් කොට තිබේ.



මොවුන්ගේ ශාන්තන්, මුරුගන්, ජෙයකුමාර්, රොබට්, පයස් යන අය ලාංකීකයන් වීම හේතුවෙන් ඔවුන් විශේෂ කඳවුරකට රඳවා තැබීමට පියවර ගෙන තිබේ.


හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඇතුළු 17 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එලෙස චෝදනා ලැබ වසර 32ක සිරගත කිරීමකින් පසුව නිදහස ලද නලිනි සිරිහරන් බීබීසී මාධ්‍යවේදී මුරලිදරන් කාසි විශ්වනාදන් සමඟ කළ සංවාදයකි මේ.


BBC
වසර 30කට අධික කාලයක් ඔබ සිරගතව සිටියා. ඔබට එම අත්දැකීම විස්තර කරන්න හැකිද?

නලිනි :
"ඊට කලින් මම බන්ධනාගාරය දැකලා තිබුණේ නැහැ. බන්ධනාගාරය කියන්නේ මොකක්ද කියලා දැනගෙන හිටියේ නැහැ. පළවෙනි සැරේට රිමාන්ඩ් කරලා හිර කූඩුවට දැම්මාම ගොඩාක් බය වුණා. හයියෙන් කෑගහලා එළියට දුවගෙන ආවා. මට දීලා තිබුණ සිර කුටියට එහා පැත්තෙන් ආදිරෛ, එතැනින් එහා පැත්තේ හිටිය මගේ අම්මත් කෑගහගෙන ආවා. නමුත් ඔයා ඇතුළට යන්න ඕනේ කියලා කිව්වා. ඊට පිළිතුරු විදිහට සී.ආර්.පී.එෆ්. නිලධාරීයාගේ රයිෆල් එක අරගෙන මට වෙඩි තියන්න කියලා කිව්වා"

07nalini

"උගුර ලේ රහ වෙනකම් මම කෑගැහුවා. ඒ තරමට ඒක නරක කාලයක්. අත්අඩංගුවට අරන් දවස් පහකට පස්සේ නැගිටගන්න බැරි තරමට උණ ගත්තා. දවස් දෙක තුනක් එයාලා මට නින්ද නැති කළා. ඒ වෙද්දී ඒ එක්ක ඔට්ටු වෙන්න පුළුවන්කමක් මට තිබුණේ නැහැ. ඔළුව පීරන්නේ නැතිව, දත් මදින්නේ නැතිව හිටියා. ඒකෙන් සුව වෙන්න කලින් පපුව කැක්කුමක් ඇති වුණා. ගොඩාක් අය හිතුවේ මම රඟපානවා කියලා. ඒ වෙලාවේ එහෙ හිටිය වෛද්‍යවරයා මාව පරීක්ෂා කරලා මට පපුවේ කැක්කුමක් තියෙනවා කියලා ස්ථිර කළා"


"ඊට පස්සේ තත්ත්වය පොඩ්ඩක් යහපත් අතට හැරුණා. ඊට පස්සේ කොඩියකරෛ ශන්මුගම් මැරුණාම, අතට මාංචු දාන්න පටන් ගත්තා. මට වළලු‍ පැළඳවීමේ උත්සවයක් ගන්නවා කියලත් මම විහිළුවෙන් වගේ අහලා තියෙනවා"


"ඊට පස්සේ කටඋත්තර ප්‍රශ්නය ඇති වුණා. මම එහෙම වරද පිළිගෙන කටඋත්තරයක් දුන්නේ නැහැ. නමුත් මට ඒක ඔප්පු කරන්න බැරි වුණා. නමුත් දෙවියන් සහ මම ඇත්ත දන්නවා. ඊට පස්සේ වෙනත් බන්ධනාගාරයකට මාරු කළා. එහෙ මරණ දඩුවම නියම වූ සිරකරුවන් වගේ පැය 24 ම වහලා තිබ්බා. ඊට පස්සේ දරුවා ඉපදුණා. ඊට පස්සේ තත්ත්වය තවත් ටිකක් යහපත් වුණා. ප්‍රශ්න කරද්දී එළිවෙනකම් සිගරට් බොනවා. ඊට පස්සේ අමාරු කාලයක් තමා"


BBC :
ඔබගේ පවුල සාමන්‍ය හෙද පවුලක්. මේ ප්‍රශ්නයට ඔබ මැදිවෙලා ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න ඇතිනේ, කොහොමද ඒකට මුහුණ දුන්නේ?


