“සංස්කෘතිය, මිනිසා ශිෂ්ටත්වයට පත් කරයි. එසේම බේදභින්න නොකරයි. විවිධ ජාතින්ට අයත් මිනිසා සිය අනන්‍යතාව විදහා දක්වන්නේ සංස්කෘතියෙනි.
අවසානයේදී මිනිස් වර්ගයා සතු සියළු අනන්‍යතාවන් මනුෂ්‍යත්වය නමැති දේදුන්නේ විවිධ පැහැයන් සේ නොබිදි ඒකරාශිවී පවතියි. එබැවින් සියළු සංස්කෘතීන් මානුෂීය බවින් අනූනය”
-හර්බට් ස්පෙන්සර්-
කාලය ඔස්සේ පරිණාමයට ලක්වන මිනිස් වර්ගයා එකම ජන වර්ගයක්සේ පවතින්නේ නම් එහි සුන්දරත්වය ක්‍ෂය වී යන්නාසේ, මිනිසුන් සතු මානුෂීය බවද ක්‍ෂය වී යන්නේය. එබැවින් මිනිසා විවිධ භාෂාවන් කථා කරන විවිධ ආගම් ඇදහිලි අදහන විවිධ ඇඳුම් විලාසිතාවන් හැඩවන විවිධත්වයෙන් යුතුව සිය දිවිරඟ මඩල වර්ණවත් කරන අතර ඔවුන් සතු සොබා දහමේ දායාදය ලෙසින් අධ්‍යාත්මිකව උසස් තලයකට පමුණුවන්නේ සංස්කෘතියෙනි, සංස්කෘතිය හා බැඳි ශිෂ්ටත්වයෙනි.
දෙවියන් මහපොළවට මිනිසා ඒවා ඇත්තේ එකිනෙකා හා ගැටෙන්නට නොවන බව සංස්කෘතිය කියාදෙන අතර එහි මූලික හරය ලෙස සංහිඳියාව නිර්මාණය කර ඇත්තේය.
එහෙත් මිනිසා ස්වකීය ජාතීන්ට අනන්‍යවූ ලක්‍ෂණ සහිතව පවත්නා සංස්කෘතිය, භාෂාව, ආගම ආදී ශිෂ්ටත්වයේ මානව හිතවාදයේ නාමයෙන් පවා එකිනෙකා හා ගැටෙති.
සැබැවින්ම මේ මහ පොළොව මත මිනිසා ජනිතවී ඇත්තේ එකිනෙකා හා ගැටී මහ පොළොව රුධිරයෙන් තෙත් කරන්නට නොවේ. මහපොළොවේ සීමා මායිම් ලකුණු කරගෙන ඒ සීමා මායිම් තුළ කොටුවී සිය පැවැත්ම තකා භාෂාව, ජාතිය සහ සංස්කෘතිය යන ශිෂ්ටත්වයේ සාධක වලිනි. ඉන් බාහිරව ගොඩ නැගුණු වර්ගවාදී යුද ගැටුම් වල නිරත වීම මනුෂ්‍යත්වයට පටහැනි දෙයකි.
සංස්කෘතිය යනු කුමක්ද? සංස්කෘතිය යනු යම්කිසි ජන ප්‍රජාවකට අයත් වූ සිරිත් විරිත්, ඇදහිලි, උත්සව, අදහස් හුවමාරුව, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන, ආදී සියල්ලම නියෝජනය කරණු ලබන ස්වීයත්වයට අනන්‍ය වූ ලක්‍ෂණ පෙන්නුම් කරණු ලබන චින්තන දහරාවකි. එය සැබැවින්ම රැඳී ඇත්තේ තමන්ටම අනන්‍ය වූ ජීවන පැවැත්ම තුළය.
