2023 අයවැයෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍යය වෙනුවෙන් වෙන් කර ඇති මුදල් පිළිවෙලින්

රුපියල් බිලියන 232 හා 322ක් ලෙස එකතුව රු බිලියන 554ක් වෙද්දී ආරක්ෂක වැය පමණක් රු බිලියන 539ක් වීම පිළිබඳ අරගලයට සම්බන්ධ පාර්ශ්ව මැසිවිලි නගන ආකාරය සමාජ මාධ්‍යවලදී දැකිය හැකියි.

එහෙත්, වාමාංශික පක්ෂ ඇතුළු විපක්ෂය මේ පිළිබඳ කට අරින්නේවත් නැති වීම සුවිශේෂයි.

රටක ආරක්ෂක හමුදාවක් නඩත්තු කිරීම සඳහා අතිවිශාල පිරිවැයක් දරන්නට සිදුවෙන එක සාමාන්‍ය තත්වයක්. එමගින් ක්ෂණික ප්‍රතිලාභ ලබාගන්නට බැහැ. රාජ්‍ය සේවක වැටුප් වියදමෙන් පහෙන් එකක් පමණ වැයවන්නේ ආරක්ෂක හමුදා වැටුප් සඳහායි. ආරක්ෂක හමුදාවන්ගේ වැටුප් තලයන් සෙසු රජයේ සේවකයන්ගේ වැටුප් තලවලට සාපේක්ෂව ඉහළයි. ආරක්ෂක වියදම් අඩුකරන්නට නම්, දැනට ලක්ෂ තුනක් පමණ වන ආරක්ෂක හමුදාවල නිලධාරීන් හා සෙබළුන් සංඛ්‍යාව අඩුකළ යුතුයි. වෙනත් විසඳුමක් නැහැ. එය කළ නොහැක්කක් නොවෙයි. හමුදාවේ ඉහළ නිලවල සිටින නිලධාරීන්ට පෞද්ගලික සහායකයන්, කාර්ය මණ්ඩල, ආරක්ෂක භටයන්, රියදුරන් හා වාහන ආදී පහසුකම් හා වරප්‍රසාද රැසක් සපයනු ලබනවා. හමුදා කුඩා කිරීම ඉහළ සිට ආරම්භ කළ හැකියි. එවිට පහළ ඉබේම අඩුවෙනවා.


රජයේ අයවැය යෝජනා අතර ආරක්ෂක හමුදාවලට අදාළ වන යෝජනාවක් ද තිබුණා. විශේෂ කාණ්ඩ හැර අනෙකුත් සන්නද්ධ හමුද සාමාජිකයන් සඳහා අවුරුදු 18ක සේවා කාලයෙන් පසු විශ්‍රාම යාමේ අවස්ථාව ලබාදීමට යෝජනා කර තිබෙනවා.

 


සංවාදයක් ආරම්භ කිරීමට මෙය අවස්ථාවක්...

මේ අවස්ථාවේදී හමුදා අඩු කළ හැකිද යන්න සහ එය කළ යුත්තේ කෙසේද යන්න ගැන සංවාදයක් ආරම්භ කිරීමට මෙය අවස්ථාවක්. ප්‍රචණ්ඩ ජන පිරිස් විසින් ජනාධිපති නිල නිවස, ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති නිල නිවස, අගමැති ලේකම් කාර්යාලය වැනි ස්ථාන බලහත්කාරයෙන් අත්පත් කරගනිමින් ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයකු පළවාහැරියේ 2022 ජුලි මාසයේදීයි.

sdgf

අගමැතිවරයාගේ පෞද්ගලික නිවස ඇතුළු දේශපාලනඥයන්ගේ නිවාස සියයකට වැඩි ගණනක්, බස් රථ හා වෙනත් දේපළ රැසක් ද පසුගිය මාස කීපය තුළදී ගිනිතබා විනාශ කරනු ලැබුවා. එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා ඔහුගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු පොලුවලින් ගසා මරාදමන ලදී. එහෙත්, මේ විනාශයන් වැළැක්වීමේලා කිසිවක් කිරීමට ආරක්ෂක හමුදා සමත් වූයේ නැහැ.



කෙසේ වෙතත්, ආරක්ෂක හමුදා අවම කිරීමට හැකි අන්දමින් සාමකාමී තත්වයක් රට අභ්‍යන්තරයේ තිබෙනවාද යන්නද ගැටලුවක්. 2018 පාස්කු ඉරු දින ප්‍රහාර ත්‍රස්තවාදී තර්ජන මුළුමනින්ම අවසන් නැති බවට සංඥාවක්. මේ වන විට සන්නද්ධ අරගලයක් නොපැවතියත්, පිරිස් බලය යොදවා තමන්ට අවශ්‍ය දේ කරවාගන්නා බවට කටමැත දොඩන කැරැලිකරුවන් සිටිනවා. 2015-19 සමයේ රාජපක්ෂවාදීන්ටත් එසේ මහ පිරිස් ඒකරාශී කිරීමේ හැකියාව තිබුණත්, ඔවුන් ඒ අන්දමින් පිරිස් බලය පාවිච්චි කිරීමට යොමු වුණේ නැහැ. දැන් තත්වය වෙනස්.



