‘ප්‍රබන්ධ රාජ්‍යයක’ රාජ්‍ය දෘෂ්ටිවාදය සැකසෙන්නේම රාජ්‍ය ප්‍රබන්ධකරණය තුළිනි. දෛනිකව ගොදුරුබවට පත්වන, එහි වින්දිතයන් විවිධ ස්වරූපයෙන් හමුවේ. මෙම ප්‍රබන්ධකරණයට නිර්භීතව අභියෝග කීරීම 

ප්‍රබන්ධකරණයේම ගොදුරක් බවට පත්වන්නට ප්‍රමාණවත්ය. ‘ත්‍රස්ත-පනත’ යටතේ පීඩා විඳින වසන්ත මුදලිගේ යනු එවැනි නිර්භීත තරුණයෙකි.

ත්‍රස්තවාදය වැළැක්වීම ලෙස සංස්ථාපිත ප්‍රබන්ධය තුළ වන්නේ මුළුමනින්ම එහි විලෝමයයි; එනම්, ත්‍රස්තවාදය වැපිරීම ය. ‘ත්‍රස්ත-පනත’ ලෙස පවතින්නේ රාජ්‍ය ත්‍රස්තවාදය ම මිස වෙන කවරක් දැයි ‘වසන්ත’ උදාහරණය තුළ දකුණේ සමාජය තේරුම් ගනිමින් සිටියි. අරගලය තුළ නැඟුණු වසන්තමය හඬ අන්තර්ජාලගතව ඇති බැවින් නැවත නැවත ඇසිය හැකි ය. ඒ හඬ නවත්වනු පිණිස රාජ්‍ය මර්දන යන්ත්‍රයට කළ හැකි ප්‍රධානම දෙය ඔහු කුදලගාගෙන විත් ‘උපරිම’ ලෙස හිරගත කිරීම ය. ඒ සඳහා වන අණපනත් සම්මත කරදීමට ‘පාර්ලිමේන්තුව’ නම් වූ ප්‍රබන්ධය තිබේ.

වසන්ත ත්‍රස්තවාදියකු කළ හැකි ප්‍රබන්ධය සකසාලන්නට කල් ගන්නට ඔහු සිරගත කර තැබීම නිසා පහසු ය. කවර විප්ලවවාදියකු වුව ශාරීරික හා මානසික පීඩනය වෙත ඇද දැමීමෙහි කෙළ පැමිණි මර්දන යන්ත්‍රයක් රාජ්‍ය සතු වේ. අරගලකරුවන් මත දැඩි පීඩාවන් පනවා ඉන් ප්‍රීනනයෙහි පාරප්‍රාප්ත රාජ්‍ය නායකයකු ‘අරගලයෙහි’ අතුරු ඵලයක්ව බිහිවී තිබේ. මේ මොහොතේ රාජ්‍ය ත්‍රස්තය පැන නැඟෙන්නේ එතැනිනි.

Proest Thilina Kaluthotage FfWsiryWQAAcfbg

වසන්ත පිළිබඳ සංවාදය වර නඟණ වෙනත් මුඛ්‍ය කරුණක් ඇත. එනම් ඔහු නියෝජනය කරන දේශපාලන ප්‍රවාහය විසින් දිවිහිමියෙන් රැක ගත් අමුද්‍රව්‍ය විසින් ම ඔහු ගොදුරු කෙරෙනු ලැබ තිබීමය. මේ තර්කණය සන්නිවේදනය කරවන්නට කොලමක ඉඩකඩ ප්‍රමාණවත් නොවන මුත් එය තරමත් දුරට හෝ  පැහැදිලි කළ යුතු ය.

2022 මහජන අරගලය තුළින් මතුවුණු ආකර්ෂණීයම බලවේගය අන්තරය වන විට ආකර්ෂණීයම නායකයා වූයේ තරුණ වසන්ත මුදලිගේ බව බහුතර පිළිගැනීම විය.  සකල බැරියර් පෙරලාගෙන ගොස් අගමැති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිල නිවසේ ප්‍රාකාරය මත හිඳ ඔහු කළ කතාව නිර්භීතභාවය ළෙලවුණු උද්යෝගීමත්ම කතාවකි.  

