අධ්‍යාපනය පිළිබඳ විවිධ අධ්‍යාපනඥයන් විවිධ නිර්වචන ඉදිරිපත් කොට ඇතත් අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන්නේ ළමයාගේ කායික මානසික
සංවර්ධනයකි.ලොව සෑම රාජ්‍යයක් ම පාහේ අධ්‍යාපනය පිලිබඳ උනන්දුවක් දක්වයි. පුද්ගලයන් දෙදෙනකු කිසිසේත් ම එක හා සමාන නොවේ.එසේම ළමුන් අතර ද විවිධත්වයක් ඇත.ඒ නිසා පොදුවේ අධ්‍යාපනය ලබාදීම අසීරු කරුණකි.වයස, මානසික වර්ධනය, ශාරීරික වර්ධනය ආදී නිර්ණායකයන් මගින් ළමයින් වර්ග කර අධ්‍යාපනය ලබාදීම සෑම රාජ්‍යයකටම සිදුවේ.
මෙය සාමාන්‍ය අධ්‍යාපනයේ තත්ත්වයයි. මීට අමතරව ශාරීරික, මානසික,චිත්තවේගිය හා ඉන්ද්‍රියයමය වශයෙන් කැපී පෙනෙන විවිධත්වයක් ඇති ළමුන් සෑම සමාජයකම දක්නට ලැබේ. මෙකී ළමුන් හා සම්බන්ධ අධ්‍යාපන ක්‍රියාවලිය විශේෂ අධ්‍යාපනය ලෙස සරලව හැඳින්විය හැකිය.
ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවස තුළ අශෝක අධිරාජයා විසින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන පිහිට වූ අතර මගධ අධිරාජ්‍යය තුළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට පාසල් ආරම්භ කිරීමට උත්සාහ දැරීය.ඒ හැරුණු විට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පිළිබඳ අධ්‍යාපනය මුල් කාලයේ ලොව කිසිම රාජ්‍යයක දක්නට නො ලැබී ය.
ග්‍රීසිය ඇතුළු සමහර යුරෝපීය රාජ්‍යයන්වල රාජ්‍ය ප්‍රතිපත්තියක් වශයෙන් මුල් කාලයේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් විනාශ කරන ලදී.විවිධ ආගම්,ඇදහිලි,දර්ශන හා විශ්වාස වල දියුණුවත් සමඟ මෙම අය කෙරෙහි දයාව,කරුණාව,මානව හිතවාදීභාවය වර්ධනය විය.පුනරුද යුගයෙන් පසුව විශේෂ අවශ්‍යතා සහිත අවශ්යතා සහිත පුද්ගලයන්ට විශේෂ සැලකිල්ලක් දක්වන ලදී.

ප්‍රංශ ජාතික චාල්ස් මයිකල් එල් ඉපී(Charles Michel L'Epee) විසින් 1760දී ප්‍රංශය තුළ Institut National de jeunes sourds de paris නම් විශේෂ අවශ්‍යතා සහිත අයට පළමු පාසල ආරම්භ කළේය. බිහිරි සහ අන්ධ සිසුන්ගේ අධ්‍යාපනය සඳහා මේවලමක් ලෙස භාෂාව හා ශබ්ද විද්‍යාව වෙනත් ආකාරයකින් ඉගැන්වීම පිළිබඳ මහත් සැලකිලිමත් විය.

චාල්ස් මයිකල් එල් ඉපීගේ ක්‍රමය අනුගමනය කරමින් වැලන්ටයින් හවුයි(Valaentin Hauy) විසින් 1784දී Institution Nationale des Jeunes Aveugles හෙවත් විශ්කමීර් පාසල ආරම්භ කරන ලදී.අන්ධ සිසුන්ගේ අධ්‍යාපනය සඳහා ලොව පිළිගත් පලමු පාසල ලෙස මෙය පිළිගනී.මෙම පාසල ආරම්භයේ සිට පර්යේෂණ පදනමක් යටතේ කටයුතු කරන ලදී.පසු කාලයේදී අන්ධ නොවූ සිසුන්ද මිශ්‍රකර මෙම පාසලේ අධ්‍යාපනය ලබා දෙන ලදී.මෙහි සාර්ථක ප්‍රතිඵල ලැබීමත් සමඟ අන්ධ අයට අධ්‍යාපනය ලබාදිය යුතු බව වැලන්ටයින් හවුයි කියා සිටියේය.

විශ්කමීර් ආයතනයේ සංවර්ධනයත් සමඟ අන්ධ ළමුන්ට ඉගෙනීමට වෙනත් රාජ්‍යයන් වල අවධානය යොමු විය.1806දී ඔස්ට්‍රියාවේ වියානා නුවර දී සාමාන්‍ය පාසලේ ඌනතා සහිත ලමුන්ගේ අධ්‍යාපනය පිළිබඳ කතිකාවතක් ආරම්භ කරන ලදී.
සැමුවෙල් හෝවී - තෝමස් ගැලවුවෙට්
19 වන සියවස තුළ තෝමස් ගැලවුවෙට් සහ සැමුවෙල් හෝවී විශේෂ අධ්‍යාපනය පිළිබඳ අවධානයක් යොමු කර ඒ සඳහා උත්සාහයන් දියත් කළේය.එහි ප්‍රතිඵලයක් ලෙස කනෙක්ටිකට් හි හාඩ්ෆෝර්ඩ් හි තෝමස් ගැලවුවෙට් විසින් 1817දී බිහිරි අය සඳහා පළමු පාසල ආරම්භ කරන ලදී.1817දී ආරම්භ කරන ලද මෙම පාසල වර්තමානයේ ද ඇමරිකා එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක වේ.