නලිනි :
"ගොඩාක් දුක්වින්ඳා. පවුල සීසීකඩ වුණා. අම්මාගේ ජීවිතය නැති වුණා. නංගී වැඩ කරමින් හිටියා. ඇයගේ ජීවිතය විනාශ වුණා. මම, මගේ සැමියා" අම්මා" මල්ලි යන හැම කෙනෙක්වම අත්අඩංගුවට ගත්තාම එක පවුලක් වෙනවා. ආර්ථික මට්ටමක් තිබුණෙත් නැහැ. කිසිම පිහිටක් නැහැ. පවුල සීසීකඩ වුණා අද වෙනකම් එකතු වෙන්න බැරි වුණා"


BBC :
ඔබ මේ කාරණයට සම්බන්ධයි කියලා දැනගත්තාම ඔබගේ මව කොහොමද මේකට මුහුණ දුන්නේ.?


නලිනි :
"හැම කෙනෙක් තුළම ලොකු බියක් තිබුණා. අම්මා මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ.එයා තමන්ගේ වැඩේ කරමින් පාඩුවේ හිටියා. මේ වගේ ලොකු අකරතැබ්බයක් සිදුවෙන්න යනවා කියලා එයා දැනගෙන හිටියේ නැහැ. අපි හැමෝම වයසින් පොඩි අය. ලොකු අත්දැකීම් නැහැ. මේවාට මුහුණ දෙන්න බැරිව දුක්වින්ඳා"


BBC :
කොයි කාලයේ දී නීතිය මගින් සටන් කරන්න ඕනේ කියන තීරණය ගත්තේ.?

නලිනි :
"බන්ධනාගාරයේ ඉද්දී නීතිඥ දුරෛසාමි ඇවිත් හමුවුණා. නමුත් මගේ නඩුව ගන්න එයා ගොඩාක් බය වුණා. ඔහුට ගොඩාක් අය විරුද්ධ වුණා. මරණ තර්ජන එල්ල වුණා. ගෙදරට පහර දීලා තිබ්බා. වීදුරු බෝතල්වලින් ගහලා තිබ්බා. කිසිම හේතුවක් මත මේ නඩුව ගන්න හොඳ නැහැ කියලා කට්ටිය තර්ජනය කරලා තිබුණා. මේ නඩුව ඒ තරම් උණුසුම් එකක් වුණා. නමුත් නඩුව විමර්ශනය කරද්දී අපිට ඒ නඩුව වෙනුවෙන් පෙනි සිටින්න වෙනවා. එහෙම වුනත් දුරෛසාමි අමර්තාවෝට සල්ලි දෙන්න පුළුවන්කමක් අපිට තිබුණේ නැහැ. දරුවත් හිටියා. රක්ෂා කරන්න පුළුවන් වයසේ හිටිය, ඉගෙනගත්ත අපි හතර දෙනා ම හිරේ. නංගී විවාහ වෙලා විස්තෘත පවුලක ජීවත් වුණා. නීතිඥවරයෙක් පෙනි සිටින්න බැරි මට්ටමක අපි හිටියේ. නොමිලේ නීතී උපදෙස් ලබා දෙන මධ්‍යස්ථානවලට කතා කළා. ප්‍රසිද්ධ නීතිඥවරුන්ගෙන් ඉල්ලීමක් කළා. පසුව දුරෛසාමිව නොමිලේ නීති උපදෙස් දෙන මධ්‍යස්ථානය හරහා අපේ නීතිඥවරයා විදිහට තෝරගත්තා. විමර්ශන කටයුතු අවුරුදු 6 ක් ගියා. සාක්ෂි 300 ක්".


BBC :
අධිකරණයේ දී ඔබ 26 දෙනාව මරණීය දඩුවම නියම කළාම මොනවා ද හිතුණේ, ඊට පස්සේ කළ යුතු දෙය ගැන ඔබ හිතුවද?


