ගොඩයමු සාමූහිකය එක්ක පළාතෙන් පළාතට යනකොට තේරුම් ගන්න ලැබෙන දේවල් පුදුමාකාරයි. මිනිස්සු අහන ප්‍රශ්න විවිධාකාරයි. ගාල්ලට ආපු

එක්කෙනෙක් නැගිටලා හයියෙන් කිව්වෙ, මෙතන ඇවිල්ලා අපිට බනින්න එපා. හොරකම් කරපු දේශපාලකයන්ට බනින්න කියලයි.


ගොඩයමු වැඩේ අදහස වෙන්නෙම 225 කරපු වැරදි හොයන එක නෙමෙයි. ඒ වෙනුවට රටක් විදිහට අපි කරපු වැරදි ගැන අවංකව කතා කරන එක. එතනදි ඔය කියන 225 පාර්ලිමේන්තු යවපු එකේ වගකීමත් ජනතාව විදිහට අපි බාරගන්න ඕන. ඒත් ජනතාව කැමති නෑ වගකීම් බාරගන්න. ඒ වෙනුවට ඒ ගොල්ලො රැස්වීම්වලට එන්නෙ දේශපාලකයන්ට බනිනවා අහන්න. ජනතාව බුද්ධිමත් කියල අහගන්න. මේ රැස්වීම් වලදි අපිට තේරුම් ගන්න පුළුවන් වුනා ඇයි ජවිපෙ රැස්වීම් බලන්න සෙනග ඉන්නෙ කියල.

 

ජවිපෙ කියන්නෙ ‍හොරකම් කරපු දේශපාලකයො ගැන. ඒ හොරකම් කරපු සල්ලි ආපහු අරං එනවා කියන රොබින්හුඩ් කතාව. ඒ සල්ලිවලින් රට ගොඩදානවා කියන උදාන වාක්‍යය. ජනතාවට ඕන වේදිකාවට නැගලා කවුරු හරි දේශපාලකයන්ට බනිනවා අහන්න. ඒත් ගොඩයමු වැඩේදි සිද්ද වෙන්නෙ මේකෙ අනිත් පැත්ත. ආපහු හැරිලා ඔව්, 225ත් හොරු තමයි. හැබැයි රටේ කෝටි දෙකක ජනතාවත් හොරු නෙමෙයිද කියල අහන එක. පාඩු ලබන රාජ්‍ය සේවයේ රස්සා ඉල්ලගෙන යන අයත් රට බංකොලොත් කරන බව කියන එක. අකාර්යක්ෂම රාජ්‍ය ආයතනවල නිකං ඉඳිමින් පඩි ලබන, විශ්‍රාම වැටුප් ඉල්ලන විශාල ජනතාව මේ ප්‍රශ්නයේ ලොකු කොටස බව මතක් කරන එක. සහනම ඉල්ලමින් ආණ්ඩු මාරු කරන මහ ජනතාව ආර්ථික අර්බුදයේ විශාල කොටස්කරුවන් බවට ඇත්ත කියන එක. ඒ ඇත්ත අහන්න ජනතාව කැමති නෑ. ජනතාවට ඕන දේශපාලකයන්ට බනින්න විතරයි. එහෙම බැනලා ආපහු තවත් ඒ වගේම කට්ටියක් පත් කරලා අරින්නයි. පුළුවන් නම් තමන්ට රස්සාවක්, පර්මිට් එකක්, ළමයට ඉස්කෝලයක් ඉල්ලගන්නයි.

 

මේක විෂම චක්‍රයක්. ඉතින් දේශපාලකයන්ටත් සිද්ද වෙනවා චන්දෙ වෙනුවෙන් මේ දේවල් කරන්න. මේ දේවල් වෙනුවෙන් නීතියට සාධාරණත්වයට පිටින් දූෂිත මාර්ග අනුගමනය කරන්න. එහෙම කළොත් විතරයි එයාට දේශපාලනය කරන්න පුළුවන් වෙන්නෙ. ජනතාව වෙනස් නොවනතාක් කල් දේශපාලකයා වෙනස් වෙන්නෙ නෑ. ජනතාව පුරවැසියන් විදිහට තමන්ගේ වගකීම බාරගන්න කල් පාර්ලිමේන්තුව ඔයිට වඩා හොඳ තැනක් වෙන්නෙ නෑ. කොටින්ම දේශපාලකයන්ට බනිනවා අහලා ත්‍රිල්වෙන ජනතාවක් එක්ක රටක් ගොඩදාන්න බෑ. ඒ තමයි මේ අර්බුදයේ මුල.

 

 127625924 whatsappimage2022 11 14at2.48.57pm 2

ණය ගත යුත්තේ පරිභෝජනයට නොව ආයෝජනය පිණිසමයි කියල රනිල් බුදුන් කී දෙසුම් මතක් කරනවා.