පර්කින්ස් පාසල
ඇමරිකානු ජාතික සැමුවෙල් හෝවී අන්ධ සිසුන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවධානය යොමු කළ අතර ක්‍රි.ව.1829 දී ඇමරිකා එක්සත් ජනපදයේ අන්ධ ළමුන් සදහා පළමු පාසල ආරම්භ කළේය.වර්තමානයේ මෙම පාසල පර්කින්ස් අන්ධ පාසල ලෙස හඳුන්වනු ලබයි.මෙම පාසල මැසචුචෙට්ස් හි පිහිටා ඇත.
තෝමස් ගැලවුවෙට් සහ සැමුවෙල් හෝවීගේ ආදර්ශයන් අනුගමනය කරමින් අමෙරිකා එක්සත් ජනපදයේ සෙසු ප්‍රාන්ත තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පාසල් ආරම්භ කරන ලදී.ඇමෙරිකානු සිවිල් යුද සමය වුවද ඔහියෝ ප්‍රාන්තය තුළ සෙමින් මනස වැඩෙන දරුවන් සඳහා පාසලක් විවෘත කළේය.මුල් අවධියේ දී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වෙන්වූයේ විශේෂ පාසල් ය.පසුව සාමාන්‍ය පාසල් වල ද ඒකීය කරණ සංකල්පය ඇරඹිණි.මෙහි සාර්ථක ප්‍රතිඵල පෙන්වූයේ ජර්මනියයි.අමෙරිකා එක්සත් ජනපදය,මහා බ්‍රිතාන්‍යය,ස්වීඩනය,කියුබාව,ජපානය,ඉන්දියාව,ශ්‍රී ලංකාව,පිලිපීනය,කෙන්යාව වැනි රාජ්‍යයන්වලට පසුව මෙම සංකල්පය ව්‍යාප්ත විය.
# 1890දී විශේෂ අවශ්‍යතා සහිත දරුවන් අදාල ආයතන සඳහා යොමු කිරීමට අවශ්‍ය පනත් සම්පාදනය කළ අතර 1897දී විශේෂ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇමරිකානු ජාතික සංගමය විසින් නිර්මාණය කරන ලදී.20 සියවස තුළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය අයිතිවාසිකම් සහතික කිරීමට අවශ්‍ය නීති සම්පාදනය පිළිබඳ අවධානය යොමු විය.
# 1906දී නිව්යෝර්ක් විශ්ව විද්‍යාලය තුළ විශේෂ අධ්‍යාපන ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා ආරම්භ කරන ලද අතර ඒ සඳහා අවශ්‍ය විෂය නිර්දේශ සම්පාදනය කරන ලදී.
# 1908දී ප්‍රංශ ජාතික ඇල්ෆ්‍රඩ් බෙකට් සහ තියඩෝර් සයිමන් සමග බුද්ධිඑලය මැනීමේ පරිමාණයක් නිර්මාණය කළ අතර බුද්ධිමය දුබලතා සහිත දරුවන් හඳුනාගැනීම සඳහා භාවිතා කරන ලදී.
# 1918 දී ඇමරිකා එක්සත් ජනපදය තුළ සියළුම පුරවැසියන්ට අධ්‍යාපනය සඳහා අයිතිය ඇති බව පිළිගත් අතර ඇමරිකානු අධ්‍යාපන කාර්යාලය විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා කාර්යාංශයක් පිහිට වූ අතර 1935 සමාජ ආරක්ෂණ පනත සඳහා යම් බලපෑමක් එල්ල කළේය.
# 1950දී විශේෂ අවශ්‍යතා සහිත ළමුන් ගේ දෙමව්පියන් විසින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ සුභසාධනය සඳහා සංවිධාන පිහිටුවීමට උත්සාහ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස NARC සංවිධානය පිහිටු විය.ඇමරිකානු ජනාධිපති අයිසන්හවර් විසින් සියළුම ම දරුවන්ට සමානව අධ්‍යාපනය ලැබීමේ අයිතිය පිළිගත් අතර ඒ සඳහා එරට ශ්‍රේෂ්ඨාධිකරණය "බ්‍රවුන් එදිරිව අධ්‍යාපන මණ්ඩල" නඩුව තුළ තවදුරටත් එම අයිතිය නීතිගත කළේය.
නිව්යෝර්ක් විශ්වවිද්‍යාලය ආදර්ශයට ගනිමින් ඇමරිකා එක්සත් ජනපදයේ සෙසු විශ්වවිද්‍යාල තුළ විශේෂ අධ්‍යාපන ගුරුවරුන් පුහුණු කිරීමේ පාඨමාලා ආරම්භ කරන ලදී. එය ආදර්ශයට ගනිමින් ලොව සෙසු රාජ්‍යයන් වල උසස් අධ්‍යාපන ආයතන තුළ විශේෂ අධ්‍යාපන ගුරු පුහුණු පාඨමාලා ආරම්භ කර ලදී.

