‘අනිද්දා’ පළ වන ඉරිදා නත්තල් දවසයි. ‘සල්ලි තියෙනවා නම් හැමදාම නත්තල්'ය යන කියමන අසා නැති කෙනෙක් සිටිය නොහැකි ය.

නත්තල හා සල්ලි අතර ඇති මේ කියන සම්බන්ධය කුමක් ද? නත්තල පවතින්නේ සතුට හා ප්‍රමෝදය පිණිස ද ? 

 

ජේසුස් හා නත්තල අතර සම්බන්ධය වෙනුවට සල්ලි හා නත්තල අතර සම්බන්ධය අධිනිශ්චය වී ඇත්තේ ඇයි ? අල්පේච්ඡභාවයේ උපරිමය සලකුණු කළ ‘දාර්ශනික ක්‍රිස්තියානියට’ පදනම දැමූ ක්‍රිස්තුවරයාගේ උත්පත්තියේ සිට ම පවතින අල්පේච්ඡභාවය පරසක්වල ගසා අධිපරිභෝජනයේ කූඨප්‍රාප්තිකර මොහොත සලකුණු කරන ජන්ම මඟුල බවට නත්තල පත්ව ඇත්තේ ඇයි ?

 

නත්තල යනු රාජ්‍ය අනුග්‍රහය මත නිර්මිත මංගල්ලක් මිස පීඩාවට එරෙහිව පැන නැඟි රාජ්‍ය විරෝධය පිණිස පදනම තබන ක්‍රියාවලිය ආරම්භක මොහොත නොවේ. නත්තල නමින් කිතු උපත සැමරීම කිතු භාවිතයට සහ කිතු මරණයට ප්‍රතිපක්ෂව පිහිටයි. නත්තල වෙළෙන්දන්ගෙන් ගලවා ගැනීමට උත්සාහ කිරීම අමනෝඥ ක්‍රියාවකි. මන්දයත් එය ‘උපන්ගෙයිම’  වෙළෙන්දන්ගේ මංගල්‍යයක් වන බැවිනි.

 

nativity painting of christ birth

කිතු උපත සිදුවන්නේ වහල්භාවයට පත් කළ මිනිසුන්ගේ ශ්‍රම සූරා කෑම විධිමත් කිරීමට සහ තීව්‍ර කිරීමට සිදු කරන ලද ජන සංගණනයක පසුබිමේ ය. ගැබ්බර මරියාවන්ට බෙත්ලෙහෙමට යන්නට සිදුවීමත්, ගවලෙනක ඇය සිදු කළ ප්‍රසූතියත් සත්‍යයන් ලෙසම ගතහොත්, ඒ වනාහී, රෝම අධිරාජ්‍යවාදයේ හා දේශජ ජුදා ආගමික බල ව්‍යුහයේ අශුද්ධ සන්ධානයෙන් යුුතු සමාජ ක්‍රමයේ උපන්ගෙයිම පීඩාවට පත් වින්දිතයකුගේ උපතකි.  පෙර කී අශුද්ධ සංධානයට එරෙහිව සමාජය සංවිධානය කළ බැවින් කෲරතර වධ හිංසාවන් විඳ කුරුසිය මත ඇණ ගැසුම් කා මරණයට පත් වූ ක්‍රිස්තුවරයාගේ විමුක්ති දර්ශනය පදනමට ගත් මුල් ක්‍රිස්තියානිය තුළ එවන් සැමරුමක් නොතිබිණ. එකල ක්‍රිස්තියානි ක්‍රියාන්විතය පැවතියේ ගරිල්ලා ව්‍යාපාරයක හැඩයෙනි. දුටු තැන මරා දැමෙන සමාජ වටපිටාවක, සමාජ යුක්තිය සහිතව ජීවත් වීමේ අයිතිය පිළිබඳව වූ දාර්ශනික ක්‍රිස්තියානි සංවාදය නොනැසී පවත්වා ගත්තේ ජීවිත පූජාවෙනි. ඇණ ගැසුම් කෑවේ ක්‍රිස්තුවරයා ලෙස නම් කළ ජේසුස් පමණක් නොවේ. අධිරාජ්‍ය විරෝධී කැරලිකරුවෝ මෙන් ම ක්‍රිස්තු අනුගාමිකයෝ සිය දහසින් ඇණ ගැසුම් කෑ හ. කල්වාරි කන්ද යනු ශුද්ධ වූ බිමක් නොවේ. කඳු ගැසූ මළ මිනී කුණු වෙන්නට අතැර දැමුණු සමුහ මිනී වළවල් ගහන මරණීය භූමියකි. මේ සියලු ඝාතනය කිරීම් අතර, ක්‍රිස්තුවරයා වැදගත් හා ඓතිහාසික ම චරිතය බවට පත් වන්නේ ඔහුට සමාජාර්ථක, දේශපාලනික හා සංස්කෘතික භාවිතය පිළිබඳ  දාර්ශනික අදහස් පද්ධතියක් තිබුණු බැවිනි. එය පීඩිතයා පීඩිතභාවයෙන් නිදහස් කර ගැනීම අරභයා වූ ගැඹුරු  විශ්ලේෂණයන්ගෙන් සමන්විත වූවකි.

