සැමට යහපත් සාමකාමී දවසක් වේවා කියලා පටන් ගන්නම්



මේ එන්නේ ජීවත් වීමට උත්තර හොයන්නෙ නැතුවම බැරි අවුරුද්දක්

ඒ නිසා මේ අවුරුද්ද අවසන් වෙන්න කලින්, මේ කතාව කියන්න හිතුනා. කතාව කෙටියෙන්ම කිව්වොත්, මේ ලබන අලුත් අවුරුද්දේ අහිංසක අසරණ ජීවිත නඩත්තු කරන්න බැරි අන්ත බංකොලොත් රටක් බවට අපි පත් වෙන්න නියමිතයි. ඒ අවාසනාවන්ත තත්ත්වය වළකා ගැනීමට අනිවාර්යෙන් උත්තර හොයන්න සිද්ධවෙන අවුරුද්දක් ඊළඟට එළැඹෙන්නේ.

 

නමුත් අර්බුදයට යතාර්ථවාදී, ප්‍රායෝගික උත්තර හොයනවා වෙනුවට, ආණ්ඩුවෙන් ඉල්ලන්නේ පළාත් පාලන මැතිවරණ. ප්‍රාදේශීය සභා නගර සභා මැතිවරණ වලින් ඒවට උත්තර හොයන්න බැහැ. හැත්තෑව පැනපු මහල්ලන් වෙනුවට තිහ පැනපු තරුණයින් පත්කර ගන්න කියලා ඒවට උත්තර හොයන්න බැහැ. ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී, ආත්මාර්ථකාමී ඡන්දදායකයින්ට ප්‍රාදේශීය සභා නගර සභා වලට තරුණන් පත් කරන්න කියලා ඒවට උත්තර හොයන්න බැහැ. ඒ නිසා රටේ සංවර්ධනය සැළසුම් කරන්න බැරි මේ හඩු ජාවාරම්කාර විවෘත වෙළඳපල ආර්ථිකය 2023 දී වත් අනිවාර්යෙන් වෙනස් කළ යුතු වෙනවා. අලුත් ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධන සැළසුමක් ගැන වහා සමාජ සාකච්ඡාවක් ආරම්භ කරන්න වෙනවා. අලුත් අවුරුද්දේ රට බේර ගන්න පුළුවන් වෙන්නේ එහෙම සංවර්ධන සැළසුම් හැදීමෙන් පමණයි.

 

 

ලබන අලුත් අවුරුද්ද මේ රටේ අවාසනාවන්තම අවුරුද්ද හැටියට දැනටම තීන්දු වෙලා ඉවරයි. ජනවාරියේ සිට සියයට 65 කින් විදුලිය ගාස්තු වැඩි නොකළොත් 2023 දී පැය 08 ක් විදුලිය කපන්න සිද්ධ වෙනවා කියලා ඇමතිවරයා කියනවා. එයා ඒක කියන්නේ ජනතාව නිසා ලංවිම පාඩු ලබනවා වගේ ස්වරයකින්. රජයේ ආයතන පාඩු ලබන්නේ ඇමතිවරුන්ගේ වරදින්. ඒවා හරියට කලමනාකරණය කිරීම ඇමතිවරුන්ගේ වගකීම. පාඩු වහ ගන්න ජනතාවගෙන් මුදල් අය කරන්න නම්, ඇමතිවරුන් අවශ්‍ය නැහැ. ඒක විදුලිබල මණ්ඩලේට කර ගන්න පුළුවන්.

