උදෑසන ආහාර වේලට යමක් කුසට දාගෙන, දිවා ආහාර වේලත් අසීරුවෙන් සකසාගෙන,
රාත්‍රී ආහාර වේල සරිකරගන්නෙ කොහොමද කියල හිතන අතර තම තමන්ගේ රාජකාරි කරන්න මිනිස්සුන්නට සිද්ධ වෙලා තියෙන අවධියක පොතක් ගැන කතා-බහ කෙරෙන තැනකට ඇවිත් අදාළ පොත ගැන එක් එක් පාඨකයා හෝ පාඨකාව දරණ අදහස් දැනගන්න වගේ ම තමන්ගෙ අදහස ප්‍රකාශ කරන්න ගොනු වෙනව කියන්නෙ ම මේ අවධියෙ ඉතා අගය කළ යුතු කටයුත්තක්.
ප්‍රභාත් ජයසිංහ
‘‘පොත් කියවන හැන්දෑව’’ කියන්නෙත් එහෙම වටින වැඩක්. පසුගිය 12වෙනිද පැවතුණේ මේ වැඩසටහනේ සිවුවන අදියර. එතනදි සාකච්ඡාවට බඳුන් කරේ ප්‍රභාත් ජයසිංහ විසින් රචිත ‘‘පස් ලෝ’’ කෙටිකතා සංග්‍රහය. සම්පත් දායක දායිකාවො විදියට සම්බන්ධ වුණේ: චූලානන්ද සමරනායක, නලින් එන් කාරියවසම්, කාංචනා ප්‍රියකාන්ත, සිසිර මහගමගේ සහ කතුවර ප්‍රභාත් ජයසිංහ.
මට දැනුණ දෙයක් තමයි මේ සමස්ත සාකච්ඡාව ම කේන්ද්‍ර වෙලා තිබුණෙ කෘතියේ අන්තර්ගත සහ කෘතියට නම් තබා තියෙන ‘‘පස් ලෝ’’ කෙටි කතාව සම්බන්ධයෙන්. ඒක නොවැදගත් කියල මම අදහස් කරන්නෙ නෑ. නමුත් මගේ අදහ තමයි ඒ සාකච්ඡාවෙදි කෘතියේ අන්තර්ගත අනෙක් නිර්මාණ පිළිබඳව අවධානය යොමු වුණා මදි කියල. මම මෙතනදි ප්‍රකාශ කරන්නෙ ඒ කෘතිය මම කියවාගත්තු විදිය පාදක කරගෙන. එතනදි අනකාගේ අදහස් සමග පරස්පරතාවක් එන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. ඒ පදනමේ ඉඳගෙන මම යමක් ලියන්නම්.
මහගමගේ දැක්ම සහ මගේ දැක්ම

සිසිර මහගම එයාගෙ අදහස් දක්වද්දි යම් ආකාරයකට ‘‘පස් ලෝ’’ නිර්මාණය හැර අනෙක් නිර්මාණ පිළිබදවත් කෙටි අවධානයක් යොමු කළා. හැබැයි වැඩි අවධානයක් යොමු කළේ ‘‘පස් ලෝ’’ නිර්මාණයට. ඒ අතර ‘‘ස්ටොක් හෝම්’’ නිර්මාණය පිළිබඳව තරමක ගැඹුරු කියවීමක් තිබුණ. නමුත් ඔහු එතනදි වැඩි අවධානයක් යොමු කරේ දැනට පවතින ‘‘ඉන්ටර් නැෂනල් ස්කුල්’’ උන්මාදය ගැන. මේ සම්බන්ධයෙන් ඉතා රසවත් වගේ ම යම් සමාජමය කියවිමක් සහිත ටෙලි නිර්මාණයක් ස්වාධින රුපවාහිනියෙ විකාශනය වුණා. ඒක නම් කරල තිබුණෙ ‘‘ඉන්ටර් නැසනල්’’ කියල. ඒ කියන්නෙ තිර රචකයා ‘‘නැෂනල්’’ කියන වචනෙ හිතා මතා ම ‘‘නැසනල්’’ යනුවෙන් යොදල තිබුණ. ඒ නාට්‍යයේ දෙවන කොටසකුත් විකාශනය වුණා. නමුත් ඒක පළමු කොටස තරම් සාර්ථක වුණේ නෑ. මේ සම්බන්ධයෙන් මම විචාර දෙකක් මේ වෙබ් අඩවියට ම ලිව්ව. කැමති නම් ඒකත් මේ එක්ක ම කියව ගන්න පුළුවන්.
