“පර්ලීස්” (Perlis(  බටහිර මැලේසියාවේ උතුරු කෙලවර පිහිටි ග්‍රාම්‍ය ප්‍රදේශයකි. සාම්ප්‍රදායික ජීවන රටාවකට ඇලුම් කරන පර්ලීස් වැසියෝ බහුතරය

කෘෂිකාර්මාන්තය ජීවන උපාය කරගත්තෝ වෙති. අතීතයේ තායිලන්තයට අයත්ව පැවති මෙම භූම් ප්‍රදේශය, ඉංග්‍රීසින් විසින් මැලේසියාවට ඈඳාගෙන තිබුනේ ඔවුන් විසින් තායිලන්තය තුළ ඉදිකළ දුම්රිය මාර්ග පද්ධතියේ වටිනාකමට හිලවු වශයෙන් බවද කියැවෙයි.

 

වටිනා ඔසු  වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් වලින් අනූන පර්ලිස් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර සාමකාමී ප්‍රදේශයකි. තායිලන්තය සහ මැලේසියාව ගොඩබිමෙන් වෙන්කෙරන දේශසීමාවෙන් වැඩි කොටසක් පර්ලීස්හි වනගත ප්‍රදේශ හරහා වැටී තිබේ. ක්වාලාලම්පූර් නගරයේ සිට කිලෝමීටර 400 ක් පමණ දුරින් පිහිටි හෙයින්ම පලාතේ ග්‍රාමීය සංස්කෘතිය බොහෝකල් නිකැලැල්ව පැවතින.

 

පර්ලීස්හි මෙතුවක් පැවති සාමය සහ නිහැඩියාව පුපුරා යන්නේ නොසිතූ ලෙසිනි. ඒ වර්ෂ 2015 මැයි මස අවසන් දින කිහිපයෙන් එකකි. කෙලවරක් නැති පොලිස්, හමුදා වාහන මෙන්ම ගිලන්රථ සහ දෙස් විදෙස් මාධ්‍ය ආයතන වලට අයත් රථ වාහන පළාතේ පැවති නිහැඩියාව සිදුරු කරමින් මැලේසියානු - තායිලන්ත දේශසීමාවේ පිහිටි “වැන්ග් ක්ලෑන්” (WANG KELIAN) ප්‍රදේශය බලා ඇදී ගියේය. සිදුවන්නට යන්නේ කුමක්දැයි නොදැන වික්ෂිප්ත වූ පර්ලීස් වැසියෝ මග දෙපස රැස්ව බලා උන්හ.   

 22491967

 

නූතන මැලේසියානු ඉතිහාසයේ වර්තාවූ දරුණුතම මානූෂික ඛේදවාචක ලෙස හැඳින්විය හැකි සිදුවීමක් අනාවරණය කරගන්නට මැලේසීයානු බලධාරීන්ට හැකිව තිබිණ. ඒ තායි - මැලේ දේශසීමාවේ පිහිටි වැන්ග් ක්ලෑන් ගම්මානයට උතුරින් වූ වනාන්තරය තුළින් සමූහ මිනී වලවල් විශාල සංඛ්‍යාවක් සොයගැනීමත් සමගය. අබිරහස් ලෙස මියගිය පුද්ගලයන් වළදමා තිබූ සමූහ මිනීවලවල් ගණනින් 139 පමණ වූ සංඛ්‍යාවක් බලධාරීන් විසින් සොයාගනු ලැබුවේය. බොහොමයක් වූ සොහොන්  තුළ අඩුම තරමින් මියගිය පුද්ගලන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකට අයත් ශරීර කොටස් විය.

