පසුගිය 10 වන දින රාත්‍රියෙ පේරාදෙණිය විශ්වවිද්‍යල භූමිය ඇතුළෙ ඉතාමත් ම්ලේච්ඡ සිද්ධියක් වෙනව. ඇත්තට ම ‘‘වෙනව’’ නෙවෙයි කරනව. සිද්ධියට

මුහුණ දෙන්නෙ හිටපු භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන හිටපු උපකුලපතිවරයෙකු ද වන ජ්‍යේඨ මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ පුතා. ම්ලේච්ඡ ක්‍රියාව කරන්නෙ එම විශ්වවිද්‍යාලයේ ම මැර ශිෂ්‍ය (මොවුන් ‘මැර’ යන නමින් ම සඳහන් කළ යුතුයි) පිරිසක්.


මතු දැක්වෙන්නෙ එම සිද්ධිය සම්බන්ධයෙන් රටේ අධ්‍යාපන ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී දක්වපු අදහස්, පේරාදෙණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා මාධ්‍ය හමුවක් කැඳවමින් කළ ප්‍රකාශය සහ සිද්ධියට මුහුණ පෑ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ පුත් විනෝද් සේනාරත්නගේ ප්‍රකාශ.

 

'‘මම හවස තාත්තගෙ ගෙදරට ආවා. ආපහු යද්දි පාර හරස් වෙන විදියට බයික් දෙකක් නවත්තල තිබුණ. මම ඒ බයික් දෙක ටිකක් පැත්තකට කරන්න ගියාම එක බයික් එකක් අනිත් බයික් එක උඩට වැටිල දෙකම බිම වැටුණ. පාරෙ යන බෝයි කෙනෙක් මේක දැකල කාට හරි කෝල් කරනව මම දැක්ක. මම ඒඅයව මගඇරල එන්න උත්සාහ කරා. නමුත් බැරිවුණා. මම උපකුලපතිගෙ ගෙදර ගාවට එද්දි වාහනයට ගල් පාරක් වැදුණ. මම එතනදි වාහනය නවත්තල වෙච්ච සිද්ධිය ගැන කතා කරල අලාබයක් වුණානම් අපි ඒක බලාගමු කිව්ව. නමුත් එකපාරට ම පහළොවක් විස්සක් විතර පිරිසක් ඇවිත් මට පහර දුන්න. ඒ වෙලාවෙ තාත්ත ආවෙ මාව බේරගන්න. පස්සෙ ඒ ආපු පිරිස මගෙ තාත්තටත් ගැහුව.’’


- හිටපු උපකුලපති ජ්‍යේඨ මහාචාර්ය අතුල සේනාරත්නගේ පුත් විනෝද් සේනාරත්න

 

පේරා හිටපු කුලපතිට පහරදුන් සරසවි සිසුන් 12ක් දොට්ට

 

‘‘ඉයෙ රෑ අටට අටහමාරට විතර මගේ නිල නිවස ගාව කලබලයක් ඇහිල මම ගියා බලන්න. එතනදි මම දැක්ක විශ්වවිද්‍යාලෙ ළමයි කාටහරි වට කරල ගහනව. පස්සෙ බැලුවම ගහන්නෙ මගේ පුතාට. පස්සෙ මම පුතා බේරගන්න මැදට පැන්නම මටත් ගැහුව.’’