නලිනි :
"හැම කෙනෙකුම පුදුම වුණා. මගේ සැමියා ඇඬුවා. පළමු වරදකරු (නලිනි) යනුවෙන් කියලා, නීති වගන්ති ටික කියවලා මරණ දඩුවම යනුවෙන් කිව්වා. ඊට පස්සේ දෙවන වරදකරුට මරණ දඩුවම කියලා කිව්වා. තෙවන වරදකරුටත් මරණ දඩුවම කියලා කිව්වාම, ඔහු හිනා වුණා. දෙන්නාම එකට මැරෙමු කියලා කිව්වා. එහෙත් ඒ තීන්දුවට හැමෝම පුදුම වුණා. නීතිඥ දුරෛසාමිත් එපා වෙලා වගෙයි හිටියේ. නමුත් අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා කිව්වා. තීන්දුව එන්න කලින් අපි හැමෝම විශ්වාසයෙන් හිටියා. දඩයක් විතරක් ගෙවන්න කියයි කියලා හිතලා සල්ලිත් ලෑස්ති කළා".


BBC :
මේ තරම් ලොකු වරදක් කරලා කොහොමද හිතුවේ, දඩයක් විතරක් ගෙවන්න කියයි කියලා?

නලිනි :
"හරියට බැලු‍වොත් අපි අවුරුදු 7 ක් හිරේ හිටියා. ඒක දඩුවම් කාලයක් විදිහට සලකයි කියලා හිතුවා. ඒ විතරක් නෙවෙයි, හිරේ ඉද්දී දඩුවම් අඩු කිරීම් ගැන නිලධාරීන් ඇවිත් කතා කළා. අවුරුදු 7ක සිර දඩුවමක් දුන්නොත්, ඒක දැනටමත් විඳවලා තියෙන නිසා නියම කරන දඩය විතරක් ගෙවන්න පුළුවන් කියලා අපි හිතුවා. කවුරුන්දෝ නීතිඥවරයෙක් කිව්වා, නලිනිට අවුරුදු 7කට සිර දඩුවමක්වත් දෙන එකක් නැති වෙයි කියලා. පළමු වන වැරදිකරු වුණ මට ම එහෙම අවස්ථාවක් නැත්නම් අනිත් අයට කොහොමත් දඩුවම් ලැබෙන්නේ නැති වෙයි කියලා එයාලා හිතලා තිබුණා. එහෙත් හැම කෙනෙකුට ම මරණ දඩුවම කියලා කිව්වාම පුදුම වුණා. ඒ දවස්වල ශ්‍රේෂ්ඨාධිකරණය කොහෙද තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ".


nalini 1

BBC :
මේ නඩුවෙන් නිදහස් වෙන්න පුළුවන් කියන විශ්වාසය කවද්ද ඇති වුණේ?

නලිනි :
"දඩුවම් නියම වෙලා දවස් පහක් යනකම් අඩාගෙනම හිටියා. දඩුවම් නියම වුණාම අපි හැමෝම වෙන් වුණා. නඩු විභාගය කරද්දී අපි එකිනෙකාට හමුවෙන්න හරි අවස්ථාවක් තිබුණා. දඩුවම් නියම වුණාම අපිට ඒ අවස්ථාවත් අහිමි වුණා. ඒ වෙද්දී අපිට කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ වෙද්දී නෙඩුමාරන් කට්ටියව එකතු කරගෙන, මුදල් රැස්කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ නඩුව අරන් ගියා. එළියේ මේවා සිදුවෙනවා කියලාවත් අපි දැනගෙන හිටියේ නැහැ. චන්ද්‍රශේකර්, ඉලංගෝ වගේ අය නිතරම අපිව හමුවෙලා සැනසිලි බස් කිව්වා. අපිට අවශ්‍ය දේවල් අරන් දුන්නෙත් එයාලා තමා".


BBC :
ඔබේ මරණ දඩුවම ඉවත් කළායින් පස්සේ, කොහොමද ඔබගේ සැමියා සඳහා වන සටන් ආරම්භ කළේ?


