ගෝඨාගේ පළමු පරාජය

 

2022 අවුරුද්ද ඉවර වෙලා අදට (2023/01/04) දවස් හතරයි. 2022 වසරේ පළමු කාර්තුව ආරම්භයේ ඉඳල වසර අවසාන වන තෙක් ම අහන්න දකින්න ලැබුණෙ (සහ තවමත් දකින්න ලැබෙන්නෙ) මොනව ද...? පවතින රාජ්‍ය පාලනයට වගේ ම පාලකයන්ට එරෙහි උද්ඝෝෂණ.
 
 
 
 
මේ උද්ඝෝෂණයේ ආරම්භය විදියට සනිටුහන් වෙන්නෙ 2022 මාර්තු පස්වෙනි දින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් එවකට රටේ ජනාධිපති ධුරය හොබවපු ගෝඨාභය රාජපක්ෂගෙ පුද්ගලික නිවස ඉදිරිපිට කරපු උද්ඝෝෂණය. එදා තිබුණ මේ උද්ඝෝෂණය උද්ඝෝෂකයො බලාපොරොත්තු වුණ තරමට ම සාර්ථක නොවුණත් නැවත ඒ මාසෙම 31වෙනිද එතන ම පවත්වපු උද්ඝෝෂණය සාර්ථක වුණා. එතනදි ලක්ෂ 69ක් ඡන්ද ගත්තු, 20වන සංශෝධනය හරහා අසීමිත බලයක් ලබාගත්තු විධායක ජනාධිපතිවරයා පළමු වතාවට රටේ ජනතාවගේ විරෝධතාව ඉදිරියෙ පරාද වුණා. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂගෙ පරාජයේ ආරම්භය.
 
 
 

වෙනසක ඇරඹුම

එතනින් ආරම්භ වුණ රාජපක්ෂ සනුහරේ පරාජය මහින්ද රාජපක්ෂ ත්‍රිණාමලයට පැනල ගිහින්, ගෝඨාභය රාජපක්ෂට යන එන මං නැතිවෙන තත්ත්වෙට පත්වුණා. ඒ සිද්ධි එකින් එක ආයෙත් ලියන එකේ තේරුමක් නෑ. මොකද ඒ හැම සිද්ධියක් ම ලෝකෙ හැමෝ ම දන්නව. හැබැයි ඒ සිද්ධි හේතුවෙන් සිද්ද වෙච්ච පශ්චාත් සිදුවීම් ගැන නම් ටිකක් ලියන්න ම වෙනව. මොකද Gota go home කියල පටන් අරගෙන දෙවනුව maina go home කියල, ඊටත් පස්සෙ ranila go home කියන තතැනට එනකම් ම මේ වැඩේ තල්ලු වුණා. හැබැයි තවම ගෙදර ගියේ ගෝඨාභය රාජපක්ෂ විතරයි. නමුත් ගාලු මුවදොර අරගලයෙන් බලාපොරොත්තු වුණේ ගෝඨා ගෙදර යවන එක විතරක් නෙවෙයි. සමස්ත පද්ධතිය ම වෙනස් කරන්න. මේ රටේ ජනතාව ඒ තරම් විශාල අරගලයක් කරලත් ඇයි අපිට ඒ වෙනස කරගන්න බැරි වුණේ...?
 
 
thediplomat 2022 07 11 180810
 
ඩීල් කාරයෝ නොවන්නේ කවුද...?