සිසිර මහගම ඒ විදියට ‘‘ස්ටොක් හෝම්’’ දකිද්දි මට හැඟුණෙ වෙනත් විදියකට. ඒ කියන්නෙ International School නෙවෙයි විදෙස් පාසලකට යවල අධ්‍යාපනය දුන්නත් අවසානෙදි දකින්න ලැබෙන්නෙ දෙමාපියන් බලාපොරොත්තු වෙන දරුව නොවෙයි කියන එක. තවත් සරලව ම කියනව නම් ඒ දරුව යන්නෙ අනෙක් අයට වුවමනා පාරෙ නෙවෙයි තමන්ගෙ ම පාරක කියන එක. හැබැයි මේ විදියට තමන්ගෙ ම පාරක යන්න අත දෙන දෙමව්පියෝ විතරක් නෙවෙයි ගුරුවරුත් අද නැහැ. මොකද ඒ හැම කෙනෙක් ම උත්සාහ කරන්නෙ ඒ අයගෙ සිහින දරුවො ලවා සැබෑ කරව ගන්න. නමුත් ඒක ඉතාමත් අසාර්ථක වැඩක් කියන එක මේ ‘‘ස්ටොක් හෝම්’’ නිර්මාණය ඇතුළෙ අපිට පෙන්නල දෙනව. ඒ වගේ ම එහෙම වෙනත් දක්ෂතා තියෙන පුද්ගලයෙක් හඳුනාගන්න පුළුවන් පුද්ගලයෙක් දෙන්නෙක් හරි ඉන්න එක ඒ වගේ පුද්ගලයෙකුට මොන තරම් වටිනව ද කියන කාරණයත් මෙතනදි මතු වෙනව.
ස්ටොක්හෝම් ගැන කාංචනාගෙ කියවීම

කාංචනා ප්‍රියකාන්තගෙ අදහස් දැක්වීම තුළ මට හැඟුණෙ ඇය ප්‍රින්ස් සේනාධීර විසින් රචිත ‘‘කළු උස මනුස්සයෙක්’’ කෘතිය කියවපු තරම් හොඳින් ‘‘පස් ලෝ’’ කියවල නැහැ වගේ. සමහර විට ඒ මම දකින විදිය වෙන්නත් පුළුවන්. මොකද ඇය ම කියනව නිර්මාණයක් රස විඳිද්දි විවිධ අය විවිධ විදියට ඒක රස විඳිනව කියල. ඇත්ත... මම ඒකට එකඟයි.
ඇගේ අවධානය වැඩි පුර යොමු වෙලා තිබුණෙ ‘‘ස්ටොක් හෝම්’’ නිර්මාණය ගැන. ඒක සමහර විට ඇගේ පුද්ගලික අත්දැකීම් එක්ක ම තියෙන සම්බන්ධය වෙන්න පුළුවන්.
හැබැයි මෙතනදි ඇය වෙනස් සහ සැඟවුණ කාරණයක් මතු කරා. ඒ තමයි සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කරපු නිසා අපිට ඇත්තට ම අහිමි වුණේ මොනව ද කියන එක. හුඟක් අය කියන්නෙ අපිට ඉංග්‍රීසි අධ්‍යාපනය, එහෙමත් නැතිනම් ඉංග්‍රීසි දැනුම අහිමි වුණා කියල නෙ... නමුත් කාංචනා ඒ මානය ඊට වඩා ටිකක් ඈතින් අල්ලනව. ඒ කියන්නෙ සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කරපු නිසා අපිට අහිමි වුණේ භාෂාව පමණක් නොවයි සමස්ත දැනුම් පද්ධතියක් කියන කාරණය. ඒ වගේ ම ඇය මතු කරපු තවත් කාරණයක් තමයි පහළ පංතියට දැනටත් ඉංග්‍රීසි දැනුම ලබාගන්න තියෙන අපහසුතාව. ඒ වගේ ම International School ගිය පමණින් ම ඉංග්‍රිසි ගැන පූර්ණ දැනුමක් ලබාගන්න බැහැ කියන එක. ඒක ඇය සිය ජීවියෙන් ම ලබපු අත්දැකීමක් නිසා ඒ ගැන අනෙකාට දනවන්න පහසු වෙනව.
