මනු සත්තු විදියට පෘථිවියට ජනිත වෙච්ච අපි හැමෝ ම කැමතියි කවුරු හරි, මොන විදියට හරි තමන්ව අගයනවට.

ඒ ඒ ඇගයීම් විවිධාකාර වෙන්න පුළුවන්. මොකද අපි ‘‘ඇගයීම්’’ කිව්වම ගන්නෙ හොඳ පැවසීම, සම්මාන දීම, මුදල් හෝ වෙන යම් වස්තුවක් පරිත්‍යාග කිරීම වගේ දේවල් නෙ... ඔවු... සමාජයේ යහපත් විදියට... ඒ කියන්නෙ අනෙකා තළන්නෙ පෙළන්නෙ නැතුව ජීවත් වෙන මිනිස්සු වගේ ම සමාජයේ අයහපත් ලෙස ජීවත් වෙන... ඒ කියන්නෙ: හොරකම් කරන, වංචා කරන, මිනිස්සු මරන, සමාජයට විෂ මත්ද්‍රව්‍ය ලබාදෙන අය පවා ඒ ඒ සන්දර්භය තුළ ඔවුන් අගයනවට කැමතියි. ඒක තමයි මිනිස් ස්වභාවය.

කලා කටයුතුවල නියැළෙන පුද්ගලයෙක් තමන් ගැන ආඩම්බර වෙනව වගේ ම අර කලින් ලියපු පාතාල මැරයෙක් වුනත් කැමතියි ‘‘මම අහවලා’’ කියල සමාජය ඇතුළෙ ප්‍රසිද්ධ වෙන්න. එයාගෙ නම සමාජය පුරා පැතිරෙනවට. සරලව ම කියනව නම් බීමට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක් පවා හිත යටින් සතුටුයි එයා බේබද්දෙක් කියල ප්‍රසිද්ධ වෙනවට. ඒකත් මනුස්ස ස්වභාවයක්.

ඉතිං ඒ ඒ විෂයට අදාළව ඒ ඒ පුද්ගලයො ඇගයීමට ලක් කෙරෙන ක්ෂේත්‍ර තියෙනව. කලා ක්ෂේත්‍රයෙ අය කලා ක්ෂේත්‍රයෙ දි ඇගයීමට ලක් කරනවා, සාහිත්‍ය කටයුතුවල නියැළෙන අය ඒ ක්ෂේත්‍රයෙ දි ඇගයීමට ලක් කරනවා. ව්‍යාපාර ක්ෂේත්‍රයෙ යෙදිල ඉන්න අය ඒ ක්ෂේත්‍රයෙ දි ඇගයීමට ලක් කරනවා. දේශපාලනයේ යෙදිල ඉන්න අය ඒ ක්ෂේත්‍රයෙ දි ඇගයීමට ලක් කරනවා. හැබැයි හුඟක් ඇගයීම් කරන්නෙ අදාළ පුද්ගලය මියගියාට පස්සෙ. ඒක එහෙම කරන එක නරකක් නෙවෙයි. නමුත් කිසියම් සමාජ මෙහෙවරක යෙදිල ඉන්න ඕන ම පුද්ගලයෙක් ඔහු හෝ ඇය ධරමානව ඉන්න කාලෙදි ඇගයීමට ලක් කරනවා නම් ඔහු හෝ ඇය කෙතරම් සතුටු වෙනව ද...? මං හිතන්නෙ එහෙම අගයනවා නම් ඒක තමයි එබඳු පුද්ගලයන් වෙනුවෙන් කරන්න පුළුවන් හොඳ ම දේ. නමුත් අපි වැඩිපුර පුරුදු වෙලා ඉන්නෙ ම අදාළ පුද්ගලය මිය ගියාට පස්සෙ අගයන්න; ඔහුට හෝ ඇයට උපහාර පුදන්න. මෙන්න මේ සාම්ප්‍රදායික ක්‍රමය මඳක් හෝ අතික්‍රමණය කරන්න අපිට පුළුවන් නම්... ඔවු... එහෙම පුළුවන් නම් අපිට පුළුවන් ඒ ඇගයිමට ලක්වෙන පුද්ගලයගෙ මුහුණෙ හිනාව දකින්න; ඔහුගේ හෝ ඇගේ ප්‍රහර්ෂාත්මක වචන අහන්න. ඒක අපිට වගේ ම ඒ පුද්ගලයටත් සතුටක්.