පටු රාමුගත දේශපාලන පාක්ෂිකභාවයන් සහිත අය මිස පොදුවේ දකුණේ බාල තරුණ මහලු සියල්ලන්ගේ ම  වීරයා වෙමින් සිටියේ තරුණ වසන්තය. තවමත් සැබැවින්ම ඔහු ගැන දුක් වන මගේ අම්මාද ඇතුළු නාඳුනන ගැහැණු මිනිස්සු ඉතා විශාල ප්‍රමාණයක් සිටිනා බවද ඇත්තකි.  

නමුත් ප්‍රශ්නය වූයේ ඔහු නියෝජනය කළ ‘අන්තරය’ පිටුපස රාමුගත දේශපාලන බලවේගයක් තිබීම ය. වසන්ත, ප්‍රබන්ධ රාජ්‍යයට අභියෝග කිරීම බලය සහිත දේශපාලනයට මෙන්ම බලයට ඉවකරන දේශපාලනයට පවා  භීතිය ගෙන දුණි. ඒ අනුව රාජ්‍ය විසින් ඔහු ‘ත්‍රස්ත-පනත’ යටතේ වුව ඇතුළට ගැනීම මෙම සියලු දේශපාලන බලවේග වල අවිඥානික ආශාව ඉෂ්ඨ සිද්ධ වීමකි. ලංකාව නම් ප්‍රබන්ධ රාජ්‍යයේ දේශපාලන චර්යාව අනුව ඇතැම් විට එය ඔහු නියෝජනය කරන දේශපාලන ධාරාවේ නියාමකයන්ගේ වුව අවිඥානික ආශාව වන්නට බැරිකමක් නැත. රාජ්‍යය සතු ප්‍රබන්ධකරණ ධාරිතාව එතරම්ම සංකීර්ණ පරාසයක විහිදෙයි.

106575904 b09f7266 4fef 473d 91c8 2083f22141f8

 

අධිකරණය යනු ද මෙම ප්‍රබන්ධ රාජ්‍ය සැකැස්මේම කොටසක් වුවත් පාස්කු බෝම්බ කුමන්ත්‍රණයට අදාල වැදගත් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ප්‍රකාශයට පත් කෙරුණි. වගකීම් විරහිත වූ විධායකය හා රාජ්‍ය ආරක්ෂාවට අදාල ප්‍රමුඛතම නිලධාරීන් පුද්ගලිකවම පාස්කු ඛේදවාචකයේ වින්දිතයන්ට ‘මූල්‍යමය’ වන්දි ගෙවිය යුතු වීම ඉන් ප්‍රකාශමාන මූලික අදහසය. නමුත් මෙකී තීන්දුව විසින් පාස්කු බෝම්බ කුමන්ත්‍රණයේ ‘මහමොළකරුවා’ ඉඟිකර නැත. ඉදින් ඒ ගැන සංවාදය මතුකළ යුත්තේ පරිස්සමිනි. අධිකරණයට නොරිද්දෙන පරිද්දෙනි. 

අධිකරණය විවේිචනයෙහි ඇති භීතිය පිටුපස වන මනෝභාවය වන්නේ  එය තවමත් ස්වාධීනව පවතිනවාය යන අනුමානයට වඩා එය විවේචනය කිරීමෙන් අත්පත් වන්නට හැකි ප්‍රතිඵලයය. ඉදින්, ‘පාස්කු වන්දි තීන්දුව’, ‘අධිකරණයේ ස්වාධීනත්වය’ පිළිබඳ අනුමානය, යථාර්ථයක් බව තහවුරු කර ගන්නට උත්තේජනයක් නොවේද? කෙසේ වුව ‘පාස්කු’  රාජ්‍ය අපරාධකාරීත්වට අදාල රාජ්‍ය ප්‍රබන්ධකරණයේ අඩංගුව තවමත් සැඟවුණු කලාපයකි. ඒ ශේෂය, වහා ඉස්මත්තට නො එන, දික් ගැස්සෙන ක්‍රියාවලියක් පිළිබඳ ‘මහාවංශ’  පරිච්ඡේදයකි. මෑත ඉතිහාසය තුළ සිදුවූ බොහෝ දේශපාලන සංසිද්ධි මෙකී ප්‍රබන්ධකරණය තබා විග්‍රහ කරන්නට පිළිවන.