දැන් මේකට විවිධ අය විවිධ කතන්දර කියයි. ඒ කතන්දරවලින් ප්‍රධාන ම කතන්දරය වෙන්නෙ රාජපක්ෂ සනුහරය රකින්න රනිල් වික්‍රමසිංහ හෙවත් රනිල් රාජපක්ෂ (අරගලකරුවන්ට සහ පවතින ආණ්ඩුවට එරෙහි බහුතරයකට අනුව) කොන්ත්‍රාත් එකක් ගත්ත කියන එක. එහෙමත් නැතිනම් රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ සනුහරයත් එක්ක ඩීල් එකක් දැම්ම කියන එක. ඩීල් එකක් නම් දාල තියෙන විත්තිය දැනෙනව. හැබැයි ලාංකීය දේශපාලන පිටියෙ ඩීල් දාපු එක ම පක්ෂය හරි එකම දේශපාලනඥයා හරි රනිල් වික්‍රමසිංහ විතර ද...? මගේ දේශපාලන දැනුමට අනුව නම් මේ රටේ දැනට සක්‍රීයව පවතින හැම දේශපාලන පක්ෂයක් වගේ ම ඒ දේශපාලන පක්ෂ නායක නායිකාවො කියන්නෙ ම ඩීල්කාරයොයි ඩිල්කාරියොයි තමයි. ඒ ඩිල්කාරිත්වය මේ රටේ පළමු මහමැතිවරණයේ ඉඳල ම පවතින දෙයක්. දැන් තව කවුරු හරි කියන්න පුළුවන් (විශේෂයෙන් ම වාමවාදියො) අනේ අපිනං ඩිල් දැම්මෙ නෑ කියල. හැබැයි ලංකාවෙ දේශපාලනය සිහිබුද්ධියෙන් යුතුව කියෙව්වොත් ‘‘අපි නං ඩීල් දැම්මෙ නෑ’’ කියන අයත් හොඳ ඩීල්කාරයො කියල තේරේවි. ඒ ඩිල් කලාවට වමේ ද, දකුණෙ ද, ලිබරල් ද කියන එක අදාළ නෑ. හැම කෙනෙක් ම අවස්ථානුකුලව ඩිල් දාල තියෙනව; දැනටත් ඩිල් දානව; අනාගතේදිත් ඩිල් දාන බවට සහතිකයි.


අරගලය සහ වම
 
 
දැන් ආයෙත් අරගලේට එමු. ඇත්තට ම අරගලයේ ආරම්භය පිරිසිදුයි. මෙතනදිත් කවුරුහරි කියයි අරගලයට පිටරටින් සල්ලි පොම්ප කරා කියල. ඔවු... අනිවාර්යයෙන් ම එහෙම වුණා. ඒක බොරුවක් නෙවෙයි. ඔන්න දැන් අරගලකාරයො ම කියයි ‘‘හරි... එහෙනම් එහෙම සල්ලි හම්බ වුණා කියල ඔප්පු කරන්නකො’’ කියල. කවුරු හරි එහෙම අහනව නම් මම එයාලගෙන් අහනව ‘‘එහෙනම් රාජපක්ෂ සනුහරය රටේ මහජන මුදල් කොල්ල කෑව කියල ඔප්පු කරන්න පුළුවන් ද...?’’ කියල. ඇත්තට ම අපි දන්නව රාජපක්ෂ සනුහරය තමයි රට මංකොල්ල කෑවෙ කියල; රට මේ තරම් අගාධයකට තල්ලු කරේ කියල. හැබැයි අපිට නීතිය ඉදිරියෙ ඒක ඔප්පු කරන්න බෑ. මැදමුලන සනුහරය ඒ තරමට ම සූක්ෂම යි; කපටියි. ඒකෙන් මම අදහස් කරන්නෙ නෑ අරගලයට සහභාගි වුණ අයත් ඒ තරමට ම කපටියි හරි සූක්ෂමයි හරි කියල. කොහොම වෙතත් පිටරට සල්ලි අරගෙන හරි අරගලය ආරම්භ කරපු සුළු පිරිසකට මේ රටේ පවතින පද්ධතිය වෙනස් කිරීමේ ඇත්ත වුමනාව තිබුණ. වමේ කියාගන්න පිරිසට ඒක දැනුණ නිසා තමයි අරගලය ආරම්භක අවධියේ අරගලයට අකුල් හෙළුවෙ; අරගලය තාවකාලික සතුටක් කියල කිව්වෙ. මෙන්න මේ අතර ම තමයි වමෙයි දකුණෙයි දෙකේ ම ඉන්න අවස්ථාවාදියො මේ අරගලයට රිංගගත්තෙ. රිංගගෙන තමන්ගෙ පටු දේශපාලන අදහස් මුඳුන් පමුණුවගන්න උත්සාහ කරේ. අවසානෙදි සිද්ද වුණෙත් එච්චරයි.
 
