වසන්ත මුදලිගේ නිදහස්ව ඒම 'අන්තරය' ඇතුළු තරුණ ශිෂ්‍ය ප්‍රජාවගේ සහ අරගලකාමී ප්‍රජාවගේ සතුටට පමණක් නොව මගේ අම්මාද ඇතුළු තවත් ඔහු නාඳුනන බොහෝ අම්මාවරුන්ගේ සහ තාත්තාවරුන්ගේ අප්‍රමාණ සතුටට හේතුවී තිබිණ.

දකුණේ පීඩිත  පොදු ජන මනස තුළ වසන්ත ස්ථානගත වී සිටින්නේ හදවත් මත ගැඹුරට කිඳා බැසි අඩි තැබූ පරාර්ථකාමී තරුණයකු ලෙස ය. පොදු ජන පුත්‍රයකු ලෙස ය.

ajsw

ත්‍රස්ත නීතිය ගැනත් එහි සිංහල බෞද්ධ වාමාංශික පංගුකාරීත්වය ගැනත් මෙනෙහි කරමින් අරූරන් හා වසන්ත පදනමේ තබා ගනිමින් මා සති දෙකකට ඉහත ලියූ කොලමේ අවසාන වාක්‍ය‍ය උපුටනය කරමින් මා මිත්‍ර පුලස්ති ලිවේරා පළ කළ ෆේස් බුක්  පෝස්ටුවක්, සමස්ථ කොලමේ මූලික සන්දන්භයෙන් එළියට ගෙන, මා පරසක්වල ගසන්නට වෙර දැරූ හයිබ්‍රීඩ් සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදයෙන් මුසපත් වාම-ලිබරල් චණ්ඩි ෆේස් බුක් අවකාශයේ වළං මුට්ටි බිඳිමින් දඟලමින් සිටින බව දැන ගන්නට ලැබුණ ද, එවන් මනෝභාවයන් සමඟ විවාද මතු නොව සංවාද කිරීම පවා බොහෝ කලකට ඉහත නවතා දමා ඇති බැවින්, මා එකී කොලමේ ලියූ මූලික කරුණක් වෙත යළි මෙසේ අවධානය යොමු කරමි.

 

විෂය මූලික කරුණු මත පදනම්ව මා එහිදී ගොඩ නැගූ තර්කය වූයේ ‘ත්‍රස්ත පනත’ යටතේ හිරබත් කන්නවුන් රාජ්‍ය අපරාධ යන්ත්‍රයේ ප්‍රබන්ධකරණ ක්‍රියාවලියක වින්දිතයන් බව ය. වසන්ත මුදලිගේට අදාලව ද සිද්ධ වෙමින් තිබෙන්නේ ද ඔහු රඳවා තබා ගනිමින්, ඔහු ත්‍රස්තවාදියකු බවට පත් කිරීමේ කතා වස්තුව ගෙතීම බව ය. ඔහු පිළිබඳ මහේස්ත්‍රාත් තීන්දුව විසින් තහවුරු කෙරුණේ එම තර්කයයි. 

 

එම තීන්දුවෙන් දිනකට පසු තවත් නඩු තුනකට ඇප ලැබී ජයගෝෂා මැද එළියට ආ වසන්ත මුදලිගේ මාධ්‍ය කැමරා අභියසට ආවේ සුපුරුදු  ලෙස ම, අහිංසක සිනාවකිනි ; සුපුරුදු ලෙස ම ‘සැර කතාවකිනි.  ඔහු මෙසේ කීවේ ය.

 



‘’මාස හයක්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, ආණ්ඩුවේ මර්ධනය ඇතුළෙ සිරගත කරලා තිබිලා, දැන් ආණ්ඩුවට අඩියක් පස්සට තියන්න වෙලා තියෙනවා; මේ සමාජය පුරාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වගේම මේ අත්තනෝමතික අත්අඩගුවට ගැනීමට එරෙහිව ගිය අඛන්ඩ අරගලය ඇතුළෙ ආණ්ඩුවට අඩියක් පස්සට තියන්න වෙලා දැන් නිදහස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපි දන්නවා පසුගිය කාලෙ අපි අඛන්ඩ අරගලයක් කළා මේ රටේ ජනතාවගෙ දැවෙන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, දුෂ්කර කොන්දේසි අවසන් වශයෙන් ජීවත් වීමේ කොන්දේසියවත් සපුරන්න ඕනි කියන ඉල්ලීමත් එක්ක; ගෝඨාභය රාජපක්ෂ පැන්නීම සඳහා අඛන්ඩ අරගලයක් අපි අරගෙන ගියා. ශිෂ්‍ය ව්‍යාපාරය වගේම මේ රටේ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන සියල්ල එකතු වෙලා කරපු අරගලයක් ඇතුළෙ මහජන බලය ඉස්සරහ තක්කඩි ආණ්ඩුවකට දණ ගහන්න වෙලා ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න වුණා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂට, මහින්ද රාජපක්ෂට, බැසිල් රාජපක්ෂට අකුලගෙන ගෙදර යන්න වුණාට පස්සෙත් ඒ මහජන බලය ඉස්සරහා දණගහනවා වෙනුවට ආණ්ඩුව මොකද කළේ, තක්කඩියෙක් ජනාධිපති පුටුවෙ ඉන්දගෙන රට කරන්න ඕනි කියලා වහසි බස් දොඩාගෙන එක එක දේවල් කරගෙන යනවා. ඒකෙ ප්‍රතිපළයක් විදිහට තමයි අපිව අත් අඩංගුවට ගත්තෙ.‘’



