සීනි බද්ද සත 25 තෙක් අඩු කිරීමට රාජපක්ෂ පාලනය ගත් තීරණය, කැබිනට් ඇමතිවරයෙකුව සිටි තමන් දැන ගත්තේ මාධ්‍යයෙන් බව අමාත්‍ය බන්දුල

ගුණවර්ධනගේ දෙසැම්බර් 9 වෙනිදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය, රනිල් වික්‍රමසිංහ මුල් කොට රටේ සිදුවෙමින් පවත්නා සිස්ටම් චේන්ජ් එක තහවුරු කරන්නකි.


2021 ජූනි මාසයේ 23 වෙනි දින “ ආයෝජන මණ්ඩල සමුළුවට මුදල් ඇමති වෙනුවට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහභාගි කරවීමට රාජපක්ෂ පාලනය ක්‍රියා කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 3, 4 සහ 43 වගන්ති වලින් කැබිනට් මණ්ඩලයට පැවරුණ, රට පාලනය කිරීමේ පරමාධිපත්‍යය, ප්‍රමුඛ ව්‍යවස්තාපිත බලය, මිලිටරිකරණයට යට කිරීමක් බවට එජාප නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් දවසේ කළ ප්‍රකාශය රාජපක්ෂාලට වැඳ වැටෙමින් සිටි බන්දුල ගුණවර්ධනලාගේ විමල් වීරවංශලාගේ අනුර යාපාලාගේ ඩයස් අලහප්පරුමලාගේ බිඳ වැටුණ ආත්මයන්ට සහනදායි ආමන්ත්‍රණයක් නො වීද?
 

යුගදනව් ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නො කළ බවට නැගුණ චෝදනා යටපත් කිරීමට, රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු එකී ගිවිසුමේ වගන්ති දැන ගැනීමට අනවශ්‍ය බව කීවේ ඔහු පත් කළ වයඹ ජනතාවගේ ගෞරවය කෙළෙසමිනි.
 
 
2021දී  බලශක්ති ඇමති ගම්මන්පිල ඉන්ධන මිල වැඩි කළ යුතු බවට ප්‍රකාශයට එරෙහිව,  පොහොට්ටු මහ ලේකම්ගේ කඩා පැනීමත්, වික්‍රමසිංහ කැබිනෙට්ටුවේ ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය  කංචන විජේසේකරගේ භූමිකාවත්, අප තේරුම් ගත යුත්තේ පොහොට්ටුව එජාපය සමග එක් වේ නම් එයද, නව චින්තනයක ආරම්භයක් හෙවත් ඇස්.ඩබ්ලිව්.බණ්ඩාරනායකත්, ඩී.ඒ.රාජපක්ෂත් 1951 ජූලි 12 වෙනිදා  එජාපයෙන් නික්ම යාමෙන් සිදුවූ ඓතිහාසික වරද නිවැරදි කිරීමක් බවය.
 
 
 
සුනීත බලශක්තිය ප්‍රචලිත කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින ගම්මන්පිල, විදුලි පරිභෝජන බිල 70%කින් වැඩි නොකර බැරි බව පිළි ගත්තේය. විදුලි බිල වැඩි කිරීමට එරෙහි විපක්ෂයේ විරෝධතාවන්ට පාර්ලිමේන්තුවේදී පිළිතුරු දුන් ජනාධිපති වික්‍රමසිංහ, බිල වැඩි කිරීම හෝ විදුලිය කප්පාදුව යන විකල්ප දෙකෙන් විභාග සඳහා සූදානම් වන සිසුන් අඳුරේ තැබීමට තම පාලනය සූදානම් නැති හෙයින් විදුලි බිල වැඩි කිරීම තෝරා ගන්නා බව අවධාරණය කළේය.
 

ජනාධිපති වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස මෙන් රටේ ජනතාව ගොනාට අන්දන්නේ නැති බව ජනතාවට තේරුම් ගනිමින් සිටින්නාහ. නිදහස ලබා සියක් වසරක් පිරෙන 2048දී රටේ ජිවත්වන ජනතාවට ජිවත් විය හැකි ශක්තිමත් රටක් ගොඩ නැගීම ආරම්භ කර හමාරය. සියල්ල දරුවන් සඳහාය යන ( Governments must do all they can to make sure that every child in their countries can enjoy all the rights in this Convention.) විශ්ව ළමා ප්‍රඥප්තියෙන් බැඳුණ රනිල් වික්‍රමසිංහ 2005දී රටේ ජනාධිපති වුණා නම් කියා වර්තමානයේ ජීවත්වන වැඩිහිටි පරම්පරාව කල්පනා කළොත් එයද සිස්ටම් චේන්ජ් එකකි.
 