 

සර්ව බලධාරී හෝ සර්ව සාධාරණ දෙවියකු සිටිනා බව කීම සංජානනය ක‍ළ නොහෙන ව්‍යුක්ත සංකල්පයක්ව පැවතිණ. ක්‍රිස්තු උත්පත්තිය එක අතකින් වැදගත් වන්නේ මෙකී ව්‍යුක්ත දෙවියන්, සංයුක්ත මනුෂ්‍යභාවයක මාංෂගත වීම කරණ කොට ගෙන ය. දෙවියන් බවටත්, දෙවියන්ගේ පුත්‍රයා බවටත් ඔහුට කෙරුණු  යෝජනා කිසිවක් ඔහු බැහැර කළේ නැත. එහි වූයේ එකී සන්දර්භය තුළ පොදුවේ පීඩිතයන් එක්සත් කළ හැකි ප්‍රවේශයකි. ‘දේව රාජ්‍යය’ නම් දේශපාලනික ව්‍යුහය ගොඩනංවනු පිණිස අවශ්‍ය දේශපාලනික සංඝටක සංයෝජනය කරන්නට ජේසුස්ට, ඉතිහාසය විසින් ‘ක්‍රිස්තුවරය’ නම් ‘තත්වය’ යෝජනා කරනු ලැබ තිබිණ.  

 

constantines vision

ඔබ ක්‍රිස්තු උත්පත්තිය සමරන්නේ නම් ක්‍රිස්තු දර්ශනය තුළ පිහිටා සිටිය යුතු ය. එසේ නම් ‘නත්තල’ නමින්  ඔබ හමුවට එන පරිභෝජනවාදී පදනම්වලට එරෙහිව සිට ගත යුතු ය.  ඔබ පරිභෝජනවාදයේ ගොදුරක් නම් ඔබ කිතුනුවෙක් නොවන්නේ ය. කිතු උපතට මුවා වී ‘නත්තල’ සමරන කිතු විරෝධියෙකි. මන්ද යත්  ‘නත්තලට’ උපත දුන්නේ ජේසුස් නොවේ, එය කොන්ස්තන්තීනු අධිරාජයා විසින් රෝම මඟුලක වූ ‘අපරාජිත සූර්යයා’ ජේසුස් ලෙස අර්ථකථනය කෙරුණු කෘත්‍රීමාකාර මඟුලකි. නත්තල තුළ වන්නේ අධිරාජ්‍ය විරෝධී දාර්ශනික විමුක්ති ක්‍රිස්තියානිය ආධිරාජ්‍යයේ අනුග්‍රහය ලත් ආගම බවට පත් වීමේ ඉතිහාසයයි. ඉදින් නත්තල උපන්ගෙයිම ක්‍රිස්තියානි සම්ප්‍රදායට ප්‍රතිමුඛව පිහිටන්නේ වෙයි.

