පාස්කු වින්දිතයන් පැවරූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සකල රාජ්‍ය සේවයටම පැවරුණ වගකීම යළි සිහිපත් කිරීමකි.

පාස්කු තීන්දුව සමග ශ්‍රේෂ්ඨාධිකරණය වැරදිකරු කළ පී.බී.ජයසුන්දරත්, සිල් රෙදි නඩුවෙන් හිරේ ගිය අනුෂ පැල්පිට සහ ලලිත් වීරතුංගත් නිදොස් කර නිදහස් වීම සිහිපත් කළ තරුණ රාජ්‍ය නිලධාරියෙක් පාස්කු තීන්දුව ආරක්ෂා කර ගන්නේ කෙසේදැයි කළ විමසීම පොළොවේ පවත්නා යථාර්ථයක් මිස අධිකරණයට කළ අපහාසයක් ලෙස සැලකිය නොහැකිය.

 

සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ ආසියාවේ විශිෂ්ඨතම රාජ්‍ය සේවය ලෙස ශක්තිමත්ව පැවති ලංකාවේ රාජ්‍ය සේවය 1972 ජනරජ ව්‍යවස්ථා සම්ප්‍රාප්තියෙන් නැත්තටම නැති විය. 2015දී ස්වාධීන කොමිෂන් සභා හරහා යළි ශක්තිමත් කළ රාජ්‍ය සේවය 20 වෙනි සංශෝධනයෙන් නැවත දේශපාලනඥයන් යටතට පත් විය. සේවා කොන්දේසි අනුව, විධිමත් ස්ථාන මාරු සිදුකිරීම මෙන්ම, නිලධාරින්ගේ විනය පවත්නා ගනියි නම් රාජ්‍ය සේවය යළි ශක්තිමත් කළ හැකි ය. එහෙත් පාස්කු තීන්දුවේ ආරක්ෂාවට පඬුරු ගැසීමට කතා කිරීමෙන් සිවිල් සමාජය තුළ පවත්නා විචිකිච්ඡාව යනු බරපතල තත්වයකි.

 

රාජ්‍ය සේවය යථාවත් කිරීමේදී අප ගුරු කොට ගත යුත්තේ සද්භාවයෙන් යෝධයන් සේ නො සෙල්වී තම වගකීම් ඉටු කළ ලින්කන්- ස්ටේටන්ලා වැනි පූර්වාදර්ශයන්ය. රාජ්‍ය සේවයට අනන්‍ය ශක්තිය හා විශ්වාසය ගොඩ නැගීමට, කෝටි ගණන් වැය කෙරෙන පුහුණු පන්ති අවශ්‍ය නොවේ. ගිය සතියේ ලිපියේ සඳහන් සාවද්‍ය ගමන් වියදම් ලබා ගත් නිලධාරිනිය කළ වරදට යටත් පිරිසෙයින් ස්ථාන මාරුවක් හෝ ලබාදිය යුතුව තිබිණ. දිස්ත්‍රික් ප්‍රධානියෙකුගේ අධීක්ෂණය යන්න එවැන්නකි. විශේෂයෙන් සිය ඉහළ නිලධාරියාද සමග එකම වාහනයේ ගමන් කිරීමෙන් අනතුරුව මුදලට කෑදරව සිදු කළ රාජ්‍ය මුදල් වංචාව යනු රාජ්‍ය සමග සේවා කොන්දේසියෙන් බැඳුණ සනීපාරක්ෂක කම්කරුවෙකු ගෙන් හෝ සමාජය කිසිවිටෙකත් අපේක්ෂා නො කළ යුතුවේ. තම අධීක්ෂණයට අනුයුක්ත නිලධාරින් ආරක්ෂා කරනවා කියන්නේ ඔවුන් හොරකමට වංචාවට පුරුදු කිරීම නම් නොවේ.

 

බලධාරින්ගේ අසාධාරණ නියෝග ප්‍රතික්ෂේප කොට දුෂ්කර පළාත්වලට ස්ථාන මාරු ලැබ තනතුරු අහිමි කරගත් අදීන රාජ්‍ය නිලධාරින් අදටත් මුළු ගැන්වී සිටිති. රාජ්‍ය සේවයේ ගෞරවය වෙනුවෙන් කැපවූ අවංක නිලධාරින් සියයක් අධීක්ෂක මට්ටමේ තනතුරු සඳහා කැඳවා විධමත්  ස්ථාන මාරු ක්‍රමයක් ආරම්භ කිරීමටත් නිලධාරින්ගේ විනය පවත්වා ගැනීමටත් රාජ්‍ය සේවා කොමිෂම සමග ජනාධිපති ලේකම් මට්ටමෙන් මැදිහත් වේ නම් රට අපේක්ෂා කරන රාජ්‍ය සේවයක් නිර්මානය කළ හැකිය.

