දින කිහිපයක් යන තුරුත් සමන් සඳහන්කළ බංගලිදේශ ජාතික හාම්පුතා පිළිබඳව හෝඩුවාවක් නොවීය. ඔහු නිවසට පැමිණෙන තුරු මග බලා සිටියේ මා

පමණක්  නොවන බව ඒ වන විට මට වැටහී තිබිණි. තාලුක සඳහන් කළ පරිදි නිවසේ රැදී සිටි සියල්ලෝම ඔහු ගේ පැමිණීම බලා පොරොත්තුවෙන් පසු වූහ.

 
වර්ෂ 2013 අගෝස්තු මස 30 වැනි සිකුරාදා දින, සමන් උදයෙන්ම නිවසින් පිටව ගොස් තිබූ අතර අප අවදිව මුව කට දොවා ගන්නා විට නැවතත් නිවසට පැමිණියේය.
 

“ හතර දෙනෙක් ලෑස්ති වෙන්න .... පොඩි වැඩක් තියෙනව ලොක්කගෙ ෆාම් එකේ ....  පොඩි ක්ලීනින් වැඩක් .... හවස් වෙනකම් තියෙයි වැඩේ ....  දවල් කෑම ලොක්ක ගානෙ ....  කවුද යන්ඩ කැමති ....”
       
 
මම ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වුනෙමි. සමන් විසින් නම්කළ තවත් තිදෙනෙකු ගමනට සූදානම්  වූහ. ඒ මා මිතුරු තාලුක, සමන්ගේ නෑයෙක් වූ හමුදාවෙන් ඉවත්ව පැමිණ  සිටි තරුණයා හා තවත් අයෙකුය. අපි ගොවිපළේ වැඩට සරිලන පරණ ඇදුම් ද සූදානම් කරගත්තෙමු.
 
IMG 20221201 232540
         
 
මිනිත්තු  විස්සකින් පමණ පසුව ප්‍රාඩෝ වර්ගයෙ ජීප් රථයක් සමන්ගෙ නිවස ඉදිරිපිටට පැමිණ නලාව හැඩවීය. ඒ අපගේ ගමන් රථය  විය.      
 
 
 
සමන් සමග අපි සිව් දෙනා එහි ගොඩ වුනෙමු. රියදුරු අසුනේ වූයේ සමන්ගේ හාම්පුතා නොවන බව ඔහුගේ හැසිරීමෙන් සහ කතා විලාශයෙන් මට අවබොධ විය. රියදුරා මැලේ ජාතිකයෙක් විය. ඔහු හොඳින් ඉංග්‍රිසි භාෂාව හැසිරවූ නමුත්, සමන් ඉංග්‍රිසි භාෂාවෙ සමතෙකු නොවන බව අවබෝධ කරගන්නට මට කල් ගත වූයේ නැත. සමන් ඉංග්‍රීසි උච්චාරණය කරන අයුරු මම ප්‍රථම වතාවට අත්දැක්කේ එම මොහොතේය. රියදුරා සමන්ගෙන් ආ ගිය තොරතුරු විමසූ අතර සමන් තෝරා ගලපා ගත් බාල ඉංග්‍රිසියෙන් ඔහුට පිලිතුරු දුන්නේය. රැකියා ලබා දීම, අදාල නෛතික ලියකියවිලි සැකසීම පමණක් නොව ආශික් සමඟ සංනිවේදනය කිරීම වැනි කටයුතු කළමනාකරණය කරගන්නට සමන්ට ඇති හැකියාව පිළිබඳව සාධාරණ හා පැහැදිලි සැකයක් මා තුළ ලියලන්නට විය. බංගලිදේශ ජාතික හාම්පුතා සාධාරණ හවුල් කරුවෙකු වුවහොත් හැරෙන්නට ඔහුට සමන් රවටන්නට, ඔහුව වංචා කරන්නට ඇති හැකියාව පිළිබඳව මට පැහැදිලි අවබෝධයක් ඇති විය.    
 
 
අඩ හෝරාවක පමණ ගමනකින් පසුව අපි ප්‍රධාන මාර්ගයෙන් වනගත අතුරු මාර්ගයකට පිවිසුනෙමු. එම මාවත ඔස්සෙ කිලෝ මීටරයක් පමණ ගමන්ගත් අපි අලුත ගස් කපා කොටා හෙලි පෙහෙලි කළ අක්කර දෙකක් පමණ වූ  එළිමහනකට පිවිසියෙමු. විශාල ගසක සෙවණේ සිටවූ ලී බංකුවක් මත මිනිස්සු  තිදෙනෙකු හිඳගෙන සිටියහ. දෙදෙනෙකු කෙසඟ සිරුරින් යුතු ඉන්දියානු පෙනුමැති අය වූ අතර, අනෙකා ඔවුන් දෙදෙනාට උසින් වැඩි තරබාරු සිරුරකින් යුතු පැහැපත් සමකින් යුතු මිනිසෙකු විය. ඔහුගේ වම් ඇස වපරව තිබූ අතර ඒ හේතුවෙන් ඔහුට තිබූණේ තරමක විරූපී එමෙන්ම රුදුරු පෙනුමකි.