 

වනාන්තරය තුළ තවදුරටත් කළ මෙහෙයුම් වලදී අබිරහස තීව්‍ර කරන තවත් සොයා ගැනීම් වාර්තා වී තිබිණ. ඒ මිනිසුන් සමූහ වශයෙන් සිරකර තැබිය හැකිවනසේ ලී දඩු උපකාරයෙන් සැකසූ රැඳවුම් අට්ටාල 23 ක් පමණ වූ සංඛ්‍යාවක් හමුවීමත් සමඟය. මෙසේ අබිරහස් ලෙස මියගිය පිරිසට අයත් යැයි සැක කළ පාවහන්, ගමන් මලු, සරම්, කමිස, කලිසම් පමණක් නොව කාන්තාවන්ගේ ඇඟලුම්  ඇතුලු නොයෙක් කාන්තා උපකරණ ආදියද වනය තුළ තැන තැන විසිරී තිබිණ. පුලුන් පිරවූ “ටෙඩි බෙයා” (Tedy Bears) ඇතුළු විවිධ ළමා සෙල්ලම්බඩුද දැක ගැනීමට හැකිවීමෙන් ගවේශකයෝ වඩාත් කම්පාවට ලක්වූහ. මියගොස් සිටි පිරිස අතර පිරිමි පුද්ගලන්, කාන්තාවන් මෙන්ම කුඩා දරුවන්ද සිටින බවට එම සොයාගැනීම් හරහා අනුමාන කෙරිණ.

 massgravesperlis

ලී දඩු උපකාරයෙන් සැකසූ රැඳවුම් අට්ටාල

 

සිදුවීම මුල්කොටගෙන දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පරීක්ෂණ ආරම්භ කෙරිණි.  පරීක්ෂණ  වල  අනාවරණය වුයේ “නූතන සේද මාවතේ වහල් වෙළඳාම” පිටුපස ද රුධිර පිපාසිත ජාවාරම්කරුවන් සිටින බවය. මෙලෙස මියගිය පිරිස අතර බහුතරය බංගලිදේශ  ජාතිකයන් සහ “රොහින්‍යා මුස්ලිම් වරුන්” (Rohingya Muslims) වබට තහවුරු කෙරිණි. රොහින්‍යා මුස්ලිම්වරු, බෞද්ධ බහුතරයක් වෙසෙන මියන්මාර්යේ “රකීන්” (Rakhine) ප්‍රදේශයේ ජීවත්වන බංගලිදේශ සම්බවයක් සහිත ජන කොටසක් වන අතර ආගමික ගැටුම් හේතුවෙන් පහුගිය වසර ගණනාව පුරා විශාල ලෙස සිය ගම් බිම් අතහැර යමින් සිටිති.

 

මැලේසියාව තුළ යහපත් ජීවීතයක් ලබා දෙන පොරොන්දුව මත මිනිස් ජාවාරම්කරුවන් විසින් ඔවුහු බංගලාදේශයේ සහ මියන්මාරයේ සිට මුහුදු මාර්ග හරහා තායිලන්ත වෙරළට රැගෙන විත් තිබූහ. ආසන්න වශයෙන් නාවික සැතපුම් 2,500 කට මදක් අඩු හෝ  වැඩි දුරක් ඉන්දියන් සාගරය හරහා යාත්‍රා කොට පැමිණ තිබූ ඔවුහු, දකුණු තායිලන්තයේ බටහිර වෙරළට ලඟා වූ පසු ජාවාරම්කරුවන් විසින් ගොඩබිම් මාර්ග ඔස්සේ රැගෙනවිත් තායි-මැලේ දේශසීමාව මැදිකොට පිහිටි වනාන්තර තුළට ඇතුළු කොට තිබූහ. එතැනින් දේශසීමාව හරහා මැලේසියානූ භූමිය වෙත රැගෙන විත් තිබුණේය. නමුත් එම සංක්‍රමණික පිරිස පර්ලීස් හි පිහිටි දේශීය මැලේ ජනාවාස තුළට ඇතුළු වීම වලකා දැමූ ජාවාරම්කරුවෝ ඔවුහූ වනාන්තරය තුළම ඉදිකළ විශාල රැදවුම් අට්ටාල තුළ සිරගත කොට තිබූහ. මෙසේ ජාවාරම්කරුවන් විසින් සංක්‍රමණිකයන් පිරිස වනාන්තරය තුළ සිරගත් කොට තැබීම මගින්, ජාවාරම්කරුවන් බලාපොරොත්තු වූ අරමුණ වටහා ගන්නට පරීක්ෂණ ආරම්භයේදී බලධාරීන්හට අපහසු වූ නමුත් පසුව ඒ පිළිබඳව හෙළිවූ කරුණු ලොමු ඩැහැගන්වන සුළු විය.