 97696843 gettyimages 843645868

ලලිත් වීරතුංග - අනූෂ පැල්පිට

 

ගිය සතියේ මගේ ලිපිය කියැවූ විදුලි සංදේශ නියාමන කොමිෂමේ නිලධාරියෙක් අප අසා නැති බොහෝ කරුණු හෙළි කළේය. ලලිත් වීරතුංග හඳුන්වා දුන් විශේෂ ගිණුම මගහැර සිල් රෙදි ව්‍යාපෘතිය සඳහා ඉල්ලා සිටි මිලියන 600ක  මුදල භාණ්ඩාගාරයට යැවීමට එදා අනුෂ පැල්පිට කළ උත්සාහය ඉහළ මට්ටමෙන් ප්‍රතික්ෂේප වූ බව ඔහු කීය. විකල්ප ගණනාවක් යෝජනා කරමින් මැතිවරණය ගැසට් කළ පසුව සිල් රෙදි බෙදීමේ අදහස අත හරිති යයි විශ්වාසයෙන් මාසයකට ආසන්න කාලයක් අනුෂ පැල්පිට කල් මැරූ බව ඔහුගේ අනුමානය විය. මේ තවත් හෙල්පින් හම්බන්තොටක් විය හැකි බව විදුලි සංදේශ නියාමන කොමිෂමේ ඉහළ මට්ටමේ කාගේත් අනුමානය වූ බව කී ඉහත නිලධාරියා මෙකී අභ්‍යන්තර කතාබහ දැන හෝ නො දැන “අනුෂ පැල්පිට හිරේ ගියේ ලලිත් වීරතුංගට අවනතවීම නිසා විය හැකිය.” යන ප්‍රකාශය හරහා තම ආයතන ප්‍රධානියාට යම් සාධාරණයක් කිරීම ගැන සිය සතුට පළ කළේය. ඔහු කියා සිටියේ තම ඉහළ නිලධාරියා පසුව නිදොස් කොට නිදහස් වුණාට එකී මහාධිකරණ නඩු තීන්දු ප්‍රකාශයෙන් රාජ්‍ය සේවය කිසි විටෙක නිදහස් නොවන බවය. හෙවත් වීරතුංගලා පැල්පිටලා නිදහස්වීම දේශපාලනඥයන් පූර්වාදර්ශයක් ලෙස අනුගමනය කළොත් සද්භාවි රාජ්‍ය නිලධාරින් ආනගතයේත් ලලිත් විරතුංගලා මහින්ද රාජපක්ෂලාගේ පීඩනයට ලක්වන බවය.

sil redi 15102017 FRR CMYසමාජ මාධ්‍ය රචකයෙකු වන කේ.ජී.පිලිප් ශාන්ත කාසියේ වාසිය කාටද යනුවෙන් සිල් රෙදි නඩුවේ මහාධිකරණ තීන්දු ප්‍රකාශය අළලා අන්තර් ජාලයෙහි පළ කළ  ලිපියක මෙසේ දැක්වේ. “ සිල් රෙදි නඩුවේ මහාධිකරණ තීන්දුව ශ්‍රී ලංකා ඉතිහාසයේ ඓතිහාසික මෙන්ම රාජ්‍ය සේවකයන් රාජකාරි කිරීමේදී ඉහළින් එන්නාවූ නියෝග ඉටු කිරිමේ ආකාරය පැහැදිලි කරන පරමාදර්ශ තීන්දුවක් වනවා නො අනුමානය. වඩාත් වැදගත් වන්නේ දක්ෂ ක්‍රියාශීලි රජයේ නිලධාරින් දේශපාලනයේ ගොදුරු බවට පත්වන අන්දම මෙම මහාධිකරණ තින්දුවෙන් සමාජයට නිකුත්වන පණිවිඩයයි.” සිල් රෙදි නඩුවේ මහාධිකරණ තීන්දුව ගැන එවැනි ආකල්පයක් දරන පිලිප් ශාන්ත හිරේ ගිය අනුෂ පැල්පිට ගැන කියන්නේ කුමක්ද?