නලිනි :
"මගේ මරණ දඩුවම අහෝසි කළාම, අනිත් අයටත් ඒ අවස්ථාව තියෙනවා කියන විශ්වාසය මට ඇති වුණා. මොකද කිව්වොත් මමයි පළමුවන වැරදිකාරයා. මට හත් සැරයක් මරණ නිවේදනය ආවා. තුන් - හතරසැරයක් දින පවා නියම කළා. පියතුමා ඇවිත් ආශීර්වාද කරලා, අවසන් කැමැත්ත මොකක්ද කියලත් ඇහුවා. එල්ලා මරන්න අවශ්‍ය වැඩ කටයුතුත් කෙරුණා. ලණු ගත්තා, මරණ දඩුවම ලබන්න යන කෙනාට හිමි කුටියත් ලෑස්ති කළා. මගේ බරට හරියන වැලි මිටියක් එල්ලලා බැලු‍වා. මේ හැමදෙයක්ම මගේ ඇස් ඉදිරිපිටයි සිදු වුණේ. තව දවස් දෙකක් විතරයි ඉතුරුවෙලා තියෙන්නේ කියන තත්ත්වයට ආවා. නමුත් මට විශ්වාසයක් තිබුණා. මම කිසිම වරදක් කරලා තිබුණේ නැහැ. කිසිම අවස්ථාවක අයහපත් තීරණය එන්නේ නැති වෙයි කියලා හිතුවා".


BBC :
2011 වසරේදී මරණ දඩුවම නියම වූ සිරකරුවන් සමාව ඉල්ලූ පෙත්සම ප්‍රතික්ෂේප වුණා. ඔබගේ සැමියාට මරණ දඩුවම ස්ථිර කෙරුණා. කොහොමද ඔබ ඒක භාරගත්තේ?


නලිනි :
"බොහෝම අසීරු අවස්ථාවක් වුණා. ඔවුන් තුන්දෙනාටම මරණ නිවේදනය යවලා තිබුණා. ඒ දවස්වල ඔවුන් හිටිය බන්ධනාගාරයෙන්, ඔයාගේ සැමියාව මෙදින එල්ලා මරනවා කියලා කියලා මෙමෝ ඇවිත් තිබුණා. මම ගොඩාක්ම වියවුල් වෙලයි හිටියේ. ඔහුව දකින්න වෙන්නේ නැහැ. ඔහුත් එක්ක කතා කරන්න වෙන්නේ නැහැ. කියන එක මට දරාගන්න බැරි වුණා. නිතරම අඬමින් හිටියා. නිදි පෙති බීලා නිදාගන්න තත්ත්වය උදා වුණා"


"එතකොට වෛකෝ ගොඩාක් උත්සහ කරලා, රාම් ජෙත්මානිව එක්කගෙන ඇවිත් චෙන්නයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක් ගත්තා. එතකොට තමා අපි ආයෙත් පණ ආවේ. සෙංගොඩිගේ ජීවිත පරිත්‍යාගය, ජනතා නැගිටීමත් සිදු වුණා. චෙන්නයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නාගප්පන් තමා මේ තීන්දුව දුන්නේ. ඒක අපූරු දවසක්. මේකේ පෙරගමන්කරු වෛකෝ. බොහෝ දේශපාලන පක්ෂ මේ වෙනුවනේ සම්බන්ධ වුණා".


BBC :
ඔබේ දරුවාව කාලයක් හැදුවේ බන්ධනාගාරය ඇතුළේදී, ඒ අත්දැකීම කොහොමද?

නලිනි :
"බන්ධනාගාරය කියන්නේ දරුවන්ට සුදුසු තැනක් නෙවෙයි. දරුවාට කිසිම දෙයක් පෙන්වන්න බැහැ. ඒකේ යකඩ කම්බි විතරයි පේන්න තියෙන්නේ. පස් පාගන්න බැහැ. හැමදෙයක් ම පෙන්නුවේ පොත්වලින්. බන්ධනාගාර ගත වෙද්දී මම දින 56 ක ගැබිණියක්. දවස හයට එක වේලක් විතරක් කාලාත් තියෙනවා. ඒවා දරුණු දවස්. ඒ නිසා දරුවා නිතරම අසනීප වෙනවා. කහ උණ ඇති වුණා. දවස් හයක් දරුවාව එලු‍ම්බූර් රෝහලේ නතර කරලයි බේරගත්තේ. ඒ කාලයේ මහඇමති විදිහට හිටිය ජයලලිතා උදව් කළා".