මනුසඳ සැරිය 01මෙන්න මේ හිනාව දැක්ක, මේ සතුටුදායක වචන ඇහුණ වැඩසටහනක් ඊයෙ (2023/01/21) කොළඹ මහජන පුස්තකාලෙ දි පැවැත්වුණා. ඒ, මංජු නැදගමුව ලේඛකයා විසින් ලියන ලද, අතුරුගිරියේ කවිවර ප්‍රකාශන විසින් ප්‍රකාශයට පත්කරන ලද ‘‘මනුසඳ සැරිය’’ නම් කෘතිය ජනගත කරපු මොහොත.

මේ කෘතියේ අන්තර්ගත වෙන්නෙ ලේඛන කලාවේ නියැළී සිටින ලේඛක ලේඛිකාවන් හතළිස් දෙනෙකුගෙ ජීවන තොරතුරු. මේ හතළිහ අතරට ලේඛකයන් විසි නව දෙනෙකුගේ තොරතුරු සහ ලේඛිකාවන් එකොළොස් දෙනෙකුගෙ තොරතුරු ඇතුළත්. මේ ලිපි හැම එකක් ම මීට පෙර  මුහුණු පොතේ (Facebook) පළවුණ ලිපි. කතුවරයා ම පවසන විදියට ඒ පළමු ලිපිය ලියල තියෙන්නෙ 2018 වසරෙ මැයි මාසෙ 21 වෙනිද. ඔහු මේ උත්සවය අවස්ථාවෙ තව අපූරු අතීත සිදුවීමක් සිහිපත් කළා. මේ ප්‍රකාශයත් ඉතා වැදගත් නිසා සටහන් කරන්න ම වෙනව.

කතුවරයා පවසන පරිදි ඔහු 2016 වසරෙ දි මේ ආකාරයට ම මුහුණු පොතේ ලිපි පෙළක් ලිවීම ආරම්භ කරල තියෙනව. හැබැයි ඒ ජීවතුන් අතර ඉන්න නිර්මාණකරුවන් ගැන නෙවෙයි; මිය ගිය නිර්මාණකරුවන්ගෙ තොරතුරු. විශේෂත්වය ඒකත් නෙවෙයි. මොහු මේ ලිපි පෙළ ලියද්දි ඇතැම් පුද්ගලයො මොහුගෙ මුහුණු පොතේ Inbox එකට පණිවිඩ එව්වලු මොහු, කවුරු හරි නිර්මාණකරුවෙක් මිය යනතුරු බලා ඉන්නව කියල. ඇත්ත... අපේ රටේ බොහෝ දුරට සිද්ධ වෙන්නෙ එහෙම තමයි. හැබැයි එහෙම ලිව්ව කියල අර තරම් මුග්ධ විදියට චෝදනා එල්ල කරන එක නම් වැරැදියි. එහෙම නම් ඉතිං දැනටත් ඒක සිද්ධ වෙනව නෙ. ලියනව විතරක් නෙවෙයි... අදාළ පුද්ගලය සමග පෙනී හිටපු ඡායා රූප පවා මුහුණු පොතේ පළ කරනව. ඒ පුද්ගලය ගැන කවි ලියනව. ඒ පුද්ගලයත් සමග සමීපව ඇසුරු කරද්දි සිදු වෙච්ච ඇතැම් සිදුවීම් ලියනව. එහෙම නම් ඉතිං අපිට සිද්ධ වෙනව එහෙම ලියන, ඡායාරුප පළ කරන හැම පුද්ගලයෙක්මත් කෙනෙක් මැරෙන තුරු බලාගෙන ඉන්නව කියල කියන්න. මට මංජුට කියන්න තියෙන්නෙ ඔයාට එහෙම චෝදනා කරපු කිසිම කෙනෙක් යම් නිර්මාණකරුවෙක් හෝ නිර්මාණකාරියක් මිය ගියාට පස්සෙ ඔහු හෝ ඇය ගැන යමක් ලියල ම නැද්ද...? ඔහු හෝ ඇය සමග පෙනී හිටපු ඡායා රූපයක් මුහුණු පොතේ පළ කරල නැද්ද...? කියල ඒ අයගෙන් අහන්න. මම නම් හිතන්නෙ මංජු ඔයාට ඒ චෝදනාව කරපු අය අතර මම මේ කියපු විදියෙ අය අනිවාර්යයෙන් ඉන්නව. ඒ නිසා ඒ චෝදනාව සම්බන්ධයෙන් අබ මල් රේනුවක තරම්වත් සැලෙන්න එපා කියල මම මේ වෙලාවෙ මංජුට කියනව.