“අනුෂ පැල්පිට රාජ්‍ය සේවයේ ඉතා දුර්ලභ මානව සම්පතකි. ඔහු සිය කාර්ය මණ්ඩලයෙන් පමණක් නොව ඔහු ළඟට එන කවරෙකු ගෙන් වුවද යම් රාජකාරියක් කර ගැනීමට අවශ්‍ය නම් එකී කාර්ය ඉටු කර ගන්නා අන්දම මනාව ප්‍රගුණ කර තිබිණ. කිසිවකුගේ සිත් නො රිදෙන ආකාරයෙන් කිසිවෙකු අපහසුවට ලක් නොවන පරිදි සිය ඉලක්කය කරා සහාය නිලධාරින් රැගෙන යාමට සමත් ය. බාර ගන්නා අභියෝගයන් සාර්ථකව ඉටු කිරීමේ හැකියාව ඔහු සතු විය. එකී දක්ෂතාව  බොහෝ රාජ්‍ය නිලධාරින් තුළ දැකිය නො හැකිය.”

 

පිලිප් ශාන්ත සාමාන්‍ය රාජ්‍ය නිලධාරින්ගෙන් අනුෂ පැල්පිට වෙන් කොට දක්වන්නේ මෙසේය. “රාජ්‍ය ප්‍රධානියෙකු ගොදුරුවන (අ) කාන්තා ලොල් බව, (ආ) වංචා හා දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ වීම, (ඇ) හිස උදුම්මාගෙන අන්‍යයන්ට හිරිහැර කිරීම, (ඈ) දේශපාලකයන් හා මිතුරු සමාගමට ගොස් විනාශ වීම යන සතර අගතියෙන් අනුෂ පැල්පිට දේශපාලකයන් හා මිතුරු සමාගම් පැවැත්වීමෙහි පමණක් දැඩිව ආශක්තව ඇළී සිටියේය. අවසානයෙහි ඔහු විනාශයේ දොරටුව වෙත ගෙන ආවේද දේශපාලනඥයන් විසිනි. එකී අගතියෙන් ඔහුට මිදිය නොහැකි විය. ඔහු තම සේවාවේ ඉහළට උසස්වීම් ලබා ගැනීමේදී විශ්වාසය තැබුවේ තමන් සතු දක්ෂතා හා කාර්යශූරභාවය නොවේ. දේශපාලනඥයන් කෙරෙහිය. එකී සහ සම්බන්ධතා හේතුවෙන් ඔහු නො දැනම දේශපාලනඥයන්ගේ ඉත්තෙක් බවට පත් විය. එහි ආදිනව මෙම ලියුම්කරු (පිලිප් ශාන්ත) එක් අවස්ථාවක පෙන්වා දුන් පසුව, ඔහු ආඩම්බරයෙන් මෙසේ කීය. “කොයි ආණ්ඩුව ආවත් අපිව නැතිව බෑ. මොකෝ මාව තැපැල් කන්තෝරුවකට මාරු කරන්නද? එහෙත් අවංකව ඔහුගේ ඉරණම ගැන කණගාටු වුවද, ඔහු අද මාරු කර ඇත්තේ තැපැල් කෙන්තෝරුවකට නොව හිර ගෙදර කූරු ගනින්නට වීමය. උපුටා ගැනීම අවසන්ය. කේ.ජී.පිලිප් ශාන්ත අනුෂ පැල්පිට සමග සේවය කළ නිලධාරියෙකි.

 

 97700471 f34e0b74 493d 4210 a1b3 aad6e5f6780f

උක්ත විදුලි සංදේශ නියාමන කොමිෂමේ නිලධාරියා කී කරුණු සිල් රෙදි නඩුවේ සිද්ධීන් හොඳින් ගැලපෙයි. මහින්ද රාජපක්ෂට ඊනියා පින් සිත 2014 මාර්තු 20 වෙනි දින ය. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ ලිඛිත නියෝගය 2014 ඔක්තෝබර් 30 වෙනි දින නිකුක් විය. විදුලි සංදේශ නියාමන කොමිෂම රුපියල් මිලියන 600ක මුදල නිදහස් කර ඇත්තේ 2014 නොවැම්බර් 20 වෙනි දින ජනාධිපති මැතිවරණය ගැසට් කිරීමෙන් අනතරුව එළඹි 2015 දෙසැම්බර් 05 වෙන දින ය. සිල් රෙදි බෙදන්නේ ජනවාරි 04 වෙනි  දිනට යෙදුණ දුරුතු පුන් පොහෝ දිනයෙහිය. ජනාධිපති ඡන්ද විමසීම ජනවාරි 8 වෙනිදාට නියමව තිබිණ.
නියාමන කොමිෂමේ නිලධාරියාට අනුව, අනුෂ පැල්පිට සිල්රෙදි දානයේ ආනිසංස මැනවින් තේරුම් ගෙන සිටි බව අදාළ මිලියන 600ක මුදල ලලිත් වීරතුංගගේ  නියෝග කළ ලංකා බැංකුවේ තැප්‍රබෝන් ශාඛාවට නොව මහා භාණ්ඩාගාරයට යැවීමට අනුෂ පැල්පිට උත්සාහ කළ බව කීමෙන් තහවුරුවේ. සමහර විට අනුෂ පැල්පිට, ජනාධිපතිවරණය ගැසට් කළ පසුව මේ ව්‍යාපෘතිය අතහැර දමනු ඇතැයි කල්පනා කරන්නට ඇත.  

