ආණ්ඩුවට බිස්නස් බැරිද විමසමින් 'කිවිදා දැක්ම' ශීර්ෂයෙන් ලංකාදිප පුවත්පතට සැපයූ ලිපියෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිව්‍යුහ කිරීමේ

ප්‍රතිපත්තිය දැඩි සේ ප්‍රතික්ෂේප කරන චරිත හේරත් සිය මතය තහවුරු කිරීමට, 1948 සිට පැවැති රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ සුලමුල ගැඹුරෙන් විමසා බලයි.



ව්‍යාපාරයක් වසා දැමීමේ හෝ විකිණීමේ තීන්දුව යනු තවදුරටත් පවත්වා ගෙන යා නො හැකි වීම ය. එහිදී අනුගාමිකයන්ට රස්සා දීම, එහෙයියන් සතුටු කිරීම, අත යට ටෙන්ඩර් ලබා ගැනීම හා ලාභයෙන් ගසා කෑම වැනි කිසිවක් වැදගත් නොවේ. චරිත හේරත්, රාජ්‍ය ව්‍යවසාය යනු එක් රජයක් විසින් ගත් තීරණ නොවන බවට කරන ප්‍රකාශයත් රාජ්‍ය ව්‍යාපාර බංකොලොත්වීම මෙන්ම බංකොලොත් කතාවකි.


රාජ්‍යය පිළිබඳ නිශ්චිත නිර්වචනයක් නැත ද, 1934දී මොන්ටෙවිඩියෝ සම්මුතියෙහි (අ) නිශ්චිත භූමිය, (ආ) ජනගහණය, (ඇ) ආණ්ඩුව සහ (ඈ) ස්වාධිපත්‍යය යන නිර්නායකයන් 4කින් රාජ්‍යය හඳුන්වා ඇති බව චරිත හේරත් නො දන්නේහිද? රාජපක්ෂලා වෙනුවෙන් චරිත හේරත්ලා වසර දහයක් කොලේ වසා ලියූ හැටි ලංකාදිප පාඨකයෝ දනිති. මේ චරිත හේරත්ම, අඛණ්ඩව පැවති ගුරු වර්ජනය, ලෙනින්ගේ විග්‍රහය අනුව නතර කළ යුතු බව 2021දී ලංකාදිපයටම ලියා තිබිණ. වාසියට හොරුන් වෙනුවෙන් පෙනී සිටීම යනු තමන් තමන්ටම වාංචා කර ගැනීමකි.

 

1956දී බණ්ඩාරනායක දිවයිනේ බස් සමාගම් ජනසතු කර රාජ්‍ය ව්‍යවසාය ආරම්භ කිරීමත්, 1977 පටන් අදටත් වරින්වර රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම තෙක් සිදු විය. මුල්ම ජන සතුව, ලංගම භාර දුන්නේ වියර් ද මැල් නම් ඔහු ටැක්සි කාර් තුනක් හිමිව සිටි බණ්ඩාරනායක හිතවාදි මුදලාලියෙකුටය. ජනසතුව හෝ රාජ්‍ය ව්‍යවසා ප්‍රතිපත්තිය විමසමින්, “1956,1960 සහ 1970 ආණ්ඩු පෙනී සිටියේ ශක්තිමත් රාජ්‍ය වපසරියක් ක්‍රියාත්මක කිරීමට බව කියන ලේඛකයා, ලංගම වියර් ද මැල්ට භාර දීමෙන් ජනසතු අරමුණ උපන් ගෙහිම විනාශ කළ බව දන්නේම නැතිවාය.