 

ආණ්ඩුවට කලින් ගාස්තු සංශෝධන, බදු වැඩි කිරීම්, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම් යටතේ අලෙවි කිරීම ආදී සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීන්දු කරලා ඉවරයි. වියදම් පියවා ගත හැකි ආකාරයෙන් විදුලිය හා ඉන්ධන මිල සංශෝධනය කිරීම ඒ අතර තියෙන ඔවුන්ගේ ප්‍රධාන කොන්දේසියක්. ඒ නිසා අවුරුද්දේ මුල් කාර්තුවේදීම ඩීසල්, පෙට්‍රල් සහ භූමි තෙල් මිලත් වැඩි කෙරෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන හා ගබඩා කිරීමේ වියදම්, භාණ්ඩ ප්‍රවාහන සහ මගී ප්‍රවාහන ගාස්තු වැනි සියල්ල වැඩි වෙනවා. නැවත සීඝ්‍රයෙන් බඩු මිල වැඩි වෙනවා.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන විදියට වැඩි කෙරෙන බදු අය කිරීම් නිසා පහළ මධ්‍යම පංතිකයින්ගේ ක්‍රය ශක්තිය, භාණ්ඩ හා සේවා මිලට ගැනීමේ හැකියාව සැළකිය යුතු මට්ටමින් පහත වැටෙනවා. ඊට අමතරව මේ වනවිටත් මධ්‍යම හා කුඩා නිෂ්පාදන සමාගම් 40 ට වැඩිය වැහිලා ගිහින් කියලා වාර්තා වෙනවා. එවැනි ඇඟළුම් කම්හල් වැසී යාමේ තර්ජනය ඉතා බරපතල්. ආණ්ඩුව සියයට 15 ට වැඩි ප්‍රමාණයකින් ඔවුන්ගේ බදු වැඩි කිරීම නිසා කර්මාන්ත ශාලා පවත්වා ගෙන යන්න බැහැ කියලා ඒ සමාගම් කියනවා.

 

doc 32779JJ photo0



ඒ වගේම 2023 ජනවාරියේ සිට විදුලිය ගාස්තු නැවත වැඩි කිරීම හෝටල් ක්ෂේත්‍රය වසා දමන වැඩක් කියලා හෝටල් හිමිකරුවන්ගේ සංවිධානය කියනවා. ඒ කියන්නේ ආණ්ඩුව සංචාරක ව්‍යාපාරය ගැන කතා කිරීම විහිළුවක් කියන එකයි. හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සහ අවිධිමත් හා දෛනික ආදායම්ලාභීන් අනාථ වෙනවා කියන එකයි. ඒ විදියට 2023 වසර ලබන්නේ තියෙන රස්සාවල් ආදායම් මාර්ග පවා අහෝසි කෙරෙන අලුත් අවුරුද්දක් හැටියටයි.

 

බහුතර ජනතාවක් යැපෙන ග්‍රාමීය ආර්ථිකය ගොඩ දාගන්න කිසිම සැළසුමක් යෝජනාවක් වික්‍රමසිංහ ආණ්ඩුවට නැහැ. කෘෂිකර්මය සඳහා ප්‍රතිපත්තියක් සැළසුමක් නැහැ. එහෙම ගරා වැටෙන ආර්ථිකයක ග්‍රාමීය ජනතාවට සිදුවෙන්නේ අත්‍යාවශ්‍ය භාණ්ඩ, විදුලිය ගාස්තු, ප්‍රවාහන ගාස්තු නැවත වැඩිවන විට අමාරුවෙන් හොයා ගන්න අබලන් රුපියලෙන් ඒවට ගෙවන්න. නැත්තං ඒවා අත හරින්න. ආහාර වේලත් අතහරින්න සිදුවිය හැකි පවුල් සංඛ්‍යාව දැන් සියයට 35 ට වැඩියි කියලා වාර්තා ගණනාවක තියෙනවා. ආණ්ඩුවත් නිහඬවම ඒ සංඛ්‍යා පිළිගෙන තියෙනවා.

