ශ්‍රී ලාංකිකයන්ගෙන් 93% වඩා වැඩි පිරිසක් ආදායමට වඩා වියදම් කරන බව අතීක් මරිකාර් (Atheek Marikar) විසින් මෙහෙයවන ලද PepperCube සමාගමේ පර්යේෂණයට අනුව අනාවරණය වී තිබේ.



ප්‍රතිචාර දැක්වූ පුද්ගලයන්ගෙන් 7% ක පිරිසක් පමණක් වියදමට වඩා ආදායමක් ලබයි. 93% වඩා වැඩි පිරිසකට තමන්ගේ ආදායමට වඩා වියදම් කිරීමට සිදුව තිබේ.

මෙම නියැඳිය ශ්‍රී ලංකාව ගමන් කරන්නේ කොතනටද යන්න පෙන්නුම් කරයි.

මේ වන විට අප ගතකරමින් සිටින දුෂ්කර ආර්ථික තත්ත්වය මෙයින් අවබෝධ කරගත හැකිය. 93% යනු තිගැස්සෙන සුළු අගයකි. ඉහළ පිළිගැනීමක් සහිත බැංකු, 2021 වසරේ පසුගිය මාස 9 ට සාපේක්ෂව 90% ක් බැංකු 2022 දී සෘණ ලාභ වර්ධනයක් ලබා ඇත.

ඉහළ ගිය ජීවන වියදම සහ උද්ධමනය ජනතාවට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටී.

අතීක් මරිකාර් (Atheek Marikar -Managing Director/CEO at PepperCube Consultants, Sri Lanka) සහ මා වසර ගණනාවක් තිස්සේ ජනතාවගේ මතය සම්බන්ධ පර්යේෂණ වල නිරත වී සිටින්නෙමු. ඔහු හොඳ තීක්ෂණ බුද්ධියකින් සමන්විත අයෙක් වන අතර ආර්ථික පරිසරය ගැන අවධානයෙන් සිටින්නෙකි. ඔහු පර්යේෂණ හරහා සොයා ගන්නා ප්‍රතිඵල වල ඉහළ නිරවද්‍යතාවයක් දැකගත හැකිය. එහෙයින් මට මෙම ප්‍රතිඵලය ගැන සැකයක් නොමැත.

 

zdfewAtheek Marikar -Managing Director/CEO at PepperCube Consultants, Sri Lanka


රටේ විවිධ ව්‍යාපාරික ප්‍රජාවන් සමඟ මම සාකච්ඡා කර ඇති අතර, නිදහසින් පසු එලඹුනු දරුණුතම ආර්ථික අර්බුදයකට අප මුහුණ දෙමින් සිටින බව ඔවුන් සියලු දෙනාම ඒකමතිකව ප්‍රකාශ කරයි. මෙම කරුන සමීක්ෂණ මගින් ද තහවුරු කර ඇත.

 

PepperCube පර්යේෂණය හරහා හෙළිවන්නේ අනාගත මාස 12 තුළ ආර්ථික තත්ත්වය යහපත් වනු ඇතැයි බහුතර ජනතාව විශ්වාස නොකරන බවය. ජනතාවගේ බලාපොරොත්තු සීඝ්‍රයෙන් ගිලිහී යමින් පවතින බවය. මෙහි ප්‍රතිඵලයක් ලෙස උගත් තරුණ තරුණියන් වඩාත් හිතකර ජීවන තත්වයක් උදා කර ගැනීමේ අරමුණින් රට හැරයාමට උත්සාහ කරති.



නිල වශයෙන් වාර්තා වී ඇති ආහාර උද්ධමනය අතිශය දුෂ්කර තත්වයකි. එයට ඉහළ යමින් පවතින ප්‍රවාහන, අධ්‍යාපන, ඖෂධ, ගෙවල් කුලී ඇතුළු අනෙකුත් වියදම් එකතු වූ විට ශ්‍රී ලාංකික පුරවැසියා විශාල අසීරුතාවයකට පත් වේ. වාර්ෂික ක්‍රෙඩිට් කාඩ් ණය පොලී අනුපාතය 36%ක් වන අතර නිවාස ණය, පුද්ගලික ණය, වාහන ලීසින් ණය සඳහා අය කළ පොලී අනුපාත වල විශාල වර්ධනයක් දැකගත හැකිය.

එමෙන්ම ඉහළ ආදායම් ලබන්නන්ට වැඩි බදු ප්‍රතිශතයක් ගෙවීමට සිදුව ඇත. මෙම වියදම ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගෙන් අති බහුතරයකට දරාගත නොහැකිය.

