(හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 77 වන ජන්ම දිනය අදට යෙදී තිබේ)
බෙදුම්වාදී යුද්ධයේ ආරම්භයත් සමග ඉපිද යුධ ගැටුම් පවතින රටක ජීවිතයේ පළමු වසර තිහම ජීවත් වී එම යුද්ධයේ අවසානය දුටු එකම පරම්පරාව වන සහස්‍රයේ පරම්පරාවේ එකෙකු වන මා හට මහින්ද රාජපක්ෂ නමැති අසහාය මිනිසා කෙරෙහි ඇත්තේ සුවිශේෂී ගෞරවයකි. එම මනෝභාවය තේරුම්ගැනීමට හැක්කේ අනතිමානී අයෙකුට පමණී.
ලක්දිව එක්සේසත් කළ සිංහල රජවරුන් ගැන කියවා තිබූ ඉතිහාස කතා දෑස් ඉදිරිපිට ප්‍රතිනිර්මාණය කරමින් ශ්‍රී ලංකාව එකම රාජ්‍යයක් ලෙස නැවත ස්ථාපිත කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සේනාධිනායකත්වය යටතේය. රජෙකු නොවුණත් එම ඓතිහාසික හැරවුම් ලක්ෂය නීත්‍යනුකූලව ලියැවෙන්නේ මහින්ද රාජපක්ෂ ජනනායකයාගේ ශ්‍රී නාමයටය. අපේ කාලයේ සුපිරි වීරයා ඔහුය.
රජුන් රැජිණියන් විසින් වසර දහස් ගණනක් තිස්සේ පාලනය කළ මෙම දේශයේ පරමාධිපත්‍යය මෙහි ජීවත් වන සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් ආදිවාසී වැදි ඈ සියලු ජාතික වැසියන්ට සමානව උරුම කර දී “ශ්‍රී ලංකා ජනරජය” හදන ශ්‍රේෂ්ඨ මොහොතේ එයට අත් ඔසවා ඡන්දය දුන් මහින්ද රාජපක්ෂ නම් දකුණේ තරුණ මන්ත්‍රීවරයා ඉන් වසර තිස්තුනකට පසු එම රාජ්‍යයේ ජන-පති ලෙස ජනතාව විසින් ප්‍රජාතාන්ත්‍රිකව තෝරාගැනෙන්නේ එම ජනරජය නිදහස් කරගැනීමේ දෛවෝපගත කාර්යභාරය වෙනුවෙනි. ඔහු එය අකුරටම ඉෂ්ට කළේය.
පරිණාමක මනුෂ්‍යයා විසින් නිර්මාණය කරන මේ ලෞකිය තුළ ලද හැකි උසස්මාග්‍රය වන්නේ සක්විති රජකමයි. සක්විති රජකම යනු රාජ්‍ය පිහිටුවීමේ මනුසත් ස්වභාවයේ අග්‍ර ඵලයයි. කොටියයි. කෙළවරයි. තමන්ගේම කියා ගෙපැලක් අත්පත් කරගැනීමේ සිට ඊලෝනයා විසින් අඟහරු මත ජනාවාසයක් හදන්නට යෑම දක්වා ඇත්තේ එපමණයි. ඉතිහාසය පුරාම මිනිසුන් කරන්නට උත්සාහ කරන්නේ එයයි. බුද්ධත්වය යනු ඒ සියල්ල අත්හැරීමේ අග්‍රයයි.
සක්විති හෝ අධිරාජයෙකු හෝ වීමට වර්ග කිලෝමීටර් කීයක ධජය ගැසිය යුතුද යන්න තාක්ෂණික කාරණයකි. වැදගත් වෙන්නේ පවතින තත්ත්වයන් තුළ පැවතිය හැකි සක්විති රාජ්‍යය තහවුරු කිරීමයි. මහින්ද රාජපක්ෂ ඔහුගේ නමින් එය සහසුද්දෙන්ම කළේය.
එතැන් පටන් මෙහි කවරෙකු හෝ ලබන කිසිවක් හෝ ලබන්නේ මහින්ද ලද රාජ්‍යයේය. එය වෙනස් වන්නට නම් මේ රාජ්‍යය බිඳීගොස් නැවත කිසිවෙකු විසින් තහවුරු කළ යුතුය. ඒ අනුව මහින්ද යනු සියල්ල ලද මිනිසෙකි. එයට වඩා ලබන්නට දෙයක් මිනිසෙකුට නැත. ලැබිය හැකි උපරිමය ලබාගත් මිනිසෙකි ඔහු. මෙයට වඩා ලබන්නට දෙයක් ඔහුට නැත්තේමය.
මහින්ද රාජපක්ෂ ඇසුරෙහි ලියන කියන අනෙකුත් සියලු දෑ නොවැදගත්ය. අනේක විධ නින්දා හෝ ප්‍රශංසා මෙන්ම මවිසින් ලියන මේ උපේක්ෂා සහගත ලියවිල්ලත් නොවැදගත්ය. සියල්ල ලද මිනිසාට දෙන්නට කිසිවක් නැත. ගහන්නට ගලුත් නැත. පුදන්නට මලුත් නැත. කියන්නට වදන් නැත. ධර්මය අපට මග වේවා!(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2022 නොවැම්බර් 18
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න