 
අරගලය සහ ආගම්වාදය


දැන් ඔන්න අහයි ‘‘කොහෙද එහෙම වෙලා තියෙන්නෙ...? ඇයි ගෝඨ ගෙදර (පැනල) ගියේ නැද්ද...? බැසිල් ඉල්ලා අස්වුණේ නැද්ද...? මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වුණේ නැද්ද...’’ කියල. ඔවු... එහෙම සිද්ධි වුණා තමයි. හැබැයි අරගලයේ (අවංකව ම අරගලයට පිවිසි පිරිසගෙ කියලත් මතක තියාගන්න වෙනව) මූලික අරමුණ වුණේ ඔය සිද්ධි ටික විතරක් දකින්න ද...? නැහැනෙ... ඒ අයගෙ බලාපොරොත්තුව වුණේ සමස්ත පද්ධතිය ම වෙනස් කරන්න. ඒකට තමයි ‘‘System Change’’ කිව්වෙ.
 
 
Father Jeevantha Paada dowamya 5
 
 
හැබැයි ඒ System Change එක කරන එක අරගලය ඇතුළෙ ම නිෂේධනය වුණා. ඒකට ප්‍රධාන ම හේතුව වුණේ ආගම මුල් කරගත්තු දේ පවා මහා ඉහළින් සලකල ඒවට අරගලය ඇතුළෙ ඉඩ හදපු එක. System Change කරන්න ආපු අය අරගලය ඇතුළෙ සියලු ආගමික ක්‍රියාවලට ඉඩ දෙන්නෙ සංහිඳියාව හරි සහයෝගිතාව හරි පිළිබිඹු කරන්න කියල කිව්වට ඇත්තට ම එතනදි සිද්ධ වුණේ තව දුරටත් මිනිස්සු මොකක් හරි ආගමක් කියන නිෂ්ඵල දේකට කොටු කරල තියාගන්න උත්සාහ කරපු එක. ඒකනෙ අර චීවරධාරියෙක් අරගල බිමේ වස් වසන්නත් සුදානම් වුණේ. ඒක අරගල බිමට නුසුදුසු දෙයක් කියල ඔය එක අරගලකාරයෙක් හරි අරගලකාරියෙක් හරි කිව්ව ද... ඒ අත්නෝමතික කටයුත්තට එරෙහි වුණා ද...? නැහැනෙ... එතන සිද්ධ කරේ ආගම් ආධිපත්‍ය අරගල බිමේ ස්ථාපිත කරන්න උත්සාහ කරපු එක. කොහොම වුනත් ඒ අවස්ථාවාදි, අන්තවාදී කටයුත්ත නවත්තගන්න පුළුවන් වෙච්ච එක ලොකු ව්‍යසනයක ආරම්භය ම පරාජය කිරීමක්. ඒ චීවරධාරියාට වස් වසන්න ඉඩ දුන්නා නම් අනෙක් ආගම්වලට අදාළ වත්පිළිවෙත් කරන්නත් ඉඩ දෙන්න වෙනව. එහෙම වුණානම් ඔය කියන System Change එකක් ඕන කියන අය ඒකට ඉඩ දෙයි ද...? මට නම් හොඳට ම විශ්වාසයි එහෙම කරන්න ඉඩ දෙන්නෙ නෑ. එහෙම වුණා නම් වෙන්නෙ අරගල භූමියෙම ආගමික ගැටුමක් ඇතිවෙන එක. මගේ අදහස නම් ඒ චිවරධාරිය උත්සාහ කරෙත් ඒකට. නැත්නම් ඒ චීවරධාරියා ඇයි පන්සලක හරි වනවාසී ආරාමයක හරි කරන්න වුවමනා ආගමික වත්පිළිවෙත් කරන්න අරගල භූමිය ම තෝරගත්තෙ...?


