නව අමාත්‍යාංශ ලේකම්වරුන් ලවා ජනාධිපති ලේකම් සමන් ඒකනායක අත්සන් කරවා ගත් ගිවිසුම අනුව,

රාජ්‍ය  මූල්‍ය කළමනාකරණය, විෂය කාර්ය පලදායිතාව ආදි කරුණු පිළිබඳව අපේක්ෂිත කාර්යක්ෂමතාව පවත්වාගෙන විධිමත්ව යා යුතු වේ.

පැවරුණ වගකීම් ඉටු කිරිමට අසමත්වන ලේකම්වරුන් එකී තනතුරු වලින් ඉවත් කිරීමට නියමිත හෙයින් එකී නියමයන් ඉටු කිරීමට පසු කටයුතු පාරදෘශ්‍ය භාවයකින් යුක්තව සිදු කෙරෙන්නේදැයි ජනතාවට දැන ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රසිංහගේ නියමයෙන් අත්සන් කළ ගිවිසුම් කොන්දේසි ප්‍රසිද්ධ කිරීමට ජනාධිපති ලේකම්වරයා කඩිනමින් පියවර ගත යුතුවේ.

 

Saman Ekanayake

ජනාධිපති ලේකම් සමන් ඒකනායක

 

අධිකරණ සේවා කොමිෂන් සභාව දැනටමත් චක්‍ර ලේඛ මගින් පවරන ලද ඉලක්ක ඉටු කිරීමට අධිකරණ සේවා නිලධාරින් ක්‍රියා කරති.

පල් හොරුන් ඩීල් කාරයන් දූෂිතයන් ගහන වර්තමාන රාජ්‍ය සේවය පිළිබඳ ජනතාව තුළ කිසිදු තෘප්තියක් නැත. රාජ්‍ය නිලධාරින් තමන්ට රිසි සේ උසස්විම් සහ ජනප්‍රිය සේවා ස්ථානයන්හී රැඳී සිටිමේ අපේක්ෂාවෙන් පැවරුණ වගකිම් අමතක කොට ධනවතුන්ගේ හා දේශපලනඥයන්ගේ උවමනා ඉටු කරති. නැතිබැරි මිනිසාට ලැබෙන සමෘධි ආධාර ලේඛනය සැකසීමත් ප්‍රාදේශීය සභා කාරයන්ට භාරදීමත්, හිඟ විදුලි බිල්පත් නො ගෙවූ මැති ඇමතීන්ගේ සේවා විසන්ධි නො කිරීමටත් ශසී වීරවංශගේ වංචනිකගමන් බල පත්‍රය ගෙදරටම ගෙන ගොස් භාරදීමටත් රාජ්‍ය සේවයේ නම්බුකාරයන්ගේ තුට්ටු දෙකේ වැඩ වලින් කිහිපයක් පමණකි.

ලංවිම වෘත්තීය සමිති විදුලිය බිල්පත් මිල වැඩි කළොත් බිල්පත් නො ගෙවන පාරිභෝගිකයන්ගේ විදුලිය සේවා විසන්ධි නො කරන බවට ආණ්ඩුවට කරන තර්ජනය ඉහතින් දැක්වූ ලෙස තම වාසියට කරමින් සිටි තක්කඩිකමට ජනතාවගේ අනුමැතිය ලබා ගැනීමට තැත් කිරීමක් පමණකි. ඒ හරහා පාඩු ලබන ලංවිම ආදායම තවදුරටත් අවමවූ පසුබිමක සේවක වැටුප් සහ අතිකාල ලබා දීමට ආයතනික ව්‍යුහයක් ඉතිරි වේදැයි ඔවුන් කල්පනා කළ නො කරති. මේ ආකාරයට රාජ්‍ය යාන්ත්‍රණය ගිලගත් වෘත්තිය සමිති මාෆීයාවට තවදුරටත් පටු අරමුණු වෙනුවෙන් රටේ ආර්ථිකය සහ ජන ජීවිතය වැනසීමට ඉඩ දෙනවාද යන්න ජනාධිපති වික්‍රමසිංහ පමණක් නොව රටේ ජනතාවද කල්පනා කළ යුතුවේ.