නිදසුනකට ගතහොත් අප රට තුළ වාසය කරන ජාතීන් යනුවෙන් හඳුන්වන ජන ප්‍රජාවන් කිහිපයක් ඇත. සිංහල, දමිළ මුස්ලිම්, බර්ගර් ආදී වශයෙන් හඳුන්වනු ලබන එම ජනප්‍රජාවන්ට ආවේණික සිරිත් විරිත් ඇත. ඇදහිලි ඇත. උත්සව ඇත. අදහස් හුවමාරුව සඳහා භාෂාව ඇත. ඇඳුම් පැළඳුම් ඇත. වාසස්ථාන ඇත. ජීවත්වන විවිධ ශෛලීන් ඇත. මේවා සියල්ලම ඒ ඒ ජාතීන්ට ආවේණික වූ ලක්‍ෂණයි. ඒ ලක්‍ෂණ සියල්ලම ඒකරාශි වූ විට එය අප හඳුන්වනු ලබන්නේ “සංස්කෘතිය” යන නාමයෙනි.
“සංස්කෘතික මිනිසා” යනු ශිෂ්ටත්වයට පත්වූ මිනිසාය. එබැවින් “සංස්කෘතිය” යනු ශිෂ්ටත්වයයි. තිරිසන් සතුන් සහ මිනිසා වෙන් කරණු ලබන මහා පවුර වූ කලී සංස්කෘතියයි.
එබැවින් නේකවිධ පැහැයන් ගත් දේදුන්නක වර්ණාවලියක්සේ එක්ව බැඳී ජීවත්වීම තුළ තම තමන්ට ආවේණික ශිෂ්ටත්වයේ ලක්ෂණ සහිත “සංස්කෘතිය” ලෙස හඳුන්වනු ලබන බැඳීම විවිධ ජාතීන් සතුව ඇත.
සංහිඳියාවද, හික්මවූ මිනිසා සතුව පවත්නා බැඳියාවේ ප්‍රධාන ලක්ෂණයකි.
ජාතීන් කිහිපයක් එකම රටක් තුළ ජීවත් වීමේදී එකිනෙකාගෙන් වෙන්ව බැඳීමට එරෙහි පවුරු ගොඩනගාගත යුතු නැත. එකිනෙකාට එරෙහිව අවි අමෝරා ගත යුතු නැත. ලේ හලා ගත යුතු නැත. එය මානව වර්ගයාට එරෙහිව කරනු ලබන ගැටුම් ඔස්සේ රුධිරයෙන් ලියා තබන්නාවූ අපවිත්‍ර සටහනකි.
සංස්කෘතියේ නිවුන් සොයුරා වූ “කලාව” ද මිනිසා ශිෂ්ටත්වයට පත්කරනු ලබයි. “කලාව” බැඳී ඇත්තේ සොබා දහමින් ජනතිවූ සෞන්දර්යටය. මිනිසාගේ සිත් සතන් සුන්දරත්වයට පත්කරන්නේ කලාවයි. එසේම සංස්කෘතියයි.
ලෝකයේ අප දන්නා ඉතිහාසය තුළ ආගම් සහ දර්ශනවාද බිහිකිරීම උදෙසා ශාස්තෘවරුන්, දර්ශනවාදීන් මේ මහ පොළොව මත බිහිවූහ. බුදුන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ, මහමත්තුමා, ආදී ශාස්තෲවරුන්සේම ප්ලේටෝ, ඇරිස්ටෝටල් ආදී දර්ශනවාදීන්ද මේ මහ පොළොව මත බිහිවූයේ මිනිසා උසස් මිනිසෙකු ලෙස බිහිකිරීම සඳහා වූ ආගම් සහ දර්ශනවාද ප්‍රචලිත කරනු පිණිසය.
ඊට ප්‍රතිපක්ෂව ඒ සියල්ලම විකාශ කරමින් කෝපය, වෛරය ආදී නුගුණ රෝපණය කිරීම සඳහා කෲර රජවරුන්, කුරිරු පාලකයින්, ඒකාධිපතියන්, කෲර ආඥාදායකයින් මේ මහ පොළොව මත බිහිවූහ. හෙටද එවැන්නෝ බිහිවෙති.