 

කර්මාන්ත ශාලා, හෝටල් වැහෙන කොට, රැකියා අහිමි වෙනකොට බැංකු ගනුදෙනු හැකිලෙනවා. කල් බදු ණය ක්ෂේත්‍රය හැකිලෙනවා. පහළ නාගරික මැද පංතිය වෙළඳපල ආර්ථිකයේ බාල පාරිභෝගිකයින් බවට පත් වෙනවා. ආණ්ඩුව 2023 අවුරුද්ද සඳහා ගණන් හදන බදු ආදායම් එකතු කර ගන්න ලැබෙන්නෙත් නැහැ. පඩි නඩි ගෙවන්න විශ්‍රාම වැටුප් ගෙවන්න ආණ්ඩුවට මුදල් අච්චු ගහන්න සිද්ධ වෙනවා. තවත් වටයකින් භාණ්ඩ මිල ඉහළ යනවා. ඒ සමග අධ්‍යාපනය, රජයේ සෞඛ්‍ය සේවය, දුම්රිය සහ පොදු මගී සේවා තව තවත් අඩාල වෙනවා. පිරිහෙනවා. පාසල් හැරයාම වැඩි වෙනවා. විශේෂයෙන් ග්‍රාමීය හා අර්ධ නාගරික සාක්ෂරතාව පහත වැටෙනවා.

 

kjht

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ජනාධිපති වික්‍රමසිංහගේ ආණ්ඩුව ක්‍රියාවට නගන කිසිවකින් අති බහුතර ජනතාවට කිසිවක් ලැබෙන්නේ නැහැ. ඒ කිසිවකින් අපට අවශ්‍ය විදේශ විනිමය ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා තව ණය වෙනවා මිස තියෙන ණය ගෙවන්නත් බැහැ. එවැනි තත්ත්වයක අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමටත් අනිවාර්ය සීමා වැටෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟ වෙනවා. දුප්පත්කම සීඝ්‍රයෙන් ඉහළ යනවා. සෑම මාසයකම නිල දරිද්‍රතා රේඛාව ගණනය කරන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මේ වසරේ දරිද්‍රතා රේඛාව ගණනය කිරීම අතහැරලා. නමුත් ලෝක බැංකුවට අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව මේ 2022 වසර අවසන් වනවිට සියයට 25.6 ඉක්මවා යන්න ඉඩ තියෙනවා. සියයට 25 ට වැඩිය දුප්පතුන් වෙනවා කියන්නේ රටේ ජනගහනයෙන් මිලියන 06 ට ආසන්න ප්‍රමාණයක් දුප්පතුන් බවට පත් වෙනවා කියන එකයි.

 

women 1200px 22 11 10 1000x600

ඒ වෙනුවෙන් ආණ්ඩුවේ උත්තරය වී තියෙන්නේ දුප්පත් මිනිසුන් පිටරට පටවලා ඔවුන්ගෙන් ඩොලර් ගෙන්වා ගැනීමයි. අර මෝඩ ඇමතිවරයා කියනවා මේ වනකොටත් තුන් ලක්ෂයක් පිටරට රැකියා සඳහා යවන්න ආණ්ඩුවට පුළුවන් උනාලු. මේ එන්නේ බහුතර ජනතාවට ජීවත්වීමේ අයිතිය ඉල්ලන්න වෙන කලු අවුරුද්දක්.

ඒ සමග වික්‍රමසිංහගේ මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ නාගරික මැද හා ඉහළ පැලැන්තිය සඳහා ඔවුන්ගේ සුවපහසු ජීවිත නඩත්තු කෙරෙන නගරයේ වෙළඳපල හදා දෙන්නයි. ඔවුන් වෙනුවෙන් කොළඹ හා අවට වෙළඳපල සමග සාමකාමී සමාජ පරිසරයක් පවත්වා ගෙන යන්නයි. වික්‍රමසිංහගේ නව ලිබරල්වාදය හැමදාම නාගරික මැදපංතිකයින්ගේ සහ හඩු ජාවාරම්කාරයින්ගේ ලිබරල්වාදයක් පමණයි. ඒ වෙනුවෙන් ඊළගට එන්නේ නීතිමය රාමුවක් තුල නෛතික මර්දනයක් පවත්වා ගැනීමේ බලහත්කාර ආණ්ඩුවක්. කොළඹ සාමකාමිත්වය වෙනුවෙන් ග්‍රාමීය හා අර්ධ නාගරික සමාජය යටපත්කර තබා ගැනීම වික්‍රමසිංහ ආණ්ඩුවේ උපාය මාර්ගයයි.