ක්‍රිස්තු උත්පත්තිය සැමරිය යුක්තක් ද යන්න පිළිබඳ කිසිඳු විවාදයක් තිබ්බ නොහැකි ය. නමුත් ක්‍රිස්තු උත්පත්තිය සැමරීමේ ආනුභාවයෙන් සිදු කෙරෙන ‘නත්තල’ එකී උත්පත්තිය සමඟ සහසම්බන්ධයක් නැත. එය කෘත්‍රීමව ගොඩනංවන ලද්දකි.  එකී ගොඩනැංවීම පදනමේ ම වන්නේ ‘ෆන්’ එක බව ඇත්තකි. ප්‍රශ්නය,  ඒ ෆන් එක ක්‍රිස්තු උපතට සම්බන්ධයක් නැති වීම ය. මුළුමනින්ම කෙලෙසී තිබුණු සමාජ අවකාශයකට ‘ජේසුස්’ ආදේශ වීම තුළ එකල, කොන්ස්තන්තීනූන් කිසියම් අධ්‍යාත්මික හික්මීමක්, සදාචාර සංයමක් අපේක්ෂා කළා වන්නට ද පිළිවන. කෙසේ වුව සැමරීමේ  උත්කර්ෂය පෙරසේ ම එලෙසින් ම පැවතිණ. ඉදින්, පරිභෝජනවාදයේ කූඨප්‍රාප්තිකර ඩිජිටල් අවධියේ  පවා ‘නත්තල’ ලෙස අපට අභිමුඛ වෙළෙඳපොළ කේන්ද්‍රීය ආගමික - සංස්කෘතික ක්‍රියාවලිය ‘ක්‍රිස්තුවරයාට’ කිසිඳු සම්බන්ධයක් නැති බව පැහැදිලි ය.

 

උත්පත්තිය සැමරිය යුතු දෙයක් බවට පත් වන්නේ ඔහුගේ හෝ ඇයගේ ජීවන භාවිතයේ ඇති සුවිශේෂ මානව ගුණාංග කරණ කොට ගෙන ය. කිසියම් කෙනෙකු වෙත, සිය ජීවන භාවිතය හා ජීවන දර්ශනය පදනම් කර ගත් මරණයක් අත්පත් වී නම් ඔහුගේ උත්පත්තිය සැමරීමේ අවශ්‍යතාව තීව්‍ර වෙයි. ජේසුස් ක්‍රිස්තුස් යනු එවන් තැනැත්තෙකි.

 

‘බලහත්කාරී දුගී‍භාවය’ මනුෂ්‍ය වර්ගයා තුළ බලපවත්නා තාක් කල් දාර්ශනික ක්‍රිස්තියානියේ හෙවත් විමුක්ති ක්‍රිස්තියානියේ ජීව ගුණය අල්ප මාත්‍රයකුදු ක්ෂයව නොයයි. එබැවින් එවන් දාර්ශනික කතිකාවකට, ප්‍රායෝගික මාර්ගයකට ඉඩ හසර සැකසූ දාර්ශනිකයාගේ උත්පත්තිය සැමරීම අතිශය වැදගත් සංසිද්ධියක් වෙයි. නමුත් ‘නත්තල’ නම් වන්නේ එය නොවේ.

 

 

දශකයකට අධික කාලයක් පුරා අඛණ්ඩව පැවති නත්තල් කලාපය වෙනුවට සිරස, ‘ශක්ති’ මාධ්‍ය ජාලය 2022 වසරේ නත්තල සැමරීම සඳහා විකල්ප ක්‍රියාවලියකට අත ගසා තිබිණ. රටේ දුෂ්කර පළාත්වල ජීවත් වන දුවා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඇරඹූවා යැයි ප්‍රකාශිත ඔවුන්ගේ  ‘පොත් යාත්‍රා’ නම් ක්‍රියාවලියේ සමාරම්භක අවස්ථාවට සහභාගි වූ පටබැඳිගේ දොන්  ඇල්බට් මැල්කම් රංජිත් කාදිනල්වරයා "මේ ලස්සන මනරම් දිවයින මේ විනාශයට  පත් වුණේ ආත්මාර්ථකාමී ප්‍රතිපත්ති පදනම් කර ගෙන බිහි වෙච්ච දේශපාලන ක්‍රමවේදයක් තුළයි’’ යනුවෙන් ප්‍රකාශ කරලී ය.  එහිදී කාදිනල්වරයා විසින් නත්තල පිළිබඳව සිදු කෙරුණු ප්‍රකාශය අතිශය බරපතළ මෙන් ම අතිවිශේෂ එකකි. මෙසේ ය. "මේ නත්තල් කාලය ගැන කතා කරද්දි, අපේ කතෝලික රදගුරු මණ්ඩලය තීරණය කළා මේ අවුරුද්දෙ නත්තල දිළිඳුන්  සමඟ ගත කරන නත්තලක් කර ගමු කියලා". ඔවුන් විසින් කියැවුණු එම ප්‍රකාශයෙහි ධ්වනිතාර්ථය කුමක් ද? මේ තාක් නත්තල ගත කර ඇත්තේ දිළිඳුන් සමඟ නොවන බව ය.

