(ආචාර්ය අතුලසිරි සමරකෝන් ගේ ''බර අවි සහ පුස් වෙඩි'' ලිපියට ප්‍රතිචාරයක් )


මගේ මෙම අදහසට පදනම්වන්නේ ආචාර්ය අතුලසිරි සමරකෝන් විසින් සිය ෆේස්බුක් පිටුව මගින් ප්‍රකාශයට පත්කරන ලද අදහසකි. ආචාර්ය සමරකෝන්ගේ යෝජනාව වන්නේ '' දේශපාලන පක්ෂ හෝ නායකයන් නොව නීතිමය පාලනයක් ඇතිකරගනු ලැබීම වඩාත් යහපත්'' වෙයි.

නීතිමය පාලනයක් යන්නෙන් ආචාර්ය සමරකෝන් අදහස් කරන්නේ අන්කිසිවක් නොව නීතියේ ආධිපත්‍යය බල පැවැත්වෙන දේශපාලන සමාජයක් වීම නිසැකය. ඇත්ත! අද නීතිය බිඳවැටීම හමුවේ බලවත් ව්‍යසනකාරී සභා අර්බුදකාරී තත්වයක පවතින බොහෝ සෙසු රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ උවමනාව බවට පත්ව තිබෙන්නේ නීතිමය පාලනයක් ස්ථාපිත කරගනු ලැබීමයි.

නීතිය බිඳවැටීම යනු බලයේ සිටින පාලකයා හෝ පාලන තන්ත්‍රය නීතිය ඔවුන් අතට ගැනීමත් සමඟ සමාජයක පුරවැසියන්ට මුහුණදීමට සිදුවෙන අභියෝගයයි. අතීතයේ රාජවංශ ලොව බලයේ සිටි කාලයන්හි එම අමිහිරි අත්දැකීමට මුහුනදීමට පුරවැසියන්ට සිදුවිය. රජෙක් ''රාජ්‍යය නම් මම'' යයි සිතන සමාජයක නීතිය බවට පත්වන්නේ ඔහුගේ නියෝගයයි. එවැනි වටපිටාවක් පරාජය කරමින් පුරවැසි අයිතිය සහතික කරගනු ලැබ තිබෙන්නේ  'මැග්නාකාර්ටා' පටන් ප්‍රංශ මහා විප්ලවය තෙක්ම මෙම මිහිතලය පුරා බොහෝ තැන්වල බලවාදයට එරෙහිව දියත්කෙරුණ පුරවැසි අරගල මාර්ගයෙනි.

 

ආචාර්ය සමරකෝන් සිය යෝජනාවේ යටිපෙළ මගින් ඉතාම වැදගත් සත්‍යයක් මතුකරයි. එනම්, අද ශ්‍රී ලාංකික සමාජයේ ක්‍රියාත්මකවෙමින් පවතින දේශපාලන පක්ෂ කෙරෙහි හෝ නායකයන් කෙරෙහි විශ්වාසයක් තැබීම අතින් පවතින නොහැකියාවයි. අද අප රටෙහි පවතින්නේ එතරම් දූෂිත සහ අවස්ථාවාදී දේශපාලනයකි! එබැවින් ආචාර්ය සමරකෝන් පවසන පරිදිම ඔවුන් කෙරෙහි විශ්වාසයක් තැබීම තවත් වරක් රැවටීමක් පමණි.

 

යතාර්ථය එය වන්නේ නමුත් මෙහිදී ප්‍රශ්නයක් මතුවෙයි. එනම්, පුරවැසි සමාජයට ඔවුන් මගහැර යමින් ආචාර්ය සමරකෝන් ඉදිරිපත් කරන ආකාරයේ නීතිමය පාලනයක් දිනාගැනීමේ හැකියාවක් තිබේද/ යන්නයි.

 

La Liberte guidant le peuple Eugene Delacroix 1830 e1652197478920

මෙහි මවිසින් නමින් පමණක් සඳහන් කරන ලද 'මැග්නාකාර්ටා' ගිවිසුම ඇතිකරගන්නා ලද්දේ වංශාධිපතීන් විසින් ඉංග්‍රීසි රජතුමා අල්ලා ගස්බැඳ ( මර්වින් සිල්වා සිදුකළ පරිදි) රජුගේ බලතල සීමාකෙරෙන ගිවිසුමකට ඔහුගේ අත්සන ගැනීමෙන් යයි එංගලන්ත ඉතිහාසය උගන්වයි. ප්‍රංශ මහා විප්ලවය මගින් අත්තනෝමතික මර්දනකාරී රාජ්‍ය යන්ත්‍රය බිඳහෙලන ලද්දේ මහා ලේ වැගිරීම් සහිත සිදුවීම් ජාලයකිනි.