 

විවිධ දුක් කම්කටොලු මැද සමුදුර සහ ගොඩබිම හරහා කිලෝමීටර දහස් ගණනක් ගෙවා සිය ගමනාන්තය අසළටම පැමිණි සංක්‍රමණික පිරිස් වනය තුළ සමූහ වශයෙන් සිරගත කොට දැමීම මගින් ජාවාරම් කරුවන් බලාපොරොත්තුව තිබුණේ සංක්‍රමණික පුද්ගලයන්ගේ නෑදෑයන් බියවද්දා ඔවුන් වෙතින් කප්පම් මුදල් ලබාගැනීමය. සිය නෑයින් මැලෙසියාව වෙත නිදහස් කොට හැරීම සඳහා ඇමරිකානූ ඩොලර් 2000ක් පමණ වූ කප්පම් මුදලක් ලබාදෙන ලෙස ජාවාරාම්කරුවන් විසින් ඒ ඒ පුද්ගලන්ගේ නිවෙස්වෙත දුරකතන හරහා බලපෑම් කොට ඇති බව හෙළිකර ගැණින. ඉතා පහළ ආර්ථික පසුබිමක් සහිත ජනතාවක් වන බංගලිදේශ ජාතියකන් හා රොහින්‍යා මුස්ලිම් වරුනට ඇමරිකානු ඩොලර් 2000 ක් දරා ගත නොහැකි තරම් වූ අධික මුදලකි. එවැනි වටපිටාවක තම නෑයින්ගේ නිදහස වෙනුවෙන් ජාවාරම්කරුවන් ඉල්ලා සිටි කප්පම් මුදල ගෙවාගන්නට අපහසුවූ දෙමව්පියන්හට, තායි - මැලේ දේශසීමාවේ වනාන්තර තුළ පස් යට වැළලී යන සිය දූ දරුවන් වෙනුවෙන් දෙවියන් යැදීම හැර විකල්පයක් නොතිබෙන්නට ඇත. බිරිදෑවරුන්ට සැමියන් අහිමිවන්නට ඇත. දරුවන්ට පියවරුන් අහිමි වන්නට ඇත. ඇතැම් සංක්‍රමිණික පිරිස් සිය කුඩා දූ පුතුන් සමඟ පවුල්පිටින් තමන් උපන් රටින් බොහෝ දුරින් පිහිටි රටක, වනාන්තරය තුළ පස් යට වැළලී යන්නට ඇත.

 1783781

පසුකාලීනව කෙරුණු පරීක්ෂණ මගින් අනාවරණය කොටගෙන තිබුණේ, මෙලෙස වනාන්තර තුළ සිරගත කොටගෙන සිටි පිරිස් වෙත ජාවාරම්කරුවන් ඉතා කුරිරු ලෙස වඳ බන්ධන පමුණුවා ඇති බවයි. වනය තුළ තැනින් තැන හමුවී තිබූ හිස් පතුරම් කොපු ඒ සඳහා වූ ප්‍රබලතම ශාක්ෂියයි. තවද ප්‍රමාණවත් තරම් ආහාර, පානීය ජලය සහ ඖෂධ ලබා නොදීමේ සිට යකඩ දම්වැල්, යකඩ පොලු, ලී දඩු, කටු කම්බි සහ කලිසම් බඳ පටි ආදියෙන් කළ අමානුෂික පහරදීම් වලට සංක්‍රමණිකයෝ ලක්ව තිබූහ. තරුණ කාන්තාවන් බලහත් කාරයෙන් දූෂණය කරන්නට ඇතැයිද, ඇතැම් සංක්‍රමණිකයන් විවිධ ලෙඩ රෝග වළට ගොදුරුව වඳ කඳවුරු තුළම මිය යන්නට ඇතැද සැළකේ. තමන් මුහුණ දෙන පීඩනය දරාගත නොහැකි ඇතැම් පුද්ගලයන් සියදිවි නසාගන්නටද ඇත.