දැන් අපි ආයෙ මාතෘකාවට එමු.

ලංකාවෙ පාසල් අධ්‍යාපනයේ බොහෝ දුරට උගන්වන්නෙ ජාතික වීරයො (මට අනුව නම් ලංකාවෙ ජාතික වීරයො නැහැ) ගැනයි ලේඛක ලේඛිකාවො ගැනයි නෙ... මෙන්න මේ විදියට උගන්වන නිසා ම ‘‘ලංකාවේ ජාතික වීරයෝ’’ සහ ‘‘අපේ ලේඛක ලේඛිකාවෝ’’ හරි එහෙමත් නැතිනම් වෙන නමකින් හරි කුඩා කුඩා පොත් නිකුත් වෙනව. නමුත් ඒ බොහෝ පොත්වල අන්තර්ගත වෙන්නෙ ඉතා අවම දත්ත ප්‍රමාණයක්. සමහර ලේඛක ලේඛිකාවො ගැන හරියට ලියනව නම් ඒ අයගෙ නිර්මාණ ලේඛන නාමාවලිය ලියන්න විතරක් පිටු තුන හතරක් වෙන් කරන්න වෙනව. උදාහරණයක් විදියට ගත්තොත් ආචාර්ය ඩබ්ලිව්. ඒ. අබේසිංහ ලේඛකයා ලියපු කෘති ප්‍රමාණය එක පිටුවකින් දෙකකින් ලියල ඉවර කරන්න බෑ. මහාචාර්ය සුචරිත ගම්ලත් ලියපු කෘති ප්‍රමාණයත් ඒ වගේ.

book sw1

ඉතිං අර මම කලින් කියපු පාසල් අධ්‍යාපනයට අදාළ කුඩා කුඩා කෘතිවල සම්පූර්ණ දත්ත අඩංගු වෙන්නෙ නැහැ. මගේ මතකය නිවැරැදි නම් යම් ප්‍රමාණයකට හෝ පරිපූර්ණ තොතුරු ඇතුළත් කෘති කිහිපයක් සමාජ ගතවුණා නම් ඒ, තිලකරත්න කුරුවිට බණ්ඩාර විසින් රචිත ‘‘සිරිත් මල්දම’’සහ ‘‘කීර්තිශේෂ’’ යන කෘති යුගල, අමර හේවාමද්දුම ලේඛකයා විසින් රචිත ‘‘අමර සර’’ කෘති පෙළ, වෛද්‍ය අමරසිරි පොන්නම්පෙරුම සහ රංජිත් අමරකීර්ති පලිහපිටිය විසින් සම්පාදිත ‘‘පූජිත ජීවිත’’ කෘති පෙළ හඳුන්වන්න පුළුවන්. මේ හැම කෘතියක ම මෙරට ප්‍රකට විවිධ චරිත පිළිබඳ තොරතුරු අන්තර්ගත වෙලා තියෙනව. ඒ චරිත අතර: ප්‍රකට හිමිවරු, ජාතික වීරයන් යැයි ඳුන්වන පුද්ගලයො, ලේඛක ලේඛිකාවො, දේශපාලනඥයො සහ වෙනත් විවිධ නිර්මාණකරුවන්ගෙ සහ නිර්මාණකාරියන්ගේ තොරතුරු ඇතුළත් කරල තියෙනව.  