 
- හිටපු උපකුලපති ජ්‍යේඨ මහාචාර්ය අතුල සේනාරත්න
 
 
“සිද්ධියට පාදක වෙන්නෙ සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨය අසල ඇති වුණ තත්ත්වයක්. බීමත් පුද්ගලයෙක් වාහනයක් පදවාගෙන ඇවිත් මාර්ගය අසල නවතල තියෙන යතුරු පැදි දෙකකට ඔහු පහර දීල ඒ යතුරු පැදි දෙක බිමට පෙරළල පලා යන්න උත්සාහ කරනවා. මේක දැකපු සිසුන් ලුහුබැඳ ගිහින් ඔහුව නවත්තගෙන ඔහු කවුද කියල ප්‍රශ්න කරනවා. එතකොට මේ මේ බීමත් පුද්ගලයා කියනව ‘මේක අපේ තාත්තගෙ කැම්පස් එක. අපිට ඕන දෙයක් කරන්න පුළුවන්’ කියලා. පුද්ගලය ඉන්නෙ ඒ තරමට ම අසිහියෙන්. එතනදි ඇතිවෙන බහින්ස් වීමක් තමයි ගැටුමක් දක්වා දුරදිග යන්නෙ. සිසුන් කියන්නෙ යතුරුපැදි දෙකට වෙච්ච අලාබෙ ගෙවන්න කියල. එතනදිත් මේ පුද්ගලය කියන්නෙ ‘අපි බලා ගනිමු. උඹලගෙ මූණවල් ඔක්කොම මතකයි’ වගේ පිළිතුරු. මේ පුද්ගලය උපකුලපතිගේ පුතා වග දැනගන්නෙ ගැටුම දුරදිග ගියාට පස්සේ.’’  
 
- චමෝද් සත්සර: සභාපති: පේරාදෙණිය විශ්වවිද්‍යාලය මහා ශිෂ්‍ය සංගමය
 
image d76f77b29c
 
 
‘‘මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාව කොළඹ විශ්වවිද්‍යාලය තුළ මරා දැමීමේ සිද්ධියේ පටන් විශ්වවිද්‍යාල ආචාර්යවරු තමන්ගේ කාමර ඇතුළේ හිරකරලා, ශිෂ්‍යයන් විසින් විවිධ වධහිංසනයට ලක්කිරීම වැනි ඉතිහාසයක් අපේ රටේ තියෙනවා. විශ්වවිද්‍යාල තුළ දී සිසුන් මරා දැමීම පිළිබඳ ඉතිහාසයක් අපිට තියෙනවා. ඒ ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙමින් පවතින තත්ත්වයන් පිළිබඳවත් විශ්වවිද්‍යාල පද්ධතිය තුළට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය යෙදවීම පිළිබඳවත් පුළුල් පරීක්ෂණයක් කරලා මේ රටේ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ට මෙන්ම අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට බියෙන් හා සැකෙන් තොරව විශ්වවිද්‍යාලය තුළ ගැවසීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්නට කියලා ජනාධිපතිතුමා විශේෂයෙන් මහජන ආරක්ෂක ඇමතිතුමාට හා නීතිය භාර සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියා.’’
- අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන
 

මෙතනදි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රකාශය පසෙක තියල ගත්තත් කිසියම් සිද්ධියක් වුණ බව පැහැදිලියි. ඒ වගේ ම ඒ සිද්ධිය මුල් කරගෙන විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායමක් හිටපු උපකුලපතිවරයාගේ පුත්‍රයාට සහ උපකුලපතිවරයාට ද පහර දී ඇති බව පැහැදිලියි. මේ සිද්ධිය සිදුවෙන මොහොතෙ පටිගත වුණ විඩියෝ පවා දැන් ප්‍රසද්ධියට පත්වෙලා ඉවරයි. අදාළ පහරදීම කෙතරම් ම්ලේච්ඡ ද කියල ඒ වීඩියෝවලින් පැහැදිලි වෙනවා.
 
 