GR 2023.01.21
රාජ්‍ය, රාජ්‍ය ආරක්ෂක අංශ සහ ඊට අනුබද්ධ රාජ්‍ය ඔත්තුසේවා ‘ප්‍රබන්ධකරණයට’ අනුව ‘පිත්තල’ හන්දියේ බෝම්බය එවක රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය පිණස පුපුරා හරින ලද්දකි. කමිස අතෙහි සිත්තම් කෙරුණු රතු පැල්ලම් කිහිපයක් මිස ජීවිත හානියක් නොවුණු හිනාබර ‘ගෝඨා’ සහ ඔහු වැළඳගෙන සෙවලබර හිනා මුහුණෙන් සිටින ඔහුගේ සහෝදර ජනපති මහින්ද  ඇතුළත් සුප්‍රකට ඡායාරූපය  කියවාගත හැකි නම් ප්‍රබන්ධයට ලිහා ගතහැකි ප්‍රවේශයක් හදා ගන්නට බැරිකමක් නැත. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග තමන්ට ඇසක් පවා දන්දෙන්නට සිදුවූ පුරහල බෝම්බය  හරහා මැතිවරණයෙන් ‘ගොඩ ගියා’ සේ, පසුව සමාජයටම වාතයක් වූ ගෝඨාභය රාජපක්ෂව රජ පුටුවට වැඩැම්මවීම දක්වා වූ දෘෂ්ටිවාදී පදනම හැදුණු ‘පිත්තල හන්දියේ’ ප්‍රබන්ධය, ගෝඨාරක්ෂාවට සිටි හමුදා සොල්දාදුවන් දෙදෙනෙක් පවා  බිළි වූ ඉතා පරිස්සමින් විග්‍රහ කර ගත යුතු වැදගත් හා සංකීර්ණ දේශපාලන සංසිද්ධියකි.

 

2016 මැයි 3 වැනිදා පාර්ලිමේන්තුවේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කීයේ පිත්තල හන්දිය බෝම්බය ගෝඨාගේම සැලැස්මක් බවය. ඒ කවරාකාර සැළැස්මක් ද? රාජ්‍ය ඔත්තු සේවා බලවත්වම තිබුණු අවදියක ගෝඨාභයගේ ආරක්ෂ අංශ විසින්ම, ආරක්ෂක කමිටු සාකච්ඡාව පිණිස ඔහු ගෙදරින් පිටත් වන වෙලාව, පැමිණෙමින් තිබෙන මාර්ගය, ආදී තොරතුරු ටක්කෙටම මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ලබා දී තිබීම, අභව්‍ය සිදුවීම් කිසිත් නැති මෙම බෝම්බ ප්‍රබන්ධයේ කොටසක් ද?‘ගෑස් මාස්ක්’ එකක් පැළඳ වෙඩි නොවදින - බෝම්බ ප්‍රහාරයකට පවා ඔරොත්තු දෙන රථයටත් මීටර 25ක් පමණ ඈතින් පුපුරා ගිය බෝම්බය පිළිබඳ සැකසංකා මතු කළේ ආරක්ෂක කෙරුමෙකි. ඉදින් එය ලේසියෙන් බැහැර කළ නොහැකිය. අරූරන් වින්දිතයකු වී ඇත්තේ එවන්  ප්‍රබන්ධයකට ය.

මෙම සරුව පිත්තල ප්‍රබන්දයේ පළමු සංඥාව ලෙස මා තුළ පැන නැඟුණේ සිවලිංගම් අරූරන් ගෝඨා ඝාතන තැතේ සැකකරුවක් නම් හෝ වෙනත් ‘ත්‍රස්ත’ සිදුවීමක සැකකරුවෙකු නම් ඔහු නිල වශයෙන් අත් අඩංගුවට ගත හැකි පදනමක් තිබියදී සුදු වෑන් රථයකින් පැහැර ගන්නේ ඇයි ද යන්නය.

 මොරටුව සරසවියේ ජල ඉන්ජිනේරු විද්‍යාවේදී උපාධිධාරියකු වූ අරූරන් මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණය අසලදී සුදු වෑන් රියකින් පැහැර ගනු ලැබුවෙ 2008 මාර්තුවේ ය. ඒ 2006 දෙසැම්බර් 1දා පුපුරා ගිය පිත්තල හන්දියේ බෝම්බයට අදාලව බව ප්‍රකාශ කෙරුණේ ‘ත්‍රස්ත පනත’ යටතේ රඳවාගෙන සිටි ඔහු කොටහේන පොලීසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කරන ලද 2009 ජූනි 25වැනිදා ය.  ඉක්බිති වසර 13ක් ගතව ඇතද තවමත් ඔහු වරදකරුවකු කරන්නට ප්‍රබන්ද රාජ්‍යයේ ප්‍රබන්ධකරණයට හැකියාව ලැබී නැත. සිදුවී ඇති එකම දේ, රාජ්‍ය ප්‍රබන්ධකරණයේ වින්දිතයකු වූ සිවලිංගම් අරූරන් සැබෑ ලෙසම රාජ්‍ය සම්මානලාභී ප්‍රබන්ධ සාහිත්‍යකරුවකු වීමය.