 

1977දී ලංගම එසේම තිබියදී, පුද්ගලික අංශයට පොදු ප්‍රවාහණ අයිතිය ලබා දුන් ජේ.ආර්. ඇති කළ එයාර් ලංකා නම් රාජ්‍ය ව්‍යවසාය චන්ද්‍රිකා එමිරේස්ට් සමාගමට පැවරීය. තමන්ට ගුවන් යානයක් වෙන් නො කිරීම නිසා එමිරේස්ට් සමාගමෙන් යළි පවරා ගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ, එහි වගකීම සිය මස්සිනා වන නිශාන්ත වික්‍රමසිංහ පැවරීය. නිශාන්ත වික්‍රමසිංහ නාමල් රාජපක්ෂගේ දිවා රාත්‍රි ආවතේව වෙනුවෙන් එයාර් ලංකා ගුවන් සේවිකාවක අරලියගහ මන්දිරයට නේවාසිකව අනුයුක්ත කොට, දෛනිකව පියාසර කරන්නියකට හිමි සියලු දීමනා ඇයට ගෙවීමට ක්‍රියා කළේය. බලු පැටවුන් දෙදෙනෙකු ප්‍රවාහනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ මගීන් රහිත ගුවන් යානයක් ඕස්ට්‍රේලියාවට යැවීමද ප්‍රසිද්ධ කතාවකි. රාජ්‍ය දේපල ගණයට වැටෙන, එයාර් ලංකා විදුලි බල මණ්ඩලය වැනි ආයතන දෙසිය ගණනක් පාර්ලිමේන්තුවේ පාලනයෙන්ද 2022 වන විට බැහැර කර තිබිණ. රාජ්‍ය දේපල කළමනාකරණය තවදුරටත් රටට හූනියමක් නොවීමට නම් කඩිනම් ක්‍රියා මාර්ගයක් වහා අවශ්‍ය වේ.


පුද්ගලික වැවිලි සමාගම් පවරා ගැනීමෙන් දේශීය රන් පවුම් වතු ආයෝජකයන් ඉවත් කළ බව පිළිගන්නා චරිත හේරත්, 1956 සිට 1977 තෙක් වසර 16ක්   රාජ්‍ය ව්‍යවසාය ශක්තිමත් කිරීමට සමගාමීව, රටේ පුද්ගලික ව්‍යවසායකත්වය දුර්වලවීමත්  ඛනිජ තෙල් වැනි විදේශ සමාගම් ජනසතු කිරීමෙන් මහා භාණ්ඩාගාරයේ ඩොලර් වැය කොට සේවා සැපයීමට සිදු වීමෙන් රාජ්‍ය ශක්තිය බිඳ වැටීම චරිත හේරත්ට වගේ වගක් නැත.


1977 වනවිට, රාජ්‍ය ආයතන පාඩු ලැබීම මෙන්ම, විවෘත ආර්ථිකය හඳුන්වා දීම රාජ්‍ය ව්‍යාපාර විකිණීම ආරම්භ  විය. “බරපතල රාජ්‍ය ව්‍යවසාය තොගයත් තිබුණ බව මෙන්ම, ඒවා නඩත්තු කිරිමේ නාමයෙන් විශාල දූෂණ යාන්ත්‍රණයක් තිබුණ බව පිළිගන්නා චරිත හේරත්, ”රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුගත කිරීමේ මුවාවෙන් පාලකයන් එකී ව්‍යාපර ගජ මිතුරන් අතර, බෙදා දුන් බවට නැගෙන චෝදනාව යළි සිහිපත් කරන්නේ හැම පාලකයාම, කළේ තම දේශපාලනය වෙනුවෙන් රාජ්‍ය ව්‍යාපාර වලට වින කැටූ බව නො දැන නොවේ. අද ජාතික සම්පත් විකුණති රනිල්ට අවදාල නගන්නේත් රාජ්‍ය ව්‍යාපාර විනාස කළ පාලකයන් වෙනුවෙනි.

