ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් සංවිධානය කෙරෙන ප්‍රථම ණය හිමි-ණයගැති වටමේස රැස්වීමට පැමිණෙන බවට,

ලොව දෙවන විශාලතම ආර්ථිකය වන චීනය තහවුරු කර තිබේ.



චීනය ඉන්දියාවට


IMF විසින් මෙම වටමේස රැස්වීම සංවිධානය කර ඇත්තේ ඉන්දියාවේ දී ය.

IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මෙම සතිය මුල දී අනාවරණය කරන ලද ආකාරයට, චීනය නියෝජනය කරමින් මෙම රැස්වීමට පැමිණෙන බව එරට මුදල් ඇමැතිවරයා සහ චීන මහජන බැංකුවේ අධිපතිවරයා තහවුරු කර ඇත.

මෙම හමුව පෙබරවාරි මස අග දී බැංගලෝර්හි දී පැවැත්වීමට නියමිත ය. ජෝර්ජිවා පසුගිය මාසයේ දී පැවසුවේ, එම පළමු රැස්වීම ඉන්දියාවේ සභාපතිවයෙන් යුතු G20 සංවිධානයේ මූල්‍ය නිලධාරීන්ගේ කණ්ඩායම් රැස්වීමකට සමගාමීව පවත්වන බව යි.

china

එසේම මෙම රැස්වීම හේතුවෙන්, මහජන චීන සමූහාණ්ඩුවට ණයවී සිටින ජාතීන්ට සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ න්‍යාය පත්‍ර පිළිබඳව සිය ණයහිමියන් සමග සෘජුවම සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබෙන බව ද ඇය පෙන්වා දී තිබේ.

“අඩු ආදායම් ලබන රටවලට සිය විදේශ ණය ආපසු ගෙවීමට නොහැකිවීම නිසා වර්තමානයේ චීනයට සිය ප්‍රතිපත්ති වෙනස් කිරීමට සිදුවී තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ඉහළම ප්‍රමුඛතාවයක් බවට පත්වන්නේ මේ නිසා යි. සාම්ප්‍රදායික ණයදෙන්නන්, චීනය, සෞදි අරාබිය, ඉන්දියාව වැනි නව ණයදෙන්නන් මෙන්ම පෞද්ගලික අංශය ද ඇතුලත්වන පරිදි, ඔවුන්ගේ ණයගැති රටවල් සමග එක මේසයක අසුන්ගෙන සාකච්ඡා කිරීම යි අපගේ අරමුණ," ජෝර්ජියේවා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.



ශ්‍රී ලංකාවේ IMF ණය වැඩසටහන සම්බන්ධ නවතම තත්ත්වය

ශ්‍රී ලංකාවේ IMF ණය වැඩසටහන සම්බන්ධයෙන් ගත්කල, එහි නවතම වර්ධනය වන්නේ, රටේ ප්‍රධානතම ද්විපාර්ශ්වික ණයහිමියන්ගේ එකමුතුව වන 'පැරිස් සමාජය' (Paris Club) විසින් ඊයේ (පෙබ. 7) සිය මූල්‍ය සහතිකය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදීම යි. එහි අදහස වන්නේ, ශ්‍රී ලංකාව විසින් පැරිස් සමාජයේ සාමාජික රටවලින් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණයට කැමැත්ත පළකිරීම යි.

Paris Club 714430

"රටේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට ඉඩ සලසන, ශ්‍රී ලංකාව සඳහා අපේක්ෂා කරන IMF වැඩසටහනේ, IMF විධායක මණ්ඩලයේ අනුමැතියට සහායවීම සඳහා පැරිස් සමාජයේ සාමාජිකයන් හංගේරියාව, සෞදි අරාබිය, අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදල සහ ඉන්දියාව මෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියෝජිතයන් ඉදිරියේ මූල්‍ය සහතික ලබාදීම වෙනුවෙන් රැස්වීමක් පැවැත්වීය. එහිදී ගනු ලැබූ තීරණයට අනුව, පැරිස් සමාජයට අයත් වාණිජ ණයහිමියන්ගෙන් සහ අනෙකුත් නිල ද්විපාර්ශ්වික ණයහිමියන්ගෙන්, අවම වාසිදායක කොන්දේසි මත, සංසන්දනාත්මක ණය විසඳුමක් ලබාදෙන තෙක් සියලුම ණයහිමියන් හිඟ මුදල් තබා ගැනීමට එකඟවිය," යනුවෙන් ශ්‍රී ලංකාව සමබන්ධයෙන් පැරිස් සමාජය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මීට පෙර පසුගිය දෙසැම්බර් මාසයේදී පැරිස් සමාජය විසින් මෙම කැමැත්ත නිල නොවන ආකාරයෙන් ප්‍රකාශයට පත්කර තිබුණේ ය.

