මේ දිනවල ළමා සාරී හැඳගත් කුඩා දැරිවියන් මාරුවෙන් මාරුවට අත පය විසි කරමින්,

උච්ඡ ස්වරයකින් 'සීතා ම ය' ආරට කථික කුසලතා ගෙනහැර පාන වීඩියෝ පොඩි සමාජ මාධ්‍යයේ සංසරණය වේ. මෙහි දී හුදෙක් කෙරෙන්නේ ඒ දැරිවියන් අගය කිරීම හෝ විවේචනය නොව, කලක් වියත් මගේ බෙලෙක් සීනුව ලෙස පරසිදු වැටමාර මැතිණිය කට ගැස්ම ට ගැනීම යි. කෙසේ හෝ මේ නිසා කථික කුසලතාවලට දැන් නව ජීවනයක් දැන් ලැබී තිබේ.

මේ ප්‍රවණතාවය නිසා හෝ වෙනත් හේතුවකට දෝ දැන් දැන් කථිකයෙක් ලෙස දරුණුවට 'ට්‍රෙන්ඩින්' වන්නේ ජනපති රනිල් වික්‍රමසිංහ ය. ඔහු ටිපිකල ලාංකීය දේශපාලන කථික ශෛලියට (ප්‍රේමදාස, විජේවීර, වීරවංස, මෙන් කට කාරා ආරයේ ) අයත් කථිකයෙකු නොවේ. වික්‍රමසිංහගේ ශෛලිය කුඩා දරුවෙක් කතා කියනාකාරය ය. එහෙත් ඔහුගේ  විශේෂ හැකියාව වන්නේ ඉංග්‍රීසියෙන් 'විට්' හෙවත් කඩිනමින් ඉස්මතු කර ගත හැකි හාස්‍ය කරුණක් තම කතාවට හෝ තම එදිරිවාදියාට එරෙහි ව භාවිතා කිරීමට ඇති හැකියාව යි. වැඩිය කතා කිරීමට ලොල් බවක් නොදැක් වූ වික්‍රමසිංහ දැන් නොන්-ස්ටොපාකාරයෙන් කතා පිට කතා පවත්වන්නේ පාර්ලිමේන්තුවේ ය. තමන්ගේ පුර්වගාමී ගෝඨාභය කතාව පුළුවන් තරම් අඩු කළේ ඒ කුසලතාව පිහිටා නොතිබීම නිසා විය හැක. ඒ නිසා ඔහු පාර්ලිමේන්තු ආවේ එන්න ම ඕනෑ අවස්තාවක පමණි.


වික්‍රමසිංහ ජනපතිගේ කථික සැණකෙළියේ විවිධ මාතෘකා යටතේ කතා පැවැත් වේ. 'ආයෙත් අරගල කරන්න ඉඩ නොදෙමි,'මාගේ පාසල් කාලය හෙවත් මා සරසවියෙන් පිටවෙන විට විසි එකකි',  'මානව හිමිකම් ඩිපෙන්ඩර', 'සීවර බටු', 'විශ්ව විද්‍යාල හදමු - ඩොලර් හොයමු', 'අංගුලිමාල නව සංස්කරණය' උදාහරණ වේ. මේ අතර තවත් කතාවක මාතෘකාව වූයේ පෙරටුගාමී සමාජවාදී පෙරමුණේ කුමාර් ගුණරත්නම් මහතාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ය. ජනපති කීවේ ගුණරත්නම් මයා ඕස්ට්‍රේලියාවේ ද පුරවැසියෙකු වෙන බව යි. ජනපති මේ ප්‍රකාශය කළ වහා ම පෙසප හිතවාදී හා රනිල් අරහංවාදී ටිපර් පෙළක් පාර්ක් කෙරුණේ ගුණරත්නම් ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු නොවන බව පරසක්වල ගසමිණි.    