   
IMG 20221201 230653
 
සමන් වාහනයෙන් බැස ප්‍රථමව ගමන් ගත්තේ ඒ තරබාරු පුද්ගලයා වෙතය. අපි වාහනය අසළ රැඳී සිටි බැවින් ඔවුන් කතා බහ කළ දේ කණ වැකුනේ නැත. මොහොතකින් කැති උදලු කිහිපයක් ද සමඟ සමන් හා තවකෙක් අප වෙතට පැමිණියේය.
 
 
“  මල්ලිලා ..... ඉඩම ඩෝසර් කරල තියේනෙ .....  ලොක්කට ඕනෙ කනු මුල් ටික අයින් කරගන්න .....  එච්චරයි ..... මහ ලොකු වැඩක් නෑ .....! ”
       
 
පරණ ඇදුම් ඇඟ ලා ගත් අපි වැඩට බැස්සෙමු. අපට පැවරී තිබුණේ   අලුතින් හෙළි පෙහෙළි කර  තිබුණ පොලොවේ පස් වලට යට වූ ගස් මුල්, ලී දඩු සොයා ඉවත් කොට වගාවක් සඳහා සුදුසු ලෙස පොලොව පිරිසිදු කිරීමය.
       
 
යුද හමුදාව හැර දා මැලේසියාවට සමන් සමඟ පැමිණ සිටි තරුණයා ප්‍රසන්න නම් විය. ඔහුට සමන් සමඟ දුර නෑ සබඳතාවයක් තිබූ බවද මම දැන සිටියෙමි. පථම වතාවට ඔහු සමඟ කුඩා මිතුරු කමක් ගොඩ නගා ගන්නට මට එදින හැකි විය. අපි බොහෝ වෙලාවක් එකට වැඩ කළෙමු. මට නිරවුල් කරගත යුතු කරුණු කාරණා  බොහෝ විය. මීගමුවේ පොඩි කොලුගැටයාවූ තාලුකගෙන් විමසා නිරවුල් කරගන්නට තරම් ඇතැම් කරුණු බර වැඩිය. මම සීරුවෙන් ප්‍රසන්න වෙතින් කරුණු කාරණා එකින් එක නිරාකරණය  කරගන්නට උත්සාහ ගත්තෙමි.
 
 
“ ඔය ඉන්නෙ ආශික් ..... මිනිහා බංගලිදේශ කාරයෙක් ..... මැලේ ගෑනියෙක් බැඳල දැන් සිටිසන්ලු මෙහෙ ..... මිනිහ ලඟ තුන් සීයක් විතර වැඩ ..... බංගලිදේශකාරයො ..... පකිස්තාන්කාරයො ඉන්නවා ..... ලංකාවෙන් ඉන්නෙ අපි සෙට් එක තමා .....”
 
 
“  තොකුතොමී එකේ වැඩ කරන ඔක්කොම වගෙ මිනිහ තමා වැඩට දාල තියෙන්නෙ ..... ලොකල් ස්ටාෆ් එක ඇරෙන්න ඔක්කොම මිනිහගෙ ලේබර් සප්ලයි එකෙන් දාල තියෙන්නෙ ..... තොකුතොමී එකෙන් අපිට කෙලින්ම පඩි ගෙවන්නෙ නෑ ..... ආශික්ට තමා කෑෂ් චෙක් එක දෙන්නෙ ..... ආශික් තමා අපිට පඩි ගෙවන්නෙ .....”
 
 
මට වඩා වැදගත් වූයේ රැකියා වීසා පිලිබඳව වූ සැකය දුරු කරගැනීමය.
 
 
“ අපි හැමෝම රින්ගිට් 1500 ගානෙ දීල තියෙන්නෙ .....මිනිහා අපට වීසා ගහනවා කියල පොරොන්දු වුනා ..... හැබැයි සමහරුන්ගෙ විසිට් වීසත් ඉවරවෙලා දැන් ..... හොරෙන් ඉන්නෙ ! තවම වීසා ගැන කතාවක් නෑ ..... සමහරු හිතන්නෙ බොරු කරනවා කියල ..... මමත් හිතන්නෙ එහෙමයි ..... මිනිහ සමන්වත් අන්ඳලා තියෙන්නෙ ..... සමන්ට ඕවා ගැන ඒ හැටි තේරුමක් නෑ ..... ආශික්ව දෙයියෝ වගේ අදහගෙන ඉන්නෙ .....”        
 