විසාකේස චන්ද්‍රසේකරම්ගේ නවතම සිනමා කෘතිය වන  ‘මණල්’ හි ප්‍රථම අන්තර්ජාතික තිරගත කිරීම රොටර්ඩෑම් සිනමා උළෙලේදී සිදු කෙරුණි.  ඔහු එම දර්ශන වාරය සෙල්ලපුල්ලෛ මහේන්ද්‍රන්ට සහ වසන්ත මුදලිගේට පුද කර තිබිණ. ඔවුන් දෙදෙනාගේ සේයා රූ දෙකක් ප්‍රේක්ෂකාගාරය හමුවේ ප්‍රදර්ශනය කරමින් විසා ස්ථානගත කළ අදහස තුළ අපරාධ රාජ්‍යයේ ‘ප්‍රබන්දකරණය’ වැඩ කරන හැටි අන්තර්ගත විය. වධ හිංසාව සහ සාපරාධී බලහත්කාරය මත ගොතන ලද පාපොච්චාරණයක හිමිකරුවකුව සිටි මහේන්ද්‍රන් ඛේදජනක ලෙස බන්ධනාගාරය තුළ ම මරණයට පාත්‍ර වූ රාජ්‍ය අපරාධකාරීත්වයේ වින්දිතයකු විය.



Sellappillai Mahendran 122264 200සෙල්ලපුල්ලෛ මහේන්ද්‍රන්ඔහු සිංහල හිරබාරයට ගැනුණේ වයස 17ක්ව තිබියදී ය. ඒ 1993 වසරේ සැප්තැම්බර් 27වැනිදා මඩකලපුවේ දී ය; දෙමළ ජනතාවට මාරාන්තික පීඩාවක් වූ ‘රවුන්ඩප්’ ක්‍රීඩාවක් අතරතුරදී ය. 1995 දී ඔහුට වසර 70කට සිරබත් නියම කෙරුණි. ඒ කුප්‍රකට, පොලිස් නිලධාරීන් 600ක ඝාතන සිද්ධියට අදාලව ය. සිද්ධිය සිදුවූයේ 1990 ජූනි 11දා ය. ඒ වන විට මහේන්ද්‍රන් 14 හැවිරිදි ගැටවරයකු විය.  2020 ජනවාරි පළමුදා මිය යන විට ඔහු 45 හැවිරිදි වියේ පසු විය. මේ සා විශාල කාලයක් ඔහු වන්දි ගෙව්වේ කුමක් වෙනුවෙන් ද? අපරාධ රාජ්‍යයේ අපරාධ ප්‍රබන්දයක් වෙනුවෙනි.



මෙසේ ත්‍රස්ත පනත යටතේ හිරකරගෙන සිට මිය ගිය  මෙන් ම, තවමත් ‘ත්‍රස්ත සිර බත්’ කන දෙමළ හා මුස්ලිම් සිරකරුවන් බහුතරයගේ කට උත්තර ද, පාපොච්චාරණ ද මේ ඉරණමට සමාන්තර ය.

 

යුරෝපා තර්ජනය හමුවේ ආණ්ඩුව ත්‍රස්ත නීති වෙනස් කිරීමට සැරසේ

නීතිඥ හිජාස් හිස්බුල්ලා  - කිවියර අහ්නෆ් ජසීම්

 

