කුමාර් සංගක්කාරගේ බිරිඳට අනුව, ඔහුගේ ක්‍රිකට් සාර්ථකත්වයේ රහස ඇත්තේ ඇය විසින් ඔහු වෙනුවෙන් දෙවියන්ට කරන ලද දේව කන්නලව් තුළ ය.



මිථ්‍යාව සහ ආගම ගැන කතාවට වඩා ඇගේ මේ කතාව තුළ වැදගත් වන අඹු-සැමි ආදරය පිළිබඳ වෙනම කතාවක් තිබේ. ඔහුගේ සාර්ථකත්වය සඳහා ඈ දෙවියන්ට කන්නලව් කොට ඇත්තේ සැමියා කෙරෙහි ඇගේ ඇති ආදරය නිසාම ය. සැමියා වෙනුවෙන් බිරිඳක්ද, බිරිඳක් වෙනුවෙන් සැමියාද එවැනි දේවල් කිරීම සාමාන්‍ය සිරිතයි.


අඹු-සැමි ප්‍රේමය පැත්තකින් තියන්න: යම්කිසි ආපදාවකට, උදාහරණයක් වශයෙන් මහමුහුදේ අතරමංව සිටින මොහොතක කුමක් හෝ ආශ්චර්යයකින් නිරුපද්‍රිතව ගොඩබිමට යාමට ඇත්නම් යැයි, දෙවියන් ගැන විශ්වාසයක් නැති කෙනෙකුට වුවත් යටිසිතෙන් හැඟෙන්නට පුළුවන. අනතුරුව, ඒ අසළින් යාත්‍රා කෙරෙන නෞකාවකින් ආපදාවට පත් යාත්‍රාව බේරාගෙන ගොඩබිමට සැපත් වූ පසු, ඒ වාසනාව හිමි වුණේ, රහසින් හෝ තමන්ට දෙවියන් මතක් වීම නිසා යැයි අර කී පුද්ගලයා යටිහිතින් හෝ විශ්වාස කිරීමට බැරිකමක් නැත. මේ ආකාරයටම, මාරාන්තික රෝගයකින් පෙළෙන අවස්ථාවකදී කෝවිලේ දෙවියන් යැදීම සහ රෝහලේ ශල්‍යකර්මයකින් ජීවිතය ගලවා ගැනීම යන කාරණා දෙක එක විට සිද්ධ වූ අවස්ථාවක, ජීවිතය ගැළවුණේ දෙවියන්ගේ පිහිටෙන් යැයි කෙනෙකු විශ්වාස කිරීමටත් ඉඩ තිබේ.

 

කරුණු එසේ තිබියදී, සංගක්කාරගේ බිරිඳගේ කතාව යම්තාක් ප්‍රශ්නකාරී වන්නේ, එසේ කීම තුළින් සැමියා කෙරෙහි තිබෙන ඇගේ ආදරය ඇය විසින්ම එක්තරා ආකාරයකින් බාල්දු කරගැනීමක් සිදුව තිබීම නිසා ය. එක පැත්තකින් සැමියා කෙරෙහි ඇති ආදරය නිසාම ඔහුගේ සාර්ථකත්වය වෙනුවෙන් දෙවියන් යදින ඈ, අනිත් පැත්තෙන් ඔහුගේ අවසාන සාර්ථකත්වය දෙවියන්ට බැර කිරීමෙන් කරන්නේ සැමියාගේ හැකියාව බාල්දු කිරීමක් වන නිසා, දෙවියන් කෙරෙහි වන ආදරයට, සැමියා කෙරෙහි වන ආදරය ඈ යටත් කොට ඇති බව පෙනේ. 

