මැලේසියාව වෙත විදෙස් සංක්‍රමණිකයන් ආකර්ෂණය කරන ප්‍රධාන සාධකයක් වන්නේ පසුගිය දශක කිහිපය තුළ අග්නිදිග ආසියාවේ ඉතා වේගයෙන් නැගී එන ආර්ථිකයක් බවට එරට පත්වීමයි.
කාර්මික, කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍රයන් තුළ පුළුල් රැකියා අවස්ථා නිර්මාණය වීම හරහා එරට ශ්‍රම වෙළඳපොළ කලාපයේ ජනප්‍රිය එකක් බවට පත්ව ඇත.
වසර 2017 වන විට ලෝව “ෆාම් ඔයිල්” ඉල්ලුමෙන් 44% සපයන්නේ මැලේසියාවයි
පිසූ ආහාර නිශ්පාදනයේදී යොදා ගැනෙණ මිල අධික “සූරියකාන්ත තෙල්” (Sunflower oil) සහ “එළවළු තෙල්” (Vegetable oil) වෙනුවට ගුණාත්මක බවින් අඩුයැයි සැලකෙන සහ අඩු වියදම් ආදේශකයක් ලෙස යොදා ගන්නා “ෆාම් ඔයිල්” (Palm oil) සඳහා ලොව පුරා ඇත්තේ ඉහළ ඉල්ලුමකි. ශ්‍රී ලාංකිකයන් “කටු පොල්” ලෙස හඳුන්වනු ලබන තාල වර්ගයේ ශාකයේ ඵලය ෆාම් ඔයිල් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වේ. වසර 2017 වන විට ලෝව “ෆාම් ඔයිල්” ඉල්ලුමෙන් 44% සපයන්නේ මැලේසියාවයි. ෆාම් ඔල්යිල් නිෂ්පාදනය අතින් ලොව ඉදිරියෙන්ම සිටින රටක් වන මැලේසියාව එම කර්මාන්තයේදී දෙවැනි වන්නේ අසල්වැසි ඉන්දුනීසියාවට පමණි. ලෝක බැංකුව වාර්තා කරන ආකාරයට වර්ෂ 2017 වන විට මැලේසියාව තුළ හෙක්ටයාර මිලියන 5.8 ක් පුරා කටුපොල් වගාව ව්‍යාප්තව තිබී ඇත. ඒසා විශාල ගොවිබිම් ප්‍රමාණයක් තුළ සේවය කරන කම්කරුවන් අතර අතිබහුතරය සංක්‍රමණික කම්කරුවෝ වෙති.
කටුපොල් වගාවට අමතරව වාණිජ්‍ය බෝග ලෙස වගා කරනු ලබන රබර්, කොකොවා, කෝෆී ආදී වගාවන් සිදු කෙරෙන වැවිලි බිම් සඳහාත්, පළතුරු නිෂ්පාදනයන් සිදුකෙරෙන වගා බිම් තුළත් සංක්‍රමණික කම්කරුවන් සේවයේ යෙදවීම මගින් මිනිස් ශ්‍රමය ඉතා අඩු වියදමින් සපයා ගන්නට මැලේසියානු ව්‍යාපාරිකයෝ පෙළඹී සිටිති. වර්ෂ 2016 වන සමස්ථ මැලේසියාව තුළ වර්ග කිලෝමීටර 86,270 ක් වගා කටයුතු සඳහා යොදාගෙන තිබිණ. එය සමස්ථ ශ්‍රී ලංකාව සහ එයට තවත් වර්ග කිලෝමීටර් 20,000 පමණ එක් කළ විට ලැබෙන භූමිය තරම් වූ විශාල භූමි ප්‍රදේශයකි. ඒසා විශාල ගොවි බිමක උත්පාදනය වන රැකියා අවස්ථාවන් වෙත යාබද ඉන්දුනීසියාව, වියට්නාමය ආදී කළාපීය රටවල් සහ බංගලිදේශය ආදී වෙනත් භූගෝලීය කලාපවල පිහිටි රටවලින් සංක්‍රමණිකයන් ආකර්ෂණය වීම අඛන්ඩව සිදුවෙමින් පවතී.
