කවුරු හරි කාගෙන් හරි ඇහුවොත් ‘‘ඇයි ඔයා පොත් කියවන්නෙ...?’’ කියල එක් එක් පුද්ගලය ඒකට දෙන පිළිතුරු විවිධාකාරයි.

ඒ වගේ ම ඒ පිළිතුරු හැම එකක් ම ඒ ඒ පුද්ලයට සාපේක්ෂයි. හැබැයි මේ හැම පිළිතුරක ම එක පොදු සාධකයක් තියෙනව. ඒ තමයි පොත් කියවීමෙන් කාටවත් නරකක් නපුරක් වෙන්නෙ නැති බව. ඉංග්‍රිසි ලේඛකයෙක් වුණ ජෝසප් ඇඩිසන් (Joseph Addison) නම් කියන්නෙ ශරීරයේ වර්ධනයට ශාරීරික ව්‍යායාම වගේ ම මොළයේ වර්ධනයට කියවීම’’ කියල. එහෙම කිව්වට ඒකත් නිවැරැදි ම නැති අවස්ථා තියෙන්න පුළුවන්. මතක නෙ... එක කාලයක් ‘‘ගම්පෙරළිය’’ පොත ගෙදරක තිබුණ නම් ඒ ගෙදර අයට ඉක්මනට ම මාරය ළඟට යන්න අවස්ථාව ලැබුණ විදිය.

 

wolf

''ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක්'' පළමු මුද්‍රණය - පසු මුද්‍රණය 

 

ඒ වගේ ම ඔබට මතක ඇති ලෙනාඩ් වුල්ෆ් නමැති ලේඛකයාගේ  ‘‘A Journey with Leonard Wolf’’  කෘතියේ පළමු සිංහල පරිවර්තනයේ (ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක්) පළමු මුද්‍රණයේ පොත් සියල්ලම වෙළඳපොළෙන් ඉවත් කරන්න කියල ගිරුවාපත්තුවෙ සනුහරයකින් අදාළ පොතේ ප්‍රකාශකයට බලපෑම් කරා; ඒ බලපෑමට කිරීමට යටත් වෙළා ඔහු ඒ පොත් සියල්ල ම විනාශ කරා. නමුත් ඒ පොතේ නවතම මුද්‍රණයක් යළි පළ වුණා. නමුත් ඒ මුද්‍රණයෙ අර ගිරිවාපත්තුවෙ සනුහරය ගැන ලියපු කොටස්වලින් යම් යම් කොටස් පරිවර්තකයා ස්ව කැමැත්තෙන් ම ඉවත් කරා. එහෙම බලද්දි කෙනෙකු පොත් කියවීම ඒ පුද්ගලයට හෝ කණ්ඩායමට වාසියක් වෙද්දි තවත් තවත් පුද්ගලයෙකුට හරි කණ්ඩායමකට හරි අවාසියි. හැබැයි ලෝකෙ බහුතරයක් ගත්තම පොත් කියවීම කියන්නෙ යහපත් දෙයක්. ඒ නිසාම වෙන්න ඇති ‘‘කියවීම මිනිසා පරිපූර්ණ කරයි’’ කියල ඉංග්‍රිසි ජාතික දාර්ශනිකයෙකු වුණ ෆ්‍රැන්සිස් බේකන් කිව්වෙ.

 

කියවීමේ කුලක


දැන් මේ යහපත් දේ භුක්ති විඳින්නත් ක්‍රමයක් තියෙන්න ඕන නේද...? ඒ කියන්නෙ පොත් කියවන්න... ඔවු... පොත්වලින් නිසි ප්‍රයෝජන ගන්න නම් පොත් කියවන්න වෙනව නෙ... ඒකටත් පාඨක ප්‍රජාව විවිධ ක්‍රම භාවිත කරනවා. සමහර අය ඍජුව ම පොත මිලදි අරගෙන කියවනව. තවත් සමහර අය තමන්ගෙ ඥාතියෙක්, මිත්‍රයෙක්, හිතවතෙක් මිලදි ගත්තු පොත ඉල්ලගෙන ගිහින් කියවනව. තවත් සමහර අය පුස්තකාලවල සාමාජිකත්වය අරගෙන ඒ පුස්තකාලෙන් ගෙනල්ල පොත් කියවනව.