ජන අනුපාතය අනුව ලොව විශාලතම හමුදාවන් සිටින රටවල් අතරින් හත්වන ස්ථානයේ

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා අති විශාල වශයෙන් ප්‍රසාරණය කරනු ලැබුවේ 2009දී අවසන් වූ තිස් අවුරුදු දෙමළ කැරැල්ල සමයේදීයි. මේ වන විට ශ්‍රී ලංකාව ජන අනුපාතය අනුව ලොව විශාලතම හමුදාවන් සිටින රටවල් අතරින් හත්වන ස්ථානයේ සිටිනවා. රටේ ජනගහණයෙන් සෑම දහසකටම හමුදා සාමාජිකයෝ 11.6ක් ඉන්නවා.

ජාතික ආරක්ෂාව ආර්ථික විද්‍යාවේදී සැලකෙන්නේ පොදු භාණ්ඩයක් ලෙසයි. වෙළඳපොළ විසින් පොදු භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නැති අතර ඒවා නිපදවිය යුතු වන්නේ බදු මුදලින් රාජ්‍යය විසිනුයි. ජාතික ආරක්ෂාව අවශ්‍ය වන්නේ විදේශීය ආක්‍රමණවලින් හා බලහත්කාරයන්ගෙන් ආරක්ෂා වීම සඳහායි. ජාතික ආරක්ෂාව සඳහා අනිවාර්යයෙන් යුද, ගුවන් හා නාවික හමුදා නඩත්තු කිරීමට අවශ්‍ය නැහැ.



මධ්‍යම ඇමරිකානු රටක් වන කොස්ටාරිකාව 1948දී එරට හමුදාව විසුරුවාහැර 1949දී, එම විසුරුවාහැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද ඇතුළත් කළා. කොස්ටාරිකාව පොලිස් බලකායක් පවත්වාගෙන යනවා. පසුගිය හැත්තෑ හතර වසර තුළ එරට විදේශ ආක්‍රමණවලට හෝ යුද්ධවලට ද පැටලී නැහැ. අභ්‍යන්තර ආරාවුල් ද ඇතිවී නැහැ. ශ්‍රී ලංකාවට ද මේ ක්‍රමය ගැලපෙනවා. ලංකාව තිබෙන්නේ ඉන්දියාව, චීනය, ඇමරිකාව වැනි මහා බලවතුන්ට මූලෝපායික වශයෙන් වැදගත් මර්මස්ථානයක නිසා ලංකාවට තමන්ගේ හමුදාවකින් ආරක්ෂාව සලස්වා ගන්නවාට වඩා විශ්වසනීය වන්නේ ජාත්‍යන්තර සහජීවනය ඔස්සේ ආරක්ෂාව සපයා ගැනීමයි. යුද, ගුවන් හා නාවික හමුදා කෙසේ වෙතත්, දූපත් රාජ්‍යයක් වන ලංකාවට ශක්තිමත් වෙරළාරක්ෂක බලකායක් නම් අවශ්‍යයි.



ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආරක්ෂාව සඳහා වඩා වැදගත් වන්නේ පොලිස් සේවයයි. දෙමළ භාෂා මාධ්‍යවේදියකු වන ක. ප්‍රසන්නා විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ අයදුම් කොට  ලබාගත් තොරතුරු අනුව, 2015-2021 දක්වා කාලය තුළ සාමාන්‍යයෙන් පොලිස් නිලධාරීන් 55,000ක් රට තුළ සේවය කර ඇත. ශ්‍රී ලංකාවේ වැඩිම පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් සේවයේ යෙදෙන්නේ බස්නාහිර පළාතේ වන අතර අඩුම පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් සේවයේ යෙදෙන්නේ ඌව පළාතේය.  2021 දී බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 14,006 ක් සහ ඌව පළාතේ 3,696 ක් රාජකාරියේ යෙදී ඇත.

ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන්ගෙන් සෙසු පිරිස ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා ඇති බව 2020දී එවකට මහජන ආරක්ෂක ඇමති වූ සරත් වීරසේකර කළ ප්‍රකාශයක් අනුව අනුමාන කළ හැකියි. ඔහු පැවසූ පරිදි පොලිස් නිලධාරීන් සංඛ්‍යාවෙන් අඩක් පමණ යෙදී සිටින්නේ ප්‍රභූ ආරක්ෂක රාජකාරිවල බව ඔහු පැවසුවා.

එහෙත්, එය පිළිගත නොහැකියි. “පසුගිය දිනවල අපි ජාතික වශයෙන් පොලිසියට අවශ්‍ය කරන පිරිස් බලය හෙවත් කාඩරය කීදෙනෙකුද කියා සමීක්ෂණයක් කළා. ඒ අනුව, පොලිසියට 113,000ක පමණ කාඩරයක් අවශ්‍යයි. දැනට අනුමත කාඩරය 85,000ක්. ඒත්, ඇත්තටම පොලිසියේ ඉන්නේ 77,000ක්,” යි පොලිස් පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාසයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රේණුකා ජයසුන්දර 2021 අප්‍රේල් මාසයේදී සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවා.



අවසාන වශයෙන් කිව යුතුව තිබෙන්නේ ආරක්ෂාව වෙනුවෙන් මෙතරම් විශාල මුදලක් වැය කළත්, ජාතික ආරක්ෂාව තහවුරු වී නැති බවයි. මහජන ආරක්ෂාව සම්බන්ධ ගැටලුව ඊටත් වඩා බරපතලයි.



Ajith Parakum(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්