 

ඊයෙ රනිල් වික්‍රමසිංහ අලුත් බජට් එක කියෙව්වා. ඒ බජට් එකෙන් බලාපොරොත්තු වෙන මූලික දිශානතිය හොඳ එකක්. රනිල් මේක හඳුන්වන්නෙ අලුත් ආරම්භයක් විදිහට. ගොඩයමු සාමූහිකය විදිහට අපි යෝජනා කරන බොහොමයක් කාරණා අලුත් බජට් එකේ යෝජනාවලට සමපාතයි.


# අපනයන ‍කේන්ද්‍රීය ආර්තිකයක්
# පරිසර හිතකාමී ආර්තිකයක්
# ඩිජිටල් ආර්තිකයක්


කියන ප්‍රවේශයන් තුනට මුල්තැන දෙන වග රනිල් කියනවා. ජනප්‍රිය මාවත වෙනුවට දුෂ්කර මාවත තෝරගන්න බව කියනවා. සහන වෙනුවට අවස්ථා නිර්මාණය කිරීම තමන්ගේ උත්සාහය බව කියනවා. ණයට මගුල් කෑම අවසන් කළ යුතු බව කියනවා.


ණය ගත යුත්තේ පරිභෝජනයට නොව ආයෝජනය පිණිසමයි කියල බුදුන් කී දෙසුම් මතක් කරනවා.


රජයේ ආයතන 420ක් තියෙනවලු. එයින් 52ක පාඩුව බිලියන 86ක් ලු. රට බංකොලොත් වෙන්න හේතුව 225ම නෙමෙයි වග මෙතනදි කෙනෙකුට පැහැදිලි වෙන්න ඕන. මේ තරම් දැවැන්ත රාජ්‍ය ආයතන තොගයක් පවත්වාගෙන යන රජයක් කියන්නෙ බංකොලොත් ආර්ථිකයට මූලිකම හේතුවක්.
අපේ රටේ පවතින ව්‍යවසායක විරෝධය ගැනත් රනිල් මෙතනදි මතක් කරනවා. ගමේ කඩේ ඉන්න මුදලාලිත් දුෂ්ටයෙක් සූරාකන්නෙක් විදිහට දකින මානසිකත්වය ගැන එයා කතා කරනවා. මේක ලංකාවෙ වම විසින් නිර්මාණය කරපු තත්වයක්. අපේ රටේ තියෙනවා සල්ලි එක්ක තරහක්. දේවල් නොමිලේම ලැබිය යුතු බවට විශ්වාසයක්. මුදල්වලින් ගනුදෙනු කළත් අපි තාම ජීවත් වෙන්නෙ හුවමාරු ආර්ථික මානසිකත්වයක. ඒ වෙනුවට ව්‍යවසායකයන්ට සියලු පහසුකම් සැලසිය යුතු ආර්ථිකයක් නිර්මාණය කරනවා කියල රනිල් කියනවා.


එයාගේ යෝජනාව සෝෂල් මාර්කට් ඉකොනොමියක් කියන එක. සමාජ ආරක්ෂණය ගැන උනන්දු නමුත් අපනයන කේන්ද්‍රීය තරගකාරී නිදහස් වෙළඳ ආර්ථිකයක්. ඒක හොඳ යෝජනාවක්. ඒත් අපි කොහොමද එතනට යන්නෙ කියන එකයි ඇත්ත ගැටලුව. ඒකට අපිට සිද්ද වෙනවා මේ රටේ අඩුම තරමෙ සබුද්ධික ජනතාවවත් මේ සුබසාධනවාදී මානසික ඇබ්බැහියෙන් ගලවගන්න.

 

පුද්ගලික අංශයට නායකත්වය දෙනවා කියල රනිල් කියනවා. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනවා කියල කියනවා. හැබැයි ඒ අතරම කුරුඳුවලටත් අලුතෙන් රජයේ දෙපාර්තමේන්තුවක් යෝජනා කරනවා. රජය විසින් අතගහන සියල්ල පාඩු බව දැන දැනමත් නැවත රාජ්‍ය ආයතන ඇති කරන්න උත්සාහ ගැනීමම රනිල් කතා කරන දේට ප්‍රතිවිරුද්ධයි. අලුත් වෛද්‍ය පීඨයක් ඇති කරන්නත් මුදල් වෙන් කරනවා. අපි මුහුණ දෙන ආර්ථික අර්බුදය ඉස්සරහ අපිට තවත් රජයේ වියදම් වැඩිකරන වෛද්‍ය පීඨයක්ද ඕන වෙලා තියෙන්නෙ කියල ප්‍රශ්නයක් එනවා.

 

තනි කම්කරු නීතියක් හඳුන්වා දෙන්න යන එක වැදගත් එළඹුමක්..