අතිරික්ත රාජ්‍ය සේවා බලකාය අවම කොට, රටේ විරැකියාවට පිළියම් යෙදීමට 60න් විශ්‍රාම ගැන්වීමට එරෙහිව දුම්රිය සේවකයන් ධාවන වාර ගණන අඩු කර ජනතාවට රිද්දවති. අවශ්‍ය සේවක සංඛ්‍යා බඳවා ගැනීමට දුම්රිය බලධාරින් සිදුකළ සම්මුඛ පරීක්ෂණයේදී 16 දෙනෙකු සමාන ලකුණු ලබා සීටීම හේතුවෙන් අදාළ පත්වීම් පමාවීම කවට අන්දරේගේ විහිළුවකටත් වඩා වනජිවි ගැසට් පත්‍ර සිය ගණනකින් කිහිපයක පැවති ගැටළු නිසා නිවැරදි රෙගුලාසි හෝ ක්‍රියාත්මක නොකළ බව ජනාධිපති වික්‍රමසිංහ හමුවේ කියා සිටීමට සමාන ය. 

 

කුඩු කසිප්පු ජාවාරමුන්ගේ උදව්වෙන් ඉහළ තනතුරු ලබාගත් රාජ්‍ය සේවයේ එහෙයියන් නිසා මේ විඳ වන්නේ දෙ කෝටි විසි ලක්ෂයක් රටේ ජනතාව නොවේද? එළඹුණාය කියන ගිවිසුම් ප්‍රසිද්ධ කිරීමෙන් එකී ලේකම්වරුන්ගේ පලදායිතාව අධික්ෂණය කිරීමට බදු ගෙවන ජනතාවට අවස්ථාව ලබා දිය යුතු වන්නේ මේ නිසාය. 

 

පසුගිය දෙසැම්බර් 22 දින නුවරඑළියේදී තම කාර්යාල භූමිය නාය යාමට ආසන්න නිසා කඩිනමින් අසල වසා ඇති රජයේ ගොඩනැගිල්ලක් ලබා දෙන ලෙස ප්‍රසිද්ධියේ කළ ඉල්ලීම ප්‍රාදේශීය පාලනයේ බිඳ වැටීමට උදාහරණයකි. වහා ඊට පිළියම් කළ ජනාධිපති වික්‍රමසිංහ, මෙවැනි ප්‍රාදේශීය ගැටළු ජනාධිපති හෝ ඇමතිවරුන් කොළඹින් පැමිණ විසඳන තෙක් බලා නොසිටින ලෙස තරවට්ටු කළේය.  එදා ඒ සාකච්ඡාවට ජනාධිපති නොගියා නම් එකී කාර්යාල භූමිය නාය යන තෙක් එසේම පවතිනු ඇත. මාධ්‍ය හරහා මේ විකාරය නිරික්ෂණය කළ මා මිත්‍ර විශ්‍රාමික දිසාපතිවරයෙකු කච්චේරිවල කලක් මාසිකව කැඳවූ දිස්ත්‍රික් සම්බන්ධිකාරක කමිටු දැන් නො පැවැත්වෙන්නේදැයි මගෙන් විමසා මේ තත්වය සිය සංවේගය පළ කළේය.

 

RW 23

ජනවාරි  02 දින සිය කාර්ය මණ්ඩලය අමතන ජනාධිපතිවරයා

 

ජනවාරි  02 දින සිය කාර්ය මණ්ඩලය ඇමතූ ජනාධිපතිවරයා “මුළු ආණ්ඩුවම එකක් වන හෙයින් තවදුරටත් කඹ ඇදිලි නො පැවතිය යුතු බවට කළ ප්‍රකාශයට  නුවරඑළිය සිද්ධියත් හේතු වුණා විය හැකිය.