මීට අමතරව ගුණසිරි සිල්වා සිනමා කර්මාන්තයට සම්බන්ධ නළු නිළියන්යන්ගෙ, අධ්‍යක්ෂකවරුන්ගෙ, අධ්‍යක්ෂකවරියන්ගෙ ජීවන තොරතුරු පමණක් නෙවෙයි ඔවුන්ගෙ ක්ෂේත්‍ර භූමිකා තොරතුරු ද ඇතුළත් කෘති කිහිපයක් වගේ ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ පුද්ගල භූමිකා පිළිබඳ තොරතුරු ඇතුළත් කෘතියක් රචනා කළා. මේ කෘති නම් වශයෙන් සඳහන් කළොත්: ‘‘තාරකා මේඝයෙන් ඔබ්බට’’, ‘‘තරු විනිවිද දුටු අදියුරු’’, ‘‘ප්‍රතිරුප’’ සහ කෙරුම්කාරයන්ගේ ලෝකය’’ යන කෘති හතර ඒ කෘති ගොන්නට ඇතුළත්.  

‘‘තාරකා මේඝයෙන් ඔබ්බට’’ කෘතියේ අන්තර්ගත වෙන්නෙ ඒ ඒ නළු නිළියො සිනමාවට පිවිසුණේ කොහොමද, ඒ ඒ යුගවල සිනමාවේ තත්ත්වය කොහොම ද සහ අදාළ නළු නිළියන්ගේ රඟපෑම් පිළිබඳ කතුවරයාගේ දෘෂ්ටිය.

ඔහු රචනා කළ ‘‘තරු විනිවිද දුටු අදියුරු’’ කෘතියේ අන්තර්ගත වෙන්නෙ ඒ ඒ සිනමා අධ්‍යක්ෂකවරු ඒ ඒ නළු නිළියන් තුළ සැඟවිලා තිබුණ රූපණ දක්ෂතා කොහොමද එළියට ගත්තෙ කියන එක සම්බන්ධයෙන්. මම නිවැරැදි නම් ඒ විෂය පථ දෙක සම්බන්ධයෙන් වෙනත් කෘතියක් සිංහල භාෂාවෙන් ලියවිලා නෑ.

සිනමා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔහු විසින් රචිත ‘‘ප්‍රතිරූප’’ කෘතියෙ අන්තර්ගත වෙන්නෙ විවිධ සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ අධ්‍යක්ෂණ භූමිකාව සහ ඔවුන් තමන් නියැළී සිටින ක්ෂේත්‍රයෙ දි ලබපු අත්දැකීම්.

‘‘කෙරුම්කාරයන්ගේ ලෝකය’’ කෘතියෙ අන්තර්ගත වෙන්නෙ පත්තර කලාවේ දැවැන්තයන් කිහිප දෙනෙකුගෙ භූමිකා. මේ තොතරතුරුත් අදාළ පුද්ගල චරිතවලට විතරක් සීමා නොකර ඒ ඒ පුද්ගලයො අදාළ ක්ෂේත්‍රයෙ දි මුහුණ දුන්න අභියෝග මොනව ද...? ඒ අභියෝග සඳහා ඔවුන් මුහුණ දුන්නෙ කොහොම ද...? කියන තොරතුරු අන්තර් ගතකරල තියෙනවා.  