නිරුවත් ලිබරල්
 
 
System Change කරන්න පෙළ ගැහුණ පිරිස් දිගින් දිගටම සාම්ප්‍රදායික වත්පිළිවෙත් ඒ ආකාරයෙන් ම ඉටු කරන අතරෙ සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනයත් අරගල භුමිය අරක්ගත්ත; එක් එක් පුද්ගලයො තමන් විශ්වාස කරන පක්ෂ වෙනුවෙන් සහ පුද්ගලයො වෙනුවෙන් අරගල භුමිය භාවිත කරා. අපි (මම) එදත් ඔය සම්බන්ධයෙන් ලිව්ව. හැබැයි කවුරුවත් ඒක මායිම් කරේ නෑ. මම එහෙම ලියන්නෙ ඊර්ෂ්‍යාවට කිව්ව. මේ වෙද්දි මොකද වෙලා තියෙන්නෙ...?
 
 
sajith damitha
 
 
අරගලයේ ප්‍රධාන භුමිකාවක් රඟපැව නිළිය සමගි ජන බලවේගයෙන් පළාත්පාලන මැතිවරණයට තරඟ කරන්න සුදානම් වෙනව. තව දෙන්නෙක් තවත් දේශපාලන පක්ෂ දෙකකින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන්න උත්සාහ කරනව. ඒ අය දිනවන්න කියල සමහර youtube චැනල්වලින් කැම්පේන් කරනව. තවත් සමහර youtube චැනල්වලින් එයාලගෙ ම අය පළාත්පාලන මැතිවරණයට අපේක්ෂක අපේක්ෂිකාවො විදියට (මහාරාජ සහ සංවිධානය වගේ) ඉදිරිපත් කරන්න යනව. මේ අතරින් සමහර අය පසුගිය වකවානුවෙ ගෝඨාභයගෙ කැම්පේන් එකේ හිටපු පට්ට ලිබරල්වාදියො. අන්තිමේදි එයාල දන්නෙත් නැතුව ම එයාල බැසිල්ගෙ සල්ලිවලට විකිණිලා. දැන් බොරුවට තමන්ගෙ පක්ෂය බැසිල් සල්ලි දීල ගත්තු පක්ෂෙන් ඉවත් කරගන්නව කියල කියනව. බැසිල් පක්ෂෙ සල්ලි දීල ගද්දි මේ බබාල ඒක දැනගෙන හිටියෙ ම නැද්ද. මේ අය ‘‘ගොඩයමු’’ වේදිකාවට ගොඩ වෙද්දිත් මම ඔය ගැන ලිව්ව. දැන් නම් මට හිතෙන්නෙ ‘‘ගොඩයමු’’ කණ්ඩායමත් ‘‘බැහැල ගිහින්’’ වගේ දැනෙනව. මොකද මේ අරගලයට සම්බන්ධ වෙච්ච සමහර ලිබරල්ලු කියන්නෙ ම කන්න හිතුණ ම කබර ගොයත් තලගොයා කරගන්න පිරිසක්. එහෙම එවුන් එක්ක පුළුවන් ද System Change කරන්න...?