 

දිගින් දිගටම සිදුකළ පරීක්ෂණ ඔස්සේ තායි-මැලේ දේශසීමාවේ තායිලන්තයට  අයත් “සංකෝලා” (Sankhola) ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි වනාන්තර  තුළ ද මෙවැනිම වූ වධ කඳවුරු ක්‍රියාත්මකව තිබී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වෙත වාර්තා විය. ඒ ප්‍රදේශයෙන් සොයාගෙන තිබුණ මිනිස් ඇටසැකිලි සංඛ්‍යාව 26 කි. සිදුවීම සිටුපස විශාල ලෙස ජාලගතවූ සංවිධානත්මක ජාවාරම්කරුවන් පිරිසක් ක්‍රියාත්මක වී තිබිණ. ඒ අතර බංගලාදේශ ජාතිකයෝ, තායිලන්ත ජාතිකයෝ මෙන්ම මැලේසියානුවෝද සිටින්නට ඇත. එම අමානුෂික ජාවාරම සම්බන්ධව තායිලන්ත රජය සිදුකළ පරීක්ෂණ මගින් පුද්ගලයින් හැට දෙදෙනෙකු (62) නීතිය හමුවේ වරදකරුවන් බවට තීරණය කොට දඬුවම් කළ අතර ඒ අතරට එරට යුද හමුදාවේ ජෙනරාල් නිළයේ සිටි පුද්ගලයෙකු ඇතුළු රාජ්‍ය නිළධාරීන් නවදෙනෙකුද (09) අයත් වූහ 49 50 51.  

 

රොහින්‍යා සරණාගතයින්ද ඇතුළුව ලොව පුරා විවිධ කළාප වළට අයත් රටවල සිට ලක්ෂ ගණනක් සරණාගතයින් විවිධ ක්‍රමවේද ඔස්සේ මැලේසියාව සිය සංක්‍රමණික ගමනාන්තය බවට පත්කොටගෙන ජාත්‍යන්තරව සංක්‍රමණයේ යෙදෙති. පොදුවේ ගත්කල සරණාගතයන්ගේ සහ වෙනත් විවිධ ආකාරයේ වූ ක්‍රමවත් සහ අක්‍රමවත් සංක්‍රමණිකයන්ගේ ජනප්‍රිය ගමනාන්තයක් ලෙස මැලේසියාව ආසියාවේ ඉදිරියෙන් සිටී. මේ ආකරයට ඉතා ඉහළ ජීවිත අවදානමක් ගෙන ලොව නොයෙක් රටවල සිට මැලේසියාව වෙත පිවිසෙන්නට ජාත්‍යන්තර සංක්‍රමණිකයන් පොළඹවන හේතු ජාත්‍යන්තර සංවිධානය වල විමසීමට ලක්ව තිබේ.

 

සරණාගතයන් (Refugee), වෙනත් සංක්‍රමණිකයන්ගෙන් වෙන්වන  “විශේෂිත හේතු” හඳුනා ගත හැකි අතර “සංක්‍රමණයන් සඳහා ඔවුන්ව පෙළඹවූ හේතු” වෙනත් සාමාන්‍ය සංක්‍රමණිකයන් ඒ සඳහා පෙළඹවූ හේතුවලට වඩා බොහෝ විට විශේෂිත වේ.