 

IMG 20230122 WA0000

මේ මොහොතෙ තව කෘති දෙකක් මගේ මතකයට එනවා. ඒ දෙක ම රචනා කරේ ධම්මිකා අක්මීමන ලේඛිකාව. එකක් ‘‘තාරකාවෝ මනරම්ය’’නමැති කෘතිය. මේ කෘතියෙ අන්තර්ගත වෙන්නෙ ලේඛිකාව විවිධ නළු නිළියන් සහ කලා ක්ෂේත්‍රයෙ ‘‘දිදුලන තාරකා’’ ලෙස විරුදාවලි ලත් අය සමග කරපු සම්මුඛ සාකච්ඡා. නමුත් ඒ සාකච්ඡා සියල්ල තුළ ම නළු නිළියන්ගෙ ජීවන තොරතුරුවලට අමතරව ඔවුන්ගෙ නිර්මාණ සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කරනවා.  ඒ තොරතුරු ගොනු කරාට පස්සෙ වෙනත් පුද්ගලයෙකුට වුවමනා නම් අදාළ කලාකරුවගෙ හෝ කලාකාරියගෙ ජීවන තොරතුරු වගේ ම ඔහු හෝ ඇය සිය ක්ෂේත්‍රයෙ කුමන ස්ථානයක හිටිය ද සහ ඉන්නව ද කියල වටහා ගන්න පුළුවන්.

IMG 20230122 WA0001ඒ වගේ ම ඇය තව අපුරු කෘතියක් රචනා කරා. ඒකෙ නම ‘‘අසිරිමත්ය ප්‍රේමය මනරම්’’ මේ කෘතියෙ අන්තර්ගත වෙන්නෙ සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ කිහිප පළකගේ ජීවිතයේ ලද සැබැ ප්‍රේමණීය අත්දැකීම්. තවත් සරලව කියනව නම් ආදර සම්බන්ධතා.

abhinaaකලා ක්ෂේත්‍රයේ පුද්ගල භූමිකා සම්බන්ධයෙන් ලියද්දි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින්  ප්‍රකාශයට පත් කරන ලද ‘‘අභිනය’’ කෘති පෙළත් අමතක කරන්න බෑ. ඒ කෘති පෙළහි අන්තර්ගත වුණේ නාට්‍ය කලාවට සම්බන්ධ පුද්ගලයන්ගෙ තොරතුරු. ඒ තොරතුරුත් හුදෙක් ජීවන තොරතුරුවලින් ඔබ්බට ගිහින් ඒ ඒ පුද්ගලයන් නාට්‍ය ක්ෂේත්‍රයට දායාද කළ දේවල් වගේ ම ඔවුන් ඒ සම්බන්ධයෙන් කළ කැපවීම් අන්තර්ගත කරල තියෙනව. 

 

මේ සියලු කෘති අතරෙ මංජු නැදගමුව විසින් රචිත ‘‘මනුසඳ සැරිය’’ විශේෂිත වෙන්නෙ ඔහු තමන්ගෙ ලියවිල්ලට තෝරාගන්නෙ ලේඛක ලේඛිකාවන් ම පමණක් ම වීම. අපි දන්නව මේ රටේ විතරක් නෙවෙයි ලෝකෙ බොහෝ රටවල නිර්මාණකරුවන් අතරින් නළු නිළියන්ට සහ ගායක ගායිකාවන්ට තරම් ප්‍රසිද්ධියක් ලේඛක ලේඛිකාවන්ට ලැබෙන්නෙ නෑ; ඒ අය තාරකා බවට පත්වෙන්නෙ නෑ; අවම වශයෙන් ලංකාවෙ බොහෝ ලේඛක ලේඛිකාවන්ට තමන්ගෙ මහන්සියට සරිලන මුදලක් හෝ ලැබෙන්නෙ නෑ. එබඳු වටපිටාවක ලේඛක ලේඛිකාවො පිළිබඳ මෙබඳු කෘතියක් ජනගත කිරීම ඉතාමත් වටින කටයුත්තක් කියන එක අවිවාදිතයි.