 
GR 1
 
කැබිනට් පාලනය දෙපයින් මැඩ හමුදා සහායෙන් එහෙයියන් සතුටු කළ ගෝඨාභය...
 
 
කැබිනට් පාලනය දෙපයින් මැඩ හමුදා සහායෙන් එහෙයියන් සතුටු කළ ගෝඨාභයට සාපේක්ෂව ජනාධිපති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට උත්තර බැඳීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට දෙන අසමාන ගරුත්වය, කිසිවෙකු සුළුවෙන් බැහැර නො කළ යුතුවේ.
 

බලය ඩැහැ ගැනීම එකම අරමුණ කරගත් විපක්ෂය, දේවදත්ත, අංගුලිමාල නම් දෙක පැටලීම ගැන පැය ගණන් පාර්ලිමේන්තු කාලය නාස්ති කළද රාජපක්ෂ පාලනය නිෂේධ කරවන වික්‍රමසිංහ පාලනයේ සාධනීය ප්‍රවනතා මගහැර යමිනි. මහ බැංකුව රටේ මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමත්, එජාප මන්ත්‍රි වජිර අබේවර්ධනට පොලි අනුපාත වැඩි කිරීම විවේචනය කිරීමත්, මහ බැංකු අධිපති ඊට උත්තර බැඳීමත් වික්‍රමසිංහ පාලනයෙහි පවත්නා පාරදෘශ්‍ය භාවය වඩාත් තහවුරු කරයි. වර්තමානයේ මේ  සිදුවෙමින් පවත්නේ රාජ්‍යය සහ ආණ්ඩුව අතර දිගු කලක් නො පැවති දෙපරාදුව යාවත්කාලීන වීමකි.
 

ගෝල්පේස් අරගලය, රටේ දෛනික ජන ජීවිතය බිඳ වැටීමෙන් නිර්මානය වූ නිර්දේශපාලන නැගිටීමක් මිස මාර්තු 31දින සජබයේ හිරුණිකා මිරිහානේදී ඇති කළ කලබැගෑණියේ දිගුවක් නොවේ. හිරුනිකාට දමිතා අබේරත්නට තරම් දුරක් හෝ අරගලයට සමීප විය නොහැකි වීමත්, දමිතා සජිත්ට හේත්තුවීම සමග වාෂ්පවීමත් ගෝල්පේස් අරගලය සහ පක්ෂ දේශපාලනය අතර වෙනසට උදාහරණයකි.
 
 
ඒ අර්ථයෙන් රනිල් වික්‍රමසිංහ යනු අරගලයේ පලයක් මිස දේශපාලන ජයග්‍රහණයක් නොවේ. සීඝ්‍රයෙන් සිඳී ගිය විදේශ සංචිත පිළිබඳ සත්‍යය රටෙන් සැඟවීම,  ඉතිරි ඩොලර් ප්‍රමාණයද භාණ්ඩාගාර බිල්පත් පියවීමේ මුවාවෙන් රටින් පිට කිරීම නිසා ආදි අතාර්කිත හැසිරීම් නිසා ''ගෝඨා ගෝ හෝම්'' මතවාදය ව්‍යවස්තාව අභිබවා යන බලයක් ගොඩ නැගීය. ඊට එරෙහිව මැයි 9 වෙනිදා අරලිය ගහ මන්දිරයෙන් දියත් කළ ම්ලේච්ඡ ප්‍රහාරය හරහා දේපල ගිනි තැබීම් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු මහ මගදී මරා දමා, දේශපාලන කල්ලි නිරායුධ අරගලය අත්පත් කර ගත්හ.
 