2022 දෙසැම්බර් 03 වැනිදා සිදුකරන ලද ප්‍රකාශයකට අනුව පැරිස් සමාජය මූලික මට්ටමින් යෝජනාකර තිබුණේ, දිවයිනේ පවතින මූල්‍ය අර්බුදය විසඳීම සඳහා සූත්‍රයක් ලෙස ශ්‍රී ලංකාවේ ණය සඳහා වසර 10ක ණය සහන කාලයක් සහ වසර 15ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාලයක් ලබාදිය යුතු බව යි.
පැරිස් සමාජයේ මෙම එකඟතාවට පැමිණෙන්නේ, ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය ලබාදෙන්නන් අතරින් ප්‍රධාන පාර්ශවයක් වන ඉන්දියාව විසින් සිය ණය වෙනුවෙන් ප්‍රතිව්‍යුහගතකරණ සැලසුමකට එකඟ බව පළමුවෙන් නිවේදනය කිරීමත් සමග ය.

2023 ජනවාරි අවසන් සතියේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉන්දීය විදේශ ඇමැති එස්. ජෙයිෂන්කර් විසින් ශ්‍රී ලංකාවේ ණය වෙනුවෙන් ඉන්දියාව ලබාදෙන මූල්‍ය සහතිකය පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කළේ ය.

ඒ අනුව, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඩොලර් බිලියන 2.9ක ණය මුදල නිදහස් කිරීමට අවශ්‍ය IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් දැන් ඉතිරිව ඇත්තේ ජපානයේ සහ චීනයේ නිල මූල්‍ය සහතික පමණකි. ඒ අතුරින් ජපානය ද මේ වන විට සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වෙනුවෙන් නොනිල කැමැත්ත පළකර ඇත.

ජපාන එකඟතාව පිළිබඳවද ගැටලුවක් නොපවතින්නේ, 2022 සැප්තැම්බර් 23 වැනිදා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිඩෙකි මිසුකොෂි පළමුවත්, අනතුරුව ජපාන විදේශ සහ මුදල් ඇමතිවරු දක්වාත් වරින්වර ශ්‍රී ලංකාවේ IMF ණය වැඩසටහන වෙනුවෙන් සිය සහාය ලබාදෙන බව ජපානය අඛණ්ඩව ප්‍රකාශ කර තිබීම නිසා ය.



ස්වෛරී බැඳුම්කරහිමියන්ගේ කැමැත්ත

ශ්‍රී ලංකාවේ IMF ණය වැඩසටහන ක්‍රියාත්මක වන අතරවාරයේ මෑතක දී සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වේ.

ශ්‍රී ලංකාව පළමු අදියරේ දී සිය ද්විපාර්ශ්වික ණයහිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරවා ගැනීමෙන් අනතුරුව, IMF විසින් සිය ණය මුදලේ කොටසක් නිදහස් කරනු ලබයි. එහි අනෙක් කොටස් මුදාහරිමේ දී ශ්‍රී ලංකාව විසින් ඉටුකළ යුතු තවත් කොන්දේසි කිහිපයක් පවතියි.

ඒ අතරින් ප්‍රධාන කොන්දේසියක් වන්නේ ශ්‍රී ලංකාව සිය ස්වෛරී බැඳුම්කරහිමියන් වෙතින් ද ඒ ආකාරයේම ණය ප්‍රතිව්‍යුහගතකරණයකර ගැනීමේ සහතිකයක් ලබාගැනීම යි.