මෙන්න මේ කියවීමේ ක්‍රමෝපා පොත් ප්‍රකාශන කර්මාන්තයට වගේ ම ලේඛක ප්‍රජාවට විවිධාකාරයෙන් බලපානවා. ඇත්තට ම ලේඛක ප්‍රජාවට සහ ප්‍රකාශන කර්මාන්තයේ නියැළී ඉන්න ප්‍රජාවට ආර්ථික වාසියක් එන්නෙ යට සඳහන් කරපු පළමු කාණ්ඩයෙන්. ඒ කියන්නෙ ඍජුව ම පොත් මිලදී ගන්න අයගෙන්. මොකද ලේඛක ප්‍රකාශක දෙපාර්ශ්වයට ම යම් මුදලක් ලැබෙන්නෙ ඒ පළමු පිරිසගෙන්. ඔවුන් ඍජුවම පාරිභෝගිකයො. හැබැයි අනෙක් දෙපාර්ශවයෙන් ම ප්‍රකාශක ප්‍රජාවට සහ ලේඛක ප්‍රජාවට ආදායමක් නොලැබුණා කියල ඒ අයට පොත් කියවන්න එපා කියල ලෝකෙ කොහේවත්, කවුරුවත් කියල නැහැ.


පුස්තකාල ඉතිහාසය සහ සේවාව
 
 
ancient libraries 

පුස්තකාල සංකල්පය සහ එහි ඉතිහාසය නම් ක්‍රි. පූ. 1400ත්  1200ත් අතර ඈතට විහිදෙනවා. ලංකාවේ පුස්තකාල ඉතිහාසය පිළිබද සොයා බැලුවොත් නම් සඳහන් වෙන්නෙ මහින්දාගමනයෙන් පස්සෙ තමයි ලංකාවෙ පුස්තකාල ව්‍යාප්ත වුණේ කියල. නමුත් මගේ පුද්ගලික අදහස නම් ඊට පෙරත් අපේ රටේ පුස්තකාල නොතිබෙන්න විදියක් නැහැ කියල. ඒ කොහොම වෙතත් පුස්තකාල නිර්මාණය කරල තියෙන්නෙ ම පාඨක ප්‍රජාවගේ උන්නතිය සඳහා. ඒ නිසා පුස්තකාලයකින් පාඨක ප්‍රජාව කියවන පොත්වලින් (කියවන ප්‍රජාවට සාපේක්ෂව) ආදායමක් ලැබුණෙ නැහැ කියල ලෝකයේ කිසිම ප්‍රකාශන ආයතනයක් හෝ ලේඛක ලේඛිකාවක් ඊට විරුද්ධව නීතිමය පියවර ගත්තෙ හෝ ඊට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරන්නෙ නැහැ. අනාගතයෙදි එහෙම සිදුවෙයි කියලත් විශ්වාස කරන්නත් බැහැ. ඒ වගේ ම කෙනෙක් මිලදී ගත්තු පොතක් ඔහු හෝ ඇයගේ කැමැත්ත පරිදි කොපමණ පාඨක ප්‍රජාවක් අතරට රැගෙන ගියත් ප්‍රකාශන ආයතන, කර්ථෘ ප්‍රකාශන ප්‍රජාව හෝ ලේඛක ලේඛිකාවො විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්නෙ නෑ. ඒක තමයි පොත් සමග බැඳුණු ක්‍රමවේද ය. ඒ ක්‍රමවේද දෙක ම නවත්වන්නත් බැහැ. එහෙම උත්සාහ ගන්න එකේ ප්‍රයෝජනයකුත් නැහැ.


PDF මංකොල්ලය සහ එහි ඉම් පෙදෙස්
 
 
pdf
 

ඒ ක්‍රමවේද ඒ විදියට ම පවතින අතරවාරයේ පසුගිය දින කිහිපයේ ම ලංකාවෙ ප්‍රකාශන ක්ෂේත්‍රයේ යම් ආන්දෝලනාත්මක ක්‍රියාවලියක් සිද්ධ වුණා. ඒ තමයි ප්‍රකාශන ආයතනවල හෝ ලේඛක ප්‍රජාවගේ අවසරයකින් තොරව පොත්වල PDF පිටපත් අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇතිවුණ තත්ත්වය.