 

සෝල්බරි ව්‍යවස්ථා පාලන කාලයේ පුරවැසියෙකුට වෙත රජයේ ආයතනයකින් යොමු කෙරෙන හැම ලිපියක් අවසානයේම එකී කරුණු සහතික කරන නිලධාරින් අත්සන් කළේ මීට ඔබේ යටහත් සේවක යනුවෙන් තමන් හඳුන්වා ගනිමිනි. ඒ යුගයේ නිලධාරින් වෙත යොමු කළ හැම ලිපියක්ම ලැබුණ බව පළමුව දන්වා සිටීමටත් අදාළ පිළිතුර හෝ ප්‍රතිකර්මය දෙසතියකින් ලබාදීමත් රාජ්‍ය සේවයට අනිවාර්ය  විය. ජනරජ ව්‍යවස්ථාව රජයේ සේවකයා නිලධාරියා කොට බදු ගෙවන පුරවැසියා අතවැස්සන් බවට පත් කළේ ජරා දේශපාලනය විසිනි. අදවන තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ව්‍යවස්ථාදායකය ජනතාව වෙත හිමිකළ තොරතුරු දැන ගැනීමේ අයිතියද බොහෝ රාජ්‍ය නිලධාරින් තමන්ගේ අයිතියක් කරගෙන හමාරය. වර්තමාන රාජ්‍ය සේවය රටේ ආණ්ඩුවට එරෙහි සංවිධානාත්මක ජාවාරමකි. ජනාධිපති ලේකම් වරයා ලවා ගිවිසුමකින් ඇති කිරිමට ජනාධිපති වික්‍රමසිංහ, ක්‍රියා කළේ ඒ නිසා විය හැකිය. මේ සමග රාජ්‍ය සේවය විසින් පැහැර හරින ලද අතීත ක්‍රියාකාරකම් සොයා වහා පිළියම් යෙදිය යුතු බව සාමාන්‍ය ජනතාවගේ අපේක්ෂාවය.

 

ගංනොරුව ගැටඹේ ප්‍රදේශයේ මහවැලි ගඟ මැද දූපත් කිහිපයක ධනවතුන් අනවසර ඉදි කිරිම් සිදු කර විවිධ ව්‍යාපාර කරන බවට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර කමිටු රැස්වීමේදී චෝදනා කළ බව 2021 ජනවාරි 31 වෙනිදා ඉරිදා ලංකාදිප පත්‍රයේ මැදරට අතිරේකයේ පළවිය.  

අකුරණ ප්‍රදේශයේ පිඟාඔය දෙපස අනවසර ඉදි කිරිම් නිසා සුළු වැස්සකදීත් ඒ නවය පාරේ ඇතිවන ගංවතුර තත්වය ගැන ඒ පුවත්පතේ වාර්තා වේ. මහනුවර සිට යාපනේ තෙක් ජීවත්වන ජනතාගේ මාර්ග අයිතිය අහිමි කිරීම ජාතික ප්‍රශ්නයකි.  2021 ජනවාරි 31 වෙනිදා 'ඉරිදා ලංකාදීප'යේම මහවැලි ගඟට ප්ලාස්ටික් අප ද්‍රව්‍ය බැහැර කිරීම නිසා වික්ටෝරියා ජලාශයේ ටර්බයින් යන්ත්‍රවලට හානි සිදුවන බව කාර් භාර  ඉංජිනේරු  වසන්ත ඇහැලපිටිය කළ අනතුරු ඇඟවීමක්ද දැක්වේ.

මේ වාර්තා පළවී  වසර දෙකක් ගෙවී ගොස් ඇතද බලධාරින් කිසිදු පියවරක් නො ගත් බව පසුගිය දෙ සතියේත් අඛණ්ඩව අකුරණ පාර ජලයෙන් යටවී වාහන පවා ගසාගෙන යාම පිළිබඳ පළවූ මාධ්‍ය වාර්තාවලින් තහවුරු වේ.

 

අලුතින් පත් කළ අමාත්‍යාංශ ලේකම් වරුන් සමග ඇති කරගත් ගිවිසුමේ පලදායිතාව විමසීමට හය මසක් ගත වුවද 2021 ජනවාරියේ වාර්තාවූ ඉහත කී ජාතික අනර්ථයන් ගැන දිසාපතිවරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් ගත් ක්‍රියාමාර්ග කඩිනමින් විමසා අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලය ක්‍රියා කළ  යුතුවේ.  2023 ජනවාරි 2 වෙනිදා මුළු ආණ්ඩුවම එකයි යනුවෙන් ජනාධිපති වික්‍රමසිංහ කළ ප්‍රකාශය අතීතයට බලපාන ආකාරයට ක්‍රියාත්මක කිරීමේ වගකීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක දැරිය යුතුවේ.