ධීවර කර්මාන්තය තුළද සංක්‍රමණික කම්කරුවන් හට රැකියා අවස්ථා සුලබය
ධීවර කර්මාන්තය ද මැලේසියාව තුළ විශාල රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් නිර්මාණය කොට ඇති සංවර්ධිත ක්ෂේත්‍රයකි. මැලේයාසියාව වටා කිලෝමීටර 4,675 ක් පුරා විහිදුණු වෙරළ තීරයත්, මැලේසියාවට අයත් වර්ග කිලෝමීටර 5,48,800ක් වූ සාගර කළාපයත් ඒ සඳහා ප්‍රමාණවත් අවකාශය සකසා දී තිබේ. මත්ස්‍ය කර්මාන්තය මැලේසියාව තුළ කෙතරම් ඉහළ තැනකට පත්ව තිබේද යත් 2016 වර්ෂය තුළ ලොව ඉහළම “ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය” වාර්තා වන්නේ එරට තුළිනි. ඒ කිලෝග්‍රැම් 59 ක් ලෙසය. වර්ෂ 2017 දී මැලේසියානු මත්ස්‍ය නිෂ්පාදනය ටොන් මිලියන 1.7 ක් ලෙස වාර්තා වන අතර ආහාරය සඳහා මුහුදු පැලෑටි නිෂ්පාදනය කරන රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින 7 වන රට ලෙස ශ්‍රේණි ගතවන්නට මැලේසියාව සමත්වෙයි. මේසා පුළුල් මැලේසියානු ධීවර කර්මාන්තය තුළද සංක්‍රමණික කම්කරුවන් හට රැකියා අවස්ථා සුලබය. බහුදින යාත්‍රා, කුඩා ඩිංගි බෝට්ටු මගින් මත්ස්‍ය දඩයම සහ මසුන් සැකසීම, ඇසිරීම, ප්‍රවාහනය යන ක්‍රියාවලීන් තුළ සංක්‍රමණික කම්කරුවන්ගේ සහභාගිත්වය පැහැදිලි වශයෙන් සිදුවේ.
කෘෂිකාර්මික හා ධීවර කර්මාන්තන්යට අභියෝග කරමින් මැලේසියාව තුළ දැවැන්ත කාර්මික නිෂ්පාදන ආර්ථිකයක් ද සමගාමීව ගොඩනැගෙමින් තිබේ. විශේෂයෙන් “විදුලි සහ විද්‍යුත් උපකරණ නිෂ්පාදන කර්මාන්තය” (E&E- Electrical and Electronics) ඉතා සීග්‍රයෙන් වර්ධනය වන බව එරට ආර්ථික දත්ත පෙන්වාදෙයි. වර්ෂ 2019 තුළ එරට කාර්මික නිෂ්පාදන භාණ්ඩ අපනයනය තුළින් ලැබූ ජාතික ආදායමෙන් 44.7%ක් වූ තරම් ඉහළ දායකත්වයක් සපයා ඇත්තේ විදුලි සහ විද්‍යුත් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළදපොළට අළෙවිකොට ලැබූ මුදලයි. එය මලේසියානු රින්ගිට් මිලියන 37,267 ක් තරම් වූ ඉහළ ආදයමකි.