එහෙත් මැතිවරණ රෙගුලාසි නො තැකූ ඉහළ හස්තය හැසිරී ඇත්තේ උමතුවෙනි. සිල් රෙදි බෙදීමට මැතිවරණ නිරික්ෂකයන් විරෝධය පළ කළ අතර, මැතිවරණ කොමසාරිස් වරයාටද පැමිණිලි කළහ. මැතිවරණ කොමසාරිස් වරයා සිල් රෙදි බෙදා දීමේ ව්‍යාපෘතිය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බවට තීරණය කරමින් එකී සිල් රෙදි බෙදීම නතර කළේය. ඉහත කී නියාමන කොමිෂමේ නිලධාරියාට අනුව අනුෂ පැල්පිට නම් රාජ්‍ය නිලධාරියා මහින්ද රාජපක්ෂ හා ලලිත් වීරතුංග දෑතෙහි සිරකාරයෙකු වූණා විය හැකිය.  සමහර කෙනෙකුගේ නිර්දෝෂිභාවය ඉතිහාසය ගත වන්නේ එකී වින්දිතයා මිනි පෙට්ටියට දමා ඇණ ගැසුවාටද පසුවය.

මහාධිකරණ තීන්දු ප්‍රකාශය අනුව, රුපියල් කෝටි හැටක එකී මුදල ප්‍රේෂණය කර ඇත්තේ එදිනම ආපසු ලබා ගැනීමට ඉඩ සැලසීමේ සැකය මෙන්ම, මුදල් නිදහස් කිරීමට නියාමන කොමිෂමේ අනුමැතිය හෝ ලබාගෙන නැති බව මහාධිකරණය අවධාරණය කළද අභියාචනාධිකරණය වාචිකව ලබා ගත් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය පමණක් ප්‍රමාණවත් බව දක්වා ඇත.  

 

810e8f1b228749d9ddfbc629210c1bd3 XL 15102017 FRR CMY

ජනාධිපති මැතිවරණයට තරග කරන  අපේක්ෂකයෙකු වෙනුවෙන් උක්ත කාල පරාසය තුළ  පුද්ගලික ධනයෙන් සිල් රෙදි බෙදා හැරීමක් වුවද නීති විරෝධි බවට පවත්නා පිළිගැනීමට අනුව, කොමිෂමේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලිඛිත ලැබී තිබුණද එකී ගෙවීම රාජ්‍ය මුදල් අවභාවිතයකි.  2015 ජනාධිපති මැතිවරණය අතර, ජනාධිපති අපේක්ෂකයෙකුගේ දැන්වීමක් ඇතුළත් කොට සිල් රෙදි බෙදා දීමෙන් එක් අපේක්ෂකයෙකුට වාසියක් මෙන්ම, අනෙක් අපේක්ෂකයන්ට පාඩුවක් සිදුවන බව චුදිතයන් වැරදිකරුවන් කළ මහාධිකරණ නියෝගයෙහි සඳහන් විය. ලලිත් විරතුංග සාක්ෂි දෙමින් ජනාධිපති නියෝගයට අවනත වූ බවට කළ ප්‍රකාශයම 1979 අගෝස්තු 6 වෙනි දින අංක 48/6 දරන ගැසට් පත්‍රය මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ විධිවිධාන අනුව රාජ්‍ය නිලධාරින්ට මූල්‍ය රෙගුලාසි නො තකා චේතනාන්විතව ජනාධිපතිගේ නියෝග ඉටු කළ බව තහවුරු කරයි.