 

එසේම 2021 ජනවාරි 31 වෙනිදා ඉරිදා ලංකාදිප පත්‍රයේ මැදරට අතිරේකයේම පළවූ වලගම්බා යුගයට අයත් වසර හාර සියක් පැරණි අමුණක්ද විනාස කරමින් මාතලේ මන්දන්ඩාවෙල ප්‍රදේශයේ අඩි පාරකට කෝටි හතරක් වැය කර අඩි 12ක් පළල පාලමක් ඉදි කළ බව වාර්තාවේ. එකී වාර්තාව අනුව, අවුරුදු 400ක් පැරණි අමුණ හරස්ගම ගොවින් සතුය. පාලමට වැය කළ කෝටි හතරක මුදල රටේ ජනතාව සතුවේ. සිදු කර ඇත්තේ ජාතික අපරාධයකි.

මේ සතියේ තවත් ලංකාදීප වාර්තාවක් අනුව, හිර කාරයන් 2000ක් නිදහස් කිරීමෙන් ඉතිරිවන කෝටි 80ක මුදල මන්ද පෝෂණයෙන් පෙළෙන කුඩා දරුවන්ට යෙදවීමට යෝජනා කරන රජයේ වෛද්‍ය නිලධාරින් පිරිස රට වෙනුවෙන් කළ යුත්තේ හිරකරුවන් නිදහස් කරවීමද? මේ දුෂ්කර අවස්ථාවේත් රාජ්‍ය සේවයේ බහුතරය නුහුරට කල්පනා කිරීම මහා අපරාධයකි. 

Kandy Rain 750x375

මහනුවර දුම්රිය ස්ථානයට බල පෑ හදිසි ගංවතුරු තත්වය  නිසා දුම්රිය සේවය පවා අඩාල විය. මේ සම්බන්ධව ජනාධිපති ලේකම් වරයාට මහනුවර බලධාරින් වාර්තා කළේ පැරණි බෝගම්බර වැව පිහිටි ප්‍රදේශයේ දුම්රිය ස්ථානය පිහිටි නිසා ගංවතුර තත්වය ඇතිවූ බවය. එහෙත් සත්‍යම හේතුව ස්වාභාවික ඇල මාර්ග අවහිර කරමින් ගොඩනැගිලි ඉදි කිරිමය. 2020 සැප්තැම්බරයේ බූවැලිකඩ කුණු ඇළක් වසා ඉදි කළ මහල් නිවාසයක් නාය යාමෙන් නිවාස ගණනාවක්  සමග මිනිස් ජීවිත රැසක් විනාශ විය. පාරිසරික වශයෙන් ඉතා සංවේදි කලාපයක පිහිටි මහනුවර ඓතිහාසික නගරයේ ආරක්ෂාවට නාගරික පරිපාලනයෙන් ඇතිවන තර්ජනය සුළුපටු නොවේ.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපතිව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර වසර දෙකකට පෙර නැගූ චෝදනාවල අලුත් තත්වය ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ බවක් වාර්තා නොවේ. දූෂිතයන් සහ දූෂිත  ව්‍යාපාර ආරක්ෂාව සඳහා යටි බිම්ගතව එළා ඇති දැළින් බේරී ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට දේශපාලනඥයන් පවා අසමත් වේ. මහනුවර නාගරික සීමාවට බද්ධ වික්ටෝරියා ජල පෝෂක ප්‍රදේශයෙහි ඉදි කළ අතුරු මාර්ග කෙතෙක්ද? රටේ ප්‍රගතියට මෙන්ම ආරක්ෂාවටද එරෙහිව රාජ්‍ය සේවා ආකල්ප වෙනස් කළ යුතුවේ.