එහෙත් එම ඉතිහාසය සිහිපත්කරමින් මවිසින් යෝජනාකරනු ලබන්නේ එවැනි ජයග්‍රහණ සඳහා ඉතිරිව පවතින එකම ආයුධය බලය පාවිච්චි කළ යුතුය යන්න නොවේ. මෙහිදී මතුකෙරෙන කාරණය වන්නේ ආචාර්ය සමරකෝන් විසින් යෝජනාකරනු ලබන ''නීතිමය පාලනය'' හිස් අවකාශයක පහසුවෙන් පහළ නොවන සංසිද්ධියක් වන බවය.

 

අත්පත් කරගත යුතුව පවතින නීතියේ ආධිපත්‍යය මත පදනම් වූ පාලනයක් ශ්‍රී ලංකාව කෙබඳු උපාය මාර්ගයකින් හෝ නොවලහා දිනාගත යුතුව පවතින ප්‍රමුඛතම අවශ්‍යතාවයි. දුෂ්ට පාලකයන් විසින් විනාශ මුඛයට ඇද දමනු  ලැබ තිබෙන නීතිය වල්වැදුන රටක් සඳහා ලෝකයට ඇති කණගාටුදායකම උදාහරණය ශ්‍රී ලංකාව යයි කවුරුන් හෝ යෝජනා කළොත් ඊනියා දේශප්‍රේමීන් ඒ සම්බන්ධයෙන් උරණ විය යුතු නැත. ශ්‍රී ලාංකික සමාජයේ නීතිය විකෘති කරනු ලැබීම සහ එය පාපිස්සට ගැනීම රටේ පාලකයන් විසින් වසර පනහකට අධික කාලයක් තිස්සේ ගෙනගිය ගෙනයමින් පවතින අපකීර්තිමත් දේශපාලන ක්‍රීඩාව බවට පත්ව ඇත.

 

1970 පාලනය විසින් කිසිදු ජනතා අනුමැතියකින් තොරව හුදෙක් පාර්ලිමේන්තු අනුමැතියකින් පමණක් ජාතික රාජ්‍ය සභාවේ නිල කාලය 1977 තෙක් වසර දෙකකින් දික්කරගනු ලැබීමේ පටන් 21 වෙනි සංශෝධනය තෙක්ම ව්‍යවස්තානුකූල වෙස්මුහුණ දමාගනිමින් හෝ එසේ නැත්නම්, කෙලින්ම ඍජුවම ප්‍රචණ්ඩ මට්ටමින් බලය පාවිච්චි කරමින් සිදුකර තිබෙන්නේ මහජන ස්වාධිපත්‍යයට සහ නිදහසට නිගරු කරමින් පුරවැසි අයිතිය උදුරා ගැනීමය.  

ශ්‍රී ලංකාවේ පවතින්නේ රැකියාවක් ලබාගැනීම සඳහා පුරවැසියන් සතු අයිතිය දේශපාලන අනුමැතියට යටත්කරනු ලැබීමේ පටන් නීතිය බිඳවැටීමේ  ප්‍රමාණය කෙමෙන් තීව්‍ර වූ සමාජ රටාවකි. ව්‍යවස්ථාදායකය නියෝජනය කළ දේශපාලන බලවතුන් වෙත රැකියා- වෙළෙඳ ව්‍යාපාර - කොන්ත්‍රාත් ආදිය දීමේ බල අධිකාරය පැවරීම මෙහි ආරම්භය සළකුණු කරයි.

 

jr jaya

අනතුරුව විධායකය බලවත්වීමත් සමඟ ව්‍යවස්ථාදායකය පමණක් නොව අධිකරණය පවා විධායක ජනාධිපතිවරයාගේ බල සෙවනැල්ල යටතට පත්වූ අතර එකම ව්‍යවස්ථාවක් එක ජනාධිපතිවරයකුගේ උවමනාව පරිදි වසර දහයක් ඇතුළත පහළොස් වතාවක්වත් සංශෝධනය කරනු ලැබුණි. ආණ්ඩුවේ නිලධාරීන්ගේ මර්දන ක්‍රියාවන්ට එරෙහිව සුප්‍රිම් අධිකරණය විසින් දෙනලද තීන්දුවකට එරෙහිව ගල්පහර එල්ල එල්ලකරනු ලැබීමක් රටේ විධායක ජනාධිපතිවරයා විසින් උත්කර්ෂයට නංවන ලද්දේ ''ඒ සඳහා එම පුද්ගලයාට අයිතියක් ඇති බවක් '' පවසමිනි.