මෙතනදි අපිට පාර්ශ්ව දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න වෙනව. අපි දන්නව පසුගිය වසර දෙකක තුනක ඉඳල ම ඇතැම් දුර්ලභ ම කෘතිවල ඡායස්ථිති (Photo Copy) පිටපත් මුහුණු පොතේ පවතින ඇතැම් සමූහවලින් ප්‍රසිද්ධ කරල, ඒවා බාගතකරගන්න පහසුකම් පවා සලසලා තිබුණ. මේ වෙද්දිත් තියෙනව. ඒ වගේ ම ත්‍රිපිටකය සහ ජාතක කතා සංග්‍රහය ඇතුළත් කෘතිවල පවා PDF පිටපත් බාගත කරගන්න පුළුවන් පහසුකම් සලසලා තියෙනවා. ඒක එහෙම වෙන එක හොඳයි. සමහර ප්‍රකාශන ආයතන ම එම ආයතන විසින් ප්‍රකාශයට පත්කරන ලද ත්‍රිපිටක පොත් පෙළෙහි PDF පිටපත් බාගත කරගන්න පුළුවන් විදියෙ පහසුකම් සලසලා තියෙනවා. එතනදි අදාළ ප්‍රකාශන සමාගම්වලට පාඨකයෙක් වෙන මම නම් ස්තුති කරනවා. ඒක වෙනම කාරණයක්. නමුත් පසුගිය දිනවල ඇති වුණ තත්ත්වය ඊට වඩා සංකීර්ණයි.
 

Layout PDF, ඡායස්ථිති PDF සහ Scan PDF
 
 
 
යට සදහන් කරපු විදියට දුර්ලභ කෘතිවල ඡායස්ථිති පිටපත් හෝ සිය කැමැත්තෙන් ම සිය ප්‍රකාශනවල PDF පිටපත් බාගතකරගන්න අවස්ථාව ලබා දීම සහ දැනට මුද්‍රණයේ පවතින, අදාළ කෘති රචිත කතුවර කතුවරියන් පවා තවම ජීවත්වන තත්ත්වයක් තුළ ඔවුන්ගේ කෘතිවල PDF පිටපත් බාගතකරගන්න අවස්ථාව සැලසීම නම් වැරැදියි. වැරැදියි කියන්නෙ නීත්‍යනුකුලව ම වැරැදියි. ඒක බුද්ධිමය දේපළ පනතට එරෙහි කටයුත්තක්. හැබැයි මෙතනදි තවත් ප්‍රශ්නයක් පැන නැගෙනවා. ඒ තමයි මේ විදියට බාගතකරගන්න පුළුවන් විදියට සයිබර් අවකාශයේ තියෙන්නෙ පළමු කෘතියේ ඡායාස්ථිති පිටපත් ද, එසේත් නැතිනම් පොතක් මුද්‍රණය කිරීමට පෙර කරන පිටු සැලසුමේ (Layout) පිටපත් ද, එහෙමත් නැතිනම් මුද්‍රිත කෘතියෙන් ම Scan කරපු පිටපත් ද යන කාරණය. මොකද ඕනැම කෘතියක පළමු Layout පිටපත පවතින්න පුළුවන් තැන් කිහිපයක විතරයි. ඒ: පිටු සැලසුම් කළ ආයතනයේ, ප්‍රකාශන ආයතනයේ, මුද්‍රණාලයේ, සමහරවිට කවරය නිර්මාණය කරන පුද්ගලයා, එම පිටපතෙහි මුද්‍රිත පිටපතක් (Print out) නිකුත් කළ කුමන හෝ ආයතනයක සහ කතුවරයා හෝ කතුවරිය සතුව.
327001175 654006796482176 2899524189453927161 n
 
