උපරිම ලෙස එකට එක් වී කමින් බොමින් නටමින් ගයමින් විනෝද වෙන රටවල් කිහිපයකින් ඉදිරියෙන් සිටින රටකි බ්‍රසීලය.

ඊට හේතුව වන්නේ මෙය විය හැකි ය. බ්‍රසීලය සියවස් තුනක් පමණ කාලයක් පෘතුගීසි යටත් විජිතයක් ව පැවැතියේ ය. බ්‍රසීලයේ මුල් ආදීවාසීන්ගේ සංඛ්‍යාව අභිබවා වර්ධනය වුණු නව පදිංචිකරුවන්ගේ පරම්පරාව පෘතුගීසි සංස්කෘතියේ බලපෑම මත පරිනාමය විය.

 


සංදේශය චිත්‍රපටයේ එන ජනප්‍රිය 'පුරුතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා' ගීතයේ ' විනෝද මිහිරේ' යන වාක්‍ය ඛණ්ඩය පෘතුගීසි ජන සංස්කෘතියේ වැදගත් මුහුණුවරක් පෙන්නුම් කරයි. දකුණු ඇමෙරිකානු හා කැරිබියන් සංස්කෘතික කොටස් ද පෘතුගීසි ආරකින් ද ගොඩනැගුණු ජනප්‍රිය සංස්කෘතික අංගයක් වන්නේ 'කානිවල්' ය. විසිතුරු ඇඳුම් හා ආයිත්තම් වලින් සැරසී විවිධ රිද්මයේ සංගීතයට නටමින් වීථි පුරා පෙරහරකින් සැරිසැරීම කානිවලයේ එක් ජපරිය අංගයක් වේ. වසරේ මුල් කාර්තුවේ අගින් පසු ව එළඹෙන කානිවල් සමයට ලක ලැහැස්ති වන්නේ වසර මුල ම සිට ය.
 
 
පේලේ සමුගනී
 
පාපන්දු ක්‍රීඩක පේලේ
 
 
තවත් ප්‍රීතිමත් කානිවල් සමයක් බලාපොරොත්තුවෙන් නව වසරක් ඇරැඹීමට නියමිත ව සිටි බ්‍රසීලයට අනපේක්ෂිත ශෝකී හැඟුමකින් ය 2023 ජනවාරිය දිග හැරුණේ. ඒ බ්‍රසීලය ලෝක සිතියමේ නොමැකෙන ලෙස සලකුණු කළ පාපන්දු ක්‍රීඩක පේලේගේ අභාවයෙනි. ඔහුගේ අවමගුල් කටයුතු යෙදී තිබුණේ ජනවාරී දෙක හා තුන දිනවල ය. පේලේගේ අභාවය හා අවමගුල් කටයුතු ජනවාරි පළමු දින පැවැති වැදගත් කටයුත්තක තිබූ ප්‍රභාව බොහෝ දුරකට අඳුරු කළේ ය. ඒ කටයුත්ත වුයේ බ්‍රසීලයේ නව ජනපති ලෙස ලුඊස් ඉනාසියෝ ලූලා ද සිල්වාගේ පදවි ප්‍රාප්තිය යි.  
   
 
lula bolsonaro debate 1024x682 1        
ලූලා ද සිල්වා - ජායිර් බොල්සනාරෝ
 
 
ලුඊස් ඉනාසියෝ ලූලා ද සිල්වා (කෙටියෙන්, ලූලා) ජනපති වූයේ 2022 ඔක්තෝබර් මාසයේ 30 වැනි දින පැවති ජනාධිපතිවරණය ජය ගැනීමෙනි. ලූලා ජයගත්තත් එය නූලෙන් දිනීමකි. ලූලා ට ජන්ද 60,345,999 (50.9%) ලැබුන අතර ඔහුගේ ප්‍රතිවාදියාට ඊට සමීප සංඛ්‍යාවක් ලෙස 58,206,354ක් (49.1%) ලැබුණේ ය. ජයග්‍රහණයේ අවමය හරි අඩකට වඩා ජන්දයක් ය. අවමය ලද අපේක්ෂයාට නෛතික ව ජනපති විය හැකි වුව ද ප්‍රායෝගික මට්ටමෙන් හුදු අවමයකින් පාලනය ගෙන යාමේ දැඩි අභියෝගයක් ඇත. ඒ හරි අඩකට සමීප ප්‍රමාණයක් එම ජනපතිට අකැමැති, වෙනෙකෙකුට කැමැති ව සිටීම යි. ඊට අමතර ව ඒ පරාජිත ප්‍රතිවාදියාගේ පක්ෂය කොන්ග්‍රසයේ (ව්‍යවස්ථාදායක ආයතනය) පාලනය නතු කරගෙන සිටීම යි.  පරාජිත ප්‍රතිවාදියා මෑතක් වන තුරු ම ජනපති ලෙස වසර හතරක් බලයේ සිටි අයෙකි. ඔහු 2018 දී ජයග්‍රහණය කළේ 55.2% ක ජන්ද ප්‍රමාණයක් ලබා ගනිමිණි. ඒ ජායිර් බොල්සනාරෝ ය.
 