 
සිද්ධියේ නොපෙනෙන පැත්ත


දැන් අපි බලමු මේ ප්‍රකාශවල පවතින පරස්පරතාව සහ එහෙම පරස්පරතා ඇතිවෙන්නෙ ඇයි කියල. අපි හැමෝ ම දන්නවා ඉස්සර වෙලාම මාධ්‍යයට එන්නෙ හිටපු උපකුලපතිවරයගෙ සහ ඔහුගෙ පුතාගෙ ප්‍රකාශ. ඒ ප්‍රකාශ එක්ක ම සිද්ධිය වෙන මොහොතෙ වගේ ම සිද්ධියට පස්සෙ පටිගත කරපු සහ පටිගත වුණ විඩියෝ පට සමාජගත වෙනවා. හැබැයි අපි හැමෝ ම දන්නවා සිද්ධියට පාදක වුණ සිදුවීම... එහෙමත් නැත්නම් උපකුලපතිවරයාගේ පුතා යතුරු පැදි දෙක වුවමනාවෙන් ම පෙරළුව ද එහෙමත් නැතිනම් එයා කියන විදියට පාර අවහිර වෙන විදියට නවත්තල තිබුණ යකුරු පැදියක් ඉවත් කරන්න ගිය වෙලාවෙ ඇත්තට ම එක යතුරු පදියක් අනිත් යතුරුපැදිය උඩට වැටිල දෙක ම පෙරළුණා ද කියල. හැබැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ මහාශිෂ්‍ය සංගමය කියන විදියට හිටපු උපකුලපතිවරයගෙ පුතා අර විදියෙ ප්‍රකාශයක් කරේ නැහැ ම කියල අපිට හිතන්නත් බැහැ. හේතුව මොකද එහෙම අය යන්නෙ එන්නෙ ටිකක් උඩින් තමයි. ඒ කියන්නෙ සමහර මැති ඇමතිවරුන්ගෙ දරුවො හිතන්නෙ රටේ ජනතාවයි රටේ දේපළයි ඔක්කොම තියෙන්නෙ ජනාධිපති, අගමැති ඇතුළු මැති ඇමතිවරුන්ට වුමනා විදියට පාලනය කරන්න පුළුවන් සජිවී සහ අජීවි වස්තු කියල නෙ. අන්න ඒ වගේ මේ හිටපු උපකුලපතිවරයගෙ පුතත් එහෙම කිව්ව වෙන්න පුළුවන්; ඔහු බීමතින් හිටිය වෙන්නත් පුළුවන්. සමහර විට ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට තර්ජනය කරා වෙන්නත් පුළුවන්. හැබැයි කිසිම තැනක සඳහන් වෙන්නෙ නැහැ ඔහු කිසිම කෙනෙකුට පහර දුන්න කියල.
 

හැබැයි මහා ශිෂ්‍ය සංගමය කියනව ‘‘උපකුලපතිවරයගෙ පුතා හිටියෙ බිමතින්, එයාවෙච්ච වැරැද්දට සමාව ගත්ත, එයාට මාංචු දාල පොලිසියට අරගෙන ගියා, ශිෂ්‍යෙයාත් පොලිසි ගියා, ශිෂ්‍යයො මත් පැන් පාවිච්චි කරාද කියල පරික්ෂණ කරන්න හැදුව, හැබැයි හිටපු උපකුලපතිවරයගෙ පුතා මත් පැන් පානය කරලද කියල පරීක්ෂණ කරේ නෑ’’ කියල.
 
 
 
දැන් මෙතනදි ඇත්තට ම ඒ සිද්ධි ටික කොතනින්වත්  සමාජයට කාන්දු වුණේ නෑ. මේ ලිපිය ලියන මොහොත වෙනතුරු මහා ශිෂ්‍ය සංගමයෙ ප්‍රකාශය බොරු කියල පොලිසියෙන් ප්‍රකාශයක් නිකුත් කරෙත් නෑ. මේ සිද්ධියෙදි වැදගත් වෙන්නෙ මෙන්න මේ සැඟවුණ කාරණා කිහිපය යි. ඒ ගැන පරීක්ෂණ කරනව ද නැද්ද කියල හෝ පොලිසියෙන් ප්‍රකාශ කළ යුතුම යි. මොකද එහෙම නොවුනොත් සිද්ධ වෙන්නෙ අර තරම් ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරපු සිද්ධිය යට ගිහින් මේ සැඟවුණ සිද්ධි කෙරෙහි ජනතාවගෙ අවධානය යොමු වෙන එක; නීතිය වල් වැදිල කියන පරණ රෙකොඩ් එක ම වාදනය කරන එක. මොකද වැරැදිකාරය නිතරම උත්සාහ කරන්නෙ තමන් වැරැද්දක් කරේ නැහැ කියල ඔප්පු කරන්න. එහෙම නැත්නම් එයාට අදාළ වැරැද්ද කරන්න හේතුවක් තිබුණ කියල ඔප්පු කරන්න. මෙතනදි දෙපාර්ශ්වය ම එබඳු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ කියන්නෙ හිටපු උපකුලපතිවරයගෙ පුතා කියනව මාර්ගය අවහිර වෙන විදියට යතුරුපැදි දෙකක් නවත්තල තිබුණ කියල. හිටපු උපකුලපතිවරයගෙ පුතා යතුරුපැදි දෙක පෙරළුව කියල මැර ශිෂ්‍යයො කියනව.
 