 

මෙහෙම බලහත්කාර ස්ථාවර පාලනයකට සහමුලින් වෙනස්, විකල්ප ප්‍රජාතන්ත්‍රවාදී විසඳුම් යෝජනා මාලාවක් වෙනුවට ප්‍රාදේශීය සභා නගර සභා මැතිවරණ ඉල්ලීමෙන් ජනතාවට කිසිම විසඳුමක් ලැබෙන්නේ නැහැ. රටේ බරපතලම ප්‍රශ්න වලට විසඳුම් නොදන්නා තරුණයින් ප්‍රාදේශීය සභා නගර සභා වලට පත්කර ගත්තට ජනතාවට විසඳුම් ලැබෙන්නේ නැහැ. රටට ඩොලර් ලැබෙන්නේ නැහැ. ණය ගෙවන්න වෙන්නේ නැහැ. මූලික කාරණාව මෙවැනි බලහත්කාර පාලන යටතේ මැතිවරණ කියන්නේ හුදු ක්‍රියාපටිපාටයක් මිස ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මක් නෙවෙයි. ඒ නිසා ප්‍රාදේශීය සභා නගර සභා කවුරු දිනුවත් එහි ප්‍රචාරකවාදී වාසිය ලැබෙන්නේ වික්‍රමසිංහගේ බලහත්කාර පාලනයටයි. මේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කියන්න ඒ හිස් මැතිවරණ යොදා ගැනීම විතරයි වෙන්නේ.

 

මේ බරපතල බංකොලොත් තත්ත්වය සඳහා අනිවාර්යෙන්ම අලුත් විසඳුම් ඉදිරිපත් කරන්න වෙනවා. ආර්ථික ප්‍රතිපත්තිය ගැන අලුත් සංවාදයක් අවශ්‍ය වෙනවා. රටේ කෘෂි සහ කාර්මික නිෂ්පාදනය ඉහළ දමන සංවර්ධන සැළසුම් ගැන කතා කරන්න වෙනවා. ඒ වෙනුවෙන් අපේ කලාපීය රාජ්‍ය හා වෙළඳ සම්බන්ධතා ගැන කතා කරන්න වෙනවා. රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීය කිරීම ගැන විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා. ඒ සඳහා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය, පළාත් හා ප්‍රාදේශීය බද සහභාගි ප්‍රාතන්ත්‍රවාදයක් ලෙස ස්ථාපිත කිරීම ගැන සැළසුම් හදා ගන්න වෙනවා.  

ජාතික ප්‍රතිපත්තීන් හා ජාතික සංවර්ධන සැළසුම් කියන්නේ ඡන්ද පොරොන්දු නෙවෙයි කියන එක මේ වෙලාවේ අවධාරණය කළ යුතුයි. ජනතාවගේ ජීවන අයිතීන් වෙනුවෙන් එවැනි පුළුල් සංවර්ධනයක් ගැන සංවාදය, සමාජ කතිකාව එනිසා වහා ආරම්භ කරන්න වෙනවා. මේ සමාජයේ දැනුවත් පිරිස ඒ වගකීම බාර ගැනීමට ඉදිරිපත් විය යුතුයි. එහෙම නැතුව 2023 අවුරුද්ද බේර ගන්න වෙන්නෙ නැහැ කියලා අකමැත්තෙන් වුනත් අවසන් වශයෙන් කියන්න වෙනවා.    



මේ තරුණ අන්දරේලා රට කෙරුවොත් යේමනයත් මීට වැඩිය හොඳයි කියාවි - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2022 දෙසැම්බර 29 වන දින


JW

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්