 

එතකොට ගුත්තිල ශ්‍රේෂ්ඨ ද?



guththila


ඇගේ තර්කණය අප පිළිගන්නේ නම්, සංගක්කාර යනු ස්වීය පුද්ගලයෙකු නොවේ. ඔහුගෙන් පිටස්තර වෙනත් බලවේගයක් විසින් මෙහෙයවන ලද කෙනෙකි. ගුත්තිල ගාන්ධර්වයා ශක්‍රයාගෙන් අයුතු අනුග්‍රහයක් ලැබ, ගුලි තුනක් අහසට වීසි කොට, වීණා තරගයෙන් සිය ගෝලයා වන මූසිල පරාජය කොට ජයගැනීම පිළිබඳ කතාව මෙහිදී මතකයට නැඟේ. එකී ජයග්‍රහණය තුළ ඇත්තේ, ශක්‍රයාගේ අයුතු බල මහිමය මිස ගුත්තිලගේ දක්ෂකමක් නොවේ. ඇත්ත වශයෙන්ම එතැන සිදුව ඇත්තේ දූෂණයකි. ඊටත් වඩා අමානුෂික කාරණය වන්නේ, වීණා වාදනයෙන් මුලදී ඉතා පහළ මට්ටමක සිටි ගෝලයෙකු පසුව සිය ගුරුවරයාටත් වඩා දක්ෂයෙකු වූ විට, හුදෙක් ගුරුවරයාගේ පුද්ගල අභිමානයම මුල් කොටගෙනම, දෙවියන් මැදිහත් වී ගෝලයාට දඬුවම් කිරීමයි. (ගුත්තිලගේ නිවසට ශිල්ප සොයා මුලින්ම මූසිල පැමිණි අවස්ථාවේ ඔහුගේ වාදනයේ මට්ටම වෑත්තෑවේ හිමියන් සම කෙරෙන්නේ, “කතී වෙණ මීයන- සුසූ යැයි අත ගැසූ සැකයෙන” තත්වයකටයි. ගුත්තිලගේ අන්ධ දෙමාපියන්ට මූසිලගේ එම වාදනය මුල් දවසේ දැනෙන්නේ, වීණාවේ තත් මීයන් විසින් පහුරුගාන මට්ටමකිනි. ඒ නිසා, ඔවුන් කරන්නේ ‘සුසූ’ යැයි අත් ගසා මීයන් එළවීමට තැත් කිරීමයි). එවැනි ශිෂ්‍යයෙකුගේ විශිෂ්ට සාර්ථකත්වයක් දෙවියන් විසින් කුඩුපට්ටම් කිරීම යුක්තිසහගත නැත. 

 
ඒ ආකාරයෙන්ම, සංගක්කාරට වඩා දක්ෂතා ඇති මුත් දෙවියන්ගේ පිහිටක් නැති වීම හේතුවෙන් වෙනත් ක්‍රීඩකයෙකු අගතියට පත්වීමටත් මේ තත්වය තුළ ඉඩකඩ තිබීම යුක්තිසහගත නැත. 
 
 
මේ පටලැවිල්ල එන්නේ කොතැනින්ද? එය, සංගක්කාරගේ බිරිඳට පමණක් සීමා වන ප්‍රශ්නයක්ද? නැතහොත් අපේ වැනි ආගමික සමාජයක පොදුවේ දක්නට ලැබෙන ලක්ෂණයක්ද? එය අපේ පොදු ලක්ෂණයක් නම්, සංගක්කාරගේ බිරිඳට මෙතරම් අවමන් කරන්නේ ඇයි? අපේ කුහකකම නිසා ය. අප වනාහී, අපේ ඇහේ පොල් පරාල තියාගෙන අනිකාගේ ඇහේ පොල් කෙන්දට සිනාසෙන සමාජයකි. 
 