සමාජ මාධ්‍ය පෝස්ටුවක්
 
ඒ අර්ථයෙන් ගත්ත ම මේ PDF මංකොල්ලය විදියට කතාවෙන්නෙ යට සඳහන් ආකාරයේ කෘතියේ ඡයාස්ථිති පිටපත් ද එසේත් නැතිනම් Layout පිටපත ද යන්න පළමුවෙන් ම විමසා බැලිය යුතුයි. මෙහි දී මේ ආකාරයට සංසරණය වෙන්නෙ, එහෙමත් නැතිනම් මුදල් ගෙවා හෝ නොගෙවා බාගත කරගන්න පුළුවන් පහසුකම පවතින්නෙ Layout පිටපත නම් එය පිටස්තර පුද්ගලයන් අතට පත්වුණේ කොහොම ද, එසේ පත්කළේ කවුද යන්න සොයා බැලිය යුතුයි; සොයා බලා ඔවුන් දැනුවත් කළ යුතුයි. තමන් නොදැනුවත්ව හෝ මීට අදාළ පුද්ගලයාගෙන් හෝ ආයතනයෙන් පිටස්තර පුද්ගලයෙක් අතට Layout පිටපත ලැබුණා නම් ඒ කෙසේද යන්න සොයා බැලිය යුතුයි. එහි දී දැනුවත්ව හෝ නොදැනුවත්ව කිසියම් ම හෝ ආකාරයකට Layout පිටපත පිටස්තර පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් අතට පත් වී තිබේ නම්, එබඳු පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් අදාළ Layout පිටපත අනවසරයෙන් අලෙවි කරනවා නම් ඔවුන්ට එරෙහිව නිතිමය පියවර ගත යුතු ම යි. මොකද එය ඍජුව ම සොරකමක්.
 
 
 
ඊළඟට අපි යමු මුද්‍රිත කෘතියේ ඡායාස්ථිති පිටපත් හෝ කෘතියේ පිටු Scan කර බෙදාහැරීම පිළිබඳව කාරණයට. මෙතනදි ලිපියේ යට සදහන් කරපු විදියට ඉතාමත් දුර්ලභ, ඉපැරණි කෘතියක පිටපත් අදාළ කතුවරයා හෝ කතුවරිය ධරමානව සිටින්නේ නම් ඔහුගෙන් හෝ ඇගෙන් විමසා, එසේත් නොමැති නම් කතුවරයා හෝ කතුවරිය මිය ගොස් හැත්තෑ වසර ඉක්මවා ගොසින් නම් ඒ විදියට Scan කරල බෙදාහැරියට කමක් නෑ. මොකද එහෙම තත්ත්වයක් තුළ ඒක වැරැද්දක් නෙවෙයි. නමුත් ඊට බාහිරව, ඒ කියන්නෙ කතුවරයා හෝ කතුවරිය ධරමානව සිටිද්දි, ඒ වගේ ම ප්‍රකාශන ආයතනයේ අවසරයකින් තොරව කෘතියේ ඡායාස්ථිති පිටපත් හෝ පිටු Scan කර අලෙවි කිරීම සහ බෙදාහැරීම කියන්නෙ ම බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කිරීමක්; කතුවර සහ ප්‍රකාශන අයිතිය මංකොල්ල කැමක්. ඊට එරෙහිව ප්‍රකාශන ආයතන සහ කතුවර කතුවරියෝ නීත්‍යානුකුල පියවරක් ගත යුතු ම යි. මොකද එහෙම නොවුනොත් ප්‍රකාශන ආයතනයක් ලක්ෂ ගණනක් වියදම් කරල කෘතියක් නිකුත් කරපු සැණින් ම ඒක මිලදී අරගෙන ගිහින් පිටු ගලවල, Photo Copy ගහල හෝ Scan කරල විකුණනව කියන්නෙ අමු ම අමු මංකොල්ලයක්; එහෙම අලෙවි කිරිම විතරක් නෙවෙයි මිලදි ගැනීම පවා නීති විරෝධියි. මොකද හොරකම් කළ භාණ්ඩ සන්තකයේ තබාගැනීමත් දලඩුවම් ලැබිය හැකි වරදක්. එහෙම නම් ඒ වැරැද්ද කරන අයට එරෙහිව නීතිමය පියවර ගත යුතු ම යි; ඒ ගැන විවාදයක් නෑ.
 