1972 දී ස්ථාපිත Intel ඉලෙක්ට්‍රොනික උපකරණ එකලස් කිරීමේ කර්මාන්තශාලාව
මුල්වරට වර්ෂ 1972 දී මැලේසියාවේ “පිනෑන්ග්” ප්‍රදේශය තුළ බහුජාතික සමාගමක් සිය කර්මාන්තශාලාව ස්ථාපනයකිරීමත් සමග ඇරඹෙන විදුලි සහ විද්‍යුත් නිෂ්පාදන කර්මාන්තය රජයේ ආයෝජන දිරිගැන්වීම් සමග දශක තුනක් තුළ ලොව විශාලතම සහ ජනප්‍රියම විදුලි සහ විද්‍යුත් නිෂ්පාදන සන්නාම සහිත සමාගම් වෙත නිෂ්පාදන සහ සේවා සැපයීමට තරම් පෙරට පැමිණ තිබේ.“සැම්සුන්ග්” (Samsung), “පැනසොනික්” (Panasonic), “ඔස්රම්” (OSRAM), “ඩයිසොන්” (Dyson) ආදී ලෝ ප්‍රකට බහුජාතික සමාගම් 10 කට වැඩි ගණනක් මැලේසියාව තුළ ආයෝජනය කොට ඇති අතර දේශීය සමාගම් විශාල සංඛ්‍යාවක් ද ජාත්‍යන්තර වෙළදපොළ වෙත තම නිෂ්පාදන අපනයන කරමින් සිටියි. චීනය, ඇමරිකා එක්සත් ජනපදය, සිංගපූරුව, හොංකොං රාජ්‍යය, ජපානය, දකුණු කොරියාව සහ ජර්මනිය වැනි ලොව ප්‍රමුඛ රටවල් තම ප්‍රධාන ගනුදෙනුකරුවන් බවට පත්කරගන්නටද විදුලි සහ විද්‍යුත් උපකරණ නිශ්පාදන කර්මාන්තය තුළින් මැලේසියාව සමත්ව සිටී. නිවෙස් තුළ භාවිතයට ගන්නා ශීතකරණ, විදුලිපංකා, වායුසමීකරණ ආදීයෙහි සිට පරිගණක, ජංගම දුරකතන, ටැබ්, විවිධ පරිගනක දෘඪාංග, මෛක්‍රෝ චිප් ආදී පුළුල් පරාසයක නිෂ්පාදන මැලේසියාව තුළ ඉතා ඉහළ මට්ටමින් සිදුවෙමින් තිබේ.
දේශීය ශ්‍රමිකයන්ට මෙන්ම සංක්‍රමණික ශ්‍රමිකයන්ට ද රැකියා අවස්ථාවන්
මැලේසියාව තුළ අදාළ ව්‍යාපාරික කටයුතුවල නියුතු මහා පරිමාණ සමාගම් විසින් රටපුරා විහිදී ඇති මධ්‍ය පරිමාණ සහ කුඩා පරිමාණ කර්මාන්ත ශාලා වෙත තම නිෂ්පාදන ඉලක්ක උප කොන්ත්‍රාත් ක්‍රමය යටතේ ලබාදීම හරහා රටපුරා ග්‍රාමීය වශයෙන් කුඩා නිෂ්පාදන කර්මාන්තශාලා ජාලයක් නිර්මාණය වී තිබේ. එම ක්‍රමවේදය දේශීය ශ්‍රමිකයන්ට මෙන්ම සංක්‍රමණික ශ්‍රමිකයන් හට ද රැකියා අවස්ථාවන් විශාල ලෙස නිර්මාණයකොට දී තිබේ. පෞද්ගලිකව මෙම ලියුම්කරුටද මැලේසියාව තුළ විදුලි සහ විද්‍යුත් උපකරණ නිශ්පාදන ආයතනයක් තුළ අනවසර සංක්‍රමණියෙකු ලෙස රැකියාවෙහි නියුතු වන්නට අවස්ථාව උදා විය. ඉදිරි පරිච්ඡේදයක ඒ පිළිබදව තොරතුරු ඇතුළත්වේ.