 

සිරිතක් ලෙස රටේ ජනතාව පාලකයන් තේරුවේ රස්සා ගැනීමටත් පඩි වැඩි කර ගැනීමටත් නිකම් කෑමටත් මිස රටේ යහපතට අනුකූලව නොවේ. එහි ප්‍රතිපලය ලෙස වඩාත් ජනතාව ආදරය කළ මෙන්ම රට විනාස කළ රාජපක්ෂලා එළවා දැමූ ජනතාව රනිල් වික්‍රමසිංහ දෙස විශ්වාසයෙන් බලා සිටීමට සිදු වී ඇති බව  චරිත හේරත් පිළිගත යුතුවේ. රනිල් වරින් වර ප්‍රතික්ෂේප වුණේ රටට හිතකර ඔහුගේ ආර්ථික දැක්ම ජනතාව ප්‍රතික්ෂේප කළ නිසා ය. 2001දී අගමැතිවූ  රනිල් වසර දෙකක් රාජ්‍ය අංශයේ ඇබෑර්තු නො පිරවීමට ගත් තීරණය එජාපයේද කෝපයට හේතු විය. රජයේ ඇබෑර්තු තරග විභාග වලින් පමණක් පිරවීමට 1989දී එජාප ආණ්ඩුව ගත් දැඩි ප්‍රතිපත්තිය චන්ද්‍රිකා කටුගා දැමුයේ දේශපාලන වාසි අපේක්ෂාවෙනි. චරිත හේරත්ද ඇතුළත් විපක්ෂය මේ කරන්නේ රනිල්ගේ ආර්ථීක ප්‍රතිසංස්කරණවලට එරෙහිව ජනතාව උසි ගැන්වීම ය.

 

රුපියල් මිලියන 275ක් වටිනා පූගොඩ කම්හල මිලියන 90කට විකුණා දැමූ බව කියන ලියුම්කරු, තුල්හිරිය, වේයන්ගොඩ සහ පූගොඩ පෙහෙකම්හල් විවෘත ආර්ථික මොඩලයට ඔරොත්තු නො දුන් බවද පිළිගනී. මිලියන 275 වැනි දේපල තක්සේරුවට සේවක අතිරික්තය, නුපුහුණු ශ්‍රමය, තත්වයෙන් බාල නිෂ්පාදන තොග ආයතනික දේපල ලෙස හඳුනා ගැනීම ආදි ව්‍යාපාරයකට හානිකර වටිනාකම් වලට වෙළඳපොල මිලක් නැති බව බව චරිත හේරත් තේරුම්ගත යුතුවේ. එයාර් ඉන්දියා ව්‍යාපාරයට ටාටා සමාගම තැබූ කෝටි 18000ක ලංසුව එහි තක්සේරු වටිනාකමට වඩා බෙහෙවින් අඩු ය. ඒ අර්ථයෙන් එයාර් ලංකා ව්‍යාපාරය තක්සේරු වටිනාකමට කිසිවෙකු මිලදී නො ගත්තොත්......? එහි කළමනාකරණය භාර ගන්නේ රාජපක්ෂලාටද, ප්‍රේමදාසලාටද? චරිත හේරත්ලාද?


image c39efb3338

ලාභ ලබන ආයතන විකිණීම මෙහිදී නැගෙන බරපතලම චෝදනාව වේ. ලාභ උපයන රක්ෂණ, ටෙලිකොම්  වැනි ආයතන සඳහා ආසන්න වසර 15ක් දේශපාලනයන් පත් කළ ප්‍රධානින් ගෙන් කී දෙනෙකුට එකී ව්‍යාපාර කළමනාකරණයට අවශ්‍ය වරලත් සුදුසුකම් තිබුණේද? රාජ්‍ය නිලධාරින් දෙදෙනෙකු සිල්රෙදි හොරකමට හිරේ ගියේ ඔවුන්ගේ වරද නිසාද? 2015දී ටෙලිකොම් සභාපති ලෙස පත් කළ ජනාධිපති සිරිසේන සහෝදරකමට පත් කළ සොහොයුරා රාජපක්ෂ පාලනය යටතේද යම් කාලයක් ඉවත් නො කළේ 2018 මහින්ද අගමැති කරවීම හා පාස්කු ප්‍රහාරයට පහසුකම් සැපයීම වැනි කු ප්‍රකට හේතු නිසා වේද? ලාභ ලබන රාජ්‍ය ආයතන වලට හෙංචයියන් පත් කිරීම නිසාම රාජ්‍යයට අදායම් මිස ලාභ ඉපයීමට ඉඩකඩ ලබාදීම ජාතික වශයෙන් හානිකර බව ජනතාවට අවබෝධ කර දිය යුතු වේ.