 

එක්සත් ජාතීන්ගේ සංවිධානය සරණාගතයින් ලෙස  අර්ථ දක්වන්නේ, “හිංසා, පීඩා,  යුද්ධය හෝ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් තම රටින් පලා යාමට බල කරනු ලැබූ පුද්ගලයෙකි” සරණාගතයෙකුට ජාතිය, ආගම, ජාතිකත්වය, දේශපාලන මතය හෝ කිසියම් සමාජ කණ්ඩායමක සාමාජිකත්වය දැරීම  යන හේතුන් නිසා හිංසා පීඩා පිළිබඳ හොඳින් දැනුමක් තිබේ. බොහෝ දුරට ඉඩ ඇත්තේ, ඔවුන්ට ආපසු ගෙදර යාමට නොහැකි වීම හෝ එසේ කිරීමට බිය වීමය. යුද්ධය සහ ජනවාර්ගික, ගෝත්‍රික හා ආගමික ප්‍රචණ්ඩත්වය සරණාගතයින් තම රටවලින් පලා යාමට ප්‍රධාන හේතු වේ.

( A refugee is someone who has been forced to flee his or her country because of persecution, war or violence. A refugee has a well-founded fear of persecution for reasons of race, religion, nationality, political opinion or membership in a particular social group. Most likely, they cannot return home or are afraid to do so. War and ethnic, tribal and religious violence are leading causes of refugees fleeing their countries.& 52)

 

සංක්‍රමණිකයන් අතුරින් සරණාගතයන් වෙන්කර හඳුනා ගැනීම සඳහා ඉහත තොරතුරු අවබෝධ කරගැනීම ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

 uns

2020 වනවිට මැලේසියාව තුළ රැදී සිටිතැයි එක්සත්ජාතීන්ගේ සරණාගතයන් පිළිබදව වූ මහකොමසාරිස් කාර්යාලය (UNHCR-United Nation high commisoner for Refugees) තහවුරු කරන ගණනින් 1,78,450  වූ ජාත්‍යන්තර සරණාගතයින් පිරිස මැලෙසියාව තුළ රැඳී සිටින්නේ හිංසා, පීඩා, යුද්ධය හෝ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් තම රටින් පලා යාමට බල කෙරෙන ලදැයි වූ පදනම මතය. ඔවුන්ගේ දුක්ගැනවිලි පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය විධිමත් ක්‍රමවේදයක් යටතේ විමර්ශනය කරනු ලබන අතර, දේශපාලන රැකවරණය ලැබීම සඳහා සුදුසුකම් ලැබීමට, තහවුරු කළ හේතු සහිත පිරිස් ජාත්‍යන්තර නීතිය යටතේ දේශපාලන රැකවරණය ලබා දී යුරෝපය ඇතුළු අනුග්‍රාහක රටවල් වෙත පිටත් කර හරිනු ලැබේ. මැලේසියාව එම කටයුත්තේදී ජාත්‍යන්තර සරණාගතයන් සඳහා තාවකාලික රැකවරණය ලබාගත හැකි රටක් පමණක් වන අතර මැලේසියනු ආගමන විගමන නීතිය යටතේ ජාත්‍යන්තර සරණාගතයන්ද “නීතිවිරෝධී සංක්‍රමණිකයන්” හි ලා සැලකේ. සරණාගතයින් හට මැලේසියාව තුළ නිදහසේ රැකියාවක නියුතුවීම, අධ්‍යාපනය ලැබීම ආදී හිමිකම් එරට ආගමන විගමන නීතිය යටතේ තහනම්ව ඇත.

 rohingya s

රොහින්‍යා සරණාගත ප්‍රජාව

 