පෙරකී වැදගත් සිදුවීම වන්නේ, IMF වැඩසටහනේ පළමු අදියර නිමාවන්නටත් පෙර සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සාකච්ඡාවල නිරතවීමට ඇති කැමැත්ත ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කරහිමියන් විසින් දැනුම්දීම යි.

මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ අදාළ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපිය බැඳුම්කරහිමියන් විසින් IMF වෙත නිල වශයෙන් යොමුකර ඇතැ යි පෙබරවාරි 04 වැනිදා ජනමාධ්‍ය හමුවේ තහවුරු කරනු ලැබීය.



චීනය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදී ඇති එකඟතාව ප්‍රමාණවත්ද?

ඒ අනුව බැලූබැල්මට දැන් ඉතිරිව ඇත්තේ චීනයේ කාර්යභාරය පමණකි. අද වන විට ලොව ඉහළම අර්බුදකාරී මට්ටමින් ණය ආපසු ගෙවීමට අරගල කරන, සංවර්ධනය වෙමින් පවතින රටවල් බහුතරයකට විශාලතම ණයදෙන්නා වන්නේ චීනය යි.

චීනය රටවල් 150කට ආසන්න සංඛ්‍යාවකට මාර්ග සහ වරායන් ඇතුළු තවත් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ඩොලර් ට්‍රිලියන ගණනක් ණය ලබා දී ඇත.

ශ්‍රී ලංකාව, සැලකියයුතු කාලයක සිට සිය IMF පැකේජය විවෘත කරගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගැනීම වෙනුවෙන් අපේක්ෂාවෙන් සිටින, චීනයෙන් එලෙස ණය ලබාගත් ජාතීන්ගෙන් එකකි.

පසුගිය සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව, IMF නිර්දේශයට අනුව ශ්‍රී ලංකාව විසින් සිය ණයහිමියන්ට ගෙවිය යුතු ණය ප්‍රමාණය ගණනය කළේ ය. එම ගණනයට අනුව ශ්‍රී ලංකාව විසින් මේ මොහොතේ සිය ද්විපාර්ශ්වික ණයහිමියන් වෙතින්, IMF නිර්දේශයන්ට අනුව ප්‍රතිව්‍යුහගතකරණය කරවාගත යුතු සමස්ත ඩොලර් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 14 075කි.

විශේෂත්වය වන්නේ එම ණය තොගයෙන් 52%ක්ම (ඩොලර් බිලියන 7324ක්ම) චීනයට අයත්වීම යි. චීනය IMF වැඩසටහනේ දී වැදගත්ම සාධකයක් වන්නේ ඒ අනුව ය.

කෙසේවෙතත් පසුගිය සතිය වනවිට චීනය ද ශ්‍රී ලංකාවට ලබාදී ඇති සිය ණය සම්බන්ධයෙන් සහතිකයක් ලබාදීමට පියවර ගනු ලැබීය.

mcvld

චීනයේ විදේශ අමාත්‍යාංශය විසින් පසුගිය සතියේ ප්‍රකාශ කර තිබුණේ චීනයේ ආනයන අපනයන බැංකුව (EXIM) ශ්‍රී ලංකාවට ණය දිගුවක් ලබාදී ඇති බව යි. එහි අදහස වූයේ, චීන එක්සිම් බැංකුව විසින් ලබාදී ඇති ඩොලර් බිලියන දෙකක පමණ ණය, ශ්‍රී ලංකාව විසින් 2023 සහ 2024 යන වසරවල දී ආපසු ගෙවීම අවශ්‍ය නොවන බව යි.

එහෙත් චීනයේ එම ප්‍රකාශය දින කිහිපයකට පසුව IMF විසින් පෙන්වා දී තිබුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ ණය පැකේජය සඳහා සිය විධායක මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට IMF වෙත චීනයෙන් තවත් සහතික කිරීම් අවශ්‍යබව යි.