# 1971 "පෙන්සිල්වේනියාවේ පසුගාමී ළමුන් සඳහා පෙන්සිල්වේනියානු සංගමය එදිරිව පෙන්සිල්වේනියානු ප්‍රාන්ත රජය" නඩුව සහ 1971 "මිල්ස් එදිරිව කොලොම්බියානු දිස්ත්‍රික්ක අධ්‍යාපන මණ්ඩලය" නම් නඩුව තුළින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට නිදහස් සහ සුදුසු අධ්‍යාපනයක් ලැබීමට අවශ්‍ය අයිතීන් පිළිබඳ අවධානය යොමු කරන ලදී.ඉහත නඩු දෙකෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ එම දරුවන්ගේ පවුල්වල අයගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම පෙන්වා දෙන ලදී.
# 1973 දී අමෙරිකා එක්සත් ජනපදය තුළ පුනරුත්ථාපන පනත සම්මත කළ අතර එම පනත මගින් අධ්‍යාපනය,රැකියාව, සහ නිවස පිළිබඳ වෙනස්කම් නොකොට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා කරන ලදී.
# 1975 මහජන නීතිය මඟින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට තවදුරටත් අධ්‍යාපනය ලැබීමේ අයිතිය පිළිගත් අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා පුද්ගලබද්ධ අධ්‍යාපන සැලසුමක් (Individual Education Plan-IEP) සඳහා මූලික අවධානය යොමුකරමින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අධ්‍යාපන අයිතිය වැඩිදුරටත් තහවුරු කරන ලදී.
# 1973 පුනරුත්ථාපන පනත සහ 1975 මහජන පනත ඔස්සේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පිළිබඳ පනත් සම්පාදනය පිළිබඳ අවධානය යොමු කරමින් 1990දී ඇමරිකානු කොංග්‍රසය තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වර්ගීකරණය කිරීම සඳහා Individual with Disabilities Education Act හෙවත් IDEA පනත ඉදිරිපත් වූ අතර 1990 ඔක්තොම්බර් 30 දින ඇමරිකානු ජනපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්.බුෂ් විසින් පනතට අත්සන් කර මූලික නීතියක් බවට පත් කරන ලදී.

# IDEA පනත 1997,2004,2008,2009 යන වර්ෂයන් තුළ සංශෝධනය කළ අතර සෙසු රාජ්‍යයන් තුළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා පනත් සම්පාදනය කිරීම සඳහා IDEA පනත ආදර්ශයට ගන්නා ලදී.
# 1982 දෙසැම්බර් 03 දින විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ ජාත්‍යන්තර වැඩසටහන එක්සත් ජාතීන්ගේ 37 වැනි මහා මණ්ඩල වාරයේ දී සම්මත කරගන්නා ලදී.ඉන් විශේෂ අධ්‍යාපනයේ මූලධර්ම සහ ප්‍රතිපත්ති පිළිබඳව එහිදී විමසීමට ලක් කරන ලදී.
# 1994 ස්පාඤ්ඤයේ සලමන්කා නුවර පවත්වන ලද ජාත්‍යන්තර සම්මේලනය තුළ ලොව රාජ්‍යයන් 92ක සහ අන්තර්ජාතික සංවිධාන 25ක සාමාජිකයන් විසින් විශේෂ අවශ්‍යතා සහිත තරුණයන්ගේ සහ වැඩිහිටියන්ගේ අධ්‍යාපන පහසුකම් ලබාදීමේ අවශ්‍යතාවය ඒකමතිකව පිළිගන්නා ලදී.ඔවුන් සඳහා සාමාන්‍ය පාසල් පද්ධතිය තුළින් අධ්‍යාපනය ලබාදීමේ විවිධ ක්‍රම අනුගමනය කරනු ලැබේ.
දැනට ලොව පිළිගත් අදහසක් වන්නේ හැකි සෑම අවස්ථාවකම හැකි සෑම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයකුට ම සාමාන්‍ය ළමුන්ට මෙන් අධ්‍යාපනය ලබාදිය යුතු බවයි.එසේ කළ නොහැකි උග්‍ර ඌනතා සහිත අවස්ථාවලදී පමණක් විශේෂ පාසල්වල අධ්‍යාපනය ලබා දෙයි. 1981 විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ වර්ෂය ලෙස නම් කිරීමෙන් පැහැදිලි වන්නේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් වැඩිදුරටත් අවධානය යොමු යොමු වී ඇති බවයි.

(ගීත් විනුර උබේසිංහ)
නිදහස් ලේඛක
හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය මිරීගම
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
නිදහස් ලේඛක
හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය මිරීගම
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.