එලෙස සරණාගතයින් ලෙස මැලේසියාව තුළ තාවකාලිකව දිවිගෙවන විදේශිකයන් අතුරින් අති මහත් බහුතරය මියන්මාර් (Miyanmar) ජාතිකයෝ වෙති. වර්ෂ 2020, තුන්වන කාර්තුව වන විට සංඛ්‍යාවක්මකව මියන්මාර් පුරවැසියෝ 1,53,800 ක් මැලේසියාව තුළ සරණාගතයන් ලෙස දිවි ගෙවමින් සිට ඇත. ඔවුන් අතරින් අති මහත් බහුතරය, ගණනින් 1,02,020 වූ පිරිසක් මියන්මාරයේ රොහින්‍යා මුස්ලිම් වරුන්ය. මැලේසියාව තුළ රැදී සිටින සෙසු මියන්මාර් සරණාගතයින් පිරිස ද එවැනි ආගමික ගැටුම් පවතින ප්‍රදේශ ආශ්‍රිතව දිවි ගෙවූ වෙනත් මියාන්මාර් ජනවර්ග වෙති. ඒ අතරිනුත් මියන්මාරය තුළ වාසය කරන ටිබෙට් සම්භවයක් සහිත “චින්” (Chin people) ජනකොටස ප්‍රධානවේ. සමස්තයක් වශයෙන් ගත් කළ ආගමික ගැටුම් අග්නිදිග ආසියාවේ විශාලාතම සරණාගත ප්‍රජාව මියන්මාරය තුළ බිහිකරන්නට හේතු වී තිබෙ.

 

මියන්මාර් ජාතිකයක්ට අමතරව ලොව වෙනත් රටවල් 50 කට පමණ අයත් ජනවර්ග සරණාගතයින් ලෙස වර්ෂ 2020 විට මැලේසියාව තුළ වාර්තා වී තිබේ. ඒ අතර වාර්තාවන පුද්ගලයන්ගේ සංඛ්‍යාත්මක අනුපිළිවෙළින් පාකිස්තානය, යේමනය, සිරියාව, සෝමාලියාව, ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව, ඉරාකය සහ පලස්තීනය යන රටවලින් පලා ආ පිරිස් ප්‍රධාන වේ. ප්‍රධාන වශයෙන් ආගමික අර්බුද හේතුවෙන් සරණාගත භාවයට පත් ආසියාතික රටවල පිරිස්, මැදපෙරදිග රටවල පිරිස් හා අප්‍රිකානු රටවල පිරිස් අතර ජනප්‍රිය සරණාගත නවාතැන්පොළක් බවට පසුගිය දශක කිහිපය තුළ මැලේසියාව පත්ව තිබේ. අවධානය යොමුවිය යුතු විශේෂම කාරණය වන්නේ ශ්‍රී ලංකාව තුළ සරණාගතයින් බිහිකළ ප්‍රධාන යාන්ත්‍රණය වූ රට තුළ ඇවිලී ගිය සිවිල් යුද්ධය නිමාවීමෙන් දශකයකට ආසන්න කාලයක් ගතවූ පසුවත් ශ්‍රී ලාංකිකය පුද්ගලයින් 1,740 ක් වූ පිරිසක් සරණාගතන් ලෙස වසර 2020 දී මැලේසියාව තුළ මුණගැසීමය.

 

පොදුවේ සරණාගතයන් ලෙස හැදින්වුවද සරණාගත පිරිස් අතරද ප්‍රධාන වර්ගීකරණයන් තුනක් හඳුනා ගත හැකිය.

ඒ,

# සරණාගතයන් (Refugees),

# සරණාගත භාවය පතන්නන් (Asylumseekers) සහ

# රාජ්‍යයක් අහිමි හෙවත් අස්ථායි පුද්ගලයන් (Stateless people)

 

ලෙස.