 
මම දැන් අවධානය යොමු කරන්නෙ කෘති ඡායාස්ථිති (Photo Copy) කර අලෙවි කිරීමේ ජාවාරම ගැන. මේ වැඩේ වැඩිපුර ම සිද්ධ වෙන්නෙ සරසවි සහ බාහිර උපාධි ආයතන ආශ්‍රිතව. මෙතනදිත් සැලකිය යුතු කරුණු දෙකක් තියනව. සමහර විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාව විසින් තමන්ගෙ ශිෂ්‍ය ප්‍රජාව වෙත නිර්දේශ කරනු ලබන කෘති මුද්‍රණයේ නෑ. සමහර ආචාර්යවරු තමන්ගෙ කෘතියක් ඒ විදියට නිර්දේශ කරල ඒක මුද්‍රණයේ නැතිනම් කිසියම් ප්‍රකාශන ආයතනයකට බාර දීල මුද්‍රණය කරවනවා. ඊට පස්සෙ ඒ ආචාර්වරයා හෝ ආචාර්යවරිය ම තමන්ගෙ ශිෂ්‍ය ප්‍රජාවට ඒ කෘතිය අලෙවි කරනවා. ඒක වෙනම ම වෙළඳ උපක්‍රමයක්. නමුත් මට ලියන්න වුමනා ඒක නෙවෙයි. ඇත්තට ම සමහර ආචාර්යවරු සහ ආචාර්යවරියො ඉන්නව තමන්ගෙ ම කෘතියක් හෝ වෙනත් ලේඛකයෙකුගෙ හෝ ලේඛිකාවකගෙ පොත් නිර්දේශ කරල ඊට පස්සෙ ඒ පිළිබඳ සොයා නොබලන. ඒ කියන්නෙ ‘‘ඔයාල කොහොම හරි මේ පොත හොයාගෙන කියවන්න’’ කියන පදනමේ. එබඳු අවස්ථාවක අදාළ පොත මුද්‍රණයේ නැතිනම් එහි ඡායාස්ථිති පිටපතක් භාවිත කරන එක ගැටලුවක් නෑ. නමුත් මම දන්න ඉතිහාසයේ සරසවි ආශ්‍රිතව අදාළ කෘතිය අලෙවියට තියෙන වාතාවරණයක පවා ඡායාස්ථිති පිටපත් අරගෙන භාවිත කරනවා. මේ වැඩෙත් බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කිරීමක්.

මෙතනදි කවුරු හරි කියන්න පුළුවන් එහෙම කරන්නෙ සල්ලි නැති නිසා කියල. නමුත් මම ඒ කාරණය පිළිගන්නෙ නෑ. ඒකට හේතු ලියනවා නම් ඒ ගැන වෙනම ම පොතක් වුනත් ලියන්න පුළුවන්. ඒ නිසා ඔය වැඩෙත් නවත්තන්න ඕන. එතනදිත් ආදායමක් අහිමි වෙන්නෙ ප්‍රකාශන ආයතනයට සහ කතුවරයාට හෝ කතුවරියට.
 