රනිල් භිතිකාව සහ රනිල්ගේ පැවත්ම
 
 
දැන් පොඩ්ඩක් රනිල් විරෝධය පැත්තට හැරෙමු ද...? මගේ මතකය නිවැරැදි නම් මේ රනිල් විරෝධය ආරම්භ වෙන්නෙ එයා LTTE සංවිධානය එක්ක සාම ගිවිසුම අත්සන් කරපු කාලෙටත් ටිකක් කලින්. ඒකට මූලික වුනෙත් ජනතා විමුක්ති පෙරමුණ. ඒ අය තමයි ‘‘රනිල් භිතිකාව’’ මේ රටේ පැළ කරේ. හැබැයි එයාල කවදාවත් පිළිගන්නෙ හරි ප්‍රකාශ කරන්නෙ හරි නැහැ රනිල් LTTE සංවිධානය එක්ක සාම ගිවිසුම අත්සන් කරපු නිසා තමයි LTTE සංවිධානය බෙදුණෙ කියල; LTTE සංවිධානය බෙදුණ නිසා තමයි ඒක පරාද කරන්න පුළුවන් වුණේ කියල; රනිල් කියන්නෙ මහා භයානක මිනිහෙක් කියල LTTE සංවිධානය ම අවසානෙදි තිරණය කරා කියලත් මේ අය කියන්නෙ හරි පිළිගන්නෙ හරි නැහැ. මොකද එදා ජවිපෙ දැරුවෙ තනිකර ම ජාතිවාදි මතයක්; වර්ගවාදි සංහාරික මතයක්. ඒ මතය දරන තුරා ම රනිල් LTTE සංවිධානය දෙකඩ කරා කියල පිළිගන්න එයාලට බැරි වුණා. එයාල 2005 මැතිවරණයෙ දි කරේ මොකක් ද...? LTTE සංවිධානයට විරුද්ධ රනිල් පරාද කරල LTTE සංවිධානයට මුදල් සහ වෙනත් පහසුකම් සපයපු මහින්ද රාජපක්ෂව දිනෙව්ව. ඒ වකවානුවෙන් අරඹපු ‘‘රනිල් භිතිකාව’’ මේ වෙද්දිත් අවුලවන්න සහයෝගය දක්වනව. හැබැයි එයාල තේරුම් ගන්නෙ නැහැ ඒ (තේරුම් ගන්නෙ නැතුවමත් නෙවෙයි හොඳේ) ‘‘රනිල් භීතිකාව’’ ම තමයි රනිල්ගෙ පැවැත්ම කියල.
 
 
විකල්පය කුමක් ද...?
 
 
lks
මාර්තු මාසෙන් පස්සෙ රටේ මිනිස්සු පාරට බැස්සෙ ඒ වෙද්දි තිබුණ, දැවැන්ත පීඩනයක් වුණ ගෑස්, කිරි පිටි සහ ඉන්ධන ගැටලුව නිසා කියල මුළු ලෝකෙම දන්නව. හැබැයි රාජපක්ෂ සනුහරයට මේ ගැටලු විසඳන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ. ඒ නිසානෙ බයේ පැනල ගියේ. එහෙම නැතිනම් තිබුණනෙ ‘‘නෑ අපි ඒ ගැටලු විසඳනව’’ කියල බය නැතුව ඉදිරිපත් වෙන්න. නමුත් ඒ සනුහරය මොකද කරේ... ආණ්ඩුව කාටහරි බාර දීල පැත්තකට වෙන්න තමයි උත්සාහ කරේ. එතනදි ගෝඨාභය ආණ්ඩුව බාරගන්න කියල ඉස්සෙල්ලම කිව්වෙ සජිත්ට. එයා ඉතිං කෝඳුරු තෙල් හත්පට්ටයකුත්තව ඩිංගක් නැතුව මේ ලෙඩේ සනීප කරන්න බෑ කියල පැත්තකට වුණා. ගොඨාභය අනුරටත් කතා කරානෙ. එයාලගෙ පක්ෂෙත් ‘‘නොකෙරෙන දිගෙ හෙවණැල්ලත් ඇදයි’’ කියන තියරිය දාල පැත්තකට වුණා. හරියට එදා සුනාමි සහන මණ්ඩලය පිට දාල ඇමතිකම් අත්හැරිය වගේ. අවසානෙදි තමයි රාජපක්ෂ සනුහරය තීරණය කරන්නෙ රනිල්ට රට බාර දෙන්න. එයා ඒ අභියෝගය බාරගත්ත. ඒ වගේ ම මේ වෙද්දි සියයට සියයක් නැතත් ඉන්ධන ප්‍රශ්නෙ විසඳිලා. ගැස් ප්‍රශ්නෙ විසඳිලා. වැඩි මුදලකට හරි (මේ තත්ත්වය හොඳ ම නෑ තමයි.) කිරිපිටි තියෙනවා. පියවරෙන් පියවර රටේ ආර්ථික ස්ථාවරය ගොඩනැගෙනවා. ඒත් රටේ බහුතරයක් මොකද කරන්නෙ...? ‘‘රනිල් එපා’’ කියල උද්ඝෝෂණය කරනවා. හැබැයි මේ කවුරුවත් විකල්පයක් යෝජනා කරන්නෙ නෑ. ඒ අස්සෙ මැතිවරණයකුත් ඉල්ලනව.
 