2014 පරාජයට පසුව, මහින්ද රාජපක්ෂ ලේක් හවුස් ආයතනයට ගෙවිය යුතුව තිබුණ එක් කෝටි අනූ ලක්ෂයක මුදල් රාජ්‍ය නිලධාරියෙකු ගෝනි මළු දෙකක් පුරවා ගෙනැවිත් භාර දී ලබා ගත් ලදුපතේ කාර්යාල පිටපත විමර්ශකයන්ගෙන් සඟවන ලද්දේ කවුද යන්න දන්නේ කරු පරණවිතාන හා කාවන් රත්නායක පමණකි.

 

මේ සාරාංශ කරන්නේ අපේ රාජ්‍ය ව්‍යවසාය ඉතිහාසයේ චරිත හේරත් අපට නො කියන කොටස් ය. රටේ අනාගත පරපුර වෙනුවෙන් ඍජු තීරණ ගන්නවා මිස ආපසු හැරෙන්නට බැරි තරමට අතීතය බියකරු වේ. වාසියට කතිර ගැසූ ජනතාව පක්ෂ භේදයෙන් තොරව එහි පල විපාක භුක්ති විඳිති. දේශපාලකයන් කඩා වැට්ටූ රට භාර ගත් ජනාධිපති වික්‍රමසිංහ වැල් පාලමේ යන්නේ හදිසි මැතිවරණයක් අරමුණු කොට නොව 2048 දී ශක්තිමත් වන රටක් අපේක්ෂාවෙනි. ජනතාවට අවශ්‍ය රාජ්‍ය ආදායමෙන් ශක්තිමත් වන රටකි. රාජ්‍ය දේපල යනු බලය කොල්ල කෑමට අර අඳින තක්කඩින්ට ලොතරැයියකි. 

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලලිත් ඇතුලත්මුදලි අනුස්මරණ කතාවේදී  විස්තර කළ පරිදි, ලාභ ලැබෙන ආයතන විකිණීමෙන් ලැබෙන ඩොලර් ආදායම හේතුවෙන් විදේශ සංචිත වැඩිවීම මෙන්ම, පාඩු ලබන ආයතන පිළිබඳ වගකීමෙන් භාණ්ඩාගාරය නිදහස් කිරිමකි. ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ජාතික අවශ්‍යතා සපුරා රටේ ජන ජිවිතය යහපත් කිරීමකි. මනා රාජ්‍ය කළමනාකරණය රට තුළ ස්ථාපිත කිරීමෙන් විදේශීය ආයෝජකයන් මෙන්ම ජාත්‍යන්තර ආයතන ලංකාවට සමීප වේ.




චරිත හේරත් ක්‍රමයට, හිතන කෙනෙකු මේවා සිහින පමණකි. එහෙත් රාජපක්ෂලා විනාස කළ රටේ ජීවත්වන සාමාන්‍ය මිනිසා, රනිල් වික්‍රමසිංහ සමග එක්ව මේ සිහිනය සැබෑ වනු දැකීමට කැමැත්තෙන් සිටිති. චරිත හේරත්ලා ප්‍රමුඛ වියතුන් ජනතාවට රෙක්මන් කළ රාජපක්ෂලා අත්තනෝමතිකව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ප්‍රතික්ෂේප කිරීමත්, ඍජු බදු මූලාශ්‍ර වළක්වා රාජ්‍ය ආදායම් අහිමි කිරීමත්, අසිමිත විදේශ ණය ගැනීමත් හේතුවෙන් මේ මහා විනාසය නිර්මානය විය. රනිල් වික්‍රමසිංහ මේ නිවැරදි කරමින් සිටින්නේ ජනතාව රැවටීමට අතීතයේ ගත් ජනප්‍රිය වැරදි තීරණයන්ය.