 
මේ වැඩේ බුද්ධිමය දේපළ පනතට විරුද්ධ නිසා තමයි: ජාතික පුස්තකාල හා ප්‍ර ලේඛන සේවා මණ්ඩලය, ජාතික ලේඛනාගාරය සහ කෞතුකාගාර පුස්තකාලය කිසිම කෘතියක සම්පුර්ණ ඡායාස්ථිති පිටපතක් නොදෙන්නෙ; Scan පිටපතක් නොදෙන්නෙ. ඒ ආයතනවල කිසියම් පුද්ගලයෙකුට ලබාගැනීමේ හැකියාව පවතින්නෙ අදාළ කෘතියේ අන්තර්ගත පිටු ප්‍රමාණයෙන් 10% පිටු ප්‍රමාණයක් පමණයි. ඊට වඩා ඔවුන් නිකුත් කරන්නෙ නෑ. නමුත් සරසවි තුළ පවත්නා සහ ඒ අවට පවත්නා ඕනෑම සන්නිවේදන මධ්‍යස්ථානයකට ඕනෑම පොතක් ගෙනිහින් දුන්නොත් කිසිම වගවිභාගයක් නැතුව සම්පූර්ණ පොත ම ඡායාස්ථිති කරල දෙනව. මේකෙ උත්ප්‍රාසාත්මක ම දේ වෙන්නෙ PDF මංකොල්ලයට එරෙහිව හඩ නගන බොහෝ දෙනෙක් පවා තමන්ගෙ සරසවියෙදි අනුන්ගෙ කෘති Photo Copy ගහල භාවිත කරපු එක. මම මේ PDF මංකොල්ලය සාධාරණීකරණය කරනව නෙවෙයි. නමුත් ලංකාවෙ වැඩ කෙරෙන්නෙ එහෙමයි. මම නැවතත් ලියනවා ඉපැරණි, දුර්ලභ කෘතියක් හෝ කතුවරයා හෝ කතුවරිය මිය ගොස් හැත්තෑවසරක් ඉක්ම ගොස් තිබේ නම් එබදු කෘතියක් මේ කුමන හෝ ආකාරයකට පිටපත් කරගෙන භාවිත කිරීම වැරැද්දක් නෙවෙයි. නමුත් අනෙක් ඕනෑ ම ක්‍රමයක් කියන්නෙ ම බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කිරීමක්; නීත්‍යනුකුල නොවෙන ක්‍රියාවක්; නීතියෙන් දඬුවම් ලැබිය යුතු ක්‍රියාවක්.
 
 
හෑෂ් ටැග් විනෝදය
 
 
326983192 1448309062359734 6415362010777105685 n
 
සමාජ මාධ්‍ය පෝස්ටුවක්
 

මගේ ඊළඟ අවධානය යොමු වෙන්නෙ පහු ගිය දවස්වල #go home gota# හෑෂ් ටැග් එක තරම් නොවුනත් රැල්ලට ගියපු #යළි නොලියමි හෑෂ් ටැග් එක ගැන. මේ වැඩේ කිසිම තේරුමක් නැති වැඩක්. අනික ලේඛකයකුට හෝ ලේඛිකාවකට ‘‘නොලියා ඉන්න පුළුවන් නම්’’ මම හිතන්නෙ ඔහු හෝ ඇය ලේඛකයෙක් හෝ ලේඛිකාවක් නෙවෙයි.

PDF මංකොල්ලය නිසා ලේඛක ලේඛිකාවන්ට අසාධාරණයක් වෙනව. ඒක ගැන විවාදයක් නෑ. හැබැයි නොලියා ඉන්නව කියන්නෙ ඒකට විසදුමක් නෙවෙයි. ඒකත් හරියට අපි QR ක්‍රමයට ඉන්ධන ගන්න හුරු වුණා වගේ ම වැඩක්. අනික පවතින ක්‍රමයට අනුගත වුණා වගේ වැඩක්. මොකද පාලකයො කැමතියි පොත් පත් නොලියවෙනවා නම්; කලා නිර්මාණ බිහි නොකරනවා නම්. මොකද මිනිස්සු දැනුවත් වෙන්නෙ ඒ මගින්. ඉතිං ලේඛක ලේඛිකාවො නොලියා ඉන්න තිරණය කරොත් ඉබ්බ දියට දැම්මම ඇන්නෑවෙයි කිව්ව වගේ පාලකයො ඔය හොරුන්ට විරුද්ධව පියවර ගන්නව වෙනුවට තව තවත් හොරකම් කරන්න පුළුවන් විදියෙ වැඩ පිළිවෙළක් හදාවි. මොකද ලේඛක ලේඛිකාවො නොලියන එක එයාලගෙ පැවැත්මට වාසි නිසා. ඒ නිසා ‘‘#යළි නොලියමි’’ හෑෂ් ටැග් ගහන එක නවත්තල මේ මංකොල්කාරයන්ට එරෙහිව නීත්‍යනුකුල පියවර ගන්න පුළුවන් විදියක් ගැන සාකච්ඡා කරන්න; සංවිධානය වෙන්න; හොරු පරාද කරන්න.  


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2023/02/05    


JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්