නොබෙදී එකතු වෙමු
 

දැන් කවුද මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙ...? අරගලේ හිටපු හැම දෙනා ම එක පක්ෂයකට එකතු වෙලා ද...? නෑ... අරගලයෙ හිටපු අයත් එක එක පක්ෂ හදාගෙන ඒ ඒ පක්ෂ දිනවන්න ට්‍රයි කරනව. හැබැයි නියම System Change එකක් නම් වෙන්න ඕනෙ ඒක ද...? නැහැනෙ... එහෙම නම් වෙන්න ඕනෙ අරගලයට සම්බන්ධ වෙච්ච හැම කෙනෙක් ම එක පක්ෂයක් වටා ගොඩනැගෙන එක. එතකොට තමයි System Change කරන්න පුළුවන්. දැන් මේ යන විදියට ගියොත් මොකද වෙන්නෙ...? අරගලයෙ හිටපු පොහොට්ටු හිතවාදියො හරි මහින්ද හිතවාදියො හරි ආයෙත් ඒ සනුහරේට ම එකතු වෙන එක නෙවෙයි ද...? සමගි ජනබල වේගෙ අය ඒ බලවේගයට එකතු වෙන එක නෙවෙයි ද...? ජවිපෙ හෙවත් ජාජබ එකේ පිරිස ඒ ගොඩට ම එකතු වෙන එක නෙවෙයි ද...? එහෙම වුණා ම System Change එකක් වෙයි ද...? නෑ... එහෙම System Change එකක් වෙන්නෙ නෑ. තියෙන ප්‍රගතිශීලි ඡන්ද ටිකත් නිෂ්ප්‍රයෝජන වෙන එකයි සිද්ධ වෙන්නෙ...
 
 
දැන් කෙනෙක් අහන්න පුළුවන් ‘‘එහෙම නම් අපි දැන් මොකද කරන්නෙ...?’’ කියල. ඔවු... කරන්න දෙයක් තියෙනව... ඒ තමයි අලුත් ම බලවේගයක් නිර්මාණය කරන එක. හැබැයි අර කලින් කිව්ව වගේ අරගලයෙ හිටපු අයත් කෑලි කෑලිවලට කැඩුණ වගේ නෙවෙයි. කැඩිල බිඳිල ගිය හැම කැල්ලක් ම එකතු කරල හදන්න පුළුවන් බලවේගයක් ගොඩනගන එක; ඒ බලවේගයට රටේ පාලනය බාර දෙන එක. 2022 අරගලකාරි වසරක් වුණා වගේ 2023 එකතු වීමේ වසරක් කරගන්නවා නම් System Change එක ඉතාම පහසුයි. හැබැයි පක්ෂ කිහිපයක් පිහිටවගෙන ඒ ඒ පක්ෂවලින් ඡන්දෙට ඉදිරිපත්වෙලා නම් කවදාවත් System Change එකක් කරන්න බැරිවේවි. පවතින පාලන තන්ත්‍රයත් ඔය පොඩි පොඩි පක්ෂ කෑලිවලට සෑහෙන සහයෝගයක් දේවි. මොකද බෙදි වෙන්වෙන තරමට ම පාලකයන්ට පහසු නිසා. ඒ නිසා බෙදෙන එක නවත්තල එකමුවෙමු; එකමුතු වෙලා System Change කරමු.
 


නීතිය බල්ලට ගිය රටක ජනතාවගේ නීතිය සාධාරණ ද...? - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/01/04   

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්