 

ගවයන් ලවා කුඹුරු මැඩවීමේ සාම්ප්‍රදායික ක්‍රමය නිසා හම්බන්තොට පැතිරුණ ගව වසංගතය මර්ධනය කිරීමට නගුල් භාවිතා කර සී සෑමට ගොවින් මෙහෙයවීමට ලෙනාඩ් වුල්ෆ් දිසාපති වරයා ගත් උත්සාහය අසාර්ථක වූ තැන, 1909 ජූනි 12 වෙනිදා, සිය රාජකාරි දිනපොතෙහි  “අවාසනාවට මෙන් මාගම් පත්තුවේ සහ නැගෙනහිර ගිරුවා පත්තුවේ ජනයා තමන් ලබා ගන්නා අත්දැකීම් වලින් අවබෝධයක් ලබා නො ගන්නෝ වෙති. ඔවුන් තම මුතුන් මිත්තන් නො දත් හෝ නො කළ දෙයක් පිළිබඳ වැරදි පූර්ව නිගමන වලින් කටයුතු කරන අය වෙති.”  යනුවෙන් සටහන් කළේය. එදා  ගිරුවාපත්තුවේ ජීවත්වූ ගතානුගතික ගොවීන්ගෙන් පැවත එන මැදමුලන රාජපක්ෂලාට නමස්කාර කරන චරිත හේරත්ලා, ලෙනාඩ් වුල්ෆ්ගේ දැක්ම අනුව,  “මුතුන් මිත්තන් නො දත් හෝ නො කළ දෙයක් පිළිබඳ වැරදි පූර්ව නිගමන වලින් වශී වී ආර්ථික වසංගතය අවසන් කිරීමට ඇති ඉඩකඩ අහුරමින් සිටිති. ඩී.ඇම්.රාජපක්ෂට මැතිවරණ වර්ණය ලෙස හම්බන්තොට සුදු ආණ්ඩුවේ ඒජන්ත ලබා දුනනේ තමන් පය පැළඳි පාවහන් යුගලෙහි දුඹුරු වර්ණයයි. ඒ අවතක්සේරුව  කුරක්කන් පාට සේ අගය කරමින් අදටත් බෙල්ලේ ඔතා ගත් දුඹුරු පාට වියතුන් යුදයට බයෙන් රටෙන් පැන ගිය හමුදා සෙබලකුට රට බාර දුන්නේත් අතීතයට ආවැඩීමේ පුරුද්දට මිස, අවබෝධයෙන් නොවේ. චරිත හේරත් මේ ලියන්නේත් රනිල් වික්‍රමසිංහට එරෙහිව මිස රටට ලෙන්ගතුව නම් නොවේ.

 

ලංකා විදුලි බල මණ්ඩලය තුනට කඩතැයි කියන්නේ 2006 වසරේදී ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය ඉදිරිපත් කළ යෝජනාවමය. දසක එකහමාරක් එය  වළකන ලද්දේ සුනීත බල ශක්ති ව්‍යාපෘතින්ද නතර කරවූ විදුලි ඉංජිනේරු මාෆියාව ආවඩන මැදමුලන රාජපක්ෂලා විසිනි. හැම විටෙකම රටට හිතකර සාධනීය යෝජනා පරාජය කළේ අරගල, වර්ජන තර්ජන හා වීදි සටන් හරහා ය. ලාංකේය රාජ්‍ය ව්‍යවසායික අත්දැකීම් හරහා එළඹීය හැකි එකායන මාර්ගය, රාජ්‍යයේ පැවැත්ම සඳහා ඍජු සහ වක්‍ර බදු ආදායම් කළමනාකරණය කරනු මිස, දූෂණයට පාර කපෙන ලාභාදායි ව්‍යාපාරය කර ගසා නොගත යුතුය යන්න පමණකි.


දෙසැම්බර් 08 වෙනිදා පාර්ලිමේන්තුවේදී මහා ඝෝෂාවක් කළ පාඨලී චම්පික රණවක, ඇමතිවරයා ලෙස විදුලි ඉංජිනේරු මාෆියාවේ රූකඩයක් නොවීද? ජල විදුලි මූලාශ්‍ර විකිණීමක් හරහා පාඨලී චම්පක කියන්නේ ප්‍රතිව්‍යුහකරණය නො කළ යුතුය යන්නය. තමන් ඇමතිවරයාව සිටි කාලයේ විදුලි ඉංජිනේරු මාෆියාව සම්බන්ධව අවශ්‍ය පියවර ගත්තා නම් අද විදුලි බිල ජනතාවට බරක් වන්නේ නැත. 1994 තෙක් රටට බරක් නොවූ මේ ව්‍යාපාරය කඩා වැටීමට එදා මෙදා අතර සිටි පාඨලී චම්පක ඇතුළු සියළු ඇමතීන් වගකිව යුතුවේ. විපක්ෂයේ සිට දක්වන ජනතා දයාව, ඇමතිකම කරද්දී කරන තනතුර ප්‍රේමයෙන් යටපත් වූ බව විදුලි බල කේෂ්ත්‍රයේ කඩා වැටිමෙන් තහවුරු නොවේද?


රාජ්‍යයේ ආර්ථිකය අඩපන වූ සැනින් ජනතා පරමාධිපත්‍ය ඉස්මතු වී රටක පාලකයන් පළවා හැරෙති. 2022 ජූලියේ රාජපක්ෂලා බුරුතු පිටින් විසි වුණේ එහෙමය. බිඳ වැටුණ රටේ ආර්ථිකය යළි ස්ථාපිත කිරිමේදී අසාර්ථකවූ පාලකයන් හා ගැත්තයන් විශ්වාස කළ ආර්ථික ප්‍රතිපත්තින්ද ඒ සමග ප්‍රතික්ෂේප කරමින් ගන්නා තීරණ රාජ්‍යයේ පැවැත්මට මිස පක්ෂ දේශපාලනයට හිතකර නොවනු ඇත. ජනතාවට සහන දෙමින් ආසන්න වසර 60ක් රටේ පැවති ආණ්ඩු විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති හේතුවෙන් රට බංකොලොත් වී රටේ ජනතාව බඩගින්නේ මිය යන තැනට තල්ලු වූ රටක් අත් විඳිමින් සිටිති. අවශ්‍ය වන්නේ ලෙඩේට බෙහෙත් ය.


ඖෂධ යනු ප්‍රතිකාරයක් මිස, රස නහර පිනා යන භෝජන සංග්‍රහයක් නම් නොවේ. ඒ පරම සත්‍ය වටහාගත නොහැකි නම් යළි බිඳ වැටෙන්නේ රාජ්‍ය මිස පත්වන ආණ්ඩු නොවේ. රටක ආණ්ඩුව රාජ්‍යයේ කොටසක් බව අවබෝධ කර ගන්නා තෙක් චරිත හේරත්ට මේ යථාර්ථය අවබෝධ වන්නේම නැත.



ගෙදර යන මිනිසාගේ නිමේෂය උදාවී ඇත -(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )



සබැඳි ලිපිය :
ආණ්ඩුවට බිස්නස් බැරිද? - මහාචාර්ය චරිත හේරත්


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්