ආයෝජනවලට හිතකර වන පරිදි යල්පැන ගිය කම්කරු නීති වෙනුවට තනි කම්කරු නීතියක් හඳුන්වා දෙන්න යන එක වැදගත් එළඹුමක්. මේ තියෙන නීති එක්ක කිසි ආයෝජකයෙක් මේ රටට එන්නෙ නැතිවග පැහැදිලි කාරණයක්. ඒ වගේම වගා නොකරන ඉඩම් බදු අරන් අපනයන භෝග වගාවට යොදවන්න උත්සාහ ගැනීමත් කරනවා නම් හොඳ වැඩක්.


අපි නඩත්තු කරන විශාල හමුදාව කියන්නෙත් රාජ්‍ය අංශයේ බරවා කකුලක්. අවුරුදු 18ක සේවයක් සපුරා ඇති අයට කැමැත්තෙන් විශ්‍රාම යාමේ ක්‍රමයක් හඳුන්වා දෙන්නත් යෝජනා වුනා. ඒක හොඳයි. ඒත් මේ තියෙන බරවා කකුලට ඔය වගේ සුළු විසඳුමක් ප්‍රමාණවත් වෙයිද කියන එක සැකයි.


ගොඩගමු සාමූහිකය විසින් දිගින් දිගටම කතා කරන සමාජ ආරක්ෂණ ජාලය ගැනත් බජට් එකේදි කියවුනා. අවශ්‍ය අයගෙ බැංකු ගිණුමටම මුදල් ලැබෙන ක්‍රමයක් නිර්මාණය කරනවා කියලත් කිව්වා. මේ ආර්ථික අර්බුදයෙදි අසරණම වෙන ජන කොටස් වෙනුවෙන් ඒක අවශ්‍යම පියවරක්.


ඒත් නිදහස් සෞඛ්‍ය සහ අධ්‍යාපනය සියල්ලන්ටම ලැබෙන ක්‍රමයක් පවත්වා‍ගෙන යනවා කියලත් රනිල් කියනවා. මිළක් ගෙවාගත නොහැකි අයට නොමිලේ අධ්‍යාපනය, සෞඛ්‍යය ලැබෙන එක වැදගත්. ඒත් හැමෝටම ඒ දේවල් නොමිලේ ලැබෙන්න උවමනා නෑ. ඒකෙන් වෙන්නෙ නොමිලේ දේවල් ලැබීම ‍නිවැරදි ක්‍රමය විදිහට පවත්වාගෙන යන එක විතරයි. මේ අර්බුදයෙන් අපි ගැලවෙන්න නම් ගෙවීමේ හැකියාව ඇති අයට මුදල් ගෙවා මේ සේවාවන් ලබාගැනීමටත්, ගෙවන්න බැරි අයට නොමිලේ මේ සේවාවන් ලබාදීමටත් ක්‍රමයක් හදන එකයි වැදගත්.

 

pic5f57e9ba37bb70eae003882baaceacd5

ළිංමැඩි සංස්කෘතික සීමාවන් එක්ක අලුත් ආර්ථික ප්‍රවේශයන් අත්හදා බලනවා කියන්නෙ හීනයක්

 

මං හැමදාම කතා කරමින් හිටපු කංසා අපනයනය සඳහා නිදහස ලබාදීම ගැනත් රනිල් එතනදි කිව්වා. ඒකට කොමිටියක් පත්කරනවා කියලත් කිව්වා. ඒත් ඒ කියපු විදිහෙන්ම තේරෙනවා ඒක නිකං විහිලුවක් විතරයි කියන එක. කංසා අපනයනය නෙමෙයි කිසිම සාර්ථක දෙයක් ඔය මේ රටේ බුද්ධිමත් කියන අයගෙන් සැදුම්ලත් කොමිටි පත් කරලා කරන්න පුළුවන්කමක් නෑ. මේ වගේ දෙයක් කරන්න ඇත්ත උවමනාවක් ඇත්නම්  ඒ ගැන විශේෂඥ දැනුමක් තියෙන විදෙස් පුද්ගලයන් ඒකට සම්බන්ධ කරගන්න ඕන. අපේ රටේ අයගෙ ළිංමැඩි සංස්කෘතික සීමාවන් එක්ක අලුත් ආර්ථික ප්‍රවේශයන් අත්හදා බලනවා කියන්නෙ හීනයක්.


මොනවා වුනත් බජට් එකෙන් යෝජනා කරන ආර්ථික දිශානතිය යහපත්. හැබැයි ඒ අරමුණු කරා යන්න සැලසුම් කරන ආකාරය දුර්වල වුනොත් ඒ ගමන හීනයක්.

 #godayamu



සුබ පැතුම් රනිල් ! - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -අනිද්දා පත්තරේ කල්ට් අතිරේකය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්