එහෙත් යහපත සහ අයහපත අතර නොනිමි ගැටුමේදී මිනිසා ඒ අතර වූ වෙනස්කම් හඳුනාගත යුතුව ඇත. බොහෝ විට මිනිසා එය නිවැරදිව හදුනානොගන්නා කල්හී දුෂ්කරතාවට පත්වන්නේද මිනිසාමය.
ජාතිවාදී ගැටුම්, ආගම්වාදී ගැටුම්, කුලගෝත්‍ර ගැටුම් ආදිය නිසා කිසිදු රටක් මේ ලෝකය තුළ හිස ඔසවා නැත. දියුණු වී නැත. අද අප රට තුළ මෙවන් තත්ත්වයක් පැවැතීමට හේතු රාශිය අතර අප මුලින් හේතු ද අඩුවැඩි වශයෙන් ඇත්තේය.
රටක් දියුණුවට පත්විය යුත්තේ ආර්ථික වශයෙන් පමණක් නොවේ. අහස උසට නැගි නෙළුම් කුළුණු සශ්‍රීක රටක් සඳහා හොඳ නිදසුනක් නොවේ. “පහන් කන්ද මුල අඳුරුයි” මෙන් නෙළුම් කුළුණ යටද ඇත්තේ පැල්පත්ය.
සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ට සමකළ නායකයින් අප රට තුළ සැබැවින්ම බිහිවිය යුතුව ඇතත් එය එසේ සිදු නොවුණි. ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇතිකර ලී ක්වාන් යූ සිංගප්පූරුවේ නායකයා වූයේ නැත. ඔහු සිංගප්පූරුවට ආවේණික ස්වීය ආර්ථිකයක්,ස්වාධීන සංස්කෘතියක් ගොඩ නගනු ලැබුවේ චීන, දමිළ, මැන්ඩරින්, මැලේ ආදී ජාතීන් සියල්ලම එරට තුළ ඒකරාශිකරවමින් සංහිඳියාව පෙරදැරි කරගත් සිංගප්පූරු ජාතියක් ගොඩනැගීමෙනි.
එහෙත් අප රට තුළ නිදහසින් පසු කිසිදු පාලකයකු සද්භාවයෙන් යුතුව ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩ නැගුවේ නැත. ඒ වෙනුවට ඔවුන් කළේ නිබඳවම ජාතිවාදී ගැටුම් ඇතිකරමින් බලය රැක ගැනීම පමණි.
එබැවින් අප රට තුළ ගොඩනැගිය යුත්තේ ශිෂ්ට සම්පන්න ශ්‍රී ලාංකීය ජාතියකි. එයට මේ සාම්ප්‍රදායික ආබාධිත මහළු ජාතිකයින්ට දායක වීමේ හැකියාව කරන්නේම ඕනෑකමක් ද නැති වග ජනතාව දැන්වත් අවබෝධකරගත යුතුව ඇත.
සිංහල - දමිළ - මුස්ලිම් ඒකියත්යෙන් යුක්ත ශ්‍රී ලාංකීය සංස්කෘතියක් ගොඩ නැගිය යුතුව ඇත. බෞද්ධ - හින්දු - ඉස්ලාම් - කතෝලික ආගම්වල ඒකීයත්වයේ ශිෂ්ට සම්පන්න සංස්කෘතික මිනිසා අභිමානවත් ශ්‍රී ලාංකිකයා ලෙසින් බිහිකළ යුතුව ඇත.
එසේ කළ හැක්කේ පැරණි යල් පැන ගිය ආර්ථිකය, දේශපාලනය, සංස්කෘතිය ආදියෙන් විනිර්මුක්ත වී නව සංස්කතික මිනිසා යළිත් බිහිකිරීමෙන් පමණි. අඳුරේ අතපත නොගා බුද්ධිමය පහත දැල්වීමට කාලය එළැඹ ඇත.
“සැබෑ සතුට හඹායාමේ අවශ්‍යතාව යනු අපේ නිදහසේ අත්තිවාරමයි” -ජෝන් ලොක්ස් -
(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී