ලංකාවේ, දේශපාලන පරිකල්පනයේදී, අනාගතය පරිකල්පනය කර ගැනෙනුයේ අතීතයේම දිගුවක් ලෙසට ය. අනාගතය ලෙස එළැඹෙන්නට නියමිතව
ඇත්තේ ද, අප විසින් පරිකල්පිත අතීතයම ය. අතීතයෙහි ඛන්ඩනයක් නො මැත. එය, එහිම දිගුවක් ලෙස නා නා විධ ස්වරූපයන්ගෙන් පැමිණෙයි.
වර්තමානය තුළ අධිනිශ්චය වුණු දේශපාලනය යනු, අතීතයේ පැවතුණි යැයි අනුමානිත මෘත දේහයක්, නැවත ගොඩගැන්මට ‘සාමුහිකව’ වෙර දැරීම මිස අන් යමක් නොවේ. අවසාන විග්‍රහයේදී,මේ සියල්ලම අතීතය ම වෙයි. වර්තමානයත් අතීතය යි. එපමණක් නොව, අනාගතයත් අතීතයම යි.
සමස්ථ සමාජය අතිශය සංකීර්ණ ආර්ථික කළු කුහරයක් වෙත දෛනිකව ඇද වැටෙමින් ඇති මොහොතක අනුරාධ මහසිංහගේ බැමිණිතිකාලය අප ඥානනය කරමින් අපට අභිමුඛ කරන්නේ අප කළම්බනසුළු ඉතිහාසයකි; නොහොත් අනාගතයකි. පිටු 71කින් සමන්විත මෙම මහා නවකතාවේ 22වැනි පිටුවේ මෙවන් සංවාදයක් වෙයි.
‘’මොළේ කලඳක් හෝ තිබිච්ච කාවන්තිස්ස අපෙ රජ්ජුරුවො කිව්ව මුන් දෙන්නට; තොපි මාගම බෙදාගෙන සාමයෙන් හිටපියව්, අනුරාධපුරේ අල්ලන්න ගියොත් වෙන්නෙ මහ විනාසයක් - රටේ මිනිස්සුන්ට කන්ට නැති වෙන්ට පුළුවන්. හදිස්සියේ හෝ උඹලා ඒ වගේ දෙයක් කරනවා නම්, මුලින්ම මාගමත්, දිගාමඩුල්ලත් අස්වද්දලා අටු කොටු පුරෝලා බඩ රස්සා කරගෙන ඉඳිපියව් කියලා. කොහෙද අම්මටයි මහ පුතාටයි තිබ්බ තදියම නොවැ අපට පල දීලා තියෙන්නෙ’’
‘ඒකීය ලංකාවේ’ බුද්ධිමය සංවාද වපසරිය, ඉතා සමීපව නිරීක්ෂණය කළ විට පෙනෙන්නට ඇති දෙයක් වන්නේ, ස්වකීය ජීවිතය හා සමාජ යථාර්ථය සමඟ ඉතා සංයුක්තව ගැටගැසී, හදාරන්නාවූ කුලකය සිටිනුයේ දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව තුළ බව යි.
මුසල්මානු සහෘදයා යනු දැනුම සහිත කෙනෙක්, හදාරමින් සිටින්නාවූ කෙනෙක් හෝ දාර්ශනික චින්තාවන් සහිත කෙනෙක් ලෙස, බරපතලව ගැනීමට ඇති අකැමත්ත පැන නඟින්නේ ‘තම්බින්’ යැයි නින්දිත බසින් නම් කළ මෙකී ප්‍රජාව පිළිබඳව ඇති ග්‍රාමීය ප්‍රතිවිරෝධය සහ යටත්විජිත ස්වාමියා විසින් දකුණෙහි ගොඩනංවන ලද, සිංහල-බෞද්ධ දෙමුහුන් මනසේ ස්වභාවය හේතුවෙනි.දේශපාලන හේතුවට අමතරව ඔවුන්ගේ හැදීරීමට බලපා ඇති භාෂාමය හේතුවකුත් ද පවතී; එනම්, දෙමළෙන් ‘කියවන්නට’ හැකිවීම නිසා, ඔවුනට, දකුණු ඉන්දීය කලාපයෙහි ප්‍රකාශයට පත් වන ප්‍රබන්ද සහ ප්‍රබන්ද නොවන සියල්ල කියවා ගන්නට හැකිය. ඔවුන් තුළ වන ‘ඉංග්‍රීසි ශක්‍යතාව’ නිසා වෙනත් මහද්වීපයන්ට වීවෘත වන්නට හැකියාව ලැබෙයි.
එනයින් ගත්කල ‘තමන් දෛනිකව මුහුණ දෙන ජීවිතය නිසාම’ ලෝකය පුරා ප්‍රකාශයට පත් වන බොහෝ සංවාදයන්ට ඓන්ද්‍රීය වන්නේ වෙයි. එබැවින් ඔවුන්ට කියවීම යනු විලාසිතාමය ක්‍රියාවලියක් නොවේ. නිදසුනක් ලෙස ‘ඉස්ලාම්භීතිය’ සළකතොත්,ඒ පිළිබඳව සිදුවන බටහිර සංවාද සිංහලයන් වන ‘අපට’ සංකල්පීය තලයේ සංවාද වන විට මුසල්මානු සහෘදයන්ට එ්වා තමන්ගෙ දෛනික ජීවිතයට අදාලා සංයුක්ත සංසිද්ධීන් වේ.
‘දෙමළා’ ස්වකීය දෛනික ජීවිතයේ අඛන්ඩව පීඩාවට පත්වද්දි ‘අපට නැති දෙමළාට පමණක් ඇති ප්‍රශ්නය කුමක්දැ’යි අසමින් චිරාත් කාලයක් සංවාද කරන්නට සිංහලයාට හැකි වන්නේ,ජාතියක් ලෙස, දෙමළා අත්විඳින පීඩාව, සිංහලයාට සංකල්පීය දෙයක් මිසක් තමන්ගෙ ජීවිතය තුළ සංයුක්ත හෝ ඓන්ද්‍රීය නැති බැවිනි.
මා ‘බැමිණිතිකාලය’ ඔබට අභිමුඛ කරන්නේ, නවකතාවක් විසින් ගොඩනැංවෙන සහ ඥානනය කෙරෙන ප්‍රබන්ධ ලෝකය, අපගේ භෞතික ජීවිතය සමඟ මොන තරම් සම්බන්ද වන්නේ ද යන ප්‍රවේශය තනාගනු පිණිස ය. මේ සමකාලීන මොහොත සැබැවින් ම පීඩිතභාවයේ පිළිබිඹුවක් වුව, ඥානනය පවා සිදුවන්නේ මෙකී පීඩිතභාවයට සමාන්තරව වුව, ‘බැමිණිතිකාලය’ නම් මහා නවකතාව අතීතමය ස්වරූපයෙන් අපට අභිමුඛ කරන සමකාලීන මොහොත පීඩිතයන් ලෙස අප බාර නොගන්නා මනෝභාවය කොහෙන් පැන නැඟෙන්නක් දැයි විග්‍රහ කරගැනීම අතිශය දේශපාලනික වන්නේ වෙයි.
# අනාගතය පිරවිය හැකි සරලමතික මිත්‍යා ප්‍රබන්ද ගොඩනංවනු හැක්කේ ‘ඉතිහාස සංචාරයේ’ ගොස් රැගෙන එන්නාවූ වීරත්වයේ සාහසික කුණුකන්දල් වලින් පමණ ද?
# සිංහල-බෞද්ධ දෙමුහුන් කුලකය, ‘දුටුගැමුණු වීරත්වය’ දිගින් දිගටම ස්වකීය අනාගතය ලෙස දකින්නට කැමැත්තේ ඇයි?
මෙකී ජාතික දෘෂ්ටිවාදයේ පතාක යෝධයෙක් වන ගුණදාස අමරසේකර ජයන්ත චන්ද්‍රසිරිගෙ ‘මහරජ ගැමුණු’ නවකතාව බෞතිස්ම කළ සමයේ නවකතාවෙහි මෙන්ම ඓතිහාසික නවකතාවෙහි ස්වරූපය පිළිබඳ රැගෙන ආ ප්‍රවාදය මෙසේ සිහිකැඳවිය හැකිය.
හැම නවකතාවක්ම මූලික වශයෙන් ඓතිහාසික වාර්තාවක් මෙන් ම සමාජ ඓතිහාසික ලේඛනයක් ලෙස හඳුන්වන්නට හැකි බව අමරසේකර පවසයි. නවකතාව ඓතිහාසික ලේඛනයක් නම් අප කුමකට නවකතා කියවන්නේ ද යනුවෙන් මතුවිය හැකි ප්‍රශ්නයට පිළිතුරු බඳින අමරසේකර නවකතාකරුවා ඉතිහාසඥයාගෙන් වෙනස් වන්නේ කෙසේදැයි කරුණු දෙකක් යටතේ විශ්ලේෂණය කරයි. පළමු විශ්ලේෂණයට අනුව ඉතිහාසඥයා, ඉතිහාසය දෙස බලන්නේ, එදා පැවති තත්වය ඒ සමාජ යුගය තුළ සිටගෙන ය; නවකතාකරුවා ඉතිහාසය දෙස බලන්නේ වර්තමානයේ සිටගෙනයි.
එම ලිපියේ අමරසේකර තවදුරටත් පවසන්නේ, නවකතාව යන සාහිත්‍යාංගය, ඓතිහාසික සමාජ සත්තාව පදනම් කරගත්, ඒ ගර්භාෂය තුළින් බිහිවන නිර්මාණයක් බවයි. ‘’වෙන වචනයෙන් කියනව නම් නවකතාව නිවැරදි ඓතිහාසික ලේඛනයක් විය යුතුයි. එය ඓතිහාසික සමාජ සත්තාව බොරු නොකරන නිර්මාණයක් විය යුතුයි.’’ ලෙස ඔහු පවසයි. අමරසේකරගේ ප්‍රවාදයට අනුව ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු යන නවකතාව බිහිවීම යුගයේ උවමනාව පිළිබිඹු කරයි.
‘මහරජ ගැමුණු’ ඔහු විසින් සන්දර්භගත කෙරෙනුයේ ‘’සිංහල බෞද්ධ සභ්‍යත්ව විඥානය’’ තුළයි. අනුරාධ මහසිංහගේ ‘බැමිණිතිකාලය’ මෙකී ‘සිංහල බෞද්ධ සභ්‍යත්ව විඥානය ‘ මතම තබා කියවීම අතිශය පහසුකර කටයුත්තක් බැවින් අරමසේකරයන්ට ප්‍රණාමය පළ කළ යුතු ය. ගැමුණුමය රචනාවේ, නවකතාව යනු නියත වශයෙන්ම ඓතිහාසික-සමාජ ගර්භාෂය තුළ බිහිවෙන්නක් බවත්, එය සත්තාව බොරු නොකරන්නක් විය යුතු බවත් අමරසේකර පවසයි. එනයින් ‘බැමිණිතිකාලය’ නවකතාව ද ‘සිංහල-බෞද්ධ සභ්‍යත්ව විඥානය’ම පරාවර්ථනය කරවයි.
‘බැමිණිතිකාලය’ තුළ ගැඹුරට නිරූපනය වන්නේ, කළුහාමි, බරණි, පෝරිසාදයා, වේලංග නම් වූ චරිත අල්පයකි. භික්ෂු චරිත දෙකක් ද පසෙක වැඩ සිටියි. නමුත් මේ සිංහල-බෞද්ධ සභ්‍යත්වය විසින් හික්මනු ලැබූ ‘වාමාංශය’ ද ඇතුළු සමස්ත සමාජයම ‘බැමිණිතිකාලය’ නවකතාව අත්හැර දමයි. එහි වන්නේ පිටු 71කි. එවන් කෘතියක් කියවා ගැනීමට කාලය සොය ගත නොහැකි වී යැයි තර්ක කළ නොහැකිය.
පෝලිම්වල ගාල් වෙමින් පැමිණ, ‘රණ මඟ දිගේ නන්දිකඩාල්’ මිළ දී ගෙන කියවා එහි කතුවරයාගෙන්ම මට්ටු වූ සමකාලීන සමාජය ‘බැමිණිතිකාලය’ මඟ හැර යන්නේ ඇයි?
ගණිතඥයකු වන ආචාර්ය අනුරාධ මහසිංහ ගණිතමය සමීකරණ ඔස්සේ සිංහල-බෞද්ධ සභ්‍යන්තවයේ දුටුගැමුණු චින්තනයෙන් හික්මවනු ලැබූ ප්‍රජාවට, කළුහාමි හා වේලංග ඇතුළු සටන්කාමීන්ට මිනිමස් කන්නට සිදුවූ ඉතිහාසය අභිමුඛ කරයි. මෙහි මුල දැක්වූ ගැමියාගේ උපුටනයෙහි වන ශ්‍රද්ධාවන්ත සද්ධාතිස්ස රාජ්‍ය පාලය අරඹන්නේ ම, ඉතිහාස වීරවර ගැමුණු මහ රජුගේ මරණ මංචකයේදී, අසම්පූර්ණ රත්නමාලි මහා සෑයට තිරරෙදි අන්දවා පෙන්වා, සොහොයුරා අන්දවමිනි. දුෂ්ටගාමීණී සමයේ හා ඉක්බිති සිදු වූ සියල්ල, එකී ගැමියාගේ ප්‍රකාශය හරහා සමකාලීන මොහොතට සමාන්තර කිරීම අතිශ්‍ය සවිඥානික දේශපාලන ප්‍රවේශයක් වන්නේ වෙයි.