සමස්ථයක් වශයෙන් විදුලි සහ විද්‍යුත් උපකරණ නිශ්පාදන කර්මාන්තයේදී වැඩි ප්‍රමුඛවතාවයක් හිමිවන්නේ පුහුණු කම්කරුවන් සඳහාය. නොපුහුණු කම්කරුවන් යොදාගනු ලබන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ ගුණාත්මක භාවයට අඩුම බලපෑම් ඇතිකළහැකි ක්‍රියාවලීන් තුළ පමණි. පිරිසිදු කිරීම, ඇසිරීම, ප්‍රවාහනය වැනි අවශ්‍යතා වලදී නොපුහුණු සංක්‍රමණිකයන්ගේ දායක්ත්වය කැපී පෙනේ. ග්‍රාමීය මට්ටමේ ඇති කර්මාන්තශාලා තුළ ඉන්දුනීසියානු, වියට්නාම්, පාකිස්තානු සහ අතලොස්සක් වූ ශ්‍රී ලාංකික අනවසර සංක්‍රමණිකයන් සේවයේ යොදවන ආකාරය ද මෙම ලියුම්කරු අත්දැක ඇත.
සංක්‍රමණිකයන් පිළිබඳව කටයුතු කරන ජාත්‍යන්තර ආයතනය වන සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM-International organization for Migration) සඳහන් කරන ආකාරට අග්නිදිග ආසියාවේ ප්‍රචලිතම සංක්‍රමණික ගමනාන්තයක් බවට මැලේසියාව පත්වන්නේ ප්‍රධාන කාරණා දෙකක් පදනම්වය. පළමුවැන්න නම් ඉහත විස්තර වූ ආකාරයට මැලේසියාව තුළ සංවිධානය වී ඇති අති විශාල ආර්ථික සම්පත්ය ප්‍රමාණයි. දෙවැනි කාරණයනම් මැලේසියාව නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ පහසු ගමනාන්තයක් බවට පත්ව තිබීමය. ඒ වෙනුවෙන් සංවිධානයවූ ප්‍රවාහන පහසුකම් සපයාදීම, නවාතැන් පහසුකම් සපයාදීම, නීති විරෝධී ලියකියවිලි සකසා දීම ආදී විවිධ පහසුකම් සපයාදෙන සංක්‍රමණික ජාවාරමේ යෙදෙන ව්‍යාපාරික ජාලයක් මැලේසියාව තුළ මෙන්ම අග්නිදිග ආසියාව කේන්ද්‍ර කරගනිමින් ගොඩ නැගී ඇත. ඒ හරහා මියන්මාරය ඇතළු ලොව බොහෝ රටවල සිට සරණාගත පිරිස් සහ වෙනත් සංක්‍රමණික පිරිස් මැලේසියාව වෙත දේශපාලන රැකවරණය ලැබීමේ අරමුණින් හෝ ආර්ථික අරමුණු ඇතිව ලඟාවෙති.
සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ වාර්තා වලට අනුව වර්ෂ 2010 සිට 2017 දක්වා වූ කාලය තුළ මැලේසියාව තුළ සේවය කළ විදේශීය ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව මිලියන 1.7 සිට මිලියන 2.2 දක්වා ඉහළ ගොස් තිබිණි. එම කාලසීමාව තුළම එරට තුළ වාර්තාවූ අනවසර සංක්‍රමණිකයන් සංඛ්‍යාව මිලියන 2 ත් මිලියන 4 ත් අතර බව ඇස්තුමේන්තු කොට තිබේ.
ඉතා අවම පහසුකම් යටතේ, අවම වැටුප් ලබමින් සැඟවී සේවය කරනු ලබන ලක්ෂ ගණනක් වූ අනවසර සංක්‍රමණිකයන්ගේ පහසු රැකියා ඉලක්කයන් වන්නේ මැලේසියාව තුළ අක්කර හෙක්ටයාර ගණනින් විහිදී ඇති කටුපොල් වගාබිම්ය. ඇතැම් විට රබර් වතු ඇතුළු ගොවි බිම්ය. නැතහොත් ධීවර වරායන් හෝ කර්මාන්ත ශාලා තුළ පිහිටි අඳුරු ගබඩා කාමරය.