නලින් දුටු සාපේක්ෂතාව

මේ සාකච්ඡාවෙදි අදහස් දක්වපු නලින් එන්. කාරියවසම් සමස්ත කෘතිය පිළිබඳව ම ඉතා අපූරු කියවීමක් ඉදිරිපත් කරා. විශේෂයෙන් ම ‘‘පස් ලෝ’’ නිර්මාණය පිළිබඳ ඔහුගෙ කියවීම අනෙක් දෙදෙනාගෙ කියවීමට වඩා වෙනස්; වෙනස් වගේ ම ගැඹුරුයි. මං මේ ගැඹුරුයි කිව්වෙ හාමුදුරුවො ශික්ෂණයට පත් කරල තියෙන්නෙ කවුද, එහෙම කිරීමෙන් ප්‍රයෝජන ගන්නෙ කවුද, ඒ අතර ශික්ෂණයට ලක් වෙලා කියල ලෝකයා හිතාගෙන ඉන්න කෙනාගෙ අභ්‍යන්තරය වැඩ කරන්නෙ කොහොමද කියන එක ගැන නලින් ඉතා මැනවින් කියවල තිබුණ. ඒ වගේ ම ‘‘හොඳ - නරක’’ යන දෙකේ සාපේක්ෂතාව පිළිබදවත් ඔහු නිවැරැදිව කියවල තිබුණා. එතනදි මතු කරපු වැදගත් ම කාරණය තමයි පිළිම හොරකමට පෙර ධම්කිත්ති සහ පසු ධම්මකිත්ති ලොකු හාමුදුරුවන්ට දැනෙන්නෙ කොහොමද...? ඒ වගේ ම පිළිම හොරකමට පෙර ධම්මදින්න සහ පසු ධම්මදින්න ලොකු හාමුදුරුවන්ට දැනෙන්නෙ කොහොමද...? මෙන්න මෙතනදි මතුවෙන්නෙ ම සාපේක්ෂතාව. ඒ කියන්නෙ ප්‍රභාකරන් කෙනෙකුට හතුරෙක් වෙද්දි තවත් කෙනෙකුට දෙවියෙක් වුණේ කොහොමද කියන කාරණය මෙතනදි උදාහරණයක් විදියට ගන්න පුළුවන්.
මේ සිද්ධිය ම පාදක කරගෙන ප්‍රියදර්ශන දයාරත්න මතු කරපු කාරණය ගැන අවධානය යොමු කරද්දි මට හැඟුණ දෙයක් මම මෙතනදි මතු කරන්නම්. ‘‘පස් ලෝ’’ කියවල ඉන්න අතරතුර තමයි සේපාල් අමරසිංහ අත්අඩංගුවට ගන්නෙ. ඔහු අත්අඩංගුවට ගත්තට පස්සෙ මේ රටේ මාධ්‍ය බොහොමයක් ඔහු දිහා බලන විදිය ගැන ටිකක් හිතන්න. අපි දන්නව සේපාල් 2019 ජනාධිපතිවරණයෙදි වගේ ම 2020 මහ මැතිවරණයෙදි අරගෙන ගියපු ලොකු ප්‍රචාරයක් තමයි ඡන්දදෙ කුරුටු ගාන්න කියන එක. ඒ ප්‍රචාරණයේ වාසිය ගත්තෙ කවුද...? එහෙම වාසිය ගත්ත අය වෙනුවෙන් එදා පෙනී හිටපු මාධ්‍ය අද සේපාල් ගැන දරන අදහස කොහොම ද...? ඔහු ගැන ප්‍රචාරය කරන අදහස් කොහොම ද...? ඒකත් අර පිළිම හොරකමට පෙර සහ පසුව ධම්ම කිත්ති හාමුදුරුවො ගැන සහ පිළිම හොරකමට පෙර සහ පසුව ධම්ම දින්න හාමුදුරුවො ගැන ලොකු හාමුදුරුවො දක්වන අදහස්වලට සමානයි. එතුළින් වඩාත් ගම්‍ය කරන්නෙ නිශ්චිත හොඳ හෝ නරක කියල දෙයක් නෑ. ඒ වගේ ම නිශ්චිත හොද හෝ නරක පුද්ගලයො නෑ කියන යථාර්ථය නේද...? මං හිතන්නෙ නිර්මාණයක් තුළින් අපි කියවා ගන්න වුවමනා මෙන්න මේ වගේ කාරණා කියල.