ඇත්තෙන්ම චීනය අවසානයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදී ඇති මෙම එකඟතාව IMF වැඩසටහන සඳහා ප්‍රමාණවත් නොවන බව පැවසෙන්නේ ඇයි? සිය සම්පූර්ණ ණය වෙනුවෙන් අනෙක් ණයහිමියන් එකඟවන පොදු ප්‍රතිවුහගතකරණය කිරීමේ ක්‍රියාවලියකට චීනයට එකඟ වීම අපහසු ද? මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වා දෙන්නේ, චීනය ලබාදී ඇති වසර දෙකක ණය කල්දැමීම ශ්‍රී ලංකාවට හෝ මූල්‍ය අරමුදලට ප්‍රමාණවත් නොවන බවයි.

"මෑතකාලීනව පැරිස් සමාජයට පිටින් රටවලට ණය ලබාදීපු චීනය වගේ රටවල් නිසා, පොදුවේ ලෝකයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම් ප්‍රමාද වෙනබව පේන්න තියෙනවා. සැම්බියාව වගේ රටවල දී වුණෙත් ඒක."

"චීනය ප්‍රමාද කරලා කරලා අනුමැතිය ලබාදුන්නට, මූල්‍ය අරමුදලේ අවසන් සහතිකය ලැබිල තිබුණට, තවමත් ණය මුදල නිදහස් කරලා නැහැ. ලංකාවට වුණත් මූල්‍ය අරමුදලේ ණය අනුමත වුණාට, ණය මුදල නිදහස් කිරීම ක්ෂණිකව සිදුවෙයි ද කියන එක සැකසහිත යි. ඉන්දියාව 'අසල්වැසියා ප්‍රමුඛයා' කියන ස්ථාවරයේ ඉඳලා, ශ්‍රී ලංකාවට ණය තිරසාර කිරීමට අදාළ සහයෝගය දීලා තියෙනවා. හැබැයි චීනයෙන් ලබාදීලා තියෙන පණිවිඩය එතරම්ම සුබදායී බව පෙන්නේ නැහැ."

"අවුරුදු දෙකකට ණය ආපසු ගෙවීම අවශ්‍ය නැහැ කියලා සහන කාලයක් ලබාදෙන්න චීනය කටයුතු කරලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ එම ණය අහෝසි කිරීමක් නෙමෙයි. එතැනදී ලංකාවේ ණය තිරසරභාවය ඇතිකිරීම ගැටලුසහගත යි. වසර දෙකකින් නැවත අපිට ණය කන්දක් එකතුවෙනවා. එතකොට නැවත ණය අර්බුදයකට ගමන් කරනවා. ඒ නිසා තමයි IMF එක ණයහිමියන්ට කියන්නේ ත්‍යාගශීලි ණය කපාහැරීමක් සිදුකරන්න කියලා. නමුත් චීනය එවැන්නක් කිරීමට සූදානම් නැති බව තමයි පේන්න තියෙන්නේ."

මේ මොහොතේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එවැනි සහනයක් ලබාදුනහොත් චීනය වෙනත් පෙරමුණක දී දැඩි අසීරුතාවන්ට මුහුණදෙනු ඇති බව ද ආචාර්ය දුනුසිංහ පෙන්වාදෙයි.

IMF සමග ශ්‍රී ලංකාව සාකච්ඡා ආරම්භ කර මාස 10ක කාලයක් ගතවන තුරුත් චීනයට සිය ණය වෙනුවෙන් නිශ්චිත තහවුරු කිරීමක් ලබාදීමට නොහැකිව ඇත්තේ එබැවිනි.

"චීනය මේ හා සමානව ණය ලබාදීපු රටවල් තව තියෙනවා. ඒ රටවල් ණය අර්බුදවලට ගිහින් තියෙනවා. අපිට යමක් දුන්නොත්, ඒ හා සමාන දෙයක් අනෙක් රටවලටත් දෙන්න වෙනවා. එතකොට ජාත්‍යන්තරයත් චීනයට බලකරනවා එක්කෙනෙකුට දුන්නනම් අනෙක් යටත් දෙන්න කියලා. ඒ නිසා තමයි හරිහමන් ප්‍රතිපත්තියක් අනුගමනය නොකර චීනය කල්මරන්නේ. හැබැයි ඒ කල්මැරීමෙන් සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය දිනෙන් දින කඩාවැටීම," ආචාර්ය දුනුසිංහ වැඩිදුරටත් පෙන්වාදෙයි.

priyanga dunu

මේ අතර, ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් චීනය අනුගමනය කරන වර්තමාන ප්‍රතිපත්තිය, එහි අනෙකුත් බාහිර ණයගැතියන්ගේ ප්‍රශ්නයට පමණක් සිමා නොවන බව කොළඹ විශ්වවිද්‍යාලයයේ අන්තර්ජාතික සබඳතා අංශයේ ආචාර්ය පවිත්‍රා ජයවර්ධන බීබීසී සිංහල සේවයට සඳහන් කළා ය.