 
කිසි ආගමකට අයත් නැති සහ කිසි ආගමක් රහසින්වත් නොඅදහන කෙනෙකුට මිස වෙන කිසිවෙකුට මේ කියන ඇගේ භක්තිය ප්‍රශ්න කිරීමේ අයිතියක් නැත. සෑම ආගමක්ම කරන්නේ, නොපෙනෙන ලෝකෝත්තර බලයකට, පෙනෙන ලෞකිකත්වය යට කිරීමයි. අපේ රටේ බහුතරය බෞද්ධයෝ ය. සංගක්කාරගේ බිරිඳට සිනාසෙන බොහෝ දෙනාද බෞද්ධයන් යැයි පෙනෙන්ට තිබේ. ඒ බෞද්ධයන්ගෙන් අති බහුතරය, චෛත්‍යයට වඳිති. බෝ ගසට වඳිති. පිරිත් නූල් බඳිති. දෙවියන් යදිති. බාරහාර වෙති. නැකත් බලති. සාස්තර අසති. හදිහූනියම් කරති. මිරිස් අඹරති. පාංශුකූලය දෙති. මේ කියන කිසිවකින්, සංගක්කාරගේ බිරිඳගේ භක්තිය වෙනස් වන්නේ කෙසේද?  


Kumar Sangakkara of Sri Lanka celebrates reaching his century 311

ක්‍රීඩා සම්බන්ධයෙන් ගත් විට ක්‍රිකට් යනු මගේ අඩුම ආශාව සහ අඩුම උනන්දුව ඇති ක්‍රීඩාවයි. එහෙත්, මට සංගක්කාර විශිෂ්ටයෙකි. ඒ විශිෂ්ටත්වය පිළිබඳ හැඟීම මගේ සිත තුළ පරිපූර්ණ වීමට නම්, සංගක්කාර නමැති තනි මිනිසාගේ හැකියාවට ඒ විශිෂ්ටත්වය පූර්ණ වශයෙන් බැර කිරීමට මට හැකි විය යුතුය. ඔහුගේ පිති හරඹයකට අවංකවම ප්‍රීතිඝෝෂා කිරීමට හෝ ඔහුගේ හයේ පහරකින් පිනායාමට මට හැකි වන්නේ එවිටයි. ඒ සතුටේ හිමිකාරීත්වය, යම් දෙවි කෙනෙකු විසින් හෝ ශක්‍රයෙකු විසින් ඩැහැගන්නවාට මා කැමති නැත.


විශිෂ්ට වන්නේ දෙවියාද, මිනිසාද?


ප්‍රශ්නයේ අරටුව පාදා ගත යුත්තේ මෙතැනදී ය. විශිෂ්ට වන්නේ මිනිසා ය. ශ්‍රේෂ්ඨ වන්නේ මිනිසා ය. ඒ විශිෂ්ටත්වය සහ ශ්‍රේෂ්ඨත්වය අයුතු ලෙසින් ආක්‍රමණය කිරීමට හෝ පැහැර ගැනීමට, අදෘෂ්‍යමාන සහ ලෝකෝත්තර යැයි ගැනෙන බලවේගයකට ඉඩ නොදෙන තාක්, මිනිසා සහ මිනිස් හැකියාව පමණක්ම මිනිස් සංහතියේ ප්‍රගතියට තීරණාත්මක වන්නේය. මේ දක්වා දිගහැරී ඇති සමස්ත මිනිස් ඉතිහාසය අපට කියාදෙන එකම පාඩම එයයි. එහෙත් එය සැලකෙන්නේ, ලෞකික (හෙවත්, ‘මේ ආත්මය’ පිළිබඳ) ප්‍රවාදයක් වශයෙනි.
 
 
බොහෝ විට සහ බොහෝ දෙනාට එය පමණක් ප්‍රමාණවත් නැත. ඊට අමතරව ලෝකෝත්තර යමක්ද ඔවුන්ට අවශ්‍ය කෙරේ. ඒ අවශ්‍යතාව පැනනඟින්නේ, ලෞකිකය (මේ මොහොත) තුළ ඇති අස්ථිරත්වය නිසා ය. ඊළඟ මොහොතට අදාළව අපේ පැවැත්ම ගැන අප තුළ ඇති බිය හෝ අඩමානය වශයෙන් එය අපට වටහාගත හැකිය. සෑම ආගමක්ම ස්පර්ශ කරන මාරක නිලය එයයි.
 