මේ වන විට ගුණරත්නම් මයා කුමන රටක පුරවැසියෙකු ද නැද්ද ගැන මම නොදනිමි. එහෙත් මීට දශකයකට කලින් වූ පහත සිදුවීම මට හොඳින් මතක ඒ ජවනිකාවේ එක් චරිතයක් නියෝජනය කළ තැනැත්තිය මගේ කාර්යාලයෙන් වැඩි ඈතක නොපිහිටි කාර්යාලයක ( ඒ අරුතින් අප අසල්වැසියෝ වීමු) ප්‍රධානියා වූ නිසාවෙනි.  ඒ 2012 වසරේ අප්‍රේල් මාසය යි. මේ වන විට ප්‍රේම්කුමාර් ගුණරත්නම් හෙවත් කුමාර් ගුණරත්නම් හෙවත් කුමාර් මහත්තයා ඇතුළු දේශපාලනික ව 'හාර්ඩ්-කෝර්' යී සැළකෙන පිරිසක් ජවිපෙන් කැඩී, මුලින් ජනතා අරගල ව්‍යාපාරය ලෙස කටයුතු කර ඉන් අනතුරු ව පෙරටුගාමී සමාජවාදී පෙරමුණ (පෙසපෙ) ලෙස දේශපාලන පක්ෂයක් 2012 අප්‍රේල් 9 වන දින දියත් කරන්නට සැරසෙන කාලය යි. ගුණරත්නම් මහතා එවකට තාවකාලික ව පදිංචි ව සිටි කිරිබත්ගොඩ, ගැමුණු මාවතේ නිවසෙන් අප්‍රේල් 6 වන දින පාන්දර පහට පමණ එතුමා ද එම දේශපාලන කණ්ඩායමේ ම ප්‍රබල නායිකාවක වූ දිමුතු ආටිගල මහත්මිය (ලේකම්, කාන්තා හා අන්තර් ජාතික කටයුතු) ද පිරිසක් පැහැර ගෙන ගිය බවට වාර්තා විය.

එකල ජනාධිපති මහින්ද රාජපක්ෂ ය. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ය. එවකට භාහිර කටයුතු ලෙස හැඳින් වූ විදේශ අමාත්‍යංශය භාර ඇමති මහාචාර්ය ජී. එල් පීරිස් ය. දශකයට පෙර කාලය තුල වයස දහය වැනි වයසක සිටි වර්තමාන රෝන්-ජෙනරේෂනය ලෙස ඔවුන් ම හඳුනගන්නා වත්මන් අරගල යොවුනන් එකල සුදු වෑන් වලින් පැහැර ගැනීම් හා අතුරුදහන්වීම් බහුල ව රටේ සිදු වූ බව සමහර විට දන්නවා හෝ නොදන්නවා විය හැක. එකල ඒ අවස්ථාවල උසාවි හා පොලීසි උතුරන්න නීතිඥයින් එන්නේ නැත (ආවත් තොග මට්ටමින් සෙල්පි ගසා බුකිගත කරන්නේ ද නැත). ඉදිරියට එන්නේ කැපවීමක් ඇති අල්පයකි. වෙනත් වචනයකින් කීවොත් ප්‍රගතිශීලී ක්‍රියාකාරිත්වය හෙවත් ඇක්ටිවිසම් එකල ජනප්‍රිය හොබියක් නොවී ය. කවුරුත් සිටියේ බියෙන් ය. හේතුව ආනිසංසය කඳුළු ගෑස් හෝ වෝටර්-කැනන් නොව සීතල මරණයක් වන නිසා ය.
 


tuඑකල ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස්වරිය වූයේ රොබින් මූඩි මැතිනිය
 



නැවත, සිදුවීමට. එකල ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස්වරිය වූයේ රොබින් මූඩි මැතිනිය ය. එතුමිය එක්තරා මට්ටමකට (මගේ නිරීක්ෂණය අනුව) රාජපක්ෂ පැසසුම්වාදිනියක් හෝ අඩු තරමින් රාජපක්ෂ පාලනය ගැන යම් පැහැදීමකින් සිටි තානාපතිවරියකි. එය එකල යම් ව්‍යාතිරේඛී තත්ත්වයක් වූයේ බටහිර තානාපති කාර්යාල රාජපක්ෂ රජය පිළිකෙව් කළ නිසා ය. ඉතා ප්‍රසන්න චරිතයක වූ මූඩි මැතිණිය රාජපක්ෂවරුන් ද මේ කිසිවක් නොදැන සිටි ජනතාව ද මවිත කරමින් විදේශ කටයුතු කටයුතු හා ආරක්ෂක අමාත්‍යංශවලින් ඉල්ලා සිටියේ පැහැර ගත් පුද්ගලයා ඕස්ට්‍රේලියානු 'සිටිසන්' කෙනෙකු නිසා ඔහු වහාම ඉන්නා තැනකින් ගෙන්වා දෙන ලෙසයි. එවිට ය හෙලි වුණේ ගුණරත්නම් මයා 'නොයෙල් මුදලිගේ' නමින් නිකුත් කළ ඕස්ට්‍රේලියානු පාස්පෝර්ටයකින් ලංකාවට 2011 සැප්තැම්බර් 4 දින පැමිණ, ඒ වන විට නෛතික ලෙස සිටිය හැකි වීසා කාලය ද ඉක්මවා සිටින බව. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෛද්‍යවරියක ලෙස සේවය කරන එරට සිටිසනියක වන, ගුණරත්නම් මයාගේ බිරිඳ, වෛද්‍ය චම්පා සෝමරත්න පැවසුවේ දිග නමක් තිබීම එරටට ප්‍රායෝගික නැති නිසා නොයෙල් වැනි කෙටි නමක් ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි වන විට භාවිතා කළ බවයි (ඇගේ සෝමරත්න නම ගුණරත්නම් තරම් ම දිගු වෙතත් වෙනස් නොකළේ ඇයි කියා කවුරුත් ඇසුවේ නැත). මේ නම් පලහිලව්ව තවත් සංකීර්ණ කරමින් විදේශ කටයුතු අමාත්‍යංශ පැවැසුයේ  ගුණරත්නම් මහතාගේ විවාහ (සෝමරත්න මහත්මිය හා) සහතිකය පරිදි ඔහුගේ නම "වන්නිනායක මුදියන්සේලාගේ දස්කොන්' බවත් ඊට අමතර ව ඔහු තවත් අවස්ථාවක 'රත්නායක මුදියන්සේලාගේ දයාලාල්' නමින් ද ශ්‍රී ලංකාවෙන් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබුණ බව යි.    

