විමල් වීරවංස ජෙල් දමා කොණ්ඩය පීරා එකල වෙළඳපළේ තිබූ හොඳම ජංගම දුරකථනය වූ නොකියා ෆෝන් එක භාවිතා කරන විට ලසන්ත වික්‍රමතුංග ඊට අවලාද නැගුවේය. ලසන්ත තම පත්තරය විකුණා ගැනීම සඳහා
ඉංග්‍රීසි කියවන සිංහලයාගේ මනස නිවැරදිව හඳුනා ගත්තේය. එහෙත් විමල් තම ජෙල් භාවිතය ඉන් නැවැත්තුවේ නැත. එකල විමල් වෙනුවෙන් ඉතා සුළු කණ්ඩායමක් පෙනී සිටියේය.
විමල් වෙනුවෙන් පෙනී සිටි එක් පුවත්පතක් වූයේ ටිරාන් අලස් විසින් මූලය අනුග්‍රහය දක්වනු ලැබූ මව්බිම පුවත්පතය.
මේ කියන්නේ ලංකා ඉතිහාසයේ බිහි වූ දෙවන මව්බිම පුවත්පත ගැනය. එනම් කොමුනිස්ට් පක්ෂය සමග නඩු කියා සිය ප්‍රකාශන අයිතිය ලබා ගත් පුවත්පත ගැනය. එම පුවත්පත දෘෂ්ටිවාදයක් (ඉඩියෝලොජි) මත පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ මුද්‍රණය කළ එකම සහ අවසාන පුවත්පත බව මගේ හැඟීමයි. ඊට සිංහල මනෝභාවයට ආමන්ත්‍රණය කිරීමේ පැහැදිළි න්‍යාය පත්‍රයක් තිබුණි.
එසේම එම පුවත්පත දකුණේ වර්ගවාදීයා තම පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් සීමා දමාගෙන සිටි ඕමන්ත දේශසීමාව අතික්‍රමණය කිරීමට අවංක උත්සහයක් ගත්තේය. මෙම පුවත්පත ගැන ගැඹුරු එහෙත් කෙටි විග්‍රහයක් උපුල් ශාන්ත සන්නස්ගල විසින් මීට මාස කිහිපයකට පෙර සිය සමාජමාධ්‍යය නාලිකා වල පල කර තිබුණේය. මැදිහත් විචාරකයෙකු විසින් මව්බිම ගැන කරනු ලැබූ අවසාන විද්‍යාත්මක මරණ පරීක්ෂණය එය බව මගේ හැඟීමයි.
පුවත්පතට දෘෂ්ටිවාදී පදනමක් ලබා දෙනු ලැබුවේ දීප්ති කුමාර ගුණරත්න, කේ.කේ. සමන් කුමාර සහ දක්ෂ පුද්ගලයෙකු දුටුවිට ඔහුගේ හැකියාවන් වලින් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට ඉතා දක්ෂ පුද්ගලයෙකු වන රුවන් ෆර්දිනන්දිස්ය. රුවන් වූ කලී වෙනම දේශපාලන ස්වරූපයකි. විමල් වීරවංසට පහරදීම සඳහා ඔහුගේ ජෙල් ගැන්වූ කොණ්ඩය සහ නොකියා දුරකථනය ඉතාම පටු චේතනාවෙන් භාවිතා කරන විට මව්බිම විමල්ගේ ජෙල් කොණ්ඩයට වෙළඳපොළ වටිනාකමක් ලබාදීමට සමත් විය.
එය ඉතා වැදගත් බව සඳහන් කරමින් අනෙකුත් පුද්ගලයිනුත් ඒ සඳහා දිරිගැන්වීය. නමුත් ජවිපෙ විමල් සමග සිටගත්තේ නැත. ඔවුහු මාන බැලුවේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන විමල් එලවීමටය. එය සාර්ථක විය. අනුර අද භුක්ති විඳින්නේ එහි අස්වැන්නය.
ඇතැමුන් තම පත්තරකලාව මෙහෙවනු ලැබුවේ තමන්ගේ පන්තියට පමණක් හිමි යැයි නම් කරගත් වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමට මිස පොදු මිනිස් දියුණුව උදෙසා නොවේ. ඉතා දුගී පවුලක ඉපදී අනේකවිද දුක් කන්දරාවක් විඳිමින් ජාතික දේශපාලනයට පැමිණි විමල් තම පන්තියට අභිමුඛ වන විට ඊට එරෙහිව පහරදෙනු ලැබුවේ ඒ නිසාය. එය විමල් ඉතා වැරදි ලෙස තේරුම් ගත්බව මගේ හැඟීමයි. ඔහුට ජාතික නායකයෙකු වීමට තිබු අවස්ථාව ඔහු විසින්ම හකුලා ගත් අතර ගෙවුණු දශක කිහිපය පුරාම "මහා මිනිසෙකු" නඩත්තු කිරීම වෙනුවෙන් ඔහු ඔහුගේ ජීවිතය හොදාපාලු කරගත්තේය.