කියවා අවසන් කළ නොහැකි නිර්මාණ
සාකච්ඡාවට සම්බන්ධ වුණ පාඨකාවකගෙනුත් වෙනස් අදහසක් ප්‍රකාශ වුණා. ඒ තමයි ‘‘තාත්තා ඇවිත් ගියාට පස්සෙ’’ නමැති නිර්මාණයේ අවසන් වාක්‍ය; වරහන් ඇතුළෙ තියෙන අවසන් වාක්‍ය. මට හැඟුණ විදියට නම් ඒක වෙනස් කියවීමක්. ඇය කියවීම අරඹන්නෙ ඒ අවසානයෙන්. ඒ කියන්නෙ ඇයට අනුව කෙටිකතාව අවසන් නැහැ. ඔවු... කෙටිකතා කියන්නෙ එහෙම කියවල අවසන් කරන්න පුළුවන් නිර්මාණයක් නෙවෙයි. අනුරසිරි හෙට්ටිගේ විසින් රචිත ‘‘මැරින් ඩ්රයිව්’’ කෘතිය පිලිබඳව මගේ කියවිම ලියද්දි මම මේ ගැන සඳහන් කළා. ඇත්තට ම අපි අපේ කියවීම ඒ විදියට වෙනස් කරගන්නව නම් ඒක හුඟක් වැදගත්. හැබැයි ඒක කරන්න පුළුවන් පුහුණු පාඨක ප්‍රජාවකට විතරයි.

චූලානන්ද සමරනායකත් මේ කෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වන්න නියමිත වෙලා තිබුණ. ඒ වගේ ම ඔහු පැමිණියා. නමුත් මම නම් දැක්කෙ ඔහු තමන්ගෙ වගකීම අතපසු කරා කියල. ඔහු කරපු අතපසු කිරීම කවුරුවත් ගැඹුරෙන් සැලකුවෙ නැද්ද එහෙම නැතිනම් ඒක නොපෙන්වා හිටියද මම දන්නෙ නැහැ. නමුත් ඔහු ඉතාම බරපතළ විදියට තමන්ගෙ වගකීම අතපසු කරල තිබුණ. ඔහුගෙම වචනවලින් කියනව නම් ඔහු එතැනට පැමිණෙනතුරු ම එදා කතා කරන්නෙ ‘‘පස් ලෝ’’ කෘතිය ගැන කියල දැනගෙන ඉඳල නෑ. එහෙම නැත්නම් ඒ පිළිබඳ නිවැරැදි අවධානයක් යොමු කරල නෑ. ඔහු සුදානම් වෙලා ඇවිත් තිබුණෙ ප්‍රභාත් ජයසිංහගෙ ම ‘‘රස පොළොව’’ කෘතිය පිළිබද අදහස් දක්වන්න.
ඇත්තට ම මෙතන වැරැදුණේ කාට ද...? මගේ අදහස නම් මේ සම්බන්ධයෙන් චුලානන්ද වගේ ම සංවිධායක පිරිසත් වගකියන්න ඕන. මොකද චුලානන්ද ම කිව්ව මං ඔය ෆේස්බුක් දැන්වීම් මොනවත් බැලුවෙ නැ කියල. ඒ කියන්නෙ චූලානන්දට Whatsapp දැන්විමත් ලැබුණෙ නැද්ද. එයාට කවුරු හරි එක වතාවක් කතා කරල වැඩේ ගැන කිව්වම එයා අදහස් කරේ ‘‘රස පොළොව’’ ගැනයි කතා කරන්නෙ කියල. ඊට පස්සෙ එයා සංවිධායකයො එක්ක කතා කරෙත් නෑ, සංවිධායකයො එයා එක්ක කතා කරෙත් නෑ. සමහර විට එහෙම වෙන්න ඇත්තතෙ දෙපාර්ශ්වයට ම දෙපාර්ශවය ගැන තිබුණ අන්‍යෝන්‍ය විශ්වාසය වෙන්න ඇති. නමුත් සිද්ධ වුණේ මොකක් ද...?