"ඒ කාලයේ දී මගේ ශරීරය ගොඩාක් දුර්වල වෙලයි තිබුණේ. ඇවිදන්නවත් බැරි තත්ත්වයක හිටියේ. මගේ අම්මා තමා රෝහලට යන්නේ. ඒ දරුවාට මව් කිරි දෙන්නත් බැරි වුණා. මාස 10කට පස්සේ තත්ත්වය යහපත් අතට හැරුණා".


"බන්ධනාගාරයෙන් දෙන කෑමවලට දරුවා අකමැතියි. ඒක දැක්ක ගමන් වමනය කරනවා. ටින්වල තියෙන කෑම දරුවාට කොච්චර කාලයකට දෙන්න ද? ඒ දවස්වල තමා නඩු විභාගය ආරම්භ වුණේ. උදේ හවස උසාවියට ගිහින් එන්න වුණා. ඒ නිසා දරුවාට අවුරුදු දෙකක් වෙද්දී එයාව එළියට දෙන්න සිදු වුණා".


nalini 2

BBC :
මෙම සිද්ධියට සම්බන්ධ වුණ හැම කෙනෙකුම හඳුනගත්තේ ඔයාගේ සැමියාගේ මාර්ගයෙන්, කොයිම වෙලාවකවත් මේ සම්බන්ධයෙන් එයා කෙරෙහි ඔබට කෝපයක් ඇති වෙලා තියෙනවා ද?

නලිනි :
'සාමාන්‍යයෙන් අරක්කු විකුණන කාන්තාවන් පවා, මගේ සැමියා නිසයි මට මේ ඉරණම අත්වුණේ කියලා කියලා තියෙනවා. නමුත් නලිනි කවදාවත් එයාගේ සැමියා නිසයි මේ තත්ත්වයට පත් වුණේ කියලා කවදාවත් කියලා නැහැ' කියලයි බන්ධනාගාරයේ ඉන්න අය කියන්නේ. මම මගේ සැමියා ගැන එහෙම හිතලා නැහැ".


BBC :
ඒ තරම් සෙනෙහස දක්වන්න පුළුවන්, විශ්වාසයක් ඔබ තුළ ඇති වුණේ කොහොමද? ඔබේ ආශ්‍රය තිබුණෙත් කෙටි කාලයක් නේද?


නලිනි :
"ආශ්‍රය කළ කාලය කෙටියි. එයාගේ භාෂාව මට තේරෙන්නේ නැහැ. එයා කතා කරන එක තේරෙනවා වගේ ඔළුව වනනවා. මෙහෙම ඉඳත් හිත කියලා දෙයක් තියෙනවානේ. ජීවිතය හෝ දුක, හොඳ හෝ නරක කෙනෙක්ව විශ්වාස කරලා ආවා නේ. ඒක තමා මගේ ජීවිතය කියන එකයි මගේ අදහස"


BBC :
ඔබේ අනාගත සැලසුම් මොනවාද?


නලිනි :
"මගේ පවුල සීසිකඩ වෙලයි තියෙන්නේ. ආයෙත් මුල ඉඳලා පටන් ගන්න ඕනේ. මගේ සැමියා එක්කත්, දරුවා එක්කත් එකතු වෙන්න ඕනේ. හැම කෙනෙකුට වඩා වැඩි බලපෑමකට ලක් වුණේ, මගේ දරුවා. කිසිම වරදක් නොකර හිරේ ඉන්න වුණා. බන්ධනාගාරයෙන් එළියට ගිහිනුත් එයාට කරදර විඳින්න වුණා. අම්මා තාත්තා ඉඳලත් සෙනෙහ ලැබුණේ නැහැ".


"මම එයාට ගොඩාක් සමීපව හිටියා. වෙන කාටවත් එයාව වඩාගන්න බැහැ. එකපාරට එයා වෙන්වෙලා ගියා. මාස හයකට පස්සේ ආයෙත් එක්කගෙන ආවා. ඇයට මාව අමතකවෙලා (අඬයි). මගෙත් එක්ක එන්න බැහැ කිව්වා. ඒක දරුණු සිදු වීමක්".