යුද වීරත්වය විසින් සමස්ත පොදු ජන අනාගතයම දුර්භික්ෂයකට ඇද දැමූ අයුරු සමකාලීන මොහොතක් ලෙස තමන්ට අභිමුඛ වෙනවා දකින්නට ‘යුද්ධයේ පාර්ශවකරුවන් වූ’ කිසිවකුත් කැමති නැත. එබැවින් මතුවෙමින් එන බරපතල ‘ආර්ථික දුර්භික්ෂයේ’ සහේතුකබව සහ පදනම රැඳී ඇත්තේ යුද්ධය නමින් දවා අළුකර දැමූ රත්නමාලී මහා සෑය තරම් උස ධනස්කන්ද තුළ බව පිළිගන්නා තරමට ඔවුන්ට සිහිඑලවා ගත නො හැකි ය. එකී යථාර්ථය මඟ හැර ‘අහේනියේ’ පදනම’ වෙන වෙන හේතු මත සෙවීම සුපුරුදු ‘සිංහල-බෞද්ධ’ වංචනිකභාවය ම පරාවර්ථනය කරවයි.
අප අබියස සිටින අනුරාධ මහසිංහ නම් නවකතාකරුවා ඉතිහාසඥයෙක් නොවන නමුත් ගණිතඥයෙක් බව අපි දනිමු. සිංහල - බෞද්ධ සභ්‍යත්ව විඥානයේ නිර්ප්‍රභූ ඉතිහාසය විශ්ලේෂණය කරමින් ලියන්නට හැකි පිටු දහසක් පුරා දිගහැරෙන සේ දැනෙන පිටු 71ක නවකතාවක් බවට ‘හින්දූ’ අසාමාන්‍ය ලිවීම සහ භාෂාමය තාක්ෂණය, ඔහුගේ ‘ගණන්කාරකම’ මත පදනම්ව ඇති බව මගේ තර්කයයි.
නමුත්, අධිපති දෘෂ්ටිවාදයේ උවමනාව වන්නේ ‘බැමිණිතිකාලය’ බඳු අතිශය බරපතල කෘති, සවිඥානකව ම සමාජයට මඟ හැරවීමයි. බැමිණිතිසාය සිහි කැඳවා ගත යුතු අතිශය ව්‍යාකූල මෙම සමකාලීන මොහොතේ, පරිනත, රැඩිකල්, දාර්ශනික, වාම, නවීකාරක හෝ නූතන යැයි සෘජුවම හා වක්‍රව තමන්වම නම්කරගන්නා දේශපාලනික ප්‍රජාව අවම වශයෙන්, සමාජය ඥානනය කළ හැකි මෙවැනි බරපතල නිර්මාණ තෝරා බේරා ගෙන ඒ හරහා දේශපාලන කතිකාව පෝෂණය කිරීමට තරම්වත් සවිඥානික විය යුතුය.
නමුත් සැබැවින්ම නම් සිදුවන්නේ, දෛනික ජීවිතයේ බෙදුම් රේඛාවක් තමන් අබියසට ආ සැණින්, පෙර කී වාමාංශිකයන්, දාර්ශනිකයන්, ලේඛකයන් සහ කලාකරුවන්, සිංහල-බෞද්ධ සභ්‍යත්ව විඥානයෙන් පෝෂිත සාමාන්‍ය ගැමියන් මෙන් සරං උස්සාගෙන කෑ කෝ ගසමින් ‘ගේම’ ඉල්ලීමයි. දුටුගැමුණු පරපුරට වුව කිව යුත්ත කියන්නට, අනුරාධ මහසිංහ විසින් පරිකල්පිත, අතීත ගැමියාට ධෛර්යයක් තිබිණ. සමකාලීන දුර්භික්ෂය, බැමිණිතිකාලය සිහිගන්වන්නේ වුව, දුටුගැමුණුට ‘කින්ඩි’ දැමීම වූ කලි තමන්ව පරසක්වල ගසන්නට ලබා දෙන බලපත්‍රයක් වැන්න. නමුත්, කොතෙක් මාර්ග අනතුරු පවතින්නේ වුව දේශපාලනිකව සිතන්නන් තෝරාගත යුතු වන්නේ, එකී දුෂ්කර මාර්ගයයි.
(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී
(බල්සාක් කැෆේ - 2022 දෙසැම්බර් 11 අනිද්දා පුවත්පත)
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න