 
ඊට සමගාමිව, මැයි 9 වෙනිදා සිට ජූලි 13 වෙනිදා වනවිට, මහින්ද බැසිල් ගෝඨා ආදි රාජපක්ෂ ත්‍රිත්වය විතැන්ව බිඳ වැටුණ රටේ පාලනය, ව්‍යවස්ථානුකූලව රනිල් වික්‍රමසිංහට පැවරිණ. විපක්ෂ බලවේග අද රනිල් වික්‍රමසිංහට එරෙහිව නගන මර්ධන චෝදනාව, ගෝල්පේස් අරගලයේ සටන් පාඨයක් නො වීය. විපක්ෂ පාර්ලිමේන්තු ක්‍රියාවලියේ වර්තමාන අරමුණ ප්‍රජාතන්ත්‍රවාදිව ස්ථාපිත වෙමින් පවත්නා රටේ ආර්ථික ශක්තිය දුර්වල කිරීමය. අද සමහර වීදි සටන් කරුවන් නීතියට කොටුව සිටින්නේ රටේ සම්මත නීතියට එරෙහිව කල්ලි ගැසී රාජ්‍ය දේපලට හානි කිරීමේ  අපරාධ වැරදි සම්බන්ධව මිස රාජ්‍ය මර්ධනය නිසා නොවේ. රාජපක්ෂලා අහිමි කළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ වික්‍රමසිංහ පාලනය, අපේක්ෂා කරන ආර්ථික දියුණුව ඇති කිරීමට රටේ ජනතාව කැපවිය යුතුවේ.
 
 
image e6a5282ef3
 
බෞද්ධ හා පාලි සරසවි සිසුහු පොලිසිය සමග ගැටෙති.
 
 
සිවුරු ඇඳ ගත් බට්ටන්ට පැවිද්දේ වගකීම් සිහිපත් කරමින් ජනාධිපති වික්‍රමසිංහ කළ ප්‍රකාශය ඇසූ සමහරු තැති ගත්හ. 2016දී යහ පාලනය යුගයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද, සමහර චීවරධාරින්ගේ විරෝධය හේතුවෙන් යටපත් වූ ථේරවාදි පනත් කෙටුම්පත වහා නීතිගත කරවන ලෙස මහා සංඝයා වහන්සේ ඉල්ලා සිටීම හරහා සිවුරු ඇඳ ගත් බට්ටන් පිළිබඳ සඳහන අපහාසයක් නොව පවත්නා යථාර්ථය බව තහවුරු වී හමාරය.  ඒ සමග අති පූජනීය මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට අපහාස මුඛයෙන් බැන අඬ ගැසූ ඌවතැන්නේ සුමන භික්ෂුව කෝටි ගණනක චෙක්පත් වංචාවක් සම්බන්ධව අත්අඩංගුවට පත්වීම යනු සිවුරු ඇඳ ගත් බට්ටන් සහ සුපේශල භික්ෂුන් වහන්සේ අතර වෙනස සමග භික්ෂුත්වයේ ගෞරවය ගැන මෙනෙහි කිරීමට ගිහි පැවිදි දෙපාර්ශවයටම අවස්තාව උදාවී ඇත.
 

ඌවතැන්නේ සුමන යනු 2010දී නීති විරෝධි ගිනිඅවි සන්තකයේ තිබී හසුව, අධිකරණයෙන් වැරදිකරුව සිරදඬුවම් විඳිමින් සිටියෙකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පිහිටෙන් එකී භික්ෂුවට ජනාධිපති සමාව ලබුණේ 20 වෙනි සංශෝධනයට තුනෙන් දෙක හදා ගැනීමේදි මුදලට විකිණුන මන්ත්‍රීවරියකගේ ඉල්ලීම නිසා ය. ගිය සතියේ රක්ෂිත බන්ධනාගාර ගතවන තෙක්ම මේ ශ්‍රමන ප්‍රතිරූපකයා ගලගොඩඅත්තේ, අතුරලියේ, ඉත්තෑ කන්දේ, උඩුවේ ආදී පට වස්ත්‍රධාරි බට්ටන් මෙන්ම තක්කඩි දේශපාලනඥයන්ගේ ඉත්තෙක් විය. මහ නාහිමිවරුන්ට අපහාස කිරීමෙන් බුද්ධ සාසනයටත් දේශයටත් වින කටින මොවුන් හරහා පැවිදි බට්ටන් යන්න ඉබේම අර්ථ ගැන්වේ.
 