 
(Brasília - DF, 24/04/2019) Pronunciamento do Presidente da República, Jair Bolsonaro..Foto: Isac Nóbrega/PRජායිර් බොල්සනාරෝදේශපාලන අක්ෂයේ බොල්සනාරෝ ස්ථාන ගත වෙන්නේ දක්ෂිණාංශික ලෙස ය. සමහරු ඔහු අන්ත-දක්ෂිණාංශික ලෙස ද හැඳින්වයි. බොල්සනාරෝගේ වෘත්තීමය පසුබිම මිලිටරි ය. අවුරුදු 1973 සිට 1988 දක්වා බ්‍රසීල හමුදාවේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ඔහු හමුදාවෙන් විශ්‍රාම යන විට කැප්ටන්වරයෙකුගේ පදවිය දැරී ය.
 
 
බොල්සනාරෝ මුලින් ලිබරල් පක්ෂයේ සාමාජිකයෙකු වූවත්, ඔහු ඉක්මනින් ජනප්‍රිය ජාතිකවාදී නැමියාවකට හසු විය. පසු ව ඔහුගේ දේශපාලන ආකර්ෂණය වූයේ ජාතිකවාදී නැමියාව ය. බොල්සනාරෝගේ ක්‍රිස්තියානි-දක්ෂිණාංශික ඌරුව ද ඔහුගේ දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපෘතිය තවත් ශක්තිමත් කළේ ය. බ්‍රසීලයේ 65% ක් කතෝලික ය. 22% ක් ප්‍රොතෙස්තන්ත්‍ර ය. අනුව බහුතර කතෝලික හා ක්‍රිස්තියානි ගබ්සා-විරෝධී හා සමලිංගික-විරෝධී රැල්ල බොල්සනාරෝ තම දේශපාලන ව්‍යාපෘතියට නතු කර ගත්තේ ය. ඔහුගේ බහුතර අනුගාමිකයෝ සුදු පිරිමි ය. මේ සියළු සාධක එකතු වූ විට බොල්සනාරෝ වාමාංශික විරෝධී වීම තාර්කික ය. ඩොනල්ඩ් ට්‍රම්ප්, බොල්සනාරෝගේ වීරයා වීම ද ඒ අනුව තාර්කික ය.
 
 
40235979 821c 4966 a06b 2e9544df66be
 
 
2018 දී පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලද බොල්ස්නරෝ 2019 සිට 2022 දක්වා කාලය තුල බ්‍රසීලයේ නායකත්වය හෙබවී ය. මුල් වසර තුල ජනප්‍රිය ව සිටි බෝල්සොනාරෝ කෝවිඩ් සමය තුල පිළිබිඹු කළ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා ඔහු තම දේශපාලන ගමන අවුල් කර ගති. 2022 අවසානයේ තමන් පරාජය කරනට ප්‍රතිවාදීහු එය මනා ලෙස ප්‍රයෝජනයට ගත් හ.         
1534251260 654610
 