අනෙකාගේ අනන්‍යතාව සහ නීතිය අවභාවිතය


මෙතනදි අපි හිතමුකො ඇත්තට ම හිටපු උපකුලපතිවරයගෙ පුතා යතුරු පැදි දෙක පෙරළුව කියල. එහෙම පෙරළුවෙ උපකුලපතිවරයගෙ පුතා නොවී මහා ශිෂ්‍ය සංගමයෙම ශිෂ්‍යෙයක් වුණා නම් මෙහෙම තත්ත්වයක් උදා වෙයි ද...? මම නම් හිතන්නෙ නෑ එහෙම වෙයි කියල. මොකද එහෙම සිද්ධියක් වුණා නම් මේ අය මේක සාකච්ඡාවෙන් විසඳගන්නව. හැබැයි මෙතන සිද්ධ වෙන්නෙ එකිනෙකාට ගරු නොකරන, එකිනෙකාට සම්මුඛ නොවෙන, එකිනෙකාගේ පංතියට නොගැළපෙන පාර්ශ්ව දෙකක් අතර කිසියම් සිදුවීමක් වීම. එතනදි ‘‘තමන්ගේ නොවන’’ ඕනෑම පාර්ශ්ව දෙකක් අතරෙ ගැටුමක් ඇති වෙන්න පුළුවන්. තවත් සරලව ම කියනවා නම් මහා ශිෂ්‍ය සංගමය කියන විදියට යතුරු පැදි දෙක වුවමනාවෙන් ම පෙරළුවෙ වෛද්‍ය පීඨයෙ ශිෂ්‍යෙයක් කියල හිතමුකො... එහෙම වුණා නම් මේ ගැටුම කෙළවර වෙන්නෙ වෛද්‍ය පීඨය සහ කලා පීඨය අතර සිසු ගැටුමකින්. මොකද ඒ දෙපාර්ශ්වයත් නිරන්තරයෙන් ම ඉන්නෙ අනෙකා තමන්ගෙ සතුර කියන ආකල්පයෙන්. එතකොට සතුර ඇඟිල්ලෙන් ඇන්නත් අනෙකා හිතන්නෙ තමන්ට වෙඩි තිබ්බ කියල. මේ ගැටුමෙ යථාර්ථයෙ හැංගිලා තියෙන්නෙත් මෙන්න මේ කියන ආකල්පමය තත්ත්වය.  
 

හොදයි අපි හිතමු හිතාමතා හරි අත්වැරදිමකින් හරි ඔය කියන යතුරු පැදි දෙක පෙරළුණා කියල; හිටපු උපකුලපතිවරයගෙ පුතා බීමතින් හිටිය කියල. ඕනෑම පුද්ගලයෙක් බිමතින් හිටිය කියල එම පුද්ගලය වැරැද්දක් කරොත් බිමත්භාවය හේතුවෙන් අදාළ වැරද්දට සමාව දෙන්න ඕන කියල තවත් නීතියක් හරි රීතියක් හරි නෑ. හැබැයි අපිට කිසියම් සදාචාරයක් තියෙනව බිමත් පුද්ගලයෙක් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියල. එතනදි අදාළ පුද්ගලයගෙ තරාතිරම සලකන්න වුවමනා නැති බව ඇත්ත. ඔහුට සමාජමය වශයෙන් හරි, නීතිමය වශයෙන් හරි කිසියම් දඬුවමක් දිය යුතුයි. හැබැයි ඒ එක් පාර්ශ්වයක් නීතිය තමන්ගෙ අතට අරගෙන නෙවෙයි. මෙතනදි සිද්ධ වෙලා තියෙන්නෙ එක් පාර්ශ්වයක් නීතිය තමන්ගෙ පාර්ශ්වය අතට අරගෙන තමන් කැමති දඬුවමක් අනෙක් පාර්ශවයට දීපු එක. ඒක මොන ම විදියකටවත් සාධාරණිකරණය කරන්න බෑ. නීතිය තමන් අතට අරගෙන ක්‍රියා කරපු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු ම යි. ඒ වගේ ම අගතියට පත් පාර්ශ්වයට වුණ අලාබය පවා අනෙක් පාර්ශ්වයෙන් අයකරගත යුතුයි.