 
පසුගිය සති අන්තයේ කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨයේ දියමන්ති ජුබිලි සාදයට ජනාධිපති වික්‍රමසිංහ සහභාගි වීමෙන් එදා එකී සංසිද්ධිය වර්ණවත් විය.  ලංකාවේ විශ්වවිද්‍යාලයකින් බිහි වී රටේ අගමැති ජනාධිපති තනතුරු දෙකට තේරී පත් වූ මේ විශිෂ්ඨ විද්‍යාර්ථියාට සමකළ හැක්කෙක් තවමත් කොළඹ විශ්වවිද්‍යාලයෙන් බිහි වී නැත. එකී වර්ණවත් සැඳෑව නිමාවීමෙන් අනතුරුව, නික්ම ගිය ජනාධිපතිවරයාට නැගුණ හූ හඬ තක්සේරු කළ යුත්තේ එහෙමය.
 
සමසමාජයෙන් විසි වී සජබයේ ලගින තුන්වෙනි පන්තියේ භාෂාවෙන් මාධ්‍ය අමතන්නා ඒ හූ හඬ කොළඹ බූෂුවා සංස්කෘතිය සමග ජනාධිපති රනිල් අතින් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කිරීමක් හැටියට කළ විග්‍රහය ඇසූ කෙනෙකු කොළඹ විශ්වවිද්‍යාල සිසු විසින් ඝාතනය කළේ දයා පතිරණත් බූෂුවා සංස්කෘතියේ නියෝජිතයෙකු වීම නිසාදැයි ඇසීය. ස්වාධීන ශිෂ්‍ය ව්‍යාපාරයේ දයා පතිරණගේ බෙල්ල කපා ඝාතනය කිරීමත්, ජනාධිපති වික්‍රමසිංහට හූ දවසේම වසර 43ක් විශ්වවිද්‍යාලයේ සේවය කළ හිටපු උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්නට අමානුෂික ලෙස පහරදීමත් රනිල්ට දැක් වූ සැලකිල්ලෙන් වෙන් කොට ගත නොහැකි බව රට තේරුම් ගෙන හමාරය.


හිටපු උප කුලපති වරයාට පහර දීම පිළිබඳව මධ්‍යයට කතා කළ පේරාදෙණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගම් සභාපති චමෝද් සත්සර පහර කෑ පුද්ගලයා බී මත්ව සිටි බව මෙන්ම, ප්‍රහාරයට පැමිණි සිසුන් මත්ද්‍රව්‍ය ගෙන නො සිටි බව කීය. මෙකී සිද්ධිය ගැන මව්බිම පුවත්පත කළ විමසීමකදී අන්තරේ වැඩ බලන කැඳවුම්කරු ටෙරන්ස් රුද්‍රිග කි ආකාරයට, එකී පහරදිම හුදෙකලා සිද්ධියක් නම් පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගම් සභාපති චමෝද් සත්සර මේ අපකීර්තිමත් සිද්ධියට සම්බන්ධ පොලිස් රාජකාරි කරමින් මෙතරම් කරදර විය යුතු නැත. පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ හැසිරීම තීරණය කළ යුත්තේ අධිකරණය මිස පහර දුන් අය නොවේ.
 

මහජන මුදලෙන් නඩත්තු වන විශ්වවිද්‍යාලයක සිසුන් මහ රෑ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටි මහාචාර්ය වරයෙකුගේ නිල නිවෙසකට කඩා වැදී පහර දුන් අසංවර ආකාරය රටම නිරීක්ෂණය කර හමාරය. හුදෙකලා වුවද පොදු වුවද පහරදීමක් යනු කිසි විටෙක කිසිසේත් නො විය යුත්තකි.




මහාචාර්ය සේනාරත්නට  පහරදීම හුදෙකලා සිද්ධියක් විය හැකිය. කල්ලි ගැසී ඉසුරුපායේ මහ ගේට්ටුව කඩා දැමීමත්, ජනාධිපති වික්‍රමසිංහට හූ  කීමත් හුදෙකලා සිද්ධියක්ද? යම් සිද්ධියකට පැටලී සිටින දෙතුන් දෙනෙකු සොයා ළඟා වන තවත් පිරිසක් පැමිණි පසුව, සාමාන්‍යයෙන් සිදුවන්නේ සිද්ධිය සමතයට පත් කිරීම මිස රංචු ගැසීම නොවේ. විශේෂයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව......?  දයා පතිරණ ඝාතනයත්, ජනාධිපති වික්‍රමසිංහට හූ කීමත් කැලණි සරසවියේ සිසුන්ට මෑතක කළ පහර දීමත්, පේරාදෙණිය ප්‍රකට නවක වද සිද්ධිය අතර, එහි මහා ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරින් මාධ්‍ය අමතා ''ඩීන් ගෝ හෝම්''යනුවෙන් කළ තර්ජනය මෙන්ම මහාචාර්ය සේනාරත්නට පහරදීමත් (දන්නෝ දනිති අපි කොල්ලෝ  තමයි අර ත්‍රෛලෝක පූජිත..) වලිගා හැර වෙන යමක් නොව බව දනිති.  
 