 

සරණාගතභාවය පතන්නන් (Asylumseekers) ජාත්‍යන්තර නීතිය යටතේ තමන් සරණාගතයන් ලෙස හඳුනාගනිතැයි අපේක්ෂාවෙන් ඒ සඳහා අයදුම් කොට ප්‍රතිඵලය අපේක්ෂාවෙන් රැදී සිටින පුද්ගලයෙකු ලෙස හඳුන්වා දිය හැකිය. ජාත්‍යන්තරව පිළිගත් නිර්ණායකවලට අනුව ඔහුගේ දුක් ගැනවිල්ල සරණාගත භාවය ළැබීම සඳහා සුදුසුකම් සපුරන්නේ නම් ඔහුට හෝ ඇයට සරණාගත භාවය (Refugee) පිරිනමනු ලැබෙයි.

 

රාජ්‍යයක් අහිමි හෙවත් අස්ථායි පුද්ගලයෙකු (Stateless people) ලෙස හැදින්වෙන්නේ කිසියම් රටක ජීවත් වෙමින් සිටින නමුත්, ඒ රට තුළ ක්‍රියාත්මක නීතී රාමුව තුළ එම පුද්ගලයා එරටෙහි පුරවැසියෙකු ලෙස පිළි නොගන්නා වාතාවරණයක සිටින පිරිස්ය. මෙවැනි පිරිස් ද ඇතැම්විට සරණාගතයින් ලෙස ජාත්‍යන්තර නීතිය යටතේ වර්ග කෙරෙනු ලැබෙයි. නමුත් සරණාගතයින් සියල්ල රාජ්‍යයක් අහිමි හෙවත් අස්ථායි පුද්ගලයන් නොවෙ. බ්්‍රතාන්‍යයන් විසින් යටත් විජිත යුගයේදී කුළී කම්කරුවන් ලෙස ශ්‍රී ලංකාව වෙත රැගෙන ආ ඉන්දියානූ ද්‍රවිඩ පිරිස් අතුරෙන් ඇතැමුන් යටත් විජිත යුගයේ සිටම වර්ෂ 1964 වන තුරුත් මෙරට පුරවැසියන් ලෙස ලංකාවේ නීතිය තුළ පිළිගැනුනේ නැත. එවැනි පිරිස් වල පරම්පරා කිහිපයක්ම වර්ෂ 1964 වන තුරුත් පුරවැසි භාවයෙන් තොරව ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙමින් සිටියහ. එම යුගයේ ඔවුන්ගේ නෛතික තත්වය අවබෝධ කරගැනීම රාජ්‍යක් නොමැති පුද්ගලයෝ හෙවත් අස්ථයි පුද්ගලයෙකු යනු කවරෙකුදැයි වටහා ගැනීම පහසු කරවයි. වර්ෂ 1964 දී ඉන්දියානු ද්‍රවිඩ වතු  කම්කරුවන්ගෙන් පිරිසකට ශ්‍රී ලාංකික පුරවැසිභාවය පිරිනැමුණු අතර තවත් පිරිසක් නැවතත් ඉන්දියාව වෙත පිටත් කොට හරිනු ලැබ තිබේ.

 

සරණාගතයන් හැරුනකොට මැලේසියාව තුළ  වාර්තාවන අතිමහත් වූ විදේශීය සංක්‍රමණික ප්‍රජාව “හුදෙක් ආර්ථික අරමුණු මූලික කොටගෙන” මැලේසියාව තුළට පිවිස ඇති බව වටහා ගත හැකිය හැකිය. එම පිරිස් අතුරින් ද නීත්‍යානුකූල ලෙස සහ අක්‍රමවත්  ලෙස යන දෙයාකරයෙන්ම එරටට ඇතුළු වූ පිරිස් නිරීක්ෂණය කළ හැකි අතර, එම පිරිස එරටේ ශ්‍රම බලකායට ක්‍රියාකාරී ලෙස එක්ව රටේ ආර්ථිකයට දක්වා ඇති දායක්තවය වඩා ඉහළ අගයක් ගනී.

 
Rasika Apaye kathawa
 
රසික එස් චන්ද්‍රසේකර
This email address is being protected from spambots. You need JavaScript enabled to view it."
 
 
 
 
 
 
 
 
 
 
 
   

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්