 
තිරිසන් සත්වයා සම්බන්ධයෙන් ගත් විට, ජීවිතයට ඇති ක්ෂණික අනතුර පිළිබඳ නිසඟ බිය විසින් උගේ චර්යාව මෙහෙයවනු ලැබේ. ඊළඟ මොහොත පිළිබඳව ඇති මේ නිරන්තර බිය හෝ සැකය, තිරිසන් සත්ව ලෝකයේදී ඊළඟ පැවැත්මක් පිළිබඳ අපේක්ෂාවකින් පෝෂණය කෙරෙන්නේ නැත. හේතුව, අපට මෙන් සතාට ආගමක් (පල්ලි, පන්සල්) නැති බැවිනි. එහෙත්, බුද්ධිමය දියුණුවක් වර්ධනය කරගෙන ඇති මනුෂ්‍යයා ඊළඟ මොහොත පිළිබඳ එකී අනියත භාවයේ සාංකාව විසින් මෙහෙයවනු ලබයි. ඊළඟ මොහොත යනු, අවසාන වශයෙන් ගත් විට, මරණය සිදුවිය හැකි නිත්‍ය අවකාශයකි. මරණය යනු, ස්පර්ශයෙන් පවතින තත්වයේ අවසානයයි. එය බිය ගෙනදෙයි. මිනිස් පැවැත්මේ නිසඟ ස්වභාවය කෙසේද යත්, ඒ වර්තමාන පැවැත්ම ඔහුට/ඇයට අර්ථවත් වන්නේ, අවසානයකින් තොර අඛණ්ඩත්වය (හෙට කියා දවසක්) පිළිබඳ ආශාවකින් එය රක්ෂණය කෙරෙතොත් පමණි.
 

අනිත් අතට, මිනිස් පැවැත්ම සම්බන්ධයෙන් ගත් විට, ළමා විය සහ තරුණ විය, මේ කියන අවසානය පිළිබඳ අනියත සැකය ජීවිතයේ අඩුවෙන්ම සටහන් කෙරෙන අවධියයි. වයසට යද්දී මිනිසුන් වැඩියෙන් ආගම වෙත (පන්සල හෝ පල්ලිය වෙත) ආකර්ශනය වන්නේ, අර කියන අවසානය පිළිබඳ සැකය, අනියතයක් වශයෙන් නොව, සැබෑවක් සහ ආසන්න නියතයක් වශයෙන් වඩාත් සටහන් වන අවධිය එය වීම නිසයි.
 
 
මීට වෙනස් තත්වයක්, එනම් අනියත භාවයක් පිළිබඳ එවැනි දෛනික දැනවීමක් නැතිව පවා, ජීවිතය තුළ ආගම සටහන් කෙරෙන විශේෂිත තත්වයක්, ඇතැම් ආගමිකයන් සම්බන්ධයෙන් දැකිය හැකිය. එසේ වන්නේ, ආගම දෛනික අභ්‍යාසයක් විදිහට උපන් දා සිට මරණය දක්වාම වන ක්‍රියාකාරීත්වයක් වශයෙන් ඔවුන් නඩත්තු කරන බැවිනි. එවැනි ආගමිකයන් සිය ආගම වෙත ආශක්ත වන්නේ, පැවැත්ම පිළිබඳ මේ මොහොතේ දැනෙන අවශ්‍යතාවක් නිසා නොව, උපන් දා සිට හුරු කෙරෙන සැදැහැවත් පුරුද්දක් නිසා ය.
 
 
උදාහරණයක් වශයෙන්, දවසට කිහිප වරක් යාච්ඤා කිරීම අනිවාර්ය කෙරෙන ආගමිකයන් ගත හැකිය. එහෙත් එහිදී පවා, බාල-මහලු ප්‍රභේදයේ ඉහතින් කී වෙනස ක්‍රියාත්මක වෙයි. එනම්, දරුවා කටපාඩමට හෝ වැඩිහිටියන්ගේ පෙරැත්තයට හෝ යාච්ඤා කිරීමේ යෙදෙන අතර, වැඩිහිටියා අර කියන ‘අඛණ්ඩත්වය’ සමග බැඳුණු සැබෑ අපේක්ෂාවක් නිසා යාච්ඤා කරන බවයි.  
 