පාස්කු දා කුමන්ත්‍රණ බෝම්බ සිද්ධියට අදාලව ‘ත්‍රස්ත පනත’ යටතේ අත් අඩංගුවට පත්ව සිටි කිවියර අහ්නෆ් ජසීම් මෙවන් ප්‍රබන්ධයකට ගොදුරු කර ගැනීමට ‘ත්‍රස්ත විමර්ශන’ ඒකකය ඇතුළු රාජ්‍ය අපරාධකාරීත්වයේ පංගුකරුවන් උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. ප්‍රබන්දක්කාර ත්‍රස්ත විමර්ශනකරුවන් අහ්නාෆ් ජසීම්ගෙන් ඉල්ලා සිටියේ,  ඔහු උගන්නමින් සිටි ශිෂ්‍යයන් අතරෙහි අන්තවාදී අදහස් පතුරුවාලනු පිණිස නීතිඥ හිජාස් හිස්බුල්ලා ඔහුට උපදෙස් දුන් බව පවසන ලෙස ය. පහසුවෙන්ම එය පවසා නිදහස් වීමට අවකාශ තිබුණත්, ජීවිතේ කිසිදාක මුණගැසී නැති හිස්බුල්ලා තමන්ට එසේ පැවසූ බව පවසන්නට බැරි බව ප්‍රකාශ කළ ජසීම් දිගටම හිරබත් කෑමේ දුෂ්කර මාවත තෝරා ගත්තේ ය. මේ සියලු නිදසුන් මගේ මූලික තර්කය තවදුරටත් තහවුරු කරයි. අපරාධකරුවන් හා ත්‍රස්තවාදීන් කවුදැයි නම් කිරීමට රාජ්‍ය සතු අසීමිත බලය අපයෝජනයෙහි යොදවමින් ‘ත්‍රස්ත පනත’ නමින් ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය ත්‍රස්තවාදයම බව මම ‘අරූරන් සහ වසන්ත’ ලිපියෙහි ලීවෙමි. වසන්තට ඇප ලබා දීමේ කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්ගේ නියෝගය ධ්වනි නංවන්නේ ද ඒ තර්කයෙහි නිරවද්‍යභාවයයි.

අරගලයෙහිම දිගුවක් වූ විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වී යමින් සිටියදී, ඉකුත් අගෝස්තු 18වැනිදා වසන්ත අත් අඩංගුවට ගැනුණු අතර රඳවා ගැනීමේ බලහත්කාරය යටතේ රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් දින 89ක් ඔහු විශාල පීඩාවකට යටත් කරන ලදි. ඉන් පසු ඉකුත් නොවැම්බර් 21වැනිදා සිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වසන්ත මුදලිගේ ‘ත්‍රස්තවාදියකු’ කරන්නට අපරාධ රාජ්‍යයේ ප්‍රබන්ධක්කාරයන්ට නොහැකි වී ඇති බව එම නියෝගයෙහි සඳහන් වෙයි. මහේස්ත්‍රාත්වරයාට අනුව වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ප්‍රකාර කිසිඳු සාපරාධී වරදක් සිදු කර නැත. එමෙන් ම කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය එම නීතිය අවභාවිතා කර ඇති බව මහේස්ත්‍රාත්වරයා පවසයි.

 

බැලූ බැල්මට ම එය සාධනීය තීන්දුවක් බව පෙනී යයි. මීට ඉහත පාස්කු කුමන්ත්‍රණ බෝම්බයට අදාලව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනව හිඟමනට ඇද දැමූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ද  එලෙසින්ම සමාජ බහුමානයට පාත්‍ර වූ මුහුණුවරකින් යුක්ත විය. මෙවන් අධිකරණ තීන්දු විසින් ‘නීතිය කාගේ අවියක් ද’ යන ප්‍රවාදය මතුකරලන නීතිය නැමීම පිණිස ‘රාජ්‍යත්වයේ බලය’ සතු ශක්‍යතාව, අමතක කර දමන්නට සමාජයට උත්තේජන සපයයි.

 PTA protest NE 2021 09 13 19 02 34 1 rotated

 

කවරාකාර අරගල කළ ද, සිංහල - බෞද්ධ දෘෂ්ටිවාදී හික්මීම සහිත දකුණේ සමාජ චලනයන් ‘සාමුහික ඇම්නේසියාවෙහි’ පාරප්‍රාප්ත ය. මා කලිනුත් විටින් විට පෙන්වා දුන් පරිදි වසන්ත මුදලිගේ කුදලාගෙන ගොස් රඳවාගෙන වධ දුන් ‘ත්‍රස්ත පනත’ දකුණේ සමාජය විසින් මුලින් ව්‍යවහාර කෙරුණේ ‘කොටි පනත’ වශයෙනි. ඒ ඒ ‘ත්‍රස්ත වගන්ති’ යටතේ ම, ‪1987-90‬ අවදියේ සිංහල-බෞද්ධ කැරලිකරුවන් බුරුතු පිටින් උස්සාගෙන විත් වධ දෙන තුරු ම, එකී කොටි පනත කොටි ත්‍රස්තවාදීන් කුදලාගෙන ඒම පිණිස ව්‍යවස්ථාදයකය විසින් සකස් කෙරුණු වැදගත් පනතකැයි දකුණේ සාමුහික හැඟීම සහ විශ්වාසය විය. නමුත් ඒ විශ්වාසය පලුදු වීම පැවතියේ වසර කිහිපයක් පමණකි. යළි සිංහල සමාජය සාමුහික ඇම්නේසියාවෙහි ගිල්ලවනු ලැබුණු අතර ‘ත්‍රස්ත පනත’ යළි දෙමළාට එරෙහිව ළෙලවන්නට අනුබල මෙන්ම අනුග්‍රහයද දෙනු ලැබිණ.