 

author main iamge g5qY686 ඊයෙ උත්සවයෙදි මම ඉතාම සංවේදි වුණ සිද්ධියක් ලියන්නම්. මේක සභාවෙ හිටපු අයගෙ අවධානයට යොමු වුණා ද මම දන්නෙ නෑ. ක්ෂේත්‍රයේ දන්න අය දන්නවා වසන්තා පද්මිණී කියන්නෙ නිහඬව පැත්තකට වෙලා ඉන්න, නමුත් මේ රටේ සාහිත්‍ය වෙනුවෙන් විශාල කැපවීමක් කරපු සහ කරන ලේඛිකාවක්. මම දන්න තරමට චින්තා ලක්ෂ්මි සිංහආරච්චි ලේඛිකාවගෙන් පස්සෙ වංග සාහිත්‍ය ඍජුව ම වංග භාෂාවෙන් සිංහලයට නැගුවෙ මේ ලේඛිකාව විතරයි. ඇගේ සුවිශේෂත්වය තමයි දෑස් නොපෙනෙන පුද්ගලයෙක් වෙලත් මේ සාහිත්‍ය නිර්මාණ රටට දායාද කරන එක. ඉතිං එහෙම සාහිත්‍යවේදිනියක් ඇගයීමට ලක්වීම අති විශිෂ්ටයි. මම කියන්න හදන්නෙ මේ කාරණයමත් නෙවෙයි. කෘතියේ කතුවර මංජු නැදගමුව වසන්තා පද්මිණී ලේඛිකාවට ‘‘මනුසඳ සැරිය’’ කෘතිය තිළිණ කරපු මොහොතෙ ඇයට නිරායාසයෙන් ම කෘතියේ මතුපිට අතගැවුණා. සමහර විට ඒ ඇය බ්‍රේල් ක්‍රමයට අකුර කියවන නිසා ද, ‘‘අනේ මේ පොත මට දකින්න තිබුණ නම්’’ යන සිතුවිල්ලෙන් ද දන්නෙ නැහැ. ඒ කෙසේ වෙතත් මට නම් ඒ මොහොත හරිම සංවේදියි.

shanthiඅනෙක් පසින් ගත්තම අපි දන්නව ශාන්ති දිසානායක කියන්නෙත් අනුරාධපුර ප්‍රදේශයේ ජිවත්වෙන, දරුවන් හතරදෙනෙකුගෙ කටයුතු කරන අතර ම විශාල සාහිත්‍ය කෘති ප්‍රමාණයක් රචනා කරපු ලේඛිකාවක්. පසුගිය කාලෙ ඇය නිතර කොළඹ දි හමු වුණාට ඉස්සර ඇය කොළඹ ආපු නැති තරම්. ඇය ‘‘මනුසඳ සැරිය’’ කෘතිය තිළිණ ලද මොහොතෙ ඇගේ ඇස්වල තිබුණෙ අමුතුම දීප්තියක්. ඒ දීප්තියෙන් හැඟවුණේ ඇගේ හිතේ නැගෙන ප්‍රහර්ෂය. මං හිතන්නෙ ලේඛකයෙකුට හෝ ලේඛිකාවකට එබඳු ප්‍රහර්ෂයක් අත් කරල දෙනව කියන්නෙ ම විශිෂ්ට වැඩක්. මංජු... ඔයා ඒ වැඩේ කරා. ඒත් ඉදිරියෙදි හදාගන්න වුවමනා පොඩි පොඩි අඩුපාඩු කිහිපයක් තියෙනවා. ඒ කිහිපයක් තිලකරත්න කුරුවිට බණ්ඩාර ජ්‍යෙෂ්ඨ ලේඛකයා, පුවත්පත් කලාවේදියා පෙන්වා දුන්නා. මමත් කැමතියි යෝජනා එකක් දෙකක් ඉදිරිපත් කරන්න.



පළවෙනි එක තමයි ලේඛකයාගේ හෝ ලේඛිකාවගේ නමට කලින්  කුඩා අනුමාතෘකාවක් (Tagline) එකක් යෙදීම. උදාහරණයක් විදියට ‘‘අඳුර පරයන මිනි පහන - වසන්තා පද්මිණී’’ වගේ වදන් කිහිපයක් යොදන එක.