මෙහිදී මහජනතාව නියෝජනය කරනු ලබන්නේ යයි පවසන ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් කටයුතු කරන්නේ කෙසේද? යන්න සෝපාහාසය ජනිතකරනසුළු පිළිතුරක් සිහිපත්කරන ප්‍රශ්නයක් වනු නිරනුමානය. 1978 බලයට පත් විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දිනයක් රහිත ඉල්ලා අස්වීමේ ලිපි සිය සාක්කුවේ පරෙස්සමට තබාගෙන සිටි හෙයින් තනතුරුලෝභී මන්ත්‍රීවරු සිදුකරන ලද්දේ ජනාධිපතිවරයාන් විසින් ඉහලින් එවන ඕනෑම යෝජනාවක් අත ඔසවා අනුමතු කිරීමයි.

 

ඉතින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකිනෙකට පටහැනි 18 ,19 සහ 21 වැනි සංශෝධන ඉදිරියේ එකසේ අත ඔසවන ලද ඊනියා මහජන නියෝජිතයන්ගේ සහ ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ ඒවා නියෝජනය කරන්නන් අනාගතයේත් කටයුතු කරනු ලබන ආකාරය කුමක්දැයි සිතා ගැනීමට තවත් ටීකා අවශ්‍ය ද?

 

ආචාර්ය සමරකෝන් එවැනි පක්ෂ හෝ දේශපාලකයන් කෙරෙහි විශ්වාසය නොතබන ලෙස කියාසිටින්නේ එම ඓතිහාසික තේරුම්ගනු ලැබීම යටතේය.

එහෙත් ප්‍රශ්නයක් පවතී. සමරකෝන් යෝජනාකරන පරිදි අප ඔවුන් මගහැර යමින් නීතිමය පාලනයක් ඇතිකරගනු ලබන්නේ කෙසේ ද? සරල නොවන දුෂ්කර දේශපාලන අභියෝගය එයයි.

එම ප්‍රශ්නය අවදානම් සහගත වන්නේ දේශපාලන බලය දිනාගැනීමේ දොරටුව සහ යතුර දේශපාලන පක්ෂ හෝ ජනප්‍රිය නායකයන් විසින් ඔවුන් අතට ගෙන පැවතීමය. දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතැයි පොදුවේ ඇස්තමේන්තු කරනු ලබන රටවල පවා නායකත්වයේ අනුහස සහ දේශපාලන පක්ෂ සතු ආධිපත්‍යය පාලන බලය තීන්දු කෙරෙන තීරණාත්මක සාධක වී ඇත. ලෝකයටම පොදු වූ තත්වය එය යයි පවසමින් මෙහිදී නිහඬව සිටිය හැකි ද?

 

ejul

මෙහිදී මුලින්ම පෙන්වා දිය යුත්තේ එවැනි දේශපාලන සමාජයන්හි වෙනත් සුවිශේෂී දේශපාලන සංස්කෘතියක් පැවැත්මයි. එනම්, පුරවැසියන් පමණක් නොව නායකයන් සහ දේශපාලන පක්ෂත් සමාජය තුළ බල පැවැත්වෙන නීතියට යටත් ඊට අවනත පුරවැසියන් සහ සංවිධාන විශේෂයක් වීමයි. රටක නීතිය යනු රාජ්‍ය පාලනය භාර බලධාරීන්ගේ ආයුධයක් නොවේ. මෙහිදී ඉස්මතු කෙරෙන්නේ දේශපාලන සංස්කෘතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මට්ටමින් මුල්බැස ගැනීමේ වැදගත්කමයි.

 

එහෙත් බලලෝභීන් විසින් වටකරනු ලැබ ඇති දේශපාලන සමාජයකට එම තත්වය කරා සමීපවීම යනු සපුරාගැනීම අතින් අතිශයින් දුෂ්කර සිහිනයක් පමණි. ආචාර්ය අතුලසිරි සමරකෝන් පවසන පරිදි ඔවුන් මගහැර යමින් නීතියේ ආධිපත්‍යය මත පදනම් වූ දේශපාලන සමාජයක් උදාකරගනු ලැබීම සඳහා පවතින විකල්ප දේශපාලන ක්‍රියාමාර්ගය කුමක් ද?



upali(උපාලි ගජනායක)
බීබීසී සිංහල සේවයේ හිටපු ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


සබැඳි ලිපිය :
බර අවි සහ පුස් වෙඩි - (ආචාර්ය අතුලසිරි සමරකෝන් )


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්