ලංකාවේ කතෝලික නිල ක්‍රියාන්විතයේ ජාත්‍යන්තර ප්‍රතිරූපය බඳු කාදිනල්වරයාගේ මෙම ප්‍රකාශය අප නත්තල පිළිබඳ ගෙනන ප්‍රවාදය පිළිබිඹු කරයි. ශික්ෂා පද සුරකින ධනවත් යෞවනයෙක් සමඟ ‘පූර්ණත්වය’ පිළිබඳව කෙරෙන  සංවාදයක කෙළවර ක්‍රිස්තුවරයා ඔහුට පවසන්නේ පූර්ණත්වය අත්පත් කර ගන්නට ඇවැසි නම් ඔහු සතු සියල්ල විකුණා දිළිඳුන්ට දී තමන් අනුව එන ලෙසයි. නමුත් ඒ කැප කිරීම කරන්නට හිත හදා ගත නොහැකි යෞවනයා ශෝකයෙන් පිට වී යයි. එවිට ධනවතකුට ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීම කෙතරම් ම අමාරු ද යන්න අවධාරණය කරමින් ක්‍රිස්තුවරයා සිය ප්‍රේරිතයන්ට පවසන්නේ ඊට වඩා පහසුවෙන් ඔටුවකුට ඉඳිකටු සිදුරකින් ඇතුළු විය හැකි බවයි.

 



‘ලාංකික සමාජය තුළ නව කිතු උපතක අවශ්‍යතාව’ මැයෙන්  ‘සත්‍යය හා යුක්තිය සඳහා වූ සහයෝගිතා ව්‍යාපාරය’ විසින් ඉකුත් දෙසැම්බර් 20 වැනිදා පැවැත්වුණු අන්තර්ජාල කතිකාවේ ප්‍රධාන අදහස් දැක්වීම් දෙකෙන් එකක් සිදු කළ අමිල ජීවන්ත පීරිස් පියතුමා මවිසින් ලියැවුණු ‘මුන්නක්කරේ සංසාරේ’ උපුටනය කළේ ද මෙකී සන්දර්භයට අනුකූල වන ලෙස ය.


‘’ඇතැම් ගැඹුරු විශ්ලේෂණයන්ට අනුව යේසුස් ක්‍රිස්තුස් කියන්නෙ කිසියම් නිශ්චිත පුද්ගලයකුට නෙවෙයි. පීඩිතයන්ට පීඩිතභාවයෙන් මිදීම සඳහා, දුගීන්ට දුගීභාවයෙන් මිදීම සඳහා, දිළින්දන්ට දිළිඳුභාවයෙන් මිදීම සඳහා ඉතිහාසය විසින් යෝජනා කෙරෙන සංසිද්ධියකට’’

 

ඉක්බිති ජීවන්ත පියතුමා විග්‍රහ කරන ලද්දේ මුල් කිතුනු සංඝයේ ක්‍රිස්තුවරයාගේ නැවත පැමිණීම පිළිබඳ අපේක්ෂාව ගැන යි. ඔවුනට අනුව එය නව අද්දැකීමකි; නව ජීවන සංසිද්ධියකි; සමාජ විප්ලවයකි. සිදුවිය යුත්තේ, මෙම සංසිද්ධිය, මේ පරිවර්තනය, ගැඹුරු වෙනස  ඉතිහාසය විසින් ඉල්ලනු ලබන මොහොත පිළිබඳ සවිඥානික වීම ය. නව ජනතාවක් සහ සමානාත්මතාව මත පදනම් වූ  යුක්තසහගත සමාජයක් නිර්මාණය කර ගැනීම සඳහා පීඩිත සියල්ලන් තුළ වන ඇතුළාන්ත මිනිසා සොයා මතු කර ගැනීම ය.