මකා දැමිය යුතු ආකල්ප  


පිටතින් බලද්දි දැනෙන විදියට මේ මැර සිසු පිරිස පුද්ගලයො දෙදෙනකුට පහර දීල විතරක් නෙවෙයි රාජ්‍ය දේපළවලටත් හානි කරල තියෙනව. එහෙම නම් ඒ සම්බන්ධයෙනුත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. දැන් ඔන්න කවුරු හරි කියන්න පුළුවන් ‘‘අපෝ ඔයිට වඩා රාජ්‍ය දේපොළ අවභාවිත කරපු එවුන් පාර්ලිමේන්තුවෙ ඉන්නව. කෝ උන්ට දඬුවම්...?’’ කියල. ඇත්ත... එහෙම තත්ත්වයක් සමස්ත රටේ ම තියෙනව. එහෙමයි කියල සුනඛයො පාර පුරාම සුළු දිය පහ කරාට මිනිස්සු විදියට ඉන්න අපිත් ඒ දේ ම කරන්න ඕන ද... අනෙකා කරන්නෙ සහ කළේ වැරැද්දක් කියල දැන දැන ම තමන්ටත් ඒ වැරැද්ද ම කරන්න ඕන කියල කියන එක ද... නැහැ.... එහෙම වෙන්න වුවමනා නැහැ. මේකත් එක්තරා ආකාරයක ඍණාත්මක ආකල්පයක්. අපි හැමෝ ම ඒ ආකල්ප වෙනස් කරගත යුතුයි.
 

අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනත් තමන්ගෙ ප්‍රකාශය කරේ මෙන්න මේ කියපු ආකල්පයේ ම එල්බගෙන. ඔහුට අනුව මේ වගේ සිද්ධි අනාගතයෙත් සිද්ධ වෙලා තියෙනව. ඒ නිසා මෙහෙම දේවල් වුණාට අවුලක් නැහැ වගේ. ඒක රටේ අධ්‍යාපන අමාත්‍යවරය විදියට කරපු ප්‍රකාශයක් නෙවෙයි. ඔහු ඒ ප්‍රකාශය කරේ රටේ සාමාන්‍ය පුද්ගලයෙක් කරන ප්‍රකාශයකට සමාන ආකාරයට. ඔහු තමන්ගෙ අමාත්‍ය ධුරයට ගැළපෙන ආකාරයේ ප්‍රකාශයක් කරන්න තරම් හෝ මුහුකුරා ගියපු දැනුමක් නැති පුද්ගලයෙක් කියල ඒකෙන් ඔප්පු වුණා. කොහොමටත් ඔය දේශපාළුවන්ගෙන් ඊට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වැඩි යමක් ලියන එකේ තේරුමකුත් නෑ.
 