මං හිතන්නෙ මේ සිද්ධිය අපි සුළුවෙන් සලකල ඉවත දාන්න හොඳ නෑ. මිනිස්සුන්ට වැරැදීම් වෙනව; අතපසුවිම් වෙනව. නමුත් මං හිතන්නෙ මේ දෙපාර්ශ්වය ම මීට වඩා මේ ගැන උනන්දු වුණා නම් මෙහෙම දෙයක් සිද්ධ නොවෙන්න ඉඩ තිබුණ. චුලානන්දට වගේ ම සංවිධායකයන්ට වගකීමක් තිබුණ දෙපාර්ශ්වය එකඟතාවකට ආවට පස්සෙ නැවත වතාවක් අදහස් හුවමාරු කරගන්න. එහෙම වුණා නම් ඉතා කෙටි කාලෙකදි හරි මේ වැරැද්ද නිවැරැදි කරගන්න තිබුණ. ඒ නිසා ආයෙ මේ වගේ අතපසුවීම් නොවෙන්න වගබලාගන්නව නම් ඒක අදාළ සාකච්ඡාවට සහභාගි වෙන අයට කරන ගෞවයක් විදියටයි මං සලකන්නෙ. මොකද සමහර අය එන්නෙ අදාළ කාතියට තියෙන කැමැත්තකින් නොවයි; අදාළ කාතිය ගැන තමන් කැමති පුද්ගලයෙක් දක්වන අදහස් දැනගන්න තියෙන වුවමනාවෙන්. විශේෂයෙන් ම චූලානන්ද දක්වන අදහස් පිළිබඳ කැමැත්තෙන්. ඉතිං මෙහෙම සිද්ධි වුනාම අසාධාරනයට ලක්වෙන්නෙ ඒ එන පුද්ගලය.
දැන් මේ හැමෝම ගැන කතා කරාට ‘‘පස් ලෝ’කෘතිය පිළිබඳ මගේ අදහස ලිව්වෙ හරි කිව්වෙ හරි නැහැනෙ කියල කවුරු හරි අහන්න පුළුවන්. මොකද මම ප්‍රින්ස්ගෙ පොත ගැන, පොත නිකුත් වුණ දවස්වල ම ලියල තිබුණ නිසා ඒ ගැන ගැටලුවක් නෑ. හැබැයි මම ‘‘පස් ලෝ’’ මිලදී ගත්තෙ සහ කියෙව්වෙ මේ සාකච්ඡාවට සහභාගි වෙන්න ම වුවමනා නිසා. පොත කියවන්න කාලය වෙන් කරාට ලියන්න කාලය වෙන් කරන්න බැරි වුණා. නමුත් නුදුරු දිනකම මම මගේ කියවීම ලියන්නම්. එහෙම වුනත් ඉතා කෙටියෙන් යමක් කියන්න ඕන. ඒ කියන්නෙ මම මීට කලින් කියවපු ප්‍රභාත්ගෙ කෙටිකතා සංග්‍රහ එක්ක බලද්දි මේ කෘතිය ඉදිරියෙන් තියෙන්නෙ කතා ඉදිරිපත් කරන ක්‍රමයෙ විතරයි. ඒ හැරුණම අනෙක් කෘති අභිභවන්න ප්‍රභාත් සමත් වෙලා නෑ. නමුත් එබඳු තත්ත්වයක් තුළ වුනත් මට ඒ නිර්මාණ ගැන කියවීමක් තියෙනව. ඒ සමහර කියවීම් මේ සාකච්ඡාවෙදි මතු කරපු කරුණුවලට සමානයි වගේ ම වෙනස් වෙන්නත් පුළුවන්. සමහර කරුණු සාකච්ඡාවෙදි මතු නොවුණ කරුණු වෙන්නත් පුළුවන්. මගේ ඒ කියවීම නුදුරු දිනක ම ලියන්නම්.

නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2023/01/15
සබැඳි ලිපි :