ගිය සිකුරාදා රාත්‍රියේ සරසවි දෙකක සිදුවූ අප්‍රසන්න සිදුවීම් දෙකම ජනධිපති වික්‍රමසිංහගේ වචනයෙන් විස්තර කළ ආකාරයට වසර දහයක් දොළහක් විශ්වවිද්‍යාල ශිෂ්‍ය භාවයට මුවා වෙමින් සිදු කෙරෙන සමාජ විරෝධි ක්‍රියාවන් මිස ප්‍රජාත්න්ත්‍රික හැසිරීම් නම් නොවේ. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තේම නැති බවට තහවුරු වූ එකම අවස්ථාව මෙය නොවේ. සරසවිගම විවෘත කිරිමට යන ජනාධිපති ප්‍රේමදාසට හූ කීමට හිල්ඩා ඔබේසේකර ශාලාවේ නේවාසිකයන් සූදානම් බව සැල වූ ශාලාධිපති මහාචාර්ය කේ.එන්.ඕ ධර්මදාස කීවේ හූ නො කිව්වොත් වඩා හොඳ බවය. එහෙත් හූව නතර නො වීය. ප්‍රතිපලය බුද්ධි අංශ ශිෂ්‍ය ප්‍රජාවට මිශ්‍ර කර මහා විනාසයටකට මුල පිරීමය. හූව යනු තවත් එක් තත්පරයක් බව දන්නා රනිල් වික්‍රමසිංහ කිසිවිටෙක ආර්.ප්‍රේමදාස නො වුණත් ශිෂ්‍ය භාවයට මුවා වී දේශපාලන කොන්ත්‍රාත් භාරව සිටින තක්කඩින්ගෙන් විශ්වවිද්‍යාල පද්ධතියත් ශිෂ්‍ය ප්‍රජාවත් ගලවා ගැනීම නම් වහා සිදුවිය යුතු වේ.
 

හැම රටකම පවත්නා පාලනයට පාලකයන්ට අකැමති පිරිස් දැකිය හැකිය. පිරිසක් එක්ව නගන ඝෝෂාව අරගලයක් විරෝධයක් විය හැකිය. ලංකාවේ මැයි දින පෙළපාලිවලට සහභාගි වූ බහුතරය ආපසු යන්නේ හතර ගාතයෙනි. අතීත මැයි දිනවලදී ඇසුණ “බණ්ඩ එරිලා භාෂා මඩේ පිලිප් එරිලා හාල් ගොඩේ ජාතික පොලේ ඩඩ්ලිගේ අලේ” වැනි සටන් පාඨත් මෙහිදී සිහි කළ යුතු වේ. පටහැනි මතවාද වෙනුවෙන් පෙළ ගැසෙන්නන් මෙන්ම, උද්ඝෝෂණ අරගල සදාකාලිකව අඛණ්ඩව පැවතෙනු ඇත. එයින් රටේ සම්මතය බිඳ වැටෙන්නේ නැත. 
 
 
අරගල මර්ධන යනු සමජයේ කිහිප දෙනෙකුගේ කැළඹීම පමණක් බවට සර් අයිවෝර් ජෙනින්ස් කළ විග්‍රහය මෙහිදී වැදගත් වේ. (අ) බන්දුල ගුණවර්ධනගේ ප්‍රකාශයෙන් තහවුරු කළ කැබිනට් පාලන සම්ප්‍රදාය ජනාධිපති වික්‍රමසිංහ පාලනය හරහා තහවුරු කර ඇති බවද, (ආ) භික්ෂුන් සිය භික්ෂු ස්වරූපය මෙන්ම, (ඇ) ශිෂ්‍ය ප්‍රජාව වූ තක්කඩින්  දේශපාලකයන් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් රටේ යහ පැවත්ම මෙන්ම රටේ සංස්කෘතික වටිනාකම්ද අඩපනවීම, දීර්ඝ සමාජ කතිකාවක් බවට පෙරළි හමාරය.
 


ගෙදර යන මිනිසාගේ නිමේෂය උදාවී ඇත -(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )



The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්