aruran

 අරූරන් බඳු දෙමළ වින්දිතයන් වෙනුවෙන් තවමත් පෙනී නොසිටින, දෙමළු මර්දනය නම් වූ යුද්ධය වෙනුවෙන් මහරාජණන්ගේ දෑත ශක්තිමත් කළ රතුහමුදාවේ 'පෙරටුගාමී' නායකයන් සහ ‘අන්තරය’ තවමත් පෙනී සිටින්නේ ඔවුන්ගේ නියෝජිතයා වන වසන්ත මුදලිගේ වෙනුවෙන් පමණ ය. ඊට හේතුව කුමක්ද? වත්මන් පෙරටුගාමී සමාජවාදීන්ගේ පවා එකල නායකයා වූ සෝමවංශ අමරසිංහ කී පරිදි, රටේ සේනාධිනායක මහින්ද රාජපක්ෂ බල්ලෙකු නාවන්නට රැගෙන යන්නා සේ යුද්ධය වෙත දක්කාගෙන ගියේ ඔවුන් ය. ඔවුන්ගේ නියමයෙන්, ‘අවසන් කොටියාත් අවසන් කර මිස ආපසු නො හැරෙමු’ යැයි කියමින් පෝස්ටර් ගැසූ ‘අන්තරයේ’ ඉතිහාස හෘදය සාක්ෂිය ඇත්තේ එකී ගිල්ටිය තුළය.

 

balachandran 768x576

 සුදුකොඩි ඝාතනය හා විමුක්ති කොටි නායකයාගේ බාල පුත්‍ර බාලචන්ද්‍රන් මරාදැමීම දකුණේදී සාධාරණීකරණය කෙරෙන නිහීන දෘෂ්ටිවාදය සකස් කිරීමේ දේශපාලන ඉතිහාසය මෙබඳු ය. දෙමළ සන්නද්ධ කැරැල්ල පරාජයෙන් පසු නිල වශයෙන් හමුදාවට බාර වුණු ඉහළ සිට පහළටම සිටි කොටි කාඩරය  නොනිල වශයෙන් මරා දැමුණු හෝ අතුරුදහන් කෙරුණු රාජ්‍ය දෘෂ්ටිවාදය සැකසුණේ එහෙම ය.

යුදකාලීන ‘අන්තරය’ පසුබිමේ තිබි ප්‍රධාන දේශපාලන බලවේගය වූ ජවිපෙ ප්‍රධාන ලේකම් ධූරන්ධර ටිල්වින් සිල්වා මෙන්ම වත්මන් ‘අන්තරය’ පසුබිමේ සිටින පෙසප ප්‍රධාන ලේකම් ධූරන්ධර කුමාර් ගුණරත්නම් ද ඔවුන්ගේම අර්ථයෙන් ‘රාජ්‍ය විරෝධී’ සන්නද්ධ  ‘විමුක්ති අරගලයක’ කොටස්කරුවන්ව සිට ඝාතනය නොවී බේරී, සිරගතව හිඳ නිදහස් වූ නායකයන්ය.  නමුත් මෙකී සමාන්තර අයිතිය අහිමි වූ දෙමළ විමුක්තිකාමීන් වෙනුවෙන් මේ කිසිවකුත් පෙනී නොසිටින්නේ, අයිතිය අහිමි කිරීම පිටුපස වන රාජ්‍ය දෘෂ්ටිවාදය තමන්ගේ ම නිර්මාණයක් වන බැවිනි.


ඉදින්, ඒ අරුතෙන්, වසන්ත මුදලිගේ යනු ‘පෙරටුගාමී සමාජවාදී’ නායකයන්ද හවුල් වී නිර්මාණය කළ ත්‍රස්තවාදී දෘෂ්ටිවාදයක ගොදුරකි; වින්දිතයෙකි; සිරකරුවෙකි.

Manjula wediwardhana

 

 

 

 

 


(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත 2023 ජනේරු 22)

320723070 553561629955212 5233208659897488127 n

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්