චීනය පොහොසත් රටක් ලෙස මතුපිටින් පෙනුණ ද, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ තීරණයේ දී රට තුළ පවතින අභ්‍යන්තර ගැටලු ද චීනයට සැලකිල්ලට ගැනීමට සිදුවන බව අචාර්ය ජයවර්ධනගේ අදහස යි.

"චීනය බොහොම පොහොසත් රටක් කියන එක තමයි සාමාන්‍ය පිළිගැනීම. ඒ වගේම ලංකාවේ තිබුණු ආඛ්‍යානය තමයි චීනය කියන්නේ ලංකාවේ ඉතාම කිට්ටු මිතුරෙක් කියන එක. ඒ නිසා චීනය සාමාන්‍ය පිළිවෙතින් බැහැරව ලංකාවට උදව් කරයි කියල අදහසක් තිබුණා. නමුත් පහුගිය මාස කිහිපයේ දී ඒ ආඛ්‍යානය අභියෝගයට ලක්වුණා. ලංකාවේ මිනිස්සුත් බලාපොරොත්තු වුණා චීනය මේ වෙලාවේ උදව් කරයි කියලා. හැබැයි ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී චීනෙත් එක්ක මේ වගේ තැනකට හරි එන්න ගොඩක් කල් ගියා. එකට හේතුව ජාත්‍යන්තර සාධකය පමණක් නෙමෙයි."

"චීනයට තමන්ගේ රට ඇතුළෙත් ඊට බලපාන අභ්‍යන්තර හේතු තියෙනවා. චීනයේ විරැකියාව සහ නිවාස ප්‍රශ්නය වගේ ගැටලු තියෙනවා. චීනය කියන්නේ ඉතාම සංකීර්ණ සමාජයක්. එතකොට, වෙනත් රටකට ලබාදීපු ණය මුදලකට විශාල සහනයක් ලබාදුන්නොත්, චීනය තමන්ගේ රටටත් නිදර්ශනයක් ලබාදෙනවා.

විදේශ රටක් සම්බන්ධයෙන් චීන රජයට ණය කපාහරින්න පුළුවන් නම්, තමන්ගේ දේශීය ණය කපාහරින්න බැරිද කියන ගැටලුව මතුවෙනවා. ඒ වගේ අභ්‍යන්තර කාරණාත් චීනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හැසිරෙන ආකාරයට බලපානවා. ඒ නිසා ශ්‍රී ලංකාවට සම්බන්ධ ගැටලුව බොහොම සුබවාදීව අවසන් වෙයි කියල අපිට බලාපොරොත්තු වෙන්න අමාරුයි."

එමනිසා ශ්‍රී ලංකාවට අවශ්‍ය ස්ථානය වෙත ගමන් කරවීමට හැකිතරම් වෙර යොදා චීනය තල්ලු කරවියයුතු බව ආචාර්ය ජයවර්ධන සඳහන් කරයි. එසේම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ පවතින දුර්වලතාව ද මෙහිදී ප්‍රබල ලෙස බලපා ඇතැයි ඇය පෙන්වාදෙයි.

"මේක මූල්‍ය කාරණයක් විතරක් නෙමෙයි. අපි රාජ්‍ය දූතකරණය හරහා ඔවුන්ට පෙන්වාදෙන්න ඕනේ මොනව ද කරන්න පුළුවන් කියලා. මේ ණය සහනය අපිට අවශ්‍යයි කියලා චීනයට ඒත්තු ගන්වන්න අපි හැම උපාය මාර්ගයක්ම අනුගමනය කරන්න ඕනේ. හැබැයි මේක මූල්‍ය කාරණයක් විදිහට විතරයි අපි දකින්නේ."


(BBC සිංහල සේවය)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්