1979 සිට 44 වසරක් ආයු වැළදා ඇති තවමත් නිරුපද්‍රිතව සිටින ‘ත්‍රස්ත පනත’ යටතේ සිරබත් කෑ වසන්ත නිදහස්ව පැමිණ සුපුරුදු උද්වේගයෙන් පැවසූ කෙටි අදහස් දැක්වීමේ පළමු වගන්තිය ආරම්භ කළේ ‘’ ’මාස හයක්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, ආණ්ඩුවේ මර්ධනය ඇතුළෙ සිරගත කරලා තිබිලා.....’’ ආදී වශයෙනි.

hashan siridhamma

ගල්වැව සිරිධම්ම හිමි - ශිෂ්‍ය ක්‍රියාකාරී හෂාන් ජීවන්ත

 

ත්‍රස්ත පනත යටතේ වසන්ත සමඟ අත් අඩංගුවට පත් ශිෂ්‍ය ක්‍රියාකාරී හෂාන් ජීවන්ත ගුණතිලක මුලින්ම නිදහස් කළ අතර ඉන් පසු අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බලමණ්ඩගයේ කැඳවුම්කාර ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කෙරිණ. දැන් අන්තරේ දැවැන්තම ප්‍රතිරූපය වන වසන්ත මුදලිගේ ද ‘නිදොස්’ කොට නැතත් නිදහස් ය.

 

දින 150කට අධික කාලයක් නිස්කාරණේ, ප්‍රබන්ධක්කාර ත්‍රස්ත අනුමාන යටතේ වධ දෙමින් සිරගත කර සිටි වසන්ත ‘මල්ලි’ අද්දැකීමෙන් ම අවබෝධකර ගත් ත්‍රස්ත පනතේ කෙරුවාවන්හි වින්දිතයන්ව නිස්කාරණේ අප්‍රමාණව දින සති මාස අවුරුදු ගෙවා දමන සිවලිංගම් අරූරන් ඇතුළු රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත් සියලු සිරකරුවන් නිදහස් කර ගැනීම වෙනුවෙන් වන අරගලය මුවහත් කර ගැනීමට, වසන්තගේ දෘෂ්ටිවාදයේ පදනම වන ‘අයියලා’ විශාල අවකාශයක්, අනුබලයක්, අනුග්‍රහයක් ඔහුට ලබා දෙමින් ඊට පෙරමුණ ගත යුතුය. ‘ත්‍රස්ත පනත’ මුළුමනින්ම විසුණු කර ලන්නට ඇරඹූ අරගලය අනවරතව ඉදිරියට යා යුතු ය.  නමුත් ප්‍රශ්නය මෙයයි. දකුණේ සාමුහික ඇම්නේසියාව රඳවා ගනු ලබන්නේ කවර අඛන්ඩතාව ද?  අරගලයේ අඛන්ඩතාව ද? ඇම්නේසියාවේ අඛන්ඩතාව ද?

 

වසන්ත මුදලිගේ ඔහුගේ පළමු සමාජ අදහස් දැක්වීමේදී එළඹෙන මැතිවරණය ගැන ආකර්ශනීය ප්‍රකාශය කළේ ය; ප්‍රබන්ධ සාහිත්‍යයෙන් උපුටාගත් උපහැරණයක් සමඟිනි. එහි අදහස මෙබඳු ය. එළඹෙන පළාත් පාළන මැතිවරණයේ කවර ඡන්ද ප්‍රතිපලයක් නිකුත් වුව ද, රට හමුවේ ඇති ප්‍රශ්න විසඳන්නට ආණ්ඩුවට හෝ රටේ ජනතාවට ඇලඩින්ගෙ පුදුම පහන හම්බවන්නේ නැත.

මේ මොහොතේ මා සිතමින් සිටින්නේ ඔහු අපට අභිමුඛ කළ ඇලඩින්ගේ පුදුම පහන කවර උත්ප්‍රාසයක් උත්පාද කරන්නේ ද යන්න ගැන ය.   



Manjula wediwardhana(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත - 2023 පෙබරවාරි 05) 

 

320723070 553561629955212 5233208659897488127 n


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්