"ඇයට නොලැබුණ මව් සෙනෙහස ලබා දෙන්න ඕනේ කියලා හිතනවා. නමුත් දැන් එයාට ඒ සෙනෙහස ලැබිලා ඇති ප්‍රයෝජනය මොකක්ද? ඇය වෙනුවෙන් කිසිම දෙයක් කළේ නැහැ. ඇය මට සල්ලි එවන්නම් කිව්වා. ඇය වෙනුවෙන් කිසිම දෙයක් නොකර ඒ සල්ලි ගන්න මට ඇති සුදුසුකම මොකක්ද? ඇයත් එක්ක එකට ජීවත් වෙන්න ඕනේ කියලා හිතනවා. අපේ සබඳතා අලු‍ත් කරගන්න ඕනේ".

nalini 3

BBC :
මෙම සිද්ධියේ මිය ගිය පවුලේ සාමාජිකයන් ඔබව නිදහස් කිරීමට දැඩි විරෝධයක් පළ කළා, ඒ සම්බන්ධයෙන් මොකක්ද ඔබට කියන්න තියෙන්නේ?


නලිනි :
"මම ඔවුන්ගේ පවුල ගැන සිතා අනුකම්පා කරනවා. දුක්වෙනවා. මේකේ දී මිය ගිය අයගේ පවුල්වලට වන්දි ලැබුණාද, ආධාර ලැබුණා ද කියලාවත් මම දන්නේ නැහැ. මේක ඔවුන්ගේ පවුලට ඇති වූ ලොකු අහිමි වීමක් තමා. පවුලේ ගෘහ මූලිකයාව අහිමි කරගන්නවා කියන්නේ අමාරු දෙයක්. මට ඒක තේරුම් ගන්න පුළුවන්. එයාලා අපිව තේරුම් ගන්න උත්සහ කළ යුතුයි කියලා විශ්වාස කරනවා".


BBC :
ඔබ මේ ගැන දුක්වෙනවා ද, නැත්නම් වරදකාරී හැඟීමක් ද තියෙන්නේ?

නලිනි :

"මම මේ ගැන දුක්වෙනවා. 17 දෙනෙකු මරන්න මට තිබුණ අරමුණ මොකක්ද? මරන්න තිබුණ අවශ්‍යතාවය මොකක් ද? මම නූගත් කෙනෙක් ද? වැඩකට ගිහින් හම්බකරන්න බැරි ද? ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ව ඝාතනය කරලාද ජීවත් වෙන්න ඕනේ.? එහෙම කිසිම දෙයක් නැහැ. ඔවුන්ගේ නම්වත් මම දන්නේ නැහැ. නමුත් ඔවුන් ව ඝාතනය කළ වරද මගේ පිටට වැටුණා. මේකට දෛවය කියලයි කියන්න ඕනේ. මම ඔවුන්ව දැකලත් නැහැ. ඔවුන්ට වධහිංසා කරන්න ඕනේ කියන අදහස මං තුළ තිබුණේ නැහැ. ඒක ඔවුන් තේරුම් ගත යුතුයි කියලා හිතනවා".


BBC :
මෙම සිද්ධියට සම්බන්ධ අයව හමුවෙද්දී, ඔවුන් මෙවැනි දෙයක් කළ හැකි අය කියලා, නරකක් කරන්න පුළුවන් අය කියලා ඔබට හිතුණේ නැද්ද?


නලිනි :
"මට එහෙම දෙයක් හිතුණේ නැහැ. ඔවුන්ව දැක්කාම එහෙම හිතුණේ නැහැ. මම ඒ තරම් පරිනත වෙලා හිටියේ නැහැ කියලයි කියන්න තියෙන්නේ. ඒ කාලයේ දී කඩිසරව හිටියා. ඉගෙනගනිමින් හිටියා. වැඩ කරමින් හිටියා. පන්ති ගිහින් ඇවිත් නිදාගනිද්දී රෑ 11 විතර වෙනවා. මගේ සාමාන්‍ය ජීවිතයේ දී මෙහෙම වෙයි කියලා හිතලා බැලු‍වේවත් නැහැ".


BBC :
දැන් ඔබ කුමක් කරන්නද හිතාගෙන ඉන්නේ ?


නලිනි :
"මගේ සැමියාවයි, දුවවයි එකතු කරන්න ඕනේ. ඔහුගේ පවුලේ අයත් එක්ක එකතු කළ යුතුයි. ඒක තමා මගේ ආසාව".


(BBC සිංහල සේවය )


 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්