බ්‍රික්ස් සමුළුවක දී
 
මෙවර ජනපතිවරණය ජයගත් ලූලා ද සිල්වා බ්‍රසීල දේශපාලනයට නවකයෙක් නොවේ. වාමාංශික හා වෘත්තීය සමිති පසුබිමකින් පැමිණි ලූලා, මීට පෙර, එනම්  2003 සිට, ජනපති කාල වාර දෙකක් දැරී ය. ඒ කාලය තුල බ්‍රසීල ආර්ථිකය යහපත් තත්ත්වයකට ගෙන ඒමට ඔහුට හැකි විය, බ්‍රික්ස් නමැති බ්‍රසීල, රුසියානු, ඉන්දීය හා චීන රටවල් වලින් සමන්විත නව සුපිරි බලවතුන්ගේ කට්ටුවක් ගොඩනැගුණේ ද මේ කාලයේ ම ය. ලූලාගේ දෙවන වාරය අවසන් වන විට ඔහුගේ ප්‍රගතිශීලීත්වය ද ජනප්‍රියත්ව ද ක්‍රමයෙන් ඛාදනය විය. පසු කලෙක ඔහුට මුදල් විශුද්ධි කිරීමේ හා දූෂණ චෝදනා එල්ල වූ අතර, ඊට අධිකරණයෙන් වරදකරු වී, දින 580 සිරගත ව සිටියේ ය. ඇපැල් නඩු ගණනාවක් කියා ලූලා කෙසේ හෝ පසු ගිය වසරේ නැවත ජනපතිවරණයට ඉදිරිපත් වී බ්‍රසීල මැතිවරණ ඉතිහාසයේ තෙවරක් තේරුණු නායකයා බවට පත් විය. එහෙත් ඒ වන විට ලූලා හැත්තෑ හත් වන වියේ පසු විය.    

කරට කර තරඟයකින් ලූලා යාන්තමට ජාම බේරා ගත්ත ද, බොල්සනාරෝ අනුගාමිකයින් පරාජය පිළිගත්තේ නැත. ඔවුන් චෝදනා කළේ ලූලා දිණුවේ මගඩියකින් බවයි. බොල්සනාරෝ, ලූලාගේ පදවිප්‍රාප්ත උළෙල මග හැර ඊට දින කිහිපයකට පෙර ඇමෙරිකාවේ ෆ්ලොරිඩාවට ගියේ එවකට වලංගු තම රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝටය භාවිතා කරමිණි. මේ අතර ලූලා විරෝධය දස අතර පැතිර ගිය අතර, බොල්සනාරු-අරගලකරුවන් දහස් ගණනින් සාඕ පඔලෝ අගනුවරට රොක් වෙමින් කඳවුරු බැඳගත් හ.
 
 
volk
 
 
විරෝධයේ කුටප්‍රාප්තිය ජනවාරි අට සිදුවුණේ, අරගලකරුවන්, ජනපති මැඳුර, කොන්ග්‍රස මැඳුර හා ශ්‍රේෂ්ඨාධිකරණයට දහස් ගණනින් බලහත්කාරයෙන් ඇතුළු වී එම ගොඩනැගිලි අත්පත් කර ගැනීමෙනි. තමන්ගේ ආරක්ෂක දැලේ හිලක් ඇති බව දැනගත් ලූලා කීවේ මෙය පැසිස්ට් කුමන්ත්‍රණයක් බවයි. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් කීවේ මෙය ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමේ නිහීන ක්‍රියාවක බව යි. වහා ක්‍රියාත්මක වූ ලූලා, ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්තාපනය කර ගැනුමට උපරීම බලය යොදවා විරෝධතාකරුවන් දහස් ගණනින් අත්අඩංගුවට ගෙන අරගලය මෙල්ල කළේ ය. මෙය බෝල්සොනාරෝගේ අනුදැනුම මත හා ඔහුගේ උසි ගැන්වීමෙන් කළ කුමන්ත්‍රණකාරී දෙයකැයි චෝදනා කළේ ය. ජනවාරි අග වන විට බොල්සොනාරෝගේ මාසයකට වැදුණු රාජ්‍ය තාන්ත්‍රික වීසා ව අවලංගු වන නිසා, ඔහු මාස හයක සංචාරක වීසාවකට එක්සත් ජනපදයෙන් අයදුම් කර ඇත.
 
 
මේ දිනවල ෆ්ලොරීඩාවේ සිට මිරිහාන දක්වා දුරකථන රැහැන් කාර්ය බහුල බව සී ලංකා ටෙලිකොන් සමාගම පවස යි. එවැනි ම දුරකථන ඇමතුම් හුමාරුවක් දක්ෂිණාංශික රනිල් හා වාමාංශික ලූලා අතර ජනවාරි අට සිට දින කිහිපයක් පැවැතිය ද යන ප්‍රශ්නයට ඉහත සමාගම ඍජු පිළිතුරක් දීමට මැළි විය.



Udan fernando(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )
 
320723070 553561629955212 5233208659897488127 n


JW


 
 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්