 
විශ්වවිද්‍යාල ඇතුළෙ අනන්තවත් ගැටුම් සිද්ධ වෙලා තියෙන බව ඇත්ත. හැබැයි අපි කවදාවත් ඒ ගැටුම් අනාගතයෙ දි නොවෙන විදියෙ වැඩ පිළිවෙළක් හැදුවෙ නෑ. මං කියන්නෙ රාජ්‍ය මට්ටමෙන් වගේ ම ශිෂ්‍ය ප්‍රජාව පාර්ශවයෙන් වුනත් එහෙම දෙයක් සිද්ධ වෙලා නෑ. හැබැයි මේ වගේ සිද්ධියක දි ශිෂ්‍යයො අත්අඩංගුවට ගත්තොත්, ඒ අය රිමාන්ඩ් බන්ධනාගාර ගතකරොත්, ඔවුන්ගෙ ශිෂ්‍යභාවය අහෝසි කරොත්, ගැටුම හේතුවෙන් අදාළ විශ්වවිද්‍යාලය ටික දිනකට වසා දැමුවොත් ඊට පස්සෙ මොකද වෙන්නෙ... ‘‘අහවල් ශිෂ්‍යෙයා නිදහස් කරව්...!, ශිෂ්‍යභාවය අහෝසි නොකරව්...!, සරසවි විවෘත කරව්...!’’ කියන සටන්පාඨ ලියපු බෝඩ් ලැලි උස්සගෙන පාරක් පාරක් ගානෙ පෙළපාලි යාවි. අපි දන්න ඉතිහාසෙ පුරාම සිද්ධ වෙලා තියෙන්නෙ ඒක. දැනට සිද්ධ වෙමින් පවතින්නෙත් ඒක. අනාගයෙදි එහෙම නොවෙයි කියල විශ්වාස කරන්න පුළුවන් මට්ටමකුත් නැහැ.


හෝද හෝදා මඩේ දැමීම


විශ්වවිද්‍යාල ශිෂ්‍යයො කිව්වම සමාජයෙත් ඉස්සර තිබුණෙ කිසියම් ගෞරවාන්විත හැඟීමක්. ඔවුන් දේශපාලන සටන් බිමට අවතීර්ණ වෙද්දි පාලක පෙළැන්තිය විවිධ මඩ ප්‍රචාර දියත් කරල ඔවුන්ගෙ සටන් මොට කරන්න, සමාජයෙන් ඔවුන් විතැන් කරන්න හදපු බව ඇත්ත. එතනදි අපි (මම) හිටගත්තෙ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව පැත්තෙ. හැබැයි මේ වෙද්දි එහෙම කරන්න බැරි තත්ත්වයක මේ ශිෂ්‍ය ප්‍රජාව පත්වෙලා. ඒක කගාටුවට කරුණක්. මොකද මොනම ආකාරයකින් හෝ කිසිම පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට මෙබඳු සිද්ධි අනුමත කරන්න බැහැ. මේක හරියට වාහනයකට මනුස්සයෙක් හැපුණම අදාළ වාහනය පදවගෙන ආපු පුද්ගලයට පහර දෙනව වගේ වැඩක්. මහා හිෂ්‍ය සංගමය කියන විදියට හිටපු උපකුලපතිවරයගෙ පුතා හැසිරණත්, ඔහු අර විදියෙ මෝඩ තර්ජන කරත් මේ විදියට අදාළ පුද්ගලයට පහර දෙන්න, අදාළ පුද්ගලයගෙ තාත්තට පහර දෙන්න, ඔවුන් සිටින නිවසට පහර දෙන්න කිසිම අයිතියක් නෑ. රටේ නීතිය වල්වැදිල කියල හැමදාම බෝඩ් උස්සගෙන පාරෙ ඉන්න මේ ශිෂ්‍ය ප්‍රජාවම නීතිය තමන්ගෙ අතට අරගෙන ගෝත්‍රිකයො විදියට කටයුතු කරනව නම් මෙහෙම පරපුරකගෙන් අපි කොහොමද සමාජ වෙනසක්... එහෙමත් නැත්නම් ක්‍රම වෙනසක් බලාපොරොත්තු වෙන්නෙ. මේක හරියට හෝද හෝද මඩේ දානව වගේ වැඩක්.
 