 

පාඩු ලබන ආයතන බෝනස් නො ගෙවිය යුතු බවට රාජ්‍ය මට්ටමෙන් ගත් දැඩි තීරණයට පටහැනිව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝටි 120කද, ශ්‍රී ලන්කන් ගුවන් සේවය කෝටි 58කද බෝනස් ගෙවීම ගැන ජනාධිපති වික්‍රමසිංහ නිදහසට කරුණු විමසීම මහා ආන්දොලනයකට මුල්වී ඇත. මෙය  බරපතල මූල්‍ය විෂමාචාරයකි. එක් ආයතනයක් ගෙවා ඇත්තේ බෝනස් නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් අනුව වර්ෂයේ 13 වෙනි මාසයේ වැටුප ය. 13 වෙනි මාසය කිසිදු ලිත් කැලැන්ඩරයක අදටත් නො දැක්වේ. එක් දිනක් යනු ඔරලෝසු පැය 24ක්  වුවද, ලංකාවේ වරාය අධිකාරියේ ඉරිදා දිනයට පැය 80ක අතිකාල දීමනා ගෙවනු ලැබේ. ජාතික දේපල විකිණිමට එරෙහිව බසින වෘත්තිය සමිති තම වාසියේදී සිය හෘදය සාක්ෂියටවත්  අවනත නැත. අධිකරණ නියෝගයකට මුවා වි බිත්තර මිල අහස උසට වැඩිවීමෙන් පීඩා විඳීන ජනතාව කියන කතා සටහන් කිරීමට නීනියෙන් තහනම්ය. මාස ගණනක් අක්‍රියව පැවති සපුගස්කන්ද තෙල් පිරිපදුව කෝටි ගණනක් අතිකාල ලබා ගත් මේ වෘත්තිය සමිති රටේ ඉහළ ගිය බිත්තර මිල නිසා ජනතාවට ඇතිවූ පාඩුව වෙනුවෙන්ද විදි බැස අරගල කරති. රට අස්ථාවරව ඇත්තේ දේශපාලනිකව නොවේ. රාජ්‍ය සේවය හා වෘත්තිය සමිති මාෆියාව නිසාය.

 

ලංවිම පාඩු කතා අතර, රාජ්‍ය ආයතන රුපියල් කෝටි 250ක් විදුලි බිල් ගෙවා නැති බව කියැවේ. ලංවිමයද රජයේ ආයතනයක් වීම හේතුවෙන් එකී ආයතනවලට සපයන සේවා විසන්ධි නො කරයි නම් අප තේරුම් ගත යුත්තේ මුදලට සේවා සපයන ලංවිම, ඛණිජ තෙල් සංස්ථාව ආදි ව්‍යාපාරික ආයතන භාර නිලධාරින්ට සුරුට්ටු කඩ මුදලාලිලාට ඇති තරමට හෝ ව්‍යාපාරික ඥානයක් නැති බවය. වර්ජන තර්ජන වෘත්තීය සමිති ක්‍රියා මාර්ග සහ අරගලයට බල වෙලා නම් රට වැටුණතැනින් ගොඩ ගැනීමට ශක්‍රයාටවත් බැරිය. වංචාව දූෂණය ගැන තමන්ද නියෝජනය කරන පාර්ලිමේන්තුවේ 225 දෙනාට විපක්ෂය චෝදනා කරන විපක්ෂයේ දේශපාලනඥයන් රාජ්‍ය සේවය ගිලගත් මේ මහා වෘත්තිය මාෆියාව ගැන ගොලු ගායෙන් පසුවේ.

මේ සියලු අභියෝග හමුවේ ජනප්‍රිය මතයට පිටුපා රට වෙනුවෙන් පෙනී සිටින බවට ජාතියට සපත කළ ජනාධිපති වික්‍රමසිංහගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තක්සේරු කළ යුත්තේ මැතිවරණයකින් නොවේ. ගෙවුන වසර 45ක් ජනාධිපති ලේකම් ධුර දැරූ  දහ දෙනා ගෙන් රාජපක්ෂලා තෝරා පත් කරගත් තිදෙනාම රටට හානි සිදු කළ මූල්‍ය වංචා චෝදනා පිළිබඳව අධිකරණයෙහි චෝදනා ලැබ සිටියෝ වෙති. ඔවුන්  අමාත්‍යාංශ ලේකම්වරුන් සතු මූල්‍ය බලය ජනාධිපතිට හෝ පවරා නැතිබව නො දත් බබාලා ලෙස හැසිරි ඇති බව වර්තමාන ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ආදරයෙන් සිහිපත් කළ යුතුවේ.


පශ්චාත් නූතන අරගලයේ නොවැම්බර් විලාපය - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි.)



 320723070 553561629955212 5233208659897488127 n
 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්