ශ්‍රී ලාංකිකයන්ගෙන් 93% ක පිරිසක් තම ආදායමට වඩා වැඩියෙන් වියදම් කිරීමට සිදුව ඇතැයි යන්න සත්‍යයක් බව මෙයින් හෙලි වේ. මෙම තත්ත්වය ඕනෑම මොහොතක පුපුරා යා හැකි කාල බෝම්බයකට සමාන කළ හැකිය. මෙහි බරපතලකම රටේ නායකයන් තේරුම් ගත යුතුය.

zsdfw

මෙම අනතුරුදායක තත්ත්වය රටේ සියලුම ව්‍යාපාර වලට බලපානු ඇත. බැංකු තැන්පතු සඳහා ඉහළ පොලී අනුපාතයක් ලබා දුන්නත් මූල්‍ය ආයතන තැන්පතු ලබාගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දරනු ඇත. ඒ පාරිභෝගිකයන් අත මුදල් නැති කමයි. භාණ්ඩ සහ සේවා විකිණීම අඩු වනු ඇත. පර්යේෂණ දත්ත වලින් හෙලි වී ඇත්තේ පසුගිය වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව මේ වසරේ ජනතාව සුපිරි වෙළඳසැල් වලට යෑම අඩු වී ඇති බවය.



ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කල පරිදි 2022 වසරේ පළමු මාස අට තුළ නොනිල පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවී ඇත. (දළ වශයෙන් 25% ක් පමණ). නමුත් සත්‍යය නම් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි වූයේ සේවකයන්ගෙන් කොටසකට පමණක් වීමය.



2022 වසරේ දෙවන කාර්තුවේ පමණක් ක්‍රෙඩිට් පත් කාඩ්පත්වල ගනුදෙනු වටිනාකම රුපියල් බිලියන 100.5 කි. මෙය 2021 දෙවන කාර්තුවට සාපේක්ෂව 63% ක වැඩි වීමකි. මෙහිදී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වාර්ෂික පොලී අනුපාතය 36% ඉක්ම වූ බව අමතක නොකළ යුතුය. මගේ පුද්ගලික ව්‍යාපාරික අත්දැකීම් වලට අනුව බොහෝ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් ශේෂය නඩත්තු කරමින් අවම ගෙවීමක් පමණක් සිදු කරයි. එමනිසා ඔවුනට මාසිකව ඉතා ඉහල පොලී ගෙවීමක් කල යුතුව තිබේ. මේ නිසා ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය වැඩිවීම රට යහපත් අතට හැරෙන බව හෙළි කරන සාධකයක් නොවේ. මහ බැංකු වාර්තා වලට අනුව ගනුදෙනු සිදුකෙරෙන ක්‍රෙඩිට් කාඩ්පත් මිලියන දෙකකට අධික ප්‍රමාණයක් තිබේ. බොහෝ දෙනකුට ක්‍රෙඩිට් කාඩ්පත් එකකට වඩා තිබේ. මගේ ගණනය කිරීම් වලට අනුව දළ වශයෙන් ලක්ෂ 12ක පිරිසක් විසින් මිලියන දෙකක ක්‍රෙඩිට් කාර්ඩ් පත් ප්‍රමාණයක් භාවිතා කරමින් සිටී.



රටක් ලෙස අප ගමන් කරන්නේ කොතැනටද යන්න පිළිබඳව කිසිවෙකුටත් නිශ්චිත අවබෝධයක් නොමැත. රජය ඒක පුද්ගල ප්‍රසංගයක් නරඹමින් සිටින අතර සියලු දෙනාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලබා දෙන විසඳුම් දෙස බලා සිටී. කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ඵලදායි පියවර ගන්නා බව පෙනෙන්නට නැත. විපක්ෂය නියෝජනය කරන පිරිස් ව්‍යාකූල වී ඇති අතර ප්‍රකාශ නිකුත් කිරීම හැර වෙනත් යමක් ඔවුන්ට කළ හැකිද යන්න පිළිබඳව මට සැක පහළ වී තිබේ.

ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ අයවැය දේශපාලනික වශයෙන් සුරක්ෂිත අයවැයකි. නමුත් රටේ තත්වය විසඳීමට සමත් වේ යැයි කිව නොහැක. රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කළ යුතුය. රජය මුදල් ඉපැයීමේ ව්‍යාපාර වල නියැලීම නොකළ යුතුය. රජය සහ පෞද්ගලික අංශ හවුල්කාරීත්ව පදනම මත ව්‍යාපාර කළ යුතුය.

නමුත් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය විශ්වාසදායි විය යුතුය. අතීතයේදී සිදු වූ නමුත්, සිදු නොවිය යුතුව තිබූ රාජ්‍ය වත්කම් ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ පෞද්ගලීකරණය කිරීමේ වැරදි තීරණ ගත් ඉතිහාසයක් අපට තිබේ. මේ නිසා මෙම කාර්යය සඳහා ප්‍රවීණයන් බඳවා ගත යුතු අතර අක්‍රමිකතා වළක්වා ගැනීම වෙනුවෙන් ඔවුන්ට ඉහළ වැටුපක් ලබා දිය යුතු බව මගේ අදහසයි.