පහුගිය දවසක චිවරධාරියෙක් කියනව ඇහුණ දහම්පාසල් නොගිය අය සමාජ ගතවුනාම ඔවුන් හැසිරෙන්නෙ පාදඩයො වගේ කියල. සමහර වෙලාවට මේ සිද්ධියට සම්බන්ධ හැමෝමත් එහෙමද දන්නෙ නෑ. මේ එක ශිෂ්‍යෙයක් හරි දහම් පාසල් ගිහින් නැද්ද දන්නෙ නෑ. ඒ ගැනත් හොයල බැලුව නම් ටිකක් හොඳයි. මොකද රටේ අනාගත පරපුර සංවර කරන්න කියල පවත්වන දහම්පාසල්වලින් ඒක සිද්ධ වෙන්නෙ නැත්නම් ඔය දහම්පාසල්වලින් ඇති වැඩක් නැහැ නෙ...


පළමුව තමන් නිවැරැදි වන්න

මේ වගේ ම සාමාන්‍ය ජනතාව නීතිය අතට ගත්තු සිද්ධියක් පහුගිය දිනවල වාර්තා වුණා. ඒ, නාරම්මල සතිපොළේ වෙළෙන්දන්ගෙ තරාදි පරික්ෂා කරන්න ගිය වෙලාවෙ ඒ සඳහා සහභාගි වුණ නිලධාරින්ට වෙළෙන්දොන්ගෙන් ආපු විරෝධය. එතනදි වෙළෙන්දො කිව්වෙ තරාදි අරගෙන ගියාම එයාලට ජීවත් වෙන්න විදියක් නෑ කියල. හැබැයි තරාදි නිසි ප්‍රමිතියට තබාගන් ඕන කියල මේ වෙළෙන්දො දන්නෙ නැද්ද...? එහෙම නිසි ප්‍රමිතියක නැති තරාදි අත්අඩංගුවට ගන්න අදාළ බලධාරින්ට අයිතියක් තියෙනව කියල මේ වෙළෙන්දො දන්නෙ නැද්ද...? හොදට දන්නව. හැබැයි දැන දැන ම වැරැද්දක් කරනව. ඒ වැරැද්ද කරල ඊට එරෙහිව බලධාරින් කටයුතු කරද්දි ඒකට විරෝධය පානව. හැබැයි මේ අය රටේ පාලකයො හොරු කියලත් කියනව. එහෙම කියන ගමන් හාල් කිලෝ එකක්, එළවලු කිලෝ එකක්, ග්‍රෑම් පන්සියයක් දෙසිය පනහක් මිලදි ගන්න එන පාරිභෝගිකයො ගසා කනව.
 
 
 
අපි හැමෝ ම හැමෝට ම දොස් පවර පවර අපිත් ඒ වැරැද්ද ම හෝ ඊට සමාන වැරැද්දක් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කරනව නම් රට වෙනස් කරනව කියන එක හීනයක් විතරයි. ඒ නිසා අපි හැමෝ ම හැම වෙලාවෙම කරන්න ඕන පළමුවෙන් ම තමන් නිවැරැදි වෙන එක. ඡන්දයකදි වුනත් වෙන්න ඕන එහෙමයි. රටට අයහපතක් සිදු කරන එකක් නැහැ කියල වඩාත් ම විශ්වාසෙ තියන්න පුළුවන් පිරිසක් බලයට පත් කරන්න ඕන. එහෙම නැතුව ඒ පක්ෂයෙන් මේ පක්ෂයටයි, මේ පක්ෂයෙන් ඒ පක්ෂයටයි, පක්ෂයකින් ඉවත් වෙලා තවත් පක්ෂ හදාගන්න අයටයි, තියෙන පක්ෂයට ජනතා ආකර්ෂණය නැති නිසා ඒ පක්ෂයම වෙනත් නමකින් ඉදිරිපත් කරන පක්ෂවලටයි ඡන්දෙ දෙන එක දැන්වත් නවත්තන්න ඕන. අන්න එහෙම දවසට රට වෙනස් වෙයි; ක්‍රම වෙනසක් සිද්ධ වෙයි. ඒකට ප්‍රධාණ වශයෙන් ම ආකල්ප වෙනස් කරන්න ඕන. එහෙම නොකරන තාක් හැමදාම මේ රට මෙහෙම ම තමයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්