ඊළඟ පැවැත්ම (ආත්මය හෝ ඊළඟ ජීවිතය) පිළිබඳ අදහස ගැටගැසෙන්නේ එතැනදී ය. ඊළඟ ආත්මයක් (පැවැත්මක්) ගැන ඇති ඒ අපේක්ෂාව, අර කියන අවසානය පිළිබඳ බිය සහ ඔක්කාරය දුරු කරයි. ඔබ ඉල්ලා සිටින අඛණ්ඩත්වය (මරණයෙන් සියල්ල අවසන් නැතැයි යන සහතිකය) ඒ මගින් ඔබට සපයයි. දැන් මැරුණත්, ඊළඟ මොහොතේ දිව්‍ය ලෝකය, ස්වර්ගය හෝ දෙවියන් සමග ඒකාත්මික වීම යන ඕනෑම එකක් සහතික වෙතොත්, මිනිසාට එයින් ගෙන එන සහනය අසීමිත ය. එනම්, ඔබ මේ අත්ත අතහරින්නේ, තවත් අත්තක් අල්ලාගෙන ය. එවිට ඔබ බිම වැටෙන්නේ නැත.


17592 gettyimages 1181376545 lemontm

මේ අර්ථයෙන් ගත් විට, මේ ජීවිතයේ මරණය ස්වකීය අවසානය වශයෙන් නොගන්නා සෑම කෙනෙකුටම ආගමක් අවශ්‍ය කෙරේ. එහෙත් ඒ සඳහා ඔබ ගෙවිය යුතු විශාල මිලක් තිබේ. එනම්, ඔබ විසින්ම ඔබේ ස්වීයත්වය අතහැරීමයි. මරණයෙන් මතු පැවැත්මක් ඇතැයි විශ්වාස කිරීම තුළම, එනම්, නොදැනුමේ අපරිමිත අනන්තයකට ඇතුළත් වීම තුළම, මිනිසාගේ ස්වීයත්වය කාබාසිනියා කෙරේ. හේතුව, මරණින් මතු පැවැත්ම පිළිබඳ සංවේදනීය සහ සංයුක්ත ‘දැනුමක්’ මිනිසාට නැති බැවිනි. 
 
 
පූජ්‍ය පක්ෂය මැදිහත් වන්නේ මෙතැනදී ය. ඔවුන් ඒ ‘දැනුම’ තමන්ට ඇතැයි කියති. මරණයෙන් සියල්ල අවසන් වීමට මොන විදිහකින්වත් ඉඩහැරීමේ ආශාවක් නැති ඔබත්, ඔබේ ඒ ආශාව සැතපීමේ ‘දැනුම’ තමන්ට ඇතැයි කියන ඔවුනුත් අතර සජීවී පාලම තැනෙන්නේ එතැනදී ය. එතැන් සිට, පන්සල, පල්ලිය, කෝවිල ඔබේ ජීවිතයේ ආත්මීය රක්ෂාස්ථාන බවට පත්වෙයි.
 
 
ඉතිං, ඔබ යම් ආගමක් අදහන කෙනෙකු නම්, ඔබ සහ සංගක්කාරගේ බිරිඳ අතර මූලික වෙනසක් ඇතැයි මොහොතකටවත් නොසිතන්න. ඔබ දෙපළ අතර සිල්ලර වෙනස්කම් රාශියක් තිබිය හැකිය. ඇය කුරුසය පැදකුණු කරන විට ඔබ බුද්ධ රූපයකට වඳියි. ඇය මඩු හෝ ලූර්ද් වන්දනාවේ යන විට, ඔබ දඹදිව හෝ ශ්‍රීපාද වන්දනාවේ යයි. ඒ නිසා ඇයට සිනාසීමට කලින් තව ටිකක් හිතා බලන්න.

එන්න, විධායක ජනාධිපති ක්‍රමයේ රඟ සොබාව නරඹන්න - ගාමිණී වියන්ගොඩ(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්