දෙවන කාරණය තමයි ඒ ඒ ලේඛක ලේඛිකාවන්ගේ නිර්මාණ නිවැරැදිව ම හඳුනාගැනීම සහ නිවැරැදි ලෙස කෘතියේ සටහන් කිරීම. මම ඒකට ‘‘මනුසඳ සැරිය’’ කෘතියෙන් ම උදාහරණ දෙකක් දෙන්නම්.

01.  සේපාලි මායාදුන්නේ විසින් රචිත ‘‘දෙබෙදුම’’  කෘතියෙ නම ‘‘මනුසඳ සැරිය’’ කෘතියෙ සඳහන් වෙන්නෙ ‘‘දෙබැදුම’’ කියල. ඒ වගේ ම ඇගේ ‘‘අස්මීමාන’’ කෘතියෙ නම සදහන් වෙන්නෙ ‘‘අස්විමාන’’ කියල. (පිටුව 95)
02.  බටුවන්ගල රාහුල හාමුදුරුවන්ගෙ පොත් ලැයිස්තුවෙ එක තැනක ‘‘නයිගලින් උපන් පුත්‍රයෝ මිණිඊල’’ (පිටුව 31) යනුවෙන් සඳහන් වෙලා තියෙනවා. ‘‘නයිගලින් උපන් පුත්‍රයෝ’’ කියන්නෙ උන්වහන්සේගෙ එක කෘතියක්. ‘‘මිණිඊල’’ කියන්නෙ තව කෘතියක්.

සමහර විට මේව සෝදුපත් කියවීමේ දි සිද්ධ වෙච්ච වැරැදීම් වෙන්න පුළුවන්. මම මෙහෙම ලියන්නෙ ඉදිරියෙදි ‘‘මනුසඳ සැරිය’’ කෘතියෙ තව වෙළුම් මුද්‍රණය කරනවා නම් මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න කියන සද් චේතනාවෙන්.

සභාවෙදිත් තව වැරදීමක් පිළිබඳ සාකච්ඡා වුණා. ඒ තමයි ආචාර්ය අජන්තා රණසිංහ විසින් රචනා කරන ලද ‘‘විකසිත පෙම් පොකුරු පියුම්’’ ගීතය බුද්ධදාස ගලප්පත්තිගෙ රචනයක් ලෙස සටහන් වී තිබීම. මම මේ සම්බන්ධයෙන් ප්‍රකාශනාධිපතිනිය වන කාන්චනා (කවි) කරුණාරත්නගෙන් විමසපු වෙලාවෙ ඇය නම් කිව්වෙ හැම ලිපියක් ම ඒ ඒ ලේඛක ලේඛිකාවන්ට යවපු බවයි. එහෙම නම් මේ අතපසුවීම් සිදු වුණේ කොහොම ද...? අවසන් වශයෙන් මම කැමතියි ඉල්ලීමක් කරන්න. එනම් මෙම කෘතියේ දෙවන මුද්‍රණයක් නිකුත් කරනවා නම් යළි කෘතිය හොඳින් පරික්ෂා කරල මේ වැරැදි නිවැරැදි කරන්න කියල. මොකද අපි උදේ ඉඳන් ම කලයකට කිරි පුරවල හවස ගොම බිඳක් එකතු කරන්න වුවමනා නැහැ නෙ...

මේ කරුණු කෙසේ වෙතත් මෙවන් කෘතියක් සම්පාදනය කිරීම වගේ ම ජනප්‍රිය යැයි විශ්වාස කරන කෘති පමණක් ප්‍රකාශයට පත් කරල මුදල් ඉපයීම විතරක් ම සිය ඒකායන පරමාර්ථය කරගත්තු ප්‍රකාශන ක්ෂේත්‍රයේ මුදල දෙවනුවට තියල, කෘතියට පළමු තැන දීල මෙම කෘතිය ප්‍රකාශනයට පත් කරපු කවිවර ප්‍රකාශනාධිපතිනිය වන කාන්චනා (කවි) කරුණාරත්නටත් මගේ පුද්ගලික ස්තුතිය පුද කරන්න කැමතියි.


නීතිය බල්ලට ගිය රටක ජනතාවගේ නීතිය සාධාරණ ද...? - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023/01/22


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්