 
 
මට තවදුරටත් කරුණු උවමනා නොවීය. ආශික් ව්‍යාජ රැකියා නියෝජිතයෙකු බව මට තේරුම් ගියේය. මම නිහඩව සිටීමට සිතා ගත්තෙමි.
         
 
දිවා ආහාරය සඳහා අපට කුකුල් මස් සමග බත් පාර්සලය බැගින් ලැබිණ. බීමට කොකා කෝලා, ස්ප්‍රයිට් හා වතුර බෝතල් ඇති පදම් විය.  දිවා ආහාරය හමාරව  පැයක  පමණ වූ විවේකයෙන් පසුව  නැවතත් සුපුරුදු ව්‍යාපෘතිය එලෙසම විය. සවස පහ පමණ  වනතුරු අපි පිටිය  ශුද්ධ  පවීත්‍ර කිරීමෙහි නියැලුනෙමු. සේවය හමාර වූ පසු ප්‍රාඩෝ රථයෙන්ම නැවත අපව සමන්ගේ නිවස වෙත ගෙනත් ඇරලවන ලදි .

         
48715945131 eeae18a2a8 k
 
 
සෑම සතියකම සිකුරාදා දිනයේ සන්ධ්‍යාව තමන් සොන්ග් චුන් හි සති පොල විය. එළවළු, පලතුරු, මස්, මාලු, කුළුබඩුවල සිට  ඇඟලුම්, සපත්තු, සෙරෙප්පු, ප්ලාස්ටික් ආදී සෑම දෙයක්ම එහි විකිණීමට තබා තිබිණි. වීදි අයිනේ අටවා තිබූ මැසි මත තබාගෙන වෙළන්දෝ  වෙළඳාම් කළහ. වීදි පුරා ඇවිද යමින් බඩු තෝරන පිරිස අතර බහුතරය විදේශිකයෝ වූහ. ඉන්දුනීසියානුවෝ, වියට්නාම් වරුන්, පාකිස්තානුවෝ, බංගලිදේශ ජාතිකයෝ හා ශ්‍රී ලාංකිකයෝ  වැනි පිරිස් අතර ඇවිද යන ස්වදේශීය මිනිස්සුද හිග නොවූහ.
           
 
ඒ සිකුරාදා දින රත්‍රිය තරමක ප්‍රීති දායක එකක් විය. ආශික් විසින් සමන් වෙත සන්තෝසම් ලෙස බියර් කාටූන් දෙකක් ලබා දී තිබිණ. සමන්ගේ බිරිඳ කුකුල් මස් බැදුමක් ද එක් කර තිබිණ. නිවසේ සිටි සියල්ලෝම පහත මාලයට බැස සිටි  අතර උඩු මහලේ  සැඟවුණු ජීවිත ගෙවූ අයගේ මුහුණු හරි හැටි දැක ගත හැකි වූයේ ඒ රාත්‍රියේය. බියර් නොබොන කිසිවෙකු එහි සිටියේ නැත. ගැහැනු පවා බියර් බෝතල  එකක් හෝ දෙකක් ලඟට ගෙන සිටියහ. පිරිමින්ගෙන් වැඩිමහලු එකෙකු බියර් නොබොන බැවින්, සමන් ඔහු වෙනුවෙනම කොහෙන්දෝ සැර ඇල්කොහොල් බෝතලයක් සොයා  ගෙනැවිත් තිබිණ. ප්‍රිය සම්භාෂණය අතර තුර සිහින් හඩින් ගී ගැයූ මුත් අත්පුඩි ගැසීම සපුරා  තහනම් විය. මම මගේ ගායන හැකියාවන් මගින් කාගේත් සිත් දිනා ගත්තෙම්.

       
සැර මත්පැන් පමණක් පාවිච්චිකළ පුද්ගලයා ඉහළ මාලයේ රැඳී සිටි යුවල තුන අතූරෙන් එකෙක පිරිමියා විය. ඔහු සුළු මොහොතකට පසු තරමක් බීමත් බවකින් පසු විය. දිගින් දිගටම ඔහුට ගීත ගායනා කරන්නට උවමනා විය. ඔහු මා අසළටම සමීප වී හිඳගෙන මගෙන් නැවත නැවතත් ගී ගයන ලෙස ඉල්ලීම් කළේය. මම මට හැකි පමණින් ඔහුගේ ගීත ඉල්ලීම් ඉටු කලෙමි.
       