2017 සැප්තැම්බර් 7වෙනි දින විත්තිකරුවන් වරදකරුවන් කරමින් මහාධිකරණය දුන් තීන්දුව ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය 2020 නොවැම්බර් 19 වැනි  දින චුදිතයන් දෙදෙනා නිදොස් කළ පසුව, 2020 නොවැම්බර් 20 වෙනිදා ලංකාදීප මුල් පිටුවේ හෙඩිමකට පමණක් සීමා වූ නිදොස් කොට නිදහස් කිරිම රාජ්‍ය සේවයට ලැබුණ හයියක් යනුවෙන් පළ කළ ලලිත් වීරතුංගගේ ප්‍රකාශයත් එදිනම ලංකාදීප ඇතුල් පිටුවක මහාධිකරණ විනිසුරු විශාල වශයෙන් නොමග ගොස් ඇති බවට පළවූ වාර්තාවත් මෙහිලා විශේෂය. මහාධිකරණ නඩු තීන්දුව විග්‍රහ කරමින් ප්‍රකට ලේඛක ජයතිලක සිල්වා ලංකාදිප පත්‍රයට ලියූ ලිපියේ මෙසේ දැක්වේ.

“ඒකාබද්ධ විපක්ෂය පමණක් නොව ආණ්ඩුවේ මැති ඇමතීන්ද වරද කරුවන් දෙදෙනා සොරකම් නොකළ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් මහාධිකරණ තීන්දුව ගැන වැරදි මතයක් ඇති කිරීමට තැත් කළද, දඬුවම් කර ඇත්තේ සොරකමට නොව රජයේ මුදල් අවභාවිතය සහ මැතිවරණ නිති උල්ලංඝණය කිරීමේ වරදටය. රජය් ඉහළම නිලධාරියා වූ ලලිත් වීරතුංග ඒ බව නොදැන සිටි බව ඇදහිය නො හැකිය. නො දැන සිටියා වුවද නීතියෙන් ගැලවීමක් නැත්තේ නීතිය නො දැන සිටීම නිදහසට කරුණක් නොවන නිසාය. අනෙක් තැනැත්තාද ඒ බව දැන සිටිය යුතු ඉහළ නිලධාරියෙකි. කවුරුන් කුමක් කීවද, මහාධිකරණ තීන්දුව යහ පාලනය  තහවුරු කරන සහ අධිකරණයෙහි කීර්ති නාමය ඉහළට ඔසොවා තබන වැදගත් ඓතිහාසික විනිශ්චයකි. එය මතුවටත් අනුගමනය කළ හැකි යහපත් පූර්වාදර්ශයකි. අධිකරණ ක්‍රියාවලියට මැදිහත් නොවීමෙන් ආණ්ඩුවද වැදගත් ආදර්ශයක් සපයා ඇත. '' උපුටා ගැනීම අවසන්ය.

මහාධිකරණ තීන්දු ප්‍රකාශයෙන් පසුව, චුදිතයන් සොරුන් නොවන බවට ජයතිලක සිල්වා ද විශේෂයෙන් අනුෂ පැල්පිට ගැන පිලිප් ශාන්ත ද 2017දී  කළ ප්‍රකාශයන් 2020දී ප්‍රකාශිත අභියාචනාධිකරණ තීන්දුවෙන්ද තහවුරු කෙරෙන පසුබිමක, රාජ්‍ය නිලධාරියෙකු මහජනතාවගේ යටත් නිලධාරියෙකු මිස, දෙපාර්තමේන්තු ප්‍රධානියාට අවනත යටත් නිලධාරියෙකු නොවන බවට ප්‍රකාශිත වසර 117ක් පැරණි  Brainbridge V. Post Master Genanaral (1906) KB 178  බ්‍රිතාන්‍ය නඩු තීන්දුව අදටත් වලංගු බව හෙයින් මහාධිකරණ විනිසුරු විශාල වශයෙන් නොමග ගොස් සිටියාය යන සෝලියෙන් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නිදහස් විය යුතු යයි පාස්කු නඩු තීන්දුවෙන් උද්දාමයට පත් සාධාරණ මනුෂ්‍යයෙකුට කල්පනා විය හැකිය.

වැරදි නියෝගයක් ක්‍රියාත්මක කිරීමෙන් නීතියෙන් නිදහස් විය නොහැකි බව මගේ පසුගිය ලිපියෙහිද සඳහන් කළේ උක්ත නඩු තීන්දුවේ හරය ප්‍රේමලතා මනම්පේරි නඩුවේ අභියාචක තීන්දුවේ සඳහන්ව පැවති නිසා ය.  




පශ්චාත් නූතන අරගලයේ නොවැම්බර් විලාපය - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )


ලේඛකයාගේ සබැඳි ලිපි:

රාජ්‍ය සේවයේ කැපවීම කෙබඳු විය යුතු ද? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

අලුත් ගිවිසුමකින් බැඳ දැමුණ රාජ්‍ය සේවයේ නම්බුකාර පැවැත්ම - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)


320723070 553561629955212 5233208659897488127 n


JW
 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්