අතුරුදහන් වූ කුමාර් ගුණරත්නම් මයා අප්‍රේල් 10 දින දෙමටගොඩ පොලීසියට අවුත් කට උත්තරයක් දුන්නේ තමන් පිරිසක් විසින් දෑස් බැඳ පැහර ගෙන ගොස්, එක්තරා ස්ථානයක රඳවා, වධ හිංසනයට පමුණුවමින් දිගින් දිගට ම දින කිහිපයක් ප්‍රශ්න කළ බවත්, අවසානයේ තමා ව යම් ස්ථානයක වාහනයකින් තල්ලු කර ගිය බවයි. තමාට දින තුනක් අත් විඳින්නට සිදු වූ මේ ක්ෂිතමය අත්දැකීම අතර ප්‍රශ්න කිරීමේදී තම ලිංගික අවයව ද දරුණු ලෙස තලා පෙළා දැමූ බව ද පැවසී ය.   යට කී සංවේදී පෙදෙස් අරභයා කරන ලද ප්‍රහාර අතරතුර වධ හිංසනයට ලක් වූ ඒ මහතා කළේ මෙකල රැව් පිළිරැව් දෙන පුරසාරාත්මක සටන් පාඨයක් වන "කපා කපා කෑලි කපා" මන්තරය ජප කරනු වෙනුවට, කෙසේ හෝ තම මව්රටේ නියෝජිතවරිය ලෙස ලංකාවේ සිටින මූඩි මැතිණියට පණිවිඩයක් යැවීම යි. ශ්‍රී ලංකාවේ සිටින තම සිටිසන්වරුන්ගේ සුභ සාධනය හා ආරක්ෂාව ගැන වගකීමක් පැවරෙණ මහා කොමසාරිස්වරිය කළේ ඇයගේ වෘත්තීය වගකීම යි.    

මේ නාටකය අවසන් වූයේ රොබින් මූඩි මැතිණිය මිස්ටර් නොයෙල් මුදලිගේ (ඕස්ට්‍රේලියානු වාර්තා අනුව නම) මහතා කැටුව පොලීසියට ගොස් කට එතුමාට උත්තරයක් දෙන්නට ඉඩ සලස්වා දීම යි. ඉන් අනතුරුව මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් නොයෙල් මුදලිගේ මයා ව කටුනායක ගුවන් තොටුපොලට ම කැන්දාගෙන ගොස්, ගුවන් යානාවේ අසුනක ද සිඳුවා, ගුවන් යානය ගුවන් ගතවන තෙක් රාජකාරී සහගත ව බලා සිටීම යි. තම රටේ සිටිසන් කෙනෙකුගේ ආරක්ෂාව තහවුරු කිරීම බටහිර තානාපති කාර්යාලයකින් කරන්නේ එලෙස ය.  
 



මේ කතාවේ මොරලය මෙය ය. ඉදිරියේ බලාපොරොත්තු විය හැකි සිනාරියෝව වන්නේ ද්විත්ව නොව බහු පුරවැසි තත්ත්වයක් ය. බහු පුරවැසියා දස්කොන් හෝ ඇම්ඩන් ලෙස ද දේශීය කසාදයක මනාලයා ලෙස සිටිය හැක. අහෝ, මේ අප ජීවත් වන සංකීර්ණ ලෝකය යි.



Udan(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ දෙසැම්බර් 18 දා පලවූවකි)


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්