 
අවසානයේ ඔහුත් මාත් හැර සියල්ලෝම නින්දට ගොස් සිටියහ. හෙතෙම නෑ කමින් සමන්ගේ මස්සිනා කෙනෙකු විය. ඔහු විවාහ  වී සිටියේ සමන්ගෙ නෑනා කෙනෙකු සමගය. සමන් විසින් ඇය ඇගේ ස්වාමිපුරුෂයාට හොරෙන් මැලේසියාව වෙත කැඳවා ගෙනැවිත්  විත් තිබිණ. ඔහු මාස හයක ඇවෑමෙන් සිය ප්‍රියාව සොයාගෙන කාටත් හොරා මැලේසියාවට පැමිණ තිබිණ. ඒ වෙනත් රැකියා තැරැවුකරුවෙකුගේ උපකාරයෙනි.  අවසානයේ ඔහුට සිය බිරිඳ සිටින තැන ගැන ලැබුන හෝඩුඩාවන්ට අනුව හරියටම ඇය සොයා ගත හැකි වී තිබේ. දැන් ඔහු සිය බිරිද සමග පෙර සේ ජීවත් වෙමින් සිටියි. දෙදෙනාම තොකුතොමියේ සේවයට යති.
 
 
iStock 990273906
       
 
ඔහු මා මෙතෙක් නොදැන සිටි කරුණක් පිලිබඳව හොඩුවාවක්  ලබා දුන්නේය.
 
 
“ උඹ කවුද කියන්න අපි දන්නෙ නෑනෙ මල්ලි ..... අපි කතා වෙලා හිටියේ උඹෙන් ඈත් වෙලා ඉන්න ..... අපි ඔක්කොම එක පවුලේ ..... කීප දෙනෙක් තමා පවුලට පිටින් ඉන්නෙ ..... උනුත් පොඩි දවසේ ඉඳලා අපි දන්න කියන අය ..... උන් ඔක්කොම ආවෙ සමන් හරහා ..... වීසා ගැහුවෙ..... ටිකට් දැම්මෙ සමනා .....”
 
“ උඹ නිකන් අහසින් ආවා වගෙනෙ ..... දවල් ෆෝන් කළා ..... රෑ මෙහාට සෙට් උනා .....! ආවෙ සිංගපූරුවේ ඉඳල ..... ඉංග්‍රීසීත් හොඳට  කතා කරනවලු ..... කොම්පියුටරත් හොදට පුලුවන්ලු ..... කවුද බං උඹ .....සී.අයි.ඩී කාරයෙක්ද ? ”
         
 
මට පිරිසගේ නිහැඬියාවට හේතුව සොයා ගත හැකි විය. ඔවුන් මා පිලිබඳව පසුවී ඇත්තේ කිසියම් අවිනිශ්චිත අදහසකිනි.
 
 
“ උඹ ලොක්කගෙ ෆාමි එකේ වැඩට ගිය දවසේ අපි උfඹි බෑග් එක ඇදල බැලුව ..... අවුලක් නෑනේ .....? අපි දැනගන්න අපැයි සතා මොකාද කියල ..... උඹ ටිකක් අමුතුයි මලයා .....”
 
 
“ අවුලක් නෑ අවුල්ලක් නෑ.....!”
 
 
“ මේක අපායක් මලයා ...... උඹ කල් යනකොට දැන ගනී ......! ”
         
 
ඔහු සමන් පිළිබඳව පසු වූයේ බරපතළ වෛරයකින් බව වෙරි මතින් දෙඩවූ වදන් හරහා මට පැහැදිලි විය.
 
 
“ සතයක් දෙන්නෙපා පරයට ...... වල් පරයා ! මගෙ ගෑනී මටත් හොරෙන් පන්නගෙන ආවා ඕකා ! ගෑනු පෙරේතයා ! මේ වැඩේ කරන්නෙ හම්බ කරන්න නෙමේ ...... ගෑනු එක්ක බුදිය ගන්න ...... බොරු කියල ගෑනු පන්නගෙන ඇවිත් මෙහෙ  අසරණ උනාම ඕකා උන් එක්ක බුදිය ගන්නවා ...... නැත්තම් පොලිසියට මාට්ටු කරල දෙනව කියල බය කරනවා ......”
 
 
“ එහෙම පාහරයෙක් ඕකා ! මල්ලී  සතයක් දෙන්න එපා ඕකට ... ”
         
 
සමන්ගෙ චරිත කතාවෙ සෑහෙන කොටසක් අවබෝධ කරගන්නට මට ඔහු සමග ගතකළ සුළු කාලය ප්‍රමාණවත් විය. මෙහොතකට පසුව ඔහුගේ බිරිඳ පැමිණ ඔහුව වාත්තන් කරගෙන උඩු මහලට රැගෙන යන ලදි.
 
 
ඒ රාත්‍රිය එ ලෙස  ගෙවී ගියේය.
 
 
 
 
Rasika Apaye kathawa
 
රසික එස් චන්ද්‍රසේකර
This email address is being protected from spambots. You need JavaScript enabled to view it."
 
 
 
 
 
 
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්