 

ජීවන්ත පියතුමා විසින් යළිත් ‘මුන්නකරේ සංසාරේ’ මෙසේ උපුටනය කරනු ලැබුණේ ‘නව කිතු උපත’ පිළිබඳ කතිකාවේ දිශානතිය යෝජනා කරනු පිණිස ය.


16"සැබෑ ක්‍රිස්තියානිකාර හෘදය ස්පන්ධනය ඔබට දැනෙන්න නම්,  දිළින්දා දිළිඳුභාවයෙන් මිදවීම සඳහා වන සංවාදය අප තුළ ඇවිළෙන්න ඕනි; පීඩිතයා පීඩිතභාවයෙන් මිදවීම සඳහා වන, ක්‍රියාමාර්ග අප තුළ ඇවිළෙන්න ඕනි; නූතන වහලා, ඒ වහල්භාවයෙන් මිදවීම සඳහා වන විමුක්ති අරගලය අප තුළ ඇවිළෙන්න ඕනි. ‘’


මට අනුව, නව කිතු උපත විය යුත්තේ ජේසුස්ගේ දාර්ශනික ක්‍රිස්තියානිය තුළ වන  ‘ස්වර්ග රාජ්‍යය’ මහ පොළොවේ බිහි කර ගැනීමයි. රාජ්‍යයක් බිහි කර ගැනීම යනු දේශපාලනික ක්‍රියාවලියකි. ‘ක්‍රිස්තුභාවය’ යනු දේශපාලන ක්‍රියාවලියක නියාමකත්වය වෙනුවෙන් ඉතිහාසය විසින් නිර්මාණය කෙරුණු ‘නාමකරණයි’. ජේසුස් යනු එකී නාමකරණය දේශපාලන දිශානතියකට යොමු කළ දාර්ශනික මිනිසා ය. එම දර්ශනයේ  පදනම තුළ වන්නේ ‘පීඩිතයන් අතර’ ඇතිවිය යුතු අන්‍යොන්‍ය ප්‍රේමයයි. මෙකී ප්‍රේමය  කිසි විටෙක පීඩිතයන්ගේ එක්සත්භාවය මිස පීඩකයන් හා සම්මුතිගත වීම යෝජනා නො කරයි. ඉදින් නත්තල වනාහී, පොදුවේ සියල්ලන්ට ම ප්‍රේම කිරීමට සහ විශේෂයෙන් පීඩකයන්ට ප්‍රේම කිරීමට යෝජනා නො කරන  දාර්ශනික ක්‍රිස්තියානිය නොහොත් විමුක්ති ක්‍රිස්තියානිය හැකි තාක් තනුක කර ‘පීඩිතයාගේ සුසුමක්’ වන ‘ආගමක්’ බවට පත් කරලූ ඓතිහාසික කුමන්ත්‍රණයේ ප්‍රධාන සංදිස්ථානයකි. අශුද්ධ නත්තල් පප්පන් බවට පිරිහෙලනු ලැබූ දස දහස් ශුද්ධවර නිකොලා අනුරූ ලොව පුරා වන හන්දියක් හන්දියක් ගාණේ වසරේ තොග අවසන් කරමින් සිටින නත්තල සැබැවින් ම පිහිටවනු ලැබ ඇත්තේ ‘ඓතිහාසික කිතු උපතට’ හා ‘නව කිතු උපත’ නොහොත් විමුක්ති ක්‍රිස්තියානිය ප්‍රායෝගීකත්වයට නැගීම යන සංසිද්ධීන්ට ‘ප්‍රතිපක්ෂව' බව ‘ක්‍රිස්තුස්ගේ නාමයෙන්’ සියලු දෙනා පිළිගත යුතුව තිබේ.

 
නෙල්සනීය ප්‍රවාද - (මංජුල වෙඩිවර්ධන)(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 (බල්සාක් කැෆේ - 2022 දෙසැම්බර් 25 අනිද්දා පුවත්පත )

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්