විමල් සමගත් ලසන්ත සමගත් ගනුදෙනු කළයුතු කලාව මනාව දැනගෙන සිටි මහින්ද රාජපක්ෂ පමණක් ඉන් ජය ගත්තේය. මෙවැනි දේශපාලන කෝන්තර වලදී තුන්වැනි මිනිසා හෙවත් බලය තුළනය කොට එය තමන්ගේ වාසියට හරවා ගැනීමට සමත් වූ පුද්ගලයා වූයේ මහින්දය. මහින්දගේ දැන් බැසයන යුගයය. එය කිසිවකුට වැළක්විය නොහැකිය. එය පොදු මිනිස් ස්වභාවයයි. කනගාටුදායක කාරණය වන්නේ මහින්දගේ දේශපාලනයෙන් ඉගෙනගත යුතු පාඩම් ඉගෙන ගැනීමට බොහෝ දෙනෙකු අසමත් වීමය.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරකසභාවේ සාමාජික ලාල් කාන්ත රෝහල්වල සාත්තු සේවිකාවන් ජිම් යා යුතු යැයි කියමින් ඉතා වැදගත් කාරනාවක් මෑතකදී කළේය. විමල්ගේ ජෙල් කොණ්ඩය සහ ලාල් කාන්ත විසින් ඉදිරිපත් කළ සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි නිසි පුළුලු'කුළ රිය සක යුරු තිසර ඇති කාන්තාවන් ලෙස සියලු සාත්තු සේවිකාවන් සිටිය යුතු බව ඔහු කියන්නේය.
ඔහුගේ ප්‍රකාශයට එරෙහිව සුපුරුදු සිංහලයා අවදි වී ඇත. ඔහුගේ ප්‍රකාශය සමච්චල් කරමින් සිංහලයාගේ ව්‍යාජ වෙස්මුහුණ යළිත් ලාල් කාන්තට එරෙහිව වීදී බැස ඇත. ලාල් කාන්තගේ අදහස නිවැරදිය. නමුත් එය දිරවා ගැනීමට තරම් මෙරට දේශපාලන සහ සමාජ බලකඳවුරු පරිණත වී නැත. එම අපරිණත බවින් ප්‍රයෝජනය ගැනීමට බලය ලබා ගැනීමට හැකියාව ඇති ඕනෑම අයෙකු සමත් වන්නේය. මෙය ඉතාම අවාසනාවකි.
ගෙවුණු දශක කිහිපය පුරා ජනතා විමුක්ති පෙරමුණ විවිධ අදහස් ඉදිරිපත් කොට ඇත. ඒවායෙන් බොහොමයක් හිතළුය. තම ප්‍රතිවාදියාට බැන වැදීමෙන් තමන්ට නිවැරදි විය නොහැකි බව ඔවුහු තේරුම් ගෙන නැත. නමුත් සිංහලයාට අවශ්‍යය වන්නේ නිවැරදිව කටයුතු කරන අයෙකු නොව තම සිතැඟියාවන් සන්තර්පණය කළහැකි මෝඩ විවේචකයෙකි. මෙම සන්දර්භය තුළ ලාල් කාන්ත ජවිපෙ රැල්ලට එරෙහි වී ඇත.
ලාල් කාන්ත අවසනයේදී හෝ සැබෑ දේශපාලනයට අවතීරණ වී සිටීම පැසසිය යුතු කාරණයකි. එහි කෙලවර ජෙල් විමල්ට වූ දේ ජිම් ලාල්ට විඳීමට සිදුවීම විය හැකිය. නමුත් ජෙල් විමල් ගැන ලිවීමට සිටි ලසන්ත අද නැති අතර මහින්ද දේශපාලනික වශයෙන් නිෂ්ක්‍රීය ය. අරුමය නම් මෙම සිදුවීම මාක්ස්වාදී පුරෝකථනයන් වල සත්‍යතාව ඔප්පු කරනු ලබන සුන්දරත්වයයි. එනම් ඉතිහාසය දෙවැනි වරට යළි සිදුවන්නේ ප්‍රහසනයක් (කොමඩියක්) ලෙස බව මාක්ස් පෙන්වා දී ඇත. නමුත් ලාල් හමුවේ සිදුවන ඒ ප්‍රහසනය, වර්තමාන ජවිපෙ වෙලී සිටින මුලාවට වඩා වැදගත් සහ ප්‍රයෝජනවත් බව මගේ හැඟීමයි. මන්ද ඛේදවාචක වලින් ඉගෙන නොගන්නා ජාතියකට අවශ්‍යය වන්නේ කොමඩි මිස සාධනීය දේශපාලන සංවාද නොවේ.
(මාතලීගේ දිනපොත)