මහජනතාව අසරණ වී ඇති අතර ඔවුන්ගෙන් සියයට අනූ තුනක් කෝපය, බලාපොරොත්තු විරහිත බව, කළකිරීම වැනි ඍණාත්මක හැඟීම් වලින් පීඩා විඳීන බවට අනුමාන කල හැකිය.

මෙම ගැටළුවට ඇති සරලම විසඳුම වන්නේ විදේශ ගත වීමයි. නමුත් විදේශ රටක රැකියාවක් ලබා ගැනීම සඳහා එම රටවල රැකියා අවස්ථා තිබිය යුතුයි. බොහෝ රටවල් රැකියා ලබා දීමේදී තමන්ගේ පුරවැසියන්ට පළමු තැන ලබා දේ. මේ නිසා විදෙස් රැකියාවක් සොයා ගැනීම අභියෝගාත්මක කාර්යයකි.

කෙසේ වෙතත් සංචාරක වීසා මත ඩුබායි වෙත ගිය ශ්‍රී ලාංකික තරුණයන් බොහෝ පිරිසක් රැකියා සොයා ගැනීමේ අරමුණින් සිටී. මගේ 23 හැවිරිදි බෑනා ඩුබායි සිට මාස අටක් උත්සාහ කිරීමෙන් පසුව රැකියාවක් සොයා ගැනීමට සමත් විණි. ඔහු රට හැර ගියේ තම පවුල නඩත්තු කිරීමට අවශ්‍ය නිසාය. ඔහු ශ්‍රී ලංකාවේදී රුපියල් 20,000 මාසික වැටුපකට සේවය කළ අයෙකි. ඔහුගේ විදෙස්ගත වීමේ තීරණයට මා එරෙහි නොවූයේ ඔහු මෙරටදී ලබන වැටුප ඔහුගේ ප්‍රවාහනය ඇතුළු අනෙකුත් වියදම් වලට ප්‍රමාණවත් නොවන බව මම දන්නා නිසාය.



2022 ජූනි 30 වන විට, ක්‍රෙඩිට් කාඩ්පත් ලාභින් 190,000ක් පමණ ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් අක්‍රීය කර ඇත. ඉතිරි මාස වල දී මිනිසුන්ගේ ජීවන රටාවේ වෙනසක් සිදු නොවුනහොත් ජනතාව බාහිර පීඩනයට ඔරොත්තු දිය නොහැකි තත්වයකට පත් වේ. මෙම තත්ත්වය වැඩි වනු ඇත.  බැංකු පද්ධතියේ සේවය කරන මගේ මිතුරන් අක්‍රීය වත්කම් ශීඝ්‍ර ලෙස ඉහළ යාම සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වන ලාභය අඩු වීම වැනි අවදානම් පිළිබඳව කනස්සල්ලට පත්ව සිටී. දශක තුනක් පුරා පැවති යුධ සමයේදී වුවද බැංකු සිය ලාභය සෑම වසරකම වැඩි කර ගැනීමට සමත් විණි. නමුත් වර්තමානයේ පෙර නොවූ විරූ ගැටලුකාරී තත්ත්වයක් උදාවී ඇත.



රටේ නායකයන් තවමත් සිය දේශපාලන කටයුතු සඳහා කාර්ය බහුල වෙමින් පවතී. අකාර්යක්ෂම පාලනය ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවේ. ශ්‍රී ලාංකිකයන් ගෙන් 93%ක්ම තමන්ට දරා ගත හැකි සීමාව ඉක්මවා ඇත. මිනිස් මනසට දැරිය හැකි පීඩනය යම් මට්ටමකට සීමා වේ. පීඩනය දරා ගත නොහැකි මිනිස් මනස ඉතා භයානකය.

අපේ රටේ භාණ්ඩාගාරය වසර හැත්තෑ හතරක් පුරාවට පරිහානියට පත්වෙමින් තිබුණි. මේ අතර කලාපයේ අනෙකුත් රටවල් අපව පසුකර සමෘද්ධිය කරා ළඟා විය. අප මුහුණ දී සිටින බරපතළ ප්‍රශ්නයට විසඳුම් ලබා ගැනීම සඳහා අප දේශපාලකයන් පසුපස යෑම අර්ථ විරහිතය. ඔවුන්ට එය කළ නොහැකි වන අතර ඔවුන් එය කරන්නේද නැත.

අප සියල්ලෝම එකට එකතු විය යුතුය. තනි පුද්ගලයකුට මෙම අර්බුදයෙන් අපව මුදා ගත නොහැකිය. ඔබ සැම සිහිනුවණින් මෙම තත්වයට මුහුණ දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.


Saliya Weerakoon(සාලිය වීරකෝන්)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(ලේඛක, ව්‍යවසායක, ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර අත්දැකීම් ලද වසර 27 ක පලපුරුද්දක් සහිත, Harvard Kennedy School in Public Leadership හි ආදි ශිෂ්‍යයෙකි.)

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image